පෙරවදන
ක්‍රියාවට නැගිය හැකි පිළිතුරු
‘මගේ දෙමව්පියන් මා ව තේරුම් නොගන්නේ ඇයි?’ ‘මං මත් ද්‍රව්‍ය සහ මත්පැන් අත්හදා බැලිය යුතු ද?’ ‘විවාහයට පෙර ලිංගික සම්බන්ධකම් ගැන කියන්න පුළුවන් කුමක් ද?’ ‘එය සැබෑ ප්‍රේමය ද කියා මම දැනගන්නේ කොහොම ද?’ ‘මා වෙනුවෙන් තිබෙන අනාගතය කුමක් ද?’
එවන් ප්‍රශ්න අසන ප්‍රථම හෝ අවසාන යෞවනයා ඔබ නොවේ. කෙසේ වුවද, යෞවනයන් මෙම මූලික ප්‍රශ්න නඟන විට, ඔවුහු බොහෝ විට එකිනෙකට විරුද්ධ වූ පිළිතුරුවලින් පිරී සිටිති. නිදසුනක් වශයෙන්, මත්පැන් පානය කිරීම ගැන සලකා බලමු. දෙමව්පියන් එහි භාවිතය අධෛර්ය කරතත්, ඔවුන් ම එය භාවිතා කරවනා වන්නට පුළුවන. සඟරා සහ රූපවාහිනි දර්ශන එය අසීමිත ලෙස වර්ණනා කරයි. එය අත්හදා බැලීමට තුල්යයෝ (සම වයසේ මිතුරෝ) ඔබ ව උනන්දු කරති. එසේ නම්, බොහෝ යෞවනයන් තමන් කළ යුත්තේ කුමක් ද යන්න ගැන ඇත්තෙන් ම ව්‍යාකූල වීම පුදුමයක් නොවේ.
අද දින යෞවනයන්ගේ ප්‍රශ්නවලට අවංක, ක්‍රියාවට නැගිය හැකි පිළිතුරුවල අවශ්‍යතාවය වටහාගෙන, එවේක්! සඟරාවa 1982 ජනවාරි මාසයේ දී “යෞවන අය අසති . . . ” යන මාතෘකාව යටතේ විශේෂාංගයක් ආරම්භ කරනු ලැබී ය. කොටස් වශයෙන් පළවන මෙම ලිපි සැනෙකින් පාඨකයන්ගෙන් සතුටුදායක ප්‍රතිචාරයක් ඇදගනු ලැබී ය. “එම කොටස් වශයෙන් පළවන ලිපි අද දින යෞවන අයගේ තත්ත්වය ගැන ඔබේ නිරන්තර උනන්දුවට සාක්ෂියකි,” යයි එක් අගය කරන පාඨකයෙක් ලීවේ ය. “මෙම ලිපි කවදාවත් අවසන් නොවේවා කියා මා ප්‍රාර්ථනා කරන අතර යාච්ඤා ද කරමි,” යයි තවත් කෙනෙක් ලීවේ ය.
තවදුරටත් තවත් යෞවන පාඨකයෙක් එය මෙසේ ප්‍රකාශ කළේ ය: ‘මට වයස අවුරුදු 14යි, නමුත් හැදෙන වැඩෙන එක, එතරම් අමාරු වේවි කියා මං කවදාවත් දැනගෙන සිටියේ නෑ. යෞවන ළමුන්ට අද ඒ තරමට ම බලපෑම් තිබෙනවා. එම ලිපිවලට මං අතිශයින් ස්තුතිවන්ත වන්නේ ඒ නිසයි. ඒවා ප්‍රකාශයට පත් කර තිබීම ගැන මං හැම රැයක දී ම දෙවියන් වහන්සේට ස්තුති කරනවා.’ කෙසේ වුවත්, එම ලිපි බොළඳ ඒවා නොවූ අතර, ඒවා ලිවීමේ දී අපගේ පාඨකයන් හෙලා දැකීමට කිසිදු වෑයමක් දරා නැත. එබැවින් “යෞවන අය අසති . . . ” ලිපි මගින් වැඩිහිටියන් අතර ද අගය කරන ශ්‍රාවක පිරිසක් සොයා ගෙන තිබෙනවා. එක් දෙමව්පියෙක් මෙසේ ලීවේ ය: “මට වයස අවුරුදු 40යි. මේ ලිපි දෙමව්පියන් වන අපට ඇත්තෙන් ම දෙවියන් වහන්සේගෙන් ලැබෙන ආශීර්වාදයක්.” යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සභාවල සිටින යෞවනයන් ව තේරුම් ගැනීමේදීත් ඔවුන් සමඟ කටයුතු කිරීමේදීත් විශේෂයෙන් ම ඒවා ප්‍රයෝජනවත් බව ක්‍රිස්තියානි වැඩිමහල්ලෝ දැනගත්හ.
