සෑම කෙනෙකුම ලබාගත යුතු රක්ෂණයක්
රක්ෂණ ව්‍යාපාරය ඔබ ජීවත් වන රටේ ප්‍රචලිත වී තිබිය හැක. එසේ නැත්නම් එහි රක්ෂණ කටයුතු පුළුල් ලෙස ව්‍යාප්ත වී නොතිබිය හැක. තත්වය කුමක් වුවත්, සෑම කෙනෙකුටම ලබාගත හැකි, ඇත්තෙන්ම ලබාගත යුතු රක්ෂණයක් තිබේ. රක්ෂණය රැකවරණය සලසන ක්‍රමයක් ලෙස සැලකිය හැකි නිසා, ඔබට එවන් රක්ෂණයක් ලබාගත හැක්කේ කෙසේද?
ඔබ නිරාවරණය විය හැකි අනතුරු අවම කරගැනීම සඳහා ප්‍රායෝගික පියවර ගැනීමෙන් ඔබට යම් රැකවරණයක් සලසාගැනීමට පුළුවන. “කාලයත් හදිසි කාරණාත්” සෑම කෙනෙකුටම සිදු විය හැකි බව බයිබලයේ සඳහන් වේ. (දේශනාකාරයා 9:11) එහෙත් සැමවිටම සැලකිලිමත්ව කටයුතු කිරීමෙන් අනතුරුවලට ගොදුරු වීමට ඇති ඉඩ කඩ අඩු කරගත හැක.
අනාගතය ගැන සිතන්න
දුර දක්නා නුවණින් කටයුතු කිරීමෙන් ආරක්ෂාව සලසාගැනීමට පුළුවන. අතමිට සරු වන කාලවලදී යම් මුදලක් ඉතිරි කර තැබීමෙන් හිඟ කාලවලදී එය ප්‍රයෝජනයට ගත හැක. ඈත අතීතයේ විසූ දේවභක්තික මිනිසෙකු වූ යෝසෙප් මිසරයේ අස්වැන්න බහුලව පැවති කාලයේදී එයින් කොටස් ගබඩා කර තැබූ නිසා, ඔහුව “දැනුම් තේරුම් ඇති ප්‍රඥාවන්ත” කෙනෙකු ලෙස හඳුන්වා තිබේ. පසු කලකදී මිසරයේ සාගතයක් හටගත් විට, යෝසෙප් ගත් ක්‍රියාමාර්ගය නිසා මිසර වැසියන් ඇතුළු ඔහුගේ පවුලේ අයට අවශ්‍ය ආහාර ලබාගත හැකි විය.—උත්පත්ති 41:33-36.
අරපිරිමැස්මෙන් වියදම් කිරීමෙන්ද අපට ආරක්ෂාව සලසාගත හැක. වියදම් අඩු කරගැනීමෙන් මුදල් ඉතිරි කරගෙන ආර්ථික ගැටලු අවම කරගැනීමට පුළුවන. නිතරම නවීන පන්නයේ භාණ්ඩ මිල දී ගැනීමට යෑමෙන් හෝ අලුත්ම විලාසිතා හා විනෝදාස්වාදයන් පසුපස හඹා යෑමෙන් ආර්ථික ගැටලුවලට මුහුණ දීමට සිදු වේ. ඇත්තෙන්ම, කලින් ලිපියේ සඳහන් කළාක් මෙන් පුද්ගලයෙකුට දේපොළ වැඩි වන තරමට ඒවාට හානි ඇතිවීමට හෝ යමෙකු විසින් ඒවා සොරාගැනීමට තිබෙන ඉඩ කඩද වැඩිය.—ලූක් 12:15.
ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්න
ආරක්ෂාව ගැන සැලකිලිමත් වීමෙන් අපේ ජීවිතයට සිදු විය හැකි අනතුරු බොහොමයක් වළක්වාගැනීමට පුළුවන. සෑම කෙනෙකුම පරෙස්සමින් හා නිසි වේගයෙන් රිය පැදෙව්වා නම් කොපමණ අනතුරු ගණනක් වළක්වාගත හැකිව තිබුණාද? අධික ලෙස වෙහෙසට පත්ව සිටින අවස්ථාවලදී හෝ බීමත්ව රිය පැදවීමෙන් සෑම කෙනෙකුම වැළකී සිටියා නම් කොපමණ ජීවිත ගණනක් ආරක්ෂා කරගත හැකිව තිබුණාද? රිය අනතුරුවලට හේතු විය හැකි තවත් දේවල් තිබෙන අතර, ඒවාද අපට වළක්වාගත හැක.
