දරුවා අන්තර්ජාලය භාවිත කරනවා නම් ඔබ දැන සිටිය යුතු දේ
දරුවන්ව ආරක්ෂා කරගැනීමට නම් පරිගණකය තබන ස්ථානය වැදගත් වන බව කාලයකට ඉහතදී පෙනී ගියා. පරිගණකය නිවසේ සෑම කෙනෙකුටම පෙනෙන ස්ථානයක තැබීමෙන් නුසුදුසු වෙබ් අඩවිවලට පිවිසීමේ ඉඩකඩ අඩුයි. දරුවන්ගේ නිදන කාමරය තුළ පරිගණකය තැබීමෙන් අන්තර්ජාලයට නිදහසේ පිවිසීමට ඔවුන්ට හැකි නිසා එය පොදු ස්ථානයක තැබීම ඉතා ඥානවන්ත දෙයක්. නමුත් එහි අනතුරක් නැහැයි කියා සිතිය නොහැකියි. මන්ද අද ඕනෑම ස්ථානයකදී රැහැන් රහිත තාක්ෂණික උපකරණ භාවිත කරමින් දරුවන්ට අන්තර්ජාලය භාවිත කිරීමට හැකි වීමයි. ඒ වගේම අන්තර්ජාල පහසුකම් මුදල් ගෙවා ලබාගත හැකි සන්නිවේදන මධ්‍යස්ථානද අද ලොව වටා දැකගත හැකියි. බොහෝ ජංගම දුරකථනවලද එම පහසුකම තිබෙනවා. ඒවායින් පැහැදිලි වන්නේ දෙමාපියන් නොදැනුවත්ව දරුවන්ට විවිධ ක්‍රම යොදාගෙන අන්තර්ජාලයට පිවිසිය හැකි බවයි.
අන්තර්ජාලය තුළින් වෙනත් අය සමඟ සම්බන්ධ විය හැකි ක්‍රම සහ ඉන් ඇති විය හැකි අනතුරු පිළිබඳව අපි සලකා බලමු.
පහත සඳහන් වෙන්නේ ඉන් ක්‍රම හයක් පමණයි. ඔබ දෙමාපියෙක් නම් අන්තර්ජාලය භාවිත කිරීමේදී හසු විය හැකි උගුල්වලින් ඔබේ දරුවාව ආරක්ෂා කරගත හැක්කේ කෙසේද?
විද්‍යුත් තැපෑල හෙවත් ඊ-මේල්
ඒ මොනවාද? පරිගණක මාර්ගයෙන් ලිපි හුවමාරු කරගත හැකි ක්‍රමයක්.
ඉටු වන කාර්යය කුමක්ද? ඕනෑම කෙනෙකු සමඟ ඉතා අඩු වියදමකින් හා ඉක්මනින් ලිපි හුවමාරු කරගත හැකියි.
ඔබ දැනගත යුතු දේ. නුසුදුසු ලිපිද මේ ක්‍රමය ඔස්සේ හුවමාරු වෙනවා. ලිංගික කාරණා හා සම්බන්ධ දේවල්ද එමගින් හුවමාරු කරගැනීමේ හැකියාව තිබෙනවා. ඊ-මේල් සමඟ ලැබෙන වෙනත් පණිවිඩ ඔස්සේ යෑමෙන් නොදැනුවත්වම දරුවාගේ පෞද්ගලික තොරතුරු වෙනත් අයට ලබාගත හැකියි. එය අනතුරුදායකයි. ඒ වගේම ලැබෙන අනවශ්‍ය ඊ-මේල්වලට තමන් අකමැති බව දැන්වීමෙන් එම ලිපින භාවිතයේ තිබෙන බව එවැනි පුද්ගලයන් දැනගන්නවා. එය අනවශ්‍ය ඊ-මේල් දිගටම එවීමට දිරිගැන්වීමක්.
වෙබ් අඩවි (WEB SITES)
ඒ මොනවාද? විවිධ සංවිධාන, අධ්‍යාපනික ආයතන, ව්‍යාපාර හා විවිධ පුද්ගලයන් තොරතුරු ඇතුළත් කර නිර්මාණය කර ඇති ඉලෙක්ට්‍රෝනික පිටු රැසක එකතුවක්.
ඉටු වන කාර්යය කුමක්ද? අන්තර්ජාලය තුළ මිලියන ගණන් වෙබ් අඩවි දකින්න ලැබෙනවා. ඒවා මගින් යෞවනයන්ට භාණ්ඩ මිල දී ගැනීමට, පර්යේෂණ කිරීමට, මිතුරු මිතුරියන් හා සම්බන්ධ වීමට මෙන්ම විවිධ ක්‍රීඩා හා ගීත තමන්ගේ පරිගණකයට ලබාගැනීමටද හැකියි.
