මහලු විය කටුක වුණත් ගෙවිය හැකියි ප්‍රීතියෙන්
වසර 3,000ක් පමණ ඉපැරණි ගීයක වදන්වලින් තහවුරු වන්නේ මහලු විය පුරාණයේ පටන් කටුක එකක් වී ඇති බවයි. එහි පවසන්නේ මෙයයි. “අප ආයු හැත්තෑ අවුරුද්දකි. සවි ශක්තිය ඇත්නම්, අසූවක් විය හැකිය. එහෙත්, ඒ කාලය කම්කටොලු හා දුකමය. අප ආයු ගෙවී ගොස් දිවි පෙවෙත වහා නිම වන්නේය.” (ගීතාවලිය 90:10, නව අනුවාදය) වෛද්‍ය ක්ෂේත්රයේ විශාල දියුණුවක් ලබා ඇතත් මහලු අය “කම්කටොලු හා දුක” විඳින්නේ කොයි ආකාරයෙන්ද? එමෙන්ම සමහරු මෙම කටුක අද්දැකීම්වලට සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද?
මහලු වුණත් සිහි කල්පනාව හොඳයි
“මං හුඟක් බය මගේ සිහි කල්පනාව නැති වෙයි කියලයි” කියා 79-හැවිරිදි හාන්ස් කනස්සලු වෙනවා. සැඳෑ සමයේ සිටින බොහෝදෙනා මෙන් හාන්ස්ද සිහි කල්පනාව නැති වෙයිද කියා කනස්සලු වෙනවා. එයට හේතුව මිල කළ නොහැකි තම අගනා මොළයේ ක්‍රියාකාරිත්වය හීන වී යයි කියා ඔහු කනගාටු වීමයි. මතකයන් ගබඩා වී තිබෙන මොළයේ වටිනාකම ඒත්තුගන්වමින් එක් පුරාණ කවියෙකු එය හැඳින්වූයේ ‘රන් පාත්‍රය’ ලෙසයි. (දේශනාකාරයා 12:6) “සිහි කල්පනාව අඩුවීම මහලු වියට ආවේණික සාමාන්‍ය දෙයක්ද” කියා හාන්ස් කල්පනා කරනවා.
හාන්ස්ට මෙන් ඔබටත් ඉඳ හිට නම් ගම් අමතක වෙනවා නම් එසේ සිදුවීම ඔබේ සිහි කල්පනාව සම්පූර්ණයෙන්ම නැති වී යෑමට මුලපිරීමක්ද කියා ඔබ කල්පනා කරනවා ඇති. ඒ ගැන බය නොවන්න. මන්ද අමතක වීම ඕනෑම වයසකදී සිදු වන දෙයක්. වයසක තැනැත්තෙකුගේ මනසේ ක්රියාකාරිත්වයෙහි වෙනසක් ඇති වන්නේ මානසික රෝගයක් නිසා නොවෙයි.a සැඳෑ සමයේදී යම් දුරකට මතකය අඩුවීම සාමාන්‍ය දෙයක් වුවත් “වයසක අය වැඩිදෙනෙක් හොඳ සිහි කල්පනාවෙන් වැඩ කරනවා” කියා වෛද්‍ය මයිකල් ටී. ලෙවී ලිව්වා. ඔහු නිව් යෝක් නගරයේ ස්ටැටන් අයිලන්ඩ් විශ්ව විද්‍යාල රෝහලේ චර්ය විද්‍යා අංශයේ ප්රධානියායි.