උදාහරණයක් හැටියට, රිය පදවන විට සෙලියුලර් දුරකථන භාවිතය ඇතැම් රටවල තහනම් කර තිබේ. එක් අධ්‍යයනයකින් හෙළි වූ පරිදි, රිය පදවන විට සෙලියුලර් දුරකථන භාවිත කරන්නෙකු අතින් අනතුරක් වීමට තිබෙන හැකියාව හතරගුණයකින් වැඩිය. එවන් කෙනෙකු, ක්‍රියා කරන්නේ රුධිරයේ මද්‍යසාරය සියයට 0.1ක් ඇති කෙනෙකුට සමානවය. මෙවන් මද්‍යසාර ප්‍රතිශතයක් ඇති කෙනෙකු බීමත්ව සිටින කෙනෙකු ලෙස නීතියෙන් සැලකේ. එසේ නම්, සෙලියුලර් දූරකථන භාවිත කිරීම මත්පැන් පානය කර රිය පැදවීම තරම්ම අනතුරුදායකය.
වාහනවල ගමන් කිරීමේදී රියැදුරු මෙන්ම මඟීන්ද ආරක්ෂක පටි පැළඳගෙන සිටීමෙන් ජීවිතයට සිදු විය හැකි හානි අඩු කරගත හැක. එහෙත් ආරක්ෂක පටි පැළඳගෙන සිටීමෙන් හා පදවන වාහනයේ වායු බෑගයක් තිබීමෙන් හෝ රක්ෂණ සහතිකයක් ලබාගෙන තිබීමෙන් විශාල හානියක් වීමට තිබෙන ඉඩ කඩ අඩු වෙයි කියා කවදාවත් නොසිතන්න. එසේ සිතාගෙන සිටීම බොහෝ අනතුරුවලට හේතු වී තිබෙන බව අධ්‍යයනවලින් අනාවරණය වී තිබේ.
නිවසේදී මෙන්ම රැකියා ස්ථානයේදීද ආරක්ෂාව ගැන සැලකිලිමත් වීම හොඳ රක්ෂණයකි. ඔබ ජීවත් වන නිවස හා රැකියා ස්ථානය නිසි පිළිවෙළකින් හා අනතුරු සිදුවීමේ ඉඩ කඩ අවම කරගත හැකි තත්වයක තිබේද? වටපිටාව පරීක්ෂා කර බලන්න. ඇවිදගෙන යන මාර්ගයෙහි පය ලිස්සා වැටීමට හේතු වන දේවල් තිබේද? මුවහත් දෑ හෝ උදුන, හීටරය හා ඉස්තිරික්කය වැනි රත් වන උපකරණ තබා තිබෙන්නේ වෙනත් අයව තුවාල විය හැකි හෝ පිලිස්සිය හැකි ස්ථානවලද? වහා ගිනි ඇවිළෙන කඩදාසි වැනි ද්‍රව්‍ය ගොඩගැසී තිබෙනවාද? විශේෂයෙන්ම දරුවන්ව අනතුරුවලට ගොදුරු විය හැකි තත්වයන් ගැන සැලකිලිමත් වන්න. උදාහරණයක් හැටියට, මද්‍යසාර අඩංගු බීම වර්ග හා විස සහිත ද්‍රව්‍ය අඩංගු පිරිසිදු කාරක ද්‍රව්‍ය දරුවන්ට ළඟා විය නොහැකි තැනක තබන්න.
ඔබේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න
යම් ප්‍රමාණයකට තමන්ගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීමෙන් නොයෙක් රෝගවලට ගොදුරු වීමේ අවදානම ඔබට අඩු කරගත හැක. මේ කාරණයේදී, ඔබ සතු දැනුම රක්ෂණයක් වැනිය. ඔබේ සෞඛ්‍යයට සිදු විය හැකි අනතුරු ගැන සැලකිලිමත් වන්න. යම් අසනීපයක් තිබෙන බවට ලක්ෂණ මතු වූ වහාම ප්‍රතිකාර ගන්න. වඩාත් වැදගත් දෙය වන්නේ ඔබෙත් ඔබේ පවුලේ අයගෙත් සෞඛ්‍යය රැකගත හැකි ආකාරය ගැන ඉගෙනගැනීමයි. “සුව කිරීමට වඩා වළක්වාගැනීම හොඳය” යන කියමන මතක තබාගන්න.
