මහලු ඔබ සම්පතක්!
බාල මහලු අපි කවුරුත් යම් අවස්ථාවලදී වැටී තිබෙනවා. ඒ වගේ වෙලාවකදී අපට ලොකු ලැජ්ජාවක් ඇති වෙනවා. ඒත් යෞවන කෙනෙකුට නම් ඉක්මනින්ම නැඟිටිලා ඇවිදින්න පුළුවන්. නමුත් මහලු කෙනෙක් වැටුණොත් අස්ථි බිඳෙන්න හෝ ශල්‍යකර්මයක් කර මාස ගණනක් ඇඳටම සීමා වෙන්න හෝ ඉඩ තිබෙනවා. පසුව ඔහු සුව වුණත් නැවතත් වැටෙයි යන බිය නිසා සමහරවිට වැඩිය ඇවිදින්න උත්සාහ නොකරන්නත් පුළුවන්.
වයස අවුරුදු 65ට වැඩි අය අතරින් සෑම තුන්දෙනෙකුගෙන් එක් අයෙක් වැටීමෙන් අනතුරට ලක් වන බව එක් බටහිර රටකින් වාර්තා වෙනවා. ඒවා මොන තරම් බරපතළද කියනවා නම් සමහර අවස්ථාවලදී ඔවුන් මිය යන්න පවා ඉඩ තිබෙනවා. ඒ නිසා ඔවුන් ගැන බයිබලයේ පවසන මේ දෙය කොතරම් සත්‍යයක්ද! මහලු අයට “උස් තැන් දකින විටත් මාර්ගයේ ගමන් කරන විටත් මහත් බියක් දැනෙනු ඇත.”—දේශනාකාරයා 12:5.
ඔබ මහලු කෙනෙක් නම් දිනෙන් දින ඔබට මුහුණ දීමට සිදු වන අභියෝග වැඩි වෙනවා. ඒ නිසා ඔබේ ආරක්ෂාව සඳහා ඔබට යම් දේවල් කළ හැකියි. එසේ කිරීමෙන් ජීවිතය සතුටින් ගත කිරීමට ඔබට හැකියි. උදාහරණයකට ඔබේ ශරීර සෞඛ්‍යය ගැන හා නිවස තුළ සිදු විය හැකි අනතුරු ගැන සැලකිලිමත් වීම ඔබට බොහෝ සේ ප්‍රයෝජනවත් වෙයි.
ඔබේ ශරීර සෞඛ්‍යය
ඔබ වයසට යන විට ඔබේ ශරීරය දුර්වල වෙනවා. උදාහරණයකට ඇස් පෙනීම අඩු වීම, වාරු නැති වීම හා අස්ථි දුර්වලවීම වැනි දේවලට මුහුණ දීමට සිදු වෙනවා. ඒවා වළක්වන්න බැහැ. නමුත් ව්‍යායාම් කිරීමෙන් හා පෝෂ්‍යදායි ආහාර ගැනීමෙන් ඔබේ ශරීර සෞඛ්‍යය යම් ප්‍රමාණයකට හෝ රැකගන්න ඔබට හැකියි. කායික චිකිත්සකවරියක් වන නීටා ඒ ගැන මෙසේ පැවසුවා. “ව්‍යායාම් කිරීම ඉතාමත් වැදගත්. එහෙම කරනවා නම් ශරීරයේ සමබරතාව, නම්‍යශීලීත්වය හා කාය ශක්තිය වර්ධනය කරගන්න පුළුවන්.”
