128වෙනි පරිච්ඡේදය
යේසුස් ජීවමානයි!
යේසුස්ගේ සොහොන් ගෙය හිස් බව ස්ත්‍රීන් දකින විට, මරියා මග්දලේනා පේතෘස් හා යොහන් වෙතට දිව යන්නේ ඒ බව දැනුම් දීමටයි. අනික් ස්ත්‍රීන් නම් සොහොන් ගෙය අසලම රැඳී සිටින බව පැහැදිලියි. කෙටි වේලාවකින් පසු, ඔවුන් ඉදිරියේ දේවදූතයෙකු පෙනී සිටිනවා. ඔහු ඔවුන්ට ආරාධනා කරනවා ඇතුළට එන්න කියා.
ඇතුළට යද්දී ස්ත්‍රීන් තවත් දේවදූතයෙකුව දකිනවා. එක් දූතයෙක් ඔවුන්ට පවසන්නේ මෙසේයි. “බිය නොවන්න. කණුවක ඇණ ගසන ලද යේසුස්ව ඔබ සොයන බව මම දනිමි. ඔහු මෙහි නැත. ඔහු කී ලෙසම, ඔහුව මළවුන්ගෙන් නැඟිටුවනු ලැබීය. ඇවිත් ඔහු සැතපී සිටි ස්ථානය බලන්න. ඉක්මනින් ගොස් ඔහුව මළවුන්ගෙන් නැඟිටුවනු ලැබූ බව ඔහුගේ ගෝලයන්ට කියන්න.” භයෙන් සහ මහත් ප්‍රීතියකින් යුතුව මෙම ස්ත්‍රීන්ද දුව යනවා.
මේ වන විට, මරියාට පේතෘස්ව හා යොහන්ව හමු වෙලා. ඇය ඔවුන්ට මෙසේ වාර්තා කරනවා. “ඔවුන් සොහොන් ගෙයින් ස්වාමීන්ව ඉවතට ගෙන ගොස් තිබේ. ඔවුන් ඔහුව තැන්පත් කළේ කොතැනදැයි අපි නොදනිමු.” විගසම, ප්‍රේරිතයන් දෙදෙනා සොහොන් ගෙය වෙතට දිව යනවා. පෙනෙන විදිහට, යොහන් පේතෘස්ට වඩා තරුණයි. ඔහු පේතෘස්ට වඩා වේගයෙන් දිව යන අතර ඔහුට කලින් සොහොන් ගෙය ළඟට පැමිණෙනවා. මේ වන විට ස්ත්‍රීන් එතැනින් පිටත් වී ගිහින්. අවට කිසිවෙකු දැකගන්න නැහැ. යොහන් සොහොන් ගෙය තුළට එබී බලද්දී රෙදි පටි දකිනවා. එහෙත් ඔහු ඇතුළට යන්නේ නැහැ.
පේතෘස් එතැනට පැමිණි විගසම සොහොන් ගෙය ඇතුළට යන්නේ කිසිම පසුබෑමකින් තොරවයි. ඔහු රෙදි පටිත් යේසුස්ගේ හිස මත තිබූ රෙදි කඩත් දකිනවා. එම රෙදි කඩ අකුළා තබා තිබෙන්නේ වෙනම තැනකයි. යොහනුත් දැන් සොහොන් ගෙට ඇතුල් වන අතර මරියා වාර්තා කළ දේවල් ඔහු විශ්වාස කරන්න පටන්ගන්නවා. එහෙත් යේසුස් තමා නැවත නැඟිටීමට යන බව කිහිප වතාවක්ම ඔවුන්ට කියා තිබුණත් එසේ සිදු වී ඇති බව පේතෘස්වත් යොහන්වත් වටහාගෙන නැහැ. සිදු වී ඇති දේ තේරුම්ගත නොහැකිව ඔවුන් දෙදෙනා ආපසු තම නිවෙස් බලා යනවා. නමුත් සොහොන් ගෙට ආපසු පැමිණ සිටින මරියා එතැනම රැඳී සිටිනවා.
