තරු දැකගැනීමට නොහැකි හේතු
රාත්‍රි අහස දෙස නෙත් හෙළා අභ්‍යවකාශයේ දස දෙස පැතිරුණු අසංඛ්‍යාත තරුවලින් නික්මෙන දිදුලන කාන්තියෙන් විස්මිත නොවී සිටින්නේ කවුද? කෙසේවෙතත්, මෙම ගරුබිය දනවන දසුන කෙමින් කෙමින් අපේ දෘෂ්ටියෙන් ඈත් වෙමින් පවතිනවා. ඒ ඇයි? එයට හේතුව ආලෝක දූෂණයයි.
ආලෝක දූෂණය කියන්නේ වීදි, නිවාස, ව්‍යාපාරික ස්ථාන, පොදු ගොඩනැඟිලි හා ක්‍රීඩා පිටි යනාදියෙන් අතිප්රබල, දර්ශන අඳුරු කරන ආලෝක ධාරාවන් නිකුත් වීමටයි. බොහෝ තරු දෙසට යොමු කරවන අපේ දෘෂ්ටිය අඳුරු කරවමින් ඒවායින් නික්මෙන ආලෝකයෙන් අඩක් අහස දෙසට විහිදෙනවා. මෙය මොනතරම් බරපතළ ගැටලුවක්ද? උදාහරණයක් හැටියට, උතුරු යුරෝපයේ පැහැදිලි අඳුරු රාත්‍රියකදී පියවි ඇසකින් තරු 2,000ක් පමණ දැකගත හැකියි. නමුත් නගරාසන්න ප්‍රදේශවල ජීවත් වන අය සඳහා මේ සංඛ්‍යාව 200 දක්වා අඩු වන අතර, දීප්තිමත් ආලෝකයක් නිකුත් වන නගරයක මැද සිටින යමෙකුට ඇතැම්විට දැකගත හැක්කේ තරු 20ක් පමණක් විය හැකියි. ආරක්ෂක පියවර නොගතහොත්, තව අවුරුදු 25කින් උතුරු යුරෝපයේ සිට කිසිම තරුවක් දැකබලාගත නොහැකි වෙයි කියා ඇතැම් තාරකා විද්‍යාඥයන් බිය වෙනවා.
යම් ප්‍රමාණයකට ආලෝකය අත්‍යවශ්‍ය දෙයක් වන බව අමුතුවෙන් කිව යුතු නැහැ. එය අපරාධ වළක්වන අතර, පහසුවෙන් අනතුරකට ලක් විය හැකි ගෙවැසියන්ට වැඩි ආරක්ෂාකාරිබවක් හැඟීමට සලස්වනවා. කෙසේවෙතත්, අධික සැර ආලෝකය මනසට පීඩනයක් ඇති කිරීමට දායක වන අතර, නිදාගැනීමේ පුරුදුවලට බාධා පමුණුවනවා. එය බලපාන්නේ මිනිසුන්ට පමණක් නොවෙයි. සංක්‍රමණික පක්ෂීන් හා කෘමීන් ගමන් කරන දිශාව ආලෝකය නිසා වෙනස් විය හැකි අතර, ශාකවල දිනපතා සිදු වන ක්‍රියාකාරිත්වයට අහිතකර ලෙස බලපෑ හැකියි.
නමුත් මේ ගැටලුව අවම කිරීම සඳහා කුමක් කළ හැකිද? එක් උපකාරවත් ක්‍රියාමාර්ගයක් නම් පිටත ආලෝකය හොඳින් ආවරණය කර පහළට යොමු කිරීමයි. ආරක්ෂාව සඳහා උපයෝගි කරගන්නා ආලෝකය සැමවිටම දල්වා තිබෙනවා වෙනුවට, සංවේදී ලෙස ක්‍රියාත්මක වීමට සැලැස්විය හැකියි. වඩාත් නිවැරදිව යොමු කරන ලද ආලෝකයක් සපයන එළිමහන් අධි-පීඩන සෝඩියම් ලාම්පු හඳුන්වා දීමෙන් හා ආලෝකය පහළට දිශාගත කරමින් දැන් පවතින අව-පීඩන වීදි ලාම්පුවල උඩ වැස්ම ස්ථානගත කිරීමෙන් ප්‍රංශයේ නගරාසන්න ප්‍රදේශයක් මේ ගැටලුවට පිළියම් සොයාගත්තා. ආලෝකය උරාගන්නාවූ කළු තාර මහා මාර්ගවලට දැමූ අතර, ප.ව. 11:00න් පසු පොදු ගොඩනැඟිලිවල පහන් නිවා දැමුවා. එමගින් සිරස් ආලෝක දූෂණය සම්පූර්ණයෙන්ම වගේ ඉවත් කිරීම හා පරාවර්තිත ආලෝකයෙන් තුනෙන් දෙකක් අඩු කිරීම සිදු කළා පමණක් නොව, නමුත් ආලෝකයේ කාර්යක්ෂමතාව සියයට 30කින් වැඩි වුණා.
ඇත්තෙන්ම එවැනි විසඳුම් සියල්ලටම මේ කාලයේ දුලබ දේවල් වන වේලාව හා මුදල් වැය වෙනවා. දෙවිගේ පුත්‍රයා වන ක්‍රිස්තුස් යේසුස් ඉක්මනින්ම දෙවිගේ රාජ්‍ය පාලනය මගින් දූෂණයේ සියලුම අංග ඉවත් කර දමන්න යන බව දැනගන්න ලැබීම මොනතරම් යහපත් දෙයක්ද! අපේ මැවුම්කරුගේ හස්ත කර්මාන්ත වන දිදුලන තරුවලින් ගහන වූ අහසේ අලංකාරය නැවත වරක් ඒ කාලයේදී එහි යටත්වැසියන්ට පැහැදිලිව දැකබලාගන්න හැකි වේවි.—ගීතාවලිය 19:1, 2; එළිදරව් 11:18.