ගොතගැසීම සමඟ මා සාර්ථකව කටයුතු කරන අයුරු
ස්වෙන් සීවර්ස් පැවසූ පරිදි
මම ළමයෙකුව සිටි කාලයේ ඉඳලම ගොතගහලා තියෙනවා. අතීතය දෙස බලද්දී, මගේ දෙමාපියන් ගැටලුවට අවතීර්ණ වූ ආකාරය මම අගය කරනවා. මා ගොතගැසූ විට, මා කතා කරන ආකාරය නිවැරදි කරනවා වෙනුවට මට කියන්න ඕන වුණ දේට සවන් දෙමින් අවධානය යොමු කරන්න ඔවුන් සැමවිටම උත්සාහ කළා. කථික චිකිත්සක වෛද්‍යවරුන් පවසන පරිදි, තම දරුවාගේ ගොතගැසීමට නිරතුරු අවධානය දෙන දෙමාපියන් ආබාධය තවත් වැඩි කළ හැකියි.a
මට අවුරුදු තුනේදී මගේ අම්මා යෙහෝවාගේ සාක්ෂිකාරියක් බවට පත් වුණා. මගේ නහඹර වියේදී ඇගේ ආදර්ශය අනුගමනය කරන්න තීරණය කළ මට බයිබලය පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් කිරීමට උපකාරය ලැබුණා. වර්ෂ 1982 ජූලි 24වෙනිදා, ජර්මනියේ නොමූන්ස්ට’හි සමුළුවකදී දෙවිගේ කැප වූ සේවකයෙක් හැටියට මම බව්තීස්ම වුණා. පසුව, මම දකුණු අප්‍රිකාවේ පදිංචියට ගොස්, සියලුම සැබෑ ක්‍රිස්තියානීන්ට හවුල් වෙන්නයයි පවසා තිබෙන ප්‍රසිද්ධ දේශනා වැඩයෙහි දිගටම සහභාගි වුණා. (මතෙව් 28:19, 20) ඔබ මෙසේ කල්පනා කළ හැකියි: ගොතගසන්නෙක් හැටියට කොහොමද මම මේක කරන්නේ?
ඒකාන්තව සිටීම වෙනුවෙන් විපාක
ඒකාන්ත ආකල්පයක් තබාගැනීම සමහරවිට මට අමාරු බව මා පිළිගත යුතු නමුත්, ඒකාන්තව සිටීම ඇත්තටම ලොකු වෙනසක් සිදු කරන බව මට තේරුම්ගොස් තිබෙනවා. මම හැකි සෑම අවස්ථාවකදීම අදහස් හුවමාරු කරගන්න ක්‍රමයක් සොයාගන්නවා. කතා කරන්න නොහැකි වුණොත්, පණිවිඩ ලිවීම මගින් හෝ අන්‍යයන්ට බයිබල් පොත් පත් නිකම් පෙන්වීම මගින් හෝ මම අදහස් හුවමාරු කරනවා. සංවාදයක් ඇරඹීමේ අසීරුතාව ජයගැනීම සඳහා මට ඒකාන්ත එළඹීමක් උපකාර වෙනවා. මගේ හැඳින්වීම ඉතා සරලව තබාගන්න මම උත්සාහ කරනවා. සංවාදයක මුලදී, පුළුවන් තරම් නිවැසියාට කතා කිරීමට මම ඉඩහරිනවා. මිනිසුන් කතා කරන්න කැමති නිසා, එමගින් මට ඔවුන් කල්පනා කරන ආකාරය දැනගන්න ප්‍රස්තාව ලැබෙනවා. එවිට, මම බයිබල් පණිවිඩය ඉස්මතු කරමින් ඔවුන්ගේ උනන්දුවට ලක් වෙන දේවල් පවසමින් දිගටම සංවාදය පවත්වනවා. ඔවුන් පවසන දේ වෙත අවධානය යොමු කොට තබාගැනීම මගේ කථික ගැටලුව අමතක කරන්න උපකාරයක් වන අතර, මම ගොතගසන්නේ අඩුවෙන්.
ඒකාන්ත එළඹීම, ක්‍රිස්තියානි රැස්වීම්වලදී අදහස් ප්‍රකාශ කරන්නත් මට උපකාර කරනවා. බයිබල් සාකච්ඡාවලට මා වැඩි වැඩියෙන් සහභාගි වෙද්දී සභාවත්, මෙහෙයවන්නාත් මට වඩාත් හුරු වෙන තරමට, මා එය කියන ආකාරයට වඩා මා කියන දේට සවන් දෙන බව මට දැනී තිබෙනවා.
