ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g97 7/8 14-17 පි.
  • ඔබේ බල්ලා දරුවන්ට අනතුරක්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබේ බල්ලා දරුවන්ට අනතුරක්ද?
  • 1997 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දරුවාව පුහුණු කරන්න
  • බල්ලාව පුහුණු කරන්න
  • කලහකාරි බල්ලා
  • බල්ලාගේ ගඳ සුවඳ දැනීමේ හැකියාව
    නිර්මාණයක්ද?
  • සතුන් දෙවි දුන් ත්‍යාගයක්
    2004 පිබිදෙව්!
1997 පිබිදෙව්!
g97 7/8 14-17 පි.

ඔබේ බල්ලා දරුවන්ට අනතුරක්ද?

දකුණු අප්‍රිකාවේ පිබිදෙව්! වාර්තාකරු විසිනි

අවුරුදු දෙකක් වයසැති සිඩ්නි, බැඳ තිබූ කලහකාරි රොට්වයිල’ වර්ගයේ බල්ලෙකුට ඕනෑවට වඩා ළං වුණා. ඒ බල්ලා කඩා පැනලා, සිඩ්නිගේ හිස්කබලට තුවාල කළා; ඌ තව පොඩ්ඩෙන් ඔහුගේ වම් කන සම්පූර්ණයෙන්ම ගළවලා දානවා. හම බද්ධ කිරීමේ සැත්කමට කිහිපවතාවක්ම යටත් වෙන්න ඔහුට සිදු වෙනවා.

ආරක්ෂාව සඳහා වැඩි සෙනඟක් බල්ලන්ව යොදාගන්නා නිසා, බල්ලන් දරුවන්ට කඩා පනින බවට ලැබෙන වාර්තා වැඩි වෙනවා. දරුවන්ව හපාකන්න නම් දරා තියෙන බල්ලන් සමහරක්ව නම් කෙරුවොත්, රොට්වයිල’, ඩෝබමන් පින්ච’, බුල්මැස්ටිෆ්, ඇල්සේෂන් (ජර්මන් ෂෙපඩ්) සහ බුල්ටෙරිය’ වර්ගයේ බල්ලන් ගන්න පුළුවන්. දකුණු අප්‍රිකාවේ පැවැත්වූ සමීක්ෂණයකින් හෙළි වූයේ, පරීක්ෂණයට භාජන වූ සිද්ධීන්වලදී හපාකනු ලැබූ දරුවන් වැඩිහරියකටම කඩා පැන්නේ ඔවුන් දන්නා හඳුනන බල්ලන් බවයි. අඩකට ආසන්න සංඛ්‍යාවක් අසල්වාසීන්ගේ බල්ලන්ට ගොදුරු වුණ අතර, කාලක් තමන්ගේම බල්ලන්ගේ හපාකෑම්වලට ගොදුරු වුණා. දඩාවතේ යන උන් වගකිව්වේ කඩා පැන්න අවස්ථාවලින් සියයට 10කට විතරයි. බොහෝ අවස්ථාවලදී, ඇතැම්විට හිතන්නේවත් නැතුව, ගොදුරු වුණ කෙනා යම් ආකාරයකින් ඒ බල්ලාව අවුස්සා තිබුණා. බල්ලන්ගේ අයිතිකාරයනුත් දෙමාපියනුත් යම් මූලික පූර්වෝපායන් ගත්තොත් උන්ගෙන් එල්ල වන ප්‍රහාර වැඩිහරියක් මඟහරින්න පුළුවන් බව පැහැදිලියි.

