‘මරණ සෙවණේ මිටියාවතේ’ සිට සැනසිල්ල සෙවීම
බාබරා ශ්විට්ස’ පැවසූ පරිදි
දේවල් හොඳින් සිදු වෙමින් තිබෙන ඇතැම් අවස්ථාවලදී මගේ ජීවිතය හරියට ප්‍රියකරු ‘නිල් ගොදුරු බිමක්’ වගෙයි. ඒත් ‘මරණ සෙවණේ මිටියාවතක්’ හරහා ගමන් කරන එක මොන වගේ දෙයක්ද කියලත් මම දැනගෙන තියෙනවා. ඒ කොහොම වුණත්, යෙහෝවා අපේ එඬේරා වන නිසා, පැනනඟින්න පුළුවන් තත්වයන් මොනව වුණත් අපිට ඒවා එක්ක සාර්ථකව කටයුතු කරන්න පුළුවන් කියා මම ඒත්තුගෙන තියෙනවා.—ගීතාවලිය 23:1-4.
මගේ ස්වාමිපුරුෂයාත් මමත් වයස අවුරුදු 70කට ආසන්නව සිටි කාලයේදී, ඒ කියන්නේ 1993දී අපි තීරණය කළා අලුත් නිර්භීත ගමනක යෙදෙන්න; ඒ තමයි ඉක්වදෝරයේ, බයිබල් ගුරුවරුන් සඳහා වැඩි අවශ්‍යතාවක් තිබූ ප්‍රදේශයක සේවය කරන්න යෑම. උපතින් අමෙරිකානු ජාතිකයෝ වුණත්, අපි ස්පාඤ්ඤ භාෂාව කතා කළා; ඒ වගේම අපිට මූල්‍යමය අතින් වගකීම් කිසිවක් තිබුණේ නැහැ. ඉක්වදෝරයේ ‘මනුෂ්‍යයන් ඇල්ලීම’ හොඳින් කෙරෙන බව අපි දැනගෙන සිටි නිසා, ඒ ඵලදායී ජලාශයේ අපේ දැල් හෙළන්න අපි සැලසුම් කළා.—මතෙව් 4:19.
ඉක්වදෝරයේ පිහිටි වොච් ටවර් සමිතියේ ශාඛා කාර්යාලයේ ප්‍රීතිමත් දවස් කිහිපයක් ගත කිරීමෙන් පසු, අපි විශේෂ අවශ්‍යතාවක් තිබූ නගරවලින් එකක් වන මාචාලාවලට යන්න මහත් ආශාවකින් ග්වෙකිල්හි පිහිටි බස් නැවතුම්පොළකට ගියා. ඒ වුණත්, බස් එකක් එන තෙක් බලාගෙන ඉන්න අතරතුරේදී මගේ ස්වාමිපුරුෂයා වන ෆ්‍රෙඩ්ට හදිසියෙන්ම අසනීප වුණ හින්දා අපේ ගමන ප්‍රමාද කරන්න අපි තීරණය කළා. ෆ්‍රෙඩ් අපේ ගමන් මලු ළඟ වාඩි වී සිටින අතරේදී මම ආපසු ශාඛා කාර්යාලයට යෑමට කටයුතු පිළියෙළ කරගන්න දූරකථන කුටියකට ගියා. මිනිත්තු කිහිපයකට පස්සේ මම ආපසු ඇවිත් බලන කොට මගේ ස්වාමිපුරුෂයා අතුරුදහන් වෙලා හිටියා!
මට ආයේ කවදාවත් ෆ්‍රෙඩ් ජීවතුන් අතර ඉන්නවා දකින්න ලැබුණේ නැහැ. මම නැති ටික වේලාව අතරේ බස් නැවතුම්පොළේදී එයාට දරුණු හෘදයාබාධයක් හැදිලා තිබුණා. මම පිස්සුවෙන් වගේ එයාව එහෙ මෙහෙ හොයමින් ඉන්න කොට බස්නැවතුම්පොළේ නිලධාරියෙක් මට කිව්වා එයාව රෝහලට අරන් ගියා කියල. මම රෝහලට ගියාම දැනගන්න ලැබුණා එයා මියගියා කියලා.
