ඩොල්ෆිනයා අපේ අත ළඟටම ඇවිත්
ඕස්ට්‍රේලියාවේ පිබිදෙව්! වාර්තාකරුගෙන්
කරදිය හෝ මිරිදිය වුණත්, අඳුරු හෝ පැහැදිලි වුණත්, උණුසුම්, නොගැඹුරු නිවර්තන කලාපීය ජලයට ඌ බොහෝ සෙයින් ඇලුම් කරයි. ඉන්දියාවේ බෙංගාල බොක්කේ සිට මලයාසියානු දූපත් රාශිය හරහා උතුරු ඕස්ට්‍රේලියාව දක්වා උගේ ප්‍රදේශය ආවරණය වෙයි.
එහෙත්, අතලොස්සක්—එනම් විශේෂයෙන්ම ඕස්ට්‍රේලියානුවන්—ඉරවාඩි ඩොල්ෆිනයාව දැක හෝ ඌ ගැන අසා නැහැ. ලෝකයේ මෙම සතාගේ වැඩිම ගහනයක් තිබිය හැකි ඕස්ට්‍රේලියාවේ උතුරු වෙරළ ඔවුන්ට තිබිලත් මෙසේ වී තිබෙනවා. පුදුමයට කාරණයක්? ඔව් එමෙන්ම නැහැ.
දහනවවන සියවසේදී, ජෝන් ඇන්ඩ’සන් නම් සත්ව විද්‍යාඥයා වක්‍රාකාර, හොම්බක් නැති හිසකින් යුත් නිලට හුරු අළු පැහැති මෙම ඩොල්ෆින් සමූහයන්, මියන්මාහි (එවකට බුරුමයේ) ඉරවාඩි නදියේ දැකගත්තා. ඔහු උන්ට ඉරවාඩි ඩොල්ෆිනයා යන නම දුන්නා.
ඇයි අහඹු දසුනක් වන්නේ
උෂ්ණ, ආර්ද්‍රතාවෙන් යුත් වෙරළබඩ, මෝය හා ගංගා ආශ්‍රිත පෙදෙස්වල ඉරවාඩින් වැජඹෙයි. බොහෝවිට මඩ, කඩොලාන, කැලෑ, මදුරු රොතු මෙන්ම සමහරක් ස්ථානවල කිඹුලන්ගෙන්ද වට වූ ස්ථානයකි උන්ගේ නිවහන; මේවා මිනිසුන්ව ආකර්ෂණය කරන වටපිටාවන් නම් නොවෙයි.
මෙම ස්ථානවල ජලය බොහෝවිට දුමාරයකින්ද යුක්ත වන නිසා, ඩොල්ෆිනයෙක් දැකගත හැකි එකම අවස්ථාව වීමට ඉඩ ඇත්තේ හුස්ම ගැනීමට ඌ මද විරාමයකට මතුපිටට පැමිණෙන විටයි. එවිට පවා ඌ තමාව නිරාවරණය කරන්නේ මද වශයෙනි. උගේ පිටුපසින් කුඩා ප්‍රමාණයක් දක්නට ලැබෙන අතර, පිටුපසට පිහිටා ඇති උගේ වරල වෙනත් ඩොල්ෆිනයන් හා සසඳන කල කුඩා ප්‍රමාණයක් ගනී.
නමුත් සමහරක් ස්ථානවල නම් ඉරවාඩි ඩොල්ෆිනයන් අහඹු දසුනක් නෙවෙයි. මෙම සතුන් උඩුගං කොටසේ දඩයමේ යෙදෙමින් ඔච්චං කර කරා, සාදන ලද පොකුණක වතුර මලකින් හෝ නෙළු රූපයකින් වතුර විදින්නාක් මෙන් උන්ගේ කටවල්වලින් වතුර ඉහළට විදිනවා මියන්මාහි ඉරවාඩි නදිය හා ඩොල්ෆිනයාගේ ආසියානු වැයික්කියට අයත් වන වෙනත් ගංගාවල් තරණය කරමින් යන මසුන් අල්ලන්නන් හා ගංගා යාත්‍රා ක්‍රියාකරවන්නන් බොහෝවිට දකිනවා.
ඕස්ට්‍රේලියානු සාගරවල, බටහිර වෙරළ ඔස්සේ, මහද්වීපයේ ඉහළ ප්‍රදේශ වටා හා නැඟෙනහිර වෙරළ දිගේ ඉරවාඩින්ව සොයාගැනීමට පුළුවන්. උන්ව දැකගනු ලබන්නේ සාමාන්‍යයෙන් 6ට අඩු සංඛ්‍යාවලින් වුවත් ඉඳහිට 15 දක්වා ඉහළ යනවා. උන්ගේ ආසියාතික ඥාතීන්ට වෙනස්ව මෙම ඕස්ට්‍රේලියානු කණ්ඩායම වතුර විදිනවා කිසිම දිනෙක අසා නැහැ.