සාර්ථකත්වයේ ප්‍රීතිය අද්දැකීම සඳහා දිගටම වෑයම් කිරීමට මට සිද්ධ වෙනවා. මෙය මාව ආත්ම-අනුකම්පාවට නතුවීමෙන් හා ලජ්ජාශීලීව භයෙන් සිටීමෙන් වළක්වනවා. ආත්ම-අනුකම්පාව එක්ක සටන් කිරීම නොනවත්වා කෙරෙන පොර ඇල්ලීමක්. කෙනෙක් අශ්වයෙකුගේ පිටෙන් වැටුණොත්, ඔහුගේ ආත්ම-විශ්වාසය හීන නොවීම සඳහා ඔහු නැවත අශ්වයාගේ පිටට නැඟීම වැදගත් බව පවසා තිබෙනවා. අදහස් ප්‍රකාශයක් කරද්දී මට කතා කරගන්න බැරි තරමටම හිර වුණොත්, උපමාලංකාරයෙන් පවසනවා නම්, නැවත අශ්වයාගේ පිටට නඟින්න මම උත්සාහ කරන්නේ ඊළඟට අදහස් ප්‍රකාශ කරන්න ලැබෙන අවස්ථාවේදී කතා කරමිනුයි.
උපකාර කරන්න අන්‍යයන්ට හැකි අයුරු
දූරකථනයෙන් ඇමතීමට හෝ අමුත්තන්ගෙන් තොරතුරු විමසීමට මට සිදු වන විට, මම උපායශීලී උපකාරය අගය කරනවා. නමුත් සමහරු උපකාර කරන්න කැමැත්තක් දක්වද්දී සීමාව පනින අතර, ඔවුන් මට සලකන්නේ තීරණ ගැනීමට හැකියාවක් නැති දරුවෙකුට සලකනවා හා සමානවයි.
මගේ ආදරණීය බිරිඳ, ට්‍රේසිගේ උපකාරයත් මම අගය කරනවා. ඇය මගේ “මුඛය” ලෙස ක්‍රියා කිරීමට පෙර, අපි තත්වය සවිස්තරව සාකච්ඡා කරන අතර, මොනවා ඉටු කරනවාට මා කැමතිද කියන එක ඇය දන්නවා. (නික්මයාම 4:10, 14, 15 සසඳන්න.) ඒ ආකාරයෙන්, ඇගේ සැමියා හැටියට මට ගරු කරන අතර, මගේම ජීවිතය පාලනය කරගන්න මට පුළුවන් කියන හැඟීම මට දැනෙන්න සලස්වනවා.
දිව්‍යාණ්ඩු සේවා පාසැල තවත් මහඟු උපකාරයක් වී තිබෙනවා. මෙම සතිපතා රැස්වීමේදී, ශිෂ්‍යයන් ප්‍රසිද්ධ බයිබල් කියවීමෙත්, බයිබල් විෂයන් ගැන කෙටි කතා දීමේත් හවුල් වෙනවා. බොහෝවිට සභාවක් ඉදිරියේදී මට ඉතා හොඳින් කියවන්නත් කතා කරන්නත් පුළුවන් බව දැනගැනීමට ලැබීම මට පුදුමයක් වුණා. මා පාසැලට ඇතුල් වී නොතිබුණා නම්, මේ හැකියාව තිබෙන බව දැනගන්න මට කවදාවත් ලැබෙන එකක් නෑ.
මට දිව්‍යාණ්ඩු සේවා පාසැලේ පැවරුම් ලැබී තිබුණ අවස්ථාවලදී, මා පැවසූ ආකාරය නොව මා පැවසූ දෙය කෙරෙහි උපදේශකයා අවධානය යොමු කර තිබීම විශේෂයෙන්ම දිරිගන්වන්නක් වී තිබෙනවා. සාමාන්‍ය විදිහට කතා කරන අයට වඩා ගොතගසන්නන්ට දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොතේb ඇතැම් අංගයන් වැඩි අභියෝගයක් ඉදිරිපත් කරනවා වුවත්, මෙම පොතෙන් මම බොහෝ ප්‍රයෝජන ලබාගෙන තිබෙනවා. උදාහරණයක් වශයෙන්, ගොතගැසීමේ ප්‍රමාණය නිසා, ඇතැම් අවස්ථාවලදී මට නියමිත කාලය තුළදී මගේ කතාව අවසන් කරන්න බැරි වෙනවා. එහෙත්, උපදේශකයා මම දක්ෂ ලෙස වැඩ කළ කරුණු ඉස්මතු කොට දක්වද්දී මට එය මහත් දිරිගැන්වීමක් වෙනවා.
