බයිබලය විශ්වාස කිරීමට ඔබට හැකි හේතු
බයිබලය විශ්වාස කළ නොහැකි බව සමහරුන් පවසන අතර, ඔවුන්ගේ මතවලට පුළුල් පිළිගැන්මක් තිබේ. මෙනිසා අදදින බොහෝදෙනෙක් බයිබලයෙහි සඳහන් දේ විශ්වාස කළ නොහැකි බව පවසා එය පසෙක දමති.
අනික් අතට, යේසුස් දෙවිට යාච්ඤා කරද්දී පැවසුවේ “ඔබගේ වචනය සත්‍යතාවය” කියාය. එම වචන අප තුළ බයිබලය කෙරෙහි විශ්වාසයක් ජනිත කරවයි. එපමණක්ද නොව, බයිබලය දේවානුභාවයෙන් ලියන ලද බව එහිම සඳහන් වේ.—යොහන් 17:17, 18අ; 2 තිමෝති 3:16.
ඒ පිළිබඳව ඔබ සිතන්නේ කුමක්ද? බයිබලය විශ්වාස කිරීමට ස්ථිර පදනමක් තිබේද? බයිබලය තුළ එකිනෙකට පටහැනි අදහස් තිබෙන බවත්, එහි තිබෙන අදහස්වල නොගැළපීමක් තිබෙන බවත් ඔප්පු කිරීමට සැබෑ සාක්ෂි තිබේද?
එය පටහැනි අදහස්වලින් යුක්තද?
බයිබලයෙහි එකිනෙකට පටහැනි අදහස් තිබෙන බව යමෙකු පවසා සිටිය හැකි මුත්, කිසිවෙකු කවදා හෝ ඔබට එය ඔප්පු කරන සැබෑ නිදර්ශනයක් පෙන්වා තිබේද? සෝදිසියකින් පසුව, පටහැනියයි පෙනෙන කාරණා පටහැනි නොවන බව පෙනී යනු ඇත. සමහර බයිබල් වාර්තාවල එකඟ නොවන්නාක් මෙන් පෙනෙන කාරණා තිබිය හැකි බව සැබෑය. එහෙත් සාමාන්‍යයෙන් පවතින ගැටලුව වන්නේ, ඒ ඒ කාලවල තොරතුරු හා පැවති තත්වයන් පිළිබඳව තිබෙන දැනීමේ ඌනතාවයි.
නිදසුනක් වශයෙන්, සමහරුන් බයිබලයේ තිබෙන එකඟ නොවන කාරණයක් සේ සලකන දෙයක් වෙත අවධානය යොමු කරමින් මෙසේ අසනු ඇත. ‘කායින් තම බිරිඳ ලබාගත්තේ කොයින්ද?’ බොහෝදෙනාගේ අදහස වී තිබෙන්නේ ආදම් සහ ඒවට සිටියේ කායින් සහ ආබෙල් යන දරුවන් දෙදෙනා පමණක් බවය. එහෙත් මෙම අදහස ගොඩනැඟී තිබෙන්නේ බයිබලය පවසන දෙය වැරදි ආකාරයට වටහාගැනීම මතය. ආදම්ට “දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය” කියා බයිබලය පැහැදිලි කරයි. (උත්පත්ති 5:4) මෙබැවින්, කායින් තම සහෝදරියකව හෝ ඥාති දියණියකව විවාහ කරගන්ට ඇත.
පටහැනි තැන් සෙවීම තම ඉලක්කය කරගන්නා විවේචකයන් මෙසේ ප්‍රකාශ කරන්ට ඉඩ තිබේ. ‘මුලාදෑනියෙකු යේසුස්ගේ උපකාරය පතාගෙන පැමිණි බව බයිබල් ලේඛක මතෙව් පවසන අතර, මේ සඳහා නියෝජිතයන්ව යැවූ බව ලූක් පවසයි. නිවැරදි අදහස පළ කරන්නේ මේ ලේඛකයන් දෙදෙනාගෙන් කවුද?’ (මතෙව් 8:5, 6; ලූක් 7:2, 3) ඇත්තටම, මෙයින් පටහැනි අදහසක් පළ වේද?
