ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • be 52 පාඩම 265 පි.-267 පි. 4 ¶
  • බලපෑමෙන් යුත් අවවාදානුශාසනා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බලපෑමෙන් යුත් අවවාදානුශාසනා
  • දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • සමාන තොරතුරු
  • උද්‍යෝගයෙන් දේශනා කරන්න
    2009 අපගේ රාජ්‍ය සේවාව
  • සහෝදර ප්‍රේමය ක්‍රියාශීලී ය
    1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘ප්‍රේමය පදනම් කරගෙන අවවාද දීම’
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • තීතස්, ෆිලෙමොන් සහ හෙබ්‍රෙව් පොත්වලින් විශේෂාංග
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
be 52 පාඩම 265 පි.-267 පි. 4 ¶

පාඩම 52

බලපෑමෙන් යුත් අවවාදානුශාසනා

කළ යුතු වන්නේ කුමක්ද?

ඒත්තුගන්වනසුලු තර්ක ඉදිරිපත් කිරීමෙන් හෝ පිළිගත් මූලාශ්‍රයක් ඇසුරෙන් උපදෙස් දීමෙන් අනුන්ව ක්‍රියාවට පොලඹවන්න. ඒ සඳහා උනන්දුමත් අන්දමකින් කතා කළ යුතුය.

එය වැදගත් වන්නේ මන්ද?

යෙහෝවාගේ ආශීර්වාදයට හේතු වන ක්‍රියාමාර්ගයක් ගැනීමේ හදිසිතාව අන් අය තුළ කාවැද්දීමට බලපෑමෙන් යුත් අවවාදානුශාසනා මහෝපකාරි වේ.

ක්‍රිස්තියානි වැඩිමහල්ලන් “සුවදායී ඉගැන්වීමෙන්” අවවාද දීමට සමත් අය විය යුතුය. (තීත. 1:9, NW) ඇතැම්විට, මෙවැන්නක් කළ යුතු වන්නේ ඉතා අසීරු තත්වයන් යටතේදීය. දෙන උපදෙස් ශුද්ධ ලියවිලිමය මඟ පෙන්වීම්වලට එකඟව දීමද අත්‍යවශ්‍යය. එමනිසා, “අනුශාසනා කිරීමට . . . අවධානය යොමු කරන්න” යන උපදෙසට වැඩිමහල්ලන් නිරතුරුවම අවනත විය යුතුය. (1 තිමෝ. 4:13, න. අ.) මෙහිදී සාකච්ඡා කරන කරුණු මූලිකව අදාළ වන්නේ වැඩිමහල්ලන්ට හෝ එම වරප්‍රසාදය භුක්ති විඳීමට වෑයමක් දරන අය සඳහා වුවත්, දෙමාපියන්ට තම දරුවන්ට අවවාදානුශාසනා දීමට අවස්ථා ඉස්මතු වන බවත්, බයිබල් පාඩම් පවත්වන අයට තම බයිබල් පාඩම්වලට අවවාදානුශාසනා දීමට සිදු වන බවත් මතක තබාගැනීම උචිතය. මෙවැනි අවස්ථාවලදී, මීට සමාන මඟ පෙන්වීම් අදාළ වනු ඇත.

