යෞවන අය අසති . . .
ඔහු මට ප්‍රතිප්‍රේමය නොදැක්වුවොතින්?
“මම ගොඩක් කනස්සල්ලට පත් වෙලයි ඉන්නේ. මම දැනටමත් එයාට ආදරෙන් බැඳිලා. හැබැයි මම දන්නේ නැහැ එයාට මං ගැන මොන හැඟීමක් තියෙනවාද කියලා. මම මොනාද කරන්නේ? කොහොමද එයාට තියෙන මගේ ආදරය ගැන මම කියන්නේ? බැහැ, බැහැ, මට ඒක කොහොමටවත් කරන්න බැහැ! අනිත් අය මං ගැන මොනවා කියයිද?”—හූඩා.a
හූඩා නමැති තරුණ ලෙබනන් ජාතික කාන්තාව තමන්ට ප්‍රතිප්‍රේමය නොදැක්වූ කෙනෙකු සමඟ ආලයෙන් බැඳී සිටියා. එය අහම්බෙන් දක්නට ලැබෙන ගැටලුවක් නොවෙයි. තවත් ස්ත්‍රියක් වන සේනාටද එයාකාර අද්දැකීමක් තිබුණා. ඇය මෙසේ සිහිපත් කරයි: “මම එයාව හැමදාම දැක්කා, මොකද එයා අපේ අසල්වාසියෙක්. එයා හරිම කඩවසම් ආකර්ෂණීය කෙනෙක්. ඉතින් මට එයා ගැන ලොකු ආදරයක් ඇති වුණා.”
ඇත්තෙන්ම, යම් පුද්ගලයෙක් ක්‍රිස්තියානියෙකු සමඟ විවාහ වීමට සුදුසුයයි උපකල්පනය කර යම් කෙනෙක් කෙරෙහි තදබල හැඟීම් ඇති කරගැනීම වරදක් නෙවෙයි. (හිතෝපදේශ 5:15; 1 කොරින්ති 7:39) එමෙන්ම තරුණ කාන්තාවකට විවාහ වී පවුලක් ඇතුව සිටීමට ආශාවීමේද වරදක් නැහැ. නමුත් ඔබේ හැඟීම් ගැන නොදැන සිටින හෝ ඔබට ප්‍රතිප්‍රේමය නොදක්වන, සුදුසුයයි සිතිය හැකි පුද්ගලයෙකු කෙරෙහි ආදරයේ හැඟීම් ඇති වුණොත් කුමක්ද?
ආදරයෙන් පෙළීමේ වේදනාව
චිත්තවේගීය සැඩ කුණාටුවකට හසු වී සිටිනවායයි ඔබටත් හූඩාට මෙන් හැඟෙන්න පුළුවන්. එක් විටෙක ඉහළම හිණිපෙත්තට නැඟ ඇති බවක්ද තවත් විටෙක පහත් අඩියටම වැටී ඇත්තාක් මෙන්ද දැනිය හැකියි. “සමහරක් විට මට දැනුණා මම තමයි ලෝකෙ සන්තෝසෙන්ම ඉන්න කෙල්ල කියලා, ඒ වගේම තවත් වෙලාවලදී මට දැනුණා මම තමයි දුකින්ම හිටපු එක් කෙනා කියලා” සේනා පවසයි. නැවත නොපෙන්වූ ආදරය කාන්සාවට, නින්ද නොයෑමට හා කලකිරීමට පවා හේතු වෙන්න පුළුවන්.
“පැතූ දේ ප්‍රමාදවීමෙන් සිත කලකිරෙන්නේය” කියා හිතෝපදේශ 13:12 පවසයි. තවද අපේක්ෂාවන් කොහෙත්ම ඉටු නොවන විට, එය විනාශකාරි වෙන්න පුළුවන්! ඒ තැනැත්තා ගැන මොනයම් හෝඩුවාවක් හෝ දැනගැනීමට කැමැත්තෙන් ඔබ එම තැනැත්තා ගැන සැමවිටම කල්පනා කරමින් සිටිනවා කියා ඔබට දැනෙන්න පුළුවන්. ඔහුගේ අවධානය ඇදගැනීම සඳහා ඔබ නොයෙකුත් උපායන් යොදමින් ඔහු සමඟ සිටීම සඳහා පොඩි පොඩි හේතු ගෙතිය හැකියි. එමෙන්ම ඔබ ඔහු ළඟ ඉන්නා විට ඔහු සමඟ සාමාන්‍ය විදිහට හැසිරීම අපහසු බව ඔබට දැනෙන්න පුළුවන්.