කෙනෙකුගේ මෙහෙයවීම යටතේ මිනිසුන් යමක් සිදු කළ විට එයට මුල් වූ තැනැත්තාට එහි ගෞරවය පිරිනැමීම සාමාන්‍ය දෙයකි. සාධාරණ පුද්ගලයෙකු එය වැරදි දෙයක් ලෙස නොසිතයි. නිදසුනක් වශයෙන්, යම්කිසි පාරක් නගරාධිපති විසින් තැනූ බව වාර්තාවක සඳහන් වන්ට පුළුවන. එය සැබවින්ම තනනු ලැබුවේ ඔහුගේ ඉන්ජිනේරුවන් සහ කම්කරුවන් වුවත්, එම වාර්තාව වැරදියි කියා ඔබ සිතනවාද? ඇත්තෙන්ම නැත! මීට සමානව, මුලාදෑනියෙකු යේසුස්ගෙන් උපකාරයක් ඉල්ලා සිටි බව මතෙව් පවසා සිටියත්, එවන් ඉල්ලීමක් කරන ලද්දේ නියෝජිතයන් මාර්ගයෙන් බව ලූක් ලියුවත් එම කාරණයෙහි නොගැළපීමක් නැත.
වැඩි වැඩියෙන් තොරතුරු දැනගන්නා විට, බයිබලයෙහි එකිනෙක හා එකඟ නොවන කාරණා නොමැති බව පැහැදිලි වේ.
ඉතිහාසය හා විද්‍යාව
බයිබලයේ ඓතිහාසික නිරවද්‍යතාව බොහෝ සෙයින් සැක කරන ලදි. නිදසුනක් වශයෙන්, අෂූරියේ සර්ගොන් රජු, බබිලෝනියේ බේල්ෂශර් සහ රෝම ආණ්ඩුකාරයෙකු වූ පොන්තියුස් පිලාත් වැනි බයිබල් චරිතවල පැවැත්ම ගැන විවේචකයෝ සැක මතු කළහ. එහෙත් නූතන සොයාගැනීම් බයිබල් වාර්තා එකින් එක සැබෑ බව ඔප්පු කර ඇත. ඒ පිළිබඳව ඉතිහාසඥ මොෂේ පර්ල්මන් මෙසේ ලීවේය. “පරණ ගිවිසුමේ ඓතිහාසික කොටස්වල විශ්වාසවන්තභාවය පවා සැක කළ අය, විගස ඔවුන්ගේ අදහස් වෙනස් කරගන්ට පටන්ගත්හ.”
අප බයිබලය විශ්වාස කරන්ට නම්, එය විද්‍යාත්මක කාරණා සම්බන්ධයෙන්ද නිවැරදි විය යුතුය. එය විද්‍යාත්මකව නිවැරදිද? බයිබලයට පටහැනි අදහස් දක්වමින් විශ්වයට ආරම්භයක් නොතිබූ බව විද්‍යාඥයෝ මෑතක් වන තෙක් ස්ථිර ලෙස ප්‍රකාශ කළෝය. කෙසේවෙතත්, තාරකා ශාස්ත්‍රඥ රොබර්ට් යැස්ත්රෝව් මෙය නිෂ්ප්‍රභ කළ අතර, මෑතකදී සොයාගත් නවතම තොරතුරු ගෙනහැර පාමින් ඔහු මෙසේ පැහැදිලි කළේය. “ලෝකයේ මූලාරම්භය පිළිබඳව බයිබලයේ දෘෂ්ටියත් තාරකා ශාස්ත්රයේ සාක්ෂිත් අතර සමානකම් ඇති බව අපි දැන් දකින්නෙමු. සෑම තොරතුරක්ම එකිනෙක හා ගැළපුණේ නැතත්, තාරකා ශාස්ත්රයේ සොයාගැනීම් හා උත්පත්තිය පිළිබඳ බයිබල් වාර්තාවේ මූලික තොරතුරු එක සමානය.”—උත්පත්ති 1:1.
