සුන්දර ගමක ආරක්ෂකයා!
අපි දැන් සිටින්නේ අවුරුදු 800ක් විතර පැරණි කුලුනක් ඇතුළෙයි. අඩි 80ක් පමණ උස මේ කුලුනේ සිට වටපිටාව දෙස බලන විට සෑම තැනකම වගේ තිබෙන්නේ මේ හා සමාන කුලුනුයි. පුරාණයේදී මේවා ඉදි කර තිබෙන්නේ නිවස හෝ ගම ආරක්ෂා කරන මුරකරුට සිටීමටයි. එය නිවසේ හෝ ගමේ ආරක්ෂකයා හා සමානයි. මෙවැනි ආරක්ෂකයන් සිටින සුන්දර ගම්මානය තිබෙන්නේ ජෝර්ජියාවේයි.
කුලුන හෙවත් මුරටැඹ උඩ සිට බලන විට පහත පෙනෙන්නේ නිල් පළසක් අතුරලා වගෙයි. මේ පළස වට කරගෙන සිටින්නේ හිමවලින් වැසී ගිය දැවැන්ත කඳු පෙළයි. මේ සියල්ලට ඉහළින් පැහැදිලි අසහ දිස් වුණා. මේ වර්ණ සංකලනය නිසා මුළු පරිසරයේම තිබුණේ අමුතුම සුන්දරත්වයක්.
අපේ සංචාරය
අපේ සංචාරය ඇරඹුණේ ජෝර්ජියාවේ කලු මුහුද අසල පුංචි නගරයකිනුයි. ඈතින් තිබෙන හිමෙන් වැසුණු සුදුවන් කඳු පන්තිය මෙම ස්ථානයටත් හොඳින් දිස් වෙනවා. උදෑසනින්ම අපි ඉඟුරී ගංගාව දිගේ යන්න පටන්ගත්තා.
ගඟ දෙපස ඇති ළඳු කැලෑවන්ද වර්ණවත් මලින් බර වූ ගස් වැල්ද ඉතාමත් අලංකාරයි. සවස් වෙනකොට අපි බෙචෝ කියන කුඩා ගම්මානයට ආවා. මේ සුන්දර ගම තිබෙන්නේ උෂ්බා කියන කන්ද පාමුලයි. මෙම කන්ද අඩි 15,453ක් උසයි. කඳු නඟින්නන් අතර මෙම කන්ද ඉතාමත් ජනප්‍රියයි.
ගමන නිසා අපිට ටිකක් මහන්සි දැනුණා. ඒ වගේම අපි හැමෝම හුඟක් බඩගින්නෙනුයි හිටියේ. රෑ වෙනකොට අපි ගිනිමැලයක් ගහගෙන බැටළු මස්වලින් පිළියෙල කරගත්ත ආහාරයක් සහ ඒ ප්‍රදේශයේ සාදන විශේෂ රොටි වර්ගයක් කෑවා. බැටළු මස්වලින් හඳාගත්ත ආහාරය හඳුන්වන්නේ ෂිශ් කෙබාබ් කියලයි. ඒත් එක්කම ජෝර්ජියාවේ හදන වයින් වීදුරුවක රස බැලීමටත් අපි අමතක කළේ නැහැ.
ඊළඟ දවසේ උදේ අපි මෙස්ටියා කියන ගමට ආවා. අපි දැකලා තියෙන ලස්සනම කඳු පන්තිය තිබුණේ එහේයි. අපි කලින් සඳහන් කළ විශාල කුලුන තිබෙන්නේ මෙස්ටියාවලයි. මෙතැන සිට කඳුකර ප්‍රදේශයේ තවත් කිලෝමීටර් 45ක් පමණ දුරක් යන විට අපි උගූලි කියන ගම්මානයට ආවා. එය පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට අඩි 7,220ක් පමණ ඉහළිනුයි.
මේ ගම්මානය බලන්න එන්න සිද්ධ වුණේ කඳු බෑවුම් සහිත පටු, පාළු පාරකින්. පාරේ එක පැත්තක් කන්ද, අනික් පැත්තේ ප්‍රපාතය. පහළින් පෙනෙන්නේ ගඟයි. ගමන දුෂ්කර වුණත් උගූලි ගම දැක්කම ඒ ඔක්කොම අමතක වුණා. මෙහෙත් තැනින් තැන කුලුනු තිබුණ අතර ඒ සෑම කුලුනක් වට කරගෙන ගෙවල් කිහිපයක් හඳලා තිබුණා. එම ගම්මානයට නුදුරින් තිබුණේ ෂ්කාරා කියන දැවැන්ත කන්දයි. හිමවලින් වැසිලා තිබුණ මේ කන්ද නිල් අහසත් එක්ක දකින්න ලැබෙන්නේ හරියට අත්වැල් බැඳගෙන ඉන්නවා වගෙයි.
ජෝර්ජියාවේ උසම කන්ද, ෂ්කාරා කන්ද වන අතර එය අඩි 17,064ක් උසයි. මෙය කිලෝමීටර් 1,207ක් පමණ විශාල කොකේසස් කඳු වැටියේ කොටසක්. බලන බලන හැම තැනකම වගේ අපිට දැකගන්න තිබුණේ කඳු බෑවුම්, තැනිතලා සහ නිම්නයි. දර්ශනය ඉතා සුන්දර වුණත් ඒ තැන් නරඹන්න යන්න අමාරුයි.
