යෞවන අය අසති . . .
විශේෂ අනුග්‍රහය සමඟ මට කටයුතු කළ හැක්කේ කෙසේද?
“මගේ නංගි මට වැඩිය අවුරුදු දෙකක් බාලයි, එයාට තමයි සම්පූර්ණ අවධානයම ලැබෙන්නේ. . . . ඒක සාධාරණයි කියලා නං පේන්නේ නැහැ.”—රෙබෙකා.a
ඔබගේ සහෝදරයාට හෝ සහෝදරියට අවධානය වැඩියෙන් ලැබෙන තරමටම, ඔබව පැත්තකට දමා ඇතැයි සිතෙන තරමද වැඩියි. එමෙන්ම අද්විතීය හැකියාවන් ඇති, බරපතළ ගැටලුවක් අද්දකිමින් සිටින හෝ ඔබගේ දෙමාපියන්ට පොදු වූ උනන්දු වීම් හෝ පෞද්ගලික ගතිලක්ෂණ ඇති සහෝදරයෙක් හෝ සහෝදරියක් ඔබට සිටිනවා නම්, මොන යම් හෝ අවධානයක් ලබාගන්න ඔබට දැඩි සටනක නියැලෙන්න වෙයි. ඔබ ඒ ගැන වැඩියෙන් සිතන තරමටම, ඔබ වේදනාවට හා කෝපයට පත් වෙන්න ඉඩ තිබෙන තරමද වැඩියි.b
කෙසේවෙතත් බයිබලය මෙසේ අනතුරු අඟවයි: “භයින් [කැලඹී, NW] සිටිව්, පව් නොකරව්. යහනේදී නුඹලාගේම සිතින් විමසා නිශ්චලවව්.” (ගීතාවලිය 4:4) ඔබ කැලඹී කෝපයට පත් වී ඉන්න විට, ඔබ පසුව කනගාටුවට පත් වෙන්න යන දෙයක් කීමට හෝ කිරීමට වැඩි හැකියාවක් තිබෙනවා. කායින්, ඔහුගේ සහෝදරයා වන ආබෙල් දෙවි සමඟ භුක්ති විඳි අනුග්‍රහය ලත් තත්වය ගැන කැලඹීමට පත් වූ අයුරු මතකයට නඟන්න. දෙවි ඔහුට මෙසේ අවවාද කළා: ‘පාපය නුඹේ දොරකඩ ලැග සිටියි; ඒකේ ආශාව නුඹ කෙරෙහි වන්නේය, නුඹ එය පාලනය කරන්නෙහිද?’ (උත්පත්ති 4:3-16) කායින් තමාගේ හැඟීම් පාලනය කරගන්න අසමත් වූ අතර, එහි ප්‍රතිඵලය විනාශකාරි වුණා!
ඔබ කායින් මෙන් මිනිස් ඝාතකයෙක් බවට පත් වෙන්න යන්නේ නැති බව සැබෑවක්. එසේ වුණත්, විශේෂ අනුග්‍රහය අප්‍රසන්න හැඟීම් හා චිත්තවේගයන් ඉස්මතු කරන්න පුළුවන්. ඒ හේතුවෙන් අන්තරාවන් ඔබේ දොරකඩ ලැග සිටිනවා වෙන්න පුළුවන්! ඒවායින් සමහරක් මොනවාද? එමෙන්ම තත්වයේ පාලනය සියතට ගැනීමට ඔබට හැක්කේ කෙසේද?
ඔබේ දිව දමනය කරන්න!
බෙත්ට වයස අවුරුදු 13ක් වූ විට, ඇයට තේරුණා ඇගේ දෙමාපියන් ඇගේ මල්ලිට විශේෂ අනුග්‍රහයක් පෙන්වා ඇයට අසාධාරණ ආකාරයකින් සැලකූ බව. ඇය මෙසේ මතකයට නඟයි: “මගේ අම්මයි මමයි දෙන්නට දෙන්නා ගොඩක් කෑ ගහගත්තා, හැබැයි එයින් කිසි ඵලක් ඇති වුණේ නැහැ, මම එයා කියන දේවල් අහගෙන හිටියෙ නැහැ. එයා මම කියන දේවල් අහගෙන හිටියෙත් නැහැ, ඉතින් කිසි දෙයක් ඉටු වුණේ නැහැ.” සමහරවිට ඔබත් සොයාගෙන ඇති කෑගැසීම නරක තත්වයක් තවත් දරුණු කරනවා පමණයි කියා. එපීස 4:31 මෙසේ කියනවා: “සියලු තික්තකමත් කෝපයත් උදහසත් කෝලාහලත් අපහාසත් සියලු ක්‍රෝධත් නුඹලා කෙරෙන් පහකරනු ලැබේවා.”
