මේ ලෝකය විනාශ වෙයිද?
මේ ලෝකය යම් දවසක විනාශ වෙයි කියා බොහෝදෙනෙක් පවසනවා ඔබ අසා ඇති. න්‍යෂ්ටික යුද්ධයකින් මේ ලෝකය විනාශ වෙයි කියා බියක් බොහෝදෙනෙක් තුළ තිබෙනවා. පරිසර දූෂණයෙන් ලෝකය විනාශ වෙයි කියා තවත් සමහරුන් සිතනවා. දරුණු ආර්ථික ප්‍රශ්න නිසා මිනිසුන් එකිනෙකාට එරෙහි වී එකිනෙකාව විනාශ කර ගනියි කියා සිතන අයද සිටිනවා.
ඇත්තටම මේ ලෝකය විනාශ වෙයිද? ලෝකය විනාශ වෙනවා නම් එය විනාශ වන්නේ මොන වගේ විනාශයකින්ද? මීට පෙර කවදා හෝ දවසක මේ ලෝකය විනාශ වුණාද?
දුෂ්ට ලෝකයක විනාශය
එක් කාලයක මේ ලෝකය ඇත්තටම විනාශ වුණා. ඒ නෝවාගේ දවස්වලදීයි. ඒ කාලයේ ලෝකයේ තිබුණේ දුෂ්ට මිනිසුන් ජීවත් වූ කුරිරු සමාජයක්. “එකල තිබුණු ලෝකය ජලගැල්මට යට වී විනාශ වූ බව” බයිබලයේ පවසනවා. ඒ ගැන විස්තර කරමින් එහි වැඩිදුරටත් පවසන්නේ “පුරාණ ලෝකයකට [දෙවි] දඬුවම් කිරීමෙන් නොවැළකී අභක්තිකයන්ගෙන් යුත් ලෝකයක් පිට ජලගැල්මක් ගෙන ආ කල, ඔහු ධර්මිෂ්ඨකම ගැන දේශනා කරන්නෙකු වූ නෝවාව තව සත්දෙනෙකු සමඟ ආරක්ෂා කළේය” කියායි.—2 පේතෘස් 2:5; 3:6.
එදා තිබූ ලෝකය විනාශ වුණා කීමෙන් අදහස් කරන්නේ මිනිස් සංහතිය මුළුමනින්ම විනාශ වූ බව නෙවෙයි. ඒ විනාශයෙන් නෝවා සහ ඔහුගේ පවුලේ අය බේරුණා. ඒ වගේම පෘථිවි ග්‍රහයාවත් අලංකාර තරුවලින් පිරි අහසවත් විනාශ වුණේ නැහැ. ඒත් විනාශ වූයේ “අභක්තිකයන්ගෙන් යුත් ලෝකයක්” ලෙස හැඳින්වූ එවකට පැවති දුෂ්ට මිනිස් සමාජයයි.
ඒ විනාශයෙන් පසු නෝවාගෙන් පැවතෙන්නන්ගෙන් අලුත් මිනිස් සමාජයක් බිහි වුණා. මෙම සමාජය හෙවත් ලෝකය අපේ කාලය දක්වාම පැවත තිබෙනවා. මෙසේ බිහි වූ ලෝකයේ ඉතිහාසය යුද්ධ, අපරාධ, හා ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පිරී තිබෙනවා. මේ ලෝකයට කුමක් සිදු වෙයිද? එයත් විනාශ වෙයිද?
මේ ලෝකයේ අනාගතය
නෝවාගේ කාලයේ පැවති ලෝකයේ විනාශය ගැන සඳහන් කිරීමෙන් පසු බයිබලයේ මෙසේ පවසනවා. “දැන් තිබෙන අහසත් පොළොවත්, ගින්නෙන් දවාලීම සඳහා . . . තබා තිබේ.” (2 පේතෘස් 3:7) තවද අද පවතින “ලෝකයත් . . . පහවයන්නේය” කියාද බයිබලයේ තවත් තැනක සඳහන් වෙනවා.—1 යොහන් 2:17.
ඉන් අදහස් කරන්නේ අපි මේ දකින අහස හා පොළොව විනාශ වෙනවා කියා නොවෙයි. මේ බව අප දන්නේ නෝවාගේ දවස්වල තිබූ අහස හා පොළොව විනාශ නොවුණ නිසයි. (ගීතාවලිය 104:5) මෙහිදී අහස කීමෙන් අදහස් කරන්නේ සාතන්ගේ බලපෑම යටතේ තිබෙන පාලන ක්‍රමවලටයි. පොළොව කීමෙන් අදහස් කරන්නේ මිනිස් සමාජයටයි. ඒවා ගින්නෙන් විනාශ වන්නාක් මෙන් සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. (යොහන් 14:30; 2 කොරින්ති 4:4) ජල ගැල්මට පෙර තිබූ ලෝකය හෙවත් දුෂ්ට මිනිස් සමාජය විනාශ වූවාක් මෙන් වර්තමාන දුෂ්ට මිනිස් සමාජයත් විනාශ වීමට නියමිතයි. මේ විනාශයට කලින් සිදු වන දේවල් “නෝවාගේ දවස්වල” සිදු වූ දේවලට සමාන බව යේසුස් පැවසුවා.—මතෙව් 24:37-39.
