ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yp2 21 පරි. 174-180 පි.
  • මගේ වැරදිම හොයනවා නම් මොකද කරන්නේ?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මගේ වැරදිම හොයනවා නම් මොකද කරන්නේ?
  • යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොත
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඒත් අහගෙන ඉන්න ලේසි නැහැ
  • හේතුව මොකක් වෙන්න පුළුවන්ද?
  • සන්සුන්ව ඉන්න
  • උත්සාහයේ ප්‍රතිඵල
  • ඇයි මෙච්චර නීති?
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොත
  • ඇයි මෙච්චර රණ්ඩු?
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොත
  • උපදෙසක් ලැබුණාම ඒක මං පිළිගන්න ඕනෙ කොහොමද?
    යොවුන් සිතේ ගැටලු
  • අම්මවයි තාත්තවයි හොඳින් තේරුම්ගන්න මට පුළුවන් කොහොමද?
    2009 පිබිදෙව්!
තව තොරතුරු
යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොත
yp2 21 පරි. 174-180 පි.

21වෙනි පරිච්ඡේදය

මගේ වැරදිම හොයනවා නම් මොකද කරන්නේ?

“මගේ අම්මා හරියට පොලිස්කාරයෙක් වගේ හැම වෙලාවෙම හොයන්නේ මගේ වැරදිමයි. මට කරන්න දීපු වැඩක් ඉවර කරන්නත් ඉස්සෙල්ලා ඇවිත් ඒකේ වැරදි හොයනවා.”—ක්‍රේග්.

“ඉස්කෝලේ, ගෙදර, සභාවේ මං මොනවා කළත් ඒකේ වරදක් අල්ලගෙන ගෙදර අය මට නිතරම වගේ උපදෙස් දෙනවා.”—ජේම්ස්.

ඔයාගේ මොනවා හරි වරදක් අල්ලගන්න ඔයා කරන කියන හැම දෙයක් දිහාම දෙමාපියන් බලාගෙන ඉන්නවා කියලා ඔයාටත් හිතෙනවාද? ඔයා මොනවා කළත් හොඳක් නම් කියන්නේ නැහැ කියලා ඔයාට හිතෙනවාද?

ඔයාගේ දෙමාපියන් ඔයාට වැඩියෙන්ම බණින්නේ මොනවා කියලද?

□ කාමරේ පිස්සන් කොටුවක් වගේ.

□ කොයි වෙලේ බැලුවත් TV එක ඉස්සරහා.

□ රෑ දෙගොඩහරිය වෙනකම් ඇහැරගෙන.

□ කවදාවත් වෙලාවට ඇහැරෙන්නේ නැහැ.

මොන හේතුව නිසා ඔයාට බණිද්දිද ඒක මහ වධයක් කියලා ඔයාට හැඟෙන්නේ?

․․․․․

අරක කරන්න මේක කරන්න කියලා අම්මලා නිතරම කියද්දී නැත්නම් ඔයාගේ වැරදි පෙන්නලා දෙද්දී ඔයාට තරහක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ටිකක් හිතන්න, ඔයාගේ දෙමාපියන් ඔයාගේ වැරදි පෙන්නලා දෙන්නේ නැත්නම් ඒගොල්ලෝ ඔයා ගැන කිසි සැලකිල්ලක් නැහැ කියලා ඔයාට හිතෙන්නේ නැද්ද? (හෙබ්‍රෙව් 12:8) ඇත්තටම ඔයාගේ දෙමාපියන් වැරදි පෙන්නලා දෙන්නේ ඔයාට තියෙන ආදරේ නිසයි. බයිබලයේ කියන්නෙත් පියෙක් අවවාද කරන්නේ එයා ආදරය කරන පුතාට කියලයි.—හිතෝපදේශ 3:12.

ඒ නිසා ඔයාගේ දෙමාපියන් වැරදි පෙන්නලා දීලා ඒවා හදාගන්න ඔයාට උදව් කරන එක ගැන සතුටු වෙන්න. යෞවනයෙක් හැටියට ඔයාට එච්චර අද්දැකීම් නැති නිසා දෙමාපියන්ගේ උපදෙස් හා මඟ පෙන්වීම් ඔයාට ඕනෙමයි. ඒවා ලැබුණේ නැත්නම්, ‘යොවුන් වියට ආවේණික වූ ආශාවන්වලට’ ඔයා අහු වෙලා නොමඟ යන්න පුළුවන්.—2 තිමෝති 2:22.

