පරිණාමයේ අත්තිවාරම නැති වෙලාද?
ඩාවින්ගේ පරිණාමවාදයේ සාරය මොකක්ද? “එහි සම්පූර්ණ ජීවවිද්‍යාත්මක අර්ථය ගන්නවා නම්, පරිණාමය කියන්නේ ජීවය අජීවි පදාර්ථවලින් හටගෙන, ඉන්පසුව ස්වාභාවික ක්‍රම විතරක් ආධාර කරගෙන වර්ධනයක් ලබන ක්‍රියාවලියක්.” “ජීවයේ හැම අංගයක්ම පාහේ, එහෙම නැත්තං අඩුම තරමින් එහි වඩාත්ම සිත්ගන්නා අංගලක්ෂණ, සසම්භාවී ප්‍රභේදනය මත ක්‍රියා කරන ස්වාභාවික වරණයේ ප්‍රතිඵලයක් වූ” බව ඩාවින්ගේ පරිණාමය අවිවාදයෙන් පිළිගනී.—ඩාවින්ස් බ්ලැක් බොක්ස්—ද බයෝකෙමිකල් චැලෙන්ජ් ටු ඊවලූෂන්a (ඩාවින්ගේ කළු පෙට්ටිය—පරිණාමයට එල්ල වන ජෛවරසායනික අභියෝගය), අ.එ.ජ. පෙන්සිල්වේනියාවේ ලීහයි සරසවියේ ජෛවරසායන විද්‍යාවේ සහකාර මහාචාර්ය මයිකල් බීහී විසිනි.
අඩු කරන්න බැරි සංකීර්ණත්වය—පරිණාමයේ බාධකයද?
ඩාවින් තම වාදය ප්‍රබන්ධ කරද්දී, ජීවමාන සෛලයේ පුදුමාකාර සංකීර්ණත්වය ගැන විද්වතුන්ට තිබුණා නං තිබුණේ ඉතා අල්ප දැනුමක්. අණුක මට්ටමින් ජීවය හදාරන නූතන ජෛවරසායන විද්‍යාව එම සියුම් සංකීර්ණත්වයෙන් යමක් හෙළි කරලා තියෙනවා. එමෙන්ම එමගින් ඩාවින්ගේ වාදය ගැන බැරෑරුම් ප්‍රශ්න සහ සැක මතු වී තියෙනවා.
සෛලවල සංරචකයන් සෑදී තියෙන්නේ අණුවලිනුයි. හැම ජීවියෙකුගේම මූලික ඒකක වන්නේ සෛලයි. මහාචාර්ය බීහී රෝමානු කතෝලිකයෙක් වන අතර, සතුන්ගේ පසු වර්ධනය පැහැදිලි කරන්න පරිණාමය විශ්වාස කරනවා. කොහොම වුණත්, පරිණාමයට සෛලයේ පැවැත්ම පැහැදිලි කරන්න පුළුවන්ද කියන එක ගැන ඔහු බැරෑරුම් සැක මතු කරනවා. “වෙනත් අණුවලින් සෑදුණු ‘මහමාර්ග’ දිගේ සෛලයේ එක තැනක සිට තව තැනකට බඩු ඇදගෙන යන අණුක යන්ත්‍ර” ගැන ඔහු කතා කරනවා. “. . . සෛල, යන්ත්‍ර උපයෝගි කරගෙන පීනනවා, යන්ත්‍ර සූත්‍ර යොදා තමුන්ගේම පිටපත් ගහගන්නවා, යන්ත්‍ර සූත්‍රවලින් ආහාර උරාගන්නවා. කෙටියෙන් කිව්වොත්, ඉතා ඉහළ තාක්ෂණික මට්ටමක පවතින අණුක යන්ත්‍ර හැම සෛලීය ක්‍රියාවලියක්ම මෙහෙයවනවා. මෙසේ ජීවයේ හැම තොරතුරක්ම ඉතා සියුම් ලෙස ක්‍රමාංකනය කරලා තියෙන අතර, ජීවයේ යන්ත්‍ර සූත්‍ර අතිශයින් සංකීර්ණයි.”
දැන්, මේ ක්‍රියාකාරකම් සියල්ල සිදු වෙන්නේ මොන පරිමාණයක් තුළද? සාමාන්‍ය සෛලයක්, හරහට මිලිමීටර් 0.03ක් විතරයි දිග! ඉතා සුළු වූ එම ඉඩ ප්‍රමාණයේ, ජීවයට ඉතා වැදගත් සංකීර්ණ ක්රියාකාරිත්වයන් සිදු වෙනවා. (8-9 පිටුවල රූපසටහන බලන්න.) එහෙමනං, මෙහෙම කියලා තියෙන එක පුදුමයට හේතුවක් නෙවෙයි: “අන්තිමට කියන්න තියෙන්නේ මේකයි: ජීවයේ පදනම වන සෛලය අදහාගන්න බැරි තරම් සංකීර්ණයි.”
සෛලයට ක්‍රියාත්මක විය හැක්කේ සම්පූර්ණ වස්තුවක් හැටියට විතරයි කියලා බීහී තර්ක කරනවා. මෙසේ පරිණාමය හේතුවෙන් සිදු වන මන්දගාමී, ක්රමානුකූල වෙනස්කම්වලට භාජන වෙමින් එය හැදෙන විට, එහි ක්රියාකාරිත්වයන් දිගටම පවත්වන්න එයට බැහැ. ඔහු මී කතුරක් උදාහරණයක් හැටියට ගන්නවා. මෙම සරල උපකරණයට ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙන්නේ එහි සංරචක සියල්ල එකට සම්බන්ධ කරලා තියෙනවා නම් විතරයි. හැම සංරචකයක්ම—ඒ කියන්නේ ලෑල්ල, දුන්න, නැංගුරුම් දණ්ඩ, කතුර, අල්ලුව—එක එක ගත්තොත්, ඒවා මී කතුරක් නෙවෙයි; එවැන්නක් සේ ක්‍රියාත්මක වෙන්නත් බැහැ. ඒ හැම කොටසක්ම එකවිටම අවශ්‍ය වන අතර, වැඩ කරන කතුරක් තියෙන්න නං ඒවා එකට සම්බන්ධ කළ යුතුයි. ඒ හා සමානව, සෛලයකට ක්‍රියාත්මක විය හැක්කේ, එහි සංරචක සියල්ලම එකට සම්බන්ධ වෙලා තියෙනවා නං විතරයි. ඔහු මෙම උපහැරණය පාවිච්චි කරන්නේ “අඩු කරන්න බැරි සංකීර්ණත්වය”b යනුවෙන් ඔහු හඳුන්වන සංකල්පය පැහැදිලි කරන්නයි.
