ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g97 6/8 11-14 පි.
  • පුංචි දැරියකගේ කන් තුළට

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පුංචි දැරියකගේ කන් තුළට
  • 1997 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ආගමට ආශාවක්
  • විවාහය සහ පවුලක්
  • පල්ලිය හැර යෑම
  • බයිබල් සත්‍යය ඉගෙනගැනීම
  • පවුලේ විරුද්ධකම්
  • අමතක නොවන රැස්වීමක්
  • යාච්ඤාවලට සවන් දෙන දෙවි
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “යෙහෝවා, ඔබ මාව අත්හැරියේ නැහැ!”
    2004 පිබිදෙව්!
  • ජීවිත වෙනස් කළ පොතක්
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සැබෑ ඇදහිල්ල සොයාගැනීම සඳහා මගේ දිගු දැඩි සටන
    1995 පිබිදෙව්!
තව තොරතුරු
1997 පිබිදෙව්!
g97 6/8 11-14 පි.

පුංචි දැරියකගේ කන් තුළට

දිනක්, මම කුඩා දැරියකව සිටිද්දී, අ.එ.ජ., වර්ජිනියා කෝබ’න්වල තිබුණ අපේ ගෙදරට මහත්මයෙක් ආවා; ඔහු මගේ තාත්තා එක්ක කතා කරද්දී, මාව එක තැනකට කරලා තියාගන්න ඕන වුණ නිසා ඔහුගේ යාළුවා මාත් එක්ක කතා කළා. ඔහුගේ වචන, මට හානි කරන්නේ නැති, වනසත්තුත් එක්ක සෙල්ලම් කරන්න මට පුළුවන් වෙන පාරාදීස පොළොවක පින්තූරයක් ඇන්දා. (යෙසායා 11:6-9) මැරෙන්නේ නැතුව දිගටම මට මේ පොළොවෙම සදහටම ජීවත් වෙන්න පුළුවන් කියලා ඔහු පැහැදිලි කළා. අනාගතය චමත්කාර එකක් වගේ පෙනුණා! පොළොවේ ජීවත් වීම ගැන ඒ තැනැත්තා කිව්ව දේ මගේ හිතේ කෙටුණා.—යෙසායා 25:8; එළිදරව් 21:3, 4.

ආගමට ආශාවක්

මගේ දෙමාපියන්ට විවාහයේ ගැටලු බොහොමයක් තිබුණා. වසර කීපයකට පස්සේ ඔවුන් දික්කසාද වුණ අතර, මම අම්මා එක්ක ජීවත් වුණා. ආගම ගැන ඇයට කිසි උනන්දුවක් තිබුණේ නෑ. ඒ නිසා, අපේ ගෙදරට පයින් යන දුරක තිබුණ ඕනෙම පල්ලියක ඉරිදා ඉස්කෝලෙට මම තනියෙන්ම ගියා. වැඩි කල් යන්න ඉස්සෙල්ලා මගේ අම්මා ආයිත් විවාහ වුණා; මගේ සුළු පියා එක්ක අපි ඉන්ඩියානාවලට ගියා. කොහොමවුණත්, හැම ගිම්හානයකදීම මම මගේ තාත්තව බලන්න වර්ජිනියාවලට ගියා.

දික්කසාද වෙලා වැඩි කලක් යන්න ඉස්සෙල්ලා තාත්තා මෝ’මන් භක්තිකයෙක් වුණා; ඔහුට අලුතෙන් ලැබුණ ආගම මට කාවද්දන්න ඔහු වෑයම් කළා. මට අවුරුදු අටේදී, 1960 ගිම්හානයේදී ඔහු මාව බව්තීස්ම කළා. ඒත්, මම ඉන්ඩියානාවල ඉන්දැද්දී ගෙදරට කිට්ටුවෙන් තිබුණ මොකක් හරි පල්ලියකට ගියා. අපි යහපත්ව හිටියොත්, ස්වර්ගයට යන බවත්, අපි නපුරුව හිටියොත් ගින්නෙන් දැවෙන නිරයකට යන බවත් ඒ හැම එකකම ඉගැන්නුවා. ස්වර්ගයේ ජීවත් වෙනවාට වඩා පොළොවේ ජීවත් වෙන්න වුවමනා වීම ගැන තියෙන මගේ හැඟීම් කවුරුත් තේරුම්ගන්න එකක් නෑයි කියලා හිතුව නිසා ඒවා ගැන මම කවදාවත් කාටවත් කිව්වේ නෑ.

