පරිච්ඡේද 29
මා හුදකලා ඇසුරට සූදානම් ද?
බොහෝ රටවල විරුද්ධ ලිංගයේ අය සමඟ හුදකලා ඇසුර ප්‍රේම බන්ධන විනෝදය සඳහා මාධ්‍යයක්, සතුටේ ක්‍රියාකාරකමක් වශයෙන් සලකනු ලැබේ. මෙබැවින් හුදකලා ඇසුරෙහි බොහෝ විධි තිබේ. ඇතැම් අයට, හුදකලා ඇසුර විධිමත්, නොයෙක් දෑ එකතු වූ කටයුත්තක්—එනම් මල්, ප්‍රණීත රාත්‍රි ආහාරයක් සහ ශුභ-රාත්‍රියක් කියන්නා වූ සමු ගැනීමේ සිපගැනීමක් යන සියල්ල වැඩසටහනේ කොටසකි. අන්‍යයන් සඳහා, හුදකලා ඇසුරෙන් හුදෙක් අදහස් වන්නේ ඔබ කැමති විරුද්ධ ලිංගයේ කෙනෙකු සමඟ එකට යම් කාලයක් ගත කිරීම ය. නිතර එකට හමුවන නමුත් ඔවුහු ‘හුදෙක් මිතුරන්’ පමණකි යයි පවසන ජෝඩු ද සිටිති. හොඳයි, ඔබ එය විරුද්ධ ලිංගයේ අය සමඟ හුදකලා ඇසුර යයි පැවසුවත්, එකට යාමක් වුවත්, එකිනෙකා ව හුදෙක් හමු වීමක් වුවත්, එය සලකනු ලබන්නේ සාමාන්‍යයෙන් ම එක ම දෙයක් ලෙසිනි: එනම් පිරිමි ළමයෙකු හා ගැහැණු ළමයෙකු බොහෝ විට අධීක්ෂණයකින් තොර ව සමාජීය ලෙස බොහෝ වේලාවක් එකට ගත කිරීම ය.
බයිබල් කාලවල දී හුදකලා ඇසුර සිරිතක් ව නොපැවතුණි. කෙසේ නමුත්, බුද්ධිමත් ව, නුවණැති ව සහ ගෞරවනීය ව, සිදු කරගෙන යන විට හුදකලා ඇසුර දෙදෙනෙකුට එකිනෙකා ව හඳුනා ගැනීමට සුදුසු මාර්ගයකි. තව ද, එය ප්‍රීතිය භුක්තිවිඳින්නට පුළුවන් දෙයක් විය හැකි ය. එහෙත් ඔබ හුදකලා ඇසුරේ යෙදිය යුතු යයි මින් අදහස් කරනවා ද?
හුදකලා ඇසුරේ යෙදීමට පීඩනය
විරුද්ධ ලිංගයේ අය සමඟ හුදකලා ඇසුරේ යෙදීමට පීඩනයක් තිබේ යයි ඔබට හැඟිය හැක. ඔබේ තුල්‍යයන්ගෙන් වැඩි දෙනෙකු සමහර විට හුදකලා ඇසුරේ යෙදෙනවා විය හැකි අතර, ස්වභාවයෙන් ම ඔබට අරුම පුදුම හෝ වෙනස් කෙනෙකු මෙන් පෙනීමට වුවමනා නොවේ. හොඳ අභිප්‍රායන් ඇති මිතුරන් සහ නෑදෑයන්ගෙන් ද හුදකලා ඇසුරේ යෙදීමේ පීඩනය පැමිණිය හැක. විරුද්ධ ලිංගයේ කෙනෙකු සමඟ හුදකලා ඇසුරේ යෙදීම සඳහා 15ස්-හැවිරිදි මේරි ඈන්ට කියනු ලැබූ විට, ඇගේ නැන්දා අවවාද කළේ මෙසේ ය: “ඔබට පිරිමි ළමයා ව විවාහ කරගැනීමට වුවමනා වුවත්, නැතත්, එය මෙයට කිසි සම්බන්ධයක් නැහැ. හුදකලා ඇසුර පුද්ගලයෙකු වශයෙන් ඔබේ ස්වභාවික වර්ධනයේ කොටසක් පමණයි. . . . සියල්ල සලකා බලන කල, ඔබ සැමවිට ම කොල්ලන් ව ප්‍රතික්ෂේප කරනවා නම්, ඔබ ජනප්‍රිය නැති පුද්ගලයෙකු බවට පත් වෙයි, කිසි කෙනෙක් ඔබ සමඟ ගමන් යන්න කැමති වෙන එකක් නෑ.” මේරි ඈන් මෙසේ සිහිපත් කරන්නී ය: “නැන්දාගේ වචන පතුළට ම කිඳා බැස්සා. හොඳ ප්‍රස්තාවකින් මං, මා ව ම රවටා ගනු ලබනවා ද? පිරිමි ළමයාට ඔහුගේ ම මෝටර් රථය ද, බොහෝ මුදල් ද තිබුණා; තව ද ඔහු මට හොඳ කාලයක් දෙයි කියා මං දැනගෙන සිටියා. මං ඔහු එක්ක තනි ව ඇසුරු කළ යුතු ද නැතහොත් නොයුතු ද?”