ඔබ දැනගත යුතු දේ. මෙම වෙබ් අඩවිවල වැරදි දේවලට අන් අයව පෙලඹවීමට මාන බලන මිනිසුන් සැරිසරනවා. මිනිසුන් ලිංගික ක්‍රියාවල නිරත වන ආකාරය බොහෝ වෙබ් අඩවිවල තිබෙන අතර එවැනි දර්ශන නොදැනුවත්වම පරිගණක තිරය මත දිස් වෙන අවස්ථාද එමටයි. අමෙරිකාවේ වෙසෙන අටත් දහසයත් අතර වයස් කාණ්ඩවල දරුවන්ගෙන් සියයට 90ක්ම පාසැලේ වැඩ කටයුතු සඳහා පර්යේෂණ කරමින් සිටින විට එවැනි කාමුක දර්ශන දැක තිබෙන බව සමීක්ෂණයකින් හෙළි වුණා.
තවදුරටත් මෙම වෙබ් අඩවි මගින් සූදුවේ නියැලීමටද හැකියි. කැනඩාවේ කළ සමීක්ෂණයකින් හෙළි වූයේ දහවන සහ එකළොස්වන ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරුවන්ගෙන් හතරෙන් එකක්ම මෙම වෙබ් අඩවිවලට පිවිස ඇති බවයි. එලෙස සූදුවේ නියැලීමේ ප්‍රවණතාව එන්න එන්නම වැඩිවීම නිසා විද්වතුන්ගේ අවධානය ඒ කෙරෙහි යොමු වී තිබෙනවා. එමෙන්ම අසාමාන්‍ය ලෙස ආහාර පාලනය කිරීමේ ක්‍රම පිළිබඳවත් සමහර වෙබ් අඩවිවලින් තොරතුරු සපයනවා.a ඉන් එහි ඇති අනතුරුදායක පැත්ත සඟවා එය සියල්ලන් අතරේ පිළිගත් දෙයක් හැටියට පෙන්වා දෙනවා. ඒ වගේම ජාති සහ ආගම් භේදවලට උල්පන්දම් දෙන වෙබ් අඩවිද තිබෙනවා. සමහර වෙබ් අඩවිවලින් බෝම්බ සහ විෂ ද්‍රව්‍ය සාදන ආකාරය ගැනද ත්රස්තවාදීන් හා සම්බන්ධ වන ආකාරය ගැනද තොරතුරු සපයනවා. එමෙන්ම අතීශය සැහැසික ක්‍රියා හා ලේ වැගිරීම් ඇතුළත් ක්‍රීඩා සහිත වෙබ් අඩවිද තිබෙනවා.
සංවාද කුටි (CHAT ROOMS)
ඒ මොනවාද? යම් විෂයක් ඔස්සේ විවිධ පුද්ගලයන් සමඟ සජීවීව සංවාද ආරම්භ කිරීම සඳහා වෙබ් අඩවිවල වෙන් කර ඇති කුටි එලෙස හඳුන්වයි.
ඉටු වන කාර්යය කුමක්ද? මින් ඔබේ දරුවාට කිසිවිටක දැක නැති පුද්ගලයන් සමඟ අදහස් හුවමාරු කරගැනීමට හැකියි.
ඔබ දැනගත යුතු දේ. කාමාතුරයන් මෙවැනි සංවාද කුටි යොදාගෙන අන්තර්ජාලය ඔස්සේ ලිංගික කාරණා හා සම්බන්ධ දේවලට අන් අයව හසු කරගැනීමට මාන බලමින් සිටිනවා. අන්තර්ජාලය පිළිබඳව පොතක් ලියූ එක් ලේඛිකාවකගේ මේ අද්දැකීම සලකා බලන්න. ඇය ලියූ පොතට තොරතුරු සෙවීම සඳහා ඇය වයස අවුරුදු 12ක දැරියක් මෙන් පෙනී සිටිමින් සංවාද කුටියකට පිවිසුණා. “වැඩි වේලාවක් යන්න කලින් එක් පුද්ගලයෙක් ඔහුගේ පෞද්ගලික සංවාද කුටියකට ඇයට ඇරයුම් කළා. නමුත් ඊට සම්බන්ධ වන්නේ කෙසේද කියා ඇය නොදන්නා බව සඳහන් කළ විට ඔහු එම කුටියට පිවිසෙන ආකාරය ඇයට පැහැදිලි කළා. එම සංවාද කුටියට ඇතුල් වූ ඇයට අන්තර්ජාලය ඔස්සේ තමන් සමඟ ලිංගික සම්බන්ධකමක් පැවැත්වීමට ඔහු ආරාධනා කළා.”—What in the World Are Your Kids Doing Online?
