මස් තෙල් හැළියකින් පාඩමක්
යුද්ධයේ සංත්‍රාසයන් මගේ මුල්ම මතකයන්ගෙන් සමහරක්; විශේෂයෙන්ම මට අවුරුදු හතරක්ව තිබියදී IIවන ලෝක යුද්ධය අවසානයේදී අපේ ජීවිත බේරාගැනීමට ගිය අවස්ථාවන්. ඒ කාලයේදී ජර්මනියේ කොටසක්ව තිබුණු නැඟෙනහිර ප්‍රසියාවෙයි හත්දෙනෙකුගෙන් යුත් අපේ පවුල ජීවත් වුණේ.
මම තැතිගත් දෑසින් බියකරු අඳුර තුළට එබී බැලුවේ, ළඟා වන රුසියානු බෝම්බ හෙළන්නන්ගේ යුධ යානා පෙළට සවන් දෙමිනුයි. එකපාරටම, ඇස් නිලංකාර කරවමින්, කන් අඩි පුපුරවමින් යාර කීපයකට ඈතින් තෙල්-ටැංකි පුපුරවා හරිනු ලැබුවා. දුම්රිය මාර්ගයේ තිබෙද්දීම අපි හිටිය දුම්රිය එහාට මෙහාට පැද්දෙන්න ගත්තා; මිනිස්සු මරහඬ දුන්නා. නමුත් ටික වෙලාවකින් බෝම්බ හෙළන යුධ යානා ඉවත්ව ගිය අතර, අපි අපේ ගමන ගියා.
තවත් අවස්ථාවකදී අපි ගමන් කරමින් සිටි සතුන් ගෙන යන දුම්රිය මැදිරියෙන් ස්ත්‍රියක් කෑගහගෙන පනින්න හදන කොට අඩ නින්දක පසු වුණ මා අවදි වුණා. තාත්තා ඇයව වළක්වා, ඇයව නැවතත් ඇතුලට ඇදලාගත්තා. තම ළදරුවා වඩාගෙන ඉන්දැද්දීම දොර අසල ස්ත්‍රියට නින්ද ගිහින්. අවදිව බලන විට, ළදරුවා අධික ශීතලෙන් මියගිහින් බව ඇය දැනගත්තා. එවිට මිනිස්සු මිනිය එළියේ හිමට විසි කළා; ශෝකයෙන් පිරි මව තම දරුවා එක්කම මැරෙන්න, දොර ඇරලා පනින්න උත්සාහ කළා.
තද ශීතල අඩු කරගැනීමට සතුන් ගෙන යන අපේ මැදිරියේ මැද ලොකු රවුම් ගිනි උදුනක් තබා තිබුණා. මැදිරියේ එක කෙළවරක තිබුණ දර ටික අල උයන්න ඉතාමත්ම පරෙස්සමින් පාවිච්චි කළා. අල උඩ නිදාගැනීමෙන් මැදිරි පොළොවේ ලෑලිවල අධික ශීතලෙන් යන්තමින් හෝ මිදෙන්න පුළුවන් වුණ නිසා, ඒවා අපේ ඇඳන් වශයෙනුත් මෙහෙයක් ඉටු කළා.
අපේ ජීවිත ගළවාගන්න අපි පලා යමින් සිටියේ ඇයි? සරණාගතයන් වශයෙන් අපේ පවුල මාස ගණනක් ජීවත් වුණේ කොහොමද? ඔබට පවසන්න මට ඉඩහරින්න.
යුදෙව් උරුමය
දරුවන් පස්දෙනාගෙන් බාලම දරුවා වන මම ඉපදුණේ 1940 දෙසැම්බර් 22වනදා නැඟෙනහිර ප්‍රසියාවේ (දැන් එල්ක්, පෝලන්තය) ලික්වලයි. ආගමික පීඩා, මගේ යුදෙව් මුතුන්මිත්තන්ට 1700 ගණන්වල අගභාගයේදී ජර්මනිය හැර යන්න බල කර තිබෙනවා. ඉතිහාසයේ විශාලතම ජන පිරිසක් රට අත්හැර ගිය අවස්ථාවකදී ඔවුන් රුසියාවේ පදිංචියට ගියා. ඉන්පසු, 1917දී රුසියාවේ යුදෙව්වන්ට විරුද්ධව සිදු කළ පීඩාවලින් ගැළවෙන්න මගේ යුදෙව් ජාතික සීයා, වොල්ගා ගඟ අසල පිහිටි ඔහුගේ ගමෙන් නැඟෙනහිර ප්‍රසියාවේ පදිංචියට ගියා.