යම් අවස්ථාවලදී ඔබ ආදරය දක්වන තැනැත්තා ඔබට විශේෂ උනන්දුවක් පෙන්වමින්, තවත් අවස්ථාවලදී ඔබ කෙරෙහි මොනයම් හෝ උනන්දුවක් නැති ආකාරයට කටයුතු කරන විට දේවල් වියවුල්කාරි විය හැකියි. එමෙන්ම තවත් කෙනෙකු කෙරෙහි අවධානය දෙනවා හෝ නොබෙදුණු කරුණාව හා අනුග්‍රහය පිරිනමනවා ඔබ නිරීක්ෂණය කළොත්, එය ඔබ තුළ ඊර්ෂ්‍යාවේ හැඟීම් වර්ධනය කරන්න පුළුවන්. බයිබලය මෙසේ පවසයි: “උදහස කෲරය, කෝපයද රෞද්‍රය; එහෙත් කාම ක්‍රෝධය [ඊර්ෂ්‍යාව, NW] ඉදිරිපිට සිටින්ට පුළුවන් කාටද?”—හිතෝපදේශ 27:4.
හූඩා මෙසේ පිළිගත්තා: “මට කොයිතරම් විස්තර කරන්න බැරි ඊර්ෂ්‍යාවක් තිබුණද කිව්වොත් මම නිකමට හරි මගේ ආකල්පය වෙනස් නොකළා නං මට පිස්සු හැදෙනවා.” ස්ව-පිළිකුල්කමේ හැඟීම්ද ප්‍රතිඵලය විය හැකියි. “මට ආදරය කරපු නැති කෙනෙක්ට ආදරය කරපු නිසාත් මට වේදනාව පමුණුවාගත්ත නිසාත් මං මටම දොස් පවරාගත්තා” කියා හූඩා පවසයි.
බටහිර රටවල, තරුණයෙකු වෙත කෙළින්ම එළඹී තම හැඟීම් ප්‍රකාශ කිරීමට තරුණියකට නිදහසක් දැනිය හැකි වුවත්, සෑම තරුණියක්ම එසේ කරන්න නැඹුරු වන්නේ නැහැ. තවද සමහර සංස්කෘතීන්වල ගැහැනු ළමයෙකු විසින් එවැනි මුලපිරීමක් කිරීම නුසුදුසු හෝ තිගස්සවන දෙයක් පවා විය හැකියි. එසේනම්, ඔබට ප්‍රතිප්‍රේමය නොදක්වන කෙනෙකු කෙරෙහි ඔබට ආදරයේ හැඟීම් ඇති වුණොත් තත්වය කිමෙක්ද?
ඔබේ හැඟීම් පරෙස්සමින් ඇගයීම
පළමුව ඔබේ හැඟීම් සන්සුන්ව හා හැඟීම්වලට නොවහල්ව ඇගයීමට උත්සාහ කරන්න. “තමාගේම සිත කෙරෙහි විශ්වාසය තබන්නා අඥානයෙක්ය” කියා බයිබලය අනතුරු අඟවයි. (හිතෝපදේශ 28:26) ඇයි? මන්දයත් බොහෝවිට අපේ හෘදය කරන විනිශ්චයන් වැරදිසහගතයි. (යෙරෙමියා 17:9) තවද ආදරයයයි මුලින් පෙනුණු දෙයක් වෙන දෙයක් බව හොයාගන්න පුළුවන්. “මට අවධානයයි ආදරයයි ඕන වුණා, මට ආදරය කරලා මාව රැකබලා ගන්න කෙනෙක්ව මට ඕන කළා. පොඩි කාලේ ඉඳලම මට ආදරය කියල දෙයක් ලැබිලා නැහැ. ඒක මට තදින්ම බලපෑවා” කියා හූඩා පවසයි. ඔබ ආදරය නොදක්වන හෝ අඩන්තේට්ටම් කරන පවුල් වාතාවරණයකින් නම් පැමිණෙන්නේ, ආදරය හා පිළිගැනීම සඳහා ඔබට එවැනි සාගින්නක් තිබෙන්න පුළුවන්. නමුත් ප්‍රේම සම්බන්ධයක්ද මෙයට ඇති විසඳුම?
