අර්බුදය වඩාත් උත්සන්න වන ස්ථාන
එක්සත් ජනපදයේ ජීවත් වන මේරි දවස ආරම්භ කරන්නේ, වතුර මලෙන් නාගෙන, ජල කරාමයෙන් නොනැවතී වතුර ගලන අතරතුර දත් මැද, වැසිකිළියට යෑමෙන් පසුව ඇගේ අත් දෙක සෝදාගැනීමෙනුයි. උදෑසන ආහාර ගැනීමට කලින් පවා නාන ටැංකිය සාමාන්‍ය ප්‍රමාණයකට පුරවාගන්න අවශ්‍ය තරම් වතුර ඈ පාවිච්චි කරන්න පුළුවන්. එක්සත් ජනපදයේ ජීවත් වන බොහෝදෙනෙකු මෙන් මේරි දවස අවසන් කරන විට, වතුර ලීටර් 350කට වැඩි ප්‍රමාණයක් පාවිච්චි කර තිබෙනවා; ඒ ප්‍රමාණය නාන ටැංකියක් වතාවන් දෙකහමාරක් පිරවීමට ප්‍රමාණවත්. ඈට නම්, ළඟම තියෙන ජල නළයෙන් පිරිසිදු වතුර ඕන තරම් ලබාගන්න පුළුවන්. ඕනෑම වේලාවක වතුර තියෙනවා; ඈට ඒකේ අගයක් තේරෙන්නේ නැහැ.
බටහිර අප්‍රිකාවේ ජීවත් වන ඩේඩිගේ කතාව ඊට වෙනස්. ඈ අරුණලු වැටෙන්න බොහෝ වේලාවකට කලින් නැඟිට, ඇඳගෙන, ඇගේ හිස මත විශාල බේසමක් සමබරව තබාගෙන, කිලෝමීටර් 8ක් දුරින් පිහිටි ළඟම තිබෙන ගඟට පයින් යනවා. ඈ ගඟෙන් නාගෙන, බේසමට වතුර පුරවාගැනීමෙන් පසු ආපසු ගෙදර එනවා. දින චර්යාවේ කොටසක් වූ මෙයට පැය හතරක් විතර ගත වෙනවා. ඊළඟ පැයේදී ඈ පරපෝෂිතයන් ඉවත් කිරීම සඳහා ඒ වතුර පෙරනවා; අනතුරුව භාජන තුනකට ඒ වතුර දමනවා; එකක් පානය කිරීම සඳහා, තව එකක් ගෙදර අයගේ පාවිච්චිය සඳහා, අනෙක් එක සැන්දෑවට ඈට නාගැනීම සඳහායි. ඇඳුම් සේදීම කළ යුත්තේ ගඟ ළඟදීයි.
“වතුර සඳහා තියෙන සාගින්න මෙහෙ ජීවත් වෙන අපිව මරුවා ළඟට කැඳවාගෙන යනවා” කියා ඩේඩි පවසනවා. “උදෑසන කාලයෙන් භාගයක්ම වතුර ගේන්න ගත වුණාට පස්සේ, ගොවිපොළේ වැඩ හෝ වෙනත් වැඩක් කරන්න ඉතුරු වෙන්නේ කොච්චර වෙලාවක්ද?”
ඩේඩිගේ තත්වය අසාමාන්‍ය එකක් නෙවෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව, දුර පිහිටි ඇළ දොළ ගංගාවලින් බොහෝවිට අපවිත්‍ර වූ ජලය ගෙන ඒම සඳහා ස්ත්‍රීන් හා දරුවන් අතිවිශාල සංඛ්‍යාවක් සෑම අවුරුද්දකම වැය කරන මුළු කාලය, අවුරුදු මිලියන දහයකටත් වඩා වැඩියි.
