ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g97 10/8 28-29 පි.
  • පාදවල වේදනාවට සහනයක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාදවල වේදනාවට සහනයක්
  • 1997 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ප්‍රමාණය, මෝස්තරය සහ පාද
  • සාප්පු යන විට පොඩි අවවාදයක්
  • ඔබේ පාවහන් පයට පහසුද?
    2003 පිබිදෙව්!
  • ඇවිදින්න යමුද?
    2004 පිබිදෙව්!
  • පටුන
    2003 පිබිදෙව්!
1997 පිබිදෙව්!
g97 10/8 28-29 පි.

පාදවල වේදනාවට සහනයක්

“මගේ කකුල් දෙක පැළෙන තරම් කකියනවා!” මෙය වේදනාව වැඩි කර දැක්වීමක් බව අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ. කොහොම වුණත්, පාදවල වේදනාව හා සම්බන්ධ ගැටලු එක්සත් ජනපදයේ සෑහෙන බරපතළ දෙයක් නිසා, පාද විශේෂඥයන් දහස් ගණනක් තම වෘත්තියේ කාර්යබහුලව නිරත වෙමින් සිටිනවා.

සන්ධ්‍යාස්ථික ශල්‍ය වෛද්‍ය මයිකල් කොෆ්ලින් අවුරුදු 14ක කාලයක් පුරා 2,000කට වැඩියෙන් සිදු කළ පාද සැත්කම් යළි සලකා බැලීමෙන් පසු, පුදුම හිතෙන දෙයක් සොයාගත්තා. “හරිම පුදුමයි, මගේ සොයාගැනීමට අනුව මේ සැත්කම් සියල්ලම වගේ කර තිබෙන්නේ කාන්තාවන්ටයි” කියා ඔහු පවසනවා. විශේෂයෙන්ම කාන්තාවන් පාදවල ආබාධවලට ගොදුරු වෙන්නේ ඇයි?

ප්‍රමාණය, මෝස්තරය සහ පාද

කාන්තාවන් 356දෙනෙකු යොදාගනිමින් කළ සමීක්ෂණයකදී සොයාගෙන තිබෙන්නේ, සාමාන්‍යයෙන් 10දෙනෙකුගෙන් 9දෙනෙකුම වගේ ඔවුන්ගේ පාදවලට වඩා ඉතාමත් පටු සපත්තු පැළඳූ බවයි. මේ ගැටලුවේ යම් ප්‍රමාණයකට හේතුව කාන්තාවන්ගේ සපත්තු සාදා තිබෙන ආකාරයයි. “සපත්තුවේ විලුඹ කොටස පටු කිරීමත් ඉදිරිපස කොටස පළල් කිරීමත් කළ හැකි ආකාරයේ සපත්තු අච්චු සපත්තු සාදන්නන් තවදුරටත් පාවිච්චි කරන්නේ නැහැ” කියා සන්ධ්‍යාස්ථික ශල්‍ය වෛද්‍යවරියක වන ෆ්‍රාන්සෙස්ක ටොම්සන් පැහැදිලි කරනවා.a

මේ නිසා, සපත්තු පාදවලට දමා පරීක්ෂා කර බැලීමේදී, ඉදිරිපස සුවපහසු ලෙස සවි වන විට විලුඹ කොටස බුරුල් බවත්, විලුඹ කොටස සුවපහසු ලෙස තිබුණත් ඉදිරිපස තද බවත් කාන්තාවන් බොහෝදෙනෙක් සොයාගන්නවා. අනිත් අය තෝරාගන්නේ, විලුඹ කොටස සුවපහසුබවකින් හා ඉදිරිපස තදගතියකින් යුත් සපත්තුයි; මන්දයත් අනිත් වර්ගය තේරීමෙන් අදහස් වන්නේ අඩිය තබන සෑම වතාවකදීම විලුඹ ලිස්සා යන්න ඉඩ තිබෙන බවයි.

පාදයේ ඉදිරිපස කොටස අමාරුවෙන් ඇඟිලි වැසෙන පටු කොටසට එබීම පමණක්ම අපහසු දෙයක්. නමුත් මෝස්තරකරුවන් සපත්තුවේ අඩිය සෙන්ටිමීටර් කිහිපයකින් උස් කරද්දී, මේ ගැටලුව තවත් වැඩි වෙනවා. මෝස්තරයක් හැටියට සැලකුවත්, අඩි උස සපත්තුවලින් විලුඹේ පතුලට තෙරපීමක් ඇති කරවනවා; ඒ වගේම දැනටමත් පටු වී තිබෙන ඇඟිලි වැසෙන කොටස ඇතුළට පාදය තල්ලු වීමට එයින් බලයක් යොදනවා. “සෞඛ්‍යයකට හිතකර අඩි උස සපත්තු කියල දෙයක් නැහැ” කියා පාද විශේෂඥයෙකු වන වෛද්‍ය ඩේවිඩ් ගාරට් පවසනවා. අඩි උස සපත්තු පැළඳීමෙන් ඒවා පළඳින්නාගේ පාද, වළලුකර, කෙණ්ඩා, දණහිස් සහ කොන්ද යනාදියට පසු කාලයකදී හානි සිදු විය හැකියි කියා සමහරු පවසනවා. කකුලේ පේශී හා බල නහරවල ශක්තිය අඩු විය හැකියි; විශේෂයෙන්ම ධාවකයන්ට එයින් බරපතළ තුවාල සිදු විය හැකියි.