ප්‍රදේශවාසීන්ගේ ඉතිහාසය
මේ කඳුකරයේ ජීවත් වෙන ප්‍රදේශවාසීන්ට හුඟක් පැරණි ඉතිහාසයක් තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේම කියා භාෂාවක්ද තියෙනවා. ඔවුන් ස්වාධීනව ජීවත් වෙන්න කැමති පිරිසක්. ඒ නිසා කිසිම පාලකයෙකුට ඔවුන්ව යටත් කරගන්න ඉඩ දීලා නැහැ. දහඅටවන සියවසයේදී එහි සංචාරය කළ එක් ගවේශකයෙක් මෙවැනි දෙයක් පැවසුවා. මේ කඳුකරයේ ජීවත් වෙන අයගේ “මූලික අවශ්‍යතාව වුණේ ඔවුන්ගේ නිදහස රැකගැනීමයි. ඔවුන්ගේ සමාජය ගොඩනඟා තිබුණෙත් එම ප්‍රතිපත්තිය මතයි.”
ඔවුන්ට මේ ආකාරයෙන් නිදහසේ ජීවත් වෙන්න හැකි වෙලා තිබෙන්නේ මූලික හේතු දෙකක් නිසයි. එකක් තමයි ඔවුන් විශාල කඳුවලින් වට වී සිටීම. ඒ නිසා අනික් අයගෙන් ඔවුන්ට තර්ජනයක්වත් කිසිම බලපෑමක්වත් නැහැ. අනික් එක නම් මුර කුලුනු තිබීමයි. මේවා නිසා ගම්වැසියන් සතුරන්ගෙන් ආරක්ෂා වුණා. ඒ වගේම කඳුවල හිම කඩා වැටෙන අවස්ථාවලදී කුඩා ගොඩනැඟිලි යට වී ගියත් මෙම කුලුනුවලින් ඔවුන්ට ආරක්ෂාව ලැබුණා.
මුර කුලුනක් ඇතුළට යමු
අපි බලන්න ගිය එක කුලුනක් හදලා තියෙන්නේ 12වන සියවසේදීයි. නිවස ඉදි කර තිබුණෙත් ඒ කුලුනටම අලළායි. සාමාන්‍යයෙන් මෙවැනි ගෙයක තට්ටු දෙකක් තිබෙනවා. පළමු තට්ටුවේ මුලින්ම දකින්න තිබුණේ ගිනිමැලය සඳහා සකස් කර තිබූ විශාල ස්ථානයයි. ඔවුන්ට අවශ්‍ය උණුසුමත් නිවසට අවශ්‍ය එළියත් ලැබුණේ මේ ගිනිමැලයෙනුයි. නිවස ඇතුළේ තිබුණ තවත් විශේෂ දෙයක් වුණේ ලොකු ලී පුටුවයි. සාමාන්‍යයෙන් ගෘහ මූලිකයා වාඩිවෙන්නේ මේ පුටුවෙයි. ගෙදරදොරේ වැඩ කළේ නිවසේ සිටි කාන්තා පාර්ශ්වයයි. ඔවුන් පිටි ඇඹරීම, පාන් සෑදීම, ගෙදර දොර අස්පස් කිරීම, සතුන්ට කෑම දීම හා ගිනිමැලය දල්වා තැබීම වැනි දේවල් මාරුවෙන් මාරුවට කළා.
කුලුන සාදා තිබුණේ ගල්වලින්. එය සුදු හුණු වර්ගයකින් කපරාරු කර තිබුණා. බොහෝවිට මෙවැනි කුලුනක තට්ටු හතරක් තිබෙනවා. අපි එයට ඇතුල් වුණේ නිවස ඇතුළෙන්මයි. ඒක ඇතුළේ හරිම අන්ධකාරයි. මෙවැනි කුලුනුවල පහළ තට්ටු භාවිත කර තිබෙන්නේ ගබඩාවක් හැටියටයි. ජලය, පිටි, පලතුරු, චීස්, වයින් හා මස් මෙහි ගබඩා කළා.
මෙහි උඩ තට්ටුවේ කුඩා කවුළු දැකගන්න තිබෙනවා. ගැටුම් ඇති වුණ අවස්ථාවලදී සතුරන්ට පහර දීලා තිබෙන්නේ මේ තට්ටුවේ සිටයි. හදිසි අවස්ථාවලදී පවුලේ අය නිදාගත්තේ කුලුනේ පහළ හෝ මැද තට්ටුවේයි. දහනවවන සියවසයේදී මේ ප්‍රදේශයට පැමිණි සංචාරකයෙක් මෙසේ පැවසුවා. “මේ ප්‍රදේශයේ අයගේ ගැටුම් විසඳන්න ගමේ නිලධාරීන් නැහැ. ඔවුන් එක් එක් කෙනා තම තමන්ගේ ආරක්ෂාව සඳහා සටන් කිරීමට වුණත් සූදානමින් සිටියා.”
අපේ ගමන අවසන් කර නැවත නිවෙස් කරා පැමිණෙන විට අපේ හදවත් පුදුමාකාර සතුටකින් පිරී තිබුණා. ඒ වගේම ඒ සුන්දර පරිසරය මතක් වන විට ඒවා නිර්මාණය කළ යෙහෝවා දෙවිට අප මොන තරම් ස්තුතිවන්ත විය යුතුද කියාත් අපට සිතුණා. පුරාණයේදී මෙවැනි කුලුනු ඉදි කළේ ගම්වල ආරක්ෂාව සඳහායි. නමුත් දෙවි මේ පොළොව පාලනය කරන කාලයේදී ආරක්ෂාව පතා මෙවැනි කුලුනු ඉදි කිරීමට අවශ්‍යතාවක් ඇති වන්නේ නැහැ. ඊට හේතුව බයිබලයේ මෙසේ විස්තර කරනවා. “ඔවුහු එක් එක් කෙනා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද සුව සේ කල් ගෙවනු ඇත. කිසිවෙක් ඔවුන්ව බියගන්වන්නේ නැත.”—මීකා 4:4; රෝම 8:21, 22.
[16වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Top: Paata Vardanashvili