සීයා ජර්මන් පුරවැසිභාවය ලබාගත් අතර, නැඟෙනහිර ප්‍රසියාව ආරක්ෂිත ක්ෂේම භූමියක් මෙන් පෙනෙන්න තිබුණා. යුදෙව් මුල් නම් තිබූ අය ආර්යයන්ගේ නම් ඈඳාගත්තා. මෙලෙස ෆ්‍රීඩ්රිච් සාලෝමෝන් වන මගේ තාත්තා ෆ්‍රිට්ස් බවට ප්‍රසිද්ධ වුණා. අනිත් අතට, අම්මා, ප්‍රසියානු ජාතික කාන්තාවකව හිටියා. ඇය සහ සංගීතඥයෙකු වූ තාත්තා 1929දී විවාහ වී තිබුණා.
මගේ දෙමව්පියන්ට ජීවිතය සතුටෙන් හා පොරොන්දුවලින් පිරි එකක් වුණා. ආච්චි, ෆ්‍රේඩෙරීකෙ සහ ආච්චිගේ අම්මා, විල්හෙල්මීනේ (අම්මාගේ පැත්තෙන්) සතුව සෑහෙන විශාල ගොවිපොළක් තිබුණා; මගේ දෙමාපියන්ට හා දරුවන් වන අපිට එය දෙවෙනි නිවසක් වුණා. සංගීතය, අපේ පවුල් ජීවිතයේ විශාල කාර්යයක් ඉටු කළා. අම්මා, තාත්තාගේ නැටුම් කණ්ඩායමේ බෙර වාදනය කළා.
නාට්සි අත් පත් කරගැනීම
වර්ෂ 1939දී, දේශපාලනික ක්ෂිතිජය මත අඳුරු වලාවන් නැඟෙමින් තිබුණා. යුදෙව් කරදරයට අවසාන විසඳුමක් කියා ඇඩොල්ෆ් හිට්ලර් පැවසූ දෙයින් මගේ දෙමාපියන් කනස්සලු වෙන්න පටන්ගත්තා. දරුවන් වන අපිට, අපේ යුදෙව් උරුමය ගැන දැනගන්න ලැබිලා තිබුණෙවත්, 1978දී අම්මාගේ මරණය සිද්ධ වෙන තුරුම—ඒ කියන්නේ තාත්තා මැරිලා අවුරුදු නවයක් යන තුරුම—අපි ඒ ගැන දැනගෙන හිටියේවත් නෑ.
කිසි කෙනෙක් ඔහු යුදෙව්වෙක් කියලා සැක කරන්නේ නැති වෙන්න තාත්තා ජර්මන් හමුදාවට බැඳුණා. පටන්ගැන්මෙදි ඔහු හමුදාවේ සංගීත කණ්ඩායමේ සේවය කළා. කොහොමනමුත්, පෙනෙන හැටියට, ඔහුගේ වතගොත දැනගෙන හිටිය කෙනෙක් ඔහු යුදෙව්වෙක් බව පැවසූ අතර අපේ මුළු පවුලෙන්ම ප්‍රශ්න කර, ඡායාරූප ගත්තා. අපිට යුදෙව් පෙනුමක් තියෙනවාද, නැද්ද කියලා තීරණය කරන්න නාට්සි ප්‍රවීණයෝ උත්සාහ කළා. ඔවුන් අපිව ආර්යයන් හැටියට දකින්න ඇති; ඒ නිසා භාග්‍යයකට වගේ, ඔවුන් අපිව අත්අඩංගුවට ගත්තේවත් සිර කළේවත් නෑ.