කනගාටුවකට කරුණක් වන්නේ, හිස්බවක් හා තනිකමක් දැනෙන අය බොහෝවිට හොඳම විවාහක කලත්‍රයන් බවට පත් නොවීමයි. ඔවුන් විවාහ දිවියට පා තබන්නේ ඔවුන්ට නැතුවම බැරියයි හැඟෙන දෙයක් ලබාගැනීමේ අටියෙනුයි. කොහොම වුණත්, සැබෑ සන්තෝෂය නික්මෙන්නේ ගැනීමෙන් නොව, දීමෙනි. (ක්‍රියා 20:35) තවද කාන්තාවකට තමා ගැන සාධාරණ ලෙස හොඳ හැඟීමක් තිබෙනවා නම් මෙන්ම ‘තම කාරණා කෙරෙහි දක්වන පෞද්ගලික උනන්දුව ගැන පමණක් නොව, අන්‍යයන්ගේ කාරණා ගැන දක්වන පෞද්ගලික උනන්දුව කෙරෙහිත් ඇසක් තබාගන්නවා’ නම්, එවැනි කාන්තාවක් විවාහයක් සමඟ කටයුතු කරන්න වඩාත් හොඳින් සූදානම්ව සිටියි.—පිලිප්පි 2:4, NW.
ඔබ විවාහ වීම සඳහා පීඩනය යටතේ සිටින විට, විරුද්ධ ලිංගයේ අයෙකුගෙන් එන ඕනෑම අවධානයකට පහසුවෙන්ම අනිසි සේ ප්‍රතික්‍රියා කරන්න ඉඩ තිබෙනවා. සමහර අවස්ථාවලදී ප්‍රේම සම්බන්ධයක් පිළිබඳව තරුණියකට ඇති ආශාව හිත මිත්‍රාදීන් ඇතුළු පවුලේ අයගෙන් පෝෂණය වෙයි. සමහරක් සමාජවල ගැහැනු ළමයෙක් කල වයසට පැමිණි වහාම ඇයව විවාහ කර දීම ප්‍රබල ලෙස අවධාරණය කරනවා. විමෙන් ඉන් ද මිඩ්ල් ඊස්ට් (මැදපෙරදිග කතුන්) නම් පොත මෙසේ පවසයි: “කාන්තාවක් අවුරුදු තිහට ළංව ඇතත් තවමත් තනිකඩ නම්, ඇය පවුලේ අයගේ දැඩි සැලකිල්ලට ලක් වෙයි.” පවුලේ කීර්තිය මෙයට සම්බන්ධ නිසා, තම දියණියන්ව හැකි තරම් තරුණ වයසේදීම විවාහ කර දීමට පියා උත්සාහ කරන්න ඉඩ තිබෙනවා.