ඌ ඩොල්ෆිනයෙක්ද?
වඩා දඟකාරබවින් යුත් නිල් පැහැති ජලයේ වසන තම ඥාතීන් සමඟ සැසඳූ කල ඉරවාඩින් ගොඩබිමට සමීපව ජීවත් වන අතර මද වේග පිහිනුම්කරුවන් වෙයි. එහෙත්, උන්ව අධ්‍යයනය කිරීමේදී විද්‍යාඥයන් දුෂ්කරතා අද්දැක තිබෙනවා. ඔවුන්ගේ සිත් නොගන්නා වැයික්කිය ප්‍රධාන කරුණක් වනවා. කෙසේ වුවත්, ඉන්දුනීසියාවේ ජකාර්තාහි ඇති ජයියා ආංකෝල් සාගරාගාරයේ ඉරවාඩින්ව අධ්‍යයනය කොට තිබෙනවා.
ඉරවාඩින් ගැන ඇත්තේ මද දැනුමක් නිසා, මෑතක් වන තුරා උන් ඩොල්ෆින් පවුලට අයත් වේද යන්න ජීව විද්‍යාඥයන් ස්ථිරයෙන්ම දැන සිටියේ නැහැ. නමුත් බලාගෙන යන විට, උන් හා ඩොල්ෆිනයන් අතර සමානකම් රැසක් තියෙනවා. එහෙත්, වර්ණයෙන් නොව (උන් සුදුමැලි වර්ණයේ සිට තදවන් නිලට හුරු අළු පැහැති වර්ණය දක්වා විහිදේ) හැඩයෙන් උන් ආක්ටික් බෙලූගා තල්මසා හෝ සුදු තල්මසාද ලෙස හැඳින්වෙන මත්ස්‍යයාගේ හැඩය ගනී. උගේ අසාමාන්‍ය ලෙස නම්‍යසුලු ගෙලද බෙලූගාට මහත් සේ සමාන වෙයි. එසේනම්, උන් මොකුන්ද—බෙලූගාගේ නිවර්තන සමාන්තරයද නැත්නම් සැබෑ ඩොල්ෆිනයෙක්ද?
සොයාගත හැකි එක් ක්‍රමයක් නම් උන්ගේ ශරීර ලක්ෂණ හා ජාන ලක්ෂණ රැසක් තරාදියකට දමා තරාදිය බර වන්නේ කොයි පැත්තටදැයි බැලීමෙනි. අවසානයේදී තරාදියේ ඩොල්ෆින්ගේ පැත්තට සාක්ෂි බර වෙයි.
අප දන්නා අතළොස්ස
උපතේදී, ඉරවාඩි පැටව් දිගින් මීටරයකට ටිකක් අඩු වන අතර, බරින් කි.ග්‍රෑ. 12ක් පමණ වෙනවා. පිරිමි සතුන් දිගින් මීටර් 2.75 දක්වාද ගැහැනු සතුන් ඊට මද වශයෙන් අඩු ප්‍රමාණයක් දක්වාද වැඩෙයි. උන් අවුරුදු 28ක් පමණ ජීවත් වන්න ඉඩ තිබෙනවා.
මළ ඉරවාඩින්ගේ ආමාශයෙන් ගත් සාම්පලවලින් දැල්ලන්, කූනිස්සන් ඉස්සන් හා මාළුන්—විශේෂයෙන්ම ගං හා මුහුදු පතුල්වල ජීවත් වන මාළුන්ගේ ආහාර රටාවක් හෙළි කරනවා. ආසියානු ඩොල්ෆිනයා උගේ කටින් වතුර විදීමේ කුහුල දනවන මෙම පුරුද්ද දුමාරයෙන් වැසී ගිය ජලයේ මසුන් දඩයම් කිරීමට උන්ට උපකාරවත් වන බව සමහරක් විද්‍යාඥයන් උපකල්පනය කරනවා.
වෙනත් ඩොල්ෆිනයන් මෙන් ඉරවාඩින්ද සුවිශේෂී වූ ක්ලික් හඬවල් නිකුත් කරයි. නිවර්තන කලාපීය කුවීන්ස්ලන්තයෙහි කෞතුකාගාරයේ වෛද්‍ය පීට’ ආනල්ඩ් පිබිදෙව්!ට පැවසුවා “ජයියා ආංකෝල් සාගරාගාරයේ පැවැත්වූ ගවේෂණවලට අනුව, ඉරවාඩි ඩොල්ෆිනයන් උන්ගේ අනික් ඩොල්ෆිනයන් කරන්නා සේ තම ගොදුරේ පිහිටීම සොයාගැනීමට ක්ලික් හඬෙහි දෝංකාරය බොහෝදුරට යොදාගැනීමට ඉඩ තිබෙනවා” කියා.