බයිබල් ප්‍රතිපත්තිවලට අනුකූලව ජීවත් වීම මගින් සෞඛ්‍යයට හානිකර පුරුදුවලින් හා ජීවන රටාවලින් වැළකී සිටින ආකාරය සම්බන්ධයෙන් ජනයාව දැනුවත් කරවන වටිනා තොරතුරු අවුරුදු ගණනාවක් පුරා පිබිදෙව්! සඟරා මගින් සපයා තිබේ. උදාහරණයක් හැටියට, පිරිසිදුකම, සමබර ආහාර ගැනීම, ප්‍රමාණවත් නින්දක් ලැබීම, නිතිපතා ව්‍යායාම කිරීම යනාදියෙහි තිබෙන වැදගත්කම හා මානසික පීඩනය ඇති කරවන දේවල් හා කාර්යබහුල වීම පාලනය කරගැනීමේ ඇති අවශ්‍යතාව පිබිදෙව්! සඟරාවේ පළ වූ විෂයන් ගණනාව අතරින් ස්වල්පයක් පමණි.
ලබාගත යුතුම රක්ෂණයක්
අසම්පූර්ණත්වය රජයන මේ ලෝකය තුළ රක්ෂණය ප්‍රයෝජනවත් විය හැකි දෙයක් වුවත්, අපට පූර්ණ ආරක්ෂාවක් සැලසීමට හෝ සිදු වන පාඩුවලට සම්පූර්ණ වන්දියක් ගෙවීමට කිසිම රක්ෂණයකට නොහැක. එහෙත් තමන් රක්ෂණය වී සිටියත් නැතත්, කිසිවිටකත් තමන් තනි වී නැති බවට නිසැකකමක් ඇතුව සිටින පිරිසක් සිටියි. ඔවුන්ට එසේ හැඟෙන්නේ මන්ද? විපත්තිවලට මුහුණ දෙන විට යේසුස් ක්‍රිස්තුස්ගේ සැබෑ අනුගාමිකයන්, එනම් යේසුස්ගේ පිය වූ යෙහෝවා දෙවිට සේවය කරන අය, එකිනෙකාට උපකාර කිරීම සඳහා තමන්ට කළ හැකි සෑම දෙයක්ම කරන නිසාය.—ගීතාවලිය 83:17; යාකොබ් 2:15-17; 1 යොහන් 3:16-18.
තම ඇදහිලිවන්ත සේවකයන්ව කිසිවිටකත් අත් නොහරින බවට යෙහෝවාම පොරොන්දු වෙයි. බයිබලයේ කොටසක් රචනා කර තිබෙන ගීතිකාකරුවෙකු මෙසේ ලීවේය. ‘මාගේ පියා හා මවු මා අත්හැරියත්, යෙහෝවා මා පිළිගනියි.’ (ගීතාවලිය 27:10) ජීවිතය ලබා දුන් තැනැත්තා වශයෙන් මිය ගිය අයට නැවත ජීවිතය ලබා දීමට යෙහෝවාට පුළුවන. ඔහු මිය ගිය අයව නැවත නැඟිටුවීම සඳහා සිය පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්ට බලය දී තිබෙන බව බයිබලයේ සඳහන් වේ. (ගීතාවලිය 36:9; යොහන් 6:40, 44) කෙසේවෙතත්, බයිබලයේ සඳහන් දෙයින් ඇඟවෙන්නේ මිය ගිය සෑම කෙනෙකුවම නැවත නැඟිටවනු ලබන බව නොවේ. (යොහන් 17:12) දෙවි මිය ගිය අයව නැවත නැඟිටුවන කාලයේදී ඔහුගේ මතකයේ සිටීම සඳහා අප දැන් කුමක් කළ යුතුද?
