බොරු කීම පිළිබඳ සැබෑව
“බොරුකාරයා!” කවදාහරි ඔබ වෙත එවැනි ඇනුම්පද එල්ල වෙලා තියෙනවද? එහෙමනම්, චිත්තවේගයන්ට ඒ තුළින් ඇති වෙන බලපෑම නිසැකවම ඔබට වැටහෙනවා.
ආදරෙන් රැකබලා ගත් මල් බඳුනක් බිම වැටුණොත් කුඩුපට්ටම් වෙලා යනවා වගේම, බොරු කීමෙන් අගනා සබඳතාවක් කැඩී බිඳී යන්න පුළුවන්. කාලයක් යන කොට ඔබට පාඩුව මකාගන්න පුළුවන් වෙන බව ඇත්තයි; නමුත් කලින් තිබුණ සබඳතාවම නැවත කවදාවත් ඇති වෙන එකක් නෑ.
“තමන්ට බොරු කියලා තියෙන බව දැනගන්න අය, නැවත විශ්වාසය ඇති කරන්න දරන වෑයම් සම්බන්ධයෙන් පරෙස්සම් වෙනවා. ඒ වගේම බොරු කියලා තියෙනවයි කියලා දැනගත්තහම, තමන් කලින් විශ්වාස කළ දේවල් සහ ක්‍රියා ගැන ඔවුන් කල්පනා කරන්න පෙලඹෙනවා” යයි ලයිං—මොරල් චොයිස් ඉන් පබ්ලික් ඇන්ඩ් ප්‍රයිවට් ලයිෆ් (බොරු කීම—ප්‍රසිද්ධ සහ පෞද්ගලික ජීවිතයේ සදාචාර තේරීමක්) නම් පොත පවසනවා. මුළා කිරීම එළිදරව් වූ විට, වතාවක මල් ඵල ගැන්වී තිබූ විවෘත අදහස් හුවමාරුව සහ විශ්වාසය, අවිශ්වාසය සහ සැකය මගින් යටපත් වෙන්න පුළුවන්.
බොරු කීම එක්ක සම්බන්ධ වී තිබෙන නුසුදුසු හැඟීම් සියල්ලමත් එක්කම ‘එවැනි කපටි පුරුද්දක් හටගත්තේ කොහොමද’ කියා අපි ඇසිය යුතුයි.
මුල්ම බොරුව
යෙහෝවා දෙවි මුල් මනුෂ්‍ය යුවළ වූ ආදම් සහ ඒව මැවූ අවස්ථාවේ, ඔහු ඔවුන්ව ලස්සන උද්‍යාන නිවසක තැබුවා. ඔවුන්ගේ නිවස මොනයම් ආකාරයක හෝ මුළාවෙන් හෝ වංචාවෙන් තොරවයි තිබුණේ. එය ඇත්තෙන්ම පාරාදීසයක්!
කොහොම නමුත්, ඒවව මැවීමෙන් යම් කලකට පසු, යක්ෂයා වන සාතන් පරීක්ෂාවට ලක් කරන යමක් ඉදිරිපත් කරමින් ඒව වෙත එළඹුණා. දෙවි තහනම් කළ “ගහේ ගෙඩි” කෑවොත් දෙවි කිවූ ලෙස ඇය මියයන්නේ නැහැයි කියා ඒවට පවසනු ලැබුවා. ඒ වෙනුවට, ඇය “යහපත හා නපුර දැනගෙන දෙවියන්වහන්සේට සමාන” වේවි. (උත්පත්ති 2:17; 3: 1-5) ඒව සාතන්ව විශ්වාස කළා. ඇය ගෙඩිය ගෙන කා, ඇගේ පුරුෂයාටත් ඉන් කොටසක් දුන්නා. නමුත් සාතන් පොරොන්දු කර තිබුණු ආකාරයට දෙවි හා සමාන වෙනවා වෙනුවට, ආදම් සහ ඒව අකීකරු පව්කාරයන්, ජරාවේ වහලුන් බවට පත් වුණා. (2 පේතෘස් 2:19) ඒ වගේම මුල්ම බොරුව කීමෙන්, සාතන් “සියලු බොරුවල පියා” බවට පත් වුණා. (යොහන් 8:44, ටුඩේස් ඉංග්ලිෂ් ව’ෂන්) කල් යත්ම, බොරු කියන කොට හෝ බොරුවක් කෙරෙහි විශ්වාස කරන කොට ජයගන්නෙක් නැති බව මේ පව්කාර තුන්කට්ටුව ඉගෙනගත්තා.