“යෞවන අය අසති. . . ” එවන් උද්යෝගිමත් ප්‍රතිචාරයක් ඇති කර තිබෙන්නේ මන්ද? සපයා ඇති පිළිතුරු සැබවින් ම ක්‍රියාත්මක වන බැවිනි! සෑම ලිපියක් ම සවිස්තර පර්යේෂණයකින් වූ බිහිවීමකි. තවදුරටත්, යෞවන අයට සැබවින් ම සිතෙන්නේ හා හැඟෙන්නේ කෙසේදැයි නිශ්චය කිරීමට පිබිදෙව්! වාර්තාකරුවන් ලොව පුරා සිටින යෞවනයන් සිය ගණනක් සමඟ කථා කර ඇත! මෙම ලිපි යථාර්ථානුරූපී හා ප්‍රායෝගික ඒවා කිරීමට ඔවුන්ගේ අවංක විවෘත ප්‍රකාශන බොහෝ සේ උපකාරී වී ඇත.
කෙසේ නමුත්, “යෞවන අය අසති . . . ” ලිපිවල සාර්ථකත්වයට නියම රහස රඳා පවතින්නේ පිළිගත් සිද්ධාන්ත හෝ පෞද්ගලික මතයන් මත නොව, නමුත් දෙවියන් වහන්සේගේ වචනය වන බයිබලයේ ඇති සදාකාලික සත්‍යයන් මත පදනම් කොටගත් පිළිතුරු යන කාරණයෙනි. ‘බයිබලය?’ යයි ඔබ ඇසිය හැක. එසේ ය, යෞවන අයට පැවසීමට එහි බොහෝ දේ තිබේ. (හිතෝපදේශ පරිච්ඡේද 1-7; එපීස 6 :1-3 බලන්න.) “යෞවන වයසේ තෘෂ්ණාව” ගැන තේරුම් ඇති ව සිටින තැනැන් වහන්සේ වන, අපේ මැවුම්කරුවාණන්ගේ ආනුභාවයෙන් එය ලැබී තිබේ. (2 තිමෝති 2 :20-22; 3 :16) තව ද බයිබල් කාලවල සිට මනුෂ්‍ය සමාජය බොහෝ සේ වෙනස් වී ඇති අතර, යෞවන තෘෂ්ණාවන් වෙනස් වී ඇත්තේ ස්වල්ප වශයෙනි. මෙසේ බයිබලය එදා මෙන් අදටත් කාලෝචිත ය. කෙසේ වුවද, යෞවනයන් හට දේශනා කරන බවට හැඟීයාමක් ඉස්මතු කරනවා වෙනුවට ඔවුන් සමඟ කරුණු විමසා බලන බවට හැඟී යන ලෙස උපදෙස් ඉදිරිපත් කිරීමට අපි වෑයම් කර ඇත්තෙමු. තව ද ප්‍රධාන ලෙස යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් අතරෙහි සිටින යෞවනයන් ව සිතේ තබාගෙන එම කරුණු ලියා ඇති අතර, බයිබලයේ ඇති ප්‍රායෝගික ප්‍රඥාවට ගරු කරන ඕනෑ ම කෙනෙකුට එය කියවා භුක්ති විඳිය හැකි වේ.
බොහෝ පාඨකයන්ගේ ඉල්ලීම්වලට පිළිතුරක් වශයෙන්, අපි “යෞවන අය අසති . . . ” යන ලිපි රාශියක් පොතක ආකාරයෙන් සකස් කළෙමු. මෙහි අඩංගු වන පරිච්ඡේද 39 හි, 1982 සහ 1989 අතර එවේක්! හි පළ වූ ලිපි 200කට ආසන්න සංඛ්‍යාවකින් 100කටත් වැඩි ප්‍රමාණයකින් තොරතුරු සංක්ෂිප්ත ආකාරයෙන් ඉදිරිපත් වේ. ඇතැම් අලුත් තොරතුරු ද එකතු කර ඇත. තව ද, විවිධ දේශ සහ ජාතිවල යෞවනයන්ගේ ඡායාරූපවලින් එය අනර්ඝ ලෙස සරසා ඇත.
