ක්‍රීඩාවෙන් නොලද තෘප්තියක්
පැවසුවේ කාල් හයින්ට්ස් ෂුවර විසින්
මම ඉපදුණේ 1952දී එක්සත් ජනපදයේ පිට්ස්බර්ග්වල වුණත් හැදුණේ වැඩුණේ ෆ්ලොරිඩාවේ නිව් ස්මර්ණා බීච් නම් නගරයෙයි. යෞවන කාලයේදී මම රළ පැදීමට (surfing) හුඟක් ආශා කළා. මට ඒකෙන් තොර ජීවිතයක් තිබුණේ නැහැ.
ගුවන් නියමුවෙක් වෙන්න මට තිබුණු ආශාව නිසා 1970දී ෆ්ලොරිඩාවේ ඩේටොනා බීච්වල ගුවන් නියමුවන් සඳහා තිබෙන විශ්වවිද්‍යාලයකට මම ඇතුල් වුණා. නමුත් ඒ කාලයේදී වියට්නාමයේ පැවති යුද්ධයට රජය සහයෝගය දුන් නිසා වෙනත් යෞවනයන්ට වගේම මටත් කලකිරීමක් ඇති වුණා. ඒ නිසා මම විශ්වවිද්‍යාලයට යන එක නතර කරලා කොණ්ඩේ වැවුවා, මත්ද්‍රව්‍යවලටත් ඇබ්බැහි වුණා. මම ගත කළේ හිපි කෙනෙක්ගේ ජීවිත රටාවක්.
වැඩි කල් යන්න ඉස්සර මට සුසෑන්ව මුණගැහුණා. ඇය ඡායාරූප ගැනීමටත් චිත්‍ර ඇදීමටත් ඉතාමත් දක්ෂයි. මම හිතුවා මාස හතක් අටක් ෆ්ලොරිඩාවේ ඉදි කිරීමේ අංශයක වැඩ කරන්න. එතකොට ඒ ලැබෙන මුදලින් අපිට අවුරුද්දේ ඉතිරි කාලය පැසිෆික් වෙරළෙත් මධ්‍යම අමෙරිකා වෙරළෙත් විනෝද වෙමින් කාලය ගත කරන්න පුළුවන් වෙයි.
ආගම කෙරෙහි ඇල්මක්
ලස්සන වෙරළ තීරයන්වල සුසෑන් සමඟ ගත කළ ජීවිතය හරිම සුන්දරයි. ඇය චිත්‍ර අඳිනවා, ඡායාරූප ගන්නවා, මම රළ පදින ක්‍රීඩාවේ යෙදෙනවා. නමුත් ටික කාලයකට පස්සේ අපිට තේරුණා අපේ ජීවිතයේ මොකක් හරි අඩුවක් තියෙනවා කියලා. වර්ෂ 1975 මැදභාගයේදී කොස්ටාරිකාවල ඉන්න විට මට ආගම් ගැන සොයා බැලීමේ ආශාවක් ඇති වුණා. ඒ නිසා ඒ කාලයේදී ජනප්‍රිය වෙලා තිබුණ පෙරදිග ආගමික හා දර්ශනවාදය ඇතුළත් පොත් පත් මම කියෙව්වා.
මම කියවූ බොහෝ පොත්වල තිබුණ ඉගැන්වීම්වලට පදනම හැටියට පෙන්නුම් කර තිබුණේ බයිබලයයි. ඒ නිසා සත්‍යය තියෙන්නේ බයිබලයේ තමයි කියලා මට වැටහුණා. පස්සේ මත්ද්‍රව්‍ය දීලා ඒ වෙනුවට කිං ජේම්ස් වර්ෂන් කියන බයිබලය මම ලබාගත්තා. හැම දවසකම උදේ වරුවේ මගේ ක්‍රීඩාවේ යෙදිලා සවස් වරුවේ වාඩි වෙලා බයිබලය කියවනවා. බයිබලය කොච්චර ආශාවෙන් කියෙව්වත් මට තේරුම්ගන්න පුළුවන් වුණේ ඉතාමත් සුළු ප්‍රමාණයක් විතරයි.