සමහරුන්ට තියෙනවා, තවත් අයට නැහැ
ලොව පුරා ඕනෑ තරම් මිරිදිය ජලය තිබුණත්, එය සම සේ බෙදී ගොස් නැහැ. මුල්ම ප්‍රධාන ගැටලුව එයයි. උදාහරණයක් හැටියට විද්‍යාඥයන් ගණන් බලන විදිහට, ලෝක ජනගහනයෙන් සියයට 60ක්ම ආසියා මහද්වීපයේ ජීවත් වුණත්, එම මහද්වීපයේ තිබෙන්නේ ලෝකයේ විල් හා ගංගාවල තිබෙන ජලයෙන් සියයට 36යි. ඊට වෙනස්ව, ලොව පුරා තිබෙන ගංගාවල ජලයෙන් සියයට 15ක් ඇමසන් ගංගාවේ තිබුණත්, ඒ ජලය පාවිච්චි කිරීම සඳහා ගඟ අසල ජීවත් වන මිනිසුන්ගේ ගණන ලෝක ජනගහනයෙන් සියයට 0.4ක් විතරයි. අසමාන ව්‍යාප්තිය ඒ හා සමානවම වර්ෂාපතනයටත් අදාළ වෙනවා. පොළොවේ සමහර ප්‍රදේශ සැමදාම වගේ වියළි තත්වයෙන් පවතිනවා; වෙනත් ප්‍රදේශ නිතරම වියළි තත්වයෙන් නොපැවතුණත්, ඉඳහිට නියඟ තිබෙන කාලවලදී අසීරු තත්වයන්ට මුහුණ පානවා.
වර්ෂාපතනයට බලපාන ඇතැම් දේශගුණික වෙනස්කම්වලට හේතුව මිනිසුන් විය හැකි බව විශේෂඥයන් බොහෝදෙනෙක් විශ්වාස කරනවා. වනාන්තර එළි කිරීම, ප්‍රමාණය ඉක්මවා වගා කිරීම හා පසේ ආවරණයට හානි කිරීමට සතුන්ට ඉඩහැරීම යනාදිය නිසා, පසේ ආවරණය ඉවත් වී යනවා. එය සිදු වන විට, පොළොව මතුපිටින් වැඩි ආලෝකයක් වායුගෝලයට පරාවර්තනය වන බවට සමහරුන් හේතු දක්වනවා. එහි ප්‍රතිඵලය: වායුගෝලයේ උෂ්ණත්වය වැඩි වී වලාකුළු විසිරී ගොස්, වර්ෂාපතනය අඩුවීමයි.
මුඩු බිම්ද වර්ෂාපතනය අඩුවීමට හේතු විය හැකියි; එයට හේතුව වනාන්තරවලට ඇද හැළෙන විශාල ජල කඳ, මුලින්ම ඒ වනාන්තරයේම ගස් වැල් හා ඒවා යට වැවී තිබෙන කුඩා පැළෑටිවලින් වාෂ්ප වූ ජලය නිසයි. වෙනත් වචනවලින් කියනවා නම්, ගස් වැල් වැසි ජලය උරාගෙන රඳවාගන්නාවූ විශාල ස්පොන්ජියක් වගේ ක්‍රියා කරනවා. ගස් වැල් හා ඒවා යට වැවී තිබෙන පැළෑටි ඉවත් කළොත් වැසි වලාකුළු සෑදීමට අවශ්‍ය ජල ප්‍රමාණය අඩු වෙනවා.
මිනිස් ක්‍රියාකාරකම් වර්ෂාපතනයට දැඩි ලෙස බලපාන ආකාරය, තවමත් තර්ක විතර්කවලට බඳුන් වී තිබෙන කාරණයක් විතරයි; තවත් පර්යේෂණ කරන්න තිබෙනවා. ඒත් එකක් පැහැදිලියි: ලොව පුරා ජල හිඟයක් පවතිනවා. දැනටමත් මේ ජල හිඟය රටවල් 80ක ආර්ථිකයට හා සෞඛ්‍යයට තර්ජනයක් එල්ල කර තිබෙනවා කියා ලෝක බැංකුව අනතුරු අඟවනවා. ඒ වගේම දැනටමත් ලෝකවාසීන්ගෙන් සියයට 40කට—එනම් මිනිසුන් බිලියන දෙකකට වැඩි පිරිසකට පිරිසිදු ජලය හෝ සනීපාරක්ෂාව නැහැ.
