ඔබේ ආහාර රටාව ඔබව මරන්න එයට හැකිද?
“ඔයාගේ කිරීට ධමනියක දරුණු හිරවීමක් තියෙනවා; මේක 95%ක අවහිර වීමක් . . . ඔයා ඉන්නේ කොයි මොහොතේ හෝ හෘදයාබාධයක් ඇති වන තත්වයකයි.”
තිස්-දෙහැවිරිදි ජෝගේ පපුවේ වේදනාව ඇති කරන්නේ කුමක්දැයි නිශ්චය කිරීම සඳහා ඔහුව පරීක්ෂා කළ හෘද විශේෂඥයෙක් පැවසූ මේ වචන ඔහුට විශ්වාස කරන්න අමාරු වුණා. හෘද රෝගවලින් මියයන අඩක් පමණ තමන්ට එය තියෙන බවවත් දන්නේ නෑ.
ඒත් ජෝගේ තත්වයට මඟ පෑදුවේ මොකක්ද? ‘අවුරුදු 32ක්ම මම “මසුයි, කිරිවලිනුයි” හැදුව නියම අමෙරිකානු කෑමයි කෑවෙ’ කියා ජෝ ශෝක වෙයි. ‘කොහොමවුණත්, අමෙරිකානු කෑම මගේ සෞඛ්‍යයට අනතුරුදායකයි කියන එක මම ගණන්ගත්තේ නෑ.’
ඔබේ ආහාර රටාව සහ හෘද රෝග
ජෝගේ ආහාර රටාවේ තිබුණ වැරැද්ද මොකක්ද? ප්‍රධාන වශයෙන්, එහි කොලෙස්ටරෝල් සහ මේද, විශේෂයෙන්ම සන්තෘප්ත මේද වැඩිපුර අඩංගු වුණා. ඔහුගේ යෞවන කාලයේ පටන් ඔහු කන හැම වාරයකදීම වගේ ඔහු තමාවම කිරීට හෘද රෝගයට සූදානම් කරමින් සිටියා. ඇත්තෙන්ම, මේදය වැඩි ආහාර රටාවක් එක්සත් ජනපදයේ මරණයට මඟ පාදන හේතුකාරක දහයෙන් පහකටම සම්බන්ධයි. ලැයිස්තුවේ ඉහළින්ම තියෙන්නේ හෘද රෝගයි.
රටවල් හතක වයස 40 සිට 49 අතර පිරිමින් 12,000ක් පමණ සම්බන්ධයෙන් කළ අධ්‍යයනයකදී, ආහාර රටාව සහ හෘද රෝග අතර සම්බන්ධයක් තිබෙන බව පෙනෙන්ට තිබෙනවා. මේ එක් එක් රටේ ලොකු වෙනසක් තිබෙන බව හෙළි කරනවා. තම කැලරිවලින් සියයට 5ක් පමණක් සන්තෘප්ත මේද වශයෙන් ගන්නා ජපන් පුරුෂයන්ගේ රුධිර කොලෙස්ටරෝල් අඩු මට්ටම් තිබෙද්දී, සන්තෘප්ත මේද වශයෙන් කැලරි සියයට 20ක් කෑමට ගන්නා ෆින්ලන්ත පුරුෂයන්ට රුධිර කොලෙස්ටරෝල් වැඩි මට්ටම් තිබුණ බව අධ්‍යයනය පෙන්නුම් කළා. ඒ වගේම ජපන් පුරුෂයන්ට වඩා ෆින්ලන්ත පුරුෂයන්ට හෘදයාබාධ සෑදීමේ වාර ගණන හය ගුණයකින් වැඩියි!
කෙසේවුවත්, ජපානයේ දැන් කිරීට හෘද රෝගවල අඩුවක් නෑ. පසුගිය වසර කීපය තුළදී, එහි බටහිර-පන්නයේ කඩිනම් ආහාර ජනප්‍රිය වෙලා තිබෙන බැවින් සත්ව මේද ප්‍රයෝජනයට ගැනීම සියයට 800කින් වැඩි වෙලා තියෙනවා. දැන්, ජපන් පිරිමි ළමුන්ට එම වයසේම අමෙරිකානු පිරිමි ළමුන්ට වඩා වැඩි රුධිර කොලෙස්ටරෝල් ඉහළ මට්ටම් පවා තියෙනවා! පැහැදිලිවම, ආහාරවලින් ගන්නා මේදය හා කොලෙස්ටරෝල්, ජීවිත තර්ජන තත්වයන් හා සම්බන්ධව, විශේෂයෙන්ම හෘද රෝග හා සම්බන්ධව පවතිනවා.