ජර්මනිය 1939 සැප්තැම්බර් 1වෙනිදා පෝලන්තය ආක්‍රමණය කළ අවස්ථාවේදී, වතාවක සාමකාමීව තිබූ අපේ ප්‍රදේශයෙහි භය රජ කරන්න පටන්ගත්තා. වහාම ආරක්ෂිත ප්‍රදේශයක පදිංචියට යන්න අම්මාට ඕනෙ වුණත්, නාට්සි නිලධාරීන් බලෙන් අපිව වැළැක්වුවා. ඉන්පසුව, 1944 ගිම්හාන කාලේදී, නැඟෙනහිර ප්‍රසියාවට රුසියානු හමුදා ඇදී ආ විට, ජර්මන් ජාතිකයන් ලික් සහ ඒ අවට ප්‍රදේශවලට පිට වී යන්න තීරණය කළා. ජූලි මාසයේ එක් දිනකදී, අපේ නිවස අත්හැර යන්න අපිට දීලා තිබුණේ පැය හයක කාලයක් පමණයි.
තැතිගත් විශාල ජනකායකගේ නික්ම යෑම
අම්මා කම්පනයට පත් වෙලා හිටියා. මොනවාද ගෙනියන්නේ? කොහෙටද යන්නේ? යන්නේ කොහොමද? අපිට ආයි කවදා හරි එන්න ලැබෙයිද? හැම පවුලකටම ගෙන යා හැකි දේවල් ඉතා සීමිත වුණා. අපිට පහසුවෙන් ගෙන යන්න පුළුවන් බේකන් කෑලි සහ මස් තෙල් පුරවපු ලොකු මැටි කළයක් ඇතුළු මූලික දේවල් අම්මා ඥානවන්ත ලෙස තෝරගත්තා. අනික් පවුල් තමන්ගේ වටිනා ද්‍රව්‍යමය දේවල් ගෙනියන්න තෝරගත්තා.
රුසියානු යුධ භටයන් 1944 ඔක්තෝබර් 22වෙනිදා නැඟෙනහිර ප්‍රසියාවට ඇතුල් වුණා. ලේඛකයෙක් මෙසේ පැහැදිලි කළා: “තමන්ගේම පවුල් සාමාජිකයන්ව ඝාතනය කරනවා සහ තමන්ගේම නිවාස සහ ඵල භෝග පුලුස්සා දමනවා දුටු රුසියානු භටයන්ට පළිගන්න වුවමනා වීම පුදුමයක් නෙමෙයි.” වෙච්ච විනාශය නැඟෙනහිර ප්‍රසියාව පුරා සෑහෙන කම්පනයක් ඇති කළ අතර ජනයා තැතිගෙන පලා ගියා.
ඒ වන විට අපි නැඟෙනහිර ප්‍රසියාවේ ඈත බටහිරේ ජීවත් වන සරණාගතයන් වී සිටියා. පෙනෙන විදිහට ගැළවී යන්න තිබුණ එකම මාර්ගය බෝල්ටික් මුහුද වුණ නිසා සෙනඟ ඩැන්සිග්හි (දැන් පෝලන්තයේ ගඩාන්ස්කි) වරාය සහිත නගරයට පලා ගියා. බේරාගැනීමේ හදිසි මෙහෙයුම් සඳහා එහි නැව් සූදානම් කර තිබුණා. ඩැන්සිග් අසල ගඩිනියවලින් 1945 ජනවාරි 30වෙනිදා පිටත් වුණ, ජර්මානු මඟීන් ගමන් ගන්නා විල්හෙල්ම් ගුස්ට්ලොෆ් නැවට නඟින්න, ඒ දක්වා අපිව ගෙනියන දුම්රිය අපේ පවුලට මඟහැරුණා. රුසියානු ටෝපිඩෝ ප්‍රහාරක මගින් නැව ගිල්වූ අතර ගමන් ගත් 8,000දෙනෙක් ශීතල වතුරේ ගිලී මැරුණ බව අපිට පසුව දැනගන්න ලැබුණා.
