කවුද මේ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ?
යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන ඔබ දන්නේ මොනවාද? ඔවුන් ක්‍රිස්තියානි ධර්මය පතුරුවන පිරිසක් නැත්නම් අලුතින් බිහි වූ ක්‍රිස්තියානි කල්ලියක්යයි සමහරු කියති. තවත් අය ඔවුන්ව දකින්නේ යුදෙව් ධර්මයේ බලපෑමට හසු වූ නිකායක් හැටියටයි. වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතික්ෂේප කරන උන්මත්තකයන් වශයෙන් ඔවුන්ව හඳුන්වන පිරිසක්ද ඒ අතර වේ. ඇත්තටම කියනවා නම්, සාක්ෂිකරුවන් මින් එක් කණ්ඩායමකටවත් වැටෙන්නේ නැත. එසේ නම් මිනිසුන් ඔවුන් ගැන එයාකාරයෙන් සිතන්නේ ඇයි? බොහෝදුරට එසේ සිතන්නේ, මිනිසුන් අතට පත් වී තිබෙන සාවද්‍ය තොරතුරු නිසාය.
ඔවුන්ගේ නමින්ම කියවෙන පරිදි, යෙහෝවාගේ සාක්ෂිකරුවන් යනු යෙහෝවා වෙනුවෙන් පෙනී සිටින සාක්ෂිකරුවන්ය. යෙහෝවා කියන්නේ කාටද? බයිබලයේ සඳහන් පරිදි, යෙහෝවා යනු සර්ව බලධාරී දෙවි තමන්වම හඳුන්වා දීමට යොදාගන්නාවූ නාමයයි.a දෙවි හෝ ස්වාමීන් වැනි පදවි නාමයන්ට වෙනස්ව එය ඔහුගේ පෞද්ගලික නාමය වේ. එනිසා පොදුවේ ගත් කල, මෙතෙක් දෙවිගේ මහිමය ගැන සාක්ෂි දැරූ ඕනෑම කෙනෙකුව යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් හැටියට හැඳින්විය හැකියි.—නික්මයාම 3:13, 15; යෙසායා 43:10.
ආබෙල්ගෙන් පටන්ගෙන පුරාණයේ විසූ ඇදහිලිවන්තයන්ව ලැයිස්තුගත කර ඔවුන්ව ‘මහත් සාක්ෂිකාර සේනාවක්’ හැටියට බයිබලයේ හඳුන්වන්නේ එනිසයි. (හෙබ්‍රෙව් 11:4; 12:1) නෝවා, ආබ්‍රහම්, ඊසාක්, යාකොබ්, යෝසෙප්, මෝසෙස් හා දාවිත් වැනි විශිෂ්ට පුද්ගලයන්ව හඳුන්වා ඇත්තේ දෙවිගේ සාක්ෂිකරුවන් එනම්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් හැටියටයි. යේසුස් ක්‍රිස්තුස්ව හඳුන්වා ඇත්තේ ‘විශ්වාස සැබෑ සාක්ෂිකාරයා’ වශයෙනි.—එළිදරව් 3:14.
සාක්ෂිකරුවන් අවශ්‍ය වන්නේ ඇයි?
මනුෂ්‍යයාව පරිපූර්ණ පුද්ගලයෙකු හැටියට මැවූ බවත් ඔහුව පාරාදීස පොළොවක ජීවත් කරවූ බවත් බයිබලයේ සඳහන් වී ඇත. සදාකාලයටම ජීවත් වීමෙත්, දරුවන් හදා වඩාගෙන, තම භූමික පාරාදීසමය නිවස ව්‍යාප්ත කිරීමෙත් හැකියාව ඇතුවයි මැවුම්කරු ඔහුව මැව්වේ. එකල මිනිසා දෙවිව හොඳින් දැන සිටි අතර, සාක්ෂිකරුවන් සඳහා අවශ්‍යතාවක් පැනනැඟුණේද නැත.—උත්පත්ති 1:27, 28.