කොලෙස්ටරෝල්වල කාර්යභාරය
කොලෙස්ටරෝල් ජීවිතයට අතිවැදගත් ඉටි සහිත සුදු පාට ද්‍රව්‍යයක්. එය සියලුම මනුෂ්‍යයන්ගේ හා සත්වයන්ගේ සෛලවල තිබෙනවා. අපේ අක්මාව කොලෙස්ටරෝල් නිපදවන අතර, අපි කන ආහාරවලද එය වෙනස් වෙනස් ප්‍රමාණවලින් තියෙනවා. කොලෙස්ටරෝල්, මේද සහ ප්‍රෝටීන්වලින් සංයුක්ත ලයිපොප්‍රෝටීන ලෙස හැඳින්වෙන අණුවල තිබෙන සෛල වෙත, රුධිරය කොලෙස්ටරෝල් ගෙනියනවා. රුධිර කොලෙස්ටරෝල්වලින් වැඩිහරියක් ගෙනයන ලයිපොප්‍රෝටීන දෙවර්ගය වන්නේ අඩු ඝනත්ව ලයිපොප්‍රෝටීන (LDL) සහ වැඩි ඝනත්ව ලයිපොප්රෝටීනයි (HDL).
LDL කොලෙස්ටරෝල්වලින් බහුලයි. ඒවා රුධිර ධාරාව පුරා ගමන් කරද්දී සෛල බිත්ති මත ඇති ප්‍රතිග්‍රාහක LDL මගින් සෛල තුළට ඇතුල් වන අතර, සෛලය මගින් ප්‍රයෝජනයට ගැනීම සඳහා සරල රසායනික කොටස්වලට වෙන් කෙරෙනවා. ශරීරයේ සෛල වැඩිහරියක එවැනි ප්‍රතිග්‍රාහක තිබෙන අතර ඒවා සමහර LDL අල්ලගන්නවා. නමුත් LDL ප්‍රතිග්‍රාහක මගින් රුධිර ධාරාවෙන් LDL ඉවත් කිරීම සියයට 70ක් අක්මාවේදී සිදු කෙරෙන ආකාරයෙනුයි එය නිර්මාණය කර තිබෙන්නේ.
අනික් අතට, HDL කොලෙස්ටරෝල්-පිපාසිත අණුයි. රුධිර ධාරාව තුළින් ගමන් කරද්දී, ඒවා අතිරේක කොලෙස්ටරෝල් උරාගෙන, අක්මාවට ගෙන යනවා. අක්මාව කොලෙස්ටරෝල් සරල රසායනික කොටස්වලට බෙදා ශරීරයෙන් පිට කර හරියි. මේ අයුරින් අවශ්‍ය කොලෙස්ටරෝල් ප්‍රමාණය භාවිතයට ගෙන ඉතිරිවා විනාශ කර දැමීමට ශරීරය පුදුමාකාර ලෙස නිර්මාණය කර තිබෙනවා.
ගැටලුව ඇති වන්නේ රුධිරයේ LDL වැඩි ප්‍රමාණයක් තියෙන විටයි. මෙය ධමනි බිත්තිවල ඝන ලප සෑදීමට ඇති හැකියාව වැඩි කරනවා. ඝන ලප හැදුණහම ධමනි සිහින් වන අතර, ඒ තුළින් ඔක්සිජන් රැගෙන යන රුධිර ප්‍රමාණය අඩු කරවනවා. මේ තත්වය හඳුන්වන්නේ ඇතරෝස්ක්ලෙරෝසිස් කියලයි. රෝග ලක්ෂණ පැහැදිලිව පෙන්නුම් නොකර ඉතා සෙමින් ක්‍රියාවලිය දිගටම සිදු වන්නේ, පැහැදිලි රෝග ලක්ෂණ දක්වන්න දශක ගණනක් ගනිමිනුයි. ජෝට හැදුණ ඇන්ජයිනා පෙක්ටෝරිස් නැතහොත් පපුවේ වේදනාව එක රෝග ලක්ෂණයක්.