නිසි සැලකිල්ල නොදීමෙන් සිදු වන හානිවලට කාන්තාවකගේ පාදය හැඩගැසෙන්නේ නැහැ. ඇත්තෙන්ම, අවුරුදු ගණනාවක් පුරා—පුද්ගලයෙක් වැඩිහිටිභාවයට ළඟාවීමෙන් පසුව පවා—පළල් වීමට නැඹුරු වන්නේ පාදයේ ඉදිරි කොටස පමණයි. ඒත් ඒ වගේ දෙයක් විලුඹේ සිදු වෙන්නේ නැහැ. “විලුඹේ තියෙන්නේ එක අස්ථියක් විතරයි; ඒ වගේම ඒක අවුරුදු 14දී තිබුණා වගේම අවුරුදු 84දීත් පටු වී තිබෙනවා” කියා වෛද්‍ය තොම්සන් පවසනවා. මේ තත්වය නිසා කාන්තාවකට විලුඹේ සිට පයේ ඇඟිල්ල තෙක් සුවපහසු සපත්තුවක් සොයාගැනීම තවත් අමාරු දෙයක් වෙනවා.

සාප්පු යන විට පොඩි අවවාදයක්

කාන්තාවන්ගේ සපත්තුවල ප්‍රමාණය සහ මෝස්තරය ඔවුන්ට අහිතකර නිසා, පාදයේ ඇති වන වේදනාවලින් වැළකී සිටින්න පුළුවන් වන්නේ කොහොමද? මෙයට දෙන උත්තරය ආරම්භ වන්නේ සාප්පුවේදියි. ඇතැම් ප්‍රවීණයන් මතු දැක්වෙන දේවල් නිර්දේශ කර තිබෙනවා:

● සපත්තු ගන්න යද්දී දවසේ අවසාන භාගයේදී යන්න; ඒ වේලාව වන විට ඔබේ පාද තරමක් විශාල වී තිබෙනවා.

● සපත්තු—එකක් විතරක් නෙවෙයි—දෙකම දාලා බලන්න.

● සපත්තුවේ විලුඹ කොටස සුවපහසු ලෙස තිබෙන බවටත් එහි ඇඟිලි වැසෙන කොටසේ දිග, පළල සහ උස ප්‍රමාණවත්ව තිබෙන බවටත් සහතික වන්න.

● පාදවලට හානිකර සපත්තු පවා තාවකාලිකව පහසුබවක් ඇති කිරීමට සලස්වමින් සුවපහසුබවක් ගෙන දෙන ද්‍රව්‍ය අධික ලෙස අතුරා තිබෙනවාද කියා පරීක්ෂා කර බලන්න.

● විශේෂයෙන් ඔප දමන ලද සමකින් හෝ කෘත්‍රිම ද්‍රව්‍යවලින් සෑදූ සපත්තු මිල දී ගැනීමෙන් වළකින්න. සිනිඳු හම් හෝ බූල් සහිත හම්වලට වෙනස්ව එවැනි ද්‍රව්‍යයන් පාදයට අනුව හැඩගැසෙන්නේ නැහැ.

● ඔබ අඩි උස සපත්තුවක් මිල දී ගන්නවා නම්, සපත්තුවේ ඇතුල් පැත්තේ අඩියට පහසුබවක් ගෙන දීම සඳහා පදම් කළ හමක් දමා තිබෙනවාද කියා හොඳින් බලන්න. ටික වේලාවකට අඩි උස සපත්තු දමාගෙන, පසුව දවස තුළදී ඒ තරම් උස නැති අඩි සහිත සපත්තු විටින් විට දමා බලන්න.

ඉහත සඳහන් දේවලට අමතරව, සැමවිටම මතක තබාගත යුතු තවත් දෙයක් වන්නේ, මිල දී ගන්නා අවස්ථාවේදී සපත්තු සුවපහසුබවකින් යුක්ත බව දැනීමයි. බොහෝදෙනෙකුගේ පිළිගැනීමට වෙනස්ව, හරිගැස්වෙන කාල සීමාවක් නැහැ. “ඔබේ පාදයට වේදනාවක් ඇති කරවන හිර සපත්තුවක්, පාවිච්චි කිරීමත් සමඟ හරි යයි කියා ඔබට ඒත්තුගැන්වීමට අළෙවිකරුට කවදාවත්ම ඉඩහරින්න එපා” කියා වෛද්‍ය කොෆ්ලින් අවවාද කරනවා. “පාවිච්චි කරද්දී වෙන එකම දේ ඔබේ පාදය තුවාල වෙන එක විතරයි.”