දරුවාව පුහුණු කරන්න

වැඩිහිටියන්ගේ අධීක්ෂණයක් නැතුව කුඩා දරුවන් සහ බල්ලන්ව තනියෙන් ඉඳීමට ඉඩනෑරිය යුතු බව බල්ලන්ව පුහුණු කරන බොහෝදෙනෙක් අවධාරණය කරනවා. සතුන්ට සැලකිය යුතු අන්දම කුඩා දරුවන් දන්නේ නැහැ. ඒ කොහොමද කියලා ඔවුන්ට ඉගැන්විය යුතුයි. මේ අනුව, වගකියන්න පුළුවන් වැඩිහිටියෙක් නැත්නම්, බල්ලන්ව සහ කුඩා දරුවන්ව එකට තියන්නේ නැහැයි යන නීතිය බොහෝ මිනිස්සු පිළිපදිනවා. චයිල්ඩ්පෲෆිං යෝ ඩෝග් (දරුවන්ව ඔබේ බල්ලාගෙන් පරෙස්සම් කිරීම) යන පොතේ, පුහුණුකරු බ්‍රයන් කිල්කමන්ස් මෙහෙම නිරීක්ෂණය කරනවා: “අපිට ලැබෙන ආරංචි ගත්තොත්, ප්‍රශ්න වැඩිහරියක්ම ඇති වෙන්නේ, වැඩිහිටියන්ගේ අවධානය වෙනතකට යොමු වෙලා තියෙන විටයි.”

බොහෝවිට, දරුවන්ගෙන් තමයි බල්ලන්ට ආරක්ෂාව අවශ්‍ය වෙන්නේ! එක පවුලකට අයිති බල්ලෙක් දරුවෙක්ව හපන්න ගිය විට, ඔවුන් කිල්කමන්ස්ගෙන් උපකාර ඉල්ලා සිටියා. ඉමහත් සේ කලබල වූ පියා පැහැදිලි කළේ, ඔහුගේ වයස අවුරුදු දෙකහමාරක් වන පුතා නිදා සිටි බල්ලා ළඟට ගිහිල්ලා ඌට හොඳ පයින් පහරක් දුන්න බවයි. පැහැදිලිවම මහත් වේදනාවට පත් වූ බල්ලා ප්‍රතිචාරය දැක්වූයේ හපාකෑමට යෑමෙන්. මේ තත්වයේදී දරුවාව හපාකෑමෙන් වැළකී සිටීමෙන් ඒ බල්ලා ප්‍රශංසාකටයුතු සංයමයක් පෙන්නුම් කළා. මෙම පුහුණුකරු දෙමාපියන්ට මෙහෙම අවවාද කරනවා: “ඔබේ දරුවාට ඉඩ දෙන්න එපා, වෙන දරුවෙකුටවත් කරන්න ඉඩ දෙන්නේ නැති දෙයක් බල්ලාට කරන්න.”

සත්තුන්ට කාරුණිකව සලකන විදිහ ඔබේ දරුවාට උගන්වන්න. බල්ලෙකුට කවදාවත් හිරිහැර කරන්න එපා කියලා ඔහුට උගන්වන්න. දරුවන් බල්ලන් එක්ක එකට ඉන්න කොට වෙන්න පුළුවන් අන්තරාවන් සැලකිල්ලට ගන්න දෙමාපියන් අවදියෙන් සිටිය යුතුයි. බල්ලා දරුවෙක්ගෙන් ඉවත් වෙන්න හෝ හැංගෙන්න බලනවා ඔබට පේනවා නම්, ඌ පස්සේ යන්න දරුවාට ඉඩ දෙන්න එපා. දරුවා ඌ පස්සේ ගොස් ඌව කොටු කරනවා නම්, ආරක්ෂාව සඳහා ඌට කරන්න තියෙන එකම දේ තමයි, බිරීම, ගෙරවීම එහෙමත් නැත්නම් හපාකෑම. බල්ලාටත් දරුවාටත් දෙමාපියා යමක් කියන කොට, එය ඇත්තටයි කියන්නේ කියලා දැනගන්න, දෙමාපියන් වෙනස් නොවනසුලු විදිහකට හික්මවීම දිය යුතුයි.

බල්ලාව පිටුවහලෙක් හැටියට සලකන්න එපා. බල්ලෙක් අයිති විවාහක යුවළකට මුල්ම දරුවා ලැබුණු විට, බල්ලාව නොසලකා හැර ඌව පිටිපස්සේ මිදුලට පමණක් සීමා කිරීමට නැඹුරුවාවක් තියෙන්න පුළුවන්. යම් පූර්වෝපායන් ගැනීම නුවණට හුරු වුවත්, පුහුණුකරු රිචඩ් ස්ටබ්ස් මෙහෙම අවවාද කරනවා: “බල්ලාව පිටුවහලෙක් හැටියට නොසැලකිය යුතුයි. ඒ වෙනුවට, හැකි තරමින් බල්ලාගේ සාමාන්‍ය දිනචර්යාව පවත්වාගෙන යන්න; ඒ වගේම ඌට සාධාරණ ප්‍රමාණයකින් අවධානය දෙන්න.”