සමහර දේවල් මතකයට නඟාගැනීමේදී වයසක අයට වඩා තරුණ අය ඉදිරියෙන් සිටින බව ඇත්තයි. ඒත් “මතකයට නඟාගැනීමේ වේගය නොසලකා හැර සසඳා බලනවා නම් වයසක අය තරුණයන්ගේ හරි හරියටම පැමිණෙනවා” කියා ස්නායු විශේෂඥ රිචඩ් රෙස්ටැක් පවසනවා. ඇත්තවශයෙන්ම සුදුසු අධ්‍යාපනය සහ පුහුණුව ලැබෙන නිරෝගී වයසක ඇත්තන්ගේ මොළය ඉගෙනගැනීමට, මතකයේ තබාගැනීමට හා විශේෂ හැකියාවන් ප්‍රගුණ කරගැනීමට පවා යෙදවිය හැකියි.
නියම හේතු සොයා ප්‍රතිකාර දීම
කෙසේවෙතත් කෙනෙකුගේ මතක ශක්තිය දරුණු ලෙස හීන වී ඇත්නම් තත්වය කුමක්ද? ගැටලුව මානසික රෝගයක් බවට නිගමනය නොකළ යුතුයි. සැඳෑ සමයේදී ඇතැම්විට මතක ශක්තිය හීන වුණත්, සිහි කල්පනාව අඩු වුණත් සුව කළ නොහැකි රෝගයක් හටගෙන ඇති බව නිගමනය නොකළ යුතුයි. වැරදි නිගමනවලට එළඹෙන වෛද්‍යවරුන් මහලු අයට සුව කළ නොහැකි මානසික රෝගයක් ඇති වෙලා කියා පවසනවා. මෙය වයසක රෝගීන්ව පහත් කිරීමක්. ඒ නිසා ඔවුන්ට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලැබෙන්නේ නැහැ. මතක ශක්තිය හීනවීමට හා සිහි කල්පනාව අඩුවීමට හේතු වන රෝග මොනවාද?
කෙනෙකුට නිසි ආහාර නොලැබෙනවා නම්, ඔහුගේ සිරුර වේළුම් කනවා නම්, ඇඟේ ලේ අඩු වී ඇත්නම් සිහි කල්පනාව නැති විය හැකියි. ඊට අමතරව හිසට අනතුරක් වීම, වායු ගෙඩි ඇතිවීම, විටමින් අඩුවීම වැනි දේවල්ද බලපාන්න පුළුවන්. සමහර බෙහෙත් ඇඟට අල්ලන්නේ නැති නිසාත් එවැන්නක් සිදු විය හැකියි. තමාගේ වටපිටාවේ ලොකු වෙනසක් සිදු වුණොත් සිහි කල්පනාව නැති වෙන්න පුළුවන්. මතක ශක්තිය හීනවීමට දිගු කලක් පුරා මානසික පීඩනයෙන් සිටීම, සුළු සුළු අසනීප ඇතිවීම බලපානවා. කලකිරීමෙන් හෝ අධෛර්ය වීමෙන්ද එසේ සිදු විය හැකියි. එමනිසා “සිහි කල්පනාව ඉක්මනින් අඩු වන විට සුව කළ නොහැකි මානසික රෝගයක් ඇති වෙලා කියා සිතීමෙන් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර නොලැබීයයි” කියා වෛද්‍ය. ලෙවී පවසනවා. සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂණයක් කිරීමෙන් මෙම රෝග ලක්ෂණ පහළ වීමට නියම හේතුව සොයාගත හැකියි.
අධෛර්යයෙන් ගොඩ ඒමට . . .
අධෛර්ය වීම මිනිසා අලුතින් අද්දකින දෙයක් නොවෙයි. දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් පවා ඊට ගොදුරු වෙනවා. වසර දෙදහකට පමණ පෙර පාවුල්ට සිදු වුණා තම සෙසු ක්‍රිස්තියානීන්ට මෙසේ උපදෙස් දෙන්න. “අධෛර්යයට පත්ව සිටින අයට සැනසීම ගෙන දෙන ආකාරයෙන් කතා කරන්න.” (1 තෙසලෝනික 5:14) අප දරුණු කාලයක ජීවත් වන නිසා එසේ කතා කිරීම අත්‍යවශ්‍යයි. එහෙත් බොහෝවිට සිදු වන්නේ සැබෑ තත්වය හඳුනා නොගැනීම හෝ ඔවුන්ට වෙනත් රෝගයක් තිබෙනවා කියා වැරදි නිගමනයකට එළඹීමයි.
