බලපෑම් සමඟ සාර්ථකව කටයුතු කිරීම
රෝහලක ගිලන් ඇඳක් මත අංශභාග අත්පා ඇතුව ඉඳිමින් ගිල්බට් වෛද්‍යවරයාගෙන් මෙහෙම ඇසුවා: “මගේ අත්, කකුල් ආයේ කවදා හරි පාවිච්චි කරන්න පුළුවන් වෙයිද?” ගිල්බට්ට ඇසුණා අභියෝගාත්මක ප්‍රතිචාරය: “ඔයා වැඩියෙන් උත්සාහ කරන තරමට ඔයාගේ අත්පා ආයෙත් වැඩ කරන්න පුළුවන් විතරක් නෙවෙයි, ඉක්මනින්ම ඒක කරන්න පුළුවන් වෙනවා.” ඔහු මෙසේ උත්තර දුන්නා: “මම ලෑස්තියි!” වයස අවුරුදු 65දී, ශාරීරික චිකිත්සාව සමඟ ඈඳුණු ඒකාන්ත දෘෂ්ටියක්, රෝද පුටුවේ සිට ඇවිදීමට පාවිච්චි කරන ආධාරකයකටත්, ඉන්පසුව වේවැල් හැරමිටියක සිට වැඩපොළ කරගත හැකි තත්වයකටත් පත් කළා.
මොළයේ එක් කොටසකට හානි වී තිබෙනවා නම්, අනිත් ස්ථානවලට හානි වූ සිවියේ කාර්යය බාරගන්න පුළුවන් යන මතයට, අදදින බොහෝ පෙර-ආඝාත පුනරුත්ථාපන සහය වෙනවා. සහභාගි නොවන මෙම ප්‍රදේශවල හැකියාව එළියට ගැනීමටත්, මොළයට ප්‍රතිසංවිධානය වීමටත්, ඒ ඒ අනුව සකස් වීමටත් උත්තේජනය සැපයීම චිකිත්සාවේ එක් අරමුණකි” යයි වයින’, ලී සහ බෙල් යන පර්යේෂකයන් සඳහන් කරනවා. කෙසේවෙතත්, ආඝාතය ඇති වුණේ මොළයේ කිනම් කොටසේද, එය කොපමණ දරුණු වූවාද, පුද්ගලයාගේ සාමාන්‍ය සෞඛ්‍ය තත්වය, වෛද්‍ය ප්‍රතිකාරයේ තත්වය සහ අන් අයගේ සහයෝගය වැනි සාධක මතත් සුවවීම නිශ්චය වෙනවා.
පවුලේ සහ මිතුරන්ගේ සහයෝගය
එරිකා පුනරුත්ථාපන ව්‍යායාම්වල අවුරුදු තුනක් යෙදුණු අතර, ඇවිදින්න සහ ආබාධිත වම් අත වෙනුවට ඇගේ දකුණු අත පාවිච්චි කරන්න ඉගෙනගත්තා. පොරබදන්න ඇයට උපකාර කළේ කුමක්ද කියා ඇය පවසනවා: “වඩා වැදගත්ම දෙය වුණේ මගේ පුරුෂයාත් මගේ මිතුරනුත් මට පක්ෂපාතව හිටපු එකයි. ඔවුන් මට ආදරෙයි කියල දැනගත්තාම ඒක මට ශක්තියක් ලබා දුන්නා. ඒ වගේම අත්නෑර ඉන්න ඒගොල්ලො මට දිරිගන්වද්දී, ඒක මාව පෙලඹෙව්වා.”
ඔවුන්ගේ ප්‍රේමනීයයන් සුවවීමේ ක්‍රියාවලියේ යෙදෙද්දී, පවුලේ සාමාජිකයන් එහි හවුල්කරුවන් බවට පත් වෙනවා. වෛද්‍ය කාර්යමණ්ඩල පිළිබඳ ප්‍රශ්න අසන්න ඔවුන්ට අවශ්‍ය විය හැකි අතර, දැනටමත් සිදු කර ඇති දියුණුව නැති වී යෑම වළක්වාගැනීම සඳහා නිවසේදී දිගටම කිරීම සඳහා චිකිත්සාවන් නිරීක්ෂණය කරන්න අවශ්‍ය විය හැකියි. පවුලේ සාමාජිකයන් සහ හිතමිතුරන් විසින් පෙන්වනු ලබන ඉවසීම, කරුණාව, තේරුම්ගැනීම මෙන්ම සෙනෙහස, කතා කිරීම, කියවීම සහ අනිකුත් දෛනික කුසලතා යළි ඉගෙනගැනීමෙහිලා සුරක්ෂිත මානසික වාතාවරණයක් සපයනවා.