ඇතැම් යෞවනයන් සඳහා පීඩනය පැමිණෙන්නේ උණුසුම් භාවය හා සෙනෙහස සඳහා ඔවුන්ගේ ම තෘෂ්ණාවන් මගින් ය. “ප්‍රේමය ලබන්නත්, අගය කරනු ලබන්නත් මට වුවමනායි,” කියා 18-හැවිරිදි ඈන් නමැති තැනැත්තිය පැහැදිලි කළා ය. “මගේ දෙමව්පියන්ට මා සමීප ව සිටියේ නැති නිසා, සමීපත්වය සෙවීමටත් සැබවින් ම තේරුම් ගන්නා, මගේ හැඟීම් හෙළි කිරීමට හැකි කෙනෙකු ඇතුව සිටීම සඳහා මම මගේ පෙම්වතා වෙත හැරුණා.”
කෙසේ නමුත්, හුදෙක් එසේ කිරීමට ඔහුට හෝ ඇයට පීඩනයක් දැනෙන නිසා යෞවනයෙකු හුදකලා ඇසුරේ යෙදීමට පටන් නොගත යුතු ය! එක් දෙයක් නම්, හුදකලා ඇසුර බැරෑරුම් කටයුත්තකි—විවාහ කලත්‍රයෙකු තෝරා ගැනීමේ ක්‍රියා මාර්ගයක කොටසකි. විවාහය? හුදකලා ඇසුරේ යෙදෙන යෞවනයන්ගෙන් වැඩි දෙනෙකුගේ මනස්වල විවාහය ගැන හැඟීමක් කොහෙත් ම නොතිබෙනවා විය හැක. එහෙත් සැබවින් ම, එකිනෙකා ව විවාහ කරගැනීමේ හැකියාව සෝදිසි කරනවා මිස විරුද්ධ ලිංගයේ දෙදෙනෙකු බොහෝ කාලයක් එකට ගත කිරීමට පටන් ගැනීමට තිබිය හැකි සාධාරණ හේතු සාධකය කුමක් ද? දිගු කාලීන ප්‍රතිඵල බලන කල, වෙන ඕනෑ ම හේතුවකට හුදකලා ඇසුරේ යෙදීමේ ප්‍රතිඵලය “විනෝදය” යයි කොහෙත් ම පැවසිය නොහැක. එසේ වන්නේ මන්ද?
හුදකලා ඇසුරේ අඳුරු පැත්ත
එක් දෙයක් නම්, යෞවනයෝ සිටින්නේ බයිබලයේ හඳුන්වන “නහඹර විය,” මගින් පහර ලැබිය හැකි ජීවිත කාල පරිච්ඡේදයක ය. (1 කොරින්ති 7:36, NW ) මේ කාලය තුළ දී, ලිංගික තෘෂ්ණාව එකපාරට ම වැඩි වෙමින් බලවත් වන බව ඔබට දැනිය හැක. මෙහි කිසි වරදක් නැත; එය වැඩීමේ කොටසකි.
එහෙත් නව යොවුන් වියේ දී හුදකලා ඇසුරේ යෙදෙන විට මහත් ගැටලුවක් ඇති වන්නේ මෙහි දී ය: මෙම ලිංගික හැඟීම් පාලනය කරන්නේ කෙසේ දැයි යන්න ගැන නව යොවුන් වියේ සිටින අය ඉගෙන ගැනීමට පටන් ගනිමින් සිටිනවා පමණි. ලිංගික දේ සම්බන්ධයෙන් දෙවියන් වහන්සේගේ නීති ඔබ හොඳින් දන්නවා විය හැකි අතර නිර්මල ව සිටීමට ඔබ අවංක ව ම ආශාවෙන් සිටිය හැකි බව සත්‍යයකි. (පරිච්ඡේද 23 බලන්න.) එසේ වුවත්, ජීවිතයේ ජීව විද්‍යාත්මක සත්‍යයක් ක්‍රියා කරන්නට පටන් ගනි: විරුද්ධ ලිංගයේ සාමාජිකයෙකු සමඟ ඔබ වැඩි ආශ්‍රයක යෙදෙන විට—ඔබට අවශ්‍ය වුවත් නැතත්—වැඩි ලිංගික තෘෂ්ණාවක් වර්ධනය විය හැක. (පිටු 232-3 බලන්න.) අප සියල්ලන් ව සාදා තිබෙන්නේ එයාකාරයටයි! ඔබේ හැඟීම් වඩා පාලනය කරන වයසකට ඔබ මුහුකුරන තුරු, හුදකලා ඇසුර පාලනය කිරීමට ඔබට හුදෙක් දරා ගත නොහැකි දෙයක් විය හැක. අභාග්‍යකට, බොහෝ යෞවනයන් මෙය සොයා ගන්නේ දුෂ්කර මාර්ගයකිනි.
“අප එකට හුදකලා ඇසුරේ යෙදීමට පටන් ගත් විට, . . . අපි අත්වැල් අල්ලා ගත්තේවත් සිප ගත්තේවත් නෑ. මට වුවමනා වුණේ ඇගේ ඇසුර සහ කථා කිරීමේ සතුට භුක්තිවිඳීමට පමණයි,” කියා එක් යෞවන පුරුෂයෙක් පැවසී ය. “කොහොම නමුත්, ඈ ඉමහත් සෙනෙහසක් පාන කෙනෙක්, ඒ වගේ ම මා ළඟින් ම වාඩි වෙනවා. කල්යත් ම අපි අත්වැල් අල්ලා ගත්තා, සිප ගත්තා. මෙය මා තුළ වඩා ප්‍රබල ලිංගික පෙලඹීමක් ඇති කළා. මට ඈ සමඟ සිටීමට වුවමනා වුණේ නිකම් කථා කිරීමට පමණක් නොවෙයි, නමුත් ඇය ව අල්ලා ගෙන, ඈ ව ස්පර්ශ කිරීමටත් සිප ගැනීමටත් මට වුවමනා යයි සිතෙන තෙක් ම එය මගේ කල්පනාවට බලපෑවා. මට සෑහීමකට පත් විය හැකි තරම් ලබා ගන්න බැරි වුණා! ඇත්ත වශයෙන් ම මම සිටියේ රාගයෙන් උමතු වෙමින්. සමහර වෙලාවල දී මට පිළිකුල් බවක් හා ලජ්ජාවක් හැඟෙන්නටත් වුණා.”
එසේ නම්, හුදකලා ඇසුර බොහෝ විට අවසන් වන්නේ නීති විරෝධී ලිංගික සබඳතාවලින් වීම පුදුමයක් නොවේ. හුදකලා ඇසුරේ දී ලිංගික දේ “තරමක් වැදගත් හෝ ඉතා වැදගත් ” බව ගැහැණු ළමුන්ගෙන් සියයට 87කට සහ පිරිමි ළමුන්ගෙන් සියයට 95කට හැඟුණු බව නව යොවුන් වියේ සිටින්නන් සිය ගණනකින් කිහිප දෙනෙක් පිළිබඳ කරන ලද සමීක්ෂණයකින් සොයා ගන්නා ලදි. කෙසේ වුවද, තමන්ට එසේ කිරීමට හැඟීමක් නොතිබුණත් හුදකලා ඇසුරේ දී ඔවුනට ලිංගික සබඳකම් පැවැත්වීමට සිදු වූ අවස්ථාවන් තිබූ බව ගැහැණු ළමුන්ගෙන් සියයට 65ක් ද, පිරිමි ළමුන්ගෙන් සියයට 43ක් ද, පිළිගත්හ!
වයස අවුරුදු 20ක් වූ ලොරේටා මෙසේ සිහිපත් කරන්නී ය: “අප එකිනෙකා ව වැඩියෙන් දකින්න, දකින්න, අපේ සම්බන්ධය වඩා කුළුපග එකක් වුණා. සිප ගැනීම විගස නීරස දෙයක් බවට පත් වුණා, අපි සිරුරේ පුද්ගලික කොටස් ස්පර්ශ කිරීමට පටන් ගත්තා. මට එතරම් ම අපිරිසිදු බවක් හැඟුණු නිසා මම මානසික පීඩනයෙන් පෙළුණු බයාදු කෙනෙකු බවට පත් වුණා. කාලයාගේ ඇවෑමෙන් මා සමඟ හුදකලා ඇසුරේ යෙදී සිටි තැනැත්තා ‘ලිංගික දුරාචාරයේ යෙදෙන තරමට ම’ ඔහු කැමති ඕනෑ ම දෙයක් කිරීමට මගෙන් අපේක්ෂා කළා. . . . මං වියවුල් ව, පටලැවිලි සහිත ව සිටියා. ඒත් මට සිතාගත හැකි වූයේ, ‘ඔහු ව අහිමි කරගැනීමට මට ඕනෙ නෑ,’ කියා ය. මං දැඩි දුක්ඛිත භාවයකට පත් වී සිටියා!”
සෑම යුවළක් ම අන්තිමේ දී ලිංගික සංවාසයෙහි නොයෙදෙන බව සත්‍යයකි; ඇතැමෙක් තම සෙනෙහෙවන්ත භාවයේ විදහාපෑම්වල දී නතර වන්නේ ඒ තත්ත්වයට වැටීමට ඔන්න මෙන්න කියා තිබෙන විට ය. එහෙත් කෙනෙකු චිත්ත වේගීය ව ක්‍රියාත්මක වී එවැනි හැඟීම් ගෞරවනීය ව පිට කිරීමට නොහැකි වන විට සිදු වන්නේ කුමක් ද? කලකිරීම සහතික ය. තව ද එම කලකිරීම් ලිංගික හැඟීම්වලට සීමා වී නැත.
පළුදු වූ චිත්ත වේගයන්
එක් යෞවන මිනිසෙකුගේ උභතෝකෝටික ප්‍රශ්නය සලකා බලන්න: ‘මුලින් ම මම කැතීට ඉතා කැමැත්තෙන් සිටියා. නිවැරදි යයි ඇය නොසිතූ ඇතැම් දේවල් කිරීමට මං ඇය ව පෙලඹූ බව මං පිළිගන්නවා. මගේ උනන්දුව අඩු වී තිබෙන නිසා දැන් මට අපිරිසිදු බවක් හැඟෙනවා. කැතීගේ හැඟීම් රිදවන්නේ නැතුව මට ඇගෙන් වෙන්විය හැකි වන්නේ කෙසේ ද?’ කෙතරම් වික්ෂිප්තයට පත් කරවන තත්ත්වයක් ද! ඔබ කැතී වී සිටියා නම් ඔබට හැඟෙනු ඇත්තේ කෙසේ ද?
යොවුන් හෘද බිඳීම සාමාන්‍ය රෝගාතුර තත්ත්වයකි. යොවුන් යුවළක් අත් අල්ලා ගෙන ඇවිදීම ප්‍රසන්න සිත්කලු පින්තූරයක් ඉදිරිපත් කළ හැකි බව සත්‍යයකි. එහෙත් එම යුවළ ම දැන් සිට වසරකට පසු ව ඒ අයුරින් ම එකට ඉඳී කියා කීමට හෝ ඊටත් වඩා විවාහ වී සිටියි ද කියා කීමට තිබෙන හැකියාවන් කුමක් ද? ඇත්තෙන් ම ඉතා අඩු ය. මෙබැවින් සැමවිට ම වාගේ නව යොවුන් ප්‍රේම බන්ධනයන් විපත්තියට අත වනයි, විවාහයෙන් අවසන් වන්නේ කලාතුරකිනි, බොහෝ විට අවසන් වන්නේ හෘද බිඳීමෙනි.
සියල්ල ම සලකා බලන කල, යොවුන් වියේ දී ඔබේ පුද්ගලිකත්වය තවමත් නිතර මාරුවෙන ස්වභාවයක පවතී. ඔබ කවරෙක් ද, ඔබ සැබවින් ම කැමති කුමකට ද, ඔබේ ජීවිතය සමඟ ඔබට කරන්නට වුවමනා කුමක් ද, යන්න ඔබ සොයා ගනිමින් සිටියි. අද දින ඔබ ආශා කරන යමෙකු කෙරෙහි හෙට දින ඔබට ඉතා ප්‍රිය බවක් නොදැනිය හැක. එහෙත් ප්‍රේම හැඟීම් දියුණු වීමට ඉඩ හළ විට, යමෙකු නියත වශයෙන් ම වේදනාවට පත්වේ. බොහෝ යෞවන සිය දිවි නසා ගැනීම් සඳහා හේතු කරවන තත්ත්වයන් අතර පවතින්නක් වශයෙන් “පෙම්වතියක සමඟ දබරයක්” හෝ “ප්‍රේමයේ අධෛර්යයට පත්වීමක්” පර්යේෂණ අධ්‍යයන කීපයක් මගින් සම්බන්ධ කර තිබීම පුදුමයක් නොවේ.
මා සූදානම් ද?
දෙවියන් වහන්සේ යෞවන අයට මෙසේ පවසන සේක: “තරුණය [හෝ තරුණිය], ඔබේ යොවුන් වියේ දී ප්‍රීතිවන්න; ඔබේ යෞවන දවස්වල ඔබට සිත් [හෘදය NW ] සතොස ලැබේ වා! ඔබට [ඔබේ හෘදයට NW ] රිසි යයි පෙනෙන පරිද්දෙන් ඔබ හැසිරෙන්න.” යෞවනයෝ ‘[තමන්ගේ හෘදයට] රිසි යයි පෙනෙන පරිද්දෙන් හැසිරීමට’ නැඹුරු වෙති. එහෙත් බොහෝ විට එවන් විනෝදයක් ඇතැයි පෙනෙන්නට තිබෙන එම ‘හැසිරීම්,’ අවසන් වන්නේ දුක් කරදර සහ විපත්තිය ගෙන එමිනි. මෙබැවින් ඊළඟ පදයේ බයිබලය මෙසේ උදක් ම ඉල්ලා සිටියි: “ඔබේ සිතෙන් [හෘදයෙන් NW ] දුක් කරදර ඉවත ලා ජීවත්වන්න. මන්ද, යෞවන කාලයත්, වැඩි මහලු කාලයත් නිෂ්ඵල ය.” (දේශනාකාරයා 11:9, 10, නව අනුවාදය) “දුක් කරදර” යන්නෙන් පෙන්නුම් කරන්නේ මහත් සේ කරදරයට පත් වී සිටීම හෝ කනගාටු ලෙස දුකට පත් වී සිටීම ය. “විපත්ති” යන්නෙන් පුද්ගලික විපත්තිය අඟවයි. ජීවිතය දැඩි දුක්ඛිත භාවයකට පත් කිරීමට දෙකට ම හැක.
එසේ නම්, හුදකලා ඇසුර දුක් කරදරවල සහ විපත්තිවල උල්පතක් යයි මෙය අදහස් කරනවා ද? අනිවාර්යයෙන් ම නැත. එහෙත් ඔබ වැරදි හේතුවක් සඳහා (‘විනෝදය තකා’) හෝ ඔබ ඒ සඳහා සූදානම් වීමට පෙර හුදකලා ඇසුරේ යෙදෙන්නේ නම් එසේ විය හැක! එමනිසා, ඔබේ ම තත්ත්වය සලකා බැලීමේ දී පහත සඳහන් ප්‍රශ්න උපකාරවත් බව ඔප්පු විය හැක.
මගේ චිත්ත වේගීය වැඩීමට හුදකලා ඇසුර උපකාරී වේ ද නැතහොත් බාධාවක් වේ ද? හුදකලා ඇසුර ඔබ ව පිරිමි ළමයෙකු හා ගැහැණු ළමයෙකුගේ සබඳතාවයකට සීමා කළ හැක. ඒ වෙනුවට, අන් අය සමඟ ඔබේ ආශ්‍රය පුළුල් කිරීම ඔබට ප්‍රයෝජනවත් විය නොහැකි ද? (2 කොරින්ති 6:12, 13 සසඳන්න.) සූසන් නමැති යෞවනිය මෙසේ පවසන්නී ය: “සභාවේ සිටින වයසින් මුහුකුරා ගිය ක්‍රිස්තියානි ස්ත්‍රීන් සමඟ කිට්ටු මිත්‍රත්වයන් වර්ධනය කර ගැනීමට මං ඉගෙන ගත්තා. ඒ අයට මිතුරු ආශ්‍රය අවශ්‍ය වූ අතර මට ඒ අයගේ ශක්තිමත් කරවන බලපෑම අවශ්‍ය වුණා. එනිසා මං කෝපි කෝප්පයක් බීම සඳහා ඔවුන් වෙත යනවා. අප කථා කරමින් සිනාසෙනවා. මං ඔවුන් සමඟ සැබෑ කල් පවතින මිත්‍රත්වයන් ඇති කරගත්තා.”
මහලු සහ යෞවන, තනිකඩ සහ විවාහක, පිරිමි සහ ගැහැණු යන බොහෝ විවිධාකාර මිත්‍රයන් සිටීමෙන් විරුද්ධ ලිංගයේ අය ඇතුළු, ජනයා අතර සිටින විට, ඔබ ශාන්ත භාවයකින් සිටීමට ඉගෙන ගන්නා අතර හුදකලා ඇසුරක දී ඇති වන පීඩනයට වඩා මෙහි දී ඇතිවන පීඩනය අඩු ය. තවදුරටත්, විවාහක ජෝඩු සමඟ ආශ්‍රය කිරීමෙන්, ඔබ විවාහය දෙස වඩා වැඩි යථාර්ථයකින් බලන්නේ ය. පසු කලෙක හොඳ කලත්‍රයෙකු තෝරා ගැනීමට සහ විවාහය තුළ ඔබේ ම කාර්ය භාරය ඉටු කිරීමට ඔබ වඩා හොඳින් සූදානම් ව සිටිනු ඇත. (හිතෝපදේශ 31:10) ගේල් නමැති යෞවනයෙක් මෙසේ නිගමනයට එළඹේ: “විවාහ වී, පිළිවෙළක් වීමට මං තව ම සූදානම් නෑ. මං තවමත් මා ගැන ම දැනගනිමින් සිටිනවා, තවදුරටත් අත්කර ගැනීමට බොහෝ ආත්මික ඉලක්ක මට තිබෙනවා. එමනිසා කිසි ම විරුද්ධ ලිංගයේ කෙනෙකුට ඉතා සමීප වීමට මට ඇත්තට ම ඕනෙ නෑ.”
වේදනා හැඟීම් ඇති කිරීමට මට වුවමනා ද? විවාහ වීමේ බලාපොරොත්තුවක් නොමැති ව ප්‍රේම බන්ධන ඇති කරගෙන ඇත්නම් ඔබේ සහ අනෙක් පුද්ගලයාගේ හැඟීම් විනාශ වී යා හැක. සැබවින් ම, විරුද්ධ ලිංගයේ අය සමඟ අත්දැකීම් ලබා ගැනීම සඳහා කෙනෙකු කෙරෙහි ප්‍රේමනීය අවධානය බහුල ව යොමු කිරීම සාධාරණ ද?—මතෙව් 7:12 බලන්න.
මගේ දෙමව්පියන් කුමක් පවසයි ද? දෙමව්පියෝ බොහෝ විට ඔබ විසින් දැකීමට අන්ධ ව සිටින අනතුරු දකිති. ඇරත්, විටෙක ඔවුහු ද යෞවන ව සිටියහ. විරුද්ධ ලිංගයේ යෞවනයන් දෙදෙනෙකු එකට බොහෝ කාලයක් ගත කිරීමට පටන් ගන්නා විට කුමන සැබෑ ගැටලු වර්ධනය විය හැකි දැයි ඔවුහු දනිති! එබැවින් ඔබ හුදකලා ඇසුර ඔබේ දෙමව්පියන් අනුමත නොකළහොත්, කැරළි නොගසන්න. (එපීස 6:1-3) ඔබ වයසින් මුහුකුරන තෙක් සිටිය යුතු යයි ඔවුනට හුදෙක් හැඟෙනවා වෙන්නට පුළුවන.