කිරීට ධමනියක් සම්පූර්ණයෙන්ම හිර වූ විට, බොහෝවිට රුධිර කැටියකින් හිර වූ විට, ඒ ධමනියෙන් රුධිරය ලබාගන්න හෘද කොටස මැරෙනවා. ප්‍රතිඵලය වන්නේ හදිසියෙන්, බොහෝවිට මාරාන්තිකව හටගන්නා මයෝකාඩියල් ඉන්ෆාක්ෂන් හෙවත් වඩාත් හොඳින් දන්නා හෘදයාබාධයක් ඇතිවීමයි. කිරීට ධමනියක පැත්තක් අවහිර වීම පවා හෘද පටකයේ මියයෑමට මඟ පෑදිය හැකියි; ඇති වුණ ශාරීරික අපහසුතාවෙන් මෙවැන්නක් සිදු වී ඇති බව පැහැදිලි නොවන්න පුළුවන්. ශරීරයේ අනිත් කොටස්වල ධමනි අවහිර වීම ආඝාතය, පාදවල කෝථය හෝ වකුගඩු ක්‍රියාකාරිත්වය පවා නවතින තත්වයක් ඇති කරවයි.
LDL අහිතකර කොලෙස්ටරෝල් සහ HDL හිතකර කොලෙස්ටරෝල් කියා හැඳින්වීම පුදුමයක් නෙවෙයි. රුධිර පරීක්ෂාවේදී LDL වැඩි වුවොත්, නැත්නම් HDL අඩු වුවොත් හෘද රෝග හටගැනීමේ අවදානම වැඩියි.a සුළු රුධිර පරීක්ෂණයකින්, පුද්ගලයෙක් පපුවේ වේදනාව වැනි පැහැදිලි රෝග ලක්ෂණ අද්දකින්න බොහෝ කලකට පෙර, ඇති වෙන්න තිබෙන අනතුර ගැන බොහෝවිට අඟවයි. එසේනම්, ඔබේ රුධිර-කොලෙස්ටරෝල් මට්ටම සෝදිසි කරමින් සිටීම වැදගත්. ඔබේ ආහාර රටාව මේ මට්ටමට බලපෑ හැකි ආකාරය අපි දැන් බලමු.
රුධිර කොලෙස්ටරෝල් සහ ආහාර රටාව
සත්වයන්ගෙන් උකහාගත් කොලෙස්ටරෝල් ආහාරවල තිබෙන ස්වාභාවික කොටසකි. මස්, බිත්තර, මාළු, කුකුල්මස් සහ කිරි නිෂ්පාදන සියල්ලේම කොලෙස්ටරෝල් අඩංගුයි. අනිත් අතට, ගස්වැල්වලින් ගන්නා ආහාරවල කොලෙස්ටරෝල් නෑ.
ශරීරය ඊට අවශ්‍ය සියලුම කොලෙස්ටරෝල් නිපදවන බැවින් ආහාරවලින් පරිභෝජනයට ගැනෙන කොලෙස්ටරෝල් අතිරේක ඒවායි. අපි ආහාරයට ගන්නා කොලෙස්ටරෝල්වලින් බොහෝමයක් අන්තිමට තැන්පත් වෙන්නේ අක්මාවෙයි. සාමාන්‍යයෙන්, ආහාරවලින් ගන්නා කොලෙස්ටරෝල් අක්මාවට ඇතුල් වෙයි; එවිට අක්මාව ඒවා සකස් කරන අතර ඒකෙන්ම නිපදවන කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරයි. මෙය රුධිරයේ ඇති මුළු කොලෙස්ටරෝල් ප්‍රමාණය පාලනය කර තබනවා.
එහෙත්, අක්මාවට ඉක්මනින් සකස් කළ නොහැකි තරමටම ආහාරයෙහි කොලෙස්ටරෝල් බහුලව තිබෙනවා නම් සිදු වන්නේ මොකක්ද? ධමනි බිත්තිවල සෛලවලට කොලෙස්ටරෝල් කෙළින්ම ඇතුල් වීමට තිබෙන ඉඩ කඩ වැඩි වෙනවා. එසේ සිදු වන විට, ඇතරෝස්ක්ලෙරෝසිස් ක්‍රියාවලිය හටගන්නවා. ආහාරවලින් ලබාගන්න කොලෙස්ටරෝල් ප්‍රමාණය නොසලකා ශරීරය දිගටම එකම ප්‍රමාණයකින් කොලෙස්ටරෝල් සාදනවා නම් තත්වය හුඟක් අනතුරුදායකයි. එක්සත් ජනපදයේ පස්දෙනෙකුගෙන් එක්කෙනෙකුට මේ ගැටලුව තියෙනවා.
එහෙමනම්, ඔබ ආහාරවලින් ගන්නා කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කිරීම ඥානවන්ත ක්‍රියාමාර්ගයක්. නමුත් රුධිර-කොලෙස්ටරෝල් මට්ටම මත ඊටත් වඩා බලපෑමක් කරන වෙනත් සංරචකයක් අපේ ආහාරවල තිබෙනවා—ඒ තමයි සන්තෘප්ත මේදය.
මේදය සහ කොලෙස්ටරෝල්
මේදයේ වර්ග දෙකක් තිබෙනවා: සන්තෘප්ත සහ අසන්තෘප්ත. අසන්තෘප්ත මේදය, ඒකඅසන්තෘප්ත හෝ බහුඅසන්තෘප්ත වෙන්න පුළුවන්. සන්තෘප්ත මේදය පරිභෝජනයට ගැනීමෙන් රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරන බැවින්, ප්‍රතිරූපක සන්තෘප්ත මේදයට වඩා අසන්තෘප්ත මේදය ඔබට වඩාත් හොඳයි. සන්තෘප්ත මේදය එය දෙයාකාරයකින් සිදු කරනවා: අක්මාවේ කොලෙස්ටරෝල් වැඩියෙන් හටගන්වන්න ඒවා උපකාර කරන අතර, ඒවා අක්මා සෛලවල LDL ප්‍රතිග්‍රාහකයන් මැඩපවත්වා, රුධිරයෙන් LDL ඉවත් කිරීමේ වේගය බාල කරනවා.
සන්තෘප්ත මේදය මූලිකවම තිබෙන්නේ, බටර්, බිත්තර කහ මද, ඌරුතෙල්, කිරි, අයිස් ක්‍රීම්, මස් සහ කුකුල් මස් වැනි සත්වයන්ගෙන් ලැබෙන ආහාරවලයි. චොකලට්, පොල් සහ පොල් තෙල්, ශාක තෙල් සහ පාම් තෙල්වලද ඒවා බහුලව තිබෙනවා. කාමර උෂ්ණත්වයේදී සන්තෘප්ත මේදය ඝනයි.
අනිත් අතට, අසන්තෘප්ත මේදය කාමර උෂ්ණත්වයේදී ද්‍රව ලෙසින් පවතිනවා. සන්තෘප්ත මේදය අඩංගු ආහාර සඳහා ආදේශක වශයෙන් ඒකඅසන්තෘප්ත මේදය හා බහු අසන්තෘප්ත මේදය අඩංගු ආහාර යොදාගතහොත් ඔබේ රුධිර-කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට එය උපකාරවත් විය හැකියි.b ඉරිඟු තෙල් සහ සූරියකාන්ත-ඇට තෙල්වල සාමාන්‍යයෙන් තියෙන බහුසන්තෘප්ත මේදය හිතකර හා අහිතකර කොලෙස්ටරෝල් දෙවර්ගයම අඩු කරන අතර, ඔලිව් තෙල්වල සහ කැනොලා තෙල්වල බහුලව තියෙන ඒකඅසන්තෘප්ත මේදය, හිතකර කොලෙස්ටරෝල්වලට හානි නොකර අහිතකර කොලෙස්ටරෝල් පමණක් අඩු කරයි.
මේදය, අපේ ආහාරයේ අත්‍යවශ්‍ය කොටසක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. උදාහරණයක් වශයෙන්, ඒවා නොමැතිව විටමින් A, D, E සහ K උරාගැනීමක් සිදු වන්නේ නෑ. කෙසේවුවද, ශරීරයට අවශ්‍ය වන්නේ ඉතා සුළු මේද ප්‍රමාණයයි. එළවළු, බෝංචි, කඩල සහ පලතුරු පරිභෝජනයට ගැනීමෙන් ඒවා පහසුවෙන්ම ලැබෙනවා. ඒ නිසා සන්තෘප්ත මේදය ආහාරයට ගැනීමෙන් ශරීරයට අවශ්‍ය කරන පෝෂ්‍යපදාර්ථ නොලැබී යන්නේ නෑ.