එක්සත් ජනපදයේ සෞඛ්‍යය හා මානව සේවා දෙපාර්තුමේන්තුව විසින් පළ කළ සඟරාවක මෙසේ සඳහන් වුණා. “මහලු අයට සිටගැනීම හෝ ඇවිදීම අපහසු වෙන්න පුළුවන්. ඒ වුණත් ව්‍යායාම් කරනවා නම් ඒ අයට බොහෝ ප්‍රයෝජන අත් කරගත හැකියි. නමුත් කිසිම ව්‍යායාමයක් නොකර සිටීම නම් ඇත්තටම අනතුරුදායකයි.”a එමෙන්ම ව්‍යායාම් කිරීමෙන් හෘද රෝග, ඔස්ටියෝපොරෝසීස් සහ මානසික පීඩනය ඇති වීමේ අවදානම අවම කරගත හැකියි. ඊට අමතරව රුධිර සංසරණ පද්ධතියට, ආහාර ජීර්ණයට සහ හොඳ නින්දක් ලබාගැනීමටත් එය ප්‍රයෝජනවත්. ඒ තුළින් ඔබේ ආත්ම විශ්වාසයද වැඩි වෙයි.
ඔබට ව්‍යායාම් කර පුරුද්දක් නැත්නම් එසේ කිරීමට පෙර ඔබේ වෛද්‍යවරයා සමඟ ඒ ගැන කතා කරන්න. ව්‍යායාම් කරන අතරතුරේදී පපුවේ කැක්කුමක් හෝ ක්ලාන්ත ගතියක් ඇති වෙනවා නම් වහාම ඒ බව ඔබේ වෛද්‍යවරයාට දැනුම් දෙන්න. ඒ සඳහා නිතරම ඔබේ වෛද්‍යවරයාගේ දුරකථන අංකය ළඟ තබාගැනීම වැදගත්. කිසිවිටෙකත් එවැනි අපහසුතා නොසලකාහරින්න එපා. ඒ වගේම අවුරුද්දකට වරක් ඔබේ ඇස්ද පරික්ෂා කරගන්න.
ඔබ ගන්නා ආහාරවල පෝෂ්‍ය ගුණය ගැන සැලකිලිමත් වීම ඉතාමත් වැදගත්. වයසට යෑමත් සමඟම අස්ථි දුර්වල වන නිසා කැල්සියම් හා විටමින් D අඩංගු ආහාර වැඩි වශයෙන් ආහාරයට ගන්න. ඒ සඳහා ධාන්‍ය වර්ග, මේදය අඩු කිරි ආහාර, අලුත් පලතුරු සහ එළවළු ආහාරයට ගත හැකියි. කෙසේවෙතත් ඔබේ ආහාර පිළිබඳව වෛද්‍යවරයා සමඟ කතා කරන්න අමතක කරන්න එපා. එවිට ඔබේ වයසට සහ සෞඛ්‍ය තත්වයට අනුව වඩාත් ගැළපෙන ආහාර මොනවාද කියා ඔහු ඔබට පවසයි.
බොහෝ වැඩිහිටියන් මුහුණ දෙන ගැටලුවක් වන්නේ විජලනයයි. ඊට අමතරව ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම නිසා බඩ වියළීම, සම වියළීම, මතක ශක්තිය අඩු වීම හා ආසාදන ඇති විය හැකියි. සමහරවිට මිය යන්න පවා ඉඩ තිබෙනවා. ඒ නිසා ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්න.
ඔබේ නිවස
බොහෝ මහලු අයට අනතුරු වෙන්නේ නිවසේදීමයි. නමුත් පහත සඳහන් ක්‍රියාමාර්ග ගැනීමෙන් එම අවදානම අඩු කරගත හැකියි.
නාන කාමරය:
● බිම ලිස්සන්නේ නැති ආකාරයට සකස් කරගන්න.
● හැකි නම් වාඩි වී නාන්න. එමෙන්ම වතුර කරාම පහසුවෙන් ඇරීමට සහ වැසීමට හැකි වන ලෙස සාදාගන්න.
● වැසිකිළි භාවිතයෙන් පසුව හෝ වාඩි වී නෑමෙන් පසුව අල්ලාගෙන නැඟිටීම සඳහා ආධාරකයක් සවි කරගන්න.
● හැකි නම් එළි වන තුරු අඩු ආලෝකයක් තිබෙන විදුලි බුබුළක් දල්වා තබන්න. නැත්නම් විදුලි පන්දමක් ළඟ තබාගන්න.