යේසුස් නෝවාගේ දවස් ගැන කථා කළේ, “ඔබගේ ඊමටත් ලෝකාන්තිමයටත් ලකුණු කිමෙක්දැයි” ඔහුගේ ගෝලයන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අවස්ථාවේදීයි. (මතෙව් 24: 3 පැරණි අනුවාදය) මේ ලෝකය හෙවත් දුෂ්ට මිනිස් සමාජය විනාශ වන බව යේසුස්ගේ ගෝලයන් පවා දැනගෙන සිටියා. ඔවුන් ඒ ගැන බියට පත් වුණාද?
ලෝකයේ අවසානයට පෙර සිදු වන සිද්ධීන් ගැන යේසුස් විස්තර කළ අවස්ථාවේදී “ඔබේ ගැලවීම ළඟ” නිසා ප්‍රීති වෙන්න කියා ඔහුගේ ගෝලයන්ට පැවසුවා. (ලූක් 21:28) ගැලවීමෙන් අදහස් කරන්නේ සාතන් සහ ඔහුගේ පාලනය යටතේ තිබෙන දුෂ්ට සමාජයේ විනාශයෙන් බේරී සාමකාමී නව ලෝකයක ජීවත් වීමයි.—2 පේතෘස් 3:13.
එහෙත් මේ දුෂ්ට ලෝකය විනාශ වන්නේ කවදාද? යේසුස්ගේ “ඊමටත් ලෝකාන්තිමයටත්” ඔහු දුන් “ලකුණු” මොනවාද?
“ලකුණු”
මෙහි “ඊම” කියා පරිවර්තනය කර තිබෙන ග්‍රීක වචනයෙන් (පරූසියා) අදහස් කරන්නේ “පැමිණ සිටීම” යන්නයි. “ලකුණු” දකින විට ඉන් අදහස් කරන්නේ යේසුස් ඉක්මනින්ම පැමිණෙවා කියා නොව, නමුත් ඔහු දැනටමත් පැමිණ සිටින බවයි. යේසුස් දැනටමත් පැමිණ සිටිනවා කියා පවසන්නේ ඔහු ස්වර්ගයේ රජෙකු වශයෙන් අදෘශ්‍යමාන ලෙස පාලනය කරන්නට පටන් ගෙන තිබෙන නිසයි. ඔහු ඉක්මනින් ඔහුගේ සතුරන්ව විනාශ කර දමනවා.—එළිදරව් 12:7-12; ගීතාවලිය 110:1, 2.
යේසුස් දුන් ‘ලකුණුවලට’ ලෝක සිද්ධීන් සහ තත්වයන් කිහිපයක් ඇතුළත් වෙනවා. මේවා දැකිය හැක්කේ බයිබලයේ “අන්තිම දවස්” කියා හඳුන්වා තිබෙන කාල පරිච්ඡේදය අතරතුරේදීයි. (2 තිමෝති 3:1-5; 2 පේතෘස් 3:3, 4) “අන්තිම දවස්වල” සිදු වන බවට යේසුස් පුරෝකථනය කළ සමහර සිදුවීම් කිහිපයක් සලකා බලමු.
“ජාතියක් ජාතියකට විරුද්ධවද රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවද නැඟී සිටිනු ඇත.” (මතෙව් 24:7) නවීන කාලවලදී සිදු වූ යුද්ධ පෙර කවරදාටත් වඩා මහ පරිමාණයකින් සිදු වී තිබෙනවා. එක් ඉතිහාසඥයෙක් මෙසේ පැවසුවා: ‘වර්ෂ 1914දී ආරම්භ වූ පළමු ලෝක මහ යුද්ධය ජාතීන් රැසක් එකතු වී කළ දරුණු යුද්ධයක් වුණා.’ එහෙත් දෙවන ලෝක මහ යුද්ධය ඊටත් වඩා බොහෝ සෙයින් විනාශකාරී එකක් වුණා. යුද්ධ නිසා පොළොව දිගටම විනාශ වෙයි. මෙයින් පෙනී යන්නේ යේසුස් පැවසූ වචන ඉටු වී තිබෙන බවයි.
“ආහාර හිඟකම්ද . . . සිදු වනවා ඇත.” (මතෙව් 24:7) වාර්තාගත වී තිබෙන දරුණුතම සාගතය සිදු වුණේ පළමු ලෝක මහ යුද්ධයෙන් පසුව විය හැකියි. දෙවන ලෝක මහ යුද්ධයට පසුවද දරුණු සාගතයක් ඇති වුණා. මන්දපෝෂණය නිසා සෑම වසරකම දරුවන් මිලියන 14ක් පමණ මිය යන අතර ලෝක ජනගහනයෙන් පහෙන් එකකට එය බලපානවා. “ආහාර හිඟකම්” ඉතිහාසය පුරා වාර්තා වී තිබෙනවා.