මහලු වියේ සිටින්නන් සාමාන්යයන්ම කලකිරී පැත්තකට වෙලා සිටිනවාය යන වැරදි අදහස නිසා එම රෝග ලක්ෂණ පහළ වී ඇත්තේ වයසට යන හින්දායි කියා නිගමනය කිරීමට ඉඩ තිබෙනවා. වෙනත් අය පමණක් නොව වයසක අයම එසේ සිතිය හැකියි. “කෙසේවෙතත් වයසක අය තුළ ඇති වන අධෛර්යය වයසට යෑම නිසාම ඇති වන්නක් නොවෙයි” කියා වයසක අය පිළිබඳව ලියැවුණු පොතක සඳහන් වෙනවා.—එම පොත Treating the Elderly.
සාමාන්‍යයෙන් ඇති වන දුකක්, කනගාටුවක් වගේ දේකට වඩා වෙනස් දෙයක් දිගු කලක් පුරා අධෛර්යයෙන් සිටීම. එය දරුණු ප්‍රතිඵල ගෙනා හැකි බරපතළ රෝගයක් නිසා ඒ ගැන සුළුවෙන් නොසිතිය යුතුයි. දිගු කලක් පුරා අධෛර්යයෙන් සිටින ඇතැම් රෝගීන්ට ප්‍රතිකාර නොකර හැරියොත් සියදිවි නසාගැනීමට පවා තැත් කළ හැකියි. අධෛර්යයෙන් සිටින වයසක රෝගීන් මුහුණ දෙන අසීරුතා ගැන වෛද්‍ය ලෙවී විස්තර කරන්නේ මෙලෙසයි. “ඇත්තටම අධෛර්යයෙන් ගොඩ ඒමට පහසුවෙන්ම උපකාර කළ හැකියි. හැබැයි ප්‍රතිකාර නොකළොත් තත්වය මාරාන්තික විය හැකියි.” අධෛර්යයෙන් ගොඩ ඒමට නොහැකි කෙනෙක් සිටිනවා නම් මානසික රෝග පිළිබඳ විශේෂඥයෙකුගෙන් ප්‍රතිකාර ලබාගත යුතුයි.b—මාක් 2:17.
අධෛර්යය වී සිටින අයට යෙහෝවා ‘ඉතා ගැඹුරු ස්නේහය ඇති දයාන්විත කෙනෙකු බව’ සහතික කරන්න අපට හැකියි. (යාකොබ් 5:11) ඔහු “බිඳුණු සිත් ඇත්තන්ට ළංව සිටින” කෙනෙක්. (ගීතාවලිය 34:18) ඇත්තෙන්ම ඔහු වෙන කාටත් වඩා “අධෛර්යයට පත් වූවන්ව සනසන දෙවි” කෙනෙක්.—2 කොරින්ති 7:6.
කාලය ඉවරයි කියා නොසිතන්න
වසර 3,000කට පෙර ඇදහිලිවන්ත දාවිත් රජ දෙවිට මෙසේ යාච්ඤා කළා. “මහලු වයසේදී මාව අහක නොදමන්න. මා දුර්වල වෙන විට මාගෙන් ඈත් නොවන්න.” (ගීතාවලිය 71:9) තමන්ගෙන් තවදුරටත් පලක් නැතැයි සිතන වයසක අයගේ මුවින් එවැනි අදහසක් පිටවීම මෙම 21වන සියවසේදී පවා අසාමාන්‍ය දෙයක් නොවෙයි. සෞඛ්‍යය දුර්වල වන නිසාත්, රැකියාවෙන් විශ්‍රාම යවන නිසාත් තමන්ගේ කාලය දැන් ඉවරයි කියා සිතමින් තමන්ගෙන් පලක් නැතැයි කියා කෙනෙක් නිගමනය කළ හැකියි.