සේවයෙහි වැඩි වරප්‍රසාද
අතීතයේදී, අපේ රැස්වීම්වලදී අපි අධ්‍යයනය කරන ක්‍රිස්තියානි ප්රකාශනයකින් ප්‍රසිද්ධියේ කියවීමට මට වරප්‍රසාදය තිබුණා. සුදුසුකම් ලත් වෙනත් දේවසේවකයෙක් නොසිටි අවස්ථාවේදී පාඩම මෙහෙයවීමටත් මට වරප්‍රසාදය ලැබුණ අතර, අදදින මම ස්ථාවර පදනමක් මත එසේ කරනවා. මුලින් ටිකක් භයක් වගේ දැනුණත්, එවැනි පැවරුම් ඉටු කිරීමේදී මා දෙවිගේ උපකාරය අද්දැක තිබෙනවා.
කෙසේවෙතත්, අවුරුදු ගණනාවක් තුළ, සභා වේදිකාවේ සිට කියවීමට හෝ ඉගැන්වීමට මට ලැබුණු අවස්ථා සීමිතයි. මෙය තේරුම්ගත හැකි යමක් වුණේ මන්දයත්, සභාවට තේරුම්ගන්න පුළුවන් වෙන විදිහට මගේ අදහස් ප්‍රකාශ කරන්න මම සෑහෙන කාලයක් ගත්ත අවස්ථා තිබුණු නිසයි. ඒ නිසා වෙනත් පැවරුම් හසුරුවද්දී හැකි උපරිමයෙන් මගේ ශක්තිය යෙදෙව්වා. මුලදී, සභාවේ මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවල සැපයුම් බලාකියාගැනීම සම්බන්ධයෙන් සහායක වශයෙන් මම සේවය කළා. ඊට පස්සේ, උපස්ථායක සේවකයෙකු බවට පත් වුණාට පස්සේ, මම බයිබල්, පොත් හා වෙනත් පොත් පත් සැපයුම් සම්බන්ධයෙන් බලාකියාගත්තා. පසුව, අපේ ප්‍රසිද්ධ සාක්ෂිදැරීමේ වැඩයේදී භාවිත කරන බලප්‍රදේශ කාඩ්පත් සම්බන්ධයෙන් සෝදිසි කිරීමට මට පවරනු ලැබුවා. මේ පැවරුම් ගැන අවධානය යොමු කර, හොඳින් වැඩ කිරීමට වෑයම් කිරීමෙන් මට ඉමහත් ප්‍රීතියක් ලැබුණා.
ඉකුත් වර්ෂ අට පුරා, මම ට්‍රේසි සමඟ පූර්ණ-කාලීන එවැන්ජලිස්තවරයෙක් හැටියටත් සේවය කර තිබෙනවා. මේ අංශයේදීත් ඇත්තෙන්ම යෙහෝවා මට ආශීර්වාද කර තිබෙනවා. ඇත්තවශයෙන්ම, යෙහෝවා මගේ ගොතගැසීමේ දුර්වලකම පාවිච්චියට ගන්නවාදවත් කියා මම සමහරවිට කල්පනා කරනවා. කැප වූ ක්‍රිස්තියානීන් වීමට උපකාර කරන්න මට වරප්‍රසාදය තිබුණු පස්දෙනාගෙන් දෙන්නෙක් ගොතගහන අයයි.
සභා වැඩිමහල්ලෙකු වශයෙන් සේවය කිරීමට මාව පත් කළ දිනය තවමත් මම මතක් කරන්නේ ප්‍රීතියෙන්. වේදිකාවෙන් ඉගැන්වීමට තිබෙන මගේ හැකියාව සීමිත වුණත්, පෞද්ගලික වශයෙන් අන්‍යයන්ට උපකාර කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න මම වෑයම් කරනවා. බරපතළ ගැටලු මූණපාන සභා සාමාජිකයන්ට උපකාර කිරීම සඳහා ශුද්ධ ලියවිලිමය පර්යේෂණ කිරීමට තිබෙන මගේ හැකියාව, ගොතගැසීම මගින් සීමා කරන්නේ නැහැ.