ඔබේ දරුවා නාඳුනන බල්ලන්ට ප්‍රතිචාරය දක්වන්න යන ආකාරය සලකා බලන්න. අමුත්තෙක් බල්ලෙකුව ඇවිදින්න පාරක් දිගේ ගෙනයනවා ඔහු දකිනවා නම්, ඔහු මොනවාද කරන්න යන්නේ? හිතුවක්කාර ලෙස ඌ ළඟට දුවලා ඌව සුරතල් කරයිද? මේ දේ කරන්න එපා කියලා ඔහුට උගන්වන්න. මුලින්ම ඔහු අයිතිකරුගේ අවසර ඉල්ලිය යුතුයි. ඊළඟට, අයිතිකාරයා එකඟ වුණොත්, බල්ලාව භය නොගන්වන ආකාරයකින්, ඌ ළඟට හෙමින් කිට්ටු වෙන්න ඔහුට පුළුවන්. ටිකක් දුරින් වෙන්න හිටගෙන, බල්ලාට සන්සුන් ආකාරයකින් කතා කිරීමෙන් ඔහු තමාව හඳුන්වා දිය යුතුයි. මිත්‍රශීලී බල්ලෙක් නම්, ඌ ඔබේ දරුවා ළඟට ඒවි. පාරේ තනියෙන්ම ඇවිදින බල්ලන්ගෙන් නම් දුරස්ව සිටීම තමයි හොඳම දෙය.—“බලු ශරීර භාෂාව” යන 22වන පිටුවේ තියෙන කොටුව බලන්න.

බල්ලාව පුහුණු කරන්න

හැම තිස්සේම ඔබේ බල්ලාට ප්‍රශංසා කරමින් ඒකාන්ත වෙන්න. දඬුවම් කිරීම හෝ සැරෙන් කතා කිරීම, ඉගෙනීම වේගවත් කරන්නේ නැහැ; එනමුත්, එයට තියෙන්නේ ඊට ප්‍රතිවිරුද්ධ බලපෑමයි. උගේ නම කියන කොට එන්න ඉගැන්වීම හොඳ දෙයක් වන අතර, “ඉඳගන්න!” වැනි මූලික අණවලට කීකරු කරවීමත් හොඳයි. මෙයින් ඌ තම ස්වාමියාට යටත්ව සිටීමට ඉගෙනගන්න අතර, අවදානම් සහිත අවස්ථාවලදී, අයිතිකරුට වඩාත් හොඳින් ඌව පාලනය කරන්න පුළුවන් වේවි. සරල වචන සහ වාක්‍ය ඛණ්ඩ තමයි වඩාත්ම සාර්ථක වෙන්නේ. එකම දේ දිගටම පාවිච්චි කරන්න. ඔබේ බල්ලා අවශ්‍ය ක්‍රියාව කරන විට, විපාකයක් වශයෙන් ඌට ප්‍රශංසා කරන්න, ඌව අතගාන්න එහෙම නැත්නම් රස කෑම කැබැල්ලක් දෙන්න. ඒ දේ නිසි ලෙස ඒත්තුගැන්වීම සඳහා, ක්‍රියාව කළ වහාම ඒ තෑග්ග දිය යුතුය. ඊළඟට වැදගත් වෙන්නේ, ඒ ක්‍රියාව හොඳින් කාවදින තුරු, නැවත නැවතත් කිරීමයි.