ගෙයක් දොරක් හා රඳා සිටින්න ස්වාමිපුරුෂයෙක් නැතුව මම නුහුරු නුපුරුදු රටක තනි වෙලා කියල මට දැනෙන්න වැඩි වේලාවක් ගියේ නැහැ. “රඳා සිටින්න” කියල මම කියන්නේ ෆ්‍රෙඩ් හැම තිස්සේම මූලිකත්වය ගෙන අපි දෙන්නා වෙනුවෙන්ම දේවල් සැලසුම් කළ නිසයි. අධිෂ්ඨාන ශක්තියකින් යුත් පෞද්ගලිකත්වයක් මට තිබුණේ නැහැ; ඒ නිසා එයා ඒ දේවල් කරනවාට මම සතුටු වුණා. ඒත් ඒ අවස්ථාවේදී මට තීරණයක් ගන්න සිදු වුණා; මගේ ජීවිතයේ කටයුතු සැලසුම් කරගන්න අතරම මගේ වියෝ දුකෙන් මිදීම සඳහා කටයුතු කරන්නත් සිදු වුණා. එය යටපත් කර දැමීමේ හැඟීමක්—හරියට මාව ‘මරණ සෙවණේ මිටියාවතක’ අතහැර දමා තිබුණා වගෙයි දැනුණේ. මගේම ශක්තියෙන් තනියම දේවල්වලට මුහුණ දෙන්න මට කවදා හරි පුළුවන් වෙයිද?
සත්‍යය ඉගෙනගැනීම හා අපේ ජීවිත සරල කරගැනීම
අපි දෙන්නා එකිනෙකාව හමු වුණු මුල්ම අවස්ථාව වන විටත් ෆ්‍රෙඩ් හා මම විවාහ වී දික්කසාද වෙලයි හිටියේ. හොඳ මිත්‍රත්වයක් කිට්ටු සබඳතාවක් බවට වර්ධනය වුණා; අපි තීරණය කළා විවාහ වෙන්න. අපි අ.එ.ජ. වොෂිංටන්හි සියැටල් නම් ප්‍රදේශයේ, නමට පල්ලි යන අය හැටියට ජීවත් වුණා. ඒත්, ප්‍රීතිමත් පෙනුමක් තිබූ ජෙමි නම් තරුණ පුරෝගාමියක් (පූර්ණ-කාලීන එවැන්ජලිස්තවරියක්) අපේ ගෙදරට ඇවිත් අපිත් එක්ක කතා කරන තෙක් ආගමට අපේ ජීවිතවල ප්‍රධාන තැනක් ලැබී තිබුණේ නැහැ. ඈ මොනතරම් ප්‍රියමනාප තත්වයක සිටියාද කියනවා නම් මාත් එක්ක බයිබලය පාඩම් කරන්න ඈ කළ ඉදිරිපත් කිරීම මම පිළිගත්තා.
ෆ්රෙඩ්ද උනන්දුවක් දැක්වූ නිසා ජෙමිගේ දෙමාපියන් පාඩම බාරගත්තා; අවුරුද්දකට පස්සේ, ඒ කියන්නේ 1968දී අපි දෙන්නම බව්තීස්ම වුණා. දේවරාජ්‍යය හා සම්බන්ධ කාරණාවලට අපේ ජීවිතවල මුල්තැන දෙන්න අපි මුල ඉඳන්ම දැඩි උනන්දුවක් දැක්වුවා. (මතෙව් 6:33) අපිත් එක්ක පාඩම් කළ ලෝන් හා රූඩි නූස්ට් යුවළ මෙහිදී හොඳ ආදර්ශයක් තැබුවා. අපි බව්තීස්ම වෙලා වැඩි කාලයක් යන්න කලින්, ඔවුන් අවශ්‍යතාව වැඩියෙන් තිබූ ප්‍රදේශයක සේවය කරන්න එක්සත් ජනපදයේ නැඟෙනහිර වෙරළබඩ තීරයේ පිහිටි නගරයක පදිංචියට ගියා. එය අපේ හදවත්වල බීජයක් පැළ කළා.
