129වෙනි පරිච්ඡේදය
පෙනී සිටින තවත් අවස්ථා
ගෝලයන් තවමත් සිටින්නේ දුකින්. සොහොන් ගෙය හිස්ව තිබීමට හේතුව ඔවුන් වටහාගෙන නැහැ. ඒ වගේම, ස්ත්‍රීන් ඔවුන්ට දැනුම් දෙන දේවල් ඔවුන් විශ්වාස කරන්නෙත් නැහැ. ඉරු දින සවස ළං වෙත්ම, ක්ලෙයෝපස් හා තවත් ගෝලයෙක් යෙරුසලමෙන් පිට වී කිලෝමීටර් 11ක් පමණ දුරින් පිහිටි එම්මාවුස් කියන නගරයට ගමන් කරනවා.
ඔවුන් ගමන් ගන්නා අතරතුරේදී සාකච්ඡා කරමින් සිටින්නේ එදින සිදුවීම් ගැනයි. එවිට අමුත්තෙක් ඔවුන්ට එකතු වී මෙසේ අසනවා. “ඔබ වාද කරමින් යන්නේ කුමන කාරණා ගැනද?”
එවිට දුක්මුසු මුහුණින් සිටින ගෝලයන් මඟ නතර වෙනවා. ඔවුන්ගෙන් එක් කෙනෙකු වන ක්ලෙයෝපස් පිළිතුරු දෙන්නේ මෙසේයි. “ඔබ යෙරුසලමේ තනිවම වාසය කරන අමුත්තෙක්ද? මේ දවස්වල යෙරුසලමේ සිදු වී තිබෙන දේවල් ඔබ නොදැන සිටින්නේ ඒ නිසාද?” එවිට අමුත්තා, “කුමන දේවල්ද” යනුවෙන් අසනවා.
“නාසරිය යේසුස් පිළිබඳ දේවල්” යනුවෙන් ඔවුන් පිළිතුරු දෙනවා. ඔවුන් තවදුරටත් පවසන්නේ මෙලෙසයි. “අපේ නායක පූජකයන් සහ පාලකයන් ඔහුව මරණ දණ්ඩනයට භාර දී කණුවක ඇණ ගැසූ ආකාරය ගැනත් කතා කළෙමු. නමුත් ඊශ්‍රායෙලය මුදාගැනීමට නියමිත තැනැත්තා ඔහුයයි අපි බලාපොරොත්තුවෙන් සිටියෙමු.”
ආශ්චර්යවත් ලෙස දේවදූතයන් පෙනී සිටීම හා සොහොන් ගෙය හිස්ව තිබීම යන කාරණා ඇතුළු එදින සිදු වූ පුදුමසහගත දේවල් ගැන ක්ලෙයෝපස් හා ඔහුගේ මිතුරා ඔහුට විස්තර කරනවා. නමුත් ඔවුන් පිළිගන්නවා මේ සිදුවීම්වල අර්ථය කිසිසේත් තේරුම්ගත නොහැකි බව හා ඔවුන් විස්මයට පත් වී සිටින බව. එවිට අමුත්තා ඔවුන්ට මෙසේ තරවටු කරනවා. “අනාගතවක්තෘවරුන් පැවසූ සියල්ල කෙරෙහි විශ්වාසය තබන්න සිතින් ප්‍රමාද වන අඥාන වූ තැනැත්තෙනි! ක්‍රිස්තුස් ඒ දේවල් විඳින්නත් පසුව තම තේජසට පැමිණෙන්නත් අවශ්‍යව තිබුණා නොවේද?” ඉන්පසු, ඔහු ක්‍රිස්තුස් පිළිබඳව සඳහන් ශුද්ධ ලියවිලි පාඨවල අර්ථය ඔවුන්ට පහදා දෙනවා.