ඔබ බල්ලෙක්, එක්කෝ බලු පැටියෙක් හෝ වයසින් වැඩි බල්ලෙක්ව ගත්තොත්, දරුවන්ට හුරු වෙන්න ඌට උපකාර ඕනැ වෙන්න පුළුවන්. දරුවන් වැඩිහිටියන්ට වඩා වෙනස් විදිහට ප්‍රතික්‍රියා කරනවා. ඔවුන් වැඩි ශබ්දයක් ඇති කරන අතර, වඩා ආවේගයකින් ක්‍රියා කරන්නත් බල්ලා ළඟට කඩාගෙන දුවන්නත් පුළුවන්; මෙයින් බල්ලා බිය වෙන්න පුළුවන්. එවැනි අක්‍රමවත් හැසිරීමකට හුරුවීම සඳහා ඔබේ සුරතල් සතාට උපකාර කිරීම හොඳයි. දරුවන් ළඟපාතක නැති විට, හදිස්සි ශබ්දවලට ඔබේ බල්ලාව හුරු කරන්න. දෙන පුහුණුව සෙල්ලමක් කරගන්න. බල්ලාට හඬනඟා යම් අණක් දීලා, ඌ ළඟට දුව එන්න. ඊළඟට, වහාම ඌට තෑග්ගක් දෙන්න. කෑ ගහන එකේ ශබ්දය ක්‍රමක්‍රමයෙන් වැඩි කරන්න. ඌව සුරතල් කරන්න. වැඩි වේලාවක් යන්න කලින්, ඒ සෙල්ලමින් ඌ ආස්වාදයක් ලබාවි.

කුඩා දරුවන් ආසයි බල්ලන්ව වැලඳගන්න; ඒත් ඒ වගේ කිට්ටු ස්පර්ශයකින් ඇතැම් බල්ලන්ට තර්ජනයක් එල්ල වෙනවා වගේ හැඟෙන නිසා, එහෙම නොකරන්න ඔවුන්ට ඉගැන්විය යුතුයි. ඔබේ බල්ලාව දරුවන් වැලඳගන්නවා නම්, එය පිළිගන්න ඌට උගන්වන්න ඔබට පුළුවන්. මොහොතකට ඔබේ බල්ලාව වැලඳගෙන, ඊට පස්සේ රස කෑම කැබැල්ලක් දී ප්‍රශංසා කරන්න. ක්‍රමක්‍රමයෙන් වැලඳගැනීමට ගන්න කාලය වැඩි කරන්න. ඔබේ බල්ලා ගොරවන්න නැතහොත් හපන්න බලනවා නම්, සුදුසුකම් ඇති පුහුණුකරුවෙකුගෙන් උපකාර ලබාගන්න.

කලහකාරි බල්ලා

ඇතැම් බල්ලන් ස්වභාවයෙන්ම කලහකාරියි වගේ පෙනෙන අතර, පවුලේ සාමාජිකයන්ට අනතුරක් විය හැකියි. මෙම කලහකාරි ගතිලක්ෂණ විදහාපෙන්වීමට වැඩි නැඹුරුවාවක් තියෙන්නේ පිරිමි සතාටයි.

බලපවත්වන්න හදන බල්ලා කැමති නැහැ උගේ ඇඟ අත පත ගානවාට, විශේෂයෙන්ම මුහුණ සහ බෙල්ල වැනි සංවේදී තැන්. වෙනත් අවස්ථාවල, ඌ ඔබ වෙතට ළං වී, ඔළුවෙන් ඔබට හෙමින් අනිනවා වෙන්න පුළුවන්; එහෙම නැත්නම් උගේ පාද ඔබේ ඔඩොක්කුවේ පවා තබා, අවධානය “ඉල්ලනවා” වෙන්න පුළුවන්. ඌ නිවසෙහි යම් යම් විශේෂ තැන් ආරක්ෂා කරන්නත් පුළුවන්; පවුලේ සාමාජිකයන්ටවත් ඒ තැන්වලට යන්න ඉඩ නොදෙනවා වෙන්න පුළුවන්. සෙල්ලම් බඩු වැනි වස්තු තමාටම විතරක් සීමා කර තියාගන්න බොහෝවිට නැඹුරු වන අතර, ඒවත් එක්ක සෙල්ලම් කරන විට, කවුරුහරි ළං වූවොත් ගොරවන්න හෝ ඒවා විකන එක නවත්වන්න පුළුවන්.