වෙනත් තැනක පදිංචියට යෑම ගැන කල්පනා කර බලන්න අපිට තවත් හේතුවක් තිබුණා. ෆ්‍රෙඩ් විශාල වෙළඳසැලක කළමනාකරුව සිටියා. ඔහුගේ රැකියාවට වැඩි අවධානයක් යොමු කරන්න අවශ්‍ය වුණා, වෙනත් තැනක පදිංචියට යෑම මගින් තමාගේ ජීවිතය සරල කරගන්නත් සත්‍යයට මෙන්ම අපේ දරුවන් දෙන්නා කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නත් පුළුවන් බව ඔහු තේරුම්ගත්තා. මගේ කලින් විවාහයෙන් ලැබුණු දුවෙක් මට සිටියා; මේ වෙන කොට ඈ විවාහ වෙලයි හිටියේ; ඇයත් ඇගේ ස්වාමිපුරුෂයාත් සත්‍යය පිළිගත් නිසා සියැටල්වලට යෑමට අප ගත් තීරණය අසීරු එකක් වුණා. ඒත්, ඔවුන් අපේ චේතනා තේරුම්ගෙන අපේ තීරණයට සහයෝගය දුන්නා.
එහි ප්‍රතිඵලයක් හැටියට අපි 1973දී ස්පාඤ්ඤයට ගියා. ඒ කාලයේදී මේ රටේ ශුභාරංචිය දේශනාකරන්නන් හා පෙරමුණ ගෙන කටයුතු කරන සහෝදරයන් සඳහා දැඩි අවශ්‍යතාවක් තිබුණා. අරපරිස්සමෙන් ජීවත් වෙනවා නම් අපි ඉතිරි කරගත් දේවල් ස්පාඤ්ඤයේ ජීවත් වෙද්දී දැරීමට සිදු වන වියදම් පියවාගන්න ප්‍රමාණවත් බවත් දේවසේවයට අපේ කාලයෙන් වැඩි ප්‍රමාණයක් යොදවන්න පුළුවන් බවත් ෆ්‍රෙඩ් ගණන් බලා තිබුණා. ඉතින් එයයි අපි කළේ. වැඩිකලක් යන්න කලින්, ෆ්‍රෙඩ් වැඩිමහල්ලෙක් හැටියට සේවය කරමින් සිටියා; ඒ වගේම 1983 වන විට අපි දෙන්නාම පුරෝගාමීන් හැටියට සේවය කළා.
භාෂාව කතා කරන්න ඉගෙනගනිමින් හා කදිම අද්දැකීම් බොහොමයකින් ප්‍රීතියක් ලබමින් අපි ස්පාඤ්ඤයේ අවුරුදු 20ක් සේවය කළා. හුඟාක් වේලාවට ෆ්‍රෙඩ් හා මම එකට දේශනා සේවයේ හවුල් වෙමින් විවාහක යුවළයන් එක්ක පාඩම් කළා; ඒ අයගෙන් කිහිපදෙනෙක් දැන් බව්තීස්ම ලත් සාක්ෂිකරුවන්. ස්පාඤ්ඤයේ ජීවත් වෙලා අවුරුදු කිහිපයක් ගියාට පස්සේ අපේ බාල දරුවන් දෙන්නා වන හයිඩ් හා මයික් පුරෝගාමී සේවය කරන්න පටන්ගත්තා. අපිට ද්‍රව්‍යමය අතින් ඒ තරම් දේවල් නොතිබුණත් මගේ ජීවිතයේ ප්‍රීතිමත්ම කාලය එයයි. අපේ ජීවිත සරල ඒවා වුණා. පවුලක් හැටියට අපිට වැඩි කාලයක් එකට ගත කරන්න හැකි වුණා; ඒ වගේම බයිබල් වාර්තාවේ සඳහන් වැන්දඹුවගේ තෙල් කුළාව වගේ අපි පරෙස්සමින් ඉතිරි කරගත් දේවල් කවදාවත් අවසන් වුණේ නැහැ.—1 රාජාවලිය 17:14-16.