පඩි පෙළ:
● ඇවිදීමට බාධා වන ලෙස මල් පෝච්චි වැනි කිසිවක් තියන්න එපා. පඩි පෙළට හොඳින් ආලෝකය වැටීම අවශ්‍යයි.
● පඩි පෙළ දෙපස අත්වැටක් සාදාගන්න. එමෙන්ම පඩි ලිස්සන්නේ නැති බවට වගබලා ගන්න. පඩි නැඟීමට හෝ බැසීමට පෙර ඉක්මනින් විදුලි බුබුළු දැල්වීමට හැකි වන සේ පඩිපෙළේ ඉහළ සහ පහළ ස්විච් සවි කිරීම වඩා හොඳයි.
● පඩි නැඟීම හොඳ ව්‍යායාමයක්. නමුත් ඔබට ඇවිදීමේ අපහසුතාවක් තිබෙනවා නම් තනිවම පඩි නඟීමෙන් වළකින්න.
නිදන කාමරය:
● අනවශ්‍ය ලෙස කාමරයේ බඩු ගොඩ ගසාගන්න එපා. එය ඔබට බාධාවක් විය හැකියි.
● වාඩි වී ඇඳුම් මාරු කරනවා නම් වඩා හොඳයි.
● ඇඳ අසල විදුලි පන්දමක් තබාගන්න.
මුළුතැන්ගෙය:
● මුළුතැන් ගෙයි මේස මත අනවශ්‍ය දේවල් තැබීමෙන් වළකින්න. එසේ කිරීමෙන් ඉඩ අවශ්‍ය අවස්ථාවකදී ඔබට ඉක්මනින්ම එතැනින් යමක් තැබිය හැකි වෙයි.
● බිම ලිස්සන්නේ තැති තත්වයක තිබෙනවාද කියා පරීක්ෂා කර බලන්න.
● කුළු බඩු තබන කබඩ් හෝ රාක්ක ඔබේ උසට සරිලන උසකින් තබාගන්න. නමුත් ඉහළ තිබෙන දේවල් ගන්න හෝ යම් වැඩක් කිරීමට කිසිවිටෙක පුටු මත නඟින්න එපා.
වෙනත්:
● වැසිකිළි යෑමට හෝ වෙනත් අවශ්‍යතාවකට රෑට අවදි වීමේ පුරුද්දක් ඔබට තිබෙනවා නම් රෑ පුරාම ආලෝකය අඩු විදුලි බුබුළක් දල්වා තබන්න.
● විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී ඇවිදින විට හැරමිටියක් භාවිත කරනවා නම් වඩා හොඳයි.
● ඔබ භාවිත කරන පුටුව ශක්තිමත් එකක් මෙන්ම ඔබට සරිලන උසකින් තිබීම ඉතාමත් යෝග්‍යයි. පුටුවේ ඇඳි තිබෙනවා නම් වාඩි වීමට හා නැඟිටීමට පහසු වෙයි. නමුත් කිසිවිටක පුටුවලට රෝද සවි කරන්න එපා.
● කාපට් හෝ ටයිල් අතුරා තිබෙනවා නම් ඒවා හොඳ තත්වයකින් තිබීම අවශ්‍යයි. ඒ වගේම පය පැටලී වැටෙන ආකාරයට නිවස තුළ එහාට මෙහාට වයර් අදින්න එපා.
● පාපිසි නිසා පය පැටලෙන්න හෝ ලිස්සන්න ඉඩ තිබෙනවා. ඒ නිසා ඒවා බිමට හොඳින් සවි කරන්න. නැත්නම් ඒවා ඉවත් කරන්න.
● අඩිය ගෙවුණු සපත්තු හෝ සෙරෙප්පුද අඩි උස සපත්තුද පැළඳීමෙන් වළකින්න. ඒ වගේම ඔබේ කකුලට වඩා විශාල සෙරෙප්පු පළඳින්නත් එපා.