ක්‍රමානුකූලව අත් කරගන්නා, ප්‍රයෝජනවත් ගතිලක්ෂණ මතුවීම ඇතුළත්, සැක කටයුතු පරිණාම ක්‍රියාවලියට මෙය ප්‍රධාන ගැටලුවක් ඉස්මතු කරනවා. ඩාවින් මතු සඳහන් පරිදි පැවසූ විට, ස්වාභාවික වරණය මගින් සිදු වන ක්රමානුකූල පරිණාමය මත පදනම් තම වාදය විශාල අභියෝගයකට මුහුණ දුන් බව ඔහු දැනසිටියා: “පිළිවෙළින් එකදිගට සිදු වන, සුළු සුළු සකස්වීම් බොහොමයක් මගින් කොහොමටවත් හැදෙන්න බැරි ඕනෑම සංකීර්ණ අවයවයක් පැවතුණා කියලා නිරූපණය කරන්න පුළුවන් නම්, මගේ වාදය සම්පූර්ණයෙන්ම බිඳිලා යාවි.”—ඔරිජින් ඔෆ් ස්පීෂීස් (ජාති සම්භවය).
කිසිම දෙයක් අඩු කරන්න බැරි සංකීර්ණ සෛලය ඩාවින්ගේ වාදය විශ්වාස කිරීමට ප්‍රධාන බාධකයක් වෙනවා. මුලින්ම, අප්රාණවාචීව සිට ප්‍රාණවාචී පදාර්ථ දක්වා කළ පිම්ම පැහැදිලි කරන්න පරිණාමයට බැහැ. ඊළඟට, එකපාරටම වගේ එකිනෙක හා බැඳුණු ඒකකයක් වශයෙන් හටගත යුතු පළමු සංකීර්ණ සෛලය පිළිබඳ ගැටලුව තියෙනවා. වෙනත් වචනවලින් කිව්වොත්, සෛලය (හෝ, මී කතුර) හදිස්සියෙන්ම එකට සම්බන්ධ වෙලා, ක්‍රියාත්මක වෙමින් මතු විය යුතුයි!
ලේ කැටිගැසීමේ අඩු කරන්න බැරි සංකීර්ණත්වය
අපිව තුවාල වෙන කොට එතරම් ගණනකට නොගන්න ලේ කැටිගැසීම, අඩු කරන්න බැරි සංකීර්ණත්වයට තවත් උදාහරණයක්. සාමාන්‍යයෙන්, හිල් වූ භාජනයකින් ඕනෑම ද්‍රවයක් වහාම කාන්දු වන අතර, එම භාජනය හිස් වෙන කං එහෙම සිදු වෙනවා. ඒත්, අපේ හම තුවාල වෙන කොට, කැටිගැසීමෙන් ලේ ගලන එක වහාම නතර වෙනවා. කොහොම වුණත්, වෛද්‍යවරුන් දන්න පරිදි, “ලේ කැටිගැසීම කියන්නේ, එකක් අනෙකකට බැඳුණු ප්‍රෝටීන කොටස් රාශියකින් සමන්විත ඉතා සංකීර්ණ වූ, සියුම් ලෙස හැඩගැසුණු පද්ධතියක්.” මේවා කැටිගැසීමේ ධාරාවක් යනුවෙන් හඳුන්වන ක්‍රියාවලියක් පණගන්වනවා. සියුමැලි වූ මෙම සුවවීමේ ක්‍රියාවලිය “බෙහෙවින් රඳා පවතින්නේ, විවිධාකාර ප්‍රතික්‍රියා සිදු වන කාලය සහ වේගය මතයි.” එහෙම නූණොත්, පුද්ගලයෙක්ගේ ලේ සම්පූර්ණයෙන්ම කැටිගැහිලා ඝනීභවනය වෙයි; නැතහොත් අනික් අතට මැරෙනකම්ම ඔහුගේ ලේ ගැලිය හැකියි. ගත වන කාලය සහ වේගය අතිවැදගත් යතුරු හැටියට ගන්න පුළුවන්.
ලේ කැටිගැසීමට සාධක බොහොමයක් ඇතුළත් වන බව ජෛව රසායනික ගවේෂණවලින් පෙන්නුම් කර තියෙන අතර, එම ක්‍රියාවලිය සාර්ථක වෙන්න නං ඒවායින් කිසිවක් අඩු වෙන්න බැහැ. බීහී මෙහෙම අහනවා: “කැටිගැසීම පටන්ගත්තහම, ලේ සම්පූර්ණයෙන්ම . . . ඝනීභවනය වෙනකං කැටිගැහෙන එක නතර කරන්නේ මොකක්ද?” “ලේ කැටියක් හැදෙන එක, එයට සීමාවක් තිබීම, එය ඝනවීම සහ ඉවත් වෙන එක, එකිනෙක හා බැඳුණු ජෛව පද්ධතියක් සකස් කරන” බව ඔහු පැහැදිලි කරනවා. යම් අංගයක් ක්‍රියාවිරහිත වෙනවා නම්, පද්ධතියම ක්‍රියාවිරහිත වෙනවා.
පරිණාමවාදියෙක් මෙන්ම කැලිෆෝනියා සරසවියේ ජෛව රසායනික විද්‍යාවේ මහාචාර්ය රසල් ඩූලිට්ල් මෙහෙම අහනවා: “මෙම සංකීර්ණ ඉතා සියුම් විදිහට සමබරතාව රකින ක්‍රියාවලිය ඇත්තටම මොන විදිහකින්ද පරිණාමය වුණේ? . . . මේකයි පරස්පරවිරෝධීතාව: සෑම ප්‍රෝටීනයක්ම තවෙකක සක්රියනය මත රඳා සිටියොත්, එම පද්ධතියට කොහොමද හටගන්න පුළුවන් වෙන්නේ? සමස්ත සැකැස්ම නැතුව, උපක්‍රමයේ ඕනෑම එක අංගයකින් ලැබෙන්නේ මොන ප්‍රයෝජනයක්ද?” පරිණාමවාදී තර්ක උපයෝගී කරගනිමින්, එම ක්‍රියාවලියේ මූලාරම්භය පැහැදිලි කරන්න ඩූලිට්ල් හදනවා. කොහොම වුණත්, “හරි ජාන කොටස් හරි ස්ථානවලට දාන්න නං පුදුමාකාර වාසනාවක් උදා වෙන්න” ඕනෙ බව මහාචාර්ය බීහී පෙන්නුම් කරනවා. ඩූලිට්ල්ගේ පැහැදිලි කිරීමත්, ඔහු ආවට ගියාට කියන අදහසුත්, ප්‍රබල දුෂ්කරතා වසං කරන බව ඔහු පෙන්නුම් කරනවා.