උන්ගේ මූලිකත්වය තහවුරු කිරීම සඳහා ඇතැම් බල්ලෝ, දන්නා ආඥා හිතාමතාම නොසලකා හරිනවා. උන් දරුවන්ගේ ඇඟේ හැප්පෙයි නැතහොත් දොරක් තුළින් ඉස්සෙල්ලාම යන්න අපේක්ෂා කරනවා වෙන්න පුළුවන්. පුද්ගලයන්ගේ ඇඟට පනින්නත් උන් නැඹුරු විය හැකියි. බ්‍රයන් කිල්කමන්ස් කියන පරිදි, “මෙය ලිංගික ක්‍රියාවක් නෙමෙයි, නමුත් බලපවත්වන්නේ කවුද කියන එක දක්වන්න කරන ක්‍රියාවක්.” “තමුන් තමයි ලොක්කා කියලා බල්ලා හිතනවා කියන එකට මෙය හැම තිස්සේම වගේ ලකුණක්” කියලා ඔහු අවවාද කරනවා. “එවිට ප්‍රශ්නයක් නිසැකවම අපේක්ෂා කරන්න පුළුවන්.” අවධානය ලබාගන්න උගේ අයිතිකරුගේ අත කටට ගැනීමේ පුරුද්දත් බල්ලා වර්ධනය කරගන්න පුළුවන්.

කලහකාරිබවේ මෙවැනි ලකුණු නොසලකා නොහැරිය යුතුයි. ඒ කලහකාරිබව නිකම්ම ඇරිලා යන්නේ නැහැ; බොහෝදුරට එය වැඩි විය හැකි අතර, ගෙදර ඉන්න දරුවන්ව අනතුරට පත් වෙන්න පුළුවන්. ඒ වගේ බල්ලෙක් පිරිමි සතෙක් හෝ ගැහැනු සතෙක් හෝ වේවා, ඌව වඳ කිරීමට බොහෝ පුහුණුකරුවන් නිර්දේශ කරනවා; මන්ද එහෙම කිරීම කලහකාරිබව සාමාන්‍යයෙන් අඩු කරන්න උපකාරවත් වන නිසයි.

ලොක්කා කවුද කියලා පෙන්නන්න කලහකාරි බල්ලෙකුට තර්ජනය කිරීම සුදුසු දෙයක් නෙමෙයි. ඇත්තටම, කලහකාරිව ඌ ළඟට යෑම සහ තදින් හික්මවීම අන්තරා සහිත වෙන්න පුළුවන්. අණ දෙන්නේ කවුද කියන එක බල්ලාට වඩාත් සූක්ෂ්ම ක්‍රමවලින් පෙන්නන්න පුළුවන්.

කලහකාරි බල්ලෙක් අවධානය සඳහා ඔබ ළඟට එන හැම අවස්ථාවකදීම, ඔබ ඌට එය දෙනවා නම්, ඌ ලොක්කා කියන විශ්වාසය ඌට තවත් තහවුරු වෙනවා. ඒ හින්දා ඒ වගේ බල්ලෙක් අවධානය බල කර ඉල්ලා සිටින විට, ඌව නොසලකා හරින්න. ඌට මෙලෙස සලකද්දී, මුළු පවුලම සහයෝගය දැක්විය යුතුයි. මුලදීම, බල්ලා පුදුම වෙන අතර, බුරන්න හෝ ඔබ දෙස හිත ඇදීයන ආකාරයකින් බලන්න පවා නැඹුරු වෙන්න පුළුවන් වුණත්, යටත් වීමේ පෙලඹීමට විරුද්ධ වෙන්න. ඌ ඉවත්ව, ඇතැම්විට යම් මුල්ලක දිගා වී සිටින්න යන විට, යම් අවධානයක් දීමට කාලය එයයි. මෙයාකාරයෙන් නායකයා ඔබ බවත්, අවධානය දිය යුත්තේ මොන අවස්ථාවේදීද යන්න තීරණය කරන්නේ ඔබ බවත් ඔබේ බල්ලා ඉගෙනගන්නවා.

කඹ ඇදීම සහ පොර ඇල්ලීම වැනි කලහකාරි සෙල්ලම්වලින් බල්ලෙකුගේ බලපවත්වන්න තියෙන නැඹුරුවාවන් පෝෂණය කළ හැකි අතර, ඒවායින් වැළකී සිටිය යුතුයි. ඒ වෙනුවට, කලහකාරි නොවන සෙල්ලම්වල යෙදෙන්න.