මට වයස 11දී, තාත්තා ඔරිගන්වල පදිංචියට ගියා. අසරණ වුණ මා තුළ දැඩි අමනාපයක් ඇති වුණා. මගේ සුළු පියා අදේවවාදියෙක් වගේම බේබද්දෙක්; ඔහු මගේ ඇදහිල්ල සම්බන්ධයෙන් මට සෑහෙන කරදරයක් දුන්නා. ඔහු මට පුංචි උපාසිකාව කියලා කතා කළා; එතකොට මම අඬන්න පටන්ගත්තහම ඔහු මෙහෙම කියනවා: “උපකාර කරන්න කියලා ඇයි ඔයා ඔයාගේ දෙවියන්ගෙන් ඉල්ලන්නේ නැත්තේ?” ගෙදර කිසි කෙනෙක් දෙවි ගැන සැලකිල්ලක් දක්වන බවක් පේන්න තිබුණේ නෑ. ඒ අවුරුදු ගණන අඳුරු, දුෂ්කර කාලයක්. මම ශාරීරිකව, වාචිකව හා ලිංගිකව පීඩා ලැබුවා. මා ගැන සැලකුවේ දෙවි පමණයි කියලා මට ගොඩක් වෙලාවලදී හැඟුණ නිසා, ඔහු එක්ක කතා කිරීමෙන් මම සහනයක් ලැබුවා.

අම්මා මගේ සුළු පියාව අත්හැරියා; පීඩාත් නැවතුණා. ඒත්, අපි ගොඩක් දුප්පත් වෙලා හිටිය නිසා අම්මට එදා වේල හොයාගන්න අමාරු වුණා. මට වයස 13දී අපි වර්ජිනියාවල මගේ ලොකුඅම්මාව බලන්න ගියා. ඇය කරුණාවන්ත, අවංක බැප්ටිස්ට් භක්තික ස්ත්‍රියකව සිටියා. මම ඇයට හුඟාක් ආදරේ කළා. ඇය එක්ක පල්ලියට එන්න කියලා ඇය මට කිව්වහම මම එකඟ වුණා. අම්මත් ආවා; මාත් එක්කම මගේ පවුලේ අයත් එහි සිටීම ගැන මට කොයිතරම් සතුටක් ඇති වුණාද කියලා මට මතකයි. අපේ බැහැදැකීමේ අවසානයේදී, ආයිත් ගෙදර යන එක ගැන මට අමුතු බයක් ඇති වුණා. මම ගියොත් මාව දුරාචාරයට වැටෙයිද කියලා මම බය වුණා. ඒ නිසා මම ලොකුඅම්මට කන්නලව් කළා මාව තියාගන්න කියලා; මට ඉන්න අම්මත් අවසර දුන්නා.

මගේ ලොකුඅම්මා මට ජේම්ස් රජුගේ බයිබලයක් අරං දුන්නා. මං ඒ ගැන ආඩම්බර වුණ අතර, හැම රාත්‍රියකදීම එයින් කොටසක් කියෙව්වා. “යමෙක් ඒ වචනවලට යමක් එකතුකරන්නේ නම්, [දෙවි] මේ පොතෙහි ලියනලද පීඩා ඔහුට එකතුකර[න්නේය]” කියලා බයිබලයේ අන්තිම පරිච්ඡේදයේ මම කියෙව්වා. (එළිදරව් 22:18, 19) ඉතින් “මෝ’මන්ගේ පොත ශුද්ධ ලියවිලිවල කොටසක් බව විශ්වාස කරන්න මට පුළුවන් වෙන්නේ කොහොමද” කියලා මම තර්ක කළා. ඒ නිසා, මම බැප්ටිස්ට් භක්තිකයෙක් වෙන්න තීරණය කළා.

මගේ තීරණය ගැන තාත්තට ලියලා දැන්නුවහම ඔහු කලබල වෙයි කියලා මට ස්ථිරත්වයක් තිබුණත්, ඔහුගේ එකම ප්‍රකාශය වුණේ මම පල්ලියට යන එක ගැන ඔහු සන්තෝෂ වුණා කියන එක විතරයි. අපේ බැප්ටිස්ට් දේවගැති එක්ක මම මිනිස්සුන්ගේ ගෙවල්වලට ගියා, කූඩාරමක පැවැත්වුණ අපේ ආගමික රැස්වීම්වලට ආරාධනා කරන්න. ගෙවල්වලට ගිහින් ජනයාව හමුවීමෙන් හා යේසු කළ විදිහට ඔවුන් එක්ක කතා කිරීමෙන් මට හිතුණේ මම දෙවිගේ කැමැත්ත කරනවා කියලයි.