“ඔයා බයිබලය ගැන දැනගන්න කැමතිද?”
වර්ෂ 1975 අගෝස්තු මාසයේදී අපි කොස්ටාරිකාවල ඉඳලා අමෙරිකාවට එන අතරතුරේදී එල් සැල්වඩෝර්වලදී නතර කළේ බෙහෙත් වගයක් ගන්නයි. ඒත් ෆාමසියේ සිටි කෙනා එක්ක කතා කරන්න භාෂාව දැනගෙන හිටියේ නැහැ. ඒ වෙලාවේ බෙහෙත් ගන්න ඇවිත් සිටිය කෙනෙක් වූ ජෙනී අපට උදව් කළා. ඇයගේ වයස අවුරුදු 16යි. ඇය අමෙරිකානු ජාතියට අයත් කෙනෙක් වුණත් හොඳට ස්පාඤ්ඤ භාෂාව කතා කරන්න පුළුවන්. ඇයත් ඇගේ දෙමාපියනුත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බව ඇය කිව්වා. ඒ වගේම ඔවුන් මෙහාට ඇවිත් ඉන්නේ බයිබලය ගැන මෙහේ අයට කියා දෙන්න කියලත් ඇය අපිට කිව්වා.
ඒ වෙලාවේ ජෙනී මගෙන් ඇහුවා “ඔයා බයිබලය ගැන දැනගන්න කැමතිද?” කියලා.
එතකොට මම එකපාරටම “ඔව්” කියලා කිව්වා. අපිට හිපි පෙනුමක් තිබුණත් ජෙනී එයාගේ දෙමාපියන් වන ජෝ සහ නැන්සි ට්‍රෙම්බ්ලි මුණගැහෙන්න එයාගේ ගෙදර එන්න කියලා අපිට කිව්වා. අපි එහේ ගිහින් බයිබලය ගැන තිබුණ හුඟක් ප්‍රශ්න මුළු හවස් වරුවේම සාකච්ඡා කළා. ජෝ සහ නැන්සි අපේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් විදිහ අපේ සිත්ගත්තා. ඔවුන් හැමවිටම කිව්වේ “මේ පදය ඔයාගේ බයිබලයෙන්ම පෙරළලා කියවන්න” කියලයි.
හුඟක් හවස් වුණ නිසා ඔවුන් අපිට කිව්වා රෑට එහේ නවතින්න කියලා. නමුත් මම සහ සූ විවාහ වෙලා හිටිය නැති නිසා අපිට එකම කාමරයේ ඉන්න ඔවුන් ඉඩ දුන්නේ නැහැ. ජෙනී සහ සූ හුඟක් රෑ වෙන තුරුම බයිබලයේ මුල ඉඳලා අග දක්වාම හුඟක් දේවල් සාකච්ඡා කළා.
කොළ පාට කවරයෙන් යුත් බයිබලය
පසුව දා උදෑසන අපි යන්න කලින් ඔවුන් අපිට මුරටැඹ හා පිබිදෙව්! සඟරාත් පොත් කිහිපයකුත් එක්ක බයිබලයකුත් දුන්නා. ඒ නව ලොව පරිවර්තනය කියන බයිබලයයි. ඒ දවස්වල එයට තිබුණේ කොළ පාට කවරයක්. ඊට පස්සේ ජෝ අපිව රාජ්‍ය ශාලාව බලන්නත් එක්කගෙන ගියා. ඒක ඉතාමත් සරල සාමාන්‍ය ගොඩනැඟිල්ලක්. සාක්ෂිකරුවන් බයිබලය ඉගෙනගන්න රැස්වුණේ මෙතැනටයි. ‘මොන තරම් වෙනසක්ද! පල්ලිවල පෙනුම ලොකුවට තිබුණට බයිබලය පිළිබඳව මිනිස්සු කොයි තරම් සුළු දෙයක්ද එතැනින් ඉගෙනගන්නේ’ කියලා මට හිතුණා.