දෙවි මිනිසුන්ට නිදහස් කැමැත්ත දුන් නමුත්, අපගේ මුල් දෙමාපියන් වැරදි තීරණයක් ගත්තේය. ඔවුන් තෝරාගත්තේ දෙවිගෙන් ස්වාධීනව කටයුතු කිරීමටයි. මෙලෙස, දෙවි පරිපූර්ණ, යුක්තිසහගත මෙන්ම ශුද්ධව සිටින අතරේදී, පොළොවේ විසූ මනුෂ්‍යයන් අධර්මිෂ්ඨ වූ පාපතර තත්වයකට පත් විය. ඒ කෙසේවෙතත්, අපේ ශුද්ධ දෙවි පාපය හා දුෂ්ටකම පැවතීමට ඉඩ දෙන්න යන්නේ කෙටි කාලයකට පමණි. දෙවි ඉඩ දී ඇති එම කාලයේ නිමාව කරා අප පැමිණ සිටින බව බයිබලයේ අඟවා ඇත. මිනිස්වර්ගයාට මේ දේවල් දැනගැනීම සඳහා, ඔහුගේ වචනය, එනම් ටෝරා, ගීතාවලිය හා සුවිශේෂය අපගේ කාලය දක්වාම ඔහු ආරක්ෂා කර තිබේ.
මිනිසුන්ගෙන් වැඩිදෙනෙකු දෙවි කවුද කියා දන්නේ නැති නිසා, ඔහු ගැන සාක්ෂි දැරීමට ඇදහිලිවන්තයන්ට ඔහු අණ කර ඇත. එවන් ඇදහිලිවන්තයන්ට ඔහු මෙසේ පවසයි: “නුඹලා මාගේ [සාක්ෂිකාරයෝය].” (යෙසායා 43:10) ඔවුන් ඉටු කරන වැඩය සම්බන්ධයෙන් ඔහු පවසන්නේ මෙයයි: “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශකරනු [දේශනා කරනු, NW] ලබන්නේය.”—මතෙව් 24:14, ඇල අකුරු අපගේය.
සෑම ජාතියකටම, වර්ගයකටම හා භාෂාවකටම අයත් මිනිසුන් වෙන කවරදාකටත් වඩා දැන් දෙවිගේ වචනය ගවේෂණය කිරීමේ අවංක ප්රයත්නයක නිරත වෙමින් සිටී. ආගමික වත්පිළිවෙත් බොහොමයකට මිථ්‍යා මූලාරම්භයක් ඇති බවත් ඒවායින් දෙවිව අසතුටට පත් කරන බවත් ඔවුන්ට දැනගන්ට ලැබී ඇත.
ඔබ සමහරවිට දැනටමත් දන්නා පරිදි, ද්‍රව්‍යමය වාසි ප්‍රයෝජන ලැබීමට ආගම යොදාගන්නා පිරිසක්ද සිටී. දේශපාලනමය අභිමතාර්ථයන් තෘප්තිමත් කරගැනීමටත්, දිළිඳුන්ව තව තවත් අසරණ කරමින් තම මඩි තර කරගැනීමටත් තවත් අය ආගම යොදාගෙන ඇත. යමෙකු දෙවි ගැන සැබෑ සාක්ෂියක් දරණ විට ආගමේ මුවාවෙන් ලාභ ලබන එවන් අයට කෙසේ හැඟෙනවා ඇති කියාද ඔබ සිතන්නේ? ඔවුන්ට තර්ජනයක් එල්ල වී ඇතැයි කියා සිතන බවට අනුමානයක් නැත. යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන මිනිසුන් අගුණ කියනවා ඔබේ කනට ඇසෙන්න එය එක හේතුවක් විය හැකියි.
කොතරම් පාඩු විඳීමට සිදු වූවත්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් බයිබලයේ සඳහන් දේවලට කිට්ටුවෙන් ඇලී සිටී. ඔවුන් අලුතින් ආගමක් පටන්ගෙන නැත. ඔවුන් ඇත්තටම පිළිපදින්නේ, සැබෑ ආගමේ පදනම වන, ටෝරා, ගීතාවලිය හා සුවිශේෂයේ සඳහන් දෙයයි. එසේ නම් ඔවුන් විශ්වාස කරන්නේ මොනවාද? මතු දැක්වෙන්නේ ඔවුන්ගේ ඉගැන්වීම්වලින් සමහරකි. මේවායින් සත්‍යය හෙළි වනවාදැයි පරීක්ෂා කර බලන්න.