මරණය-පමුණුවන ප්‍රතිවිපාක
හිතා මතා අකීකරු වුණොත් දඬුවමෙන් බේරෙන්න බැරි බව ස්වර්ගයේ හා පොළොවේ තම මුළු මැවිල්ලම දැනගැනීමට පැමිණීම යෙහෝවාට ඕනෑ වුණා. කැරලිකාර ආත්ම මැවිල්ල තම ශුද්ධ සංවිධානයෙන් පිටත ජීවත්වීමට සලස්වමින් දෙවි විගස ක්‍රියා කළා. ඒ විතරක් නොවෙයි, අන්තිමේදී යෙහෝවා දෙවි සාතන්ව සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න වගබලාගනීවි. දෙවි දෙන්න පොරොන්දු වුණ “වංශය,” හිසට මාරාන්තික තුවාල සිදු කරන විට මෙය සිදු වෙනවා.—උත්පත්ති 3:14, 15; ගලාති 3:16.
ආදම් සහ ඒවට වුණ දේ ගත්තහම, ඔවුන්ව ඒදන් උයනෙන් පන්නා දැමුවා. දෙවි, ආදම්ට මෙහෙම නියම කළා: “නුඹ භූමියෙන් ගන්නාලද බැවින් එයට හැරී යනතෙක් නුඹේ මුහුණේ ඩහදියෙන් යුක්තව කෑම කන්නෙහිය; මක්නිසාද නුඹ දූවිලිය, දූවිල්ලට හැරී යන්නෙහිය.” කාලයාගේ ඇවෑමෙන්, දෙවි පුරෝකථනය කර තිබුණු විදිහටම, ඔහු සහ ඒව යන දෙදෙනාම මියගියා.—උත්පත්ති 3:19.
ආදම්ගේ පැවතෙන්නන් වශයෙන්, මුළු මනුෂ්‍ය පවුලම “පාපයට විකුණනු ලැබ” සිටියි. මුළු මනුෂ්‍ය සංහතියම මරණයට මඟ පාදන අසම්පූර්ණත්වය උරුම කරගෙන සිටිනවා. (රෝම 5:12; 6:23; 7:14) එම මුල්ම පාපයේ ප්‍රතිඵල කොයි තරම් දරුණුද!—රෝම 8:22.
මුල්-බැසගත් පුරුද්දක්
දෙවිට විරුද්ධව කැරලි ගැසූ සාතන් හා ඔහුට එකතු වූ දූතයන්ව තවමත් විනාශ කරලා නැති නිසා, ඔවුන් මනුෂ්‍යයන්ව ‘බොරු කීමට’ පොලඹවනවා කියන එක ගැන අපි පුදුම විය යුතු නෑ. (1 තිමෝති 4:1-3) ප්‍රතිඵලයක් වශයෙන්, බොරු කීම මනුෂ්‍ය සමාජය තුළ මුල් බැසගෙන තියෙනවා. “බොරු කීම සමාජය තුළට කොයි තරම් කාවැදිලා තියෙනවාද කියතොත්, සමාජය දැන් ඉතා පුළුල් අන්දමින් එයට අසංවේදියි” කියා ලොස් ඇන්ජලිස් ටයිම්ස් සඳහන් කළා. අදදින හුඟදෙනෙක් බොරු කියන එක, දේශපාලනය හා දේශපාලනඥයන් එක්ක කිට්ටුවෙන් සම්බන්ධ කරනවා; බොරුකාරයන් වශයෙන් ප්‍රසිද්ධ අය අතර ආගමික නායකයෝ ඉන්න බව ඔබ දැනගෙන හිටියාද?
යේසුගේ ආගමික විරුද්ධකාරයන් ඔහුගේ භූමික සේවා කාලයේදී ඔහු ගැන බොරු ප්‍රචාරය කරලා හැරියා. (යොහන් 8:48, 54, 55) ඔහු මෙහෙම කියමින් ඔවුන්ව ප්‍රසිද්ධියේ හෙළා දැක්කා: “නුඹලා නුඹලාගේ පියවූ යක්ෂයාගෙන්ය, නුඹලා නුඹලාගේ පියාගේ තෘෂ්ණාවන් ඉෂ්ටකරන්ට කැමතිය. . . . ඔහු බොරුවක් කියන කල තමාගේම දේ කියයි. මක්නිසාද ඔහු බොරුකාරයෙක්ය, බොරුවේ පියාය.”—යොහන් 8:44.