අපි යන විට ග්වාතමාලාවේ දේශ සීමාව පසු කරන්න පෙර තිබෙන මුර කපොල්ලෙන් අපේ වාහනය නතර කළා. ඒ වෙලාවේ කොළ පාට බයිබලය දැකලා ඔවුන් පුදුම වුණා. මොකද ඒ බයිබලය වැඩියෙන්ම භාවිත කරන්නේ සාක්ෂිකරුවන්. නමුත් අපේ පෙනුම සම්පූර්ණයෙන්ම සාක්ෂිකරුවන්ට වඩා වෙනස්. මේ නිසා ඔවුන්ට මේක ලොකු ප්‍රහේලිකාවක් වුණා. මේ වගේ තැනකදී සාමාන්‍යයෙන් හොර බඩුත් මත් ද්‍රව්‍යයත් තියෙනවද කියලා බලන්න අපේ වාහනත් ගමන් මලුත් හුඟක් පරීක්ෂා කරනවා. නමුත් විනාඩි කිහියකට පස්සේ අපිට යන්න දුන්නා. එතැන් පටන් අපි කොළ පාට බයිබලය සැලකූවේ අපේ ආරක්ෂකයා ලෙසයි.
දිගටම අපි බයිබලය හා බයිබල් ආධාරක පොත් පත් කියවන විට අපිට වැටහුණා දෙවි පිළිබඳ සත්‍යය මේක තමයි කියලා. අපි මෙක්සිකෝව හරහා ගමන් කරන විට සති දෙකකට මම රළ පැදීමට හුඟාක් කැමති පුවටෝ ඊස්කොන්ඩිඩෝවල නතර වුණා. ඒ සති දෙකෙන් පස්සේ යෙහෝවා දෙවිට සේවය කරනවා කියලා මම අධිෂ්ඨාන කරගත්තා. පස්සේ මේක නතර කරලා ඒ උපකරණ විකුණලා නැවත ෆ්ලොරිඩාවට ඇවිත් ඔබට සේවය කරනවා කියලා පොරොන්දු වුණා.
ඊළඟ සති දෙකේ සෑම උදේ වරුවකම මම සුපුරුදු ක්‍රීඩාවේ යෙදුණා. හැම හවස් වරුවකම වෙරළට වෙලා බයිබලය සහ මට ලැබුණු අනික් පොත්ද කියෙව්වා. අපි ළඟ තිබුණු කොළ පාට බයිබලය දැකලා වයස අවුරුදු අටක ගැහැනු ළමයෙක් හවසට කොහෙද යන්න අපිට අඬගැහුවා. එයා කොහේ යන්නද අඬගහන්නේ කියලා අපිට තේරුණේ නැහැ. ඒත් කොළ පාට බයිබලයට මේකෙ මොකක් හරි සම්බන්ධයක් තියෙනවා කියලා අපිට හිතුණා. මුලින්ම අපි අකමැති වුණත් මේ ළමයා නිතරම අඬගහපු නිසා දවස් කිහිපයකට පස්සේ ඇයත් එක්ක යන්න අපි කැමති වුණා. ඇය අපිව එක්කගෙන ගියේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවකටයි. ඒක හදලා තිබුණේ උනබටවලින්. වහලට දාලා තිබුණේ පිදුරු. එතන හිටිය අය අපිට අතට අත දීලා වැලඳගෙන පිළිගත්තේ හරියට කාලයක් තිස්සේ අපිව අඳුනනවා වගෙයි.
එහි සිටි සෑම කෙනෙකුගේම හොඳ හැසිරීම අපේ සිත්ගත්තා. ඒ අතර සමහර පොඩි ළමයි අපි දිහා හැරිලා බැලුවේ කවදාවත් මේ වගේ තඹ පාට දිග කොණ්ඩයක් එක්ක මිනිසුන්ව ඔවුන් දැකලා තිබුණේ නැති නිසා වෙන්න ඇති. ඒත් දෙමාපියන් උත්සාහ කළා ළමයින්ගේ අවධානය රැස්වීම වෙතට යොමු කරන්න. ඇත්තටම අපේ පළමුවෙනි රැස්වීමට අපිව එක්කගෙන යන්න යෙහෝවා දෙවි පාවිච්චි කළේ මේ වගේ පොඩි ළමයෙක්වයි.