කෙසේවෙතත්, සංස්කෘතියට ඉහළින් බයිබල් ප්‍රතිපත්තිවලට තැනක් ලැබෙයි. තවද විවාහ වීමට පෙර “යෞවනයේ මල් පූදින විය” පසු වන තුරු සිටීමට බයිබලය යෞවනයන්ට දිරිගන්වයි. (1 කොරින්ති 7:36, NW) එසේනම්, ඔබේ දෙමාපියන් හෝ මිත්‍රයන් විවාහ වීමට අනිසි ලෙස ඔබව පීඩනයට ලක් කරනවා කියා ඔබට හැඟෙනවා නම් කුමක්ද? ‘ප්‍රේමය කැමති වන තුරු එය නොනැඟුටුවන ලෙසත් නුපුබුදුවන හැටියටත්’ දේවභයැති ෂුලෙම්මීය ගැහැනු ළමයා ඇගේ ආශ්‍රිතයන්ට දිවුරා පැවසූ බව බයිබලය පවසයි. (සාලමොන්ගේ ගීතිකාව 2:7) විශේෂයෙන්ම ඔබේ දෙමාපියන් දේවභයැති අය නම්, ඊට සමානාකාරයකින් ඔබේ අදහස් ස්ථිර ආකාරයකින් ඉදිරිපත් කිරීම සමහරවිට ප්‍රතිඵල ගෙනෙන්න ඉඩ තිබෙනවා.
යථාර්ථයට මුහුණ දීම
එහෙත් ඔබ ආදරය කරනවායයි සිතන තැනැත්තා සම්බන්ධයෙන් ඇති යථාර්ථයට ඔබ මුහුණ දිය යුතුයි. එසේ කිරීම පහසු දෙයක් නොවිය හැකි අතර, ඔබට එය චිත්තවේගීයව වේදනාව ඇති කරන්නද පුළුවන්. නමුත් ශුද්ධ ලියවිලි දිරිගන්වන්නේ “සත්‍යය පමණක් මිල දී ගෙන එය නොවිකුණන්න” කියායි. (හිතෝපදේශ 23:23, NW) ඔබෙන්ම මෙලෙස අසන්න: ‘මට ආදරයේ හැඟීම් තියෙන එකට හොඳ හේතු තියෙනවද? මේ පුද්ගලයා ගැන මම ඇත්තටම කොච්චර දන්නවද? මම එයාගේ සිතුවිලි, හැඟීම්, මතයන්, පුරුදු, සාරධර්ම, හැකියාවන්, දක්ෂතාවන් වගේම ජීවිත රටාව ගැන මොනවද දන්නේ?’
තවත් සැලකිය යුතු දෙයක් නම්, එම තැනැත්තා ඔබ කෙරෙහි සැබෑ උනන්දුවක් පෙන්වා ඇද්ද යන කාරණයයි. බොහෝ අවස්ථාවලදී, නිකම්ම පෙන්වන කරුණාව හෝ මිත්‍රකම වැරදි ආකාරයට භාරගනියි. “එයා මට කරුණාවන්ත වෙන්න හැදුවා විතරයි; හැබැයි මම එයා කිව්ව දේවල් වගේම කරපු දේවල් භාරගත්තේ පෞද්ගලික උනන්දුවක් හැටියටයි. මොකද මට උවමනා වුණේ ඒකයි. හැබැයි එයාට මං ගැන උනන්දුවක් නැහැයි කියලා මට පස්සේ තේරුණාම, මට ලැජ්ජ හිතුණා. එයාගේ උනන්දුව ලබන්න මම වටින්නේ නැහැයි කියලා මට හිතුණා; ඒ වගේම මගේ මොනවා හරි වරදක් තියෙනවයි කියලත් මට හිතුණා” කියා හූඩා පවසයි.
එයාකාර අද්දැකීමක් නිසා සමහරවිට ඔබටත් එසේම හැඟී ඇති. කොහොම වුණත්, ඔබ මේ තැනැත්තාගේ ඇස් ඉදිරියේ හරියයි නොපෙනුණ නිසාම, තවත් කෙනෙකුගේ ඇස් ඉදිරියේ හරි නැති ආකාරයට පෙනෙයි කියා ඉන් අදහස් නොවන බව තේරුම්ගන්න. මන්දයත් බලං යන විට ලෝකයටම සිටින එකම තරුණයා මොහු නෙවෙයි!