ඔවුන් එම්මාවුස් වෙතට ළඟා වන විට අමුත්තා ඔවුන්ගෙන් වෙන් වී වෙනත් දිශාවකට ගමන් කිරීමට සූදානම් වෙනවා. ඒත් තවත් තොරතුරු දැනගැනීමට කැමතිව සිටින ගෝලයන් ඔහුට පෙරැත්ත කරන්නේ මෙසේයි. “දැනටමත් දවස ගෙවී සවස් වේගන එන නිසා අප සමඟ නැවතී සිටින්න.” ඉතිං, ඔහු නැවතී ඔවුන් සමඟ කෑම වේලක් ගන්නවා. ඔහු යාච්ඤා කර රොටි කඩා ඔවුන්ට දෙන විට ඔවුන් විගස තේරුම්ගන්නවා ඔහු ඇත්තටම මනුෂ්‍ය ශරීරයකින් මූර්තිමත් වී පෙනී සිටින යේසුස් බව. එහෙත් හදිසියේම ඔහු නොපෙනී යනවා.
අමුත්තාට ඒ තරම් හොඳ දැනුමක් තිබුණේ කොහොමද කියා ඔවුන්ට දැන් වැටහෙනවා! ඔවුන් එකිනෙකාට මෙසේ පවසනවා. “ඔහු අප සමඟ මඟදී කතා කරද්දීත්, ශුද්ධ ලියවිලි හොඳාකාරයෙන් පහදා දෙද්දීත් අපේ සිත් දැවුණා නොවේද?” ඔවුන් ප්‍රමාද නොවී ආපසු යෙරුසලම බලා ගමන් කරන අතර එතැනදී, ඔවුන්ට ප්‍රේරිතයන්ව හා ඔවුන් සමඟ එක්රැස්ව සිටින අයව මුණ ගැසෙනවා. ක්ලෙයෝපස් හා ඔහුගේ මිතුරාගේ මුවින් වචනයක්වත් පිට වෙන්න කලින්, අනික් අය මහත් උද්‍යෝගයකින් කියා සිටින්නේ මෙසේයි. “සැබවින්ම ස්වාමීන් මළවුන්ගෙන් නැඟිටුවනු ලැබීය. ඔහු සීමොන්ට පෙනුණේය!” එවිට යේසුස් තමන්ටත් පෙනුණ ආකාරය මොවුන් දෙදෙනා විස්තර කරනවා. මේ දැන් යේසුස් එම දවස ඇතුළත තම ගෝලයන්ට පෙනී සිටි සතරවන වතාවයි.
එවිට, යේසුස් එකපාරටම පස්වන වතාවටත් පෙනී සිටිනවා. ගෝලයන් යුදෙව්වරුන්ට භයෙන් සිටින නිසා දොරවල් අගුලු දමා වසා තිබෙනවා. ඒත් යේසුස් ගෙට ඇතුල් වී ඔවුන් මැද සිටගෙන පවසන්නේ මෙයයි. “ඔබට සමාදානය වේවා!” ඔවුන් අවතාරයක් දුටුවායයි සිතමින් ගෝලයන් හොඳටම භය වෙනවා. ඉතිං, තමා අවතාරයක් නොවන බව පැහැදිලි කරමින් ඔහු පවසන්නේ මෙසේයි. “ඔබ කලබල වී සිටින්නේ ඇයි? ඔබේ සිත්වල සැකයන් ඇති වන්නේ ඇයි? මාගේ අත් පා දෙස බලන්න. මේ මා බව තේරුම්ගන්න. මාව අතගා බලන්න. ඔබට පෙනෙන ලෙස ඇට මස් සහිත සිරුරක් මට ඇත. ආත්මයෙකුට එවැන්නක් නැත.” ඒත් ඔවුන් විශ්වාස කරන්නේ නැහැ.
ඔහු ඇත්තෙන්ම යේසුස් බව ඔවුන්ට ඒත්තුගැන්වීමට ඔහු මෙසේ අසනවා. “ඔතැන කෑමට යමක් ඔබ ළඟ තිබේද?” ඔවුන් ළඟ තිබූ පිලිස්සූ මාළු කෑල්ලක් අතට ගෙන කෑමෙන් අනතුරුව ඔහු මෙසේ පවසනවා. “[මාගේ මරණයට පෙර] මා ඔබ සමඟ සිටියදී ඔබට පැවසූ මාගේ වදන් මේය. එනම් මෝසෙස්ගේ නීතියේත් අනාගතවාක්‍යයේත් ගීතාවලියේත් මා ගැන ලියා තිබෙන සියල්ල ඉටු විය යුතුය.”