පෘථිවියේ හැඩය පිළිබඳව දැරූ මතයන්ද මනුෂ්‍යයන් වෙනස් කරගෙන ඇත. “බොහෝදෙනෙකු විශ්වාස කළ පරිදි ලෝකය පැතලි නොව, ගෝලාකාර බව මුහුදු ගමන්වලින් දැනගත්” බව ද වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා පැහැදිලි කරයි. එහෙත් බයිබලය මුල සිටම නිවැරදි විය! එම සොයාගැනීම්වලට වසර 2,000කට වැඩි කාලයකට ඉහතදී යෙසායා 40:22හි මෙසේ පවසා තිබිණ. ‘පෘථිවි චක්‍රය මතුයෙහි වැඩ ඉන්නේ ඔහුය.’ වෙනත් පරිවර්තනවල “පෘථිවි ගෝලය” (ඩුඒ), “ගෝලාකාර පෘථිවිය” (මොෆැට්) කියා එම පදයෙහි සඳහන් කර ඇත.
මෙලෙස මිනිසාගේ දැනුම පුළුල් වෙද්දී, බයිබලය විශ්වාස කළ හැකි බවට වූ සාක්ෂිද වැඩි වැඩියෙන් මිනිසාට දැකගත හැකි වේ. බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ කලින් සිටි අධ්‍යක්ෂකවරයෙකු වන ශ්‍රීමත් ෆ්රෙඩ්රික් කෙන්යන් මෙසේ ලීවේය. “ඇදහිල්ල ඇති කෙනෙකු සැකයකින් තොරව විශ්වාස කරන දෙය, මිනිසා දැනටමත් කර ඇති සොයාගැනීම්වලින් සනාථ වේ. එනම් මිනිස් දැනුම වැඩිවීමෙන් සිදු වන්නේ බයිබලය නිවැරදි බවට වාසිදායක සාක්ෂි ලැබීමයි.”
අනාගතය පුරෝකථනය කිරීම
එහෙත් ‘ධර්මිෂ්ඨ අලුත් අහසක් සහ අලුත් පොළොවක්’ පිළිබඳ පොරොන්දුව ඇතුළුව අනාගතය හා සම්බන්ධව බයිබලය පුරෝකථනය කරන දේවල් අපට සැබවින්ම විශ්වාස කළ හැකිද? (2 පේතෘස් 3:13; එළිදරව් 21: 3, 4) හොඳයි, අතීතයේ සිදු වූ දේවල නිරවද්‍යතාව පිළිබඳ බයිබලය සතුව ඇත්තේ කෙබඳු වාර්තාවක්ද? කලින් කලට වසර සියයකට පෙර පවා දුන් අනාවැකි තිතටම ඉෂ්ට වී තිබේ.
නිදසුනක් වශයෙන්, බලවත් බබිලෝනියේ වැටීම ගැන ඊට අවුරුදු 200කට පමණ ඉහතදී බයිබලය පුරෝකථනය කළේය. පර්සියානුවන් සමඟ හවුල් වූ මේදවරුන් ජයග්‍රාහකයන් වන බව අනාවැකියේ ප්‍රකාශ කර තිබිණ. තවද පර්සියානු රජු වූ කෝරෙෂ් ඒ වන විට ඉපද නොසිටියද, ඔහු ජය අත් කරගැනීම සඳහා පුරෝගාමීව කටයුතු කරනු ඇති බව එහි සඳහන් විය. තවදුරටත් එහි පුරෝකථනය කර තිබුණේ බබිලෝනිය ආරක්ෂා කළාවූ ප්‍රාත් ගංගාව ‘හිඳීයන’ බව හා බබිලෝනියේ “දොරටු නොවසන” බවයි.—යෙරෙමියා 50:38; යෙසායා 13:17-19; 44:27–45:1.
මෙම සුවිශේෂ තොරතුරු ඉටු වූ බව ඉතිහාසඥ හෙරොඩොටස් වාර්තා කළේය. බයිබලයේ පුරෝකථනය කර තිබුණේ බබිලෝනිය යථා කාලයේදී ජනාවාසයෙන් තොර නටබුන් ගොඩක් බවට පත් වන බවයි. එය එලෙසම සිදු විය. අදදින බබිලෝනිය පස් ගොඩැලි රාශියකින් පිරි පාළු ස්ථානයකි. (යෙසායා 13:20-22; යෙරෙමියා 51:37, 41-43) එවැනිම චමත්කාර ඉටුවීම්වලින් යුත් වෙනත් අනාවැකිවලින්ද බයිබලය පිරී තිබේ.