ඔබට කියන්න තියෙන කාරණය ඉදිරිපත් කරන්න කෑගසන්න අවශ්‍ය නැහැ. කොයි අතින් වුණත් සන්සුන් එළඹීමක් හොඳින් වැඩ කරනවා. හිතෝපදේශ 25:15 මෙසේ පවසනවා: “ඉවසිලිවන්තකමෙන් ආණ්ඩුකාරයෙකු නමාගත හැක, මොළොක් දිවෙන් ඇට බිඳෙයි.” ඉතින් ඔබේ දෙමාපියන් විශේෂ අනුග්‍රහය දැක්වීම පිළිබඳව වරදකරුවන් මෙන් පෙනෙනවා නම්, කෑගසා චෝදනා එල්ල නොකරන්න. නිසි කාලය එළඹෙන තුරු ඉන්න, ඉන් පසුව ඔවුන්ට සන්සුන්, ගෞරවනීය ආකාරයකින් කතා කරන්න.—හිතෝපදේශ 15:23 සසඳන්න.
ඔබ දෙමාපියන්ගේ අඩුලුහුඬුකම් ගැන අවධානය යොමු කරනවා නම් හෝ ඔවුන් කොපමණ “අසාධාරණද” කියා ඔවුන්ට අවලාද නඟනවා නම්, ඔබ කරන්න යන්නේ ඔවුන්ව දුරස් කිරීම හෝ ඔවුන්වම ආරක්ෂා කරගන්නා තත්වයකට පත් කිරීම පමණයි. ඒ වෙනුවට ඔවුන්ගේ ක්‍රියා ඔබට බලපා ඇති ආකාරය වෙතට අවධානය යොමු කරන්න. (‘මාව ගණං ගන්නේ නැති වුණාම ඒක මට හරියට රිදෙනවා.’) ඔවුන් ඔබ ගැන බැරෑරුම් ලෙස සිතන්න වැඩි හැකියාවක් තියේවි. එමෙන්ම ‘ඇසීමට ඉක්මන් වෙන්න.’ (යාකොබ් 1:19) ඔබගේ සහෝදරයාට හෝ සහෝදරියට වැඩි අවධානයක් දීමට ඔබගේ දෙමාපියන්ට හොඳ හේතු තිබෙනවා වෙන්න පුළුවන්. සමහරවිට ඔබගේ අවධානයට පාත්‍ර නොවූ ගැටලු ඔහුට තිබෙනවා වෙන්න පුළුවන්.
නමුත් ඔබ කෝප වූ විට තරහෙන් වෙළී සිටින්න හෝ කර්කශ අයුරින් කතා කරන්න නැඹුරුවාවක් දක්වනවා නම් කිමෙක්ද? හිතෝපදේශ 25:28, “තමාගේ සිත මැඩපවත්වා නොගන්න මනුෂ්‍යයා පවුරක් නැති” නුවරකට සමාන කරනවා; තමාගේම අසම්පූර්ණ නැඹුරුවාවන්ගෙන් යටපත් වෙන්න ඔහුට ඇති හැකියාව වැඩියි. අනික් අතට, තමාගේ හැඟීම් පාලනය කරගැනීමට ඇති හැකියාව සැබෑ ශක්තියේ ලාංඡනයක්! (හිතෝපදේශ 16:32) එසේනම්, ඔබේ හැඟීම් ප්‍රකාශ කරන්න පෙර, ඇයි මඳක් සන්සුන් වන තුරු, සමහරවිට ඊළඟ දවස වන තුරු පවා නොසිටින්නේ? එමෙන්ම තත්වයෙන් ඈත්වීම, සමහරවිට ටිකක් ඇවිදීම හෝ යම් ව්‍යායාම් කිරීම උපකාරවත් බව ඔබට වැටහෙන්න පුළුවන්. (හිතෝපදේශ 17:14) ඔබගේ තොල් සැමවිටම පාලනය යටතේ තබාගැනීමෙන්, වේදනාකාරි හෝ අඥාන දෙයක් පැවසීමෙන් ඔබව වළක්වාගන්න පුළුවන්.—හිතෝපදේශ 10:19; 13:3; 17:27.