ප්‍රගතිය කරා යෑම සහ ඕනෑවට වඩා ආදරයෙන් සැලකීම අතර සමබරතාවක් ඇති කරගෙන, ජෝන් ඔහුගේ භාර්යාව වන එලන්ට ව්‍යායාම් සහ චිකිත්සා සඳහා උපකාර කිරීමට වෙහෙස වී වැඩ කළා. ඔහු ඔහුගේ පවුලේ වෑයම් ගැන මෙසේ විස්තර කරනවා: “අපි එලන්ට ආත්මානුකම්පාවේ ගැඹුරට බහින්න ඉඩහැරියේ නැහැ. සමහර අවස්ථාවල අපි තදින් වැඩගන්න ස්වාමිවරුන් වගේ වුණත්, කොයිවෙලේත් එයාගේ සීමාවන් පරීක්ෂා කළා වගේම, සහය ලබා දුන්නා. එයා ගොඩාක් සංවේදී නිසා, මම එයාට දැඩි පීඩනයක් නොදෙන්න උත්සාහ කරනවා.”
කථික චිකිත්සකවරයාගේ උපකාරය ඇතුව එලන් යළිත් කතා කරන ආකාරය ඉගෙනගනිද්දී, ජෝන් ඇයට සහය වුණා. “එකට දේවල් කිරීම දිරිගැන්වීමේ මාධ්‍යයක් වුණා; ඒ නිසා අපි එකිනෙකාට ඇහෙන විදිහට ශබ්ද නඟා බයිබලය කියෙව්වා, ඒක එයාගේ කතාව දියුණු කරගන්න උපකාර වුණා. තවත්, අපි යෙහෝවාගේ සාක්ෂිකාරයන් නිසා හෙමිහිට පටන් අරගෙන, දේවසේවයේ සහභාගි වුණා. මේ විදිහට අනාගතය සඳහා අපිට තියෙන බලාපොරොත්තුව ගැන අනිත් අය එක්ක බෙදාගන්න පුළුවන් වුණා. ඒකම එලන්ට චිකිත්සාවක් වුණා.” අවුරුදු තුන අවසානයේදී, එලන් පෙරට වඩා මහත් දියුණුවක් ලබා තිබුණා.
ආඝාතයෙන් පෙළෙන්නන්ගේ සුවය සඳහා හිතමිතුරන්ට අතිවිශාල බලපෑමක් කළ හැකි නිසා, ඔවුන්ගේ දිරිගැන්වීම සහ ශක්තිය කිසිවිටෙක අවතක්සේරු නොකළ යුතුයි. “සමාජීය වශයෙන් ඉහළ මට්ටමක සහයක් ලද ආඝාතයකින් බේරුණු කෙනෙකුට සුවය ලැබීමේ ශීඝ්‍ර වේගයක් මෙන්ම පූර්ණ ක්‍රියාකාරිත්වයේ වඩා විශාල වර්ධනයකුත් සොයාගැනීමට හැකි වූ අතර, දරුණු ආඝාතයකට මුහුණ දුන් රෝගීන් අතරද එය දක්නට ලැබුණා” කියා වෛද්‍ය සඟරාවක් වූ ස්ට්‍රෝක් වාර්තා කරනවා.
මිතුරන් ඔහුට ලබා දුන් සහයෝගය බර්නි මහත් සේ අගය කරනවා. ඔහු අපට මෙසේ මතක් කරනවා: “සාර්ථක විදිහට කටයුතු කරන්න, මිතුරන්ගේ බැහැදැකීම් අත්‍යවශ්‍යයි. සානුකම්පිත හඬක් සහ සැලකිලිමත් ආකල්පයක් මනසේ ධෛර්යය වඩවනවා. කෙනෙකුට තමාගේ ආබාධිත තත්වයේ ගිලී ඉන්න අවශ්‍ය නැති වුණත්, දියුණු වීමේ ඕනෑම පිළිගැනීමක් ඉතාම දිරිගන්වනසුලුයි.” ආඝාතයේ විපාක සමඟ කටයුතු කරන්නන්ට සහයෝගය සැපයීම සඳහා අප සියලුදෙනාටම කළ හැක්කේ කුමක්ද? “මල් පොකුරක් අරං යන්න, එහෙම නැත්නම් බයිබල් සිතුවිල්ලක් හෝ අද්දැකීමක් බෙදාගන්න. ඒක මට ගොඩක් උපකාර කළා” කියා බර්නි යෝජනා කරනවා.