සිය සුප්‍රසිද්ධ කන්ද උඩ දේශනාවේදී ඉතාමත් විශ්වාසවන්ත රක්ෂණයක් ගැන යේසුස් කතා කළේය. මේ ගැන ඔහු මෙසේ පැවසුවේය. “පොළොවෙහි නුඹලාට වස්තු රැස්කර නොතබන්න; එහිදී කාවෝද මළකඩද ඒවා නාස්තිකරති, සොරුද උමංකැන සොරාගනිති. නුමුත් ස්වර්ගයෙහි නුඹලාට වස්තු රැස්කර තබා ගන්න; එහිදී කාවෝවත් මලකඩවත් ඒවා නාස්ති නොකරති, සොරු උමංකැන සොරා නොගනිති. මක්නිසාද නුඹේ වස්තුව යම් තැනෙක්හිද නුඹේ සිතත් එතැන්හිම වන්නේය.”—මතෙව් 6:19-21.
තමන්ට පුළුවන් කාලයේ මුදලක් ඉතිරි කර තැබුවොත්, තමන් වයසට ගිය දිනෙක, මුහුණ පෑමට සිදු වන ආර්ථික ගැටලු අඩු කරගත හැකි බව බොහෝදෙනෙක් සිතති. කෙසේවෙතත්, වැඩි ආරක්ෂාවක් සලසා දෙන රක්ෂණයක් හා සමාන දෙයක් යේසුස් හඳුන්වා දුන්නේය. එහි වටිනාකම කිසිදාක මුදලින් මැනිය නොහැක. එය කෙරෙහි තබන විශ්වාසය කෙදිනකවත් කඩ නොවේ. ඒ ගැන ඔහු මෙසේ පැහැදිලි කළේය. “මින් අදහස් කරන්නේ සදාකාල ජීවනයය—එනම් එකම සැබෑ දෙවි වන ඔබ සහ ඔබ විසින් එවන ලද යේසුස් ක්‍රිස්තුස් ගැන ඔවුන් විසින් දැනුම ලබාගැනීමය.”—යොහන් 17:3, NW.
දෙවි ගැනත් ඔහුගේ පුත්‍රයා ගැනත් නිවැරදි දැනුම ලබාගෙන, එම දැනුමට අනුව ජීවත් වීමෙන් දෙවි ඉදිරියෙහි නොමැකෙන වාර්තාවක් තබාගැනීමට අපට හැක. (හෙබ්‍රෙව් 6:10) මිනිසුන් විසින් පාලනය කරනු ලබන වත්මන් ක්‍රමය ඉක්මනින්ම නිමාවට පත් වන බව පේතෘස් සහ යොහන් යන ප්‍රේරිතයන් දෙදෙනාම අවධාරණය කළහ. ඔවුන් දෙදෙනාගේ විශ්වාසයන් පදනම් වූයේ ඔවුන්ගේ ස්වාමියා වූ යේසුස් ක්‍රිස්තුස් ඉගැන්වූ දේවල් මතය. යොහන් මෙසේද පැහැදිලි කළේය. “[දෙවිගේ] කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය.”—1 යොහන් 2:17; මතෙව් 24:3, 14; 2 පේතෘස් 3:7, 13.
අප දිගටම දෙවිට සේවය කරනවා නම්, වත්මන් ක්රමයේ නිමාවට කලින් අප මිය ගියහොත් ඔහු අපව නැවත නැඟිටවනු ලබන බවට හෝ ඒ කාලය වන විට අප ජීවත් වෙමින් සිටියොත් ඔහුගේ ධර්මිෂ්ඨ නව ලොවෙහි ජීවත් වීමට ඔහු අපට ප්‍රස්තාව උදා කර දෙන බවට නිසැක විය හැක. ‘අපේ ඇස්වලින් සියලු කඳුළු පිස දැමීමටත් සියල්ල අලුත් කිරීමටත්’ දෙවි පොරොන්දු වී ඇත. (එළිදරව් 21:4, 5) දෙවිට සේවය කරමින් ඔහුගේ පොරොන්දු කෙරෙහි විශ්වාසය තැබීම හොඳම රක්ෂණයයි. ඕනෑම කෙනෙකුට එම රක්ෂණය ලබාගත හැක.
[8, 9වන පිටුවේ පින්තූරය]
ආරක්ෂාව හා සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීමත් රක්ෂණයකි
[10වන පිටුවේ පින්තූරය]
දෙවි ගැන ඉගෙනගනිමින් ඔහුගේ කැමැත්ත කිරීම අනාගතය සඳහා ලබාගත හැකි හොඳම රක්ෂණයයි