ඒත් අහගෙන ඉන්න ලේසි නැහැ

“හික්මවීම් ලැබෙන අවස්ථාවේදී එය වේදනාකාරී දෙයක් ලෙස මිස ප්‍රීතියට හේතුවක් ලෙස දැනෙන්නේ නැත” කියලා බයිබලයෙත් කියනවා. (හෙබ්‍රෙව් 12:11) විශේෂයෙන්ම යෞවනයෙක් හැටියට ඔයාට හික්මවීමක් ලැබෙද්දී නැත්නම් ඔයාගේ වරදක් පෙන්නලා දෙද්දී ඒක පිළිගන්න එක ඔයාට ටිකක් අමාරු වෙයි. සමහරවිට වැඩිහිටියෙක් හොඳට හිතලා බලලා හරිම ආදරෙන් වරදක් පෙන්නලා දුන්නත් ඔයාට තරහක් ඇති වෙන්න පුළුවන්. ඒකට හේතුව මොකද්ද?

සාමාන්‍යයෙන් යෞවනයන් කැමති දෙමාපියන් එයාලා ගැන හොඳ කියනවාටයි. එතකොට තමන් ගැන හොඳ හැඟීමක් එයාලට ඇති වෙනවා. හැබැයි දෙමාපියන් එයාලගේ වරදක් පෙන්නලා දෙද්දී නැත්නම් හික්මවීමක් දෙද්දී තමන් ගැන තිබුණු හොඳ හැඟීම ටිකක් අඩු වෙන නිසා හිතට ලොකු වේදනාවක්, කේන්තියක් දැනෙනවා.

දෙමාපියන් ඔයාගේ අඩුපාඩුකම් ගැන නිතරම කතා කළාට ඔයා කරන හොඳ දේවල් ගැන එච්චර කතා කරන්නේ නැත්නම් ඔයාගේ හිත රිදෙනවා තමයි. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නැහැ ඔයාට කිසිම දෙයක් හරියට කරන්න බැහැ කියලා. මොකද මිනිස්සු හැටියට අපි හැම කෙනෙක් අතින්ම වැරදි අඩුපාඩුකම් ගොඩක් සිද්ධ වෙනවා. (දේශනාකාරයා 7:20) වැරදි වෙන්න වෙන්න අපි ඒවායින් පාඩමක් ඉගෙනගන්න ඕනේ. (යෝබ් 6:24) ඒ නිසා කලකිරෙන්න එපා.

හේතුව මොකක් වෙන්න පුළුවන්ද?

සමහර වෙලාවට දෙමාපියන් ඔයාගේ වරදක් පෙන්නලා බැන්නට බැණුම් අහන්න තරම් දෙයක් ඔයා කරලා නැතුව ඇති. එහෙනම් ඒකට හේතුව මොකක් වෙන්න පුළුවන්ද? ටිකක් හිතන්න. ඒ වෙලාවේ ඔයාගේ අම්මා හිටියේ මොකක් හරි ප්‍රශ්නෙකට මැදි වෙලාද? නැත්නම් අසනීපෙන්ද? ඒ වගේ වෙලාවකදී ඔයාගේ කාමරේ පොඩ්ඩක් හරි හැඩි වෙලා තිබුණොත් අම්මට කේන්ති යන්න තියෙන ඉඩකඩ වැඩියි. සමහරවිට ඔයාගේ තාත්තා ආර්ථික ප්‍රශ්න නිසා කලකිරිලා ඉන්න වෙලාවක ඔයා අතින් පොඩි අඩුපාඩුවක් වුණත් ඔයාගේ හිත පෑරෙන විදිහට ඔයාට බණින්න ඉඩ තියෙනවා. (හිතෝපදේශ 12:18) ඒ වගේ වෙලාවලදී කරන්න පුළුවන් හොඳම දේ තමයි බැණුම් අහපු එක ගැන හිතහිත දුක් වෙන්නේ නැතුව ඒක අමතක කරලා දාන එක. ඒ වගේම බයිබලයේ කියන මේ දේත් මතක තියාගන්න. “අප සියලුදෙනා අතින් නොයෙක් අවස්ථාවලදී වැරදි සිදු වෙයි. යමෙකුට තම දිව පාලනය කරගැනීමට හැකි නම් . . . කිසි වරදක් නොකරන පරිපූර්ණ මිනිසෙකු වීමට ඔහුට පුළුවන.”—යාකොබ් 3:2.