කූට අකීකරුකම
වැළකිය යුතු තවත් බොරුවළක් නම් අකීකරුකමයි. දහසය හැවිරිදි ම’රීට පෙනීගියා ඇගේ පුංචි මල්ලි පවුලේ බයිබල් පාඩමට බාධා ඇති කළ විට කවදාවත් දඬුවම් ලැබුවේ නැති බව. පෙනෙන්න තිබෙන මෙම පක්ෂග්රාහි වීම ගැන කලකිරී, ඇය පාඩමට සහභාගි වීම ප්‍රතික්ෂේප කරමින් “වර්ජනයක” නිරත වුණා. ඔබට යමක් අසාධාරණයි කියා හැඟුණු විට ඔබ කවදා හෝ නිහඬ ප්‍රතිචාරය හෝ සහයෝගීතාව නොපෙන්වීමේ ප්රයත්නයක් දියත් කර තිබෙනවාද?
එසේනම්, එවැනි කූට උපක්‍රම ඔබේ දෙමාපියන්ට ගෞරවය හා කීකරුකම පෙන්වන්න කියන බයිබල් ආඥාවට විරුද්ධව යන බව තේරුම්ගන්න. (එපීස 6:1, 2) තවදුරටත්, අකීකරුකම ඔබගේ දෙමාපියන් සමඟ ඇති සම්බන්ධතාව දුර්වල කරනවා. වඩාත්ම හොඳ දෙය වන්නේ ඔබේ දෙමාපියන් සමඟ ගැටලු සාකච්ඡා කිරීමයි. “සුදුසු [ඍජු NW] උත්තරයක් දෙන අය” අන්‍යයන්ගේ ගෞරවය දිනාගන්නා බව හිතෝපදේශ 24:26 අඟවයි. ම’රී ඇගේ මව සමඟ කාරණය සාකච්ඡා කළ විට, ඔවුන් අන්‍යොන්‍ය එකඟත්වයකට පැමිණි අතර, දේවල් හොඳ අතට හැරෙන්න පටන්ගත්තා.
තමාවම වෙන් කරගැනීමේ අන්තරාව
විශේෂ අනුග්‍රහය සමඟ කටයුතු කරන තවත් අහිතකර ක්‍රමයක් නම් තමාගේ පවුලෙන් දුරස් වීම හෝ අවධානය සඳහා නොඇදහිලිකාරයන් වෙතට හැරීමයි. මෙයයි ක’සෑන්ඩ්රාට සිදු වූයේ: “මම මගේ පවුලෙන් මාවම ඈත් කරගෙන, ඉස්කෝලෙ ඇති කරගත්ත ලෝකෙ යාළුවන්ට එකතු වුණා. මට පෙම්වතුනුත් හිටියා, හැබැයි අම්මයි තාත්තයි ඒ ගැන දැනගෙන හිටියෙ නැහැ. ඊට පස්සේ මම පුදුම අසහනයකට පත් වුණා, ඒ වගේම මම කර කර හිටියෙ හරි දේ නෙමෙයි කියල දැනගෙන හිටපු නිසා, මට දොස් නඟන හෘද සාක්ෂියක් තිබුණා. මට ඕන වුණා ඒ තත්වයෙන් ගොඩ එන්න, හැබැයි මගේ දෙමාපියන්ට කියාගන්න ක්‍රමයක් මම දැක්කේ නැහැ.”
ඔබවම ඔබේ පවුලෙන් හෝ සෙසු ඇදහිලිවන්තයන්ගෙන් වෙන් කරගැනීම භයානක දෙයක් වෙනවා—විශේෂයෙන්ම ඔබ කැලඹී ඉන්න විට හා පැහැදිලි අයුරින් නොසිතන විට. හිතෝපදේශ 18:1 මෙසේ අනතුරු අඟවයි: “තමාම වෙන්ව සිටින තැනැත්තේ තමාගේම ආශාව පස්සේ යමින්, සියලු යහපත් ප්‍රඥාවට විරුද්ධව ඇවිස්සෙන්නේය.” මේ අවස්ථාවේදී ඔබට ඔබේ දෙමාපියන් වෙතට එළඹෙන්න අපහසු බව හැඟේ නම්, හිතෝපදේශ 17:17හි විස්තර කර ඇති ආකාරයේ ක්‍රිස්තියානි මිතුරෙකුගේ සහය පතන්න: “[සැබෑ, NW] මිත්‍රයෙක් සෑම කල්ම ප්‍රේමවන්නේය, සහෝදරයෙක් ඉපද සිටින්නෙත් විපත්තියේදී පිහිටවීමටය.” සාමාන්‍යයෙන් එවැනි “සැබෑ මිත්‍රයෙක්” සභාවේ මේරූ සාමාජිකයන් අතරේ පහසුවෙන් සොයාගත හැක.