මෙසේ පරිණාමවාදී ආදර්ශකයේ ප්‍රධාන විරෝධතාවලින් එකක් නම්, අඩු කරන්න බැරි සංකීර්ණත්වය නමැති මැඩපවත්වන්න බැරි කඩුල්ලයි. බීහී මෙහෙම කියනවා: “ඩාවින්ගේ පරිණාමයේ යන්ත්‍රය වන ස්වාභාවික වරණය ක්‍රියාත්මක වෙන්නේ, අනාගතයේ නොව මේ දැන් ප්‍රයෝජනදායක යමක් තෝරාගන්න තියෙනවා නම් විතරයි කියලා මං අවධාරණය කරනවා.”
“භය උපදවන මෙන්ම සම්පූර්ණ නිහඬතාවක්”
ඇතැම් විද්වතුන් “පරිණාමය සඳහා ගණිත ආදර්ශ හෝ අනුක්‍රමික දත්ත අර්ථ දැක්වීමට අලුත් ගණිත ක්‍රම” අධ්‍යයනය කර තියෙන බව මහාචාර්ය බීහී කියා සිටිනවා. කොහොම වුණත් ඔහු මෙම නිගමනයට බසී: “සැබෑ-ජීවිත පරිණාමය ක්රමානුකූල, සසම්භාවී ක්‍රියාවලියක් කියලා ගණිතය උපකල්පනය කරනවා; එය නිරූපණය කරන්නේ නැහැ (එහෙම කරන්න හැකියාවවත් එයට නැහැ).” (අවසාන යෙදුමේ ඇල අකුරු අපේය.) කලින් ඔහු මෙහෙම කිව්වා: “ඔබ පරිණාමය ගැන ලියලා තියෙන විද්‍යාත්මක පොත් පත් පරිශීලනය කරලා, ජීවයේ පදනම වන අණුක යන්ත්‍ර වර්ධනය වුණ ආකාරය පිළිබඳ ප්රශ්නය මතට ඔබේ සෙවීම යොමු කළොත්, භය උපදවන මෙන්ම සම්පූර්ණ නිහඬතාවක් ඔබ හමුවට පැමිණෙනවා. ජීවයේ අත්තිවාරමේ සංකීර්ණත්වය නිසා, එයට හේතුව දක්වන්න විද්‍යාව අරගෙන ඇති උත්සාහය ව්‍යර්ථ වී තියෙනවා; අණුක යන්ත්‍ර ඩාවින්ගේ වාදයේ සමස්ත පිළිගැනීමට තවමත් බාධාවක් වෙනවා.”
හෘදය සාක්ෂියට එකඟව කටයුතු කරන විද්වතුන් සලකා බැලිය යුතු ප්‍රශ්න වැළක් මෙයින් ඉස්මතු වෙනවා: “ප්‍රභාසංශ්ලේෂණ ප්‍රතික්‍රියා මධ්‍යස්ථානය වර්ධනය වුණේ කොහොමද? අන්තඃඅණුක පරිවහනය ආරම්භ වුණේ කොහොමද? හරිතප්රද ජෛවසංශ්ලේෂණය පටන්ගත්තේ කොහොමද? දෘෂ්ටිවිතාන ඇල්ඩිහයිඩ, දෘෂ්ටියට සම්බන්ධ වුණේ කොහොමද? ෆොස්ෆෝප්රෝටීන සංඥා මාර්ග වර්ධනය වුණේ කොහොමද?”c බීහී මෙහෙම එකතු කරනවා: “මෙම ගැටලු විසඳලා නැති එක මදිවට, ඒවායින් එකක් ගැනවත් සඳහන් කරලා නැති එකත්, සංකීර්ණ ජෛව රසායනික පද්ධතීන්වල මූලාරම්භය තේරුම්ගැනීමට ඩාවින්වාදය සෑහෙන්නේ නැති රාමු කට්ටුවක් බවට ඉතා ප්‍රබල ඇඟවීමක්.”
සෛලවල සංකීර්ණ අණුක අත්තිවාරම පැහැදිලි කිරීමට ඩාවින්ගේ වාදයට බැරි නං, එය මේ පොළොවෙහි වාසය කරන විශේෂයන් දශලක්ෂ ගණනකගේ පැවැත්මට සතුටුදායක පැහැදිලි කිරීමක් වෙන්නේ කොහොමද? ඇත්තෙන්ම, එක පවුලක වර්ගයක සිට තවෙකක් අතර තියෙන පරතරය හා කිරීමෙන් අලුත් පවුල් වර්ග බිහි කරන්නවත් පරිණාමයට බැරි එක තමයි ප්‍රශ්නෙ.—උත්පත්ති 1:11, 21, 24.
ජීවයේ ආරම්භය පිළිබඳ ගැටලු
සමහර විද්වතුන්ගේ අදහසට අනුව ඩාවින්ගේ පරිණාමවාදය කොතරම් සත්‍යයක් මෙන් පෙනුණත්, අන්තිමේදී ඔවුන්ට සිදු වෙනවා මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න: ජීවීන්ගේ විවිධ ස්වරූපයන් ස්වාභාවික වරණයෙන් පරිණාමය වුණා කියලා අපි උපකල්පනය කළත්, ජීවයට එහි ආරම්භය ලැබුණේ කොහොමද? වෙනත් වචනවලින් කිව්වොත්, ගැටලුව උචිතෝන්නතිය නොහොත් උචිතම සත්වයාගේ අඛණ්ඩ පැවැත්ම නෙවෙයි; නමුත් උචිතම සහ පළමුවැන්නා කොහොමද ආවේ කියන එකයි. කොහොම වුණත්, ඇසේ පරිණාමය පිළිබඳ ඩාවින්ගේ අදහස්වලින් ඇඟවෙන විදිහට, ජීවය ආරම්භ වුණේ කොහොමද කියන ගැටලුව ඔහුගේ සැලකිල්ලට භාජන වුණේ නැහැ. ඔහු මෙහෙම ලිව්වා: “ස්නායුවක් ආලෝකයට සංවේදී වෙන්නේ කොහොමද කියන එක, ජීවය ආරම්භ වුණේ කොහොමද කියන එක වගේම අපේ සැලකිල්ලට භාජන වෙන්නේ නැති දෙයක්.”