මේ අතරතුරේදී දේවදූතයන්ගේ අණ පරිදි, අනික් ස්ත්‍රීන් කඩිමුඩියේ ගෝලයන් වෙතට ගමන් කරන්නේ යේසුස් නැවත නැඟිට ඇති බව දැනුම් දීමටයි. ඔවුන් පුළුවන් තරම් වේගයෙන් ගමන් කරනවා. අතරමඟදී ඔවුන්ට යේසුස්ව මුණ ගැසෙන අතර ඔහු “සුබ දවසක් වේවා” යනුවෙන් ඔවුන්ට පවසනවා. ඔවුන් විගසම යේසුස්ගේ පාද ඉදිරියේ වැඳ වැටෙනවා. එවිට යේසුස් මෙලෙස පවසනවා. “බිය නොවන්න! ගොස් මාගේ සහෝදරයන්ට දන්වන්න. එවිට ඔවුහු ගලීලයට යන්නෝය. එහිදී ඔවුහු මාව දකින්නෝය.”
මීට කලින් භූමිකම්පාව ඇති වී දේවදූතයන් පෙනී සිටි විට, මුර කරමින් සිටි හේවායන් අන්දුන්කුන්දුන් වී ගල් ගැසී බලා සිටියා. ඔවුන් යථා තත්වයට පැමිණි විගසම නුවරට ගොස් සිදු වූ දෙය නායක පූජකයන්ට දැනුම් දෙනවා. යුදෙව්වරුන්ගේ “වැඩිමහල්ලන්” සාකච්ඡා කළ පසු තීරණය කරන්නේ ඇත්ත සැඟවීම සඳහා හේවායන්ට අල්ලසක් දෙන්නයි. “‘ඔහුගේ ගෝලයෝ රාත්‍රියෙහි ඇවිත් අප නිදා සිටියදී ඔහුව සොරාගෙන ගියෝය’ යි කියන්න” යනුවෙන් ඔවුන්ට අණ කරනු ලැබුවා.
රෝම හේවායන් තම මුරපොළේ සිටියදී නින්දට වැටුණොත් ඔවුන්ට මරණ දඬුවම පවා නියම විය හැකියි. ඒ නිසා පූජකයන් හේවායන්ට මෙසේ පොරොන්දු වෙනවා. “මෙය [ඔබ නිදා සිටිය බව] ආණ්ඩුකාරයාට ආරංචි වුණොත්, අපි ඔහු සමඟ එය බේරුමක් කරගෙන, ඔබට කරදරයක් වන්න ඉඩ නොතබන්නෙමු.” අල්ලස් මුදල විශාල එකක් වූ නිසා හේවායන් තමන්ට අණ කළ පරිදි කටයුතු කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, යේසුස්ගේ දේහය සොරකම් කළ බවට වූ බොරු ආරංචිය යුදෙව්වරුන් අතරේ පුළුල්ව පැතිරුණා.
සොහොන් ගෙය ළඟ රැඳී සිටි මරියා මග්දලේනා දැඩි සේ ශෝකයට පත් වී අඬමින් සිටිනවා. යේසුස් සිටින්නේ කොහේද? සොහොන් ගෙය තුළට එබී බලද්දී, ඇය සුදු වස්ත්‍ර පැළඳ සිටින දේවදූතයන් දෙදෙනාව දකිනවා! ඔවුන් නැවත එතැනට පැමිණ සිටිනවා. එක් කෙනෙක් යේසුස්ගේ දේහය තිබූ තැනෙහි හිස ළඟද අනික් කෙනා පාද ළඟද ඉඳගෙන ඉන්නවා. “ස්ත්‍රිය, ඔබ හඬන්නේ මන්ද” කියා ඔවුන් අසනවා.