ඒත්, ස්වර්ගයේ ජීවත් වෙනවට වඩා පාරාදීස පොළොවක ජීවත් වෙන්න මට තිබුණ ආශාව එවිටත් මගේ මනසේ රැඳිලා තිබුණා. නමුත් එවිට මම මතු බයිබල් කොටස කියෙව්වා; එය මට බලාපොරොත්තුවක් දුන්නා: “ඉල්ලන්න, එවිට නුඹලාට දෙනුලැබේ; සොයන්න, එවිට නුඹලාට සම්බවේ; තට්ටුකරන්න, එවිට නුඹලාට දොර හරිනු ලැබේ. මක්නිසාද ඉල්ලන්නාවූ සියල්ලන්ට ලැබේ; සොයන්නාට සම්බවේ; තට්ටුකරන්නාට දොර හරිනු ලැබේ.”—මතෙව් 7:7, 8.

විවාහය සහ පවුලක්

ඊළඟ අවුරුද්දෙදී ඉන්ඩියානාවල ඉන්න අම්මත් එක්ක නවතින්න මම නැවතත් එහි ගියා. මට අවුරුදු 15ක්ව ඉන්දැද්දී මම විවාහ වෙලා, ගර්භිණී වෙලා, දකුණු කැලිෆෝර්නියාවට බස් එකේ යමින් හිටියා. මගේ සැමියාගේ පවුලේ අයව මම හොඳින් දැනගෙන හිටියේ නැති වුණත් ඔවුන් මාව පිළිගන්නවා නම් මං කැමති වුණා. ඔවුන් පෙන්තකොස්ත අයයි; අන්‍ය භාෂාවලින් කතා කිරීමේ දීමනාව ගැන මගේ නෑනා මට කිව්වා. ඉතින් දිනක් රාත්‍රියේ මම ඔවුන්ගේ යාච්ඤා මෙහෙයකට ගියහම, මට අන්‍ය භාෂාවලින් කතා කරන්න ඉඩඅරින්න කියලා මම යාච්ඤා කළා.

මෙහෙයේදී එකපාරටම මට අමුතු හැඟීමක් ඇති වුණා. මගේ මුළු ඇඟම හෙලවෙන්න පටන්ගත්තා; පාලනය කරගන්න බැරි විදිහට මම දොඩවන්න පටන්ගත්තා. මා තුළින් ආත්මය පැමිණෙනවා කියා දේශකයා කෑගැහැව්ව අතර, ඔහු මගේ පිටට තට්ටු කරන්න පටන්ගත්තා. ඊටපස්සේ, හැමෝම මාව වැලඳගෙන, මේ විදිහට දෙවි මාව පාවිච්චි කරන එක කොච්චර ආශ්චර්යවත් දෙයක්ද කියලා මට කිව්වා. නමුත් මට ව්‍යාකූලත්වයක් හා බියක් දැනුණා. මං මොනවද කිව්වේ කියලා මම දැනගෙන හිටියේ නෑ.

ඊට ටික දවසකට පස්සේ, අපේ පළමු දරුවා ලැබෙන්න යන කොට මට හුඟක් අමාරු වුණා. දෙවි මගේ ප්‍රසව වේදනාව වැඩි කළේ මගේ සැමියා ක්‍රිස්තියානියෙක් නොවන හින්දයි කියලා පල්ලියේ දේවගැති ඔහුට කිව්වා. කඳුළු පිරි දෙනෙතින් මා වෙත පැමිණි මගේ සැමියා, ඔයා හිතනවා නම් මම බව්තීස්ම වෙන එක උපකාරයක් කියලා මම බව්තීස්ම වෙන්නම් කියලා කිව්වා. දෙවිට සේවය ලබාගන්න ඔහු බලෙන් මිනිස්සුන්ව නම්මගන්නේ නැති බව මට හොඳටම විශ්වාසයි කියලා මම ඔහුට කිව්වා.