ප්‍රංශ විද්‍යා ලේඛක ෆිලීප් ෂාන්බොන් මෙහෙම ලිව්වා: “මතු වන ස්වරූපයන් සර්ව සම්පූර්ණ ලෙස ක්‍රියාත්මක වීමට හැකියාවක් තියෙන්න කලින් ස්වභාවධර්මයා ඒවා තෝරාගත්තේ කොහොමද කියන එක ඩාවින්ම කල්පනා කළා. පරිණාමවාදී අභිරහස්වල ලැයිස්තුවට නිමාවක් නැහැ. එමෙන්ම ‘සංකීර්ණ අවයවයන්වල මූලාරම්භය පහසුවෙන්ම පැහැදිලි කිරීමට කෘත්‍රිම වූ පරිණාමවාදයට බැරි’ බව ඔ’සේහි දකුණු පැරිස් සරසවියේ මහා. ජාන් ජේන’මොන් කියූ දෙය, අදදින ජීවවිද්යාඥයන්ට නිහතමානීව පිළිගන්න සිදු වෙනවා.”
මෙතරම් නිමාවක් නැති ප්‍රභේද සහ ජීව ස්වරූපයන්වල සංකීර්ණත්වයක් අහම්බෙන් ඇතිවීමට විරුද්ධව තියෙන ප්‍රබල සාධක සලකා බලද්දී, ඒ හැම දෙයක්ම හරියාකාරව පරිණාමය වුණේ නිකම්ම අහම්බෙන් කියන එක ඔබට විශ්වාස කරන්න අමාරුයි කියලා පේනවාද? යම් ජීවීන්ගේ ඇස් තවමත් පරිණාමය වෙමින් පවතිද්දී, එහෙම නැත්තං කියන විදිහට උපමිනිස් සිරුරක මුල්ම ඇඟිලි හටගනිද්දී, උචිතෝන්නතිය නමැති සටනෙන් උන් බේරුණේ කොහොමද කියලා ඔබ කල්පනා කර බැලුවාද? සෛල අසම්පූර්ණ හා සෑහෙන්නේ නැති තත්වයක පැවතියා නම්, ඒවා බේරී පැවතුණේ කොහොමද කියලා ඔබ කල්පනා කරනවාද?
අ’ස්ට්රොනමි යන සඟරාවේ ලේඛකයෙක් සහ පරිණාමවාදියෙක් වන රොබට් නේඅයි ලිව්වේ, පොළොව මත ජීවය “වෙන්නම බැරි සිදුවීම්වල දිග්ගැසුණු වැලක” ප්‍රතිඵලයක් කියලයි; මේ සිදුවීම් “අපේ පැවැත්ම සිදු කරන්න හරියටම හරි විදිහෙන් සිද්ධ වෙන්න ඕනෙ; ඒක හරියට අපි ඩොලර් දශලක්ෂයක් වටිනා ලොතරැයියක් පිට පිටම වාර දශලක්ෂයක් දින්නා වගෙයි.” එම තර්කය, අදදින සිටින හැම සත්වයෙකුටම ඇතැම්විට අදාළ කරගන්න පුළුවන්. එහෙම දෙයක් සිදු වෙන්න බැරි තරම්. ඒත්, අලුත් විශේෂයේ අඛණ්ඩ පැවැත්මට එකම අවස්ථාවේදීම පිරිමි සහ ගැහැනු සතෙක්, පරිණාමය අහම්බෙන්ම වාගේ බිහි කළ බව විශ්වාස කරන්නත් අපෙන් අපේක්ෂා කරනවා. පිරිමි සහ ගැහැනු සතා එකම කාලයේදී පමණක් නොව, එකම ස්ථානයේදී පරිණාමය වුණා කියලා විශ්වාස කරන්නත් අපෙන් අපේක්ෂා කරන එක, මෙය විය නොහැකි දෙයක් බවට තවත් සනාථ කරනවා! හමුවීමක් නැත්තං, ජනිත වීමක් නැහැ!
ඇත්තෙන්ම, සර්ව සම්පූර්ණ වූ ස්වරූපයන් දශලක්ෂ ගණනාවකින්ම සමන්විත ජීවය, හරි ගිය අහඹු සිදුවීම් දශලක්ෂයක ප්‍රතිඵලයක් බව විශ්වාස කිරීම, විශ්වාසය කියන දේ අන්තයටම ගෙනයෑමක් තමයි.
බහුතරයක් විශ්වාස කරන්නේ ඇයි?
පොළොව මත ජීවයට එකම හේතුව වශයෙන් පරිණාමය මෙතරම් ජනප්‍රිය වෙන්නෙත් බොහෝදෙනෙකුගේ පිළිගැනීමට පාත්‍ර වී තියෙන්නෙත් ඇයි? එක හේතුවක් නම්, පාසැල්වල සහ සරසවිවල උගන්නන පිළිගත් මතය ඒක වීමයි; යම් සැකයක් ප්‍රකාශ කරන්න ඔබ එඩිතර වුණොත්, ඔබව හංවඩු ගහනවා නිසැකයි. බීහී මෙහෙම ප්‍රකාශ කරනවා: “බොහෝ ශිෂ්‍යයන් තම පාඩම් පොත්වලින් ඉගෙනගන්නේ ලෝකය දෙස පරිණාමවාදී දෘෂ්ටියකින් කොහොමද බලන්නේ කියලයි. කොහොම වුණත්, එම පොත්වල විස්තර කරන පුදුමාකාර ලෙස සංකීර්ණ වූ ජෛව රසායනික පද්ධතීන් ඩාවින්ගේ පරිණාම ක්‍රියාවලිය තුළින් බිහි වෙන්න ඇත්තේ කොහොමද කියන එක ගැන ඔවුන් ඉගෙනගන්නේ නැහැ.” ඔහු මෙහෙමත් එකතු කරනවා: “ඩාවින්වාදය සම්මත යමක් හැටියට සාර්ථක ලෙස පිළිගෙන තියෙනවා; හැබැයි, අණුක මට්ටමේ වෙන දේවල් පැහැදිලි කරන්න යොදාගන්න විද්‍යාවක් වශයෙන් එය අසාර්ථක වෙලා තියෙනවා; මේක තේරුම්ගන්න නම්, නැඟී එන විද්වතුන්ට උගන්නන්න පාවිච්චි කරන පාඩම් පොත් පරීක්ෂා කරන්න අපිට සිදු වෙනවා.”