වේදනාවෙන් ගොඩඒම
එසේ වුණත්, ඔබට ඇති වේදනාවෙන් ගොඩඒමට යම් කලක් ගත විය හැකියි. උපකාරවත් විය හැක්කේ කුමක්ද? ඔබට සවන් දෙන මේරූ ක්‍රිස්තියානියෙක් වන ‘සැබෑ මිත්‍රයෙක්ට’ විවෘතව කතා කිරීම උපකාරවත් විය හැකි එක් දෙයක්. (හිතෝපදේශ 17:17, NW) ඔබට කතා කළ හැකි වයසින් වැඩි කාන්තාවක් සභාවේ සිටිය හැකියි. උපකාරය සහ සහය සැපයීමේදී ක්‍රිස්තියානි දෙමාපියන්ට වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකියි. සේනා මෙසේ සිහියට නඟයි: “සභාවේ හිටපු එක සහෝදරියක් මට තිබුණු වේදනාව දැකලා මට උපකාර කරන්න තරම් මේරූ වුණා. මට එයත් එක්ක ඉන්න කොට පහසුවක් දැනිච්ච නිසා මම එයාට ඔක්කොම කිව්වා. මගේ දෙමාපියන්ට කතා කරන්න කියලා එයා මට දිරිගැන්නුවා. ඉතින් මම ඒගොල්ලන්ට කතා කළා, එතකොට ඒගොල්ලන් මාව තේරුම් අරගෙන මට උපකාර කළා.”
යාච්ඤාවේ බලය ගැනද මතක තබාගන්න. (ගීතාවලිය 55:22) “මම යෙහෝවාට කරපු යාච්ඤා මගේ වේදනාව තුරන් කරගන්න මට උදව් වුණා. ඒ වගේම මම මුරටැඹ හා පිබිදෙව්! සඟරාවල තිබුණ උපකාරවත් ලිපිත් කියෙව්වා” කියා හූඩා පවසයි. ඊට අමතරව ඔබ ඔබවම තනි කර නොගැනීමත් වැදගත් වෙනවා. (හිතෝපදේශ 18:1) වෙනත් අය එක්ක සම්බන්ධ වෙන්න. “මට උදව් වුණ තව දෙයක් තමයි මම ගොඩක් කාර්යබහුල වුණ එක වගේම පුරෝගාමියක් [පූර්ණ කාලීන එවැන්ජලිස්තවරියක්] වීම. සභාවේ හිටිය තවත් සහෝදරියන් එක්කත් කරන ආශ්‍රය මම වැඩි කළා. මේක මට ආත්මිකව ප්‍රගතියක් ලබන්න උදව් වුණා” කියා සේනා සිහියට නඟයි.
බයිබලයේ “ප්‍රේමකරන්ට කාලයක්” ගැන කතා කරන අතර, සමහරවිට ඔබට ප්‍රතිප්‍රේමය දක්වන කෙනෙක් අනාගතයේදී ඔබට මුණගැසිය හැකියි. (දේශනාකාරයා 3:8) විවාහ දිවියක ප්‍රේමයේ සතුට භුක්ති විඳීමේ ආශාව ඇතුව යෙහෝවා මිනිසුන් මැවූ අතර, අපේ උදාර සැදුම්කරුගේ මෙම මහඟු දායාදය සැබෑ කරගැනීමට ඔබටත් අන්තිමේදී හැකිවීමට ඉඩ ඇත. ඒ අතරතුර කාලයේදී, ප්‍රේරිත පාවුල් පවසන ආකාරයට “සිත් තැවුලින් තොර” වූ කාලය වන තනිකඩභාවයේ අවුරුදුවලින් උපරිමය නෙළාගැනීමට ඔබ උත්සාහ නොකරන්නේ ඇයි? (1 කොරින්ති 7:32-34, නව අනුවාදය) තත්වය කුමක් වුණත්, “ඔබ [යෙහෝවා] ස්වකීය හස්තය විදහා, ජීවමාන සියල්ලන්ගේ ආශාව පූර්ණ [කරන්නේය]” යන බයිබල් පොරොන්දුවේ ඉටුවීම ගැන ඔබට නිසැක විය හැකියි.—ගීතාවලිය 145:16.
[පාදසටහන]
a අදාළ අයගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා නම් වෙනස් කොට ඇත.
[13වන පිටුවේ පින්තූරය]
සමහරවිට කරුණාව වැරදි ආකාරයට භාරගනියි