මුහුදෙන් පලා යන මාර්ගය වැසී ගිය විට අපි බටහිර බලා ගමන්ගත්තා. මෙහි හැඳින්වීමේ විස්තර කළ පරිදි, හමුදාවෙන් තාවකාලිකව නිවාඩු ගෙන සිටි තාත්තා අපේ දුම්රිය ගමනේ කොටසකට අප හා එකතු වුණා. වැඩි කල් නොගොස් ඔහුට යළිත් හමුදා සේවයට යන්න සිද්ධ වුණ අතර, අනතුරුදායක දීර්ඝ ගමනේ අපි දිගටම යෙදුණා. අම්මා මස් තෙල් හැළිය පරෙස්සම් කරගත්තේ එක වතාවකට ස්වල්පයක් පාවිච්චියට ගනිමිනුයි. ගමනේ යෙදෙන අතරතුර අපිට එහෙන් මෙහෙන් එකතු කරගන්න ලැබුණ මොනයම් ආහාරයක් එක්ක හෝ එය කෑමට ගන්න පුළුවන් වූ අතර දීර්ඝ, ශීත ඍතුවේදී අපේ පණ රැකුණේ එය නිසයි. මොනම රනකට හෝ රිදියකට වඩා ඒ මස් තෙල් හැළිය වටිනා බව ඔප්පු වුණා!
අවසානයේදී, ජර්මන් සොල්දාදුවන් සහ රතු කුරුස හමුදාව දුම්රියපොළ අසල පිහිටුවා තිබූ සුප් සහනාධාර සපයන ස්ටාගාට් නගරයට අපි සේන්දු වුණා. අධික කුසගින්නේ පසු වෙන දරුවෙකුට ඒ සුප් එක දිව්‍ය ඖෂධයක් වුණා. කල් යත්ම, අපි කුසගින්නෙන්, හොඳටම හෙම්බත් වෙලා, නමුත් පණ රැකුණට ස්තුතිවන්ත වෙමින් ජර්මනියේ හැම්බර්ග් වෙත ආවා. යුද්ධයේදී සිරකරුවන් වූ රුසියානුවන් හා පෝලන්ත ජාතිකයන් සමඟ, අපිව එල්බ ගඟ අසල ගොවිපොළකට දැමුවා. වර්ෂ 1945 මැයි 8වෙනිදා යුරෝපයේ යුද්ධය එහි අවසානයට පැමිණෙද්දී අපි ඉතා අස්ථිර තත්වයකට පත්ව සිටියා.
සරණාගතයන් වශයෙන් ජීවිතය
අමෙරිකානුවන් තාත්තාව සිර කර තැබුව අතර ඔහුට ඔවුන්ගෙන් හොඳ සැලකිල්ලක් ලැබුණා; ඒ, විශේෂයෙන්ම ඔහු සංගීතඥයෙක් බව ඔවුන් දැනගත් විටයි. ඔවුන්ගේ නිදහස් දිනය සැමරීමේදී ඔවුන් ඔහුගේ සංගීත කුසලතා යොදාගත්තා. ඉන් ටික දවසකට පස්සේ, ඔහුට එතැනින් ගැළවී හැම්බර්ග්වලට එන්න හැකි වුණ අතර, අපිට නැවතත් ප්‍රීතියෙන් එකතු වෙන්න පුළුවන් වුණා. අපි පොඩි ගෙයක පදිංචි වූ අතර වැඩි කලක් යන්න පෙර, අපේ ආච්චිලා දෙන්නට කරදරයක් නැතුව ඇවිත් අපිට එකතු වෙන්න පුළුවන් වුණා.
කෙසේවුවත්, කල් යත්ම, අපේම ලූතරන් පල්ලිය ඇතුළු ප්‍රදේශවාසීන් සරණාගතයන් බොහෝදෙනෙක් එක්ක විරසක වෙන්න පටන්ගත්තා. එක සැන්දෑවක දේවගැති අපේ පවුල බැහැදකින්න ආවා. සරණාගතයන් වශයෙන් වූ අපේ තත්වය ගැන අපහාසාත්මක දෙයක් පැවසීමෙන් ඔහු වුවමනාවෙන්ම අමනාපයක් ඇති කරන්න හදන බව පෙනෙන්න තිබුණා. ශක්තිසම්පන්න සිරුරක් ඇති තාත්තාට කේන්ති ගිහින් දේශනාකරුට පහර දුන්නා. අපේ අම්මයි, ආච්චිලයි තාත්තාව වැළැක්වුවා. නමුත් ඊට පස්සේ ඔහු පූජකයාව ඔහුගේ කකුලෙන් උස්සා, දොර ළඟට ගෙනිහින් එළියට තල්ලු කරලා දැම්මා. එදා පටන් ඔහුගේ වහල යට කිසිම ආගමික සාකච්ඡාවක් පැවැත්වීම තහනම් කළා.