“ලෝකයේ ඉන්න විද්වතුන් සියලුදෙනාගෙන්ම ඡන්ද විමසුමක් කළා නම්, ඩාවින්වාදය ඇත්තයි කියලා බහුතරයක් කියාවි. ඒත්, අන් සැම කෙනෙක්ම කරනවා වගේ, විද්වතුනුත් තම මත පදනම් කරගන්නේ වෙනත් පුද්ගලයන්ගේ කටවචනය මතයි. . . . එමෙන්ම, අවාසනාවකට මෙන්, කර තියෙන විවේචනයන්ට විද්‍යා ප්‍රජාව ඕනෑවට වඩා පිටු පා තියෙන්නේ, මැවුම්වාදීන්ට එය රුකුලක් වේවි යන බිය නිසයි. විද්‍යාව ආරක්ෂා කිරීමේ නාමයෙන්, ස්වාභාවික වරණය නොවළහා විද්‍යාත්මකව විවේචනයට භාජන කිරීම පසෙක දමා තිබීම හරි පුදුමයක්.”d
ඩාවින්ගේ පරිණාමවාදයට තියෙන්නේ මොන පිළිගත හැකි සහ විශ්වාසදායක විකල්පයද? මෙම ලිපි මාලාවේ අන්තිම ලිපිය එම ප්‍රශ්නයට අවධානය යොමු කරාවි.
[පාදසටහන්වල]
a මෙතැන් පටන් ඩාවින්ගේ කළු පෙට්ටිය වශයෙන් හඳුන්වනු ලබනවා.
b “අඩු කරන්න බැරි සංකීර්ණත්වය” විස්තර කරන්නේ, “මූලික ක්‍රියාකාරිත්වයට හේතු වන එකිනෙක හා හොඳින් ගැළපෙන, එකට ක්‍රියා කරන කොටස් කිහිපයකින් යුත් තනි පද්ධතියක් හැටියටයි; මේ කොටස්වලින් ඕනෑම එකක් ඉවත් කළොත් එය පද්ධතියේ කාර්යසාධක ක්‍රියාකාරිත්වය නතර කරන්න හේතු වෙනවා.” (ඩාවින්ගේ කළු පෙට්ටිය) එබැවින් පද්ධතියකට ක්‍රියාත්මක විය හැකි සරලම මට්ටම එයයි.
c ප්‍රභාසංශ්ලේෂණය යනු ශාක සෛල ආලෝකය සහ හරිතප්රද උපයෝගී කරගෙන, කාබන්ඩයොක්සයිඩ් සහ ජලය මාර්ගයෙන් කාබෝහයිඩ්රේට් සාදන ක්‍රියාවලියයි. සමහරුන් එය හඳුන්වන්නේ ස්වභාවධර්මයා තුළ සිදු වන වැදගත්ම රසායනික ප්‍රතික්‍රියාව හැටියටයි. ජෛවසංශ්ලේෂණය යනු ජීවමාන සෛල සංකීර්ණ රසායනික සංයෝග නිෂ්පාදනය කරන ක්‍රියාවලියක්. දෘෂ්ටිවිතාන ඇල්ඩහයිඩ සංකීර්ණ දෘෂ්ටි පද්ධතියට සම්බන්ධයි. ෆොස්ෆෝප්රෝටීන සංඥා මාර්ග සෛලයේ අනිවාර්ය ක්රියාකාරිත්වයන් වෙනවා.
d පොළොව සැබෑ දවස් හයකින් මැව්වා හෝ, ඇතැම් අවස්ථාවලදී පොළොව අවුරුදු දහදාහකට පමණ කලින් සාදනු ලැබුවා කියන විශ්වාසය මැවුම්වාදයට ඇතුළත්. යෙහෝවාගේ සාක්ෂිකරුවන් මැවීම කෙරෙහි විශ්වාස කළත්, ඔවුන් මැවුම්වාදීන් නෙවෙයි. බයිබලයේ උත්පත්ති වාර්තාව, පොළොව අවුරුදු දශලක්ෂ ගණනාවක් පැරණි වීමට ඉඩ කඩ සලසන බව ඔවුන් විශ්වාස කරනවා.
[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“පිළිවෙළින් එකදිගට සිදු වන, සුළු සුළු සකස්වීම් බොහොමයක් මගින් කොහොමටවත් හැදෙන්න බැරි ඕනෑම සංකීර්ණ අවයවයක් පැවතුණා කියලා නිරූපණය කරන්න පුළුවන් නම්, මගේ වාදය සම්පූර්ණයෙන්ම බිඳිලා යාවි.”
[10වන පිටුවේ වාක්‍ය කණ්ඩ]
සෛලය ඇතුළේ “ශ්‍රේෂ්ඨ තාක්ෂණයේ සහ සිත අවුල් කරන සංකීර්ණත්වයේ ලෝකයක්” තියෙනවා.”—පරිණාමය: අර්බුදයකට මැදි වූ වාදයක්
සෛලයේ DNA තුළ තියෙන උපදෙස් “ලියා දැක්වූවා නම්, පිටු 600කින් යුත් පොත් දාහක් පුරවන්න පුළුවන් වේවි.”—නැෂනල් ජියෝග්රැෆික්
[11වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“සැබෑ-ජීවිත පරිණාමය ක්රමානුකූල, සසම්භාවී ක්‍රියාවලියක් කියලා ගණිතය උපකල්පනය කරනවා; එය නිරූපණය කරන්නේ නැහැ (එහෙම කරන්න හැකියාවවත් එයට නැහැ).”