නැවතත් රටවල් මාරු කිරීම
වර්ෂ 1992 වන විට පදිංචිය වෙනස් කිරීම ගැන අපි නැවතත් කල්පනා කරන්න පටන්ගත්තා. අපේ දරුවන් වැඩී තිබුණා; ඒ වගේම ස්පාඤ්ඤයේ කලින් තිබුණු තරම් අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ඉක්වදෝරයේ සේවය කර තිබූ මිෂනාරිවරයෙක්ව අපි දැන සිටියා; පුරෝගාමීන් හා වැඩිමහල්ලන් සඳහා ඒ රටේ තිබූ දැඩි අවශ්‍යතාව ගැන ඔහු අපිට කිව්වා. අලුත් රටක නැවත අලුතින් පටන්ගැනීම ගැන කල්පනා කරන්න තරම් අපි මහලු වැඩිද? අපි දෙන්නාටම හොඳ සෞඛ්‍ය තත්වයක් තිබුණු නිසාත් දේශනා කිරීමේ වැඩයට දැඩි ආශාවක් දැක්වූ නිසාත් අපි එහෙම හිතුවේ නැහැ. එනිසා අපි ඉක්වදෝරයේ ශාඛාව සමඟ කතා කර අපේ සැලසුම් සකස් කරන්න පටන්ගත්තා. ඇත්තෙන්ම, ස්පාඤ්ඤයේ උතුරු ප්‍රදේශයේ සේවය කරමින් සිටි අපේ දුව හයිඩ් හා ඇගේ ස්වාමිපුරුෂයා වන ක්වාන් මාන්වෙල්ද අපිත් එක්ක හවුල් වෙන්න දැඩි ආශාවක් දැක්වුවා.
අන්තිමේදී, 1993 පෙබරවාරි වෙන කොට අපේ කටයුතු හැම දෙයක්ම පිළියෙළ කරගෙන අපි අලුත් රටකට පැමිණියා. බයිබලය පාඩම් කරන්න දැඩි උනන්දුවක් දැක්වූ විශාල පිරිසක් සිටි ඉක්වදෝරයේ පුරෝගාමී සේවය කිරීමේ අපේක්ෂාව මගින් අපි දෙදෙනා තුළ ඉමහත් ප්‍රීතියක් ඇති වුණා. ශාඛා කාර්යාලයේදී අපව උණුසුම් ලෙස පිළිගැනීමෙන් පසුව, විශේෂ අවශ්‍යතාවක් තිබූ ප්‍රදේශ හැටියට නිර්දේශ කර තිබූ නගර කිහිපයක් බලන්න යන්න අපි සැලසුම් කළා. ඒත් ඒ කාලයේදී තමයි මගේ ස්වාමිපුරුෂයා මියගියේ.
‘මරණ සෙවණේ මිටියාවතේ’
මුලින්ම මට මානසික කම්පනයකුත් පසුව කොහොමටවත් විශ්වාස කරන්න බැරි ආකාරයේ හැඟීමකුත් දැනුණා. මීට කලින් ෆ්‍රෙඩ්ට ලෙඩක් හැදිලා තිබුණේ නැති තරම්. මම මොනවද කරන්නේ? මම කොහෙද යන්නේ කියල මට හිතාගන්නවත් බැරි වුණා.
මගේ ජීවිතයේ ඉතාමත් වේදනාකාරි ඒ කාලවලදී, දයානුකම්පිත ආත්මික සහෝදර සහෝදරියන් සැපයූ සහයෝගය මට ආශීර්වාදයක් වුණා. ඔවුන්ගෙන් බොහෝදෙනෙක් මාව කවදාවත් දැනගෙන හිටියේ නැහැ. ශාඛා කාර්යාලයේ සිටි සහෝදරයන් හරිම කරුණාවන්ත වුණා; ඒ අය අවමංගල්‍ය කටයුතු ඇතුළු හැම දෙයක්ම බලාගත්තා. විශේෂයෙන්ම සහෝදර සහ සහෝදරි බෝනෝ මට දැක්වූ ප්‍රේමය මට මතකයි. මම කවදාවත් තනි වෙලා නැහැ කියා දැනීමට ඔවුන් සහතික වුණා; මට තනිකමක් නොදැනීම සඳහා ඉඩ’ත් බෝනෝ මාත් එක්ක කාමරේ රාත්‍රීන් කිහිපයක් නිදාගත්තා. ඇත්තෙන්ම, මුළු බෙතෙල් පවුලම ඒ වගේ ප්‍රේමයක් හා සැලකිල්ලක් මට දැක්වුවා; ඒක හරියට ඔවුන් මාව ප්‍රේමය නමැති ආරක්ෂිත බ්ලැන්කේට්ටුවකින් පොරවා තිබුණා හා සමානයි.