සුපරීක්ෂාකාරී ව පටුන පරීක්ෂා කර ඔබේ කැමැත්ත පරිදි ඔබට වඩාත් ම අදාළ වන ප්‍රශ්න වෙත කෙලින් ම යාමට බිය නොවන්න. එහෙත්, පසු ව ඔබේ ම බයිබල් පිටපතේ බයිබල් ඡේද බලමින්, පොත මුළුමනින් ම කියවා කරුණු සොයා බැලීමට කාලය ලබා ගන්නා ලෙස අපි ඔබට නිර්දේශ කරන්නෙමු.
ඇතැම් පවුල්වල, දෙමව්පිය-දරු කථාබහ හිඟ ව හෝ ඇතැම් විට දුෂ්කර ව පවතී. එබැවින් සෑම පරිච්ඡේදයක ම අවසානයෙහි දක්නට ලැබෙන සාකච්ඡාව සඳහා ප්‍රශ්න නම් වූ විශේෂාංගයක් අප එකතු කර ඇත. ඡේදයෙන්-ඡේදයට විභාග කිරීම සඳහා එම ප්‍රශ්න සකස් කර නැත. එසේ ම ඒවා දෙමව්පියන් තම දරුවන්ගෙන් වුවමනාවට වඩා ප්‍රශ්න ඇසීමට මාධ්‍යයක් ද නොවේ. ඒවා සකස් කර තිබෙන්නේ යෞවනයන් හා දෙමව්පියන් අතර සාකච්ඡාවන් සඳහා උනන්දුවක් ඇති කිරීමට ය. ඔබේ ම අදහස දීමට හෝ සාකච්ඡා වන කරුණ ඔබේ ම තත්ත්වයට යෙදීමට ප්‍රශ්නවලින් බොහොමයක් ඔබට අවස්ථාව සලසා දෙයි.
එමනිසා පවුල් පාඩමට පදනමක් වශයෙන් ඇතැම් විට මෙම පොත භාවිතා කිරීමට බොහෝ පවුල්වලට වුවමනා විය හැක. සඳහන් කර ඇති ඕනෑ ම බයිබල් පදයක් බලමින්, පවුල් සාමාජිකයින්ට වාර ගෙන ඡේද කියවීම මගින් එසේ කළ හැක. සුදුසු අනුමාතෘකා අවසන් කළ විට හෝ මුළු පරිච්ඡේදය ම අවසන් වූ විට සාකච්ඡාව සඳහා ප්‍රශ්න වරින් වර ඇසිය හැක. විවෘත ව හා අවංක ව තම හැඟීම් ප්‍රකාශ කිරීමට සියල්ලන්ට ම උනන්දු කළ හැක. යෞවන අය තමන් එකිනෙකා අතරේ මෙම පොත සාකච්ඡා කිරීමෙන් ප්‍රීතිය භුක්ති විඳිනු ඇත.
යෞවන අයට පවා මේවා “උවදුරු සහිත කාලවල්” ය. (2 තිමෝති 3 :1, NW) කෙසේ වුවත්, දේව වචනයේ දැනුමත් සමඟ, ජීවිතයේ එම දුෂ්කර කාලය තුළින් ඔබට සාර්ථක ලෙස ගමන් කළ හැකි ය. (ගීතාවලිය 119 :9) එබැවින්, ඔබ ව ව්‍යාකූල කළ හැකි ප්‍රශ්නවලට බයිබලය මත පදනම් වූ මෙම ප්‍රායෝගික පිළිතුරු රාශිය ඔබට සැපයීම අපේ සතුටයි.
ප්‍රකාශකයෝ
[අධෝලිපි]
a වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් න යෝක්, ඉන්ක්., මගින් අර්ධමාසික ව ප්‍රකාශයට පත් වේ. සිංහලෙන් “ පිබිදෙව්!”