ආඝාතයෙන් බේරුණු වයස්ගත කෙනෙක් වන මෙල්වා, තම ආත්මික සහෝදරයෙක් තමන් සමඟ යාච්ඤා කිරීම උපකාරවත් බව සොයාගත්තා. ගිල්බට් පවා මෙසේ පැහැදිලි කරමින් මෙය නිර්දේශ කරනවා: “ඔබ කෙනෙක් සමඟ යාච්ඤා කරද්දී, ඇත්තෙන්ම ඔවුන් ඔබ කෙරෙහි සැලකිල්ලක් දක්වන බව එයින් පෙන්වනවා.” ආඝාතය නිසා ඔහුගේ පෙනීම දුර්වල වූ පීටර්, අනිත් අය ඔහුගේ සීමාවන් තේරුම්ගැනීම සහ ඔහු සමඟ කියවීමට කාලය ගැනීම අගය කරනවා.
පුනරුත්ථාපන කේන්ද්‍රයන් වෙත යෑම් ඊම් කිරීමට සහය වීමත් ප්‍රේමයේ විදහාපෑමක් වෙනවා. ආඝාතයෙන් පෙළෙන අයගේ නිවස ආරක්ෂා සහිත බවට ස්ථිර වීමද අවශ්‍යයි. සමබරතාව ගැටලුවක් නිසා ඇදගෙන වැටීම නිරන්තර තර්ජනයක්. උදාහරණයක් හැටියට, කළ අනිත් දේවල් අතර, ආරක්ෂාව සඳහා ඔහුගේ නාන කාමරයේ අල්ලාගෙන සිටීමට පොල්ලක් සවි කිරීම වැනි මිතුරන්ගේ කාරුණික උපකාර ගිල්බට් අගය කළා.
උපකාරය දීමට ඉගෙනගැනීම
මානසික ස්වභාවය වෙනස් වීම මෙන්ම වැලපීමට ඇති වැඩි නැඹුරුවාව ආඝාතයට ගොදුරුවූවෙකුට ලජ්ජාවට හේතු වන අතර, ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද කියා නොදන්නාවූ නිරීක්ෂකයෙකුවත් ව්‍යාකූලත්වයට පත් කළ හැකියි. කෙසේවෙතත්, උපකාරශීලී වීමට ඉගෙනගැනීමෙන්, ආඝාතයට ගොදුරුවූවෙකුව, ප්‍රතිඵලයක් හැටියට විය හැකි හුදකලාභාවයෙන් ගළවාගැනීමට මිතුරන්ට පුළුවන්. සාමාන්‍යයෙන් ඇඬෙන්නේ අඩුවෙන්. නමුත් කඳුළු එද්දී, සන්සුන්ව ඔහු ළඟින් සිට ඔබ ආඝාතයෙන් පෙළෙන්නා වුණා නම්, ඔබ අසන්න කැමති දේවල් දන්වන්න.
සියල්ලටම වඩා, කලින් ඔබ වරක් දැන සිටි පෞද්ගලිකත්වය වෙනස් වී ඇති දුබල තැනැත්තන් කෙරෙහි දේවප්රේමය වගා කරගන්න. ඔබට හැඟෙන ආකාරය ගැන ඔවුන්ට දැනෙන අතර, ප්‍රතිඵලයක් හැටියට, ඔවුන් ඔබ කෙරෙහි දක්වන ප්‍රතිචාරයට එය බලපාන්න යනවා. එරිකා මෙසේ අදහස් දක්වනවා: “මං ආයේ කවදාවත් කලින් පුද්ගලයා බවට පත් වන්නේ නැහැ. ආඝාතයකට ගොදුරු වූ කෙනෙකුගෙන් කිසිම කෙනෙකුට ඒක බලාපොරොත්තු වෙන්න බැහැ. ඔහු හෝ ඇයට දැන් සිටින තත්වයෙන්ම ආදරය කරන්න නෑදෑයන් සහ මිතුරන් දැනගත යුතුයි. ඔහුගේ සහ ඇයගේ පෞද්ගලිකත්වය පරෙස්සමින් හාරා අවුස්සා බැලුවොත්, අතීතයේ තිබූ ඉතා ආකර්ෂණීය ගුණාංග තවමත් තියෙනවා කියල ඔවුන් සොයාගනීවි.”