පල්ලිය හැර යෑම

එක් ඉරිදාවක, දේවගැතිවරයා දේශනය දුන්නායින් පස්සේ, සම්මාදම් දාන්නයි කියලා සභාවෙන් ඉල්ලුවා. මෑතකදී සිද්ධ වුණ භූමිකම්පාවක් නිසා පල්ලිය අලුත්වැඩියා කරන්න අවශ්‍යව තිබුණා. සම්මාදම් තැටිය අතිනත යවද්දී මා ළඟ තිබුණ සල්ලි ඔක්කොම ටික දැම්මා. සල්ලි ගණන් කළාට පස්සේ සභාවට ස්තුති කරනවා වෙනුවට, මේ වැදගත් ක්‍රියාව කරන්න ඔවුන්ගේ සාක්කු සහ හෘද විවෘත කරන්න කියලා දේවගැති කාරුණිකව උනන්දු කළා. එවිට ඔහු නැවතත් තැටිය අතිනත යැව්වා. මට වෙන සල්ලි තිබුණේ නැති නිසා මම ලජ්ජාවෙන් ඉක්මනටම තැටිය යැව්වා. දේවගැති ඉක්මනට තව පාරක් සල්ලි ගණන් කරලා, ආපහු ඔවුන්ට ස්තුති කරන්නේ නැතුව ඒක ප්‍රමාණවත් නෑ කිව්වා. “දෙවිගේ වැඩයට අවශ්‍ය මුදල අපිට ලැබෙන තුරු කිසි කෙනෙක් කොහොමටවත් මෙතනින් පිට වෙන්නෙ නෑ” කියලා ඔහු කිව්වා.

මගේ සැමියා මං එනකං එළියේ බලාගෙන හිටිය නිසා මම දැනගත්තා එයාට කේන්ති යයි කියලා. එයාට විතරක් නෙවෙයි. දේවගැති ස්තුතිවන්ත වුණේ නැති එක ගැන මටත් කේන්තියක් ආවා. ඒ නිසා මගේ අතේ හිටිය දරුවවත් අරං මගේ දෙනෙතින් කඳුළු කඩා වැටෙද්දී හැමෝම ඉදිරියේ පල්ලියෙන් එළියට ආවා. මම ආයි කවදාවත් පල්ලිය එක්ක කිසිම සම්බන්ධයක් තියාගන්නේ නෑයි කියලා අධිෂ්ඨානයක් ගත්තා. මම පල්ලියට යන එක නතර කළත්, මම දෙවිව විශ්වාස කරන එක නතර කළේ නෑ. මම තවදුරටත් මගේ බයිබලය කියෙවූ අතර, හොඳ බිරිඳක් වෙන්න උත්සාහ කළා.

බයිබල් සත්‍යය ඉගෙනගැනීම

අපේ දෙවෙනි දරුවා ඉපදුණාට පස්සේ, ටෙක්සස්වලට යන අපේ මිත්‍රයන්, ඔවුන්ගේ ගෙහිමියාට කතා කරලා ඔවුන් හිටිය ගේ අපිට කුලියට අරං දුන්නා. මගේ මිතුරි පැට් වෙන තැනකට යන නිසා ඇය කිව්වා ඇයට ස්ත්‍රියක් යම් මුදලක් ණයයි, ඒක අරං එයි කියලා. ටෙක්සස්වලට ඒක තැපැල් කරලා එවන්න කියලා පැට් මට කිව්වා. ටික දවසකට පස්සේ, ස්ත්‍රීන් දෙන්නෙක් දොරට තට්ටු කළා. ඔවුන් මුදල් අරං ඇවිල්ලයි කියලා හිතලා, ඒ මොහොතෙම මම ඔවුන්ට ඇතුළට ආරාධනා කළා. පැට් ගියා, නමුත් ඕගොල්ලෝ එයි කියලා එයා මට කිව්වා කියලා මම පැහැදිලි කළා. “පැට් හරි හොඳ කෙනෙක්” කියලා ස්ත්‍රීන් දෙන්නාගෙන් එක් කෙනෙක් වන ෂාලින් ප’ර’න් කිව්වා. “ඇයත් එක්ක පාඩම් කරලා අපි ඇත්තටම ප්‍රීතියක් ලැබුවා.”