ඒ සඳහා අවශ්‍යතාව පැනනඟින අවස්ථා. අවවාදානුශාසනා අවශ්‍ය වන්නේ කවර අවස්ථාවලදීද යන්න තීරණය කරන්නේ කෙසේද? ඒ සඳහා අවවාදානුශාසනා දුන් අවස්ථා බයිබල් වාර්තාවෙන් සොයා පරීක්ෂා කිරීම උපකාරවත් වේ. දෙවිගේ රැළේ එඬේරුන් ලෙස තමන් සතු වගකීම ගැන අවධානයෙන් සිටීමට ප්‍රේරිත පේතෘස් වැඩිමහල්ලන්ට අනුශාසනා කළේය. (1 පේතෘ. 5:1, 2) පාවුල් තීතස්ට උපදෙස් දුන්නේ යෞවනයන්ට “සිහියෙන් යුක්තව සිටින්ට” අවවාද කරන්නට කියාය. (තීත. 2:6) පාවුල් සෙසු ක්‍රිස්තියානීන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේ ‘එකඟතාවෙන් යුතුව කතා කිරීමටත්,’ සහෝදරයන් අතර භේද පැතිරීමට මාන බැලූ අයව මඟහැරීමටත්ය. (1 කොරි. 1:10, NW; රෝම 16:17; පිලි. 4:2) තෙසලෝනික සභාවේ සාමාජිකයන් කළ යහපත් දේවල් පැසසුමට ලක් කළද, ඔවුන්ට ලබා දී තිබුණු උපදෙස් වඩාත් පූර්ණ ලෙස අදාළ කරගන්නා මෙන් පාවුල් ඔවුන්ට අවවාද කළේය. (1 තෙස. 4:1, 10) පේතෘස් සෙසු ක්‍රිස්තියානීන්ට ආයාචනා කළේ “මාංසික තෘෂ්ණාවලින් වැළකී සිටින” ලෙසටය. (1 පේතෘ. 2:11) තවද නින්දිත හැසිරීමෙහි නියැලී සිටි අභක්තික අයගේ බලපෑම හේතුවෙන් “ඇදහිල්ල උදෙසා උනන්දු ආකාරයෙන් පොර” ඇල්ලීමට යූද් තම සහෝදරයන්ට අවවාද කළේය. (යූද් 3, 4) කිසිවෙකු පාපයේ රැවටිලිකාර බලයට හසු වී, දැඩි නොවන පිණිස, එකිනෙකාට අවවාදානුශාසනා කිරීමටත් ක්‍රිස්තියානීන්ට දිරිගන්වා තිබිණ. (හෙබ්‍රෙ. 3:13) ක්‍රිස්තුස් කෙරෙහි ඒ වන විටත් ඇදහිල්ල නොදක්වා තිබූ යුදෙව්වන්ට පේතෘස් දුන් අවවාදය වූයේ “මේ වංක පරම්පරාවෙන් ගැළවෙන්න” යන්නයි.—ක්‍රියා 2:40.

මෙවැනි අවස්ථාවලදී ප්‍රබල ලෙස අවවාදානුශාසනා දීමේදී තිබිය යුතු වන්නේ කවර අන්දමේ ගුණාංගද? අවවාදානුශාසනා දෙන තැනැත්තා පරුෂ හෝ තර්ජනාත්මක නොවී තම අයැදීම්වලට අවනත වීම කොතරම් අත්‍යවශ්‍යද යන්න අවධාරණය කළ හැක්කේ කෙසේද?

“ප්‍රේමය නිසා.” අපගේ අවවාදානුශාසනා “ප්‍රේමය නිසා” දෙන ලද්දක් නොවේ නම්, ඒවා ඉතා දැඩි ස්වරූපයක් ගත හැක. (පිලෙ. 9) වහාම යම් ක්‍රියාමාර්ගයක් ගත යුතු විට, කථිකයා ඉදිරිපත් කරන අවවාදානුශාසනා මගින්, තත්වයේ බරපතළකම පැහැදිලිව පිළිබිඹු විය යුතු බව ඇත්තය. ඉතා ඇල්මැරුණු කටහඬකින් එසේ කළහොත්, එම අවවාද ඉදිරිපත් කිරීමට ලජ්ජාවක් නැත්නම් තමා අදිමදි කරන බවක් දිස් විය හැක. එනමුත්, මෙවැනි අයැදීමක් කරන විට, ඉමහත් උනන්දුවකින් සහ ගැඹුරු හැඟීමකින් එය කළ යුතුය. සබයක් ක්‍රියාවට වැඩියෙන් පෙලඹෙන්නේ එය ප්‍රේමනීය ආයාචනාවක් වුවහොත් පමණි. තමා වෙනුවෙනුත්, තමා සමඟ සිටි අය වෙනුවෙනුත් කතා කරමින් පාවුල් තෙසලෝනිකවරුන්ට මෙසේ පැවසීය. “පියෙකු තමාගේ දරුවන්ට මෙන්, අප විසින් නුඹලාට අවවාද කරමින් . . . නුඹලා එක් එක්කෙනාට ක්‍රියා කළ හැටි නුඹලා දනිහුය.” (1 තෙස. 2:12) එම ක්‍රිස්තියානි අවේක්ෂකයන් සහෝදරයන්ට ආයාචනා කළේ ප්‍රේමයෙනි. එසේ නම්, ඔබ පවසන දේ ඔබේ සවන්දෙන්නන් කෙරෙහි වූ අව්‍යාජ සැලකිල්ල නිසා පවසන බව දැනෙන්නට සලස්වන්න.