මේ සිද්ධියෙන් ටික දවසකට පස්සේ, තාත්තා ජර්මානු දුම්රිය සේවයේ වැඩ කරන්න ගත් අතර, අපි හැම්බර්ග්වල දේශසීමාවේ ස්ථානයකට ගිහින් පාවිච්චි කරලා නැති දුම්රිය මැදිරියක පදිංචි වුණා. පසුව, තාත්තා අපිට සෑහෙන නිවසක් තැනුවා. නමුත් සරණාගතයන්ට දැක්වූ වෛරය දිගටම පැවතුණ අතර, බාලයෙක්ව සිටි මා ප්‍රාදේශීය ළමයින්ගේ ශාරීරික සහ චිත්තවේගීය තාඩන පීඩනවලට කොටු වුණා.
ආගම සම්බන්ධයෙන් අපේ පවුලේ තේරීම
ළමයෙක්ව සිටි මම, මගේ ආච්චිලා දෙන්නාගේ කාමරයේ නිදාගත්තා. තාත්තාගේ තහනම් නියෝග තිබුණත්, තාත්තා ළඟපාත නැති වෙලාවල ඔවුන් දෙන්නාම මට නිතර දෙවි ගැන කියා දී, ගීතිකා ගායනා කර, ඔවුන්ගේ බයිබල් කියෙව්වා. මගේ ආත්මික උනන්දුව අවදි වුණා. ඉතින්, මට අවුරුදු දහයක කාලයේදී, ඉරිදා දිනවල පල්ලියට යන්නයි එන්නයි හැතැප්ම හතක විතර දුරක් ඇවිද්දා. එහෙත්, මං ඇහැව්ව ප්‍රශ්න බොහෝමයකට සෑහීමකට පත් වෙන්න පුළුවන් උත්තර නොලැබුණු නිසා මම අධෛර්යයට පත් වුණ බව මා පැවසිය යුතුයි.
ඉන්පසු, 1951 ගිම්හානයේදී, හොඳින් ඇඳ පැළඳගත් තැනැත්තෙක් අපේ දොරට තට්ටු කරලා, මුරටැඹ සඟරාවක පිටපතක් අම්මාට ඉදිරිපත් කළා. “මුරටැඹ දෙවිගේ රාජ්‍යයට එබී බැලීමට තීක්ෂ්ණ බුද්ධිය ලබා දෙනවා” කියා ඔහු පැවසුවා. මම ආශා කළේ ඒ දේ නිසා මගේ හෘදයේ අමුතු ප්‍රීතියක් ඇති වුණා. අම්මා ඉතා කාරුණිකව ප්‍රතික්ෂේප කළේ තාත්තා ආගමට විරුද්ධ වූ නිසා බවට සැකයක් නෑ. කොහොමනමුත්, මම ඇයගෙන් කොයිතරම් ඉල්ලා සිටියාද කිව්වොත්, ඇය මෘදුගතියක් දක්වලා, මට පිටපතක් ලබා දුන්නා. ටික කාලෙකට පස්සේ, එර්නෙස්ට් හිබිං නැවත ඇවිල්ලා, “දෙවි සැබෑ වේවි” (ඉංග්‍රීසියෙන්) කියන පොත තබා ගියා.
මේ වෙන කොට, වැඩ කරද්දී අනතුරකට ලක් වී තාත්තාගේ කකුල කැඩුණා. ඉතින් ඔහුට ගෙදරටම වෙලා ඉන්න සිද්ධ වුණ එක ඔහුට මහත් හිරිහැරයක් වුණා. ඔහුගේ කකුලට ප්ලාස්ටරයක් දාලා තිබුණත්, ඔහුට කොර ගගහ ඇවිදින්න පුළුවන්කම තිබුණා. දවල් කාලේදී ඔහු අතුරුදහන් වෙලා කෑම වෙලාවලදී පමණක් පැමිණීම ගැන අපිට තේරුම්ගන්න බැරුව ගියා. මෙය මුළු සතියක් පුරාම පැවතුණා. තාත්තා අතුරුදහන් වූ හැම වෙලාවේදීම මගේ පොතත් අතුරුදහන් වූ බව මම දැක්කා. ඊට පස්සේ, කෑම වෙලාවකදී තාත්තා මට මෙහෙම කිව්වා: “අර මිනිහා ආයි ආවොත්, මට ඕනෙ හම්බ වෙන්න!”