ඇය පිළිතුරු දෙන්නේ මෙලෙසයි. “ඔවුන් මාගේ ස්වාමීන්ව රැගෙන ගොස් ඇත. ඔවුන් ඔහුව තැන්පත් කළේ කොතැනදැයි මම නොදනිමි.” ඉන්පසු, ඇය හැරී බලද්දී, තවත් කෙනෙකුව දකින අතර ඔහුද “ස්ත්‍රිය, ඔබ හඬන්නේ මන්ද? ඔබ සොයන්නේ කාවද” කියා අසනවා.
ඔහු සොහොන් ගෙය පිහිටා තිබෙන වත්තේ භාරකරුවායයි සිතමින් ඇය පවසන්නේ මෙසේයි. “මහත්මයාණෙනි, ඔබ ඔහුව ගෙන ගියා නම්, ඔහුව තැන්පත් කළේ කොතැනකද කියා මට කියන්න. මම ඔහුව රැගෙන යන්නෙමි.”
එම තැනැත්තා “මරියා” යනුවෙන් පවසද්දී, ඔහු කතා කරන ස්වභාවයෙන්ම ඒ යේසුස් බව ඇය විගස වටහාගන්නවා. ඇය දැඩි උද්‍යෝගයකින් “රබ්බෝනි!” (එනම් “ගුරුතුමෙනි!”) යනුවෙන් පවසමින් නිම කරන්න බැරි ප්‍රීතියකින් ඔහුව වැලඳගන්නවා. නමුත් යේසුස් ඇයට පවසන්නේ මෙසේයි. “මාව අත්හරින්න. මන්ද මා තවමත් පියාණන් වෙතට නැංගේ නැත. නමුත් ඔබ මාගේ සහෝදරයන් වෙතට ගොස්, ‘මම මාගේ පියාණන් හා ඔබේ පියාණන්ද මාගේ දෙවි හා ඔබේ දෙවිද වෙතට නඟිමි’ කියා ඔවුන්ට කියන්න.”
මරියා දැන් ප්‍රේරිතයන් හා සෙසු ගෝලයන් රැස්ව සිටින ස්ථානය වෙතට දුව යනවා. නැවත නැඟිටුවන ලද යේසුස්ව තමන් දුටුවායයි අනෙකුත් ස්ත්‍රීන් දැනටමත් වාර්තා කරලයි තියෙන්නේ. මරියා දැන් ඇගේ අද්දැකීමත් විස්තර කරනවා. එහෙත්, කලින් වාර්තාව ගෙනා ස්ත්‍රීන්ව විශ්වාස නොකළාවූ මේ පුරුෂයන් මරියාගේ වාර්තාවත් පිළිගන්නේ නැති බව පෙනේ. මතෙව් 28:3-15; මාක් 16:5-8; ලූක් 24:4-12; යොහන් 20:2-18; NW.
▪ සොහොන් ගෙය හිස් බව දුටු විට මරියා මග්දලේනා කරන්නේ කුමක්ද? අනික් ස්ත්‍රීන්ගේ අද්දැකීම කුමක්ද?
▪ සොහොන් ගෙය හිස් බව දකින විට පේතෘස් හා යොහන් ක්‍රියා කරන්නේ කෙසේද?
▪ යේසුස්ගේ නැවත නැඟිටීම ගැන ගෝලයන්ට පැවසීමට යද්දී අනික් ස්ත්‍රීන්ට මුණගැසෙන්නේ කාවද?
▪ හේවායන්ගෙන් යුත් මුරකරුවන් කණ්ඩායමට සිදු වන්නේ කුමක්ද? පූජකයන්ට මේ පිළිබඳව පැවසූ විට ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය කුමක්ද?
▪ මරියා මග්දලේනා සොහොන් ගෙය අසල තනිව සිටින විට සිදු වන්නේ කුමක්ද? ස්ත්‍රීන් ගෙන එන වාර්තාවලට ගෝලයන් ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද?