පරිච්ඡේද 1
මා ‘මගේ පියාට සහ මගේ මවට ගරු කළ යුත්තේ’ මන්ද?
“ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න.” බොහෝ යෞවනයන්ට මෙම වචන දුර්භාග්‍ය සමයෙන් වූ යමක් මෙන් හැඟේ.
මත් ද්‍රව්‍ය සහ මත්පැන් අනිසි ලෙස භාවිතා කළ පිරිමි ළමයෙකු ආශ්‍රය කිරීමෙන් යෞවන වේඩා තම පියා සමඟ ඇති ඇගේ බලවත් විරෝධය ප්‍රකාශ කළා ය. විරෝධය පෑමට, පාන්දර යාමය දක්වා නටන්නට ද ඇය යන්නී ය. “පියා ඉතා තද කෙනෙකු කියලයි මට හැඟුණේ,” යයි වේඩා පැහැදිලි කරයි. “මට වයස අවුරුදු 18ක් ව සිටිය දී මම හැම දෙයක් ම දැනගෙන සිටියා කියා මං සිතුවා. මගේ පියා කෲර කෙනෙකු බවත්, මා විනෝදයෙන් කල් ගත කරනවාට ඔහු අකමැති බවත් මට හැඟුණ නිසා, මං පිටතට ගොස් මට හොඳයි කියල සිතුණ දේ කළා.”
බොහෝ යෞවනයන් ඇතැම් විට වේඩාගේ ක්‍රියා ගැන විරුද්ධ විය හැකි ය. එසේ වුවත්, තම කාමරය පිරිසිදු කරගැනීමට, තම ගෙදර වැඩ කරගැනීමට, හෝ නියමිත වේලාවකට නිවසට පැමිණීමට, තම දෙමව්පියන් අණ කළා නම්, බොහෝ දෙනෙකු අමනාපයෙන් කිපීමට හෝ, වඩාත් නරක ලෙසින්, ප්‍රසිද්ධියේ තම දෙමව්පියන් කෙරෙහි විරෝධය පෑමට හෝ හැක! එහෙත්, යෞවනයෙකු තම දෙමව්පියන් ව සලකන ආකාරය, නිවසේ යුද්ධය හා සාමය අතර වෙනසට පමණක් නොව, නමුත් අවසානයේ ඔහුගේ ම ජීවිතයට ද බලපෑ හැකි ය. මන්ද ‘ඔබේ දෙමව්පියන්ට කීකරු වන්න’ යන ආඥාව දෙවියන් වහන්සේගෙන් වන අතර, ඒ සමඟ ම මෙම අඥාව පැවැත්වීමට දිරිගන්වනු වස් උන් වහන්සේ මෙසේ ඊට එකතු කළ සේක: “ඔබට සෙත සැලසෙනු ඇත; ඔබ මිහි පිට බොහෝ කල් ජීවත් වනු ද ඇත.” (එපීස 6:2, 3, නව අනුවාදය) ඉතා අවදානම් තත්ත්වයකි. එමනිසා, ඔබේ පියාට සහ ඔබේ මවට ගෞරව කිරීම යන්නෙන් සැබවින් ම අර්ථවත් වන්නේ කුමක්දැයි අපි බලමු.
ඔවුන්ට ‘ගෞරව’ කිරීම යන්නෙන් අදහස් වන දේ
“ගෞරව” කිරීමට ඇතුළත් වන්නේ හරියාකාර ව නියම කරනු ලැබූ ආධිපත්‍යය පිළිගැනීම ය. උදාහරණයක් වශයෙන්, “රජුට ගෞරව දක්වන්න” යනුවෙන් ක්‍රිස්තියානින්ට අණ කර තිබේ. (1 පේතෘස් 2:17) ඔබ ජාතික පාලකයෙකු සමඟ සැමවිට ම එකඟ නොවිය හැකි වුවත්, ඔහුගේ තනතුරට හෝ නිලයට තවදුරටත් ගරු කළ යුතුයි. එලෙස ම, දෙවියන් වහන්සේ පවුල තුළ යම් ප්‍රමාණයක බලයක් දෙමව්පියන්ට නියම කර තිබේ. මින් අදහස් වන්නේ දෙවියන් වහන්සේ විසින් ඔබ සඳහා නීති පැනවීමට ඔවුනට දී තිබෙන අයිතිය ඔබ පිළිගත යුතු බවයි. වෙනත් දෙමව්පියන් ඔබේ දෙමව්පියන්ට වඩා තදින් ක්‍රියා නොකළ හැකි බව සැබෑ ය. එහෙත්, ඔබට ඉතා හොඳ දේ කුමක්දැයි කියා තීරණය කිරීමේ කාර්යය ඔබේ දෙමව්පියන්ට පැවරී තිබෙන අතර—විවිධ පවුල්වලට විවිධ ප්‍රමිති තිබිය හැක.
ඉතා ම හොඳ දෙමව්පියන් පවා ඇතැම් විට හිතුවක්කාර—හෝ අසාධාරණ විය හැකි බව සත්‍යයකි. එහෙත් හිතෝපදේශ 7:1, 2 හි එක් ප්‍රඥාවන්ත දෙමව්පියෙක් මෙසේ පැවසී ය: “මාගේ පුත්‍රය [හෝ දියණිය], . . . මාගේ ආඥා පවත්වා ජීවත්වෙයන්න;” එලෙස ම, ඔබේ දෙමව්පියන්ගේ නීති, හෝ “ආඥා,” බොහෝ විට ඔබේ යහපත සඳහා යයි අදහස් වන අතර, එය ඔබ සඳහා වූ ඔවුන්ගේ අව්‍යාජ ප්‍රේමයේ හා සැලකිල්ලේ ප්‍රකාශයක් වේ.
උදාහරණයක් වශයෙන්, ජෝන්ගේ නිවස අසල වූ පටු-මාර්ග හයෙන් යුත් මහා මාර්ගයට ඉහළින් තිබූ මගී පාලමෙන් ඔහු සැමවිට ම යා යුතු බව ඔහුගේ මව විසින් ඔහුට නැවත නැවත කියා තිබුණි. දිනක් පාසලේ ගැහැණු ළමුන් දෙදෙනෙක් පාර හරහා ම කෙටි මාර්ගයේ භය නැති ව යන්න යයි ඔහුට කීහ. “භයගුල්ලා!” යන ඔවුන්ගේ සරදම නොසලකා ජෝන් මගී පාලමෙන් ගියේ ය. භාගයක් දුර යන විට රෝදවලින් නැගෙන භයංකර ශබ්දය ජෝන්ට ඇසුණි. පහළ බැලූ විට, ගැහැණු ළමුන් දෙදෙනා මෝටර් රථයක හැපී ඉහළට විසි වෙන ආකාරය ඔහු තැතිගෙන බලා සිටියේ ය! ඔබේ දෙමව්පියන්ට කීකරු වීම ජීවිතය හා මරණය සම්බන්ධ කාරණයක් වන්නේ කලාතුරකින් වන බව පිළිගත යුතු ය. එසේ වුවත්, කීකරුකම බොහෝ විට ඔබට ප්‍රයෝජනවත් වේ.
‘ඔබේ දෙමව්පියන්ට ගෞරව’ කිරීමෙන් අදහස් වන්නේ නිවැරදි කිරීම් කරනු ලබන විට, බුම්මාගෙන සිටීම, හෝ හදිසි කෝපය දැක්වීම නොව, නමුත් ඒවා පිළිගැනීම ය. “තම පියාගේ උපදෙස් සුළු” කරන්නේ මෝඩයෙක් පමණක් බව හිතෝපදේශ 15:5 ප්‍රකාශ කරයි.
අවසානයේ දී, ගෞරවය දැක්වීමෙන් අදහස් කරන්නේ බාහිර වශයෙන් ගෞරවය දැක්වීම හෝ අකැමැත්තෙන් කීකරු වීමට වඩා වැඩි දෙයකි. බයිබලයේ “ගෞරවය” සඳහා දී ඇති මුල් ග්‍රීක් ක්‍රියා පදය මූලික වශයෙන් අදහස් වන්නේ යම් පුද්ගලයෙකු අධික ලෙස අගය කොට සැලකීමයි. එබැවින් දෙමව්පියන් අගනා, බොහෝ වැදගත්, ඔබට හිතවත් අය වශයෙන් සැලකිය යුතු වේ. ඔවුන් කෙරෙහි උණුසුම්, අගය කිරීමේ හැඟීම් තිබීම මෙයට ඇතුළත් වේ. කෙසේ වුවද, ඇතැම් යෞවනයන් තුළ තම දෙමව්පියන් වෙත උණුසුම් හැඟීම් නොතිබේ.
කරදරකාරී දෙමව්පියන්—ගෞරවයට සුදුසු ද?
ජීනා නමැති යුවතියක් මෙසේ ලීවා ය: “මගේ පියා ඇති තරම් මත්පැන් බිව්වා, ඒ වගේ ම මගේ දෙමව්පියන් එතරම් වාදකර කෑගසන නිසා මට නිදා ගන්න බැරි වුණා. මම කරන්නේ ඇඳට වෙලා හඬන එක පමණයි. මගේ මව සමහර විට මට පහර දෙන්නට ඉඩ තිබුණු නිසා ඒ ගැන මට හැඟුණ විධිය ඔවුන්ට කියන්න මට හැකි වුණේ නෑ. ‘ඔබේ පියාට ගෞරව කරන්න,’ කියලා බයිබලයේ කියා තිබුණත් මට ඒක කරන්න බෑ.”
විගස කෝපයට පත්වන හෝ දුරාචාරයේ යෙදෙන, බේබද්දන්වන හෝ එකිනෙකා සමඟ නිතර දබර කරන දෙමව්පියන්—සැබවින් ම ගෞරවය ලැබීමට සුදුස්සන් ද? එසේ ය, මන්ද ඕනෑ ම දෙමව්පියෙකු ව ‘සමච්චලයට භාජනය කිරීම’ බයිබලය හෙලා දකියි. (හිතෝපදේශ 30:17, NW) ඔබේ දෙමව්පියන් “නුඹ ජනිත කළ” බව හිතෝපදේශ 23:22 තවදුරටත් අපට සිහි කරවයි. ඔවුන්ට ගෞරවය කිරීමට මෙය ම හේතුවක් වේ. එක් කාලයක බොහෝ සේ අගෞරවය දැක් වූ ග්‍රෙගරි දැන් මෙසේ පවසයි: “මා ළදරුවෙක් ව සිටිය විට [මගේ මව] මා ගබ්සා නොකළ නිසාත්, කුණු බාල්දියක නොදැමූ නිසාත් මම යෙහෝවඃ වහන්සේට ස්තූති කරන්නෙමි. ඇය තනි මව්පියෙක් ව සිටි අතර අපි හය දෙනෙක් සිටියා. එය ඇයට දුෂ්කර කාර්යයක් වූ බව මං දන්නවා.”
ඔවුන් පරිපූර්ණත්වයෙන් අඩු වුවත්, ඔබේ දෙමව්පියන් ද ඔබ වෙනුවෙන් බොහෝ පරිත්‍යාගයන් කර ඇත. ග්‍රෙගරි තවදුරටත් පැවසුවේ: “එක් අවස්ථාවක දී අප සියලු දෙනාට ම කන්න තිබුණේ ටින් කළ ඉරිඟු ටින් එකකුත්, පෙඟ වූ ඉරිඟු ඇට ස්වල්පයකුත් පමණි. මගේ මව එය අපට පිළියෙල කර දුන් නමුත් ඇය කෑවේ නෑ. මං බඩ පුරවාගෙන ඇඳට ගියා, නමුත් මව නොකෑවේ මන්දැයි මං කල්පනා කරමින් සිටියා. දැන් මට මගේ ම පවුලක් සිටින නිසා, ඇය අප වෙනුවෙන් පරිත්‍යාග කරමින් සිටි බව මට වැටහෙනවා.” (දරුවෙකු වයස අවුරුදු 18වන තුරු හදා වඩා ගැනීමේ වියදම රුපියල් 26,56,000ක් බව එක් පර්යේෂණ අධ්‍යයනයක් මගින් ගණන් බලා ඇත.)
තව ද, දෙමව්පියෙකුගේ ආදර්ශය වඩා හොඳ එකක් නොවූ පමණින්, ඔහු හෝ ඇය ඔබට පවසන සෑම දෙයක් ම වැරදි යයි මින් අදහස් නොවන බවත් අවබෝධ කරගන්න. යේසුස් වහන්සේගේ කාලයේ, ආගමික නායකයෝ වංක වූහ. එසේ වුවත්, යේසුස් වහන්සේ ජනයාට මෙසේ පැවසූ සේක: “ඔවුන් නුඹලාට අණකරන සියල්ල ඉෂ්ටකර පවත්වාපල්ලා. නුමුත් ඔවුන්ගේ ක්‍රියා ලෙස නොකරල්ලා.” (මතෙව් 23:1-3, 25, 26) ඇතැම් දෙමව්පියන්ට මෙම ප්‍රමිතිය අදාළ කළ නොහැකි ද?
තද අමනාප හැඟීම් සමඟ ක්‍රියා කිරීම
දෙමව්පියෙක් තම බලය ඉතා අනිසි ලෙස භාවිතා කරනවා යයි ඔබට හැඟේ නම් කරන්නේ කුමක් ද?a සන්සුන් ව සිටින්න. කැරලි ගැසීමෙන්, වෛරයෙන් හෝ කෝපයෙන් ක්‍රියා කිරීමෙන්, කිසිවක් ඉටු නොවේ. (දේශනාකාරයා 8:3, 4; සසඳන්න දේශනාකාරයා 10:4.) එක් 17 හැවිරිදි ගැහැණු ළමයෙකුට ඇගේ දෙමව්පියන් සමඟ අමනාප වීමට හේතුව වූයේ ඔවුන් තමන්ගේ ම සණ්ඩු දබරවල ම යෙදී සිටි නිසාත්, ඈ කෙරෙහි කිසි උනන්දුවක් නොපෙන්වූ නිසාත් ය. ඇගේ දෙමව්පියන් කෙරෙහි ඇති වූ තද අමනාපය ඉන් පසු ඈට උගන්වන්නට ඔවුන් උත්සාහ කළ බයිබල් ප්‍රමිතිවලට විරුද්ධ ව එල්ල කරනු ලැබී ය. තද ක්‍රෝධයකින්, ඇය ලිංගික දුරාචාරයේ යෙදීමටත් මත් ද්‍රව්‍ය භාවිතා කිරීමටත් ධෛර්යය උපදවා ගත්තා ය. “ඔවුන්ට පාඩමක් ඉගැන්විය යුතුයි කියා මට හැඟුණි,” යනු ඇගේ කුපිත පැහැදිලි කිරීම විය. එහෙත් තද ක්‍රෝධය දැක්වීමෙන් සිදු වූයේ ඇය ඇය ව ම රිදවා ගැනීම පමණකි.
“දඬුවමට විරුද්ධ ව කෝපයෙන් [කෝපයේ ක්‍රියාවලින් NW ] නොපෙළඹෙන්න . . . ප්රවේසම්වෙයන්න, අධර්මිෂ්ඨකමට [වේදනාකාරී දෙයට NW ] සිත නොදෙන්න,” යනුවෙන් බයිබලය අවවාද කරයි. (යෝබ් 36:18-21) තමන්ගේ හැසිරීම සම්බන්ධයෙන් දෙමව්පියන් යෙහෝවඃ වහන්සේ ඉදිරියේ වගකිව යුතු බවත්, ඕනෑ ම බරපතළ අයුක්තියක් සඳහා වගකීමට සිදු වනු ඇති බවත් තේරුම් ගන්න.—කොලොස්සි 3:25.
“සිහි කල්පනාව ඇති මනුෂ්‍යයා ඉක්මනට නොකිපෙයි; වරදක් නොසලකා හැරීම ද ඔහුගේ ගෞරවයක්ය,” යයි හිතෝපදේශ 19:11 පවසයි. ඇතැම් අවස්ථාවන්හි දී දෙමව්පියෙකුගේ වේදනා උපදවන ක්‍රියාවලට සමාව දී ඒවා අමතක කිරීමට වෑයමක් දැරීම හොඳ ම දෙයයි. ඔහුගේ වැරදි ගැන නිතර මෙනෙහි කරමින් සිටිනවා වෙනුවට ඔහුගේ හොඳ ගුණාංග කෙරෙහි සිත යොමු කරන්න. උදාහරණයක් වශයෙන්, දැඩි ලෙස ක්‍රියා කරන මවක් හා මත්පැන්වලට ඇබ්බැහි වූ සුළු පියෙකු ඩොඩීට සිටියේ ය. ප්‍රමාද දෝෂයන් පිළිබඳ ව තීක්ෂ්ණ බුද්ධියෙන් කටයුතු කිරීමෙන් ඇගේ තද අමනාපය අඩු කළ අයුරු සලකා බලන්න. ඈ මෙසේ පවසන්නී ය: “සමහර විට මගේ මව අපට කවදාවත් ප්‍රේමය නොදක්වන්නට හේතුව වූයේ, ඇය වධහිංසාවට ලක් වූ දරුවෙකු හැටියට, එය පෙන්වීමට ඇයට කිසිදා උගන්වා නොතිබූ නිසා ය. මගේ සුළු පියා මත් නොවී සිටි අවස්ථාවල දී අපේ ක්‍රියාකාරකම් කෙරෙහි උනන්දුවක් දැක්වූ නමුත්, ඔහු නිතර එසේ නොසිටියේ ය. එහෙත්, මටත් මගේ සහෝදරියටත් නිතර ම වාසයට නිවසක් ද ශීතකරණයේ ආහාර ද තිබුණි.”
භාග්‍යයකට මෙන්, අස්ථාවර ව හෝ නොසැලකිලිමත් ව හෝ ක්‍රියා කරන දෙමව්පියන් සිටින්නේ ස්වල්ප දෙනෙකි. බොහෝ විට ඔබේ දෙමව්පියෝ ඔබ ගැන සැලකිල්ලක් දක්වනවාත් සමඟ ම හොඳ ආදර්ශයක් තැබීමට ද උත්සාහ දරති. එසේ වුවත්, ඇතැම් විට ඔබට ඔවුන් කෙරෙහි අමනාප හැඟීමක් ඇති විය හැක. රොජර් නමැති යෞවනයෙක් මෙසේ පිළිගනියි: “සමහර අවස්ථාවල මම මගේ මව සමඟ ප්‍රශ්නයක් ගැන සාකච්ඡා කරමින් සිටිය විට ඇයට මගේ ආකල්පය තේරුම් ගියේ නැත්නම් මා කෝපයෙන් කිපී ඇය ව රිදවීමට පමණක් යමක් තරහෙන් කියමි. ඈට විරුද්ධ ව ක්‍රියා කිරීමෙහි මගේ විධිය එයයි. නමුත් මා එතැනින් නික්ම ගිය විට, මට මහත් වේදනාවක් දැනුණ අතර ඈ තුළ ද සතුටක් නොවූ බව මං දැනගෙන සිටියා.”
‘කඩුවකින් අනින්නාක් මෙන්,’ නොසිතා පවසන වචන ‘වේදනාව ඇති කළ’ හැකි නමුත්, ඒවා ඔබේ ප්‍රශ්න නොවිසඳනු ඇත. “ඤාණවන්තයාගේ දිව සුවය හටගන්වන්නේය.” (හිතෝපදේශ 12:18; 15:1) “එය අමාරු වුවත්, මම නැවත ගොස් වරදට සමාව ඉල්ලන්නෙමි,” යයි රොජර් පැහැදිලි කරයි. “එවිට වඩා සන්සුන් ව එම ප්රශ්නය සාකච්ඡා කිරීමට මට හැකි වූ අතර එය විසඳා ගැනීමට ද අපට හැකි විය.”
‘මගේ පියා පැවසූ දේ නිවැරදි විය ’
සැලකිල්ලට හේතුවක් නම්, ඇතැම් යෞවනයන් තම දෙමව්පියන්ගේ උපදෙස්වලට විරෝධය පෑමෙන් තමන් ව සහ තම දෙමව්පියන් ව වෙහෙසට පත් කිරීමෙන් පසු, අවසානයේ තම දෙමව්පියන් නිවැරදි බව සොයා ගැනීම ය. උදාහරණයක් ලෙස, (මුල දී සඳහන් කළා වූ) වේඩා ගැන සලකා බලන්න. දිනක් ඈ තම පෙම්වතා සමඟ වාහනයක ගියා ය. ඔහු මරිජුවානා හා බියර්වලින් මත් වී සිටියේ ය. පැයට සැතපුම් 60ක වේගයෙන් ගමන් කළ වාහනය, පාලනය කිරීමට නොහැකි වීම හේතුවෙන් පහන් කණුවක වැදුණේ ය. වේඩා බේරුණේ තම නළලේ ගැඹුරු කැපුමක් ඇති ව ය. ඉන් පසු ඈට උපකාර කිරීමට රෝහලටවත් නොපැමිණ, ඇගේ පෙම්වතා පළා ගියේ ය.
වේඩා මෙසේ පිළිගත්තා ය: “මගේ දෙමව්පියන් රෝහලට පැමිණි විට, මගේ පියා පවසා තිබූ සෑම දෙයක් ම නිවැරදි වූ බවත්, මා මීට බොහෝ කලකට පෙර සවන් දිය යුතු ව තිබූ බවත් මං ඔවුනට පැවසුවා. . . . මං බරපතළ වරදක් කර තිබූ අතර, එය මගේ ජීවිතය නැති වන තරමේ බැරෑරුම් දෙයක් විය.” ඉන් පසු, වේඩා තම දෙමව්පියන් කෙරෙහි ඈ තුළ තිබූ ආකල්පයෙහි මහත් වෙනස් කිරීම් සිදු කළා ය.
ඇතැම් විට ඔබටත් යම් වෙනස්කම් සිදු කිරීම යෝග්‍ය විය හැක. ‘ඔබේ දෙමව්පියන්ට ගෞරව කිරීම’ ඇත්තෙන් ම යල්පැන ගිය අදහසක් මෙන් පෙනෙන්නට පුළුවන. එහෙත් එසේ කිරීම සුදුසු දෙයක් පමණක් නොව, එය දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරියෙහි කිරීමට තිබෙන හරි දෙය ද වන්නේ ය. එහෙත්, ඔබ ඔබේ දෙමව්පියන්ට ගෞරවය දක්වන්නට කැමති වුවත් ඔබ ව වැරදි ලෙස වටහාගත් බව ඔබට දැනුනා නම් හෝ සීමාවලින් ඔබ ව වටකර තිබේ නම් කුමක් ද? එවන් අවස්ථාවන්හි දී ඔබට ඔබේ තත්ත්වය වඩා යහපත් කළ හැක්කේ කෙසේදැයි අපි සෝදිසි කරමු.
[අධෝලිපි]
a මෙහි දී අප සඳහන් කරන්නේ ශාරීරික හෝ ලිංගික දුෂණයේ අවස්ථාවන් නොව. එවන් අවස්ථාවන්හි දී යෞවනයෙකු නිවසින් පිටත යම්කිසි විශේෂඥ උපදෙස් ලබා ගැනීම සුදුසු වේ.
සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න
◻ තමාගේ දෙමව්පියන්ට ගෞරවය කරන්න යන්නෙන් අදහස් වන්නේ කුමක් ද?
◻ දෙමව්පියන් එතරම් නීති පනවන්නේ මන්ද? එම නීති ඔබට ප්‍රයෝජනවත් විය හැකි ද?
◻ දෙමව්පියන්ගේ හැසිරීම ලජ්ජාසහගත නම් ඔබ ඔවුන්ට ගෞරව කළ යුතු ද? මන්ද?
◻ ඇතැම් විට ඔබට ඔබේ දෙමව්පියන් කෙරෙහි ඇතිවිය හැකි අමනාප හැඟීම් සමඟ ක්‍රියා කිරීමේ ඇතැම් ඵලදායී ක්‍රම මොනවා ද? සමහර අඥාන ක්‍රම මොනවා ද?
[16 පිටුවෙහි හුවා දැක්වීම]
“මගේ පියා කෲර කෙනෙකු බවත්, මා විනෝදයෙන් කල් ගත කරනවාට ඔහු අකමැති බවත් මට හැඟුණ නිසා, මං පිටතට ගොස් මට හොඳයි කියල සිතුණ දේ කළා.”
[12 පිටුවෙහි ඇති පින්තූරය]
ඔබ ඔබේ දෙමව්පියන්ගේ නීති සැලකිය යුත්තේ කෙසේ ද?
[14 පිටුවෙහි ඇති පින්තූරය]
ලජ්ජාසහගත හැසිරීමක් ඇති දෙමව්පියන්ට ඔබ ගරු කළ යුතු ද?