බයිබලයේ සදාචාරත්වය අනුකරණය කිරීමට මට හැකි වේවි ද? කෙනෙකු “නහඹර විය පසුකර,” සිටින විට එම තැනැත්තාට ලිංගික පෙලඹීම් සමඟ වඩා හොඳින් ක්‍රියා කිරීමට හැකි වේ—තව ද එවිට පවා එය පහසු නොවේ. ජීවිතයේ මෙම සන්ධිස්ථානයේ දී විරුද්ධ ලිංගයේ කෙනෙකු සමඟ සමීප සබඳතාවයක් හසුරුවා ගැනීමට සහ එය නිර්මල ව තබා ගැනීමට ඔබ සැබවින් ම සූදානම් ද?
සැලකීමට කරුණක් නම්, බොහෝ යෞවනයෝ තමන්ගෙන් ම මෙම ප්‍රශ්න අසන අතර (කලින් සඳහන් කරන ලද) මේරි ඈන් එළඹුණාක් මෙන් ම එම නිගමනයට ම එළඹෙති. ඇය මෙසේ පැවසුවා ය: “හුදකලා ඇසුර සම්බන්ධ ව අන්‍යයන්ගේ ආකල්පයන් මගින් මා බලපෑමට යටත් වෙන්නේ නෑ කියලා මං අධිෂ්ඨානය කළා. ස්වාමිපුරුෂයෙකු තුළ තිබෙන්නට යුතු වූ මට වුවමනා කළ ගුණාංග ඇති කෙනෙකු මට සම්බ වන තුරු සහ මා සුදුසු වයසකට පැමිණ විවාහ වීමට සූදානම් ව සිටින තුරු මං හුදකලා ඇසුරේ යෙදෙන්නට යන්නේ නැහැ.”
මෙබැවින් හුදකලා ඇසුරේ යෙදීමට පෙර ඔබ ඔබෙන් ම අසාගත යුතු ඉතා අවදානම් සහිත ප්‍රශ්නය මේරි ඈන් විසින් නගන්නී ය.
සාකච්ඡාව සඳහා ප්‍රශ්න
◻ “හුදකලා ඇසුර” යන වාක්‍ය ඛණ්ඩයෙන් ඔබට අදහස් වන්නේ කුමක් ද?
◻ හුදකලා ඇසුරේ යෙදීමේ පීඩනයට යටත් බවක් ඇතැම් යෞවනයන්ට හැඟෙන්නේ මන්ද?
◻ “ නහඹර වියේ ” සිටින කෙනෙකු හුදකලා ඇසුරේ යෙදීම අනුවණ දෙයක් වන්නේ මන්ද?
◻ හුදකලා ඇසුරේ යෙදෙන විට “ විපත්ති වැළැක්වීමට” යෞවනයෙකුට හැක්කේ කෙසේ ද?
◻ පිරිමි ළමයෙකු සහ ගැහැණු ළමයෙකු ‘හුදෙක් මිතුරන් ව’ සිටින විට වර්ධනය විය හැකි ඇතැම් ප්‍රශ්න මොනවා ද?
◻ ඔබ හුදකලා ඇසුරට සූදානම් දැයි දැනගැනීමට ඔබට හැක්කේ කෙසේ ද?
[231 පිටුවෙහි හුවා දැක්වීම]
“සිප ගැනීම විගස නීරස දෙයක් බවට පත් වුණා, අපි සිරුරේ පුද්ගලික කොටස් ස්පර්ශ කිරීමට පටන් ගත්තා. මට එතරම් ම අපිරිසිදු බවක් හැඟුණු නිසා මම මානසික පීඩනයෙන් පෙළුණු බයාදු කෙනෙකු බවට පත් වුණා. කාලයාගේ ඇවෑමෙන් මා සමඟ හුදකලා ඇසුරේ යෙදී සිටි තැනැත්තා ‘ලිංගික දුරාචාරයේ යෙදෙන තරමට ම’ ඔහු කැමති ඕනෑ ම දෙයක් කිරීමට මගෙන් අපේක්ෂා කළා.
[234 පිටුවෙහි හුවා දැක්වීම]
“ කැතීගේ හැඟීම් රිදවන්නේ නැතුව මට ඇගෙන් වෙන්විය හැකි වන්නේ කෙසේ ද?”
[232 සහ 233 පිටුවල ඇති කොටුව]
පිරිමි ළමයෙකුට හා ගැහැණු ළමයෙකුට ‘නිකම් මිතුරන් වී’ සිටිය හැකි ද?
කල්‍යාණ මිත්‍රත්වයක් යයි කියන්නා වූ සබඳතා (ලිංගික කාරණා ඇතුළත් නොවන, පුරුෂයන් සහ ස්ත්‍රීන් අතරේ සෙනෙහෙවන්ත සබඳතා) යෞවනයන් අතර බෙහෙවින් ප්‍රකට ය. දහහත්-හැවිරිදි ග්‍රෙගරි මෙසේ කියා සිටියි: “ ගැහැණු ළමුන් සාමාන්‍යයෙන් ම වඩා අනුකම්පා සහගත හා සංවේදනීය වන බැවින් මට ඔවුන් සමඟ කථා කිරීම වඩා පහසු ය.” එවන් මිත්‍රත්වයන් වඩා සම්පූර්ණ පුද්ගලිකත්වයක් වර්ධනය කරගැනීමට ඔවුනට උපකාරවත් වේ යයි වෙනත් යෞවනයෝ තර්ක කරති.