සහෝදර හිබිං නැවතත් ආ විට, අපිව පුදුමයට පත් කරමින් තාත්තා මේසේ උඩට පොත දමලා ගහලා, මෙහෙම කිව්වා: “මේ පොත තමයි සත්‍යය!” ඒ මොහොතෙම බයිබල් පාඩමක් පටන්ගත් අතර, කල් යත්ම පවුලේ අනිත් සාමාජිකයන්ද පාඩමට හවුල් වුණා. සහෝදර හිබිං මට විශ්වාසවන්ත උපදේශකයෙක් සහ සැබෑ මිත්‍රයෙක් වුණා. මගේ අලුත් විශ්වාසයන් බෙදාගැනීමට වෑයම් කළ නිසා නොබෝ කලකින් මාව ඉරිදා ඉස්කෝලෙන් අස් කළා. එනිසා, මම ලූතරන් පල්ලියෙන් අයින් වුණා.
වර්ෂ 1952 ජූලි මාසයේදී මම ගෙයින් ගෙට දේවරාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමෙහි මගේ ආදරණීය මිත්‍රයා සමඟ හවුල් වුණා. හැම ඉරිදාවකම, තමා නිවැසියන්ට පණිවිඩය ඉදිරිපත් කළ ආකාරයට පරෙස්සමින් ඇහුම්කන් දෙන්න කියා සහෝදර හිබිං මට අවවාද කරනවා. සති කීපයකට පස්සේ, ඔහු විශාල ගෙවල් පේළියක් පෙන්වා මෙසේ පැවසුවා: “ඔයා තනියෙන්ම ඒ ගෙවල් පේළියේ වැඩ කරන්න.” කාලයාගේ ඇවෑමෙන්, මම මගේ බයාදු ගතියෙන් ජයගෙන, ජනයාට කතා කරමින් හා ඔවුන් වෙත බයිබල් පොත් පත් තබමින් හොඳ සාර්ථකත්වයක් ලබාගත්තා.
වැඩි කලක් යන්න ඉස්සෙල්ලා, යෙහෝවාට මගේ කැපවීමේ සංකේතයක් වශයෙන් බව්තීස්ම වීම සඳහා සුදුසුකම් ලැබුවා. තාත්තායි, මායි, දෙන්නම 1953 මාර්තු 29වෙනිදා බව්තීස්ම වූ අතර, පසුව ඒ අවුරුද්දෙම අම්මත් බව්තීස්ම වුණා. අවසානයේදී, මගේ සහෝදරී, ඒරීකා; මගේ සහෝදරයන් හයින්ට්ස්, හෙර්බෙට් සහ වෙර්න මෙන්ම 80 ගණන්වල පසු වූ අපේ සදාදරණීය ආච්චිලා දෙන්නා ඇතුළු අපේ පවුලේ සාමාජිකයන් සියලුදෙනාම බව්තීස්ම වුණා. ඉන්පසු, 1959 ජනවාරිවලදී පූර්ණ-කාලීන දේවසේවකයන්ව හඳුන්වන ආකාරයට මම පුරෝගාමියෙක් බවට පත් වුණා.
අලුත් දේශෙක මෙහෙය
ජර්මනිය අත්හැර යන්න කියලා තාත්තා නිතරම මට කියන්න වුණා; ඒකට හේතුව වුණේ, මම හිතන විදිහට අතීතයේ සිද්ධ වූ දේවල් නිසා යුදෙව්-විරෝධය ගැන නොකඩවා ඔහු තුළ පැවති බියයි. පැපුවා නියූගිනිවල හෝ වෙනත් පැසිෆික් දූපතක මිෂනාරියෙක් හැටියට සේවය කරන්න මෙය පඩි-ගලක් වේවි යන බලාපොරොත්තුවෙන් මම ඕස්ට්‍රේලියාවට යෑමට අයැදුම් කළා. මගේ සහෝදර වෙර්න සහ මම 1959 ජූලි 21වෙනිදා ඕස්ට්‍රේලියාවේ මෙල්බෝර්න්වලට පැමිණුණා.