ඉකුත් වර්ෂ පහකට වැඩි කාලයක් තුළදී, කථික පැවරුම් වැඩි වැඩියෙන් හැසිරවීමට මට ආරාධනා ලැබී තිබෙනවා. දිව්‍යාණ්ඩු සේවා පාසැලේදී කතා දෙනවාට අමතරව, අනිත් රැස්වීම්වලදී කෙටි නිවේදන දෙන්නත් මට හැකි වී තිබෙනවා. කෙමෙන් කෙමෙන් මගේ චතුරත්වය වැඩිදියුණු වුණා. නමුත් පසුව යළිත් මට දරුණු ගොතයක් ඇති වුණා. කනස්සල්ලෙන් යුතුව, ‘මට තවත් නම් පැවරුම් ලැබෙන එකක් නෑ’ කියා සිතුවත්, මාව පුදුමයට පත් කරමින් මගේ නම ඊළඟ වැඩසටහනේ තිබුණා! මට දිගටම කතා කරගෙන යන්න බැරි වෙන තරමටම මාව හිර වුණොත්, මට නිකම් ඔහු දෙස බලන්න විතරයි තියෙන්නේ, එතකොට ඔහු වේදිකාවට ඇවිත් කතාව කරගෙන යන්නම් කියා අපේ සභාවේ මුලසුන භාර අවේක්ෂක පැවසුවා. මේ ප්‍රේමනීය ඉදිරිපත් වීමෙන් මා වතාවක් දෙවතාවක් ප්‍රයෝජන ගත්තත් මෑත මාසවලදී මට එසේ කරන්න සිද්ධ වෙලා නෑ. මගේ කතා කිරීමේ හැකියාව වැඩිදියුණු වෙද්දී, මට ප්‍රසිද්ධ කථා ඇතුළු වඩාත් දීර්ඝ කොටස් සඳහා පැවරුම් ලැබුණා. මෑතකදී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ චාරිකා එක්රැස්වීමකදී නිරූපණ දෙකක කොටස් කරන්න කියා මට පැවසූ විටයි මම ලබා තිබෙන ප්‍රගතිය සම්පූර්ණයෙන්ම මට වැටහුණේ.
අවංකවම කියනවා නම්, මගේ කතා කිරීමේ හැකියාව දියුණු වෙලා තියෙන්නේ ඇයි කියන එක මට සම්පූර්ණයෙන්ම තේරෙන්නේ නෑ. ඒ වගේම, හෙට නැවත එය දුර්වල වෙලා යන්නත් පුළුවන්. ඇත්තෙන්ම, වේදිකාවෙන් කතා කරද්දී මා නිශ්චිත ප්‍රගතියක් ලබා තිබෙන බවක් දක්නට තිබුණත්, පෞද්ගලික වශයෙන් ජනයාට කතා කරන කොට මට නැවතත් දරුණු ලෙස ගොතය ඇති වෙලා තියෙනවා. ඒ නිසා මම ගොතගැසීම ජයගෙන තිබෙනවායයි කියන සාර්ථකබවේ කතන්දරයක් නෙවෙයි මේක. මට යළිත් ගොතයක් ඇති වෙන කොට, මගේ සීමාවන් පිළිගන්නත්, “දෙවි සමඟ ගමන් කිරීමේදී විනීත වෙන්න” අවශ්‍ය බව මට මතක් කර දීමටත් මම වෑයම් කරනවා.—මීකා 6:8, NW.
ළඟ ළඟම එන දෙවිගේ අලුත් ලොවේදී ගොතගැසීම සම්පූර්ණයෙන්ම මැඩපවත්වන බව දන්න නිසා, අනාගතය කුමක් ගෙනාවත් කමක් නෑ, මම දිගටම උත්සාහ කරනවා. “වික්කලුන්ගේ දිව පහසුවෙන් පැහැදිලිලෙස කථාකරන්නේය” කියා බයිබලය පවසනවා. වචනානුසාරයෙන්ම මෙන්ම ආත්මික අර්ථයකින් මෙය සැබෑ වන බවත්, ‘ගොළුවාගේ දිව [ප්‍රීතියෙන්, NW] ගී කියන’ බවත් මට නිසැකයි.—යෙසායා 32:4; 35:6.
[පාදසටහන්වල]
a අපේ 1997 දෙසැම්බර් 8 කලාපයේ “ගොතගැසීමේ බිය තේරුම්ගැනීම” නමැති ලිපිය බලන්න.
b Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිතයි.
[18වන පිටුවේ පින්තූරය]
මගේ බිරිඳ ට්‍රේසි එක්ක