එසේනම්, වර්තමාන ක්‍රමය සම්බන්ධයෙන් බයිබලය පුරෝකථනය කරන්නේ කුමක්ද? එය මෙසේ පවසයි. ‘අවසාන කාලයේදී උවදුරු අවස්ථා ඇති වෙයි. . . . මිනිස්සු මිලමුදලට ආලය කරන, අහංකාර, ආඩම්බර, අශිෂ්ට, දෙමාපියන්ට අකීකරු, කෙළෙහිගුණ නොසලකන, අධර්මිෂ්ඨ, අනුකම්පා රහිත . . . දෙවිට වඩා සැප සෙල්ලමට ආශා ඇති අය වන්නෝය. ආගමේ බාහිර පෙනුම ඔවුන්ට තිබුණත්, ඔවුහු එහි අභ්‍යන්තර බලය නොසලකා හරිති.’—2 තිමෝති 3:1-5, නව අනුවාදය.
සහතිකවම, මෙහි ඉටුවීම අපි දැන් දකිමින් සිටින්නෙමු! එහෙත් ‘අවසාන කාලයේදී මුහුණ දෙන උවදුරු අවස්ථාවලට’ ඊළඟට සඳහන් වන දේවල්ද ඇතුළත් බව බයිබලය පුරෝකථනය කරයි. “ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත. . . . සාගතද” සිදු වෙනවා ඇත. මීට අමතරව, “මහත් භූමිකම්පාද නොයෙක් තැන්වල . . . වසංගතද වන්නේය.”—මතෙව් 24:7; ලූක් 21:11.
ඇත්තෙන්ම, අදදින බයිබල් අනාවැකි ඉටු වෙමින් පවතී! එසේනම්, “ධර්මිෂ්ඨයෝ දේශය උරුමකර ගන්නෝය, එහි සදාකල් වාසයකරන්නෝය” සහ “ඔව්හු තමුන්ගේ කඩුවලින් හීවැල් . . . , තළාගන්නෝය. [ඔව්හු] . . . තවත් යුද්ධ ඉගෙනගන්නේවත් නැත” වැනි ඉදිරියේදී ඉටුවීමට තිබෙන පොරොන්දු ගැන කුමක් කිව හැකිද?—ගීතාවලිය 37:29; යෙසායා 2:4.
‘ඒක නං ඇත්ත වෙන්න බැහැ’ යයි සමහරුන් පැවසිය හැක. එහෙත්, අපගේ මැවුම්කරු පොරොන්දු වන කිසිම දෙයක් සැක කිරීමට කිසිදු හේතුවක් නොමැත. ඔහුගේ වචනය විශ්වාස කළ හැකිය! (තීතස් 1:1) තවදුරටත් සාක්ෂි පරීක්ෂා කරනවා නම් මේ සම්බන්ධයෙන් ඔබේ විශ්වාසය තව තවත් ශක්තිමත් වෙන බව නම් නිසැකය.
ලංකා බයිබල් සමාගම 1995දී සංශෝධනය කළ 1938 ප්‍රතිසංස්කෘත පරිවර්තනය මෙහි විශේෂිතව සඳහන් වී නොමැති තැන්හි භාවිත කර ඇත. NW ලෙස සඳහන් බයිබල් පද, ශුද්ධ ලියවිලිවල නව ලෝක පරිවර්තනයෙන් (ඉංග්‍රීසියෙන්) රැගෙන තිබේ.
[4වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“ඇදහිල්ල ඇති කෙනෙකු සැකයකින් තොරව විශ්වාස කරන දෙය, මිනිසා දැනටමත් කර ඇති සොයාගැනීම්වලින් සනාථ වේ. එනම් මිනිස් දැනුම වැඩිවීමෙන් සිදු වන්නේ බයිබලය නිවැරදි බවට වාසිදායක සාක්ෂි ලැබීමයි.”