උපායශීලී වන්න. ක්‍රියාවට පෙලඹවීම සඳහා ඔබ දිරිගැන්වීමට උත්සාහ දරන පිරිස ඔබගෙන් ඈත් නොකිරීමට වගබලා ගන්න. ඒත් සමඟම “දෙවිගේ මුළු කැමැත්ත” කුමක්ද යන්න ඔබේ සබයට කීමටද ඔබ පසුබට නොවිය යුතුය. (ක්‍රියා 20:27, NW) ඔබ හරි දේ කිරීමට ඔවුන්ට කාරුණිකව උනන්දු කර ඇති නිසා කෘතඥපූර්වක වන අය අමනාප වන්නේවත්, ඔබට ඇති ප්‍රේමය අඩු කරගන්නේවත් නැත.—ගීතා. 141:5.

යම් අවවාදයක් දීමට පෙර, ගැළපෙන, අවංක පැසසුමක් කිරීමෙන් බොහෝ විට ප්‍රයෝජන නෙළාගත හැකිය. ඔබේ සහෝදරයන් කරන යහපත් දේවල් ගැන සිතා බලන්න. මෙම දේවල් දකින යෙහෝවාද සතුටු වනවාට සැකයක් නැත. ඔව්, ඔවුන්ගේ ක්‍රියා තුළින් දක්නට ලැබෙන ඇදහිල්ල, ඔවුන්ගේ වෑයම්වලට පණ පොවන ප්‍රේමය නමැති ගුණාංගය සහ පීඩාකාරි තත්වයන්වලට මුහුණ දීමේදී ඔවුන් තුළ දක්නට ලැබෙන විඳදරාගැනීම මීට උදාහරණ වේ. (1 තෙස. 1:2-8; 2 තෙස. 1:3-5) ඔවුන් කරන සේවය අගය කරන බවත්, ඔවුන්ව තේරුම්ගන්නා බවත් දැනීමට සලස්වන්න. මෙවැන්නක් ඔබේ සහෝදරයන්ට දිරිගැන්වීමක් වන අතර අනතුරුව ඔබ කරන අවවාදයට, ආයාචනයට හොඳ ප්‍රතිචාරයක් දැක්වීමටද මඟ පාදයි.

“සියලු ආකාර ඉවසිලිවන්තකමෙන්.” අවවාදානුශාසනා “සියලු ආකාර ඉවසිලිවන්තකමෙන්” කළ යුතුය. (2 තිමෝ. 4:2) මීට අයත් වන්නේ කුමක්ද? ඉවසිලිවන්තකම යනු, යම් වරදක් හෝ ප්‍රකෝප වීමට හේතුවක් ඉවසීමෙන් දරාගෙන සිටීමයි. එමනිසා ඉවසිලිවන්ත කෙනෙක් තමන් කියන දේ තම සවන්දෙන්නන් විසින් අදාළ කරගනු ලබයි යන බලාපොරොත්තුව අත් නොහැර පවත්වාගනියි. මෙම ආකල්පය ඇතුව අවවාදානුශාසනා ඉදිරිපත් කරන විට, ඔබ ඔවුන්ව පහත් කර කතා කරනවා යන හැඟීම ඔබේ සවන්දෙන්නන් තුළ ඇති වන්නේ නැත. තමාට හැකි උපරිමයෙන් යෙහෝවාට සේවය කිරීමේ ආශාව ඔබේ සහෝදර සහෝදරියන්ට තිබෙන බවට වූ ඔබේ ඒකාන්ත විශ්වාසය, හරි දේ කිරීමට වූ ඔවුන්ගේ ආශාවට ඉමහත් දිරියක් වනු ඇත.—හෙබ්‍රෙ. 6:9.

“සුවදායී ඉගැන්වීමෙන්.” වැඩිමහල්ලෙකුට “සුවදායී ඉගැන්වීමෙන්” අවවාද කළ හැක්කේ කෙසේද? “තම ඉගැන්වීමේ කලාවේ විශ්වාස වූ වචනයට ස්ථිරව ඇලී” සිටීමෙනි. (තීත. 1:9, NW) මෙහිදී ඔබේ පෞද්ගලික මතයන් ඉදිරිපත් කරනවා වෙනුවට, ඔබේ ආයාචනාවට පදනම දේවවචනය කරගන්න. පැවසිය යුතු දේ සම්බන්ධයෙන් ඔබේ ආකල්පය බයිබලය ඇසුරෙන් සකස් කරගන්න. ඔබේ සැලකිල්ලට බඳුන් වී ඇති කාරණය ගැන බයිබලය පවසන දේ අදාළ කරගැනීමෙන් නෙළාගත හැකි ප්‍රයෝජන ලැයිස්තුගත කරන්න. දේවවචනයට එකඟ නොවී කටයුතු කළහොත්, වර්තමානයෙහි සහ අනාගතයෙහි විඳීමට සිදු වන ප්‍රතිඵල සිතෙහි හොඳින් සනිටුහන් කරගෙන, අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ඔබේ සබයට ඒත්තුගැන්වීම සඳහා ඒවා යොදාගන්න.