මේදය හා කොලෙස්ටරෝල් අඩු කිරීමට හේතුව
මේදය සහ කොලෙස්ටරෝල් බහුල ආහාරයක් සැමවිටම රුධිර කොලෙස්ටරෝල් වැඩි කරයිද? එහෙම වෙන්නේ නෑ. මුල් ලිපියේදී සඳහන් කළ තොමස් පිබිදෙව්! සමඟ තම සාකච්ඡාව පැවැත්වූ පසු රුධිර පරීක්ෂාවක් කරගන්න තීරණය කළා. ඔහුගේ කොලෙස්ටරෝල් මට්ටම් සුදුසු ප්‍රමාණවලින් තිබුණ බව ප්‍රතිඵලවලින් හෙළි කළා. කොලෙස්ටරෝල් මට්ටම පාලනය කර තබාගන්න ඔහුගේ අක්මාවට පැහැදිලිවම හැකි වුණා.
කෙසේවුවත්, තොමස් අවදානම් විරහිත තත්වයක ඉන්න බවක් ඉන් අදහස් කරන්නේ නෑ. ආහාරවලින් ගන්නා කොලෙස්ටරෝල්වලින් රුධිර කොලෙස්ටරෝල්වලට ඇති වන බලපෑමට අමතරව, කිරීට හෘද රෝග ඇතිවීමට එය බලපෑ හැකි බව මෑත අධ්‍යයනයන් පෙන්නුම් කරයි. “රුධිර කොලෙස්ටරෝල් අඩු අයට පවා කොලෙස්ටරෝල්-බහුල ආහාර හෘද රෝග ඇති කරන බව” අ.එ.ජ. වයඹදිග විශ්වවිද්‍යාලයේ වෛද්‍ය. ජෙරමායා ස්ටැම්ල’ පවසයි. “තම රුධිර කොලෙස්ටරෝල් මට්ටම කුමක් වුවත්, සියලුම ජනයා කොලෙස්ටරෝල් අඩුවෙන් කෑමට සැලකිලිමත් විය යුත්තේ ඒ නිසයි.”
ආහාරවල මේදය තිබීමේ කාරණයද තිබෙනවා. රුධිරයේ අධික මේදය, එය ආහාරයේ සන්තෘප්තව හෝ අසන්තෘප්තව තිබුණත්, රතු සෛලවලට එකට ගොනු වෙන්න සලස්වයි. එවැනි ඝන රුධිරය සිහින් කේශ නාලිකාවලින් ගමන් නොකරන නිසා පටකවලට අවශ්‍ය කරන පෝෂ්‍යපදාර්ථ ලැබීම වළක්වයි. ධමනි ඔස්සේ ගමන් කරන ගොනු වූ සෛල ධමනි බිත්තිවලට ඔක්සිජන් බෙදාහැරීමටද බාධා පමුණුවන බැවින්, බිත්ති මතුපිටට හානි පමුණුවමින් පහසුවෙන්ම ඝන ලප ඇති වෙන්න සලස්වයි. නමුත් මේද අතිරේක ප්‍රමාණයන් පරිභෝජනයට ගැනීමේදී තවත් අනතුරක් තිබෙනවා.
පිළිකාව සහ ආහාර රටාව
“සන්තෘප්ත මෙන්ම අසන්තෘප්ත ඕනෑම මේදයක් යම් වර්ගවල පිළිකා සෛල වර්ධනයට දායක වෙනවා” කියා වෛද්‍ය. ජොන් ඒ. මක්ඩූගල් පවසයි. මහාන්ත්‍රයේ සහ ගුදමාර්ගයේ පිළිකා මෙන්ම පයෝධර පිළිකා සම්බන්ධ ජාත්‍යන්තර සිද්ධියක් පිළිබඳ සමීක්ෂණයක්, මේද වැඩි ආහාර ගන්නා බටහිර රටවල සහ සංවර්ධනය වෙමින් පවතින රටවල ලොකු වෙනසක් තිබෙන බව පෙන්නුම් කළා. උදාහරණයක් වශයෙන්, එක්සත් ජනපදයේ පුරුෂයන් සහ ස්ත්‍රීන් යන දෙගොල්ලන්ටම දෙවනියට සෑදුණ ඉතා පොදු පිළිකාව මහාන්ත්‍ර සහ ගුදමාර්ග පිළිකා වන අතර, පයෝධර පිළිකා ස්ත්රීන්ට ඉතා පොදුයි.
අමෙරිකානු පිළිකා සංගමය පවසන පරිදි, පිළිකා බහුලව තිබෙන රටකට පදිංචියට යන ජන කණ්ඩායම් අන්තිමේදී එම රටේ පිළිකා අනුපාතයටම පැමිණෙන්නේ, අලුත් ජීවන රටාවට හා ආහාර රටාවට වෙනස් වෙන්න ඔවුන් ගන්නා කාලපරිච්ඡේදයට අනුවයි. “හවායි බලා යන ජපන් ජාතිකයන් බටහිර පිළිකා රටාවක් වර්ධනය කරගනිමින් ඉන්නවා: මහාන්ත්‍ර සහ පයෝධර පිළිකා හැදෙන සංඛ්‍යාව ඉහළ යන අතර, උදර පිළිකා අඩු වෙනවා—මෙය ජපන් රටාවට විරුද්ධ පැත්තයි” කියලා පිළිකා සංගමයේ සූපශාස්ත්‍ර පොතේ සටහන් වෙනවා. පැහැදිලිවම, පිළිකාව ආහාරවලට සම්බන්ධයි.
මුළු මේදය, සන්තෘප්ත මේදය, කොලෙස්ටරෝල් හා කැලරි ඔබේ ආහාරයේ බහුලව තිබෙනවා නම්, ඔබට යම් වෙනස්කම් කිරීමට සිදු වෙනවා. හොඳ ආහාර රටාවක් හොඳ සෞඛ්‍යයකට මඟ පෑදිය හැකි අතර, නරක ආහාර රටාවක නුසුදුසු බලපෑම් බොහෝමයක් වෙනස් කරන්න පවා එයට පුළුවන්. බොහෝවිට ඩොලර් 40,000ක් හෝ ඊට වඩා වියදම් වන වේදනාකාරි බයිපාස් සැත්කම වැනි විකල්ප ගැන සලකා බලනවා වෙනුවට මෙය ඉතා සතුටුදායක දෙයක්.
ඔබ කන දේ ඥානවන්තව තෝරාගැනීමෙන් ඔබට බර අඩු කරගන්න පුළුවන්; හැඟෙන ආකාරය හොඳ අතට හරවගන්න පුළුවන්; සමහර රෝගවලින් වැළකීමට හෝ ඒවා හොඳ කරගන්න ඔබටම උපකාර කරගන්න පුළුවන්. මේ යෝජනා සම්බන්ධයෙන් ඊළඟ ලිපියේ සාකච්ඡා කර තිබෙනවා.
[පාදසටහන්වල]
a කොලෙස්ටරෝල් මනිනු ලබන්නේ ඩෙසිලීටරයකට මිලිග්‍රෑම් කොපමණ තිබෙනවාද යන්න මගිනුයි. මුළු කොලෙස්ටරෝල් ප්‍රමාණය—LDL, HDL සමහරක් සහ රුධිරයේ වෙනත් ලයිපොප්රෝටීනවල කොලෙස්ටරෝල්—ඩෙසිලීටරයකට මිලිග්‍රෑම් 200කට වඩා අඩුයි. ඩෙසිලීටරයකට HDL මිලිග්‍රෑම් 45ක මට්ටමක් තිබීම හෝ ඊට වැඩිවීම සුදුසු බවට සැලකෙනවා.
b අමෙරිකානුවන් සඳහා වූ 1995 ආහාර දර්ශකවල, දවසකට ගන්නා කැලරි ප්‍රමාණයෙහි මුළු මේදය සියයට 30කට වඩා අඩු කිරීමට නිර්දේශ කරන අතර, සන්තෘප්ත මේදය කැලරි සියයට 10කට වඩා අඩුවෙන් ගැනීමට නිර්දේශ කරයි. ආහාරයට ගන්නා සන්තෘප්ත මේදයේ කැලරි ප්‍රමාණය සියයට 1ක් අඩු කිරීම, සාමාන්‍යයෙන් රුධිර කොලෙස්ටරෝල් මට්ටමෙහි ඩෙසිලීටරයකට මිලිග්‍රෑම් 3ක් අඩු කිරීමට සලස්වයි.
[8වන පිටුවේ රූප සටහන]
කිරීට ධමනිවල හරස්කඩක්: (1) සම්පූර්ණයෙන් විවෘතව, (2) අඩක් අවහිර වී, (3) සම්පූර්ණයෙන්ම වගේ අවහිර වී