114වෙනි පරිච්ඡේදය
සිහි කිරීමේ සන්ධ්‍යා භෝජනය
යේසුස් තම ප්‍රේරිතයන්ගේ පාද සේදීමෙන් පසුව ගීතාවලිය 41:9හි ඇති ශුද්ධ ලියවිලි පාඨය උපුටා දක්වමින් මෙසේ පවසනවා. “මාගේ ආහාරයෙන් කෑවාවූ තැනැත්තා මට විරුද්ධව විලුඹ එසෙව්වේය.” ඊළඟට, ඔහු බොහෝ සෙයින් කැලඹී පැහැදිලි කරන්නේ මෙසේයි. “ඔබ අතරින් එක් කෙනෙක් මාව පාවා දෙන්නේය.”
ඔවුන් ශෝක වී එකිනෙකා, “ඒ මා නොවෙයි නේද” කියා යේසුස්ගෙන් අසනවා. යූදස් ඉස්කාරියොත් පවා එසේ අසනවා. යේසුස් ළඟින් වාඩි වී සිටින යොහන් ඔහුගේ ළයට හේත්තු වී අසන්නේ “ස්වාමීනි, ඒ කවුද” කියායි.
යේසුස් පිළිතුරු දෙන්නේ මෙසේයි. “ඒ තැනැත්තා මා සමඟ මේ පොදු බඳුනට අත ලන දොළොස්දෙනාගෙන් එක් කෙනෙක්ය. මනුෂ්‍ය පුත්‍රයා ගැන ලියා තිබෙන ලෙසම ඔහු යන බව සැබෑය. නමුත් මනුෂ්‍ය පුත්‍රයා පාවා දෙන මිනිසාට දුක් වේ! ඒ මිනිසා ඉපදුණේ නැතිනම් ඔහුට වඩා හොඳය.” ඉන්පසු යූදස්ගේ දූෂ්‍ය වී තිබෙන සිත තමාගේ වාසියට හරවාගනිමින් සාතන් නැවත වරක් එතුළට ඇතුල් වෙනවා. පසුව, එම රාත්‍රියේදීම යේසුස් ඉතා යෝග්‍ය ලෙස යූදස්ව හඳුන්වන්නේ “විනාශයේ පුත්‍රයා” වශයෙනුයි.
දැන් යේසුස් යූදස්ට පවසන්නේ, “ඔබ කරන දේ ඉක්මනින් කරන්න” කියායි. යේසුස් අදහස් කරන්නේ කුමක්ද කියා අනිත් ප්‍රේරිතයන්ට තේරෙන්නේ නැහැ. යූදස් මුදල් පෙට්ටිය භාරව සිටින නිසා “මංගල්‍යයට අවශ්‍ය දේවල් මිලට ගන්න” නැත්නම් ඔහු දිලිඳුන්ට යමක් දිය යුතුයි කියා යේසුස් කියන බව සමහරෙක් සිතනවා.
යූදස් පිටත්ව යෑමෙන් පසුව යේසුස් තම විශ්වාසවන්ත ප්‍රේරිතයන්ට මුළුමනින්ම අලුත් සැමරීමක් හඳුන්වා දෙනවා. ඔහු රොටියක් ගෙන දෙවිට ස්තුති කළ පසු එය කඩා ඔවුන්ට දෙමින් පවසන්නේ මෙසේයි. “රැගෙන කන්න.” ඉන්පසු ඔහු මෙසේ පැහැදිලි කරනවා. “ඔබ උදෙසා දෙනු ලබන මාගේ ශරීරය මෙයින් නියෝජනය කරන්නේය. මා සිහි කරන පිණිස මෙය නොකඩවා කරන්න.”
සෑමදෙනාම රොටියෙන් කෑ පසු, යේසුස් වයින් කුසලානක් අතට ගන්නවා. සාමාන්‍යයෙන් පාස්කුව සමරන විට වයින් කුසලාන සතරක් පානය කරනවා. පෙනෙන ආකාරයට මෙය අන්තිම කුසලානයයි. ඔහු මේ අවස්ථාවේදීත් දෙවිට ස්තුති කර කුසලානය ඔවුන්ගේ අතින් අත යවා ඉන් පානය කරන ලෙස ඔවුන්ට කියා සිටිනවා. අනතුරුව ඔහු පවසන්නේ මෙසේයි. “මේ කුසලානය, ඔබ උදෙසා වගුරුවනු ලබන මාගේ රුධිරයෙන් ඇති වන අලුත් ගිවිසුම නියෝජනය කරන්නේය.”
ඒ නිසා, මෙය සැබෑවටම යේසුස්ගේ මරණය සිහි කිරීමක් වෙනවා. යේසුස් පවසන පරිදි, ඔහුව සිහි කිරීම පිණිස එය සෑම වසරකම නීසාන් 14වනදා සැමරිය යුතුයි. මරණ දණ්ඩනය නියම වූ මනුෂ්‍යයන්ව ගැලවීම සඳහා යේසුස් හා ඔහුගේ පියා කර තිබෙන දෙය මේ සැමරීම පවත්වන අයගේ සිහියට නැඟෙනවා. මෙතැන් පටන්, ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් බවට පත් වන යුදෙව්වරුන් පාස්කුව වෙනුවට සමරන්නේ මෙම සිහි කිරීමයි.
යේසුස්ගේ වගුරුවන ලද රුධිරය තුළින් ක්‍රියාත්මක වන අලුත් ගිවිසුම මගින් පරණ නීතික ගිවිසුම අහෝසි කරනු ලබනවා. එම ගිවිසුම තිබෙන්නේ යෙහෝවා දෙවි හා ආත්මයෙන් අභිෂේක ලත් ක්‍රිස්තියානීන් 1,44,000දෙනා අතරයි. එහි මැදහත්කරු වන්නේ යේසුස් ක්‍රිස්තුස්. පාපවලට සමාව දීමට අමතරව, පූජක රජවරුන්ගෙන් යුත් ස්වර්ගික ජාතියක් සකස් කිරීමටත් මෙම ගිවිසුමෙන් අවකාශ සැලසෙනවා. මතෙව් 26:21-29; මාක් 14:18-25; ලූක් 22:19-23; යොහන් 13:18-30; 17:12; 1 කොරින්ති 5:7; NW.
▪ යේසුස් තම ආශ්‍රිතයෙකු ගැන පවසද්දී උපුටා දක්වන්නේ කිනම් බයිබල් අනාවැකියද? ඔහු එය අදාළ කරන්නේ කෙසේද?
▪ ප්‍රේරිතයන් අතිශයෙන් ශෝක වන්නේ මන්ද? ඔවුන්ගෙන් සෑම කෙනෙක්ම අසන්නේ කුමක්ද?
▪ යේසුස් පවසන්නේ යූදස්ට කුමක් කරන්න කියාද? නමුත් අනෙක් ප්‍රේරිතයන් මෙම උපදෙස් තේරුම්ගන්නේ කොහොමද?
▪ යූදස් පිටත්ව යෑමෙන් පසු, යේසුස් හඳුන්වා දෙන්නේ කුමන සැමරීමද? ඉන් ඉටු වන අරමුණ කුමක්ද?
▪ අලුත් ගිවිසුමට හවුල් වන්නේ කවුරුන්ද? ගිවිසුමෙන් ඉටු වන කාර්යභාරය කුමක්ද?