අපගේ අධිෂ්ඨානය
සති දෙක අවසානයේදී මම මගේ ක්‍රීඩාව සඳහා භාවිත කළ උපකරණ විකුණලා නැවත ෆ්ලෝරිඩාවට ගියා. එහේදී අපි සාක්ෂිකරුවන් සමඟ බයිබල් පාඩමක් පටන්ගත්තා. ඒ වගේම හැම රැස්වීමකටම සහභාගි වුණා. අපි දෙවිට සේවය කරන්න තීරණය කළා. ඒ නිසා විවාහ නොවී එකට ජීවත් වීමත් නතර කළා. ඊට පස්සේ මම මගේ රැවුලයි දිග කොණ්ඩෙයි කපලා දැම්මා. සූ අලුතින් ඇඳුම් කිහිපයක් ගත්තා. මාස හතරකට පස්සේ අපි විවාහ වෙලා 1976 අප්‍රියෙල් මාසයේ දෙවිට කැප වී බව්තීස්ම වුණා.
දැන් අපේ ජීවිතයට අරමුණක් තියෙනවා. එහෙම වුණේ යෙහෝවා දෙවිගේ ආශීර්වාදය නිසයි. ඊළඟට අපිට අවශ්‍ය වුණේ ස්පාඤ්ඤ භාෂාව කතා කරන වෙනත් රටකට ගිහින් රාජ්‍ය ශුභාරංචිය දේශනා කරන්නයි. නමුත් අපේ සභාවේ අවේක්ෂකයන් අපිට මේ වගේ උපදෙසක් දුන්නා. “දැන්ම යන්න එපා. මුලින්ම ඔය දෙන්නාගෙම ඇදහිල්ල තවත් ශක්තිමත් කරගන්න. ඊට පස්සේ යන්න. එතකොට ඔයාට පුළුවන් එහේ අයට උදව් කරන්න.” අපි එය පිළිගත්තා. අපේ ඊළඟ ඉලක්කය වුණේ සාක්ෂිකරුවන් පූර්ණකාලීන සේවකයන් ලෙස හඳුන්වන පුරෝගාමි සේවය ආරම්භ කිරීමයි.
වර්ෂ 1978 ජනවාරි මාසයේදී සූ පුරෝගාමි සේවය පටන්ගත්තා. මටත් පුරෝගාමි සේවය කරන්න ඕනෙ වුණත් විශ්වවිද්‍යලයට ගෙවිය යුතු හිඟ මුදලක් තිබුණා. මම හිතුවා ආදායම් මාර්ගයක් නැහැ කියලා පෙන්නලා ඒ වගකීමේන් නිදහස් වෙලා පුරෝගාමි සේවය ආරම්භ කරන්න.
ඒත් අවේක්ෂකයන් මගේ සැලැස්ම ගැන මේ වගේ මඟ පෙන්වීමක් දුන්නා. එනම් “සියල්ලේදී අවංක ලෙස” සිටිය යුතුයි කියන බයිබල් ප්‍රතිපත්තියට මගේ තීරණය නොගැළපෙන බව ඔවුන් පෙන්වා දුන්නා. (හෙබ්‍රෙව් 13:18) ඒ නිසා මගේ හිඟ මුදල් ගෙවන්න මට රැකියාවක් කරන්න සිදු වුණා. අවසානයේදී 1979 මමත් සූ සමඟ පුරෝගාමි සේවයට ඇතුළත් වුණා. අපිට සරල ජීවිතක් ගත කිරීම සඳහා අවශ්‍ය මුදල් සොයාගැනීමට මට වැඩ කරන්න වුණේ සතියකට දවස් කිහිපයක් විතරයි.