ත්‍රිත්වයක් නැත
බයිබලය ත්‍රිත්ව මූලධර්මයට අනුබල දෙන්නේ නැත. ඒ වෙනුවට, සිටින්නේ එකම සැබෑ සදාතනික දෙවිකෙනෙක් බව එහි පැවසේ. ‘අපේ දෙවි වූ යෙහෝවා එකම යෙහෝවාය.’ (ද්විතීය කථාව 6:4) ඔහු අපගේ මැවුම්කරුය. සදාකාලයෙන් සදාකාලයටම සිටින ඔහු, සර්වබලධාරී වන අතර ඔහුට සමාන කිසිවෙකු නැත. යේසුස් සර්වබලධාරී දෙවි නොවේ. යේසුස් පරිපූර්ණ මිනිසෙක් වශයෙන් මිහිපිට ජීවත් වූ අතර අසම්පූර්ණ මිනිසුන් වෙනුවෙන් තම ජීවිතය පිදුවේය. දෙවි යේසුස්ගේ ජීවිතය මිදීමේ මිලයක් ලෙස පිළිගැනීමෙන් අපහට කරුණාව පෙන්වූ අතර, ඇදහිලිවන්තයන්ට ගැළවීම ලැබෙන්නේ යේසුස් තුළිනි. මෙයයි දෙවිගේ කැමැත්ත.—ලූක් 22:42; රෝම 5:12.
අමරණීය ආත්මයක් නැත
මිනිසුන් මිය යද්දී ඔවුන්ට සිදු වන්නේ කුමක්ද? දෙවිගේ වචනයේ පවසන්නේ මෙයයි: “ජීවත්වන්නෝ තමුන් නසින්ට ඕනෑ බව දනිති. මළාහු කිසිවක් නොදනිති.” (දේශනාකාරයා 9:5) මිනිසාට අමරණීය ආත්මයක් නැත. මළවුන් සමඟ කතා කරනවායයි සිතන මිනිසුන් ඇත්තටම කතා කරන්නේ භූතයන් සමඟයි. එයාකාරයෙන්ම, මළවුන් උදෙසා කරන යාච්ඤාවලින් ඇත්තටම ප්‍රයෝජන ලබන්නේ, එම යාච්ඤා ඉදිරිපත් කිරීම වෙනුවෙන් ගෙවීමක් ලබන පූජක පක්ෂය පමණි.
නැවත නැඟිටීම
මිනිසාට තිබෙන ස්ථිර බලාපොරොත්තුව වන්නේ නැවත නැඟිටීමයි. මින් අදහස් කරන්නේ, පාරාදීසමය තත්වයකට පරිවර්තනය කර ඇති පොළොවකට මළවුන්ව නැඟිටුවාලීමයි. දෙවිට ඇදහිලිවන්තව සේවය කර ඇති අයට ඔහු ආශීර්වාද කරනු ඇත. දෙවි ගැන කිසිම දෙයක් නොදැන මිය ගිය අයට ඔහුව දැනගැනීමට අවස්ථාවක් උදා වනු ඇත. මෙසේ, “ධර්මිෂ්ඨයන්ගේද අධර්මිෂ්ඨයන්ගේද නැවත-නැගිටීමක් වන්නේය.” (ක්‍රියා 24:15) නැවත නැඟිටුවනු නොලබන්නේ අහිතකර විනිශ්චයක් ලබන අයව පමණයි.
නිරාගින්නක් නැත
ප්‍රේමනීය දෙවි කෙනෙකුට මළවුන් සදහටම දුක් විඳින තැනක් සෑදිය නොහැකිය. මිනිසුන්ව පිලිස්සීමවත්, ඔවුන්ට වධ දීමවත් “මා විසින් අණකළේවත් ඒක මාගේ සිතට පැමුණුණේවත්” නැත කියා දෙවිම ප්‍රකාශ කළේය.—යෙරෙමියා 7:31.