කෙසේවෙතත් අපිට කරන්න බැරි දේ ගැන සිතා අධෛර්යය වෙනවා වෙනුවට කරන්න පුළුවන් දේ ගැන සිතනවා නම් අප වටිනා පලක් ඇති අයයි යන හැඟීම ඇතුව සිටිය හැකියි. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ වාර්තාවක නිර්දේශ කළේ ‘විධිමත්ව හා අවිධිමත්ව යමක් හදාරන්න. සමාජ සේවා සංවිධානවලට බැඳෙන්න. ආගමික කටයුතුවල නිරත වන්න’ කියායි. ස්විට්සර්ලන්තයේ යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වන අර්නස්ට්, බේකරියක ප්‍රධානියෙක් හැටියට සේවය කළා. එහෙත් විශ්‍රාම ගත් පසු ඔහු ‘අලුත් යමක් හැදෑරීමෙන්’ ප්‍රයෝජනයක් ලැබුවා. ඔහු 70 ගණන්වල පසු වුණත් පරිගණකයක් අරගෙන එය ක්‍රියාත්මක කරන ආකාරය ඉගෙනගන්න තීරණය කළා. ඔහුගේ වයසේ බොහෝදෙනෙක් අලුත් යන්ත්‍ර සූත්‍රවලට බියක් දක්වද්දී ඔහු එසේ කළේ ඇයි? ඔහු පැහැදිලි කළේ මෙලෙසයි. “මම ඒක ගත්තේ තවත් වයසට යද්දී මගේ මනස ක්‍රියාශීලීව තියාගන්න ඕන හින්දා. ඒ විතරක් නෙවෙයි බයිබලයෙන් මම කරන පර්යේෂණවලටත්, ක්‍රිස්තියානි සභාවේදී මගේ වැඩවලටත් පරිගණකය උපකාර වෙනවා.”
පලදායී වැඩක නිරත වීමෙන් මහලු අයගේ මූලික අවශ්‍යතා රැසක් සපුරාගත හැකියි. තමා කිසි පලක් නැති කෙනෙක් කියා සිතනවාට වඩා තවමත් යමක් කමක් කරන්න පුළුවන් කෙනෙක්ය යන හැඟීම ඇති කරගන්නත්, යම් මුදලක් පවා උපයාගන්නත් ඔවුන්ට පුළුවන් වෙයි. ප්‍රඥාවන්ත සලමොන් කිව්වේ “සිය ජීවිත කාලයේදී ප්‍රීති වී හරි දෙය කිරීමට වඩා හොඳ දෙයක් ඔවුන්ට නැති” බවයි. “අප කළ යුත්තේ, අප උපයාගත් දෙයින් කා බී ප්‍රීති වීමය; එය දෙවියන්ගේ දීමනාවකි.”—දේශනාකාරයා 3:12, 13, නව අනුවාදය.
අපට හැකි දේ කිරීම
බොහෝ සමාජයන් තුළ දැනුම හා ගුණ ධර්ම මෙන්ම ආගමික ප්‍රතිපත්ති මතු පරම්පරාවලට ලබා දෙන්නේ වයසක අයයි. දාවිත් රජ මෙසේ ලිව්වා. “අනේ දෙවියනි! පැසුණු කෙස් සහිතව මහලු වියේ සිටින මා අත්නෑරිය මැනව. ඔබේ මහිමය හා ශක්තිය මතු පරම්පරාවලට කියා පාන තෙක් මා සමඟ සිටිය මැනව.”—ගීතාවලිය 71:18, නව අනුවාදය.