ක’සෑන්ඩ්‍රා ඇයට අවශ්‍යතාවක් හැඟුණු ඒ අවස්ථාවේදී ‘සැබෑ මිත්රයෙක්ව’ සොයාගත්තා: “චාරිකා අවේක්ෂක [සංචාරක දේවසේවක] අපේ සභාව බැහැදැක්කාම, මගේ දෙමාපියන් උනන්දු කළා එයා එක්ක වැඩ කරන්න කියලා. එයයි එයාගේ භාර්යාවයි හරිම සාමාන්‍ය අය, ඔවුන් මං ගැන ඇත්ත උනන්දුවක් පෙන්නුවා. මට ඇත්තෙන්ම පුළුවන් වුණා ඒගොල්ලන්ට කතා කරන්න. ඒගොල්ලන් මාව කොං කරයි කියලා මට දැනුණේ නැහැ. ඒගොල්ලන් වටහාගත්තා අපිව ක්‍රිස්තියානියෙක් හැටියට ඇති දැඩි කළාට අපි සම්පූර්ණ නැහැයි කියන එක.” ක’සෑන්ඩ්රාට උවමනා කළ දේ ගත්තොත්, ඒ තමයි ඔවුන්ගේ දිරි දීම සහ මේරූ අවවාද!—හිතෝපදේශ 13:20.
කුඩුකේඩුකමේ ඇති අන්තරාව
හිතෝපදේශ 27:4 [NW] මෙසේ අවවාද කරයි: “උදහසේ කෲරකමත්, කෝපයේ බලවත් ප්‍රහාරයත් ඇති මුත්, ඊර්ෂ්‍යාව ඉදිරියෙහි සිටිය හැක්කේ කාටද?” අනුග්‍රහය ලත් සහෝදර සහෝදරියන් කෙරෙහි ඇති කුඩුකේඩුකම හා ඊර්ෂ්‍යාව සමහර යෞවනයන්ව ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීමට පොලඹවා තිබෙනවා. එක් ස්ත්‍රියක් මෙසේ නොවළහා පිළිගනියි: “පොඩි කාලෙ මට සිහින්, තුනී, දුඹුරු පාට කොණ්ඩයක් තිබුණා, ඒ වගේම මගේ සහෝදරීට තිබ්බේ එයාගේ ඉණ ගාවට වැටෙන ලස්සන රන්වන් පාට කොණ්ඩයක්. මගේ තාත්තා හැම තිස්සෙම එයාගේ කොණ්ඩෙ ගැනම තමයි කතා කළේ. තාත්තා එයාට කිව්වේ එයාගේ ‘රපන්සෙල්’ කියලයි. එක රෑක එයා නිදියගෙන ඉන්න කොට, මම අම්මා මහන වැඩවලට ගන්න කතුර අරගෙන, සද්ද නැතුව ඇඳ ගාවට ගිහිල්ලා මට කපන්න පුළුවන් තරං කොණ්ඩෙ කැපුවා.”—අඩෙල් ෆාබ’ හා ඉලේන් මස්ලිෂ් විසින් රචිත සිබ්ලිංස් ව්තැවුට් රයිවල්රි (විරෝධය නොමැති සොයුරු සොයුරියෝ).
ඉඳින්, කුඩුකේඩුකම “මාංසයේ ක්‍රියා” අතුරෙන් එකක් හැටියට බයිබලයේ නම් කිරීම පුදුම දනවන දෙයක් නෙවෙයි. (ගලාති 5:19-21, NW; රෝම 1:28-32) කොහොම වුණත්, “කුඩුකේඩු වීමට ඇති නැඹුරුවාව” අප සියලුදෙනා අතරෙම පවතිනවා. (යාකොබ් 4:5, NW) ඉතින් ඔබ ඔබගේ සහෝදරයා හෝ සහෝදරිය කරදරයකට ඇදවට්ටන්න නැත්නම් නරකයි කියා පෙන්වන්න හෝ වෙන යම් විධියකින් එයාලව කපල කොටලා දාන්න සැලසුම් කරන බවක් පෙනෙයි නම්, කුඩුකේඩුකම හොඳාකාරයෙන් “දොරකඩ ලැග” සිටිමින්, ඔබව පාලනයට නතු කරගැනීමට උත්සාහ කරනවා වෙන්න පුළුවන්!
