යේසුස් ක්‍රිස්තුස් ඔහු කවුද?
“ක්‍රිස්තියානීන් නොවන බොහෝදෙනෙක් පවා ඔහු ශ්‍රේෂ්ඨ සහ ප්‍රඥාවන්ත ගුරුවරයෙක් වූ බව විශ්වාස කරනවා. නියත වශයෙන්ම ඔහු මෙතෙක් ජීවත් වූ වැඩිම බලපෑමක් කළ පුද්ගලයන් අතරෙන් කෙනෙක්.” (ලෝක විශ්වකෝෂය, ඉංග්‍රීසියෙන්) “ඔහු” කවුද? ඔහු නම් ක්‍රිස්තියානි ධර්මයේ නිර්මාතෘවරයා වන යේසුස් ක්‍රිස්තුස්. ඔහු කවුද කියා ඔබ දන්නවාද? ඔහු කිසියම් ආකාරයකින් ඔබේ ජීවිතයට බලපෑමක් ඇති කරයිද?
බයිබලයේ සුවිශේෂ හැටියට හඳුන්වන ඓතිහාසික කෘතිවල යේසුගේ දේශනා සේවය හා සම්බන්ධ සිද්ධීන් වාර්තා කර තිබෙනවා. මෙම වාර්තාවන් කොතෙක් දුරට සත්‍යයද? ඒවා හොඳින් පරීක්ෂා කර බැලීමෙන් පසු සුප්‍රසිද්ධ ඉතිහාසඥ විල් ඩියූරන්ට් මෙසේ ලිව්වා: “එතරම් ප්‍රබල හා සිත්ගන්නා පෞද්ගලිකත්වයක්, එතරම් උසස් ආචාර ධර්ම හා මනුෂ්‍ය සහෝදරත්වය පිළිබඳ එතරම් පොලඹවනසුලු දෘෂ්ටියක් එක පරම්පරාවක් තුළ සිටි සාමාන්‍ය මනුෂ්‍යයන් කීපදෙනෙක් විසින් අමුතුවෙන්ම නිර්මාණය කිරීම, සුවිශේෂවල වාර්තා කර තිබෙන කිසිඳු ආශ්චර්යයකටත් වඩා විශ්වාස කළ නොහැකි දෙයක් වනු ඇත.”
ඒ වුණත්, පෙරදිග රටවල සහ වෙනත් ප්‍රදේශවල සිටින මිලියන සංඛ්‍යාවකට නම් යේසුස් ක්‍රිස්තුස් කියන්නේ අමුත්තෙක්. ඔහු ජීවත්ව සිටිය බව ඔවුන් විශ්වාස කරනවා වෙන්න පුළුවන්; නමුත් ඔහු තම ජීවිතවලට කිසිම ආකාරයකින් බලපෑමක් වන බවක් ඔවුන් සිතන්නේ නැහැ. තවත් අය, යේසුගේ අනුගාමිකයන්යයි කියාගන්නාවූ අය විසින් කර ඇති දේවල් නිසා, අවධානය දීමට නොවටිනා කෙනෙක් ලෙස සලකා ඔහුව ප්‍රතික්ෂේප කරනවා. ජපානයේ සිටින ඇතමෙක් මෙහෙම පවසනවා: ‘ජපානයේ තිබෙන අනිත් නගරවලට වඩා වැඩියෙන්ම ක්‍රිස්තියානීන් ඉන්න නගරයක් වන නාගසාකිවලට ක්‍රිස්තියානීන් පරමාණු බෝම්බයක් හෙළුවා.’