ක්ෂණික පණිවිඩ (INSTANT MESSAGES)
ඒ මොනවාද? දෙදෙනෙක් හෝ කිහිපදෙනෙක් අතර සජීවීව පණිවිඩ හුවමාරු කරගත හැකි ක්‍රමයක්.
ඉටු වන කාර්යය කුමක්ද? මෙහිදී කෙනෙකුට ඔහු කැමති පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවක් සාදාගෙන තමන් කැමති කෙනෙකු සමඟ අදහස් හුවමාරු කරගත හැකියි. කැනඩාවේ සිදු කළ සමීක්ෂණයකින් හෙළි වුණේ වයස අවුරුදු 16ත් 17ත් අතර ළමුන්ගෙන් සියයට 84ක්ම දවසකට ක්ෂණික පණිවුඩ හුවමාරු කරගැනීමට පැයකට වඩා වැඩි කාලයක් වැය කරන බවයි.
ඔබ දැනගත යුතු දේ. ඔබේ දරුවා අධ්‍යාපන වැඩ කටයුත්තක හෝ වෙනයම් වැදගත් වැඩක යෙදී සිටින විට ක්ෂණික පණිවිඩ පැමිණීමෙන් ඔහුගේ අවධානය බිඳී යනවා. ඒ විතරක් නොවෙයි දරුවා කා සමඟ අදහස් හුවමාරු කරගන්නවාද කියා දෙමාපියන් දන්නේ නැහැ. ඒ වගේම ඔවුන් කරන අදහස් හුවමාරුව ඔබට ඇසෙන්නේද නැහැ.
බ්ලොග්ස් (BLOGS)
ඒ මොනවාද? අන්තර්ජාලය ඔස්සේ තොරතුරු හුවමාරු කරගන්නා පොදු ස්ථානයක්.
ඉටු වන කාර්යය කුමක්ද? තමන්ගේ තොරතුරු සහ පින්තූර එහි ඇතුළත් කළ හැකියි. එමෙන්ම වෙනත් අයටද ඔවුන්ගේ අදහස් එහි සඳහන් කළ හැකියි. බොහෝ යෞවනයන් තමන් ලියා ඇති තොරතුරුවලට අන් අය දක්වන ප්‍රතිචාර මොනවාද කියා දැනගැනීමටද කැමැත්තෙන් සිටිනවා.
ඔබ දැනගත යුතු දේ. බ්ලොග් එක අයිති පුද්ගලයා පිළිබඳ තොරතුරු ඕනෑම කෙනෙක්ට එයින් ලබාගත හැකියි. සමහර යෞවනයන් නොසැලකිලිමත් ලෙස තමන්ගේ පවුලේ අයගේ, නිවසේ සහ පාසැලේ තොරතුරු එහි සටහන් කරනවා. කෙනෙකුගේ කීර්ති නාමයට පවා බ්ලොග්වලින් හානි සිදු විය හැකියි. යම් කෙනෙක් රැකියාවකට අයදුම් කරන විට එම රැකියා ස්ථානයේ ස්වාමියා එම පුද්ගලයාට අයිති බ්ලොග් එකට පිවිසුණා කියා සිතන්න. ඔහු එම අයදුම්කරුට රැකියාව දෙනවාද නැද්ද කියා තීරණය කරන්නේ එම තොරතුරුවලට අනුවයි.
පෞද්ගලික වෙබ් පිටු (SOCIAL NETWORKS)
ඒ මොනවාද? පෞද්ගලික වෙබ් පිටුවක් නිර්මාණය කිරීම සඳහා වෙන් කර ඇති වෙබ් අඩවියි. එහි පින්තූර, වීඩියෝ දර්ශන සහ බ්ලොග්ස් ඇතුළත් කළ හැකියි.
ඉටු වන කාර්යය කුමක්ද? එමගින් යෞවනයන්ට තමන් ගැන බොහෝ තොරතුරු අන් අයට හෙළි කළ හැකියි. ඒවා මගින් බොහෝ අය සමඟ සම්බන්ධ වෙන්නත් “මිතුරන්”යයි කියාගන්නා වූ අයව ඇසුරු කරන්නත් හැකියාව තිබෙනවා.