[12වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“විද්‍යාව ආරක්ෂා කිරීමේ නාමයෙන්, ස්වාභාවික වරණය නොවළහා විද්‍යාත්මකව විවේචනයට භාජන කිරීම පසෙක දමා තිබීම හරි පුදුමයක්.”
[8වන පිටුවේ කොටුව]
අණුව සහ සෛලය
ජෛවරසායන විද්‍යාව—“ජීරණය, ප්‍රභාසංශ්ලේෂණය, ප්‍රතිශක්තිකරණය ආදියේ රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන සෛල සහ පටක සාදන අණු එනම් ජීවයේ නියම පදනම පිළිබඳ අධ්‍යයනය.”—ඩාවින්ගේ කළු පෙට්ටිය.
අණුව—“එහි රසායනික හෝ භෞතික ගුණ වෙනස් කරන්නේ නැතුව, යම් මූලද්‍රව්‍යයක් හෝ සංයෝගයක් බෙදිය හැකි කුඩාතම අංශුව; රසායනික බලයන්ගෙන් එකට තබා තියෙන සමාන හෝ වෙනස් පරමාණු කණ්ඩායමක්.”—දි අ’මෙරිකන් හෙරිටෙජ් ඩික්ෂනරි ඔෆ් දි ඉංග්ලිෂ් ලැංවෙජ් (ඉංග්‍රීසි භාෂාවේ අමෙරිකානු උරුම ශබ්දකෝෂය).
සෛලය—පණ ඇති හැම ජීවියෙකුගේම මූලික ඒකකය. “හැම සෛලයක්ම, යම් ජීවියෙකුගේ ස්වරූපය සහ ක්‍රියාකාරිත්වයට වගකියන ඉතා උසස් ලෙස සංවිධානය වූ ව්‍යූහයක්.” වැඩිහිටි මනුෂ්‍යයෙකු හැදිලා තියෙන්නේ සෛල කීයකින්ද? ට්‍රිලියන සීයකින් (10,00,00,00,00,00,000)! අපේ සමේ හැම වර්ග සෙන්ටිමීටරයකටම සෛල 1,55,000ක් පමණ තියෙන අතර, මිනිස් මොළයේ නියුරෝන බිලියන 10ක සිට බිලියන 100ක් දක්වා තියෙනවා. “සෛලය ජීවවිද්‍යාවට යතුරයි; එයට හේතුව ජලය, ලවණ, මහා අණු සහ පටල එකතු වී සැබවින්ම ප්‍රාණවත් වෙන්නේ මෙම මට්ටමේදී වන හින්දයි.”—බයොලජි (ජීව විද්‍යාව).
[9වන පිටුවේ කොටුව]
සෛලයේ “අසමසම සංකීර්ණත්වය”
“අණුක ජීවවිද්‍යාවෙන් හෙළි වෙලා තියෙන විදිහට ජීවයේ යථාර්ථය ග්‍රහණය කරගන්න නං, සෛලයක් විෂ්කම්භයෙන් කිලෝමීටර් විස්සක් සහ ලන්ඩනය හෝ නියූ යෝක් වැනි මහා නගරයක් වහන්න තරම් ලොකු වෙන සද්දන්ත අහස් නැවකට සමාන වන තරමට විශාල කරලා දක්වන්න අපිට සිදු වෙනවා. එවිට අපිට දකින්න ලැබෙන්නේ අසමසම සංකීර්ණත්වයෙන් සහ අවශ්‍යතාවට අනුව සකස් වෙලා තියෙන නිර්මාණයකින් යුත් වස්තුවක්. සෛලයේ මතුපිටේ අපිට විවර දශලක්ෂ ගණන් දැකගන්න පුළුවන්, හරියටම දැවැන්ත අහස් නැවක කවුළු වගේ; නිරන්තර ද්‍රව්‍ය ප්‍රවාහයක් ඇතුළටත් පිටතටත් ශ්‍රාවය වෙන්න ඒවා ඇරෙනවා වැහෙනවා. අපි මෙවන් විවරවලින් එකක් තුළින් ඇතුල් වුණා නම්, අපි හරියටම අතිශ්‍රේෂ්ඨ තාක්ෂණයෙන් සහ මනස අවුල් කරවන සංකීර්ණත්වයෙන් පිරි ලෝකයක ඉන්න බව පෙනේවි. සෛලයේ මායිමෙන් ඇතුළට, හැම දිශාවකට වගේ විහිදෙන මනා සංවිධානයකින් යුත් කොරිඩෝර සහ ප්‍රණාල අපට දැකගන්න පුළුවන් වේවි; ඉන් සමහරක් න්‍යෂ්ටියේ මධ්‍යම මතක ගබඩාව දක්වාද වෙනත් ඒවා එකට සම්බන්ධ කිරීමේ පහසුකම් සහ සැකසුම් ඒකක දක්වාද විහිදෙනවා. න්‍යෂ්ටිය කිලෝමීටරයකට වඩා විෂ්කම්භයකින් යුත් විශාල ගෝලාකාර ශාලාවක් වන අතර, එය භූමිතික ගෝලාර්ධයකට සමානයි; අපි එහි ඇතුළට එබී බැලුවොත්, DNA අණුවල හැතැප්ම ගණන් දිග දඟරාකාර වූ දම්වැල් පිළිවෙළකට ගොඩගසා තියෙන ආකාරය දැකගන්න පුළුවන් වේවි. සෛලයේ බාහිර ප්‍රදේශවල පිහිටා තියෙන විවිධාකාර එකට සම්බන්ධ කිරීමේ පහසුකම්වලින් මනා පිළිවෙළකට සකස් වෙලා තියෙන නානාප්‍රකාර ප්‍රණාල දිගේ විවිධ වර්ගවලින් යුත් නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය එහා මෙහා පරිවහනය කරනු ලබනවා.