“මොකක්ද?” මම ඇහැව්වා. “පාඩම් කළා? ඔයාට වැරදිලා වෙන්න ඇති.” පැට් එක්ක ඔවුන් පාඩමක් පටන්ගෙන තිබුණ බව ෂාලින් පැහැදිලි කළා. පැට් ගිහින් කියලා දැනගත්තට පස්සේ, බයිබලය පාඩම් කරන්න කැමතිද කියලා මගෙන් ඇහැව්වා. “ඔව්” සැකයකින් තොරව මම උත්තර දුන්නා. “ඔයාට දැනගන්න ඕන දෙයක් මම උගන්වන්නම්.” මම බයිබලය කියවලා තිබුණ එක ගැන මට ආඩම්බරයක් ඇති වුණ අතර, මට ඔවුන්ව දිරිගන්වන්න පුළුවන් කියලා මට හැඟුණා.

ෂාලින් මට සදාකාල ජීවනයට මග පෙන්වන සත්‍යය පොත පෙන්නුවා; අපි ගීතාවලිය 37:9 කියෙව්වා: “නපුරු ක්‍රියා කරන්නෝ සිඳිනු ලබන්නෝය. නුමුත් [යෙහෝවා] කෙරෙහි බලා සිටින්නෝ දේශය උරුමකරගන්නෝය.” මාව උඩ ගියා. මගේම බයිබලයේ කියලා තියෙනවා මිනිස්සු පොළොව උරුම කරගන්නවා කියලා. ඊට පස්සේ, එකපාරටම මම ප්‍රශ්න ගොඩක් ඇහැව්වා. ෂාලින් හිනා වෙලා: “පොඩ්ඩක් ඉන්න! අපි එක පාරකට එක දෙයක් ගැන කතා කරමු” යි කිව්වා. පිළිවෙළකට ස්ථිර බයිබල් පාඩමක් පැවැත්වීමේ අවශ්‍යතාව ගැන ඈ පැහැදිලි කළා. ඒ වෙලාවෙම ඈ මට රාජ්‍යශාලාවට ආරාධනා කළා; යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වෙන ස්ථානයේ නම ඒකයි.

සම්මාදම් තැටිය සම්බන්ධයෙන් මං ලැබුව අද්දැකීම ගැනත්, මම ආයිත් පල්ලියට යන්න අකමැති වුණ එක ගැනත් මම ෂාලින්ට කිව්වා. ඇය මාත් එක්ක මතෙව් 10:8 කියෙව්වා; එහි මෙහෙම කියනවා: “නුඹලා නොමිලයේ ලැබුවහුය, නොමිලයේ දෙන්න.” යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලදී සම්මාදම් තැටි අතිනත යවන්නේ නැති බවත්, හැම පරිත්‍යාගයක්ම ස්වේච්ඡාවෙන් කරන බවත් ඇය පැහැදිලි කළා. ශාලාවේ සම්මාදම් පෙට්ටියක් තිබෙන අතර, කැමති අයට ඒකට සම්මාදම් දාන්න පුළුවන් බවත් ඇය කිව්වා. තව එක වතාවක් ආගමට ඉඩ දෙන්න මම තීරණය කළා.

පෙන්තකොස්ත පල්ලියේදී මම අන්‍ය භාෂාවලින් කතා කළහම මට ලොකු අපහසුතාවක් දැනුණේ ඇයි කියලා මම ඉගෙනගත්තා. මුල් ක්‍රිස්තියානීන්ට දෙවිගේ ශුද්ධාත්මය තිබුණ බවට සාක්ෂියක් සපයන්නයි ඔවුන්ට විවිධ භාෂා කතා කිරීමේ දීමනාව දුන්නේ. මේ ප්‍රාතිහාර්යමය දීමනාවෙන්, පො.යු. 33 පෙන්තකොස්තයේදී එකට රැස්වූ විවිධ රටවලින් පැමිණි ජනයාට බයිබල් සත්‍යයන් දැනගැනීමට සැලැස්වීමේ ප්‍රායෝගික අරමුණ ඉටු වුණා. (ක්‍රියා 2:5-11) කොහොමවුණත්, අන්‍ය භාෂාවලින් කතා කිරීමේ දෙවිගේ දීමනාව නැති වෙලා යන බව බයිබලයේ ප්‍රකාශ කළා; එය පැහැදිලිවම ප්‍රේරිතයන්ගේ මරණයෙන් පසුව නැතුව ගියා. (1 කොරින්ති 13:8) නමුත් ජනයාගේ මනස් අන්ධ කිරීමට සාතන් හා ඔහුගේ භූතයෝ ඇතැමෙකුව ව්‍යාකූල ආකාරයකින් දොඩවන්න සලස්වලා තියෙන අතර, මොවුන්ට දෙවිගේ ශුද්ධාත්මය තියෙනවා කියා බොහෝදෙනාට විශ්වාස කරන්න යම් විදිහකින් එය සලස්වලා තියෙනවා.—2 කොරින්ති 4:4.

පවුලේ විරුද්ධකම්

පොළොව සඳහා දෙවිගේ අරමුණත්, මම දුෂ්ට ලෝකයේ කොටසක් නොවිය යුතු බවත් වැඩි කල් නොගොස් මට තේරුම් ගියා. (යොහන් 17:16; 18:36) බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය සඳහා බයිබලයේ යොදා ඇති සංකේතයක් වන මහා බබිලෝනිය එක්ක තියෙන සම්බන්ධකම් හැම එකකින්ම අහක් වෙන්න ඕන බවත් මම ඉගෙනගත්තා. (එළිදරව් 18:2, 4) මේ පාර යෙහෝවාගේ සාක්ෂිකාරියක වශයෙන් මම බව්තීස්ම වෙන බව තාත්තට කිව්වහම ඔහුට හොඳටම කේන්ති ගියා. සාක්ෂිකාරියක් වෙන්න එපා කියලා ඔහු මට ආයාචනා කළා. මම ඔහු අඬනවා දැක්ක පළමු වතාව එයයි. ඔහුව රිදවන්න මට ඇත්තෙන්ම ඕන වුණේ නැති හින්දා, මමත් ඔහු එක්ක ඇඬුවා. නමුත් මට සත්‍යය ලැබිල තියෙන බවත්, මට කවදාවත් යෙහෝවාට පිටුපාන්න බැරි බවත් මම දැනගෙන හිටියා.

මම යෙහෝවාගේ සාක්ෂිකාරියක් වුණ එකට මගේ මුළු පවුලම විරුද්ධ වුණා. ටික කාලෙකට මම රැස්වීම්වලට යන එක නැවැත්තුවා. මෙය පවුලේ සාමාජිකයන්ගෙන් පැමිණෙන විරුද්ධවාදිකම්වලින් මාව නිදහස් කළත් මම හිටියේ දුකෙන්. මම යෙහෝවාගේ කැමැත්ත කරන තුරු මට කවදාවත් සැනසීමක් ලැබෙන්නේ නැති බව මම දැනං හිටියා. දිනක් මගේ කෑම පැයේදී ෂාලින්ගේ නිවසට ගිහින් මට බව්තීස්ම වෙන්න ඕන බව මම ඇයට පැවසුවා. “ඉස්සෙල්ලම ඔයා ආයිත් රැස්වීම්වලට එන්න ඕන බව ඔයා දන්නවා නේද?” ඇය පැවසුවා. මා සහ යෙහෝවා අතර සම්බන්ධය කඩන්න කිසිම දේකට ඉඩ නොදෙන්න මම තීරණය කළ බව මම ඇයට පැවසුවා. මම 1973 සැප්තැම්බර් 19වෙනිදා බව්තීස්ම වුණා.

ඒ අවුරුදු 23කට ඉස්සෙල්ලයි. එදා පටන් මගේ පවුලේ අය මගේ තීරණයට ගරු කළා; ඔවුන්ගෙන් කිසි කෙනෙක් සත්‍යය අත්හරින්න කියලා මට බල කළේ නෑ; මම ඒක හුඟක් අගය කරනවා. ඒත්, මගේ ලොකු දුව කිම් විතරයි දැනට සාක්ෂිකාරියක් වෙලා ඉන්නේ. අවුරුදු ගණනාව තුළ යෙහෝවාට ඇගේ පක්ෂපාත සේවය දිරිගැන්වීමේ මහත් උල්පතක් වෙලා තියෙනවා.

අමතක නොවන රැස්වීමක්

එක්දාස් නවසිය අනූවෙදී මම වර්ජිනියා කෝබ’න්වලට ගිහින් එන්න කියලා යන කොට, ඉරිදා රැස්වීම් තියෙන වෙලාව දැනගන්න රාජ්‍යශාලාව ළඟ ටිකකට නතර කරන්න කියලා මම අම්මට කිව්වා. හරියටම රාජ්‍යශාලාව පිටිපස්සේ රේල් පාරෙන් එහාපැත්තේ නිවසකයි අපි නැවතිලා හිටියේ කියලා අපි පුද්ගලික පාරට ඇතුල් වුණහම අම්මා කිව්වා. සෑහෙන කාලෙකට ඉස්සෙල්ලා ගේ පිලිස්සිලා ගිහින් තිබුණ අතර, ඉතුරු වෙලා තිබුණේ ගඩොලින් හැදුව දුම් කවුළුව විතරයි. “ඔයා එතකොට චූටි කෙල්ලක්, අවුරුදු තුනකට නැත්නම් හතරකට වැඩි නෑ” කියා ඇය පැවසුවා.