ඔබ දැනගත යුතු දේ. ජෝඈනා නම් යෞවනියක් පැවසුවේ මෙසේයි. ‘පෞද්ගලික වෙබ් පිටුවක් කියන්නේ හරියට අන්තර්ජාලයෙන් සාදයකට සහභාගි වෙනවා වගෙයි. අමුතුම විදිහේ පුද්ගලයන් එයට සම්බන්ධ වෙනවා.’ නරක දේවලට අන් අයව පොලඹවන යෞවනයන් සහ වැඩිහිටියන් විසින් වෙනත් අයගේ වෙබ් පිටුවල ඇති පෞද්ගලික තොරතුරු ප්‍රයෝජනයට ගන්නවා. අන්තර්ජාලය පිළිබඳ විද්වතෙකු වන පෙරී ඇෆ්ටැබ් පවසන පරිදි එවැනි වෙබ් අඩවි තුළ ‘බොහෝ කාමාතුරයන් සැරිසරනවා.’
එවැනි වෙබ් අඩවි තුළින් ඇති කරගන්නා මිත්‍රත්වයන් සැබෑ ඒවා නොවෙයි. බොහෝ යෞවනයන් ඔවුන්ගේ වෙබ් පිටු තුළ නොහඳුනන අයගේ ලිපිනයන් සඳහන් කරගන්නවා. ඔවුන් එසේ කරන්නේ තමන් කොතරම් ජනප්‍රියද කියා පෙන්වීමටයි. ලේඛිකාවක් වන කැන්ඩිස් කෙල්සි ඇය ලියූ පොතක සඳහන් කළේ මෙසේයි. ‘එලෙස යෞවනයන් පෞද්ගලික වෙබ් පිටු ඔස්සේ බොහෝ අය සමඟ සම්බන්ධ වීමෙන් තමන් අන් අය අතරේ කැපීපෙනෙන කෙනෙක් කියා සිතනවා. එලෙස කෙනෙක්ට මිතුරන් වැඩි ප්‍රමාණයක් සිටිනවා දකින විට එය යෞවනයන්ට මහත් පීඩනයක්. එවිට ඔවුන්ද උත්සාහ කරන්නේ කෙසේ හෝ මිතුරන් ඇති කරගැනීමටයි.’ (Generation MySpace) තවත් එක් පොතක මෙවැනි අදහසක් පළ වුණා. ‘වෙබ් අඩවි ඔස්සේ ඉක්මනින්ම මිතුරන් ඇති කරගන්නත් අවශ්‍ය නොවන විටකදී කපාහරින්නත් ඔබේ දරුවන්ට පුළුවන්. එසේ කිරීමෙන් සැබෑ මිත්‍රත්වයක් ඇති කරගැනීමට අවශ්‍ය වන කරුණාව, දයාව වැනි ගුණාංග වර්ධනය කරගැනීමට ඔවුන් කවදාවත් ඉගෙනගන්නේ නැහැ.’—What in the World Are Your Kids Doing Online?
[පාදසටහන]
a ඒවා නිර්මාණය කරන අය කියා සිටින්නේ එවැනි වෙබ් අඩවි මගින් ආහාර පාලනය කිරීමේ ක්‍රම හඳුන්වා දුන්නත් ඉන් ඇති වන ඇනරෙක්සියා වැනි රෝගවලට වග කිව යුත්තේ තමන් නොවන බවයි. ඒවා දෙමාපියන්ගෙන් වසං කිරීමට ක්‍රමද එමගින් පෙන්වා දෙනවා. ඇනරෙක්සියා වැනි රෝග ඔවුන් රෝගී තත්වයක් ලෙස නොව නව රැල්ලක් ලෙස හඳුන්වා දී තිබෙනවා.
[4වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
ඉන්දියාවේ අන්තර්ජාලය භාවිත කරන්නන්ගේ ගණන ශීඝ්‍රයෙන් ඉහළ යන අතර එක් වසරක් ඇතුළත එය සියයට 54ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් වැඩි පිරිසක් යෞවනයන්
[7වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
‘පරිගණකයට සවි කර ඇති වීඩියෝ කැමරා මඟින් අන්තර්ජාලය ඔස්සේ කතා කරන්නාගේ රූපය දැකිය හැකියි. එම ක්‍රමය පහසු මෙන්ම මිල අඩු ක්‍රමයක් කියා දෙමාපියන් සිතන්න පුළුවන්. නමුත් වැරදි දේවලට ගොදුරු කරගැනීමට මාන බලමින් සිටින කෙනෙකුට නම් එය කදිම අවස්ථාවක්.’—අමෙරිකාවේ මධ්‍යම පරීක්ෂණ කාර්යාංශයේ අධ්‍යක්ෂකවරයා වන තුන්වන රොබට් එස්. මලර්