දිළිඳුකමේ නිමාව ළඟා වෙයි
“දිළින්දෝ නුඹලා සමඟ නිතරම සිටිති” කීමෙන් යේසු අදහස් කළේ කුමක්ද? (මතෙව් 26:11) කිසිම විසඳුමක් නැතුව දිළිඳුකම දිගටම පවතිනු ඇති බවක් ඔහු අදහස් කළාද?
මිනිස් පාලනයේ වත්මන් පිළිවෙළ පවතින තාක් කල් දිළිඳුකම තිබෙනු ඇති බව යේසු දැනගෙන හිටියා. මොනයම් ආකාරයේ මිනිස් ආණ්ඩුවකටවත්, නැතහොත් ආර්ථික හෝ සමාජ ක්‍රමයකටවත් එය ස්ථිරයෙන්ම මුලිනුපුටා දැමීමට නොහැකි බව ඔහු දැනගෙන හිටියා. තවද ඉතිහාස වාර්තාව මේ බව ස්ථිර කරනවා.
මිනිස් ඉතිහාසයේ වර්ෂ දහස් ගණන පුරා, සෑම ආකාරයකම ආණ්ඩුවක්, සෑම ආකාරයකම ආර්ථික හා සමාජ ක්‍රමයක් අත්හදාබලා තිබුණත් තවමත් දිළිඳුකම අප සමඟයි. ඇත්තෙන්ම, විද්‍යාව, කර්මාන්තය හා වෛද්‍ය විද්‍යාව වැනි පැතිවල ප්‍රගතියක් තිබුණත් ලොව පුරා දිළිඳුකමට ගොදුරු වන සංඛ්‍යාව වැඩි වෙනවාය යන සැබෑව විවාදයෙන් තොරයි.
සාගතය, ඉඩෝරය, සතුරු හමුදා ආක්‍රමණය, නරක ආණ්ඩුව, නිසි ලෙස පාලනය නොකළ ආර්ථිකය, ධනවන්තයන් හා බලවන්තයන් දුප්පතුන්ව හා දුර්වලයන්ව යටපත් කිරීම, අනතුරු හා අසනීප මෙන්ම දුප්පත් අනාථ දරුවන්ව හා වැන්දඹුවන්ව තනි කර දමන ස්වාමිපුරුෂයන්ගේ මරණ වැනි බොහෝ හේතුකාරකයන් දිළිඳුකම බිහි කරන බව යේසු හොඳින් දැන සිටියා. එපමණක්ද නොව, කම්මැළිකම, බීමත්කම, සූදුකෙළීම හා මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීම වැනි නරක පුරුදු මගින් තමන්ටත් තම පවුල්වලටත් දිළිඳුකම ගෙන ඒමට ජනයාට හැකි බව ඔහු දැනගෙන හිටියා.
එබැවින් “දිළින්දෝ නුඹලා සමඟ නිතරම සිටිති” කියා යේසු පැවසූ විට, ඔහු අදහස් කළේ දිළිඳුකම මුලිනුපුටා දැමීම මේ ලෝකයේ කිසිම ආයතනයකට කළ නොහැකි බවයි. වත්මන් මිනිස් පාලනයේ පිළිවෙළ තිබෙන තාක් කල් දුප්පත් ජනතාවක් සිටින්න යන බවයි ඔහු අදහස් කළේ.
දිළිඳුකමේ ගැටලුව ඉපැරණි එකක් වුණත්, යේසු හෝ ඔහුගේ ස්වර්ගික පියා දුප්පතුන් ගැන සංවේදී නොවුවා කියා අප නිගමනය නොකළ යුතුයි. දිළිඳුකම කවදාවත් නිම නොවේවි කියාත් අපි යේසුගේ වදන්වලින් නිගමනය නොකළ යුතුයි. කාරණය සම්බන්ධයෙන් බයිබලය පවසන දෙයින් මෙය පැහැදිලි වෙනවා.