කෙනෙකුට කතා කරන්න බැරි නම් හෝ තේරුම්ගන්න බැරි නම්, ඔහුගේ ආත්ම-ගරුත්වය පහත් අඩියකට වැටෙනවා. මිතුරන් ඔවුන් සමඟ කතා කිරීමට උත්සාහ කිරීමෙන්, කතා කිරීමේ දුබලතාව ඇති පුද්ගලයන්ගේ ඇති වටිනාකම ගැන සහතික වීමට ඔවුන්ට හැකියි. ටාකාෂි මෙසේ සඳහන් කරනවා: “මම හදවතින් කල්පනා කළ සහ හැඟුණු දේවල් වෙනස් වෙලා නැහැ. කෙසේවෙතත්, ඔවුන්ට මා එක්ක සාමාන්‍ය අදහස් හුවමාරුවක් පවත්වාගන්න බැරි නිසා, මිනිස්සු මාත් එක්ක කතා නොකර ඇරියා. මිනිස්සු වෙත එළඹෙන්න මට අමාරුයි; ඒත් කවුරු හරි මාත් එක්ක කතා කරන්න ආවාම, ඒක මට මහා විශාල දිරිගැන්වීමක් වුණා වගේම මම හුඟාක් සතුටු වුණා!”
පහත තිබෙන්නේ කතා කිරීමේ දුබලතාවෙන් දුක් විඳින අයට සහය වීම සහ දිරිගැන්වීම සඳහා අප සියලුදෙනාටම උපකාර කළ හැකි මාර්ගදර්ශක සමහරකුයි.
බොහෝ ආඝාත බුද්ධියට බලපාන්නේ නැහැ. ආඝාතයෙන් බේරෙන බොහෝදෙනෙකු කතා කරන ආකාරය තේරුම්ගැනීමට දුෂ්කර විය හැකි වුණත්, ඔවුන් මානසිකව සුපරීක්ෂාකාරිව සිටිනවා. කිසිම විටක පහත් ආකාරයටවත්, බබෙකුට කතා කරන ආකාරයටවත් කතා කරන්න එපා. ඔවුන්ව ගෞරවයෙන් සලකන්න.
ඉවසිලිවන්තව ඇහුම්කන් දෙන්න. සිතුවිල්ලක් යළි සකස් කරගන්න හෝ වචනයක්, වාක්යඛණ්ඩයක් හෝ වාක්‍යයක් අවසන් කරන්න ඔවුන්ට කාලය අවශ්‍ය විය හැකියි. වඩාත් සැලකිලිමත්ම ඇහුම්කන් දෙන්නා, ඇහුම්කන් දෙන්න කලබල වෙන්නේ නැති බව මතක තබාගන්න.
ඔබට තේරුණේ නැත්නම් තේරුණු බව පෙන්වන්න එපා. කාරුණිකව මෙසේ කියන්න: “සමාවෙන්න, මට ඒක තේරුණේ නැති පාටයි. පස්සේ ආයෙත් ඒ ගැන කතා කරමු.”
හෙමිහිට සහ පැහැදිලිව සාමාන්‍ය හඬකින් කතා කරන්න.
කෙටි වාක්‍ය සහ හුරුපුරුදු වචන පාවිච්චි කරන්න.
ඔව් හෝ නැහැ යන්න එළියට ඇදගන්න ප්‍රශ්න පාවිච්චි කර ප්‍රතිචාරය සඳහා දිරිගන්වන්න. ඔබේ වචන ඔවුන්ට වටහාගැනීමට නොහැකි විය හැකි බව මනසේ තබාගන්න.
වටපිටාවේ ශබ්දය අඩු කරන්න.
යෙහෝවාගේ ප්‍රේමනීය සහය ඇතුව කටයුතු කිරීම
ඔබේ ආඝාතයට හේතුව දැනගැනීම වැදගත් වන අතර, ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීමටත් අනාගතයේ ආඝාත ඇතිවීමේ අවදානම අඩු කරගැනීමටත් හැකි කරවන අතර, ඒ සමඟ ඇති වන භය පාලනය කරගැනීම සඳහාද වැදගත් වෙනවා. එලන් මෙසේ සඳහන් කරනවා: “යෙසායා 41:10හි ඇති දෙවිගේ වචනය විශේෂයෙන්ම මාව සැනසුවා. එහි දෙවි කියන්නේ මෙහෙමයි: ‘භය නොවෙන්න, මක්නිසාද මම නුඹ සමග සිටිමි; තැති නොගන්න, මක්නිසාද මම නුඹේ [දෙවිය]. මම නුඹ ශක්තිමත්කොට, නුඹට උපකාර කරන්නෙමි; එසේය, මාගේ ධර්මිෂ්ඨකම නමැති දකුණතින් නුඹ උසුලන්නෙමි.’ මට කිසිම භයක් දැනෙන්නේ නැති ආකාරයට, යෙහෝවා මට ඒ තරම්ම සැබෑ කෙනෙක් වුණා.”