ජල හිඟයකට මුහුණ දෙන විට, බරපතළ ගැටලු සමනය කරගැනීමට සාමාන්‍යයෙන් ධනවත් ජාතීන්ට හැකියාව තිබෙනවා. ඔවුන් වේලි බඳිනවා; ජලය ප්‍රතිචක්ක්‍රීකරණය කිරීමට හෝ මුහුදු ජලයේ ලුණු ඉවත් කිරීමට පවා මිල අධික තාක්ෂණය ඔවුන් යොදාගන්නවා. දිළිඳු ජාතීන්ට එවැනි විකල්ප ක්‍රියාමාර්ග ගැනීමට ශක්තියක් නැහැ. බොහෝවිට ඔවුන්ට තෝරාගැනීමට තිබෙන්නේ, පිරිසිදු ජලය සලාක ක්‍රමයට බෙදාගැනීමයි; මෙය රටේ වර්ධනයට බාධාවක් විය හැකි අතර, ආහාර නිෂ්පාදනය අඩුවීමටද බලපානවා. එසේ නැතහොත් පිරිසිදු නොකළ ජලය නැවත පාවිච්චි කිරීමයි; මෙහි ප්‍රතිඵලය ලෙඩ රෝග පැතිරීමයි. ජලය සඳහා ඉල්ලුම සෑම තැනකම වර්ධනය වත්ම, වියළි අනාගතයක් සඳහා ඇති ඉඩ කඩ අතිවිශාලයි.
බලාපොරොත්තුවේ දශකයක්
ඉදිරියේදී පැමිණෙන “අන්තර්ජාතික පානීය ජල සැපයුම් හා සනීපාරක්ෂක දශකය” ගැන 1980 නොවැම්බර් 10වනදා එක්සත් ජාතීන්ගේ මහා සභා රැස්වීමේදී ස්ථිර විශ්වාසයකින් යුතුව කතා කළා. මේ එක්රැස්වීමේදී ප්‍රකාශයට පත් කළ ඉලක්කය වූයේ, 1990 වන විට සංවර්ධනය වෙමින් පවතින රටවල ජීවත් වන සියලුදෙනාටම පිරිසිදු ජලය හා සනීපාරක්ෂාව සැලසීමයි. එම දශකය අවසාන වන විට, මිනිසුන් බිලියනයකට පිරිසිදු ජලය ලබා දීමටත් තවත් මිලියන 750කට වැඩි පිරිසකට අපද්‍රව්‍ය බැහැර කිරීමේ පහසුකම් සැපයීමටත් රුපියල් බිලියන 8,040ක් වැය කර තිබුණා—එය කාගෙත් සිත්ගන්නාවූ ජයග්‍රහණයක්.
කොහොමවුණත්, සංවර්ධනය වෙමින් පවතින රටවල මිලියන 800ක ජනගහන වර්ධනය හේතුවෙන් අත් කරගෙන තිබෙන මේ වර්ධනය, හිලව් කරනු ලැබුවා. මේ අනුව, 1990 වන විට, පිරිසිදු ජලය සහ ප්‍රමාණවත් සනීපාරක්ෂාව නැති මිනිසුන් බිලියනයකටත් වැඩියෙන් සිටියා. මේ තත්වය හරියට තෲ ද ලුකින් ග්ලාස් (කැඩපතකින් බැලීම) කියන ළමා කතන්දරයේ බිසව, ඇලිස්ට පැවසූ මේ වචන ප්රතිනාද කරනවා වගෙයි: “ඔයාට තේරෙනවාද, ඔයා දැන් ඉන්න තැනම රැඳී ඉන්න නම්, ඔයාට සිද්ධ වෙනවා පුළුවන් තරම් වේගයෙන් දුවන්න. ඔයාට තවත් ඉදිරියට පියවර තියන්න ඕන නම්, දැන් ගමන් කරන වේගයට වඩා අඩුම තරමින් දෙගුණයකින්වත් ඔයා දුවන්න ඕනෙ!”
WHO පවසන විදිහට, 1990 සිට ජලය සහ සනීපාරක්ෂාව නොමැති අයගේ තත්වය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් අත් කරගෙන තිබෙන සමස්ත වර්ධනය “ප්‍රමාණවත් නැහැ.” ව’ල්ඩ්වොච් ආයතනයේ පර්යේෂණ අංශයේ උපසභාපතිනියව සිටි කාලයේදී, සැන්ඩ්‍රා පොස්ටෙල් මෙසේ ලිව්වා: “මිනිසුන් බිලියන 1.2කට ලෙඩ රෝග වැළඳීමේ හෝ මරණයට පත්වීමේ අවදානමට මුහුණ දෙන්නේ නැතුව ජලය පානය කිරීමට නොහැකි වීම, බරපතළ සදාචාරාත්මක දුර්වලකමක් හැටියට තවමත් තියෙනවා. මෙයට හේතුව වන්නේ, ජලය බොහෝ සෙයින් හිඟවීම හෝ ප්‍රමාණවත් තාක්ෂණික දැනුමක් නොමැති වීම නොව, නමුත් දිළිඳු අයගේ මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා සමාජීය හා දේශපාලනික වගකීම් ඉටු නොකිරීමයි. අද අපෙන් වැඩිදෙනෙක් ඒ තරම් අගය කොට නොසලකන දෙයක් වන පිරිසිදු පානීය ජලය සහ අපද්‍රව්‍ය බැහැර කිරීම හා සම්බන්ධ සනීපාරක්ෂක විධි මුළු මිනිස් සංහතියටම සැපයීම සඳහා, ඇස්තමේන්තු කර තිබෙන විදිහට අවුරුද්දකට රුපියල් බිලියන 2,160ක්, එනම් ලෝකයේ මුළු යුද්ධ වියදමින් සියයට 4කට ආසන්න මුදලක් වැය වේවි.”
ජනගහනය වැඩිවීමෙන් ඉල්ලුම වැඩි වෙනවා
දෙවන ගැටලුවක් මගින් ජලය අසමාන ලෙස ව්‍යාප්තිය තවත් සංකීර්ණ කරවනවා. ජනගහනය වර්ධනය වන විට ජලය සඳහා ඉල්ලුමද වර්ධනය වෙනවා. ලොව පුරා වර්ෂාපතනය සුළු වශයෙන් වෙනස් වුණත්, ජනගහනය වේගයෙන් වර්ධනය වෙනවා. මේ සියවසේදී ජල පරිභෝජනය අඩුම තරමින් දෙගුණයකින්වත් වැඩි වී තිබෙන බවත්, ඊළඟ වසර 20 ඇතුළත මෙය නැවතත් දෙගුණ විය හැකි බවටත් සමහරු ගණන් බලා තිබෙනවා.
ඇත්තෙන්ම, වැඩි වන ජනගහනයට අවශ්‍ය වන්නේ පානීය ජලය විතරක් නෙවෙයි; ඔවුන්ට ආහාරද අවශ්‍යයි. ඒ අනුව, ආහාර නිෂ්පාදනය සඳහා මීට වඩා වැඩි ජල ප්‍රමාණයක් අවශ්‍යයි. කොහොම වුණත්, කෘෂිකර්මාන්තයට සිදු වෙනවා, කර්මාන්තවල හා පුද්ගලයන්ගේ ජල ඉල්ලුම සමඟ තරඟ කරන්න. නාගරික හා කාර්මික ප්‍රදේශ පුළුල් වෙත්ම, කෘෂිකර්මාන්තය තරඟයෙන් පරදිනවා. “ආහාර ලැබෙන්න යන්නේ කොහෙන්ද?” කියා එක් පර්යේෂකයෙක් අසනවා. “ඇත්තෙන්ම කෘෂිකර්මය සඳහා යොදාගැනීමට තිබෙන ජලයත් ලබාගෙන, අපිට බොහොම අමාරුවෙන් බිලියන 5කගේ අවශ්‍යතා සපුරාලන්න පුළුවන් වුණත්, බිලියන 10කගේ අවශ්‍යතා සපුරාලන්ට අපිට පුළුවන් වන්නේ කොහොමද?”
ජනගහන වර්ධනය වැඩි වශයෙන් සිදු වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවලයි; දැනටමත් ඒ රටවල ජල හිඟයක් පවතිනවා. කනගාටුවට කරුණක් වන්නේ, මූල්‍යමය මෙන්ම තාක්ෂණික අතින් ජලය හා සම්බන්ධ ගැටලු සමඟ කටයුතු කිරීම සඳහා එම රටවලට ඇති හැකියාව ඉතාමත් අඩුවීමයි.
දූෂණය
ජල හිඟය හා වර්ධනය වන ජනගහනයේ ඉල්ලුම හා බැඳි ගැටලුවලට අමතරව, මේ හා සම්බන්ධ තුන්වන ගැටලුවක් තිබෙනවා. ඒ තමයි දූෂණය. “ජීවනදායක වතුර ඇති ගංගාවක්” ගැන බයිබලයේ කතා කරනවා; නමුත් අද තියෙන ගංගාවලින් බොහොමයක් මරණයේ වතුර ඇති ගංගායි. (එළිදරව් 22:1) එක් තක්සේරු කිරීමකට අනුව, සෑම වසරකම නිවාසවලින් හා කර්මාන්තවලින් ලෝකයේ ගංගාවලට බැහැර කරන අපවිත්‍ර ජල ප්‍රමාණය ඝන කිලෝමීටර් 450ක් වෙනවා. ගංගා ඇළ දොළ බොහොමයක් ඒවා පටන්ගන්නා තැනේ සිට අවසාන වන තැන දක්වාම දූෂණයට ලක් වෙනවා.
ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල තිබෙන සෑම ප්‍රධාන ගංගාවක්ම වගේ අපද්‍රව්‍යවලින් දූෂණය වෙනවා. රුසියාවේ ප්‍රධාන ගංගා 200ක් ඇසුරෙන් කළ සමීක්ෂණයකින් පැහැදිලි වූයේ, ගංගා 10කින් 8ක්ම භයානක ලෙස බැක්ටීරියා හා වෛරස්වලින් පිරී තිබෙන බවයි. සංවර්ධිත රටවල තිබෙන ගංගා හා භූගත ජලය අපද්‍රව්‍යවලින් පිරී නොතිබුණත්, කෘෂිකර්මයේදී යොදාගන්නාවූ පොහොරවලින් බැහැර වන දේවල් ඇතුළු විෂකර රසායනික ද්‍රව්‍යවලින් බොහෝවිට ඒවා විෂ වී තිබෙනවා. ලෝකයේ සෑම ප්‍රදේශයකම වගේ, මුහුද අවට පිහිටි රටවල් නොගැඹුරු මුහුදට අපද්‍රව්‍ය බැහැර කරනවා; එමගින් වෙරළ දරුණු ලෙස දූෂණය වෙනවා.
මේ අනුව, ජල දූෂණය සමස්ත ලෝක ගැටලුවක් වී තිබෙනවා. මේ තත්වය සාරාංශගත කරමින් ඕඩබන් සංගමය විසින් ප්‍රකාශයට පත් කරන වෝට: දි එසෙන්ෂල් රිසෝර්ස් (වතුර: අත්‍යවශ්‍ය සම්පත) නමැති පොත්පිංචයේ මෙසේ සඳහන් වෙනවා: “අපවිත්‍ර ජලයේ ප්‍රතිඵලයක් හැටියට මිනිස් ශ්‍රමයෙන් තුනෙන් එකක් සදාකාලික රෝගී තත්වයේ හෝ බෙලහීන තත්වයේ පවතිනවා; දිගුකාලීන බලපෑම් මොනවාද කියා හඳුනාගෙන නොමැති රසායනික ද්‍රව්‍ය ජලයට මුසුවීමෙන් තවත් තුනෙන් එකක් තර්ජනයට ලක් වී තිබෙනවා.”
අහිතකර ජලය, අහිතකර සෞඛ්‍යය
‘වතුර සඳහා තියෙන සාගින්න අපිව මරුවා ළඟට කැඳවාගෙන යනවා’ කියා කලින් සඳහන් කළ ඩේඩි පැවසූ විට, ඈ කතා කරමින් සිටියේ උපමාලංකාර අර්ථයකිනුයි. ඒත්, පිරිසිදු මිරිදිය ජලයේ හිඟය වචනයේ පරිසමාප්තියෙන්ම මරුවා ළඟට කැඳවාගෙන යනවා. ඈට මෙන්ම ඈ හා සමාන දශලක්ෂ සංඛ්‍යාවකට, අපද්‍රව්‍ය බැහැර කරන ඇළ දොළ හා ගංගාවල ජලය පාවිච්චි කරනවා මිසක වෙන කිසිම විකල්පයක් නැහැ. WHO පවසන විදිහට, ජලය හා සම්බන්ධ රෝග හේතුවෙන් සෑම තත්පර අටකට වරක්ම දරුවෙක් මියයන එක ඒතරම් පුදුම විය යුතු දෙයක් නෙවෙයි!
ව’ල්ඩ් වොච් නමැති සඟරාවට අනුව, සංවර්ධනය වෙමින් පවතින රටවල තිබෙන සියලුම ලෙඩ රෝගවලින් සියයට 80ක්ම පැතිරෙන්නේ අපවිත්‍ර ජලය පාවිච්චි කිරීම නිසයි. ජලය මගින් පැතිරෙන රෝග කාරකයන් හා දූෂිත ද්‍රව්‍යවලින් සෑම වසරකම මිනිසුන් මිලියන 25ක් මියයනවා.
පාචනය, කොළරාව හා ටයිෆොයිඩ් ඇතුළු ජලය හා සම්බන්ධ මාරාන්තික රෝගවලට ගොදුරු වන අය බහුලව වාර්තා වන්නේ උෂ්ණ කලාපීය රටවලිනුයි. නමුත් ජලය මගින් පැතිරෙන රෝග සංවර්ධනය වෙමින් පවතින රටවලට පමණක් සීමා වී නැහැ. වර්ෂ 1993දී එක්සත් ජනපදයේ මිල්වොකී, විස්කාන්සන්හි මිනිසුන් 4,00,000ක් ක්ලෝරීන්වලට ඔරොත්තු දෙන ක්ෂුද්‍ර ජීවීන් සිටි නළ ජලය පානය කිරීමෙන් පසුව රෝගාතුර වුණා. ඒ අවුරුද්දේදීම, එක්සත් ජනපදයේ—වොෂින්ටන්, ඩී.සී; නිව් යෝර්ක් නගරය; කාබූල් සහ මිසූරි වැනි නගරවලට සැපයෙන ජලයේ භයානක ක්ෂුද්‍ර ජීවීන් සිටි බව සොයාගත්තා; තමන්ගේ ජල නළවලින් ලබාගන්නා ජලය උණු කර පාවිච්චි කරන්න කියා නිවැසියන්ගෙන් ඕනෑකමින් ඉල්ලා සිටියා.
ගංගා ජලය බෙදාගැනීම
ජල හිඟය හා බැඳී පවතින ගැටලු, වැඩි වෙමින් පවතින ජනගහනයේ ඉල්ලුම සහ රෝගී සෞඛ්‍යයකට හේතු වන දූෂණය යන සියලුම සාධක නොසන්සුන්තාවලට හා අරගලවලට මඟ පෑදිය හැකියි. ඒ මොනව වුණත්, ජලය සුඛෝපභෝගී දෙයක් නෙවෙයි. ජල අර්බුදයක් සමඟ දැඩි සටනක නිරත වෙමින් සිටින ස්පාඤ්ඤයේ දේශපාලනඥයෙක් මෙසේ පැවසුවා: “ඒක ජීවිතය රැකගන්න කරන සටනක් මිසක් ආර්ථික සටනක් නෙමෙයි.”