සමහරවිට ඔයාගේ වැරදි පෙන්නලා දෙමාපියන් ඔයාට බණින්නේ, ඔයාව හොඳට පුහුණු කළේ නැති නිසයි එහෙම වෙන්නේ කියලා හිතලා එයාලා දුක් වෙන නිසා වෙන්න ඇති. උදාහරණයකට ඉස්කෝලේ විභාගෙට ඔයාගේ ලකුණු අඩු නිසා අම්මා බැන්නා කියලා හිතන්න. අම්මා එහෙම බණින්න ඇත්තේ පාඩම් වැඩවලට එයා ඔයාව මීට වඩා උනන්දු කළා නම් ඔයාට තව ලකුණු ගන්න තිබුණා කියලා හිතලා එයා දුක් වෙන නිසා වෙන්න ඇති.

සන්සුන්ව ඉන්න

මොන හේතුවක් නිසා ඔයාගේ දෙමාපියන් ඔයාට බැන්නත් ඒ වගේ වෙලාවලදී එකට එක කියන්න එපා. කරන්න පුළුවන් හොඳම දේ තමයි සන්සුන්ව ඉන්න එක. “දිව පාලනය කරගන්න තැනැත්තා දැනුම් තේරුම් ඇතුව කටයුතු කරන්නේය. වටහාගැනීමේ ශක්තිය ඇති මිනිසා කලබල නොවන්නේය” කියලා බයිබලයෙත් කියනවා. (හිතෝපදේශ 17:27) ඒත් ඒ වගේ වෙලාවලදී සන්සුන්ව ඉන්න පුළුවන් කොහොමද? මේ යෝජනා අදාළ කරගන්න.

ඇහුම්කන් දෙන්න. නිදහසට කරුණු කියන්නේ නැතුව දෙමාපියන් කියන දේට ඇහුම්කන් දෙන්න. “සෑම මිනිසෙක්ම ඇහුම්කන් දීමට ඉක්මන් විය යුතුයි. කතා කිරීමට ප්‍රමාද විය යුතුයි. කෝප වීමටද ප්‍රමාද විය යුතුයි” කියලා බයිබලයේ දීලා තියෙන උපදෙස මතක තියාගන්න එක වැදගත්. (යාකොබ් 1:19) හැබැයි දෙමාපියන් මොනවා හරි දෙයක් ඔයාට කියද්දී ඔයාත් කේන්තියෙන් කතා කළොත් එයාලා කියන දේවල් ඔයා සත පහකට ගණන් ගන්නේ නැහැ කියලා ඒගොල්ලන්ට හිතෙයි. ඒකෙන් වෙන්නේ ඔයාට තව උපදෙස් ලැබෙන එක විතරයි.

හිතන්න. සමහරවිට ඔයාට හිතෙන්න පුළුවන් දෙමාපියන් ඔයාට උපදෙස් දීපු විදිහ ප්‍රේමණීය නැහැ කියලා. උපදෙස දීපු විදිහ ගැන ඕනෑවට වඩා හිතන්නේ නැතුව ඒගොල්ලෝ කියපු දේවල් ගැන හිතලා බලන්න. මේ ප්‍රශ්න ගැන හිතන එක ඒක කරන්න ඔයාට උදව් වෙයි. ‘අම්මා බැන්නේ සාධාරණ හේතුවකටද? මීට කලිනුත් මේ ගැන මට කියලා තියෙනවාද? එයාලා දීපු උපදෙස පිළිපදින එකෙන් මට පාඩුවක් වෙනවාද?’ උපදෙසක් ලැබෙද්දී ඒක අහන් ඉන්න අමාරු වුණාට දෙමාපියන් එහෙම කරන්නේ ඔයාට තියෙන ආදරේ නිසා කියලා මතක තියාගන්න. ආදරේ නැත්නම් එයාලා ඔයාට කවදාවත් උපදෙස් දෙන්නේ නැහැ.—හිතෝපදේශ 13:24.