දිළිඳුකම හා මෝසෙස්ගේ ව්‍යවස්ථාව
උදාහරණයක් වශයෙන්, මෝසෙස් මගින් ඉපැරණි ඉශ්‍රායෙල් ජාතියට දෙවි දුන් ව්‍යවස්ථාව සලකා බලන්න. ව්‍යවස්ථාවේ එක නියමයක් වූයේ හැම ඉශ්‍රායෙල් පවුලකටම කානාන් දේශයෙහි උරුමයක් දීමයි. (ද්විතීය කථාව 11:8-15; 19:14) ලෙවීවරුන්ට පමණක් බිම් කැබැල්ලක් ලැබුණේ නැහැ. ඒ වෙනුවට, දේවමාළිගාවේ ඔවුන්ගේ විශේෂ වැඩය ගැන සලකා බලද්දී, දේශයේ ඵලදාවෙන් දසයෙන් කොටසක් ලැබීම මගින් ඔවුන් පෝෂණය වුණා.—ගණන් කථාව 18:20, 21, 24.
එපමණක්ද නොව, බිම් කැබැල්ල දී තිබූ තැනැත්තාගේ පවුල හෝ ගෝත්‍රය විසින් දිගටම එය තබාගැනීමට හැකි වන පිණිස මෝසෙස්ගේ ව්‍යවස්ථාව යටතේ උරුමයේ නීති සහතික කළා. (ගණන් කථාව 27:8-11) මිනිසෙක් තමාගේ බිම් කැබැල්ල විකුණුවත්, එය අලුත් අයිතිකරුවාට තබාගත හැකි වුණේ තාවකාලිකව පමණි. කාලයාගේ ඇවෑමෙන් බිම් කැබැල්ල යළි එය විකුණූ තැනැත්තාගේ අතට පත් වෙනු ඇත.
තමාගේ බිම් කැබැල්ල නිසි ලෙස පාලනය නොකිරීම හෝ තමන්ගේ ධනසම්පත් නාස්ති කිරීම වැනි විවිධ හේතු මගින් දුප්පත් වූ අයට වෙනත් අයගේ කෙත්වලින්, පලතුරු වතුවලින් හා මිදිවතුවලින් ආහාර එකතු කරගැනීමට අයිතිය ව්‍යවස්ථාව මගින් සහතික කරනු ලැබුවා. (ලෙවී කථාව 23:22) තවදුරටත්, අවශ්‍යතාව ඇති ඉශ්‍රායෙලිතයෙකුට පොලියක් නොගෙවා ණය මුදලක් ලබාගත හැකිව තිබුණා. ඇත්තෙන්ම, දුප්පතා කෙරෙහි පරිත්‍යාගශීලීත්වයේ ආත්මයක් පෙන්වීමට යුතුව තිබුණා.—නික්මයාම 22:25.
යේසු දුප්පතුන් ගැන සැලකිලිමත් වුණා
සියවස් ගණනකට පසු යේසු පොළොවට පැමිණි විට, ඔහු සිය පියා වූ යෙහෝවාගෙන් ඉගෙනගත් ත්‍යාගශීලීත්වයේ ආත්මය දිගටම විදහාපෑවා. ද්‍රව්‍යමය අතින් දුප්පත් අය කෙරෙහි යේසු පෞද්ගලික උනන්දුවක් දැක්වුවා. ඔහුට සහ ඔහුගේ ගෝලයන්ට පොදු අරමුදලක් තිබුණු අතර ඔවුන් අවශ්‍යතාව ඇති ඉශ්‍රායෙලිතයන්ට දුන්නා.—යොහන් 12:5-8.
යේසුව මරණයට පත් කළ පසු, විශේෂයෙන් තම දුප්පත් ආත්මික සහෝදර සහෝදරියන්ට ද්‍රව්‍යමය සහාය සැපයූ විට ක්‍රිස්තියානීන් විසින් එවැනිම සැලකිල්ලක් දැක්වුවා. (රෝම 15:26) අදදින සැබෑ ක්‍රිස්තියානීන්ද එකිනෙකා සඳහා එවැනිම ප්‍රේමනීය සැලකිල්ලක් පෙන්නුම් කරනවා.
සැබවින්ම, බයිබලය, පීඩිත තත්වයන්ට ගොදුරු වූවන් සඳහා දයානුකම්පාවක් පෙන්වන අතරතුරේදී, සමහරවිට කම්මැළිකම නිසා ‘තමාගේම මාංසය කන’ අයට තරවටු කරයි. (දේශනාකාරයා 4:1, 5) ප්‍රේරිත පාවුල් මෙහෙම ලිව්වා: “යමෙක් වැඩකරන්ට කැමති නැත්නම් ඔහු කෑම නොකා සිටීවා.” (2 තෙසලෝනික 3:10) එලෙසම, මත්ද්‍රව්‍යය, දුම්පානය හෝ මත්පැනට ඇබ්බැහි වීම වැනි දේවලට මුදල් නාස්ති කරන අය දිළිඳුකමට පත් විය හැකියි. මෙය ඔවුන්ගේම නරක ක්‍රියාවල ප්‍රතිඵලයක්; ඔවුන් ඇත්තෙන්ම ‘තමන් වැපුරූ දේම කපාගන්නවා.’—ගලාති 6:7.