දෛවය කියා දෙයක් නැත
දෙවි කල්තියාම මිනිසුන්ගේ දෛවය නියම කර නැත. අප ඉපදෙන්නටත් පෙර අපේ අනාගතය නියම කරන, දෛවය ලෙසින් හඳුන්වන දෙයක් නැත. අප කරන කියන දේවල්වලටත්, අප ගන්නා තීරණවලටත් වගකිව යුත්තේ අපමය. “අප එක් එක්කෙනා තම තමා ගැන [දෙවිට] ගණන්දෙනවා ඇත.”—රෝම 14:12.
පූජක පන්තියක් නැත
දෙවිට කැප වී සිටින සියල්ලන්ම දෙවිගේ ඇස් ඉදිරියේ එක සමානය. සැබෑ නමස්කාරකයන් සියල්ලන්ම එකම සහෝදර කැලකි. දෙවි උත්තරීතර පූජක පන්තියක් ස්ථාපිත කළේ නැත. යේසුස් ඒ ගැන මෙසේ පැවසීය: “තමුන්ම උසස්කරගන්න හැමදෙනා යටත්කරනු ලබන්නෝය; තමාම යටත්කරගන්නා උසස්කරනු ලබන්නේය.” (ලූක් 18:14) ආගමේ මුවාවෙන් අනුන්ට වඩා තමන්වම උසස් කරගන්න අයට දෙවිගෙන් ලැබෙනු ඇත්තේ අහිතකර විනිශ්චයකි.—මතෙව් 23:4-12.
රූප වඳින්නේ නැත
‘දෙවි ආත්මයක්ය. දෙවිට නමස්කාර කරන්නන් විසින් ඔහුට ආත්මයෙන් හා සැබෑකමින් නමස්කාර කළ යුතුය.’ (යොහන් 4:24) සැබෑ නමස්කාරකයන් පිළිම භාවිතා කරන්නේ නැත.
දේශපාලනය සම්බන්ධයෙන් මධ්‍යස්ථභාවය
තම අනුගාමිකයන් “ලෝකයේ කොටසක් නොවන” බව යේසුස් පෙන්නුම් කළේය. (යොහන් 17:16, NW) එනිසා, යෙහෝවාගේ සාක්ෂිකරුවන් ජාතික හෝ ප්‍රාදේශීය මට්ටමෙන් පැවැත්වෙන දේශපාලන කටයුතුවලට පැටලෙන්නේ නැත. ඊට අමතරව, ඔවුන් නීති-ගරුක අයද වෙත්.—රෝම 13:1, 5-7.
උසස් සදාචාර ප්‍රමිති
යේසුස් සැබෑ නමස්කාරකයන්ව හඳුනාගත හැකි ආකාරය මෙසේ පෙන්නුම් කළේය: “මාගේ ආඥාව නම් මා නුඹලාට ප්‍රේමකළාක්මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේමකරන්නය යනුය.” (යොහන් 15:12, 13) බයිබලයේ තවත් පරිච්ඡේදයක මෙසේ දක්නට ලැබේ: “[ආත්මයේ] ඵල නම්—ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම, මෘදුකම, පමණ දැන ක්‍රියාකිරීම යන මේවාය.” (ගලාති 5:22, 23) මෙම ගුණාංග විදහාපෙන්වන අය බොරු නොකියයි. සොරකමේ, සූදුවේ හෝ දුරාචාරයේ නියැලෙන්නේ නැත. තවද ඔවුන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නේද නැත. (එපීස 4:25-28) ඔවුන් දෙවිට ප්‍රේම කරන නිසා, දෙවි පිළිකුල් කරන දේවලින් වැළකී සිටී. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ජීවිත මෙම ප්‍රතිපත්ති මගින් පාලනය වේ.