දුර්වල සෞඛ්‍යය හෝ වෙනත් හේතු නිසා කළ හැකි දේ සීමිත වයසක අය ගැන කුමක් කිව හැකිද? මෙවැනි තත්වයක සිටි 79-හැවිරිදි යෙහෝවාගේ සාක්ෂිකාරියක් වන සේරා ගැන සලකා බලමු. තමාගේ කටුක තත්වය ගැන ක්‍රිස්තියානි වැඩිමහල්ලෙකුට ඇය පැවසුවා. ඔහු ඇයට බයිබල් ප්‍රතිපත්තියක් පෙන්වමින් ‘ධර්මිෂ්ඨ මිනිසෙකුගේ අයැදීමෙන් ලැබෙන ප්‍රතිඵල ඉතා බලවත්’ බව මතක් කර දුන්නා. (යාකොබ් 5:16) “සෑහෙන කාලෙක ඉඳන් ඔයා දෙවි එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගෙන තිබෙනවා. ඔයා පුද්ගලිකව අපි වෙනුවෙන් යාච්ඤා කරනකොට ඒ මිත්‍රත්වයෙන් අපිට ප්‍රයෝජන ලබාගන්න උපකාර කරන්න ඔයාට පුළුවන්” කියා ඔහු පැහැදිලි කළා. “ඔයා අපි වෙනුවෙන් යාච්ඤා කරන්න ඕනේ, ඒක අපිට අවශ්‍යයි” කියා ඔහු පැවසූ විට ඇයට නව ජීවයක් ලැබුණා.
වයසක අය දිවා රෑ නොබලා අනිත් අය වෙනුවෙන් යාච්ඤා කරන්න වෙහෙසෙනවා නම් එය අර්ථවත් දෙයක් වෙනවා විතරක් නෙවෙයි එයින් ප්‍රයෝජනද ලැබෙන බව සේරා තේරුම්ගත්තා. (කොලොස්සි 4:12; 1 තිමෝති 5:5) ඒ වගේම ‘යාච්ඤා අසන තැනැත්තා’ වන යෙහෝවාට ළංවීමටත් ඇදහිලිවන්ත වයසක අයට යාච්ඤාව උපකාර වෙනවා.—ගීතාවලිය 65:2; මාක් 11:24.
කළ හැකි දේ සීමා වුණත් ත්‍යාගශීලී වයසක තැනැත්තන්ට තමන්ගේ අද්දැකීම් හා සම්පත් බෙදාගැනීමෙන් තම සමාජයට වැඩදායක පුද්ගලයන් විය හැකියි. එවිට “ධර්මිෂ්ඨ තැනැත්තාගේ පැසුණු හිස ඔහුට අලංකාර ඔටුන්නකි” යන්න සත්‍යයක් බව ඔවුන් ඔප්පු කරනවා.—හිතෝපදේශ 16:31, NW.
එහෙත් අප මෙසේද අසාගැනීම සුදුසුයි. අපි වියපත් වෙද්දී අනාගතයේදී අපට කුමක් වෙයිද? අපගේ මහලු වියේදී මීට වඩා හොඳ ජීවිතයක් ලැබෙයි කියා අපට සැබෑ බලාපොරොත්තුවක් තබාගත හැකිද?
[පාදසටහන්වල]
a “වයස අවුරුදු 65ට වැඩි සියලුදෙනාගෙන් සියයට 90කටම මානසික රෝගයක් නැතැයි” කියා ඇතැම් පර්යේෂකයන් පවසනවා. මහලු අයට තිබිය හැකි මානසික රෝගයක් පිළිබඳව 1998 සැප්තැම්බර් 22 පිබිදෙව්! සඟරාව බලන්න.—සිංහලෙන් නැහැ.
b පිබිදෙව්! යම් විශේෂ ප්‍රතිකාරයක් අනුමත කරන්නේ නැහැ. ක්‍රිස්තියානීන් බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව පෞද්ගලික තීරණයක් ගත යුතුයි. ‘මානසික ස්වභාවයේ වෙනස්වීම’ යන ලිපි මාලාව 2004 ජනවාරි 8 පිබිදෙව්! කලාපයෙන් බලන්න.