දවස් කිහිපයක් ඇතුළත මගේ දරුවන් තුන්දෙනාත් ඇවිත් මාත් එක්ක හිටියා; ඔවුන්ගෙන් ලැබුණු සහයෝගයත් කියා නිම කරන්න බැහැ. ඒත්, දහවල් කාලයේදී ප්‍රේමනීය අය මා අවට සිටියත් දිගු රාත්‍රි කාලවල් ගත කිරීම හුඟාක් අමාරු වුණා. ඒ වේලාවේ තමයි යෙහෝවා මාව ඉසුලුවේ. දරාගන්න බැරි විදිහට තනිකම අද්දකින විට මම යාච්ඤාවෙන් ඔහු වෙතට හැරුණා; ඔහු මාව සැනසුවා.
මම මොනවද කරන්නේ කියන ප්රශ්නය අවමංගල්‍ය කටයුතුවලට පස්සේ පැනනැඟුණා. මට ඕන වුණා ඉක්වදෝරයේම නතර වෙන්න; මොකද ඒක අපි දෙන්නම ගත්ත තීරණයක්. ඒත් මට තනියම ඉන්න පුළුවන් කියල මට හැඟුණේ නැහැ. එනිසා පසු කලක ඉක්වදෝරයේ පදිංචියට ඒමට සැලසුම් කරමින් සිටි හයිඩ් හා ක්වාන් මාන්වෙල්, ඉක්මනින් ඇවිත් අපිට එකට එකතු වෙලා සේවය කරන්න පුළුවන් වෙන විදිහට සැලසුම් සකස් කරගත්තා.
මාසයක් ඇතුළත අපි ශාඛාව මගින් නිර්දේශ කර තිබූ නගරවලින් එකක් වූ ලොහාවලින් ගෙයක් සොයාගත්තා. අලුත් නිවසකට පදිංචියට යෑම හා අලුත් රටක දේශනා කිරීම ආරම්භ කිරීම නිසා වැඩි කලක් යන්න කලින් මම කාර්යබහුලව සිටියා. ඒ හැම දෙයකින්ම යම් ප්‍රමාණයකට මගේ වියෝ දුක තුනී වුණා. ඒ විතරක් නෙවෙයි මට පුළුවන් වුණා ෆ්‍රෙඩ්ට හුඟාක් කිට්ටුවෙන් හිටිය මගේ දුවත් එක්ක අඬන්න; මගේ හැඟීම් පිට කරගන්න ඒක මට උපකාරවත් වුණා.
කොහොම වුණත් මාස කිහිපයකට පස්සේ, මගේ අලුත් ජීවන රටාවට හැඩගැසුණු විට මට තදින්ම බලපෑ අහිමි වීමේ හැඟීම වැඩි වුණා. ෆ්‍රෙඩ් එක්ක මම ගත කරපු ඒ ප්‍රීතිමත් කාලවල් මාව කැලඹීමකට පත් කළ නිසා මට ඒවා සිහියට නඟන්න බැරි වුණා. මම අතීතය අමතක කර දමා, අනාගතය ගැන වැඩි දෙයක් හිතන්න බැරි තත්වයක පසු වෙමින් එක දවසක් පසු කරමින් තවත් දවසක් සඳහා ජීවත් වුණා. ඒත් සෑම දවසකම අර්ථවත් දෙයක් කරන්න, විශේෂයෙන්ම මගේ දේශනා සේවයේ කටයුතු කරන්න මම උත්සාහ කළා. මාව ජීවත් කෙරෙව්වේ එයයි.