සුරක්ෂිතභාවය දැන්
තම කැමැත්ත කරන්න පරිශ්‍රමයක් දරන අයගේ තත්වය කෙරෙහි දෙවි විශේෂ උනන්දුවක් දක්වන බව බයිබලය පෙන්වයි. උදාහරණයක් වශයෙන්, ගීතාවලිය 37:25 දාවිත් මෙසේ ප්‍රකාශ කරයි: “මම යෞවනව සිටියෙමි, දැන් මහලුව සිටිමි; එසේවී නුමුත් ධර්මිෂ්ඨයා අත්හරිනු ලැබූ බවවත්, ඔහුගේ වංශය කෑම සිඟන බවවත් නුදුටිමි.” ධර්මිෂ්ඨකමට නැඹුරුව සිටින්නන්ට ධනසම්පත් දෙන බවට පොරොන්දු වී නැති නමුත් මෙහිදී අඟවන්නේ, ජීවත් වීමට ප්‍රමාණවත් ද්‍රව්‍යමය සැපයුම් ඔවුන්ට දීමට දෙවි වගබලාගනු ඇතැයි යන්නයි. එමෙන්ම එම ගීතාවලියේම 28වන පදය මෙසේ ප්‍රකාශ කරයි: ‘මක්නිසාද යෙහෝවා යුක්තියට ප්‍රිය වෙයි, ස්වකීය ශුද්ධවන්තයන් අත්නාරියි.’
යේසු මිහිපිට තම ජීවිතය ගත කළ කාලයේදී දුප්පතුන්ට ද්‍රව්‍යමය ලෙස උපකාර කිරීම මගින් නිකම් සැලකිල්ල දක්වනවාට වඩා වැඩි යමක් පෙන්නුම් කළා. ඔවුන් දෙවිගේ කැමැත්ත කරන්න උත්සාහ කරන තාක් කල් අඩුම තරමින් ඔවුන්ගේ අවම අවශ්‍යතා දැනටත්, අනාගතයටත් සැපයීමට දෙවි වගබලා ගනීවි කියා ඔහු ඔවුන්ට සහතික කළා. යේසු මතු දේ පැවසුවා:
‘ආකාශයේ පක්ෂීන් බලන්න, උන් වපුරන්නේවත් කපාගන්නේවත් අටුවල රැස් කරගන්නේවත් නැත; නුඹලාගේ ස්වර්ගීය පියාද උන් පෝෂණය කරන්නේය. නුඹලා උන්ට වඩා බොහෝ වටිනවා නොවේද? . . . නුඹලා ඇඳුම් ගැන කුමක් නිසා කනස්සලු වන්නහුද? කෙතේ මානෙල් වැඩෙන හැටි කල්පනා කරන්න; ඒවා වෙහෙසෙන්නේවත් නූල් කටින්නේවත් නැත. එහෙත් සාලමොන් පවා ස්වකීය සියලු ඓශ්චර්යයෙහිදී ඒවායින් එකක් ලෙස පැළඳී නොසිටියේයයි නුඹලාට කියමි. මඳ ඇදහිල්ල ඇත්තෙනි, අද තිබී හෙට උදුනෙහි දමනු ලබන්නාවූ කෙතේ තෘණ දෙවි මෙසේ පළඳවන්නේ නම්, ඊට වඩා කොපමණ වැඩියෙන් නුඹලා නොපළඳවන්නේද? එහෙයින් කුමක් කමුද කුමක් බොමුද කුමක් අඳිමුද කියමින් කනස්සලු නොවෙන්න. . . . මේ සියල්ල නුඹලාට ඕනෑ බව නුඹලාගේ ස්වර්ගීය පියා දන්නේය.’—මතෙව් 6:26-32.