එවැනි හානිකර හැඟීම් ඔබ තුළ පැසවමින් තිබේ නම් ඔබ කළ යුත්තේ කුමක්ද? පළමුව, දෙවිට ඔහුගේ ආත්මය ඉල්ලා යාච්ඤා කරන්න. ගලාති 5:16 පවසයි මෙසේ: “[ආත්මය] කරණකොටගෙන හැසිරෙන්න, එවිට නුඹලා මාංසයේ තෘෂ්ණා සම්පූර්ණකරන්නේ නැත.” (තීතස් 3:3-5 සසඳන්න.) ඔබගේ සහෝදරයාට හෝ සහෝදරියට ඇති සැබෑ හැඟීම් ගැන ගැඹුරින් කල්පනා කිරීමටත් එය උපකාරවත් විය හැක. ඔබට අමනාපය ඇතත්, එම තැනැත්තා කෙරෙහි මොන යම් හෝ ප්‍රේමයක් නැහැයි කියා කියන්න ඔබට ඇත්තටම පුළුවන්ද? මන්ද, ශුද්ධ ලියවිලි පවසන්නේ “ප්‍රේමය ඊර්ෂ්‍යාවෙන්නේ නැත” කියායි. (1 කොරින්ති 13:4) එමනිසා නිෂේධාත්මක, කුඩුකේඩුකම ඇති කරන සිතුවිලිවල ඇලී ගැලී සිටීමට එරෙහි වන්න. ඔහු හෝ ඇය ඔබේ දෙමාපියන්ගේ විශේෂ අවධානයට හසු වෙනවා නම් එම තැනැත්තා සමඟ ප්‍රීතිවීමට උත්සාහ කරන්න.—රෝම 12:15 සසඳන්න.
ඔබේ දෙමාපියන් සමඟ ඔබ කරන සංවාදත් මේ සම්බන්ධයෙන් උපකාරවත් වන බවට ඔප්පු වෙන්න ඉඩ තිබෙනවා. ඔබට වැඩි අවධානයක් දෙන්න අවශ්‍යයි කියා ඔවුන්ට ඒත්තු ගියොත්, ඔබේ සහෝදරයා හෝ සහෝදරිය කෙරෙහි ඇති කුඩුකේඩු හැඟීම්වලින් ගොඩ එන්න මෙය ඔබට බොහෝ සෙයින් උපකාරවත් වෙන්න යනවා. නමුත් නිවසේ තත්වය හොඳ අතට හැරෙන්නේ නැත්නම් හා විශේෂ අනුග්‍රහය දිගටම පවතිනවා නම් කිමෙක්ද? ඔබේ දෙමාපියන්ට විරුද්ධව කුපිත වෙන්න එපා; ඒ වගේම කෑ ගසන්නවත්, කැරලිගසන්නවත් යන්න එපා. උපකාරාත්මක, කීකරු ආකල්පයක් පවත්වාගැනීමට උත්සාහ කරන්න. අවශ්‍ය නම්, ක්‍රිස්තියානි සභාව තුළ සිටින මේරූ අයගේ උපකාරය පතන්න. සියල්ලන්ටම ඉහළින්, යෙහෝවා දෙවිට කිට්ටු වන්න. ගීතිකාකරුගේ වචන සිහියේ තබාගන්න: “මගේ පියාද මවද මා අතහැරියද යෙහෝවා මා පිළිගන්නේය.”—ගීතාවලිය 27:10, NW.
[පාදසටහන්වල]
a සමහර නම් වෙනස් කොට ඇත.
b පිබිදෙව්!හි 1997 නොවැම්බර් 8 කලාපයේ “ඇයි මගේ සහෝදරයාට මුළු අවධානයම ලැබෙන්නේ?” යන ලිපිය බලන්න.
[18වන පිටුවේ පින්තූරය]
ඔබට මදිපුංචිකමක් කර ඇතැයි කියා ඔබට හැඟෙන බව පැහැදිලි කිරීමෙන් ගැටලුව නිරාකරණය වීමට ඉඩ ඇත