මෙම ලෝකයේ අවසානය අත ළඟය
අපේ කාලය වෙනත් කාලවලට වඩා වෙනස් වන්නේ මන්ද? ඉටු වී ඇති අනාවැකිවලින් පැහැදිලි වන්නේ, අප මේ ලෝකයේ, එනම් මේ දේවල පිළිවෙළේ අවසානයේ ජීවත් වන බවයි. (දානියෙල් 2:44, 45) අදදින අපෙන්ම ඇසිය යුතු ප්රශ්නය වන්නේ, අප කරමින් සිටින්නේ දෙවිව සතුටු කරන දේවල්ද නැද්ද යන්නයි. දෙවි කියන්නේ තනි පුද්ගලයෙකි. එනිසා තිබිය හැක්කේ එක සැබෑ ආගමක් පමණි. එම ආගම ටෝරා, ගීතාවලිය සහ සුවිශේෂයට පටහැනි යමක් විය නොහැක. එනිසා, අප අනිවාර්යයෙන්ම දෙවිගේ වචනය පරීක්ෂා කළ යුතුමයි.
යෙහෝවාගේ සාක්ෂිකරුවන් කරමින් සිටින්නේ එයයි. ඔබේ ආගම කුමක් වූවත්, ඔබත් කළ යුත්තේ එයයි. වෙන කෙනෙකුට මේ සම්බන්ධයෙන් ඔබ වෙනුවෙන් තීරණයක් ගත නොහැක. මන්දයත්, “අප එක් එක්කෙනා තම තමා ගැන [දෙවිට] ගණන්දෙන” නිසයි.—රෝම 14:12.
කිසිවෙකු යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු හැටියට ඉපදෙන්නේ නැත. මේ සම්බන්ධයෙන් සෑම සාක්ෂිකරුවෙකුම පෞද්ගලිකව තීරණයක් ගත යුතුය. සත්‍යය සොයන්නා දේවවචනය ගැඹුරින් අධ්‍යයනය කිරීමේ අවංක ප්රයත්නයක යෙදීමෙන් පසු, සත්‍යය කුමක්දැයි තේරුම්ගන්නා අතර, මෙම පදනම මත සැබෑ දෙවිට එනම්, යෙහෝවාට කැප වෙයි. ඔබත් එවන් ගවේෂණයක් කිරීමට කැමති නම් කරුණාකර මතු දැක්වෙන ලිපිනයකට ලියන්න.
ලංකා බයිබල් සමාගම 1995දී සංශෝධනය කළ 1938 ප්‍රතිසංස්කෘත පරිවර්තනය මෙහි විශේෂිතව සඳහන් වී නොමැති තැන්හි භාවිත කර ඇත. NW යනු ශුද්ධ ලියවිලිවල නව ලෝක පරිවර්තනයයි (ඉංග්‍රීසියෙන්).
[පාදසටහන]
a ඉස්ලාම් භක්තිකයෙකුගේ ඇසින් බලන කල, බයිබලයේ අන්තර්ගත වී තිබෙනවාය කියා ඔවුන් පිළිගන්නේ ටෝරා යනුවෙන් හැඳින්වෙන පොත් කිහිපය, ගීතාවලිය හා සුවිශේෂය පමණයි. අවම වශයෙන් ගත් කල, කුරානයේ පද 64කවත් මෙම පොත් කිහිපය දෙවිගේ වචනය ලෙසින් හඳුන්වන අතර මේවා කියවීමටත්, එහි සඳහන් අණපනත් ක්‍රියාවට නැංවීමටත් එහි දිරිගන්වා ඇත. සමහරුන් තරයේ කියා සිටින්නේ ටෝරා, ගීතාවලිය හා සුවිශේෂය වෙනස් කර ඇති බවයි. කොහොම වුණත්, එසේ පැවසීමෙන් කුරානයේ සඳහන් වදන් ඔවුන් සම්පූර්ණයෙන්ම නොසලකා හරිමින් සිටින අතර, එය හරියට දෙවිට තමාගේ වචනය රක්ෂා කිරීමට නොහැකියි කියා පවසනවාටද සමානයි.