චෙක් වාස්තු විද්‍යාව දෙවිගේ නාමය අලංකාරවත් කරයි
චෙක් ජනරජයේ පිබිදෙව්! වාර්තාකරු විසින්
ලෝකයේ බොහෝ ප්‍රදේශවල යෙහෝවා යන නාමය විශේෂයෙන්ම යෙහෝවාගේ සාක්ෂිකරුවන් හා බැඳී පවතිනවා. චෙක් ජනරජයේ ඓතිහාසික ගොඩනැඟිලි ගණනාවක තිබෙන අලංකාර කිරීම්වල යෙහෝවා යන දිව්‍ය නාමය සාදන හෙබ්‍රෙව් අක්ෂර සතර (יהוה) නැතහොත් ටෙට්රාගැමටනය ඇතුළත් වන බව දැනගන්න ලැබීමෙන් ඔබ පුදුම විය හැකියි.
ඇතැම්විට ටෙට්රාගැමටනය හා සම්බන්ධ ඉතාමත් ප්‍රසිද්ධ නිදසුන තිබෙන්නේ පැරණි නගරයක් වන ප්රාග් අසල පිහිටි සුන්දර වල්ටව ගඟ හරහා 1357දී තැනූ චාල්ස් පාලම මත විය හැකියි. මේ පාලම පසු කරගෙන යන සෑම කෙනෙකුගේම වගේ නෙත් ඇදගන්නාවූ කැටයම් දෙපැත්තේම නෙළා තිබෙනවා. කුරුසයක් මත අඹා තිබෙන යේසුස් ක්‍රිස්තුස්ගේ ප්‍රතිමාවක් වටේට ටෙට්රාගැමටනය ඇතුළු දිලිසෙන රන්වලින් ලියැවුණු හෙබ්‍රෙව් අක්ෂර තිබෙනවා; “සේනාවල යෙහෝවා ශුද්ධය, ශුද්ධය, ශුද්ධය” කියා එහි කියවීමට තිබෙනවා.
බයිබලයෙහි යෙසායා 6:3හි සොයාගත හැකි එම ප්‍රකාශය මේ ප්‍රතිමාවේ කෙටීම සිදු වුණේ කෙසේද? වර්ෂ 1696 එක් දවසක එය පසු කරගෙන යමින් සිටියදී කුරුසය ගැන අගෞරවනීය ලෙස කතා කළායයි විශ්වාස කරනු ලබන යුදෙව්වෙක් ගැන එහි මුල කොටා ඇති අකුරුවලින් කියවෙනවා. මේ නිසා, ඔහුව රාජකීය අභියාචනාධිකරණය ඉදිරියට ගෙනැවිත් දඬුවමකට යටත් කළා. දඬුවම වෙනුවෙන් ඔහු ඉහත සඳහන් උපුටා දැක්වීම ඇතුළත් කර, කුරුසයට රන් ආලේපිත රැස්වළල්ලක් සාදා දුන්නා.
ඒ අසල තිබෙන්නේ පැරණි-නව සිනගෝගය සහ යුරෝපයේ තිබෙන පැරණිතම සුසාන භූමියයි. මේ සිනගෝගයෙහි ගීතිකා කණ්ඩායමේ ප්‍රධානියා සිටින කුඩා වේදිකාවේ රිදී රූපයක ටෙට්රාගැමටනය සඳහන් වෙනවා. නමුත් ටෙට්රාගැමටනය සොයාගැනීමට තිබෙන්නේ යුදෙව් ගොඩනැඟිලිවල විතරක් නොවෙයි. මධ්‍යතන යුගයට අයත් චෙස්කි ස්ට’න්බේක් ආරක්ෂිත මාළිගාව, ප්‍රාග්හි ගිනිකොන දෙසින් සාසව ගඟට මුහුණලා පිහිටි ඉදිරියට නෙරා ඇති පර්වතයක පිහිටා තිබෙනවා. ආරක්ෂිත මාළිගාවේ තිබෙන කුඩා දෙව්මැදුරේ අල්තාරය මත රන් අකුරු සතරක්, එනම් ටෙට්රාගැමටනය ලියා තිබෙනවා. ඒ අකුරු කම්බි මත එල්ලෙන නිසා ඒවා සුළඟෙහි පාවෙන්නාක් මෙන් පෙනෙනවා. ඒවායේ පිටුපසින් ආලෝකයක් දිස් වෙනවා—නමුත් එය ලාම්පුවකින් නිකුත් වන ආලෝකයක් නෙවෙයි! ඇතුළතට නොපෙනෙන හිරු ආලෝක කිරණයක් මගින් එල්ලෙන ටෙට්රාගැමටනයට පහළින් තිබෙන සුදු පාටින් යුත් අල්තාරය මත රෝස පැහැති දීප්තියක් පතිත වීමට සලස්වනවා.
චෙක්හි පිහිටි තවත් ගොඩනැඟිලිවලද ටෙට්රාගැමටනය දක්නට තිබෙනවා. අතීතයේ මෙහි විසූ බොහෝදෙනෙක් දෙවිගේ නාමය දැනහඳුනාගෙන සිටි බවට ඒවා තවදුරටත් සාක්ෂි සපයනවා. අදදින, චෙක් ජනරජයේ සහ තවත් රටවල් 200කට වැඩි සංඛ්‍යාවක සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් දිව්‍ය නාමය දැනගෙන සිටීම ගැනත් එය අනිත් අයට උගන්වන්න ලැබීම ගැනත් සතුටු වෙනවා. (යෙසායා 43:10-12) තවදුරටත්, දෙවිගේ නාමය මෙන්ම ඔහුගේ ගුණාංග, අරමුණ හා ක්‍රියාකාරකම් “මුළු පොළොවෙහි දන්වනු” ලබන කාලය ගැන බයිබලයේ යෙසායා පොත පවසනවා.—යෙසායා 12:4, 5.