නොසන්සුන්තාවේ එක් ප්‍රධාන පැත්තක් නම් ගංගාවල ජලය බෙදාගැනීමයි. එක්සත් ජනපදයේ සිටින පර්යේෂකයෙක් වන පීට’ ග්ලික් පවසන විදිහට, ලෝක ජනගහනයෙන් සියයට 40ක් ජීවත් වන්නේ, ගංගාධාරා 250ක් අසබඩයි; ඒ ගංගාධාරාවල ජලය සඳහා ජාතීන් කිහිපයක්ම තරඟ කරනවා. බ්රහ්මපුත්රා, ඉන්දු, මීකොං, නයිජ, නයිල් සහ ටයිග්‍රීස් යන සෑම ගංගාවක්ම රටවල් බොහොමයක් අතරින් ගලා බසිනවා; ඒ රටවල් තමන්ට හැකි තරම් ජලය ඒවායින් ලබාගන්නවා. දැනටමත්, ආරවුල් ඇති වී තිබෙනවා.
ජලය සඳහා ඉල්ලුම වැඩි වන විට, නොසන්සුන්තා වැඩි වෙනවා. සමතුලිත පාරිසරික සංවර්ධනය සඳහා ලෝක බැංකුවේ නියෝජ්‍ය සභාපති මෙසේ අනාවැකියක් පළ කරනවා: “මේ සියවසේ සිදු වූ යුද්ධවලින් බොහොමයක් තෙල් හා සම්බන්ධ ඒවා වුණත්, ඊළඟ සියවසේ යුද්ධ ඇති වන්නේ ජලය සඳහායි.”
[7වන පිටුවේ කොටුව⁄පින්තූර]
තැනින් තැනට ගමන් කරන අණුවක්
නිමක් නැති ගමනක යෙදෙන තනි ජල අණුවක ගමනෙහි අපිත් හවුල් වෙමු. ලිඛිත පාඨයට අනුරූප වන පරිදි අංක යොදා මෙහි දක්වා තිබෙන පින්තූර පෙළ මගින් පැහැදිලි කෙරෙන්නේ, තනි ජල අණුවක් මුලින්ම පැමිණි තැනට නැවත ගමන් කරන දසදහස් ගණන්වලින් යුත් ගමන් මාර්ගවලින් එකක් විතරයි—යෝබ් 36:27; දේශනාකාරයා 1:7.
සාගරය මතු පිට තිබෙන අණුවකින් අපි පටන්ගනිමු. (1) සූර්ය ශක්තිය ආධාරයෙන් ජලය වාෂ්ප වෙද්දී, මේ අණුව පොළොවේ සිට අඩි දහස් ගණනක් දක්වා ඉහළ නඟිනවා. (2) ඉන්පසු, එය කුඩා ජල බින්දුවක් සෑදීම සඳහා තවත් ජල අණු සමඟ එක් වෙනවා. මේ ජල බින්දුව සුළඟේ ආධාරයෙන් සැතපුම් සිය ගණනක් දුරට ගමන් කරනවා. කාලයක් ගතවීමත් සමඟ, මේ ජල බින්දුව වාෂ්ප වී, එම අණුව පොළොව මතට පතිත වීමට තරම් ප්‍රමාණවත් වැහි බින්දුවක් හා සම්බන්ධ වන තෙක් නැවතත් ඉහළ නඟිනවා. (3) මේ වැහි බින්දුව තවත් වැහි බින්දු බිලියන ගණනක් සමඟ කඳු මතට පතිත වෙනවා; මේ ජලය වේගයෙන් දිය පහරකට ගලා යනවා. (4)
පසුව මුවෙක් මේ දිය පාරෙන් වතුර බොන විට, මේ ජල අණුව ඌගේ ශරීරයට ඇතුල් වෙනවා. (5) පැය කිහිපයකට පසු, මේ මුවා මූත්‍රා කරන අතර, ඒ අණුව භූමිය හරහා ගමන් කරනවා; එහිදී ගසක මුල් මගින් ඒ අණුව උරාගන්නවා. (6) එතැන් සිට, ඒ අණුව ගස දිගේ ගමන් කර, අවසානයේදී, පත්‍රයක් මගින් වායුගෝලයට ජල වාෂ්ප හැටියට මුදාහරිනවා. (7) කලින් සිදු වූවාක් මෙන්, එය