තම අනුගාමිකයන්ගෙන් මෙසේ උදක්ම ඉල්ලමින් යේසු අවසන් කළා: “ඒ නිසා, [දෙවිගේ] රාජ්‍යයද ඔහුගේ ධර්මිෂ්ඨකමද පළමුව සොයමින් සිටින්න; එවිට මේ [අන්] සියලු දේවල් ඔබට එකතු කරනු ලැබේ.” (මතෙව් 6:33, NW) දුප්පත් නමුත් දෙවිගේ කැමැත්ත කරන්න සොයන අය සඳහා මෙය මොනතරම් කදිම දිරිගැන්වීමක්ද! දේවරාජ්‍යය තම අනුගාමිකයන්ගේ ජීවිත තුළ ඉතාමත්ම වැදගත් දේ වීමට තිබුණු බවටත් යේසු පෙන්වූ බව සැලකිල්ලට ගන්න. මුළු පොළොව පුරා දෙවිගේ ස්වර්ගික රාජ්‍යය සම්පූර්ණයෙන්ම පාලනය භාරගන්න විටයි—එවිට පමණයි—දිළිඳුකම තුරන් වෙන්නේ කියා යේසු දැන සිටියා.
අප සමඟ සදහටම නොතිබේ
මෙබැවින්, යේසු අනාගතය සඳහා මවිතාකාර බලාපොරොත්තුවක් දුන්නා. එබැවින් “දිළින්දෝ නුඹලා සමඟ නිතරම සිටිති” කියා ඔහු පැවසූ විට, ඔහු යොමු දක්වමින් සිටියේ වත්මන් මිනිස් පාලන පිළිවෙළ යටතේ ජීවිතය වෙතයි. අනාගතයේදී දෙවිගේ ස්වර්ගික රාජ්‍යයේ පාලනය යටතේ ජීවිතයට ඔහු යොමු දක්වමින් සිටියේ නැහැ. බයිබලය මෙසේ පුරෝකථනය කරයි: “දුප්පතා නිතරම මතකනැති නොවන්නේය, දිළිඳුන්ගේ බලාපොරොත්තුව සදාකාලේටම විනාශ නොවන්නේය.” (ගීතාවලිය 9:18) තවද ආත්මාර්ථය පිණිස අන්‍යයන්ව යොදාගැනීමට හා ඔවුන්ට පීඩා කිරීමට වෑයම් කරන කිසිම කෙනෙකු කෙරෙහි දේවරාජ්‍යයේ රජ වශයෙන්, යේසුස් ක්‍රිස්තුස් නොඉවසනු ඇත.
යේසු, දෙවිගේ ස්වර්ග රාජ්‍යයේ පාලකත්වය තම ඉගැන්වීමේ ප්‍රධාන තේමාව බවට පත් කළා. (මතෙව් 4:17) රාජ්‍ය පාලනය යටතේ, පොළොවේ තත්වයන් මගින් ස්වර්ගයෙහි තත්වයන් දක්නට සලස්වයි; නැතහොත් පිළිබිඹු කරයි. මෙසේ දෙවිට යාච්ඤා කරන්න කියා තම අනුගාමිකයන්ට ඔහු ඉගැන්නුවේ ඒ නිසයි: “ඔබගේ රාජ්‍යය ඒවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා.”—මතෙව් 6:9, 10.
ඒක සිදු වන්නේ කෙසේද? මුළු වත්මන් මිනිස් පාලන ක්‍රමයම පොළොවෙන් පහ කර, ඒ වෙනුවට තම ස්වර්ගික රාජ්‍ය පාලනය ගෙන ඒම දෙවිගේ අරමුණයි. දානියෙල් 2:44, 45හි අනාවැකිය මෙසේ ප්‍රකාශ කරයි: “ඒ රජුන්ගේ [දැන් පවතින රජුන්ගේ] දවස්වලදී ස්වර්ගයේ [දෙවි] කිසිකලක නැති නොවන්නාවූ රාජ්‍යයක් [පිහිටුවයි], ඒකේ ආණ්ඩුව අන් සෙනගකට [තවත් මිනිස් පාලනයකට] අත්අරිනු නොලබන්නේය; . . . ඒක ඒ [වත්මන්] සියලු රාජ්‍යවල් පොඩිකර නැති කරන්නේය, එයද සදාකාලේටම පවතින්නේය.”