නමුත්, රෝගියා වෛද්‍යවරයාගේ බෙහෙත් වට්ටෝරුවට අනුව කටයුතු කිරීමට අසමත් වුණා නම්, රෝගියාගේ අසනීපයට ඔබ වෛද්‍යවරයාට දොස් කියනවාද? ඇත්තෙන්ම නැහැ. ක්‍රිස්තියානි ආගම්වල සිටින ජනයා දිගු කාලයක සිට ඔවුන්ගේ එදිනෙදා ප්‍රශ්න ගැටලු සමඟ කටයුතු කිරීමේදී යේසුගේ උපදෙස් නමැති බෙහෙත් වට්ටෝරුව නොසලකා හැර තිබෙනවා. ක්‍රිස්තියානීන්යයි කියාගන්නාවූ අය යේසුගේ උපදෙස් අනුගමනය නොකරන නිසා ඔහුව ප්‍රතික්ෂේප කරනවා වෙනුවට, ඔබගේ ප්‍රයෝජනය තකා ඔහු ගැන යමක් ඉගෙන නොගන්නේ ඇයි? බයිබලය වෙතට අවධානය යොමු කර, ඇත්තටම යේසු කියන්නේ කවුද? එමෙන්ම ඔබේ ජීවිතය පවා ඔහුට වෙනස් කරන්න පුළුවන් කෙසේද කියා බලන්න.
ඔහුගේ උපදෙස නම් ප්‍රේමයයි
අවුරුදු 2,000කට පමණ ආසන්න කාලයකට ඉහතදී ජීවත් වූ යේසුස් ක්‍රිස්තුස් පලස්තීනයේ විසූ ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක්. ඔහුගේ ළමා කාලය පිළිබඳව අප දන්නේ ඉතා අල්ප වශයෙනුයි. (මතෙව් පොතේ, පරිච්ඡේද 1, 2; ලූක් පොතේ, පරිච්ඡේද 1 සහ 2) වයස අවුරුදු 30ක් වූ විට, ‘සත්‍යයට සාක්ෂි දීම සඳහා’ යේසු තම සේවය ආරම්භ කළා. (යොහන් 18:37; ලූක් 3:21-23) යේසුගේ ජීවිතය සම්බන්ධයෙන් ලියූ ඓතිහාසික වාර්තාකරුවන් සිව්දෙනා, ඔහු පොළොවේ ගත කළ තාවකාලික ජීවිතයේ, ඔහුගේ ප්‍රසිද්ධ දේවසේවයේ අන්තිම අවුරුදු තුනහමාර වෙත අවධානය යොමු කළා.
යේසු තම දේවසේවය තුළදී, ගෝලයන්ට ඔවුන්ගේ ජීවිතයේ විවිධ ගැටලු සමඟ සාර්ථකව කටයුතු කිරීම සඳහා අවශ්‍ය යතුර දුන්නා. එම යතුර කුමක්ද? එය නම් ප්‍රේමයයි. ඉතිහාසයේ වඩාත් සුප්‍රකට දේශනාවන් අතුරින් එකක් වන කන්ද උඩ දේශනාවේදී, සෙසු මනුෂ්‍යයන්ට ප්‍රේමය පෙන්වන්නේ කෙසේද කියා යේසු තම අනුගාමිකයන්ට ඉගැන්නුවා. ඔහු මෙසේ පැවසුවා: “එබැවින් මනුෂ්‍යයන් විසින් නුඹලාට යමක් යමක් කරනවාට නුඹලා කැමතිද නුඹලාත් එසේම ඔවුන්ට කරන්න.” (මතෙව් 7:12) මෙම ප්‍රතිපත්තිය හඳුන්වන්නේ රන් අණ හැටියටයි. යේසු මෙහිදී යොමු දැක්වූ ‘මනුෂ්‍යයන්ට,’ කෙනෙකුගේ සතුරන් පවා ඇතුළත් වෙනවා. එම දේශනාවේදීම ඔහු මෙසේ පැවසුවා: “නුඹලාගේ සතුරන්ට ප්‍රේමකරන්න, නුඹලාට පීඩාකරන්නන් උදෙසා යාච්ඤාකරන්න.” (මතෙව් 5:44) අද අපි මුහුණ දෙන ගැටලුවලින් වැඩි හරියක් එයාකාර ප්‍රේමයක් තුළින් විසඳෙන්නේ නැද්ද? හින්දු ආගමේ නායක මොහන්දාස් ගාන්ධි එලෙස සිතුවා. ඔහු මෙසේ පවසමින් එය උපුටා දැක්වූවා: “මෙම කන්ද උඩ දේශනාවේදී ක්‍රිස්තුස් පිහිටෙවූ ඉගැන්වීම්වලට අනුව [අප] එක්වුවහොත් . . . මුළු ලෝකයේම ගැටලු අප විසඳනවා ඇත.” ප්‍රේමය මත පදනම් වූ යේසුගේ ඉගැන්වීම් අදාළ කරගන්නවා නම් මනුෂ්‍යවර්ගයාගේ දුෂ්ටකම් සුව කළ හැකියි.