ඔහුට දැනෙන අපේක්ෂා භංගත්වය සමඟ කටයුතු කරන්න බයිබලය, ආනන්ද්ටත් උපකාර කරනවා: “ඒක මට නොකඩවාම නව පණක් සහ ප්රබෝධයක් ලබා දෙමින්, පූර්ණ සහය ලබා දුන්නා.” හිරෝයූකිගේ ගැටලුව වූයේ තමාට අවධානය දීමට නොහැකි නිසා බයිබලයෙන් ප්‍රයෝජනය ගන්නේ කෙසේද යන්නයි. ඔහු මෙසේ කියනවා: “බයිබලයේ ශ්‍රව්‍ය කැසට්පටවලට ඇහුම්කන් දීමෙන් මම සහනයක් ලබාගත්තා.”
ප්‍රේරිත පාවුල් මෙහෙම කිව්වා: “මම දුර්වලව සිටින කලම ශක්තිමත්ව සිටිමි.” (2 කොරින්ති 12:10) තමන්ටම කරන්න බැරි දේවල් කරන්න පාවුල්ට උපකාර කළේ යෙහෝවාගේ ආත්මයයි. ආඝාතයෙන් බේරුණු අයටත් ආත්මික ශක්තිය උදෙසා යෙහෝවා මත රඳා සිටිය හැකියි. එරිකා මෙසේ පැහැදිලි කරනවා: “සෞඛ්‍යසම්පන්නව ඉද්දී, අපි අපේ ශක්තියෙන් හැම දෙයක්ම කරනවා, අපිට උදව් කරන්න අපි යෙහෝවාට වැඩි අවස්ථාවක් නොදෙනවා වෙන්න පුළුවන්. නමුත් මගේ දුබලතාව ඔහුත් එක්ක තියෙන මගේ සබඳතාව ඉතා විශේෂාකාරයෙන් ශක්තිමත් කරගන්න හැකි කෙරෙව්වා.”
සාත්තු සේවකයෝ සහය පතයි
සාත්තු සේවකයන්ට ඔවුන්ගේ දුෂ්කර කාර්යභාරයේදී සහය අවශ්‍යයි. සහය සඳහා ඔවුන්ට හැරිය හැක්කේ කොතැනටද? එක ස්ථානයක් නම් පවුලමයි. සාත්තු සැපයීමේ බර සෑම සාමාජිකයෙක්ම බෙදාගත යුතුයි. තම පුතුන් චිත්තවේගීය සහයෝගය දුන්නේ කෙසේද කියා යොෂිකෝ පවසනවා: “ඒවා ඒගොල්ලන්ගේම ඒවා විදිහට සලකලා, මගේ ගැටලුවලට ඇහුම්කන් දෙනවා.” ආඝාතයට ගොදුරුවූවෙකුට සලකන්නේ කෙසේද කියා ඉගෙනගැනීමට ඇති සියලුම තොරතුරුත්, ඔවුන්ගේ ප්රේමනීයයාගේ පෞද්ගලිකත්වයේ සිදු වන වෙනස් වීම් සමඟ කටයුතු කරන්නේ කොහොමද කියාත් පවුල් සාමාජිකයන් දැනගන්න අවශ්‍ය වනවා.
සාත්තුකරන්නන්ට සහය වීමට තව කවරෙකුට හැකිද? වික්ටර්ට උපකාර කරන්න ඩේවිඩ් සහ ඔහුගේ පවුලේ අය යෙහෝවාගේ සාක්ෂිකාරයන්ගේ සභාව වන ඔවුන්ගේ ආත්මික පවුල වෙතටම යොමු වුණා. “මාරුවෙන් මාරුවට, සමහර වෙලාවට ඔවුන් වික්ටර්ගේ වැඩවලට මුළු රෑ තිස්සෙම උදව් වෙන්න, රෑට අපේ ගෙදර ඇවිත් නිදාගත්තා.”