යේසුගේ නැවත නැඟිටීමෙන් පසුව ඔහුගේ සොහොන් ගෙය හිස්ව තිබුණු බව සොයාගත් විට ප්‍රචාරය කළ බොරුව ගැන ඔබට මතකද? බයිබලයේ පවසන්නේ, නායක පූජකයෝ, “හේවායන්ට බොහෝ මිලදී: අප නිදාඉන්දදී ඔහුගේ ගෝලයෝ රෑ ඇවිත් ඔහු සොරාගෙන ගියෝයයි කියන්න” කිවූ බවයි. මේ බොරුව පුළුල් ලෙස පැතිර ගිය අතර හුඟදෙනෙක් ඉන් මුළා වී සිටියා. ඒ ආගමික නායකයෝ මොනතරම් දුෂ්ටද!—මතෙව් 28:11-15.
අදදින ආගමික බොරු
අදදින ආගමික නායකයන් විසින් කියල තියෙන ප්‍රමුඛ පෙළේ බොරුව මොකක්ද කියලා ඔබ දන්නවාද? එය සාතන් ඒවට කිව්ව එක හා සමානයි: “නුඹලා ඇත්තටම නසින්නේ නැත.” (උත්පත්ති 3:4, ඇල අකුරු අපගේය) නමුත් ඒව මියගියා; ඇයව සාදනු ලැබූ දූවිල්ලටම ඇය නැවත හැරී ගියා.
කොහොම වුණත්, ඇය ඇත්තටම මියගියාද, එහෙම නැත්නම් වෙනත් ස්වරූපයකින් දිගටම ජීවත් වුණාද? මරණය තවත් ජීවිතයකට දොරටුවක් පමණක්ද? ඒවගෙන් වෙන් වෙලා සිහිය තියෙන කොටසක් ජීවත් වුණ බවට බයිබලයේ කිසිම ඉඟියක් දෙන්නේ නෑ. ඇගේ ප්‍රාණය ජීවත් වුණේ නෑ. ඇය දෙවිට අකීකරු වීමෙන් පව් කර තිබූ අතර බයිබලය මෙහෙම කියනවා: “පව්කරන ප්‍රාණයම නසින්නේය.” (එසකියෙල් 18:4) ඇගේ ස්වාමිපුරුෂයා වාගේම ඒවද, ජීවමාන ප්‍රාණයක් හැටියට මවලා තිබුණ අතර, ජීවමාන ප්‍රාණයක් හැටියට තිබුණ ඇගේ ජීවිතය නැති වී ගියා. (උත්පත්ති 2:7) මියගියවුන් ගැන බයිබලයේ මෙහෙම පවසනවා: “මළාහු කිසිවක් නොදනිති.” (දේශනාකාරයා 9:5) ඒත් පල්ලිවල සාමාන්‍යයෙන් උගන්වන්නේ මොකක්ද?
මනුෂ්‍යයන්ට අමරණීය ප්‍රාණයක් තිබෙන බවත්, තවත් ජීවිතයක් අද්දකින්න—එනම් ස්වර්ගික සම්පත්තිය හෝ වද කරනු ලැබීම අද්දකින්න මරණය මගින් එය මුදාහරින බවත් පල්ලිවල බොහෝ වෙලාවලට උගන්වනවා. උදාහරණයක් හැටියට ද කැතලික් එන්සයික්ලොපීඩියා මෙහෙම පවසනවා: “නිරයේ සදා වේදනා විඳීම, ඇදහිලි ක්‍රමයේ සත්‍යයක් හැටියට පල්ලිය විශේෂයෙන්ම උගන්වනවා කියන එක, බොරුවක් නැත්නම් මිථ්‍යාවක් කියලා කිසි කෙනෙක්ට කියන්න බැහැ.”—1913 සංස්කරණයේ, 7 වෙළුම, 209 පිටුව.