වරද පිළිගන්න. දෙමාපියන් වරදක් පෙන්නන කොට ඔයා ඒක පිළිගත්තොත් කියපු දේවල් ඔයා හිතට ගත්තා කියලා ඒගොල්ලන්ට තේරෙයි. උදාහරණයකට ‘ඔයාගේ කාමරේ හැම තිස්සෙම පිස්සන් කොටුවක් වගේ. ඒක දැන් අස් කළේ නැත්නම් අද සෙල්ලං කරන්න දෙන්නේ නැහැ’ කියලා අම්මා ඔයාට කිව්වා කියලා හිතන්න. ඒත් ඔයාට හිතෙන්න පුළුවන් අම්මා කියන තරම් කාමරේ හැඩි වෙලා නැහැ කියලා. හැබැයි ඔයා ඒක අම්මට කියන්න ගියොත් ප්‍රශ්නේ තව වැඩි වෙනවා. ඒ නිසා හොඳම දේ තමයි මෙහෙම කියන එක. ‘හොඳයි අම්මේ, මං ඉක්මනට කාමරේ අස් කරන්නම්.’ ඊටපස්සේ කියපු විදිහට ඒක කරන්න.—එෆීස 6:1.

ඉවසන්න. දෙමාපියන් දීපු උපදෙසට නැත්නම් මඟ පෙන්වීමට ඔයා අකමැති වෙන්න පුළුවන්. හැබැයි ඔයාට හැඟෙන විදිහ එයාලට කියන්න කලින් එයාලා කරන්න කියපු දේ කරන්න. ඊටපස්සේ ඒ ගැන එයාලත් එක්ක කතා කරන්න. බයිබලයේ කියන්නෙත්, “බුද්ධිමත් තැනැත්තා තම වචන කල්පනාකාරීව හසුරුවයි” කියලයි. (හිතෝපදේශ 10:19) ඒ විදිහට ඔයා දෙමාපියන්ට කීකරු වෙද්දී ඔයා කියන දේවලට ඇහුම්කන් දෙන්නත් ඒගොල්ලෝ පෙලඹෙයි.

අපි බලපු ඒ යෝජනා හතරෙන් කොයි එකද ඔයා වැඩියෙන්ම අදාළ කරගන්න ඕනේ? ․․․․․

උත්සාහයේ ප්‍රතිඵල

රත්තරන් තියෙන තැනක් ඔයාට හම්බ වුණොත් හාරලා ඒවා ගන්න ඔයා මහන්සි වෙන්නේ නැද්ද? බයිබලයේ කියන්නේ ප්‍රඥාවන්තව වැඩ කරන්න ඉගෙනගන්න එක රත්තරන්වලට වඩා වටිනවා කියලයි. (හිතෝපදේශ 3:13, 14) ඒත් ප්‍රඥාව ලබාගන්න පුළුවන් කොහොමද? “උපදෙස්වලට සවන් දී හික්මවීම පිළිගන්න. එවිට ඔබ අනාගතයේදී ප්‍රඥාවන්ත කෙනෙකු වන්නෙහිය” කියලා බයිබලයේ කියනවා. (හිතෝපදේශ 19:20) හික්මවීම්, උපදෙස් ලැබෙන කොට ඒවා පිළිගන්න ටිකක් අමාරු වුණාට ඒවා අදාළ කරගත්තොත් ඔයාට ප්‍රඥාවන්තව ක්‍රියා කරන්න පුළුවන් වෙනවා. ඇත්තටම ඒක රත්තරන්වලට වඩා වටිනවා.