බල්ලා නිදන කාමරයේ නිදාගන්නේ නැත්නම් වඩාත් හොඳයි. නිදන කාමරය විශේෂ ස්ථානයක් වන අතර, එහි නිදාගන්න පුළුවන් වීම, නිවසෙහි සිටින දරුවන්ට වඩා ඌ උසස් කියලා හැඟෙන්න සලස්වන්න පුළුවන්. ඒ වෙනුවට, කුස්සියේ තැනක් හෝ ගෙයින් පිට බලුකූඩුවක්, බල්ලාගේ නිදාගන්න තැන බවට පත් කරන්න. කලහකාරි බල්ලෙක් බොහෝවිට ඉස්සෙල්ලාම උන්ගේ අයිතිකරුවන්ව හපාකන්නේ ඔවුන්ගේ නිදන කාමරවලදියි.

ඔබ දරන වෑයම්වලට ඔබේ බල්ලා ප්‍රතිචාරයක් නොදක්වන විට හෝ ඌට පුහුණුවක් දෙද්දී ඔබට තර්ජනයක් එල්ල වෙනවා කියලා හැඟෙන ඕනෑම විටකදී, බල්ලන්ව පුහුණු කරන සමර්ථ කෙනෙකුගේ උපකාරය ලබාගන්න. ඇතැම්විට ඔබේ පශු වෛද්‍යවරයාට පුළුවන් වේවි, කෙනෙක්ව නිර්දේශ කරන්න. ඔහුගේ පුහුණු ක්‍රම ගැන ඉස්සෙල්ලාම ඔහුත් එක්ක කතා කර, ඔහුගේ උපකාරය ලබාගන්න කලින්, ඔහුගේ හැකියාවන් ගැන ඔබ සෑහීමට පත්ව සිටිනවාද යන්න ගැන ස්ථිර වන්න. පුහුණුකරු රිචඩ් ස්ටබ්ස් මෙහෙම අවවාද කරනවා: “කලහකාරි බල්ලෙක් ඇතැම්විට වෘත්තීය පුහුණුකරුවෙකුට ප්‍රතිචාරය දැක්වුවත්, උගේ අයිතිකරුත් එක්ක ඒ ආකාරයටම කටයුතු කරයි කියන එකට සහතිකයක් නැහැ.” අවදානම් සහිත අවස්ථාවල තමාට අයිති බල්ලාව පාලනය කරන්න පුළුවන් කියන විශ්වාසය අයිතිකරුට තියෙන්න ඕනෑ.

හොඳම පුහුණුව ලැබීමෙන් පසුවත් කලහකාරිව හැසිරෙන බල්ලන් අතළොස්සක් ඉඳීවි; එමෙන්ම උන්ව තියාගැනීම පවුල අනතුරට පත් කළ හැකියි. ඔබට කළ හැකි උපරිමය කිරීමෙන් පස්සේ, තුවාල වීමේ අවදානමට නිරාවරණය වී සිටිනවාට වඩා බල්ලාව නිවසින් ඉවත් කිරීම හොඳයි කියලා ඔබට හැඟෙන්න පුළුවන්. උපදෙස් සඳහා පශු වෛද්‍යවරයෙක්ගෙන් හෝ පුහුණුකරුවෙක්ගෙන් විමසීම හොඳයි. ඔබේ බල්ලා සඳහා තවත් නිවසක් හොයාගන්න ඔබට පුළුවන් විය හැකියි; ඒත් බල්ලා සම්බන්ධයෙන් ඔබට තිබුණු ප්‍රශ්න ගැටලු අලුත් අයිතිකරුට කියන්න ඔබ නිරායාසයෙන්ම බැඳී සිටිනවා.

පුහුණුකරු පීට’ නෙවිල් මෙහෙම උපදෙස් දෙනවා: “බලපවත්වන බල්ලන් සමඟ කටයුතු කළ යුත්තේ, ඉතා පරෙස්සමින් පිළියෙළ කළ මාර්ගදර්ශක යටතේ විතරයි; ඒ වගේම දිගටම අවදානමෙහි ඉන්න යන්නේ කවුද සහ කොතරම් දුරටද කියන එකත් පරෙස්සමින් තක්සේරු කරලා බැලුවායින් පස්සෙයි. පවුලේ වැඩියෙන්ම අවදානමට ලක් වෙන පුද්ගලයා සඳහා ආරක්ෂාව සහතික කරන්න බැරි නම්, පරෙස්සමින් තෝරාගත් අලුත් අයිතිකරුවෙකුට බල්ලාව භාර දීම හෝ ඌට බෙහෙත් දී නැසීම වඩාත් හොඳයි.”