සෑම සාත්තු කරන්නෙකුටම ඔහුගේ ආත්මික පවුලේ උණුසුම් ප්‍රේමය සහ සහයෝගය දැනෙන්න අවශ්‍යයි. නමුත් සමහරුන්ට උපකාරය ඉල්ලීම අපහසු දෙයක් විය හැකියි. හාරූකෝ මෙසේ පැහැදිලි කරනවා: “‘ඔයාට මොකක් හරි උදව්වක් ඕනෙ නම්, අපිට කියන්න පසුබට වෙන්න එපා’ කියල මට ඕන තරම් කියල තියෙනවා. අනිත් අය කොච්චර කාර්යබහුලද කියල දැනගත්තාම ඒ අයගෙන් උදව් ඉල්ලන්න මට බැහැ. ‘පිරිසිදු කරන්න උදව් වෙන්න මට පුළුවන්, කෝකද ඒකට හොඳම දවස?’ ‘මට ඔයාට ඕනෙ කරන බඩුමුට්ටු ටික ගේන්න කඩපිළට යන්න පුළුවන්, ඒ හින්දා මම ඒ පැත්තෙන් ආවට කමක් නැද්ද?’ වැනි නිශ්චිත උපකාර ලබා දෙන්න ඒ අය ඉදිරිපත් වෙනවා නම් මම ගොඩාක් කෘතඥපූර්වක වෙනවා”
කෙන්ජිගේ භාර්යාවට ආඝාතයක් තිබුණා; කෙසේවෙතත්, ඇයට අවශ්‍ය සැලකිලි සපයන්න ඔහුට හැකි වුණා. ඔහුගේ යාච්ඤාවෙන් තම බර යෙහෝවා මත තබන්න හැකි බව ඔහු දැනගෙන හිටියා. පසු කාලයේදී, ඔහුගේ භාර්යාවගේ කතා කිරීමේ හැකියාව නැති වුණා, ඒ සමඟම කෙන්ජිට කතා කරන්න සහකාරියක් නැති වුණා. නමුත් ඔහු බයිබලය සෑම දවසකම කියවනවා. ඔහු මෙහෙම කියනවා: “මෙය, බිඳුණාවූ ආත්ම ඇති අයට දක්වන යෙහෝවාගේ මෘදු සැලකිල්ල මට මතක් කර දෙන අතරම, කනස්සල්ලෙන් සහ පාළුබවින් මාව ආරක්ෂා කරල තියෙනවා.”
චිත්තවේගයන් අපව යටපත් කරද්දී, යෙහෝවාගේ ආත්මය මත රඳා සිටීමෙන් උපකාර ලැබිය හැකියි. යොෂිකෝ ඇගේ පුරුෂයාගේ ආඝාතයෙන් පසුව, පෞද්ගලිකත්වය වෙනස් වීම සහ කෝපය සමඟ කටයුතු කරමින්, මෙසේ කියනවා: “සමහර වෙලාවට මට යටිගිරියෙන් කෑගහන්න හිතිල තියෙනවා. ඒ වගේ වෙලාවට මම කොයිවෙලේත් යෙහෝවාට යාච්ඤා කරනවා, ඒ වගේම ඔහුගේ ශුද්ධාත්මය මට සාමය ලබා දෙනවා.” යෙහෝවාගේ පක්ෂපාතකම අගය කිරීමක් හැටියට ඇය, ඇගේ ක්‍රිස්තියානි ජීවන මාර්ගයට බාධා වෙන්න කිසි දෙයකට ඉඩ දෙන්නේ නැහැ. ඇය නිතිපතාම ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වෙනවා, දේවසේවයේ සහභාගි වෙනවා, එමෙන්ම පෞද්ගලික බයිබල් පාඩම කරනවා. යොෂිකෝ මෙහෙම කියනවා: “මගේ කොටස කිරීමෙන්, යෙහෝවා කිසිදාක මාව අතහරින්නේ නැති බව මම දන්නවා.”
කනස්සල්ල රිංගා එන විට, ඇහුම්කන් දීමට යෙහෝවා කොයිවෙලේත් බලා සිටිනවා. තම පුරුෂයා ආඝාතයෙන් බේරුණු කෙනෙක් වන මිඩෝරි, තමන් වගුරුවා ඇති කඳුළු යෙහෝවා ඔහුගේ “හම් භාජනයට” දමාගන්නවා යන සංකේතාත්මක කාරණයෙන් සහනයක් ලබනවා. (ගීතාවලිය 56:8, NW) ඇය යේසුස්ගේ වචන මතකයට නඟනවා: “හෙට දවස ගැන කනස්සලු නොවෙන්න.” ඇය මෙසේ පවසනවා: “අලුත් ලෝකය එන තුරු ඉවසිලිවන්තව ඉන්න මම මගේ මනස හදාගෙනයි තියෙන්නේ.”—මතෙව් 6:31-34.
දරුණු සීමාවන්ට මුහුණ දීම
ඔවුන්ගේ පුනරුත්ථාපනයේදී සමහරු කැපීපෙනෙන සුවයක් ලබන බව ඇත්ත වුණත්, තවත් අය ආඝාතයට කලින් තිබූ හැකියාවන් සම්බන්ධයෙන් සාර්ථක වන්නේ මද වශයෙන් පමණයි. පසුව සඳහන් කළ අයට ඔවුන්ගේ දරුණු හෝ බොහෝ කල් පැවතිය හැකි සීමාවන් පිළිබඳ අභියෝගය පිළිගෙන ඊට මුහුණ දීම සඳහා කිනම් උපකාර කළ හැකිද?