අලුත් පැවරුමක්
අවුරුද්දක් විතර දෙන්නම එකට පුරෝගාමි සේවය කළාට පස්සේ එනම් 1980 අප්‍රියෙල් මාසයේදී අපි නොසිතූ දෙයක් සිදු වුණා. මීට කලින් අපි සාක්ෂිකරුවන්ගේ මූලස්ථානය වන නිව් යෝර්ක්වල බෙතෙල් නිවාසයේ ඉදි කිරීමේ අංශයට අයදුම් කරලා තිබුණු නිසා ඒ සඳහා අපිව තෝරාගෙන තිබුණා. දවස් 30ක් ඇතුළතදී එන්න කියලා ආරාධනාවක් ලැබුණා. මේ අවස්ථාවේදී මොකද්ද කරන්නේ කියලා අපිට හිතාගන්න බැරි වුණේ අපි පුරෝගාමි සේවයෙන් ලොකු සතුටක් ලබමින් සිටි නිසයි. ඒ නිසා අපි මේ ගැන වැඩිමහල්ලන් දෙදෙනෙක් සමඟ කතා කළා. ඔවුන් අපිට ලැබිලා තිබෙන වරප්‍රසාදය ගැන පෙන්වා දුන්නා. “ගිහින් අවුරුද්දක් බෙතෙල් නිවසේ වැඩ කරලා බලන්න” කියලා ඔවුන් කිව්වා. ඊට පස්සේ අපේ බඩුමුට්ටු විකුණලා බෘක්ලින්වලට ගියා.
අවුරුදු දෙකක් ඉදි කිරීමේ අංශයේ වැඩ කළාට පස්සේ මට ඉදි කිරීමේ ඉන්ජිනේරු කාර්යාලයට ආරාධනාවක් ලැබුණා. ඒ ගොඩනැඟිලි සෑදීමට අවශ්‍ය සැලසුම් සාදන්නයි. සූ පොත් බැඳීමේ අංශයේ අවුරුද්දක් වැඩ කළාට පස්සේ එයාට තවත් අංශයක වැඩ කරන්න ආරාධනයක් ලැබුණා. සෑම අවුරුද්දකම අපේ විවාහ සංවත්සරය දවසේදී අපි කලින් අවුරුද්දේ කළ සේවයත් අපේ ආශාවන් ගැනත් සාකච්ඡා කළා. ඒක අපිට උපකාරවත් වුණා දිගටම බෙතෙල් නිවසේ සේවය කරගෙන යන්න.
පසුගිය කාලය පුරාම අපිට හුඟක් කිට්ටු මිත්‍රයන් ඇති වුණා. බෙතෙල් සේවයට ආ නිසා යෙහෝවා දෙවිට සේවය කරන්න වගේම ලෝක ව්‍යාප්ත සහෝදරයන්ට සේවය කරන්නත් අපිට හැකි වුණා. අපි දිගටම මෙහේ ඉන්න තීරණය කළා. මෙහේ තිබෙන ස්පාඤ්ඤ භාෂාව කතා කරන සභාවකට උදව් කරන්න අවශ්‍ය නිසා 1989දී අපි ඒ භාෂාව ඉගෙනගන්න පටන්ගත්තා. එහි ප්‍රතිඵලයක් හැටියට විදේශ භාෂාවක් කතා කරන සභාවක සේවය කරමින් බෙතෙල් නිවාසයේත් සේවය කරන්න ලැබුණා.
එක් අවස්ථාවකදී මේ ලිපියේ මුලින් සඳහන් කළ ජෙනී බෘක්ලින් බෙතෙල් නිවසට ආවා. එල් සැල්වඩෝරයේදී ඇයට අපිව මුණගැහුණු විදිහ ඇය විස්තර කළේ මෙහෙමයි. ඇය බයිබල් පාඩමක් කරගෙන ඉන්න කොට අසනීප ගතියක් දැනිලා තියෙනවා. ගෙදර යන ගමන් බෙහෙත් ටිකක් ගන්න නතර කරලා තියෙනවා. මොන හේතුවක් නිසාද දන්නේ නැහැ ඇය වෙනදා යන ෆාමසියට යන්නේ නැතුව අපි හිටිය එකටම ඇවිල්ලා. එතකොට තමයි ඇයට අපිව මුණගැහිලා තියෙන්නේ.