ඔහුගේ ප්‍රේමය ක්‍රියාවෙන්
යේසු තමා ඉගැන්වූ දේ ක්‍රියාවට නැඟුවා. ඔහු තමාගේ කාරණාවලට වඩා අනිත් අයගේ කාරණා ඉදිරියෙන් තැබූ අතර, ප්‍රේමය ක්‍රියාවෙන් පෙන්නුම් කළා. දිනක්, යේසු සහ ඔහුගේ ගෝලයන් ආහාරයක් ගැනීමටවත් වේලාවක් ගන්නේ නැතුව මිනිසුන් බොහෝදෙනෙකුට උපස්ථාන කරමින් සිටියා. යේසු තම ගෝලයන්ට ‘ටිකක් පහසුගැනීමට’ අවශ්‍ය බව දැක්ක නිසා, ඔවුන් සමඟ හුදකලා ස්ථානයකට පිටත් වුණා. නමුත් සමූහයක් ඔවුන්ට කලින් ගොස් ඔවුන් පැමිණෙන තෙක් මඟ බලාගෙන සිටියා. ඔබ යේසු සිටි තත්වයේ සිටියා නම් ඔබ කෙසේ ප්‍රතිචාරය දක්වන්න තිබුණාද? ඇත්තෙන්ම, යේසු “ඔවුන් කෙරෙහි අනුකම්පාකොට, ඔවුන්ට බොහෝ කාරණා උගන්වන්ට [පටන්ගත්තා.]” (මාර්ක් 6:30-34) මෙම බලවත් අනුකම්පාසහගත හැඟීම නිසා අනිත් අයට උපකාර කිරීමට ඔහු පෙලඹුණා.
අනිත් අයගේ ප්‍රයෝජනය උදෙසා යේසු කළ දේවල් ආත්මික ඉගැන්වීම්වලට පමණක් සීමා වුණේ නැහැ. ඔහු ප්‍රායෝගික වශයෙනුත් උපකාර කළා. උදාහරණයකට, සවස් වන තුරු ඔහුට ඇහුම්කන් දෙමින් සිටි මිනිසුන් 5,000දෙනෙක්ව (ස්ත්‍රීන් සහ දරුවන්ට අමතරව) ඔහු පෝෂණය කළා. පසු අවස්ථාවකදී ඔහු තවත් 4,000දෙනෙක්ව පෝෂණය කළා. මුල් අවස්ථාවේදී ඔහු රොටි පහක් සහ මසුන් දෙදෙනෙක් භාවිත කළ අතර, පසු අවස්ථාවේදී රොටි හතක් හා මසුන් ස්වල්පයක් භාවිත කළා. (මතෙව් 14:14-21; 15:32-38; මාර්ක් 6:35-44; 8:1-9) ඒවා ප්රාතිහාර්යයන්ද? ඔව්, ඔහු ප්රාතිහාර්යයන් සිදු කළ කෙනෙක්.
යේසු රෝගීන් බොහෝදෙනෙකුවත් සුව කළා. ඔහු අන්ධයන්, කොරුන්, ලාදුරු රෝගීන් සහ බිහිරන්ව සුව කළා. ඒ විතරක් නෙවේ, ඔහු මළවුන්ව පවා නැඟිට්ටෙව්වා! (ලූක් 7:22; යොහන් 11:30-45) වරක් ලාදුරු රෝගියෙක් ඔහුට මෙසේ කන්නලව් කළා: ‘ඔබ කැමති නම් මා පවිත්‍ර කරන්න ඔබට පුළුවන්.’ යේසු ප්‍රතිචාරය දැක්වූයේ කොහොමද? ‘යේසු අත දිඟු කොට ඔහු පිට තබා: මා කැමැත්තෙමි, පවිත්‍ර වෙයන්නැයි ඔහුට කීවේය.’ (මාර්ක් 1:40, 41) මෙලෙස යේසුව පෙලඹුවේ, ඔවුන්ට උපකාර කිරීම සඳහා ඔහුට තිබුණු බලවත් ආශාවයි. එවැනි ප්රාතිහාර්යයන් තුළින්, පීඩාවලින් පෙළෙන්නන් සඳහා තිබුණු ඔහුගේ ප්‍රේමය ඔහු නිරූපණය කළා.