“නිමක් නැති ප්‍රණාල එතරම් සංඛ්‍යාවක් දිගේ මනා එකඟකමකින් එතරම් වස්තු සංඛ්‍යාවක් චලනය වෙද්දී, දැකගන්න තියෙන පාලනය කොපමණ මට්ටමක තියෙනවාද කියලා හිතලා අපි පුදුම වේවි. අපි බලන බලන හැම දිශාවකම අප වටේම විවිධාකාර වූ රොබෝ වගේ යන්ත්‍ර අපිට දැකගන්න පුළුවන් වේවි. සෛලයේ ක්‍රියාත්මක වන සරලම සංරචකයන් වන ප්‍රෝටීන අණු, විස්මය දනවන ආකාරයකින් සංකීර්ණ වූ අණුක යන්ත්‍ර සූත්‍ර බව අපේ සැලකිල්ලට භාජන වෙනවා; ඒ හැමෙකක්ම මනා සංවිධානාත්මක ත්‍රිමාන අවකාශයික ව්‍යූහයක් අනුව සකස් වෙලා තියෙන පරමාණු තුන්දාහකින් යුක්තයි. මෙම අරුම පුදුම අණුක යන්ත්‍රවල පුදුමාකාර අරමුණුසහගත ක්‍රියාකාරකම් දකින කොට අපි තවත් පුදුම වෙනවා; විශේෂයෙන්ම එහෙම පුදුමයක් ඇති වෙන්නේ, අපි භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව ගැන කොච්චර දැනුම් සම්භාරයක් රැස් කරලා තිබුණත්, ඒ වගේ අණුක යන්ත්‍රයක්, ඒ කියන්නේ ක්‍රියාත්මක වන තනි ප්‍රෝටීන අණුවක් නිර්මාණය කිරීමේ කාර්යය අපිට වර්තමානයේ කරන්නම බැරි දෙයක් කියලත්, අඩුම තරමින් ඊළඟ සියවස වෙනකංවත් සිදු කරන්න කොහෙත්ම බැරි වෙන දෙයක් කියලත් අපි තේරුම්ගත්තහමයි. ඒත් සෛලයේ ජීවය, එකිනෙකට වෙනස් ප්‍රෝටීන අණු දහස් ගණනක, නියත වශයෙන්ම දසදහස් ගණනක සහ ඇතැම්විට ලක්ෂ ගණනාවක එකිනෙක හා බැඳුණු ක්‍රියාකාරකම් මත රඳා පවතිනවා.”—ඊවලූෂන්: අ’ තියරි ඉන් ක්‍රයිසිස් (පරිණාමය: අර්බුදයකට මැදි වූ වාදයක්).
[10වන පිටුවේ කොටුව]
සිද්ධාන්ත සහ ප්‍රබන්ධ
“තම ගවේෂණය බුද්ධිමත් නොවන හේතුවලට සීමා කරන්න බැඳී නැති බව හැඟෙන පුද්ගලයෙකුට එළඹිය හැකි සරලම නිගමනය නම්, ජෛවරසායනික පද්ධතීන් රාශියක් නිර්මාණය කරනු ලැබූ බවයි. ඒවා නිර්මාණය කළේ ස්වභාවධර්මයාගේ නීතිවලින්වත්, අහම්බෙන් සහ අවශ්‍යතාව නිසාවත් නෙවෙයි; ඒවා සැලසුම් කරනු ලැබුවා. . . . පෘථිවියේ ඉන්න වඩාත්ම සරල ජීවීන් ගත්තොත්, ඒවායෙහි වඩාත්ම තීරණාත්මක සංරචකයන් බලද්දී, ඒවා බුද්ධිමත් ක්‍රියාකාරකම්වල නිමැවුමක්.”—ඩාවින්ගේ කළු පෙට්ටිය.
“සියවසක් තරම් කාලයක් පුරා දැඩි වෑයමක් දැරීමෙන් පස්සේ, [ඩාවින්ගේ පරිණාමවාදය] යම් වැදගත් ආකාරයකින් වලංගු කරන්න ජීවවිද්‍යාඥයන් අසමත් වෙලා තියෙන බවට කිසිම සැකයක් නැහැ. ඩාවින්ගේ වාදය ඉල්ලා සිටින අඛණ්ඩතාවට ස්වභාවධර්මයා සීමා වෙලා නැති එකයි සැබෑව; ඒ වගේම ජීවය නිර්මාණය වීම පිටුපස අහඹු සිදුවීම් තියෙනවාය කියන විශ්වාස තහවුරු කරන්නත් බැරි වෙලා තියෙනවා.”—පරිණාමය: අර්බුදයකට මැදි වූ වාදයක්.
“ඇත්තටම ස්ථිරසාර විද්‍යාත්මක සාක්ෂි නැති බොහෝ අනුමානවලින් පිරිච්ච අදහසක්, මුළු සමාජයකම චින්තනය අඹන්නත්, මුළු වකවානුවකම දේවල් දිහා බලන විදිහ කෙරෙහි බලපවත්වන්නත් පුළුවන් බවට ඉතිහාසයේ තියෙන ඉතා කැපීපෙනෙන උදාහරණවලින් එකක් තමයි, ජීවවිද්‍යාවෙන් ගොඩක් බැහැර වුණු ක්ෂේත්රවල පරිණාමවාදය කර ඇති බලපෑම.”—පරිණාමය: අර්බුදයකට මැදි වූ වාදයක්.
“කල්තියාම නිර්මාණයක් හෝ මැවීමක් සිදුවීමට තියෙන ඉඩ කඩ බැහැර කරන . . . අතීතයේ ඕනෑම විද්‍යාවක් . . . සැබෑව සඳහා ගවේෂණයක් වීමෙන් නතර වන අතර, ගැටලුවලින් යුත් දර්ශනවාදී ධර්මයක්, එනම්, ස්වභාවවාදයේ සේවකයෙක් (හෝ දාසයෙක්) බවට පත් වෙනවා.”—ඔරිජින්ස් රිස’ච් (මූලාරම්භ පිළිබඳ පර්යේෂණ).
“චාල්ස් ඩාවින් ජෛව සංකීර්ණත්වය පිළිබඳ ගැටලුව විසඳුවා කියන එක . . . ප්‍රබන්ධයක්. ජීවයේ මූලාරම්භය ගැන අපිට හොඳ නැත්නං සතුටුදායක අවබෝධයක් තියෙනවා කියන එක හෝ නිසියාකාර පැහැදිලි කිරීම් ස්වාභාවික හේතු කියලා නමට විතරක් කියන ඒවාට පමණක් යොමු දක්වනවා කියන එකත් ප්‍රබන්ධයක්. ඇත්තෙන්ම මේවාට සහ දර්ශනවාදී ස්වභාවවාදයේ වෙනත් ප්රබන්ධවලට එක්තරා තරාතිරමක් තියෙනවා. ශිෂ්ටසම්පන්න ආශ්‍රිතයන් ඉදිරියේ යමෙක් ඒවා දැඩි ලෙස විවේචනය කරන්නේ නැහැ. නමුත් විවේචනය කරන්නේ නැතුව ඒවා පිළිගන්න එකත් නුසුදුසුයි.”—මූලාරම්භ පිළිබඳ පර්යේෂණ.