සේවය තවත් පුළුල් වුණා
මම වැඩ කළ අංශය භාර අවේක්ෂකයා 1999 එක දවසක මගෙන් මෙහෙම ඇහුවා. “ඕස්ට්‍රේලියා ශාඛා කාර්යාලයට ගිහින් ප්‍රාදේශීය ඉන්ජිනේරු අංශයේ මාස තුනකට වැඩ කරන්න ඔයා කැමතිද?”
කිසිම අදිමදි කිරීමකින් තොරව මම “කැමතියි” කියලා කිව්වා. අපි එහේ ගිහින් අවුරුදු තුනක් සේවය කළා. ආසියානු රටවල හා දකුණු පැසිෆික් දූපත්වලත් ශාඛා කාර්යාලවල අවශ්‍යතා සැපයීම සඳහා සේවය කරන්න ලැබීමත් සතුටක්. නැවතත් අපි 2003 බෘක්ලින්වලට යන විට අපිට තවත් පැවරුමක් ලැබුණා. ඒ බ්‍රසීලයේ කලාපීය රාජ්‍ය ශාලා කාර්යාලයේ සේවය කිරීමේ පැවරුමයි. එය පිහිටා තිබෙන්නේ සාඕ පවුලෝ කියන විශාල නගරයට ටිකක් ඈතට වෙන්නයි.
තවමත් අපි ඉන්නේ මේ ප්‍රදේශයේමයි. මෙම කාර්යාලයෙන් කෙරෙන්නේ දකුණු අමෙරිකාවට අයත් බොහෝ රටවල රාජ්‍ය ශාලා ඉදි කිරීම් අධීක්ෂණය කිරීමයි. ඉදි කිරීමේ කටයුතු අධීක්ෂණය කිරීමට තැන් තැන්වලට යෑමත් ඒ අංශවල වැඩ කරන අයව දිරිගැන්වීමත් මගේ පැවරුමට ඇතුළත් වෙනවා. ඒ සඳහා සූත් මාත් එක්ක හවුල් වෙනවා.
වඩා වැදගත් දේට මුල් තැන දීම
එදා මගේ මුළු ජීවිතයම වෙලා තිබුණේ රළ පැදීමයි. ඒත් අද ඒ තැන අරගෙන තිබෙන්නේ දෙවිගේ සේවයයි. මම දැනටත් රළ පැදීමේ ක්‍රීඩාවට හුඟක් කැමතියි. නමුත් එයට දිය යුතු නිසි තැන දීලා තියෙනවා. සූගේ ප්‍රේමණීය උපකාරයත් ඇතුව අපගේ ප්‍රේමණීය යෙහෝවා දෙවිට සේවය කරන්න මට හැකි වී තිබෙනවා.
දැන් අපේ එකම අරමුණ යෙහෝවා දෙවිට කරන සේවයේ වැඩි දියුණුව වෙනුවෙන් අපේ ජීවිතත් හැකියාවනුත් සම්පූර්ණයෙන්ම යෙදවීමයි. මෙයින් අපි එක දෙයක් ඉගෙනගත්තා. ඒ තමයි වඩා වැදගත් වෙන්නේ අපි සේවය කරන්නේ කොහේද කියන එක නෙවෙයි නමුත් කොහේ සිටියත් මුළු හදවතින්ම යෙහෝවා දෙවිට සේවය කිරීමයි.—කොලොස්සි 3:23.
[25වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“මම දැනටත් රළ පැදීමේ ක්‍රීඩාවට හුඟක් කැමතියි, නමුත් ඊටත් වඩා වැදගත් දෙයක් කරන්න තියෙනවා”
[22, 23වන පිටුවේ පින්තූරය]
ක්‍රීඩා කරන අවස්ථාවකදී ගත් ඡායාරූපයක්
[23වන පිටුවේ පින්තූරය]
වයස අවුරුදු 13දී
[23වන පිටුවේ පින්තූරය]
හිපි ජීවිතෙන් සම්පූර්ණ තෘප්තියක් ලැබුණේ නැහැ
[25වන පිටුවේ පින්තූර]
ඉහළ: රාජ්‍ය ශාලා ඉදි කිරීමේ කාර්යයට උපකාර කරමින්
දකුණ: අද දින සූ සමඟ