එසේනම්, දේවරාජ්‍ය පාලනය යටතේ නව ලොවක් තුළ මුළු පොළොවම, දිළිඳුකමේ ඡායාවක්වත් නොතිබෙන බහුලත්වයෙන් පිරි පාරාදීසයක් බවට පරිවර්තනය වනු ඇත. ඒ කාලයේදී පවතිනු ඇති තත්වයන් සම්බන්ධ බයිබල් අනාවැකි සමහරක් සලකා බලන්න:
“සියලු බලැති [යෙහෝවා] . . . සියලු ජාතීන් හට ඉස්තරම් මුද්‍රික පානයෙන් හා රසමසවුලින් යුත් මංගල භෝජනයක් සූදානම් [කරන්නේය].” (යෙසායා 25:6, නව අනුවාදය) “පොළොවේ කඳු මුදුන්හි බොහෝ ශෂ්‍ය වන්නේය; එහි කරල් ලෙබනොන් මෙන් ලෙළ දෙන්නේය.” (ගීතාවලිය 72:16) “ආශීර්වාද වර්ෂා පැමිණෙනවා ඇත. කෙතේ ගස්වල ඵල හටගන්නේය, දේශය ඒකේ අස්වැන්න දෙන්නේය, ඔව්හු උපද්‍රව රහිතව තමුන්ගේ රටෙහි සිටින්නෝය.” (එසකියෙල් 34:26, 27) ‘පොළොව ස්වකීය වර්ධනය දී තිබේ. දෙවි, එනම් අපේම දෙවි, අපට ආශීර්වාද කරන්නේය.’ (ගීතාවලිය 67:6) “වනාන්තරයද වියළි දේශයද ප්‍රීතිවන්නේය; කාන්තාරය ප්‍රීතිමත්වී සෙව්වන්දී මෙන් මල් දරන්නේය.”—යෙසායා 35:1.
තවදුරටත්, මීකා 4:4 මෙසේ පොරොන්දු වෙයි: “ඔව්හු කිසිවෙකුගෙන් භයක් නොලැබ, එකිනෙකා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද වාසයකරනවා ඇත.” සියලුදෙනාටම තමන්ගේම ගෙවල් තිබෙනු ඇත: “ඔව්හු ගෙවල් ගොඩනගාගන එහි වාසයකරන්නෝය; . . . ඔවුන් ගෙවල් ගොඩනැගුවාම වෙන කෙනෙක් වාසයකරන්නේ . . . නැත.” (යෙසායා 65:21, 22) තම ඉගැන්වීම් විශ්වාස කළ අයට මෙසේ පොරොන්දු වීමට යේසුට හැකිවීම පුදුමයක් නොවේ: ‘නුඹ මා සමඟ පාරාදීසයෙහි සිටින්නෙහිය!’—ලූක් 23:43.
එසේය, දිළිඳුකමට සම්පූර්ණ අවසානයක් තිබෙනු ඇතැයි දෙවිගේම ආනුභාව ලත් වචනය පැහැදිලිව උගන්වයි. එමෙන්ම මේ ලෝකය දැන් “කටයුතු කිරීමට අසීරු, අර්බුදකාරි කාලවල්” අද්දකින “අන්තිම දවස්වල” පවතින බව බයිබල් අනාවැකි පෙන්වන නිසා එම කාලය ළඟා වෙමින් පවතී. (2 තිමෝති 3:1-5, NW, 13) වැඩි කල් නොගොස් වත්මන් දේවල පිළිවෙළ සදහටම ඉවත් කරනු ඇති අතර, දිළිඳුකම සහමුලින්ම—මිනිස් වෑයමකින් නොව නමුත් දිව්‍ය මැදිහත් වීම මගින්—නැති කර දමනු ඇත. යේසුස් ක්‍රිස්තුස් රජ “මොරගසන දිළිඳාද උපකාරකාරයෙක් නැති දුප්පතාද මුදාහරින්නේය. [ඔහු] දුප්පතුන් සහ දිළිඳුන් කෙරෙහි අනුකම්පාකරන්නේය.”—ගීතාවලිය 72:12, 13.
[8, 9 යන පිටුවේ පින්තූරය]
දෙවිගේ නව ලොවෙහි, සියලුදෙනාටම හොඳ නිවාස හා ආහාර බහුලව තිබෙනු ඇත
[10වන පිටුවේ පින්තූරය]
නව ලොවෙහි, කෙදිනකවත් කුසගින්නෙන් පෙළෙන දරුවන් නොසිටියි