ආඝාතය නිසා ඔහුගේ ඇවිදීමේ හැකියාව බොහෝ සෙයින් අහිමි වූ බර්නි මෙසේ පිළිතුරු දෙනවා: “පැමිණෙන පාරාදීස පොළොවක සදාකාල ජීවනය පිළිබඳ මගේ බලාපොරොත්තුව ගැන ප්‍රීතිය සහ මගේ ස්වර්ගීය පියා වන යෙහෝවාට කරන යාච්ඤාව මගේ සීමාවන් සන්සුන්ව පිළිගන්න මට උපකාර කළා.”
එම බලාපොරොත්තුව එරිකාටත් ඇගේ පුරුෂයා වන ජෝජ්ටත්, ඔවුන්ගේ සීමාවන් පිළිගෙන, ඒ අතරම ජීවිතය භුක්ති විඳින්න උපකාර කළා. ජෝජ් මෙසේ විස්තර කරනවා: “සම්පූර්ණ සුවය ගැන දෙවිගේ බලාපොරොත්තුව යම් දවසක අපිට තියෙනවා. ඒ නිසා අපි දුබලතාව කෙරෙහි අවධානය යොමු කරන්නේ නැහැ. ඇත්තෙන්ම එරිකාගේ සෞඛ්‍යය සඳහා අපිට කරන්න පුළුවන් සියල්ලම අපි තවමත් කරනවා. නමුත් ඔබට පේශීවල අසම්පූර්ණ සම්බන්ධීකරණයක් ඇතුව සිටින අතරම, වඩා ඒකාන්ත දේවල් ගැන අවධානය දෙන්න අවශ්‍ය වෙනවා.”—යෙසායා 33:24; 35:5, 6; එළිදරව් 21:4.
සුවය සීමා වී තිබෙන අවස්ථාවලදී, පවුලේ සහ මිතුරන්ගේ සහයෝගය වඩා වැදගත් වෙනවා. සියලුම සෞඛ්‍ය හානි සුව කිරීමට දෙවිගේ කාලය පැමිණෙන තුරු ගොදුරුවූවන්ට උපකාර කරන්න ඔවුන්ට හැකියි.
ආඝාතයට ගොදුරුවූවන් සහ ඔවුන්ගේ පවුල්, සෞඛ්‍යය යථා තත්වයට ගෙනෙන මහත් අනාගතයක් ඇති බව දැන සිටීම, එදා දවසට මුහුණ දීමට ඔවුන්ට හැකි කරවනවා. ඉතා ඉක්මනින් පැමිණීමට තිබෙන දෙවිගේ අලුත් ලෝකයෙහි සියලුම වේදනාවන්ගෙන් සහනය සඳහා ඔවුන්ට ඉවසිල්ලෙන් සිටිය හැකියි. (යෙරෙමියා 29:11; 2 පේතෘස් 3:13) මේ අතරතුරේදී, ආඝාතයේ විකල කරන බලපෑම් සමඟ කටයුතු කිරීමට යෙහෝවා දැන් පවා උපකාරය සහ සහයෝගය දෙන බවට ඔහු වෙත හැරී සිටින සියලුදෙනාටම විශ්වාස කළ හැකියි.—ගීතාවලිය 33:22; 55:22.
[12වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
සියලුම සෞඛ්‍ය පීඩාවන්වලට සුවය සඳහා දෙවිගේ කාලය එන තුරු ගොදුරුවූවන්ට සාර්ථකව කටයුතු කිරීමට උපකාර කරන්න පවුලේ අයට සහ මිතුරන්ට හැකියි
[10වන පිටුවේ කොටුව⁄ප්‍රස්තාරය]
ආඝාතය වළක්වාගැනීම
“ආඝාතයත් එක්ක කටයුතු කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඒක වළක්වාගන්න උත්සාහ කරන එක.” මෙසේ සඳහන් කරන්නේ වෛද්‍ය ඩේවිඩ් ලෙවින්. බොහෝ ආඝාතවලට ප්‍රධානතම සාධකය වන්නේ, අධි රුධිර පීඩනයයි.