[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
වේගයෙන් ඉදිරියට ඇදෙන අපේ නවීන ලෝකයේ සිටින මහලු අයට හැඟෙන්නේ තමන්ව අමතක කර දමා ඇති බවයි
[7වන පිටුවේ කොටුව⁄පින්තූරය]
වයසක අයට අත්වැලක් වෙමු
◼ ඔවුන්ට නිසි ගෞරවය දෙන්න. “වැඩිහිටි පුරුෂයෙකුව දැඩි ලෙස විවේචනය නොකරන්න. උපදෙස් දීමේදී ඔහුව පියෙකු මෙන්ද, . . . වැඩිහිටි ස්ත්‍රීන්ව මව්වරුන් මෙන්ද, . . . සලකන්න.”—1 තිමෝති 5:1, 2.
◼ හොඳින් සවන් දෙන්න. “ඇසීමට ඉක්මන් විය යුතුය. කතා කිරීමට ප්‍රමාද විය යුතුය. උදහස් වීමටද ප්‍රමාද විය යුතුය.”—යාකොබ් 1:19.
◼ අනුකම්පාව පෙන්වන්න. “ඔබ සියල්ලෝම එක්සිත්ව, එකිනෙකා කෙරෙහි අනුකම්පාව දක්වමින්, සහෝදර ස්නේහය ඇතිව, ගැඹුරු දයානුකම්පාවෙන් යුක්තව, යටහත් පහත් මනසක් ඇතිව සිටින්න. නපුරට නපුරවත් නිග්‍රහයට නිග්‍රහයවත් නොකරන්න.”—1 පේතෘස් 3:8, 9.
◼ දිරිගැන්විය යුතු අවස්ථා වටහාගන්න. “තැනට කැපෙන වචනය රිදී තැටියක නෙළූ රන් කැටයමක් වැන්න.”—හිතෝපදේශ 25:11, නව අනුවාදය.
◼ ඔවුන්වත් හවුල් කරගන්න. “ආගන්තුක සත්කාරය දැක්වීමෙහි යෙදී සිටින්න.”—රෝම 12:13.
◼ අත් උදව්කරුවෙක් වන්න. “තම ජීවිකාව ගෙන යෑමට අවශ්‍ය ද්‍රව්‍යමය දේ ඇති තැනැත්තා, තම සහෝදරයාට අග හිඟකම් තිබෙන බව දැක දැකත්, ඔහුගේ දයානුකම්පාව ඔහු තුළම සිර කරගන්නේ නම්, දෙවි කෙරෙහි වූ ප්‍රේමය ඔහු තුළ පවතින්නේ කෙසේද? කුඩා දරුවෙනි, අපි වචනයෙන්වත් කතාවෙන්වත් නොව, ක්‍රියාවෙනුත් සත්‍යතාවෙනුත් ප්‍රේම කරමු.”—1 යොහන් 3:17, 18.
◼ හුඟක් ඉවසන්න. “දයානුකම්පාවෙන් යුත් ගැඹුරු සෙනෙහසද, කරුණාවන්තකමද, යටහත් පහත් මනසක්ද, මෘදුකමද, බොහෝ ඉවසිලිවන්තකමද පැළඳගන්න.”—කොලොස්සි 3:12.
වයසක අය ගැන සැලකිලිමත් වීමෙන් අපි දෙවිගේ ප්‍රමිතිවලට ගරු කරනවා. මන්ද ඔහුගේ වචනයේ මෙසේ පවසනවා. “මහල්ලන්ට [හෝ මහලු තැනැත්තියන්ට] ගරු කළ යුතුය.”—ලෙවී කතාව 19:32, NW.
[6වන පිටුවේ පින්තූරය]
සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂණයක් කරගැනීම නුවණට හුරුයි