සැමට නිරෝගී සෞඛ්‍යයක් අත් කරගත හැකි ඉලක්කයක්ද?
ඔබටත් ඔබේ පවුලේ අයටත් මීට වඩා හොඳ සෞඛ්‍යයක් ලැබිය හැකි නම් මොනතරම් හොඳයිද කියා ඔබ සිතනවාද? ඕකත් අහන්න දෙයක්ද කියා ඔබ පැවසිය හැකියි. අපෙන් වැඩිදෙනෙක් ඉඳ හිට සුළු සුළු අසනීපවලින් පෙළුණත් මිලියන සංඛ්‍යාත ජනකායකට රෝගීභාවය යනු වේදනාව ගෙන දෙන ජීවිත කාලයටම පවතින අමිහිරි අද්දැකීමකි.
කෙසේවෙතත්, ලෙඩ රෝග අඩු කිරීමට මහා පරිමාණයෙන් වෑයම් දරමින් සිටී. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආයතනයක් වන ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) දරන වෑයම සලකා බලන්න. වර්ෂ 1978 WHO අනුග්‍රහයෙන් පැවැත්වූ සම්මන්ත්‍රණයකදී, රටවල් 134කින් හා එ.ජා. සංවිධාන 67කින් පැමිණි නියෝජිතයෝ සෞඛ්‍යය යනු රෝගවලින් මිදී සිටීම පමණක්ම නොවන බවට එකඟ වූහ. ඔවුන් පැවසුවේ, සෞඛ්‍යය යන්නෙන් අදහස් වන්නේ “ශාරීරික හා මානසික වශයෙන් සම්පූර්ණ සුවයක් මෙන්ම සමාජය තුළ ශුභදායක තත්වයක් පැවතීම” කියාය. මෙම නියෝජිතයෝ අභීතව පියවරක් ඉදිරියට තබමින්, සෞඛ්‍යය “ප්‍රධානතම මානව අයිතිවාසිකමක්” යයි ප්‍රකාශ කළහ. මේ අනුව, WHO “දසත වෙසෙන සියලු ජනයාට යම් දුරකට මනා සෞඛ්‍ය තත්වයක්” උදා කරවීමේ ඉලක්කය තබා තිබේ.
එවැනි ඉලක්කයක් උනන්දුව දනවන මෙන්ම වටිනා එකක්ද වේ. එහෙත් එය කෙදිනක හෝ අත් කරගත හැකි වේද? මිනිස් ප්රයත්නයන් සියල්ල අතුරෙන් නිසැකවම වෛද්‍ය විද්‍යාව වඩාත්ම විශ්වසනීය හා ප්‍රශංසනීය ක්ෂේත්රයක් බවට පත් වී ඇත. ද යුරෝපියන් නම් බ්‍රිතාන්‍ය පුවත්පතට අනුව, බටහිර රටවල ජනයා “ ‘සර්ව නිවාරණය’: සෑම රෝගයකටම බෙහෙත් පෙත්තක් ඇත යන සම්ප්‍රදායානුකූල වෛද්‍ය සංකල්පය” දැරීමට වැඩියෙන් හුරු වී ඇත. වෙනත් අයුරකින් පවසනවා නම්, අප සෑම ලෙඩකටම පහසු මෙන්ම ඉක්මන් සුවයක් බලාපොරොත්තු වන්නේ වෛද්‍ය ක්ෂේත්රයෙනි. එවන් බලාපොරොත්තුවක් ඉටු කිරීමට ඇත්තෙන්ම වෛද්‍ය වෘත්තියට හැකි වේද?