“ යෞවනියන්ට සියලු ආකාර පිරිසිදුකමින් සහෝදරියන්ට මෙන්,” සලකන්න යයි බයිබලය යෞවනයන්ට උනන්දු කරයි. (1 තිමෝති 5:2) මෙම ප්‍රතිපත්තිය අදාළ කරගැනීම මගින්, විරුද්ධ ලිංගයේ සාමාජිකයන් සමඟ පිරිසිදු, සනීපදායී මිත්‍රත්වයන් භුක්තිවිඳීමට ඇත්තෙන් ම හැකි ය. උදාහරණයක් ලෙස, ක්‍රිස්තියානි ස්ත්‍රීන් සමඟ මිත්‍රත්වයන් ගණනාවක ප්‍රීතිය භුක්තිවින්දා වූ ප්‍රේරිත පාවුල් තනිකඩ මනුෂ්‍යයෙකු විය. (රෝම 16:1, 3, 6, 12 බලන්න.) “ මා සමඟ ශුභාරංචියෙහි වැඩ කළෝය,” කියා ඔහු “ ස්ත්‍රීන්,” දෙදෙනෙකු ගැන ලීවේ ය. (පිලිප්පි 4:3) යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ද ස්ත්‍රීන් සමඟ සමබර, සනීපදායී ආශ්‍රයක් භුක්තිවින්ද සේක. බොහෝ අවස්ථාවල, උන් වහන්සේ මාර්තා සහ මරියාගේ ආගන්තුක සත්කාරය සහ කථා බහ කිරීම භුක්තිවින්ද සේක.—ලූක් 10:38, 39; යොහන් 11:5.
කෙසේ නමුත්, “ කල්‍යාණ” මිත්‍රත්වයක් බොහෝ විට යන්තමින් වෙස් වලාගත් ප්‍රේම බන්ධනයකට වඩා ස්වල්පයකින් වෙනස් වූ යමකි, නැතහොත් බැඳීමක් නොමැති ව විරුද්ධ ලිංගයේ කෙනෙකුගෙන් අවධානය ගැනීමට මාර්ගයක් වේ. තව ද හැඟීම් පහසුවෙන් වෙනස් විය හැකි බැවින්, සැලකිලිමත් වීමට අවශ්‍යතාවයක් තිබේ. “ පැයකට සැතපුම් දහයක් පමණ ගමන් කරන පහසු මිත්‍රත්වයක් අනතුරු ඇඟවීමක් නොමැති ව පැයකට සැතපුම් සියයක් ගමන් කරන අන්ධ රාගයකට හැරිය හැක,” යයි වෛද්‍ය මැරියන් හිලියාඩ් අනතුරු ඇඟවී ය.
දහසය-හැවිරිදි මයික් 14-හැවිරිදි ගැහැණු ළමයෙකු සමඟ “ මිතුරන්” බවට පත් වූ විට මෙය ඉගෙන ගත්තේ ය: “ එකිනෙකා එකට විශේෂයෙන් ම ආශ්‍රය කරන විට දෙදෙනෙකුට හුදෙක් මිතුරන් ව පමණක් වී සිටිය නොහැකි [බව] මම විගස සොයා ගත්තා. අපගේ සබඳතාවය එන්න එන්න ම වැඩි වෙමින් තිබුණා. වැඩි කල් යාමට පෙර අපට එකිනෙකා කෙරෙහි විශේෂ හැඟීම් තිබුණා, තවමත් අපට එසේ ම තිබෙනවා.” එක්කෙනෙකුවත් විවාහ වීමට සුදුසු වයසක නොසිටින බැවින්, එම හැඟීම් නිෂ්ඵල භාවයේ මූලයකි.
තවත් වුවමනාවට වඩා සමීප ආශ්‍රයකින් වඩා කනගාටුදායක ප්‍රතිඵල තිබිය හැක. එක් යෞවනයෙක් තමා කෙරෙහි විශ්වාසය තබා ඇගේ ගැටලුවලින් සමහරක් ගැන නොසඟවා හෙළි කළ මිතුරියක සැනසීමට උත්සාහ කළේ ය. වැඩි කලක් යාමට පෙර, ඔවුහු එකිනෙකා වැළඳ ගනිමින් ආලය කරමින් සිටියහ. ප්‍රතිඵලය? වද දෙන හෘදය සාක්ෂීන් සහ ඔවුන් අතරේ නරක හැඟීම්. අන්‍යයන් ගැන බලද්දී, ලිංගික සබඳතා ප්‍රතිඵලය වී තිබේ. සයිකොලජි ටුඩේ මගින් ගන්නා ලද සමීක්ෂණයක් හෙළි කළේ මෙසේ ය: “ පිළිතුරු දෙන්නන්ගෙන් අඩක් (සියයට 49ක්) පමණ ලිංගික සබඳතාවලට පෙරළෙන මිත්‍රත්වයන් ඇතුව සිටිවහ.” ඇරත්, “ තුනෙන් පංගුවක් (සියයට 31ක්) පමණ ඉකුත් මාසයේ දී මිතුරෙකු සමඟ ලිංගික සබඳතා පවත්වා තිබූ බව වාර්තා කළහ.”