සුරතල් සත්තු හැටියට බල්ලන් සිටීමෙන් දරුවන්ට ඉගෙනගන්නත් හැඟීම් අතින් ප්‍රයෝජන ලබන්නත් පුළුවන්. වගකීමක් ඇතුව හොඳ අධීක්ෂණයක් සැපයීමෙන්, දෙමාපියන් දරුවන්ට සුරතල් සතුන් ගැන තියෙන හැම මතක සටහනක්ම හොඳ ඒවා බව සහතික කරගන්න උපකාර කරනවා.

[16වන පිටුවේ කොටුව]

බලු ශරීර භාෂාව

කලහකාරි බල්ලෙක්ගේ සාමාන්‍ය හැසිරීම, ඌට සුහද නැති නැඹුරුවාවක් තියෙනවා කියලා හෙළි කරනවා. මෙම බලු ශරීර භාෂාව හඳුනාගැනීමට ඔබේ දරුවාට ඉගැන්වීමෙන්, අනතුරු සහිත තත්වයන් මඟහරින්න ඔහුට උපකාර කරන්න ඔබට පුළුවන්.

● කලහකාරි බල්ලා වඩාත් විශාලව පෙනී සිටින්න බලනවා. උගේ බෙල්ලේ පිටිපස්සේ තියෙන මවිල් කෙළින් වී තියෙන්න පුළුවන්. වලිගය කෙළින්ම උස්සාගෙන ඒ බල්ලා ගොරවන්න හෝ බුරන්න නැඹුරු වෙන්න පුළුවන්. ඌ වලිගය කලබල සහිතව වේගයෙන් වනනවා නම්, ඌ මිත්‍රශීලී බව අඟවන්නේ නැහැ. ඒ වගේ බල්ලෙක්ට උගේ පාඩුවේ ඉන්න ඉඩහැරිය යුතුයි.

● භයෙන් ඉන්න බල්ලා, උගේ ඔළුවත් කන් දෙකත් පහත් කරගෙන බිම ඇනතියාගෙන ඉන්න අතරම, උගේ වලිගය පහතට වැටී හෝ උගේ කකුල් දෙක අතර තියාගන්නවා වෙන්න පුළුවන්. මේ වගේ බල්ලෙක් ළඟට ගියොත්, භය නිසා ඌ කලහකාරි වෙන්න පුළුවන්. ඌව නිකං ඉන්න හරින්න.

● පහසුවකින් ඉන්න බල්ලා හිටගෙන ඉන්න කොට, උගේ ඔළුව ඕනැවට වඩා ඉහළටවත් පහළටවත් තියාගන්නේ නැතුව, කට ඇරගෙන, වලිගය සම්පූර්ණයෙන්ම පහත් කරන්නේ නැතුව, පිටේ මට්ටමට මදක් පහළින් තියාගෙන ඉන්නවා. වලිගය වනන එක ඌ මිත්‍රශීලී බවට සංකේතයක්. මේ වගේ බල්ලෙක් එක්ක මිතුරු වීම සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

(බ්‍රයන් කිල්කමන්ස් සහ සේරා විල්සන් රචනා කළ දරුවන්ව ඔබේ බල්ලාගෙන් පරෙස්සම් කිරීම යන පොතෙන් රැගෙන තියෙනවා.)

[17වන පිටුවේ කොටුව⁄පින්තූර]

බල්ලන්ගෙන් ආරක්ෂාව

1. ළාබාල දරුවන්ව සහ බල්ලන්ව අධීක්ෂණය යටතේ තියාගන්න.

2. බල්ලෙකුට කවදාක්වත් හිරිහැර කරන්න එපා කියලා ඔබේ දරුවාට උගන්වන්න.

3. නාඳුනන බල්ලෙක්ව අතගාන්න ඉස්සෙල්ලා අයිතිකරුගේ අවසරය ඉල්ලන්න.

4. සරල ආඥාවලට කීකරු වෙන්න ඔබේ බල්ලාට උගන්වන්න.

5. වැලඳගැනීම් පිළිගන්න ඔබේ බල්ලාව පුරුදු කරන්න.

6. කලහකාරි සෙල්ලම් මඟහරින්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න