උපදෙස්, මඟ පෙන්වීම් අපිට ජීවිතේ හැමදාටම ලැබෙනවා. දැන් ඔයාගේ දෙමාපියන්, ගුරුවරුන් ඔයාට උපදෙස්, මඟ පෙන්වීම් දෙනවා. ඉස්සරහට ඔයා ජොබ් එකක් කරන්න පටන්ගත්තම ඔයාගේ බොස්, වැඩපොළේ අනිත් අය ඔයාට උපදෙස්, මඟ පෙන්වීම් දෙයි. ඒ නිසා දෙමාපියන් ඔයාගේ වරදක් පෙන්නලා ඒක හදාගන්න උපදෙස් දෙන කොට කේන්ති ගන්නේ නැතුව ඒවා පිළි අරගෙන වරද හදාගන්න දැන් ඉඳලම ඉගෙනගන්න. ඒක දැනුත් ඔයාගේ අනාගතේටත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

ඊළඟ පරිච්ඡේදය

දෙමාපියන් ඔයාට ගොඩක් නීති දාලා කියලා හිතෙනවාද? එහෙමනම් ඒගොල්ලන්ගේ විශ්වාසය දිනාගෙන නිදහස ටිකක් වැඩි කරගන්න පුළුවන් කොහොමද?

බයිබල් උපදෙස

“ප්‍රඥාවන්ත කෙනෙක් උපදෙස්වලට සවන් දී තව තවත් ඉගෙනගනියි.”—හිතෝපදේශ 1:5.

යෝජනාවක්

මෙහෙම කළොත් උපදෙස් පිළිගන්න ලේසියි

● උපදෙසක් දෙන කොට ඔයාගේ හොඳ දෙයක් ගැනත් කිව්වොත් ඒ ගැන සතුටු වෙන්න.

● කරන්න කියපු දේ හරි දීපු මඟ පෙන්වීම හරි ඔයාට තේරුණේ නැත්නම් ඒ ගැන ආයෙත් අහන්න.

මේක දැනගෙන හිටියාද?

දරුවන්ට ආදරෙන් දේවල් කියලා දෙන විදිහ සමහර දෙමාපියන් දන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ගේ දෙමාපියනුත් එයාලට එහෙම ආදරෙන් සලකලා නැහැ.

ඔයාට වැඩක්!

ඊළඟ සැරේ දෙමාපියන් මගේ වැරැද්දක් පෙන්නලා දෙද්දී මං මෙහෙම කරනවා ․․․․․

දෙමාපියන් ඕනෑවට වඩා මගේ වැරදි හොයනවා කියලා හිතුණොත් මං කරන්නේ මේකයි ․․․․․

මේ කාරණා ගැන මං දෙමාපියන්ගෙන් අහලා දැනගන්න කැමති දේ ․․․․․

ඔයා හිතන්නේ මොකද්ද?

● වැරැද්දක් පෙන්නලා දෙද්දී ඒක පිළිගන්න ඔයාට අමාරු ඇයි?

● දෙමාපියන් ඔයාට බණින්නේ මොන හේතු නිසා වෙන්න පුළුවන්ද?

● ඔයාට ලැබෙන උපදෙස්වලින් ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද?

[177වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘මෙච්චර කල් මං කළේ අම්මා මොනවා හරි වරදක් පෙන්නලා දෙද්දී එකට එක කියන එකයි. ඒත් දැන් මං බයිබලයේ දීලා තියෙන උපදෙස් අදාළ කරගන්න නිසා එහෙම කරන්නේ නැහැ. අම්මත් දැන් ඉස්සර වගේ මට බණින්නේ නැහැ. මටත් පුළුවන් වෙලා තියෙනවා අම්මව හොඳට තේරුම්ගන්න. අපි දෙන්නා අතරේ තියෙන බැඳීම තවත් ශක්තිමත් වෙලා.’’—මර්ලීන්

[180වන පිටුවේ පින්තූරය]

වරදක් පෙන්නලා දෙද්දී අහගෙන ඉන්න එක අමාරුයි තමයි. ඒත් ඒවා අහලා ඔයා හැදෙනවා නම් ඔයාට ප්‍රඥාවන්තව වැඩ කරන්න පුළුවන් වෙනවා. ඒක රත්තරන් හොයාගන්නවට වඩා වටිනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න