● සමහර බෙහෙත් වර්ග නිසා ඔබට කරකැවිල්ලක් වැනි අපහසුතාවක් ඇති වෙනවා නම් ඒ බව ඔබේ වෛද්‍යවරයාට දැනුම් දෙන්න.
ඉහත සඳහන් දේවල් සමඟ බලන විට ඔබේ ආරක්ෂාව වෙනුවෙන් යම් සකස් කිරීමක් කරන්න අවශ්‍යයි කියා ඔබට හැඟෙනවා නම් එසේ කිරීමට කල් දමන්න එපා. ඔබට එය තනිවම කිරීම අපහසු නම් වෙනත් කෙනෙකුගෙන් උපකාර ඉල්ලන්න.
අපට කළ හැකි දේ
ඔබේ නිවසේ මහලු දෙමාපියන් හෝ ආච්චිලා සීයලා සිටිනවාද? එසේනම් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔබටත් යමක් කළ හැකියි. උදාහරණයකට ඉහත සඳහන් කරුණු ඔවුන් සමඟ කතා කර ඔවුන්ට උපකාර අවශ්‍ය පැති මොනවාද කියා සොයා බලන්න. ඔවුන්ගේ අවශ්‍යතාව අනුව ඔවුන්ට ආහාර පිළියෙල කර දෙන්න. මහලු අයට ව්‍යායාම් කිරීම අත්‍යවශ්‍ය වුණත් ඔවුන් තනියම එළියට යන්න බියක් දක්වන්න පුළුවන්. ඒ නිසා ඔබට ඔවුන් සමඟ ටිකක් ඇවිදින්න යන්න පුළුවන්ද කියා කල්පනා කර බලන්න.
මහලු අයව රැකබලා ගැනීම අප සෑම කෙනෙකුගේම වගකීමක්. ඒ නිසා බයිබලයේ අපට මෙසේ පවසනවා. “පැසුණු හිසකෙස් ඇති කෙනෙකු ඉදිරියේ නැඟිට සිටින්න. මහලු තැනැත්තෙකුට ඔබ ගෞරවයෙන් සැලකිය යුතුයි. ඔබ ඔබේ දෙවිට ගරුබිය දැක්විය යුතුයි.” (ලෙවී කතාව 19:32) යෙහෝවා දෙවිව බයිබලයේ හඳුන්වා තිබෙන්නේ “පුරාතන තැනැත්තා” ලෙසයි. (දානියෙල් 7:9) ඉන් පෙනී යන්නේ මහලු අයට ගරු කිරීම දෙවි අපෙන් බලාපොරොත්තු වන බවයි. ඒ බව ඔහු පවසා ඇති මේ දෙයින්ද පැහැදිලි වෙනවා. “ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න.” (නික්මයාම 20:12) මහලු අයට ගරු කිරීමෙන් පෙන්වන්නේ අප යෙහෝවා දෙවිටත් ඔහුගේ අණ පනත්වලටත් කීකරු වන බවයි. අනික් අතට අපි කැමැත්තෙන්ම කරන උපකාර මහලු අය හුඟක් අගය කරයි. ඒ බව දකින ඔබ කොතරම් සතුටක් ලබයිද කියා සිතා බලන්න!
[පාදසටහන]
a වැඩි විස්තර දැනගැනීම සඳහා 2005 මැයි පිබිදෙව්! කලාපය බලන්න.
[15වන පිටුවේ කොටුව/පින්තූර]
හදිසි අවස්ථාවකදී
සමහර රටවල මහලු අය ජීවත් වන්නේ තනිවමයි. එවැනි රටවල මහලු කෙනෙකුට හදිසි අවස්ථාවදී උපකාර ඉල්ලීම සඳහා භාවිත කළ හැකි කුඩා ඉලෙක්ට්‍රොනික උපකරණයක් නිර්මාණය කර තිබෙනවා. බොහෝවිට ඔවුන් මෙම කුඩා උපකරණය ඔවුන්ගේ බෙල්ලේ හෝ අතේ පැළඳ සිටිනවා. ඔබේ රටෙත් මෙම සේවාව තිබෙනවාද කියා සොයා බලන්න.