කළ යුත්තේ කුමක්ද, එය කළ යුත්තේ කෙසේද යන්න සබයට පැහැදිලිව විස්තර කිරීමට වගබලා ගන්න. ඔබ ඉදිරිපත් කරන තර්ක ස්ථිරවම ශුද්ධ ලියවිල්ල මත පදනම් වී ඇති බව පැහැදිලිව දක්වන්න. ගත යුතු තීරණය සම්බන්ධයෙන් ශුද්ධ ලියවිල්ල යම් නිදහසකට ඉඩ දේ නම්, එම නිදහස කොතෙක් දුරට විහිදී යනවාද යන්න පෙන්වා දෙන්න. අවසානයේදී ඔබේ සවන්දෙන්නන්ට ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය ධෛර්යය ශක්තිමත් කරනු වස්, අවසන් වරට උණුසුම් ලෙස යම් ඉල්ලීමක් කරන්න.

“නිදහසේ කතා කිරීමට” හැකියාව ඇතුව. අන් අයට බලපෑමෙන් යුතුව අවවාදානුශාසනා කිරීමට නම්, “ඇදහිල්ල තුළ නිදහසේ කතා කිරීමට” හැකියාව කෙනෙකුට තිබිය යුතුය. (1 තිමෝ. 3:13, NW) නිදහසේ කතා කිරීමට පුද්ගලයෙකුට පුළුවන් වන්නේ කවර හේතුවක් නිසාද? ඔහු තම සහෝදරයන්ගෙන් උදක්ම ඉල්ලා සිටින දේ සමඟ ‘යහපත් ක්‍රියා සම්බන්ධයෙන් ඔහුගේ ආදර්ශය’ එකඟව පවතින හෙයිනි. (තීත. 2:6, 7; 1 පේතෘ. 5:3) මෙසේ, අවවාදය දෙන තැනැත්තා ආදර්ශවත් කෙනෙක් වන විට ක්‍රියාවට පොලඹවනු ලබන අය තේරුම්ගන්නේ, අවවාදය දෙන කෙනා පෞද්ගලිකව නොකරන දෙයක් කිරීමට ඔවුන්ගෙන් අපේක්ෂා නොකරන බවයි. ඔහු ක්‍රිස්තුස් අනුකරණය කිරීමට ප්‍රයත්න දරමින් විදහාපෙන්වන ඇදහිල්ල අනුකරණය කිරීමට ඔවුන්ට හැකි බව ඔවුන්ට පෙනී යනු ඇත.—1 කොරි. 11:1; පිලි. 3:17.

දේවවචනය මත පදනම් වූ, ප්‍රේමනීය ස්වභාවයකින් දෙන අවවාදානුශාසනා මාර්ගයෙන් ඉමහත් යහපතක් සිදු කළ හැකිය. මෙවැනි අවවාදානුශාසනා දීමේ වගකීම ඇති අය, එම වගකීම හොඳින් ඉටු කිරීමට වෙහෙස මහන්සිය නොබලා ප්‍රයත්න දැරිය යුතුය.—රෝම 12:8.

එය කරන ආකාරය

  • ප්‍රේමය සහ ඉවසිලිවන්තකම පෙන්වන්න. කතා කරන විට අවංක උනන්දුවක් දක්වන්න.

  • ඔබේ අවවාදානුශාසනා ස්ථිර ලෙස දේවවචනය මත පදනම් කරගන්න.

  • ඔබේ කදිම ආදර්ශය, ඔබේ අවවාදානුශාසනාවලට රුකුලක් කරගන්න.

අභ්‍යාසය: පිලෙමොන්ට ප්‍රේරිත පාවුල් ලියූ ලිපිය කියවන්න. මතු දැක්වෙන අංග සොයාගන්න. (1) උණුසුම් ප්‍රශංසාව, (2) ඔනේසිමස් වෙනුවෙන් පාවුල් ආයාචනා කිරීමට හේතු වූ පදනම, (3) තමා වෙතට නැවත පැමිණෙන දාසයා පිළිගත යුතු ආකාරය පිලෙමොන්ට ඒත්තුගැන්වීම සඳහා යොදාගනු ලබන තර්කය සහ (4) පිලෙමොන් හරි දේ කරන බවට පාවුල් තමාගේ විශ්වාසය පළ කිරීම. අවවාදානුශාසනා ඉදිරිපත් කරද්දී මෙම ආදර්ශය ඔබට අනුකරණය කළ හැකි අන්දම සලකා බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න