ඉරිදා රාජ්‍යශාලාවට ගියහම මාව උණුසුම් ලෙස පිළිගත්තා. මම ස්ටැෆ’ඩ් ජෝඩන් එක්ක කතා කළහම, එක කාලෙක රාජ්‍යශාලාවේ පිටිපස්සේ තිබුණ නිවසේ මම පොඩි කාලේ පදිංචි වෙලා හිටිය බව නිකමට සඳහන් කළා. ඔහු හොඳට මං දිහා බැලුවා. “මට ඔයාව මතකයි!” ඔහු පුදුමෙන් උත්තර දුන්නා. “ඔයා හරියට අර කාක් කූඩුවක් වගේ කොණ්ඩයක් තිබුණ, මෙච්චරක් විතර උස පුංචි කෙල්ලක් කියලා [ඔහු අතින් උස පෙන්නුවා]. අපි මේ බලප්‍රදේශයේ වැඩ කරද්දී මගේ යාළුවා ඔයාගේ තාත්තා එක්ක සාකච්ඡාවක යෙදුණා. ඔයාට පාරාදීසය ගැන කතා කරලා මම ඔයාව එක තැනකට කරලා තියන්න උත්සහ කළා.”

මට කතා කරගන්න බැරුව ගියා. මම බයිබල් සත්‍යය සොය සොයා හිටිය බව කියද්දී මගේ වචන පැටලුණා. “මම පුංචි ගැහැනු ළමයෙක්ව ඉන්දැද්දී, ඔයා මගේ පුංචි හදවතේ සත්‍යයේ බීජ පැළ කළා!” කියලා මම පැවසුවා. ස්ටීවන් ඩින්ජස් කියලා මගේ සීයගේ පැත්තෙන් නෑ වෙන විශ්වාසවන්ත සාක්ෂිකාරයෙක් හිටිය බව එවිට ඔහු මට කිව්වා. පවුලේ අය දැඩි විරුද්ධත්වයක් දක්වපු හින්දා, කවදාවත් ඔහු ගැන කතා කරලා තිබුණේ නෑ. “ඔහු හිටිය නං ඔබ ගැන ඇත්තෙන්ම ආඩම්බර වෙයි!” සහෝදර ජෝඩන් පැවසුවා.

යෙහෝවාගේ සංවිධානය තුළ හිටිය මගේ අවුරුදු ගාන දිහා හැරිලා බලද්දී, මට පෙන්වලා තියෙන ප්‍රේමය හා කරුණාව වෙනුවෙන් මම ඇත්තෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඔව්, හුඟ වෙලාවට මම රාජ්‍යශාලාවට එන්නේ තනියම නිසා, එහි යෙහෝවාට එකට සේවය කරන පවුල් දැක්කහම තවමත් සමහර වෙලාවල මට පොඩි දුකක් ඇති වෙනවා. නමුත් යෙහෝවා මා එක්ක ඉන්නවා කියලා මට ඉක්මනටම මතක් වෙනවා. ඔහු හැම වෙලාවෙම සෝදිසියෙන් ඉන්නේ; ඒ වගේම අවුරුදු ගානකට ඉස්සෙල්ලා පොඩි ළමයෙක්ගේ කන්වලට කතා කළ සත්‍යය පිළිගන්න මගේ හදවතට පුළුවන් වුණහම, ඒක දළුලලා, මල් ඵල ගන්න ඔහු ඉඩහැරියා.

“දඟකාර පුංචි කෙල්ලෙකුට පාරාදීසය ගැන කතා කරන්න කාලය ගත්තට ස්තුතියි සහෝදර ජෝඩන්” කියා මම පැවසුවා.—ලුවිස් ලෝසන් පැවසූ පරිදි.

[13වන පිටුවේ පින්තූරය]

ස්ටැෆ’ඩ් ජෝඩන්ව මට 1990දී යළිත් හමු වූ විට

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න