මම නිතරම දේශනා කරන්න හා බයිබලය උගන්වන්න හුඟාක් ආශා කළා; ඒ වගේම ඉක්වදෝරයේ සිටිය මිනිස්සු මොනතරම් ප්‍රතිචාරය දක්වනසුලුද කිව්වොත් මේ වැඩය ප්‍රීතිමත් එකක් වුණා. මම එහෙ මුල්වතාවට ගෙයින් ගෙට ගිය එක් අවස්ථාවකදී මට තරුණ විවාහක කාන්තාවක් හමු වුණා; “ඔව්, මම කැමතියි බයිබලය ගැන ඉගෙනගන්න!” කියල ඈ කිව්වා. ඉක්වදෝරයේ මම ආරම්භ කළ මුල්ම බයිබල් පාඩම ඇයයි. එවැනි අද්දැකීම් මගින් මාගේ අවධානය ඇදගත් අතර, මගේ ශෝකය ගැන වැඩි වැඩියෙන් සිතීමෙන් මාව වළකනු ලැබුවා. යෙහෝවා මගේ ක්ෂේත්‍ර සේවයට මහඟු ලෙස ආශීර්වාද කළා. මම ශුභාරංචිය දේශනා කරන්න ගිය හැම අවස්ථාවකදීම මට කදිම අද්දැකීමක් ලැබුණු බව පෙනී ගියා.
පුරෝගාමියක් හැටියට දිගටම සේවය කරගෙන යෑම ආශීර්වාදයක් වුණු බවට කිසිම සැකයක් නැහැ. එයට සරිලන විදිහට ජීවත් වීමේ වගකීම එය මා ඉදිරියෙහි තැබුවා; ඒ වගේම හැම දවසකම කරන්න යම් ඒකාන්ත දෙයක් ඒ මගින් සපයා දුන්නා. කෙටි කාලයක් ඇතුළත මම බයිබල් පාඩම් හයක් කළා.
දේවසේවයෙන් මා ලබන තෘප්තිය පැහැදිලි කිරීම සඳහා ළඟදී බයිබල් ඉගැන්වීම්වලට සැබෑ අගය කිරීමක් පෙන්වූ මැදි වයසේ කාන්තාවක් ගැන සඳහන් කරන්න මට ඉඩ දෙන්න. මම ඈට ශුද්ධ ලියවිලි පාඨයක් පෙන්වූ අවස්ථාවේදී මුලින්ම ඈට ඕන වෙනවා එය හොඳින් තේරුම්ගන්න; ඊට පස්සේ ඈ ඒ උපදේශය ක්‍රියාවට නඟන්න කැමැත්තෙන් සිටිනවා. ඈ අතීතයේදී දුරාචාර ජීවිතයක් ගත කළත්, ළඟදී මිනිසෙක් ඇයත් එක්ක එකට ජීවත් වෙන්න යෝජනාවක් කළ අවස්ථාවේදී ඈ එකහෙළාම ඔහුගේ යෝජනාව ප්‍රතික්ෂේප කළා. ඈ කලින් දැනගෙන සිටියේ නැති මානසික සාමයක් දැන් භුක්ති විඳින නිසා, ශුද්ධ ලියවිලිමය ප්‍රතිපත්තිවලට ස්ථිරව ඇලී සිටීම මොනතරම් ප්‍රීතියක්ද කියල ඈ මට කිව්වා. ඒ වගේ පාඩම් මගින් මගේ හදවතට උණුසුම් හැඟීම් ගෙන දෙනවා; ඒ වගේම මා ප්‍රයෝජනවත් කෙනෙක් බවට හැඟීමක් එයින් ඇති කරනවා.
මගේ ප්‍රීතිය දිගටම තබාගැනීම
ගෝලයන් සෑදීමේ වැඩයෙන් මම බොහෝ ප්‍රීතියක් ලැබුවත් මගේ වියෝ දුක විගස පහ වෙලා ගියේ නැහැ. මා සම්බන්ධයෙන් ගත් විට, ශෝකය කියන්නේ කලින් කලට ඇති වන දෙයක්. මගේ දුව හා බෑනා මට හුඟාක් උදව් කරනවා; ඒ වුණත් සමහර අවස්ථාවලදී ඔවුන් එක්ව විශේෂ අවස්ථා එකට භුක්ති විඳින කොට මගේ අහිමි වීමේ හැඟීම මට තදින්ම දැනෙනවා. මගේ ස්වාමිපුරුෂයා නැති පාළුව මට හුඟාක්ම දැනුණේ අපි ඉතාම කිට්ටුවෙන් සිටි නිසා විතරක්ම නෙවෙයි, මම හුඟාක් දේවල් සඳහා ඔහු මත රඳා සිටි නිසයි. ඔහුට කතා කරන්න, ඔහුගෙන් උපදෙස් ලබාගන්න, ක්ෂේත්‍ර සේවයේ අද්දැකීමක් ඔහු සමඟ බෙදාගන්න නොහැකි වන අවස්ථාවලදී කිසිම විදිහකින් දරාගන්න බැරි ශෝකයක් හා පාළුවක් දැනෙනවා.