යේසුස් බයිබල් පාඩමක් පවත්වන්නාක් මෙන් දිගින් දිගටම ඔවුන්ට මෙසේ උගන්වනවා. “ක්‍රිස්තුස් වධ විඳ තුන්වන දා මළවුන්ගෙන් නැඟිටින බව ලියා තිබේ. තවද, ඔහුගේ නාමයෙන් පව්වලට සමාව ලබාගැනීමට අවශ්‍ය පසුතැවිල්ල ගැන යෙරුසලමේ පටන් සියලු ජාතීන්ට දේශනා කරනු ලැබේ. ඔබ මේ දේවල් ගැන සාක්ෂිකරුවෝ වන්නහුය.”
යම් හේතුවක් නිසා ඉරු දින සවස පැවැත්වෙන මේ අතිවැදගත් රැස්වීමට තෝමස් පැමිණ සිටියේ නැහැ. ඉතිං ඊට පසු දවස්වලදී, අනික් ගෝලයන් “අපි ස්වාමීන්ව දුටුවෙමු” කියා මහත් ප්‍රීතියෙන් ඔහුට පවසනවා.
නමුත් තෝමස් සැක පළ කරමින් පවසන්නේ, “මා ඔහුගේ අත්වල ඇණ සලකුණු දැක, ඒ සලකුණුවලට මගේ ඇඟිල්ල තබා, මගේ අත ඔහුගේ ඇලයට තබා බැලුවොත් මිස, නැත්නම් මම කොහෙත්ම විශ්වාස නොකරමි” කියායි.
දින අටකට පසු ගෝලයන් නැවත වරක් ගෙයක එක්රැස් වෙනවා. මේ වතාවේදී නම් තෝමස් ඔවුන් සමඟ ඉන්නවා. දොරවල් අගුලු දමා වසා තිබුණත් යේසුස් නැවත වරක් ඔවුන් මැද සිටගෙන පවසන්නේ “ඔබට සමාදානය වේවා!” යනුවෙනුයි. ඉන්පසු ඔහු තෝමස් වෙතට හැරී මෙසේ ආරාධනා කරනවා. “ඔබේ ඇඟිල්ල මෙතැනට තබා මගේ අත් බලන්න. ඔබේ අත මාගේ ඇලයට තබන්න. මෙතැන් පටන්, අවිශ්වාස නොකර විශ්වාස කරන්න.”
එවිට තෝමස් එකපාරටම ඉතා හැඟීම්බරව පවසන්නේ මෙසේයි. “මාගේ ස්වාමිනි, මාගේ දෙවියනි!”
එවිට යේසුස් මෙසේ පවසනවා. “ඔබ විශ්වාස කරන්නේ මාව දුටු නිසාද? නුදුටු නමුත් විශ්වාස කරන අය සන්තෝෂවත්ය.” ලූක් 24:11, 13-48; යොහන් 20:19-29; NW.
▪ එම්මාවුස්ට ගමන් කරමින් සිටින ගෝලයන් දෙදෙනෙකුගෙන් අමුත්තෙක් අසන්නේ කුමක්ද?
▪ ගෝලයන්ගේ සිත් දැවෙන්නේ අමුත්තා පවසන කුමන දේවල් නිසාද?
▪ අමුත්තා කවරෙකුද කියා ගෝලයන් වටහාගන්නේ කෙසේද?
▪ ක්ලෙයෝපස් හා ඔහුගේ මිතුරා ආපසු යෙරුසලමට පැමිණි විට, ඔවුන්ට අසන්ට ලැබෙන උද්‍යෝගිමත් ආරංචිය කුමක්ද?
▪ යේසුස් පස්වන වතාවටත් තම ගෝලයන්ට පෙනී සිටින්නේ කෙසේද? එවිට සිදු වන්නේ කුමක්ද?
▪ යේසුස් පස්වන වතාවටත් පෙනී සිටීමෙන් අනතුරුව අට දවසක් ගෙවුණු පසු සිදු වන්නේ කුමක්ද? යේසුස් ජීවමානව සිටින බව තෝමස්ට ඒත්තු යන්නේ කුමක් නිසාද?