“මහත් භූමිකම්පාද . . . වන්නේය.” (ලූක් 21:11) සමස්තයක් වශයෙන් ගත් කල භූමිකම්පා නිසා පසුගිය ශතවර්ෂවල මිය ගිය සංඛ්‍යාව මෙන් දහ ගුණයක් 1914 සිට මිය ගොස් තිබෙනවා. ඉන් ප්‍රධාන ඒවා කිහිපයක් සලකා බලන්න. භූමිකම්පා නිසා 1920දී චීනයේ 2,00,000ක්ද 1923දී ජපානයේ 99,300ක්ද මිය ගියා. වර්ෂ 1939දී තුර්කියේ 32,700ක්ද 1970දී පේරුහි 66,800ක්ද, 1976දී චීනයේ 2,40,000ක්ද (හෝ, ඇතැම් මූලාශ්‍රවලට අනුව, 8,00,000ක්) භූමිකම්පාවලට ගොදුරු වුණා. ඇත්තෙන්ම මේවා “මහත් භූමිකම්පා” කියා පැවසිය හැකියි.
“එක් තැනක් පාසා තවත් තැනක වසංගත . . . ඇති වන්නේය.” (ලූක් 21:11) පළමු ලෝක මහ යුද්ධය අවසන් වනවාත් සමඟම ස්පාඤ්ඤ උණෙන් මිලියන 21ක් පමණ ජනයා මිය ගියා. එක් මූලාශ්‍රයක (සයන්ස් ඩයිජස්ට්) මෙසේ වාර්තා කළා: “මේ තරම් වේගයෙන් හා දරුණු ලෙස මිනිසුන්ව මරා දැමූ වසංගතයක් ඉතිහාසයේ කිසි කලක සිදු වී නැහැ.” එතැන් පටන් හෘදයාබාධ, පිළිකා, ඒඩ්ස්, සහ වෙනත් දරුණු රෝග නිසා මිලියන සිය ගණනක් මිය ගොස් තිබෙනවා.
‘නීති විරෝධී ක්‍රියා වැඩි වෙයි.’ (මතෙව් 24:12) වර්ෂ 1914 සිට මේ ලෝකය අපරාධවලින් හා ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පිරී තිබෙනවා. බොහෝ රටවල දහවල් කාලයේදී පවා බියක් සැකක් නැතිව ගමන් කිරීමට නොහැකි වී තිබෙනවා. රාත්‍රි කාලයෙදී ජනයා ගමන් බිමන් යෑමට බියක් දක්වන අතර ඔවුන් දොරගුලු ලා ගෙන නිවෙස්වලට වී සිටිනවා.
තවත් බොහෝ දේවල් අන්තිම දවස්වලදී සිදු වන බවට පුරෝකථනය කර තිබෙන අතර මේ සියල්ලම දැන් ඉටු වෙමින් පවතිනවා. මින් අදහස් කරන්නේ ලෝක විනාශය ළඟ බවයි. එහෙත් මේ විනාශයෙන් සමහරුන් බේරී ජීවත් වෙනවා. “ලෝකය පහවී යන්නේය” කියා සඳහන් කිරීමෙන් පසු බයිබලය මෙසේ පොරොන්දු වී තිබෙනවා. “දෙවිගේ කැමැත්ත කරන්නා සදහටම පවතින්නේය.”—1 යොහන් 2:17.
එනිසා දෙවිගේ කැමැත්ත ඉගෙන ගෙන එය කිරීම අවශ්‍යයි. එවිට මේ ලෝකයේ විනාශයෙන් බේරී දෙවිගේ නව ලෝකයේ ආශීර්වාද සදාකාලයටම භුක්ති විඳීමට අපට පුළුවන්. බයිබලය මෙසේ පොරොන්දු කර තිබෙනවා. ඒ කාලයේදී “ඔහු [දෙවි] ඔවුන්ගේ [මිනිසුන්ගේ] ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය.”—එළිදරව් 21:3, 4.
ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ පද රැගෙන තිබෙන්නේ ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනයෙනි. හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ පද රැගෙන තිබෙන්නේ ලංකා බයිබල් සමාගම මගින් 1916දී පළ කරන ලද ශුද්ධ බයිබලයේ සංශෝධිත පිටපතකිනි. වෙනත් බයිබල් අනුවාදවලින් පද රැගෙන තිබෙන විට ඒ බව සඳහන් කර ඇත.
[6වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Photo Credits: Airplane: USAF photo. Child: WHO photo by W. Cutting. Earthquake: Y. Ishiyama, Hokkaido University, Japan.