ඒ වගේ අවස්ථාවලදී මට උපකාරවත් වුණේ මොනවාද? මම මහත් ඕනෑකමින් යෙහෝවාට යාච්ඤා කර වෙනත් දෙයක් ගැන, ඒකාන්ත දෙයක් ගැන කල්පනා කරන්න මට උපකාර කරන්න කියල ඔහුගෙන් ඉල්ලනවා. (පිලිප්පි 4:6-8) ඇත්තෙන්ම ඔහු මට උදව් කරනවා. දැන් මට පුළුවන් ෆ්‍රෙඩ් එක්ක මම ගත කළ ප්‍රීතිමත් කාලවල් ගැන කතා කරන්න. සුවවීමේ ක්‍රියාවලිය සෙමින් සෙමින් ඵලදායක වන බව පේනවා. ගීතිකාකාර දාවිත්ට වගේ මටත් හැඟෙනවා මම ‘මරණ සෙවණේ මිටියාවතේ’ ගමන් කරල තියෙනවා කියල. ඒත් මට සැනසිල්ල ගෙන දීමට යෙහෝවා එහි සිටියා; ඒ වගේම විශ්වාසවන්ත සහෝදරයන් කාරුණිකව මාව හරි දිශාවට යොමු කළා.
මම ඉගෙන තියෙන පාඩම්
හැම වේලාවේම ෆ්‍රෙඩ් මූලිකත්වය ගත් නිසා මට තනියම දේවල් කරන්න පුළුවන් වෙයි කියල මම කවදාවත් හිතුවේ නැහැ. ඒත් යෙහෝවාගේ හා මගේ පවුලේ අයගේ මෙන්ම සහෝදරයන්ගේ උපකාරය ඇතුව, මට පුළුවන් තනියම දේවල් කරගන්න. සමහර ආකාරවලින් මම කලින් සිටියාට වඩා ශක්තිමත්. මම කලින් කළාට වඩා වැඩියෙන් යෙහෝවා වෙතට හැරෙනවා; තනියම තීරණ ගන්න මම ඉගෙනගනිමින් සිටිනවා.
ෆ්‍රෙඩ් හා මම ස්පාඤ්ඤයේ අවශ්‍යතාව වැඩි ප්‍රදේශයක අවුරුදු 20ක කාලයක් සේවය කර තිබීම ගැන මම හුඟාක් සතුටු වෙනවා. මේ දේවල පිළිවෙළ තුළ එක දවසක සිට තවත් දවසක් දක්වා මොනව වෙයිද කියල අපි කොහොමටවත් දන්නේ නැහැ; එනිසා අපිට අවස්ථාව තියෙද්දී යෙහෝවාටත් අපේ පවුලේ අයටත් අපිට කරන්න පුළුවන් හොඳම දෙය කරන එක ඉතාමත් වැදගත්. ඒ අවුරුදු අපේ ජීවිතවලට හා අපේ විවාහයට ඉමහත් ප්‍රීතියක් එක් කළා; මගේ අහිමි වීමේ හැඟීම සමඟ සාර්ථකව කටයුතු කරන්න ඒවා මාව සූදානම් කළා කියා මම තේරුම්ගත්තා. ෆ්‍රෙඩ් මිය යන්නත් කලින් පුරෝගාමී සේවය ජීවිත මාර්ගය වෙලා තිබුණු නිසා, ජීවිතයේ අලුත් තත්වයට අනුව හැඩගැසීම සඳහා මම මහත් පොරබැදීමක් කරමින් සිටියදී එය මට අරමුණක් තිබෙන බවට හැඟීමක් ඇති කළා.