විශ්වාස කරන්න අමාරුයිද? නැහැ. යේසු තම ප්රාතිහාර්යයන්ගෙන් වැඩි හරියක් කළේ ප්රසිද්ධියෙයි. සෑම අවස්ථාවකදීම ඔහුගේ වරදක් සොයාගන්න උත්සාහ කළ ඔහුගේ විරුද්ධවාදීන්ට පවා ඔහු ප්රාතිහාර්යය සිදු කළ බවට වූ සත්‍යය ප්‍රතික්ෂේප කිරීමට හැකි වුණේ නැහැ. (යොහන් 9:1-34) ඒ විතරක් නෙවෙයි, ඔහුගේ ප්රාතිහාර්යයන්වලට අරමුණක් තිබුණා. දෙවි විසින් එවූ තැනැත්තා ලෙස යේසුව හඳුනාගැනීමට ඒවා ජනයාට උපකාර කළා.—යොහන් 6:14.
යේසුගේ ඉගැන්වීම් සහ ඔහුගේ ජීවිතය ගැන ලුහුඬින් සලකා බැලීමෙන් පමණක්ම ඔහු වෙතට අප ඇදී යන අතර, ඔහුගේ ප්‍රේමය අනුකරණය කිරීමට අපව පොලඹවනවා. නමුත් යේසුට ඔබගේ ජීවිතයට බලපෑමක් ඇති කළ හැකි එකම මාර්ගය එය නොවෙයි. ඔහු ප්‍රේමය ගැන ඉගැන්වූ නිකම්ම ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් විතරක් නොවෙයි. ඔහුට දෙවිගේ ඒකජාතක පුත්‍රයා හැටියට මනුෂ්‍යත්වයට පෙර පැවැත්මක් තිබුණු බව ඔහු ඇඟෙව්වා. (යොහන් 1:14; 3:16; 8:58; 17:5; 1 යොහන් 4:9) ඔබට ඊටත් වඩා වැදගත් වන මනුෂ්‍යත්වයට පසු පැවැත්මකුත් ඔහුට තිබෙනවා. යේසුව නැඟිටුවනු ලැබූ බව සහ දැන් ඔහු දෙවිගේ රාජ්‍යයේ රජු ලෙස සිංහාසනාරූඪ වී සිටින බව බයිබලය පෙන්වනවා. (එළිදරව් 11:5) යේසු මෙසේ පැවසුවා: “මින් අදහස් කරන්නේ සදාකාල ජීවනයය, එනම් එකම සැබෑ දෙවි වන ඔබ සහ ඔබ විසින් එවන ලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැන ඔවුන් විසින් දැනුම ලබාගැනීමය.” (යොහන් 17:3, NW; 20:31) ඇත්තවශයෙන්ම යේසුස් ක්‍රිස්තුස් පිළිබඳ දැනුම ලබාගැනීම, පාරාදීසයක සදාකාල ජීවනය අදහස් කළ හැකියි! එය වෙන්න පුළුවන් කොහොමද? යේසු ගැන තව තවත් ඉගෙනගෙන ඔහුව අනුකරණය කිරීමට, ‘ක්‍රිස්තුස්ගේ ප්‍රේමය අප කෙරෙහි බලපවත්වන්නේ’ කෙසේද කියා නොබලන්නේ මන්ද? (2 කොරින්ති 5:14) යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔබට උපකාර කිරීමට කැමැත්තෙන් සිටිනවා.—යොහන් 13:34, 35.
විශේෂිතව සඳහන් කර නොමැති තැන්වල ඇති බයිබල් පද රැගෙන තිබෙන්නේ ලංකා බයිබල් සමාගම 1995දී සංශෝධනය කළ 1938 ප්‍රතිසංස්කෘත පරිවර්තනයෙනි. NW යනු ශුද්ධ ලියවිලිවල නව ලෝක පරිවර්තනයයි (ඉංග්‍රීසියෙන්).