තවත් කුඩා ජල බින්දුවක් සෑදීමට උපකාර කිරීම සඳහා ඉහළට ගමන් කරනවා. මේ ජල බින්දුව ඝන වැසි වලාකුළක් හා එක් වන තෙක් ගමන් කරනවා. (8) අපේ මේ අණුව නැවතත් වැස්ස සමඟ ඇද හැළෙනවා, ඒත් මේ වතාවේදී, සාගරයට එය කැන්දාගෙන යන ගංගාවකට ළඟා වෙනවා. (9) එහිදී, එය භූමියට ළඟාවීමට, වාෂ්ප වීමට හා තවත් වරක් අහසින් ගෙන යන තත්වයට පත්වීමට කලින්, අවුරුදු දහස් ගණනක් ගත කළ හැකියි. (10)
මේ චක්‍රය කිසිදාක කෙළවර වෙන්නේ නැහැ: මුහුදෙන් ජලය වාෂ්ප වී, භූමියෙන් ඉහළට ගමන් කර වැස්ස හැටියට ඇද හැළෙන අතර, නැවත මුහුදට ගලා බසිනවා. මේ ක්‍රියාවලියේදී, ජලය සෑම ජීවියෙකුවම පෝෂණය කරනවා.
[9වන පිටුවේ කොටුව⁄පින්තූරය]
යෝජනා කර තිබෙන දේවල්
ලුණු ඉවත් කිරීමේ බලාගාර ඉදි කිරීම. මේවා මගින් මුහුදු ජලයේ ලුණු ඉවත් කරනවා. සාමාන්‍යයෙන් මෙය සිදු කරන්නේ, ජලය අඩු පීඩනයකින් කුටිවලට පොම්ප කිරීමෙනුයි; එහිදී එය උණු වන තෙක් රත් කරනවා. වාෂ්ප වන ජලය වෙනත් තැනකට යොමු කෙරෙනවා; කුඩා ලුණු කැට එහි ඉතිරි වෙනවා. මෙය මිල අධික ක්‍රියාවලියක්; සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවලට මෙය ක්‍රියාත්මක කිරීමට අසීරුයි.
අයිස් කඳු දිය කිරීම. පිරිසිදු මිරිදිය ජලය අඩංගු දැවැන්ත අයිස් කඳු ඇන්ටාක්ටිකාවේ සිට විශාල නැව් ඇදගෙන එන බෝට්ටු මගින් ඇදගෙන ඇවිත්, දක්ෂිණාර්ධගෝලයේ පිහිටි ශුෂ්ක රටවලට ජලය සැපයීම සඳහා දිය කළ හැකි බව සමහර විද්‍යාඥයන් විශ්වාස කරනවා. ගැටලුවක් තියෙනවා: අයිස් කන්දක් එහි ගමනාන්තයට ළඟා වෙන්න කලින්, එයින් භාගයක් විතර මුහුදේදීම දිය වෙනවා.
ජලධර සිදුරු කිරීම. ජලධර කියන්නේ පොළොව යට පිහිටි ජලය අඩංගු පර්වතවලටයි. වියළි කාන්තාරවලට පවා මේවායින් ජලය පොම්ප කළ හැකියි. ඒ වුණත්, මේවායින් ජලය ඇදගැනීමට විශාල මුදලක් වැය වෙන අතර, භූගත ජල මට්ටම අඩු වෙනවා. තවත් අවාසියක්: ජලධර බොහොමයක් නැවත යථා තත්වයට පත් වෙන්නේ සෙමින්—සමහර ඒවා කොහොමටවත් යථා තත්වයට පත් වෙන්නේ නැහැ.
[8වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
ඡායාරූපය: Mora, Godo-Foto
[5වන පිටුවේ පින්තූර]
ජලය ලබාගැනීම සඳහා සෑම දවසකම පැය හතරක් වැය විය හැකියි
[8වන පිටුවේ පින්තූර]
අපවිත්‍ර ජලය ඝන කිලෝමීටර් 450ක් පමණ සෑම වසරකම ගංගාවලට බැහැර කරනවා