පොටෑසියම් අධික ආහාර සහ ලුණු, සංතෘප්ත තෙල් මෙන්ම කොලෙස්ටරෝල් අඩු ආහාර රටාවක් මගින් බොහෝදෙනෙකුට අධි රුධිර පීඩනය පාලනය කරගැනීමට හැකි වී තිබෙනවා. මධ්‍යසාර පාවිච්චිය අඩු කිරීමත් වැදගත් දෙයක් වෙන්න ඉඩ තිබෙනවා. කෙනෙකුගේ වයස සහ ශාරීරික යෝග්‍යතා මට්ටමට සුදුසු ආකාරයෙන් නිතිපතා ව්‍යායාමයක යෙදීම බර අඩු කරගැනීමට උපකාර කරන අතර, ප්‍රතිඵලයක් හැටියට එය රුධිර පීඩනය අඩු කිරීමට ඉඩ තිබෙනවා. විවිධාකාර බෙහෙත් වර්ග තිබෙන නිසා වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ බෙහෙත් ගැනීමටත් සිදු විය හැකියි.
මහාමාතෘකා ධමනි රෝගය, මොළයට රුධිරය සපයන ප්‍රධාන මාර්ගය පටු කරන අතර, එය ආඝාතය සඳහා ප්රමුඛ ආධාරකාරයායි. අවහිර වී ඇති ප්‍රමාණය මත පදනම්ව, හිර වූ ධමනි එළිපෙහෙළි කිරීමට මහාමාතෘකා අන්තෝධමනිඡේදනය නමින් හඳුන්වන ශල්‍ය කර්මය සුදුසු වීමට ඉඩ තිබෙනවා. දරුණු ලෙස පටු වූ ධමනි සහ ඒ බවට රෝග ලක්ෂණ පහළ කළ අය පිළිබඳව සිදු කළ අධ්‍යයනයන් පෙන්වන්නේ, ශල්‍ය කර්මයත් සමඟම කරන වෛද්‍ය චිකිත්සාවකින් ප්‍රයෝජන ලැබී තිබෙන බවයි. කෙසේවෙතත්, ශල්‍ය කර්මයට සම්බන්ධ ගැටලු තිබිය හැකි නිසා එය පරෙස්සමින් සලකා බැලිය යුතුයි.
හෘද රෝග, ආඝාතයේ අවදානම වැඩි කළ හැකියි. ධමනීය තන්තු පටකවල අස්ථාවර සංකෝචනය (අස්ථාවර හදගැස්ම), ලේ කැටි සාදා මොළය වෙත ගෙනයෑමට හේතුපාදක විය හැකි අතර, ඒ සඳහා ලේ දිය කිරීමට යොදන ප්‍රතිකාර ලබාගැනීමට හැකියි. ආඝාතයේ අවදානම අඩු කිරීම සඳහා වෙනත් හෘද රෝගවලට ශල්‍යකර්ම සහ ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි. ආඝාතයෙන් පහර ලැබීමේ අවස්ථා සඳහා දියවැඩියාව වැඩියෙන් ගණන් දිය යුතු අතර, එය පාලනය කිරීම ආඝාතය වළක්වාගැනීමට උපකාර වෙනවා.
හදිසි ඉස්කීමීය පහර දීම හෙවත් ටීඅයිඒ, ආඝාතයක් සිදු විය හැකි බවට පැහැදිලි අනතුරු ඇඟවීමක්. ඒවා නොසලකා නොහරින බවට වග බලාගන්න. ටීඅයිඒ, ආඝාතය ඇතිවීමේ අවදානම බොහෝ ගුණයකින් වැඩි කරන නිසා, ඔබේ වෛද්‍යවරයාව මුණගැසී, එහි මූලික හේතුව සමඟ ක්‍රියා කරන්න.
සෞඛ්‍යසම්පන්න, පමණ දැන ගත කරන ජීවන රටාවක්, ආඝාතය නිවාරණය කිරීමට බොහෝ සේ දායක විය හැකියි. සමතුලිත ආහාර රටාවක්, ස්ථාවරව කරගෙන යන ව්‍යායාම් මෙන්ම මධ්‍යසාර භාවිතය අවම කිරීම සහ දුම්පානය මුලිනුපුටා දැමීම, ධමනි සෞඛ්‍යසම්පන්නව තබන අතර, දැනටමත් හානි වී ඇති ධමනි සෞඛ්‍යසම්පන්නභාවය කරා දියුණු කරන්නත් ඉඩ තිබෙනවා. විවිධ අධ්‍යයනවලට අනුව, අලුත් පලතුරු සහ එළවළු මෙන්ම ධාන්‍ය අනුභවය වැඩි කිරීම, ආඝාතයෙන් පහර ලැබීමේ අවදානම අඩු කිරීමට ඉවහල් වී තිබෙනවා.