‘එහෙත් මම මගේ මිතුරා වෙත ඇදී යන්නේ නෑ, ඔහු [හෝ ඇය] සමඟ කිසිදා ප්‍රේම බන්ධනයක් ඇති කරගන්නේ නෑ.’ වෙන්නට පුළුවන්. එහෙත් අනාගතයේ දී ඔබට කෙසේ හැඟිය හැකි ද? ඒ හැරෙන්න, “ තමාගේම සිත [හෘදය NW ] කෙරෙහි විශ්වාසය තබන්නා අඥානයෙක්ය [මෝඩයෙක් ය NW ];” (හිතෝපදේශ 28:26) අපගේ හෘදයන් ද්‍රෝහි, රැවටිලිකාර විය හැකි අතර, අපගේ සැබෑ ආකල්පයන්ට අප ව අන්ධ කළ හැක. ඔබේ මිතුරාට ඔබ ගැන හැඟෙන්නේ කෙසේ දැයි ඔබ සැබවින් ම දන්නවා ද?
ද ෆ්‍රෙන්ඩ්ෂිප් ෆැක්ටර් යන ඔහුගේ පොතේ, ඇලන් ලොයි මැක්ගිනිස් මෙසේ අවවාද කරයි: “ වුවමනාවට වඩා ඔබ ව ම විශ්වාස නොකරන්න.” සමහර විට සුදුසු අධීක්ෂණයක් යටතේ වූ සමූහ ක්‍රියාකාරකම්වලට ඔබේ ආශ්‍රය සීමා කරමින්, පූර්වෝපායන් යොදන්න. නුසුදුසු සෙනෙහස පෑම්වලින් හෝ ආදරය අවුස්සන තත්ත්වයන්වල දී තනි වීමෙන් හෝ වළකින්න. ඔබට කරදරකාරි ස්වභාවයක් දැනෙන විට, විරුද්ධ ලිංගයේ යෞවනයෙකු කෙරෙහි විශ්වාසය තබනවාට වඩා දෙමව්පියන් සහ වයසින් මුහුකුරා ගිය පුද්ගලයන් කෙරෙහි විශ්වාසය තබන්න.
ආරක්ෂා වුවත්, බෙදා නොගත් ප්‍රේමයේ හැඟීම් වර්ධනය වනවා නම් කුමක් කිව හැකි ද? “ සත්‍ය කථා කර,” ඔබේ ප්‍රතිපත්ති ගැන අන් තැනැත්තාට දැනගැනීමට ඉඩ හරින්න. (එපීස 4:25) මෙය කාරණා සමතයකට පත් නොකරන්නේ නම්, වඩා සමීප නොවී බැහැර ව සිටීම හොඳ ම දෙය විය හැක. “ නුවණ ඇත්තා විපත්තිය දැක සැඟවෙයි.” (හිතෝපදේශ 22:3) නැතහොත් ද ෆ්‍රෙන්ඩ්ෂිප් ෆැක්ටර් පොත ඒ ගැන ප්‍රකාශ කරන ආකාරයට: “ අවශ්‍ය නම් ඉවත් වන්න. අප කෙතරම් වෑයම් කළත්, ඉඳ හිට, විරුද්ධ ලිංගයේ අය සමඟ අපේ මිත්‍රත්වය පාලනය කළ නොහැකි තත්ත්වයකට පත්වන අතර එය මඟ පාදනු ඇත්තේ කුමකට දැයි අපි දනිමු.” එවිට, “ ඉවත්වීමට,” කාලය එයයි.
[227 පිටුවෙහි ඇති පින්තූර]
හුදකලා ඇසුරේ යෙදීමට හෝ ජෝඩු වශයෙන් වෙන්වීමට හෝ පීඩනයක් යෞවනයන්ට බොහෝ විට දැනේ
[228 පිටුවෙහි ඇති පින්තූර]
අනවශ්‍ය සෙනෙහසේ විදහාපෑමකට ඉඩ හැරීමේ පීඩනයකට හුදකලා ඇසුර බොහෝ විට යෞවනයන් ව යටත් කරයි
[229 පිටුවෙහි ඇති පින්තූර]
හුදකලා ඇසුරේ පීඩනයන්ගෙන් නිදහස් තත්ත්වයන් යටතේ විරුද්ධ ලිංගයේ අය සමඟ ආශ්‍රය භුක්තිවිඳීමට කෙනෙකුට හැක
[230 පිටුවෙහි ඇති පින්තූර]
කල්‍යාණ මිත්‍රත්වයන් යයි කියන සබඳතා බොහෝ විට අවසන් වන්නේ හෘද බිඳීමෙනි