උන්ට අනාගතයක් තිබේද?
ලෝකයේ ඉරවාඩින් කී දෙනෙක් සිටිත්දැයි විද්‍යාඥයන්ට නම් කියන්න බැහැ. එහෙත් උන් තර්ජනය යටතේ ඇති බවට වැඩි වන භීතියක් පවතියි. ගිනිකොන දිග දකුණු ආසියාවේ සමහරක් ප්‍රදේශවල, උන්ගේ ගණන පහත බසිමින් තිබෙන අතර, වෙනත් ප්‍රදේශවල උන්ව කොහෙත්ම සොයාගැනීමට නොහැකියි.
ගංගාවල, දැව ප්‍රවාහණ සේවා මෙන්ම එනයින් ඇති වෙන දූෂණය හා රොන්මඩ එකතු වීම මෙයට බොහෝදුරට හේතු වෙයි. ඕස්ට්‍රේලියාවේ, ඉරවාඩියාගේ ප්‍රදේශයෙන් වැඩි හරියක් ජනාවාසයෙන් තොරව පවතියි. එහෙත් නැඟෙනහිර වෙරළේ වඩාත් සිත් ඇදගන්නාවූ පැතිවල, නාගරීකරණය හා සංචාරක ව්‍යාපාරය හානිකර විපත් ඇති කර හමාරයි. පිහිනන්නන්ව ආරක්ෂා කිරීමේ අටියෙන් වැල්ලට ආසන්නයේ එළා ඇති මෝර දැල්වල මෙන්ම මාළු දැල්වල පටලැවී සමහරක් ඉරවාඩින් ගිලී මැරෙනවා. ඉරවාඩියාගේ ආහාර සැපයුමට අයත් වන මාළුන්ව වැඩියෙන් ඇල්ලීමද උන්ගේ ගණනට බලපෑම් කරනවා.
එසේ වුණත්, වර්ධනය විය හැකි මහත්ම තර්ජනය වීමට ඉඩ ඇත්තේ, වැඩි වන ප්‍රමාණවලින් ගංගාවලට හා මෝය කටවල්වලට ගසාගෙන එන අපද්‍රව්‍යයි. මේවා අතුරින් වඩාත්ම භයානක එක වන්නේ, පොලික්ලෝරීන් බයිෆෙනිල් (PCB) වැනි කෘත්‍රිම කාබනික සංයෝග වන අතර, මේවා පරිසරයේ එයාකාරයෙන්ම පැවතීමට නැඹුරුවාවක් දක්වනවා. විද්‍යුත් උපකරණ, තීන්ත, ඝර්ෂණය අඩු කිරීමට යොදන ආලේපනවල, ලී හා යකඩවලට යොදන ආලේපනවල හා වෙනත් නිෂ්පාදනවල PCB යොදාගෙන තිබෙනවා.
ඒකාන්ත පැත්ත දෙස බැල්මක් හෙළුවොත්, ඕස්ට්‍රේලියානු ස්වභාවධර්ම සංරක්ෂණ ආයතනය දි ඇක්ෂන් ප්ලෑන් ෆො ඕස්ට්‍රේලියන් සිටේෂන්ස් (ඕස්ට්‍රේලියාවේ ජලජ ක්ෂීරපායින් සඳහා යෝජනා ක්‍රමය) නමැති ඔවුන්ගේ වාර්තාවේ මෙසේ පවසයි: “ක්වීන්ස්ලන්තයේ [ඉරවාඩි ඩොල්ෆිනයන්ගේ] ප්‍රදේශයෙන් වැඩි හරියක්, මහා බාධක පර මුහුදු උද්‍යානය යටතේ බලාගැනේ; එහෙයින් කුවීන්ස්ලන්ත සාගරවල ඉරවාඩින්ව බලාගැනීමට හොඳ හැකියාවන් තිබෙනවා.”
හොඳින් බලාගැනීම සම්බන්ධයෙන් තවදුරටත් ඉදිරියට පියමං කිරීමක් හැටියට, මොල්ලි තල්මසා, බැලීන් තල්මසා හා බෝතල් හැඩැති නාසයකින් යුත් ඩොල්ෆිනයා සමඟ ඉරවාඩියාවත් මහජනයාව දැනුවත් කිරීමේ වැඩසටහන්වල වැදගත්කමින් මුල් තැනකට එන සත්ව විශේෂ ලෙසට නම් කරන හැටියට ආයතනය නිර්දේශ කරනවා. එය ඉරවාඩි ඩොල්ෆිනයාගේ මෙන්ම අපේ යහපතටත් ඉවහල් වෙන්න යනවා.
[17වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
පින්තූරු: Dr. Tony Preen අනුග්‍රහයෙනි