“ජීවයේ ආරම්භයට කිසිම පැහැදිලි කිරීමක් නැති බව විද්වතුන් පෞද්ගලිකව පිළිගන්නවා. . . . ජීවයේ වඩාත්ම සරල මට්ටම්වල පවා පවතින අතිශයින් ගැඹුරු සංකීර්ණත්වය ඩාවින් හීනෙකින්වත් හිතුවේ නැහැ.”—ඩාවින්ගේ කළු පෙට්ටිය.
“අණුක පරිණාමය විද්‍යාත්මක මූලාශ්‍ර මත පදනම් වී නැහැ. . . . එවැනි පරිණාමයක් සිදු වුණා කියලා අදහස් බලාත්කාරයෙන්ම වගේ ප්‍රකාශ කරලා තියෙන නමුත්, කිසිම එකක් උචිත පරීක්ෂණවලින් හෝ ගණන් බැලීම් මගින් අනුබලයක් ලබලා නැහැ. ඍජු අද්දැකීමෙන් කිසිම කෙනෙක් අණුක පරිණාමය දැනහඳුනාගෙන නැති නිසාත්, එහෙම දැනහඳුනාගත් බවට පළ වන අදහස් ප්‍රකාශයන් පදනම් කරගන්න මූලාශ්‍රයක් නැති නිසාත්, ඩාවින්ගේ අණුක පරිණාමය පිළිබඳ බලාත්කාරයෙන්ම වගේ පළ වෙලා තියෙන අදහස් ප්‍රකාශය පුරාජේරුවට කියන කතාවක් විතරයි කියලා . . . ඇත්තෙන්ම කියන්න පුළුවන්.”—ඩාවින්ගේ කළු පෙට්ටිය.
[12වන පිටුවේ කොටුව]
පරිණාමය—“අවිනිශ්චිතභාවය මත රැඳෙන ක්‍රීඩාවක්”
පරිණාමවාදය ඇත්තෙන්ම සූදුකාරයෙක්ගේ සිහින සැබෑ කරන්නක්. ඇයි? පරිණාමවාදියාට අනුව, ජය අත් කරගැනීමට විරුද්ධව දැවැන්ත බාධා තිබුණත් එය ජය අත් කරගන්නා නිසයි.
රොබට් නේඅයි මෙහෙම ලියනවා: “පරිණාමය මූලිකවම අවිනිශ්චිතභාවය මත රැඳෙන ක්‍රීඩාවක් වන හින්දා, ඉතා සුළුයයි පෙනෙන ඕනෑම අතීත සිදුවීමක් පොඩ්ඩක් හරි වෙනස් වී තිබුණ නම්, මනුෂ්‍යයන් පරිණාමය වෙන්න කලින් අපේ පරිණාමවාදී පෙළපත කැපිලා යන්න තිබුණා.” නමුත්, හැම සූදුවක්ම ඇදුණා, වාර දශලක්ෂ ගානක් ඇදුණා කියලා විශ්වාස කරන්න අපෙන් අපේක්ෂා කරනවා. නේඅයි මෙහෙම පිළිගන්නවා: “අවහිර කන්දරාවක්ම තියෙන හින්දා, බුද්ධිමත් ජීවීන් ඉස්මතු වීම විද්වතුන් වරක් හිතුවාට වඩා ගොඩක් අමාරු දෙයක් බව පැහැදිලි කරනවා. විද්වතුන්ගේ අවධානයට දැනට ලක් නොවූ බාධක බොහොමයක් තවම තියෙනවත් ඇති.”
[8, 9වන පිටුවේ රූප සටහන]
සෛලයක සරල රූප සටහනක්
රයිබසෝම
මෙම ව්‍යූහයන් තුළ ප්‍රෝටීන සාදනු ලැබේ
සෛල ප්ලාස්මය
න්‍යෂ්ටිය සහ සෛල පටලය අතර තියෙන ප්‍රදේශය
අන්තඃප්ලාස්මීය ජාලිකාව
ඒවාට සම්බන්ධව තියෙන රයිබසෝම සාදන ප්‍රෝටීන ගබඩා කරන හෝ පරිවහනය කරන පටල තීරු
න්‍යෂ්ටිය
එය සෛලයේ ක්‍රියාකාරකම් මෙහෙයවන පාලක මධ්‍යස්ථානයයි
න්‍යෂ්ටිකාව
රයිබසෝම සාදනු ලබන ස්ථානය
වර්ණදේහ
සෛලයේ DNA, එනම් එහි ප්රවේණි පිඹුරු පත ඒවායෙහි අඩංගුය
රික්තකය
ජලය, ලවණ, ප්‍රෝටීන සහ කාබොහයිඩ්රේට ගබඩා කරයි
ලයිසොසෝම
ජීරණය සඳහා එන්සයිම ඒවායේ ගබඩා කෙරේ
ගොල්ජි දේහය
සෛලය මගින් සාදන ප්‍රෝටීන අසුරා බෙදාහරින පටල කෝෂ කාණ්ඩයක්
සෛල පටලය
සෛලයට ඇතුල් වන සහ එයින් ඉවත් වන දේ පාලනය කරන ආවරණය
කේන්ද්රිකාව
සෛල ප්‍රජනනය සඳහා වැදගත් වේ
මයිටොකොන්ඩ්රියම
සෛලයට ශක්තිය සපයන අණු වන ATP නිෂ්පාදනය කරන මධ්‍යස්ථානය
[7වන පිටුවේ පින්තූරය]
එහි කොටස් වෙන වෙනම ගත්තොත් මී කතුරක් සෑදෙන්නේ නැහැ—එවැන්නක් සේ ක්‍රියාත්මක වෙන්න නං ඒක සර්ව සම්පූර්ණ විය