ෆ්‍රෙඩ් මියගිය අවස්ථාවේදී, මගේ ජීවිතයත් අවසන් වුණා වගේ මුලින්ම දැනුණා. ඒත් ඇත්තටම ඒක නෙවෙයි සැබෑ තත්වය. යෙහෝවාගේ සේවයේ කරන්න දේවල් මට තිබුණා; ඒ වගේම උපකාර කරන්න මට මිනිසුන් සිටියා. මා අවට සිටින හුඟදෙනෙකුට තවමත් සත්‍යය අවශ්‍යයි යන කාරණය සලකා බලද්දී, මම ඒක නවත්වන්නේ කොහොමද? යේසු කිව්වා වගේම අනිත් අයට උපකාර කිරීමෙන් මට යහපතක් සිදු වුණා. (ක්‍රියා 20:35) ක්ෂේත්‍ර සේවයේදී මම ලැබූ අද්දැකීම් මගින් මට ප්‍රීතියෙන් ඉදිරිය දෙස බලන්න හා සැලසුම් කිරීම සඳහා දේවල් ලැබුණා.
දවස් කිහිපයකට කලින් තනිකමේ සුපුරුදු හැඟීමක් නැවතත් දැනෙන්න පටන්ගත්තා. ඒත්, මම බයිබල් පාඩමක් කරන්න ගෙදරින් පිට වෙලා ගිය විට මගේ ස්වභාවය හොඳ අතට හැරුණු බව මට විගස දැනුණා. පැය දෙකකට පස්සේ මම ගෙදර ආවේ තෘප්තිමත් හා ප්‍රාණවත් හැඟීමක් ඇතුවයි. ගීතිකාකරු කිව්වා වගේ සමහර අවස්ථාවලදී අපි ‘කඳුළු සහිතව වැපුරුවත්’ පසුව යෙහෝවා අපේ උත්සාහයන්ට ආශීර්වාද කරනවා; ඒ වගේම අපි ‘ප්‍රීතියෙන් නෙළාගන්නවා.’—ගීතාවලිය 126:5, 6.
ළඟදී, අධි රුධිර පීඩනය නිසා මගේ කාලසටහන ටිකක් වෙනස් කරගන්න සිදු වුණා; දැන් මම නිතිපතා උපකාරික පුරෝගාමී සේවය කරනවා. මේ දේවල පිළිවෙළ තුළ මම අද්දකින අහිමි වීමේ හැඟීම සම්පූර්ණයෙන්ම අමතක කරල දාන්න මට කවදාහරි හැකි වෙයි කියලා මම හිතන්නේ නැතත් මම තෘප්තිමත් ජීවිතයක් ගත කරනවා. මගේ දරුවන් තුන්දෙනා පූර්ණ-කාලීන සේවයේ නිරත වෙනවා දැකීම මට ප්‍රීතියක්. ඒ සියල්ලටම වඩා, නව පිළිවෙළේදී ආයෙත් ෆ්‍රෙඩ්ව දැකගන්න මම මහත් ආශාවෙන් බලා සිටිනවා. ඉක්වදෝරයේ මට කරන්න පුළුවන් වෙලා තියෙන වැඩය—අපේ සැලසුම් ඵලදරා තිබෙන බව දැනගන්න ලැබීමෙන් ඔහු ප්‍රීතියෙන් පිනායයි කියල මට ස්ථිරයි.
මා සම්බන්ධයෙන් ගීතිකාකරුගේ වදන් දිගටම සැබෑවක් වේවා කියා මම යාච්ඤා කරනවා. “සැබවින් යහපත්කමත් කරුණාවත් මාගේ ජීවිතයේ සියලු දවස්වල මා අනුව එන්නේය. මම සදාකල්ම [යෙහෝවාගේ] ගෘහයෙහි වාසයකරන්නෙමි.”—ගීතාවලිය 23:6.
[23වන පිටුවේ පින්තූරය]
ඉක්වදෝරයේ ලොහාහි පිහිටි සැන් ලූකස්හි දේවසේවයේ හවුල් වෙමින්