සති කීපයක් ඇතුළතදී, මට මෙල්වා පීට’ස්ව හමු වුණා; ඇය ෆූට්ස්ක්‍රේ සභාවේ පූර්ණ-කාලීන දේවසේවිකාවක් හැටියට සේවය කරමින් සිටි අතර අපි 1960දී විවාහ වුණා. අපිට දියණියන් දෙදෙනෙක් ලැබීමට ආශීර්වාද ලැබුණ අතර ඔවුනුත් යෙහෝවා දෙවිට ප්‍රේම කළා; ඔවුන්ගේ ජීවිත ඔහුට කැප කළා. පවුලක් වශයෙන් අපිට වඩා හොඳින් ආත්මික ඉලක්ක ලුහුබඳින්න පුළුවන් වෙන විදිහට අපේ ජීවිත සරලව සහ නිරවුල්ව තබාගැනීමට අපි සෑහෙන උත්සාහයක් දැරුවා. සෞඛ්‍ය ගැටලු ඇයව වළක්වන තුරුම මෙල්වා බොහෝ අවුරුදු ගණනක් පුරා දිගටම පුරෝගාමියක් හැටියට සේවය කළා. දැන් මම කැන්බරා නගරයේ බෙල්කෝනන් සභාවේ වැඩිමහල්ලෙක් මෙන්ම පුරෝගාමියෙක්.
මගේ ළමා කාලේ මුල්භාගයේදී ලැබූ අද්දැකීම්වලින් යෙහෝවාගේ සැපයුම්වලින් සතුටු වීමට හා තෘප්තිමත් වීමට මම ඉගෙනගෙන තිබෙනවා. අම්මාගේ තෙල් හැළියෙන් නිදර්ශනය කළ පරිදි, බේරීම රඳාපවතින්නේ රන් හෝ රිදී මත නොවෙයි, නමුත් මූලික ද්‍රව්‍යමය අවශ්‍යතා මත වන අතර, වඩාත්ම වැදගත් දේ, දේවවචනය වන බයිබලය පාඩම් කර, එය උගන්වන දේ අදාළ කරගැනීම බව අගය කරන්න මට පුළුවන් වී තිබෙනවා.—මතෙව් 4:4.
යේසුගේ මව වන මරියාගේ මේ ගැඹුරු වචන ඇත්තෙන්ම සත්‍යයි: “[යෙහෝවා] බඩගිනිවූවන් යහපත් දෙයින් තෘප්තියට පමුණුවා, වස්තුකාරයන් හිස් අතින් [හැරියේය].” (ලූක් 1:53) මුනුබුරු මිනිබිරියන් හත්දෙනෙක් ඇතුළු මගේ පවුලේ සාමාජිකයන් 47දෙනෙක්, බයිබල් සත්‍යය අනුව ගමන් කරමින් සිටීම සන්තෝෂයට කරුණක්. (3 යොහන් 4) මේ සියල්ලන් සමඟ හා අපේ ආත්මික දරුවන් මෙන්ම මුනුබුරු මිනිබිරියන් සමඟ, මෙල්වා සහ මම යෙහෝවාගේ මෘදු සැලකිල්ල යටතේ සුරක්ෂිතභාවයෙන් යුත් චමත්කාර අනාගතයක් ලැබීම දෙසත්, අපේ සෙසු ප්‍රේමනීයයන් නැවත නැඟිටුණු විට ඔවුන් සමඟ නැවත උදාර එකතු වීම දෙසත් ආශාවෙන් බලා ඉන්නවා.—කූර්ට් හාන් පැවසූ පරිදි.
[25වන පිටුවේ පින්තූරය]
1944දී රුසියානු හමුදා නැඟෙනහිර ප්‍රසියාවට ඇදී එමින්
[හිමිකම් විස්තර]
Sovfoto
[27වන පිටුවේ පින්තූරය]
මගේ සහෝදර හයින්ට්ස්, සහෝදරිය ඒරීකා, මව, සහෝදරයන් හෙර්බෙට් සහ වෙර්න මෙන්ම මම ඉදිරිපසින්
[28වන පිටුවේ පින්තූරය]
මගේ භාර්යාව වන මෙල්වා සමඟ
[28වන පිටුවේ පින්තූරය]
මස් තෙලින් පිරි මේ වගේ හැළියක් අපේ පණ රැක්කා