ඒත් ඔබට තිබෙන එකම තේරීම විලුඹ කොටස සුවපහසුබවකින් යුත් හා ඉදිරිපස කොටස තද වන එකක් හෝ විලුඹ කොටස බුරුල්ව තිබෙන ඉදිරිපස කොටස සුවපහසුබවකින් යුත් එකක් නම් කියන්න පුළුවන් මොනවාද? වඩාත් පහසුවෙන්ම අවශ්‍ය පරිදි සකස් කරගන්න පුළුවන් එක මොකක්ද කියන එක ඔබ තීරණය කළ යුතුයි කියා පාද විශේෂඥවරියක වන වෛද්‍ය ආනූ ගෝල් පවසනවා. “මෙය කරන්න පුළුවන් විධි දෙකක් තියෙනවා” කියා ඈ පවසනවා. “මුලින්ම ඔබට පුළුවන්, ඉදිරිපස කොටසෙහි ප්‍රමාණවත් ඉඩ කඩක් තිබෙන සපත්තුවක් මිල දී ගෙන, විලුඹ කොටසට සැපපහසුබවක් ඇති කිරීම සඳහා සැහැල්ලු ද්‍රව්‍ය ඇතුල් කරන්න. . . . දෙවෙනි උපක්‍රමය වන්නේ, විලුඹ කොටස සැපපහසුව තිබෙන මෙන්ම සපත්තුවේ ඉදිරිපස කොටස ඇදෙන ගතියකින් යුත් සපත්තුවක් මිල දී ගැනීමයි. ඒත් සාමාන්‍යයෙන් මෙය ප්‍රායෝගික වන්නේ හම්වලින් සෑදූ සපත්තුවලට විතරයි.”

ගණන් බලා තිබෙන විදිහට කාන්තාවන් බොහෝදෙනෙක් දවසකට කිලෝමීටර් 15ක් ඇවිදින නිසා, තමන් පළඳින පාවහන් ගැන ඔවුන් හොඳින් පරීක්ෂා කර බැලීම ප්‍රයෝජනවත් වේවි. අමෙරිකන් හෙල්ත් නමැති සඟරාවේ කියන විදිහට, “පාදවලට වැඩි සැලකිල්ලක් දැක්වීමෙන්—විශේෂයෙන්ම තමන්ට ගැළපෙන සපත්තු පැළඳීමෙන්—ඔබට පුළුවන් කවදා හෝ පාදවල ඇති විය හැකි ආබාධ බොහොමයක් වළක්වාගන්න.”

[පාදසටහන]

a “සපත්තු අච්චුවක්” කියන්නේ, සපත්තුවක හැඩය නිර්මාණය කිරීමේදී යොදාගන්නාවූ පාදයේ හැඩයට සමාන අච්චුවකටයි.

[28වන පිටුවේ කොටුව]

පොදු පාද ආබාධ සතරක්

බනියන. බනියනයක් කියන්නේ, පාදයේ මාපටැඟිල්ලේ පතුලේ හටගන්නා ඉදිමීමක්. මෙය උපතින්ම උරුම වූවක් නොවේ නම්, හිර හෝ අඩි උස සපත්තු පැළඳීමෙන් බනියන ඇති වෙන්න පුළුවන්. උණුසුම් කිරීමෙන් හෝ ඒ මත අයිස් තැවරීමෙන් වේදනාවට තාවකාලික සහනයක් ලැබුණත්, බනියනයක් සම්පූර්ණයෙන්ම ඉවත් කර දැමීම සඳහා සැත්කමක් කළ යුතුයි.

ඇඟිලි විකෘති වීම. ඇඟිලි නැමෙන්න ඉඩ තිබෙන්නේ, පාදයේ ඉදිරිපසට දැඩි තෙරපීමක් ඇති කරවන සපත්තු පැළඳීමෙනුයි. මේ විකෘතිභාවය හරිගැස්වීම සඳහා සැත්කමක් කිරීම අවශ්‍ය විය හැකියි.

කරගැට. සමහර අවස්ථාවලදී, ඉතාමත් පටු සපත්තු පැළඳීමෙන් සිදු වන ඇතිල්ලීම හා තෙරපීම නිසා, ඇඟිලිවල කේතුවක හැඩයට සමාන ඉදිමීම් ඇති වෙනවා. නිවසේ කරන ප්‍රතිකාරවලින් තාවකාලිකව සහනයක් ලැබුණත්, ඇතිල්ලීමට හේතු වන විකෘති ඇඟිලි හරිගැස්වීම සඳහා සාමාන්‍යයෙන් සැත්කමක් කරන්න අවශ්‍යයි.

සම ගොරෝසු වීම. මැරුණු ඝන සමේ ස්තර මගින් නිතර නිතර සිදු වන ඇතිල්ලීමෙන් පාද ආරක්ෂා වෙනවා. උණු වතුරේ සහ එප්සම් ලුණු ද්‍රාවණයේ පෙඟවීමෙන් සම සිනිඳු විය හැකියි. එහෙත් විෂ බීජ ඇතුල් විය හැකි නිසා, ඒවා කපා දැමීමට උත්සාහ නොකරන්න.

[28වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

The Complete Encyclopedia of Illustration/J. G. Heck

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න