බයිබලය පැහැදිලිවම කියන දේට වඩා මේ ඉගැන්වීම මොනතරම් වෙනස්ද! කෙනෙක් මියයන විට “ඔහු ස්වකීය භූමියට හැරී යයි; එදාම ඔහුගේ කල්පනා නැතිවේ” කියලා බයිබලය උගන්වනවා. (ගීතාවලිය 146:4) එනිසා, බයිබලයේ කියන අන්දමට, මළවුන්ට කිසි වේදනාවක් විඳින්න බෑ; හේතුව, ඔවුන්ට කොහොමටවත් කිසිම දෙයක් ගැන දැනීමක් නැති නිසයි. ඒ නිසා බයිබලය අපෙන් උනන්දුවෙන් මෙහෙම ඉල්ලා සිටිනවා: “කරන්ට නුඹේ අතට සම්බවෙන සියල්ලම නුඹේ වීර්යයෙන් කරන්න; මක්නිසාද නුඹ යන මිනීවළෙහි වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.”—දේශනාකාරයා 9:10.
අවධානයෙන් සිටිය යුතුයි
යේසුගේ දවස්වල සිටි පූජකයන්ගේ බොරුවලින් බොහෝදෙනෙක් මුළා වුණා වගේම, අදදින ආගමික නායකයන්ගේ බොරු ඉගැන්වීම්වලින් මුළාවීමේ අනතුරක්ද තියෙනවා. මේ අය “දෙවියන්වහන්සේගේ සත්‍යය බොරුවකට මාරුකර” තිබෙන අතර, මනුෂ්‍ය ප්‍රාණයේ අමරණීයත්වය හා මනුෂ්‍ය ප්‍රාණ නිරාගින්නක දවන්ට යනවයි කියන අදහස බොරු ඉගැන්වීම්වලට රුකුල් දෙනවා.—රෝම 1:25.
ඊට අමතරව, අදදින ආගම් සාමාන්‍යයෙන්ම මනුෂ්‍ය සම්ප්‍රදායන් හා දර්ශනවල මට්ටමටම බයිබල් සත්‍යයන්ද දානවා. (කොලොස්සි 2:8) මේ නිසා, අවංකභාවය හා ලිංගික හැසිරීම සම්බන්ධ නීති ඇතුළුව, සදාචාරය පිළිබඳ දෙවිගේ නීති, අනිවාර්යයෙන්ම බලපාන ඒවා ලෙස නොව සමහරවිට බලපාන ඒවා වශයෙන් ගණන් ගත යුතුයි කියලා සලකනවා. ප්‍රතිඵලය ඇති වෙලා තියෙන්නේ ටයිම් සඟරාවේ මෙහෙම විස්තර කරලා තියෙන විදිහටයි: “එකිනෙකා සමඟ හැසිරිය යුතු ආකාරය පාලනය කරන නීති තවදුරටත් තේරුම්ගන්න බැරි, නැත්නම් එකඟ වෙන්න බැරි තත්වයකට ජනයා පත් වෙන කොට, එම සමාජීය අවිනිශ්චිතභාවය තුළ බොරුව රජයනවා.”—සසඳන්න යෙසායා 59:14, 15; යෙරෙමියා 9:5.
සත්‍යයට ඒ තරම්ම තැනක් නොදෙන පරිසරයක ජීවත්වීම, බොරු නොකියන්න කියා දෙවි දෙන අවවාදය පිළිපැදීම අසීරු කරවනවා. හැම වෙලාවේම සත්‍යවාදී වීමට අපට උපකාර කරන්න පුළුවන් මොකකටද?
සත්‍යය වෙනුවෙන් ස්ථාවරයක් ගැනීම
අපේ මැවුම්කරුව මහිමයට පත් කිරීමට අපට තියෙන ආශාව සත්‍යවාදී කතාව වර්ධනය කිරීමට අපව ඉතා හොඳින් පොලඹවනවා. බයිබලය ඔහුව “සැබෑකමේ දෙවි” වශයෙන් හැඳින්වීම සැලකිල්ලට ගත යුත්තක්. (ගීතාවලිය 31:5) එනිසා, අපේ ආශාව වෙන්නේ, ‘බොරුකාර දිව ද්වේෂ කරන’ අපේ මැවුම්කරුව සතුටු කරන්න නම්, අපි ඔහුව අනුකරණය කරන්න පෙලඹෙනවා. (හිතෝපදේශ 6:17) අපිට ඒක කරන්න පුළුවන් කොහොමද?
‘අසල්වැසියා එක්ක සැබෑව කතා කරන්න’ අවශ්‍ය ශක්තිය අපට දෙන්න, දේවවචනය ගැන කරන අවංක අධ්‍යයනයකට පුළුවන්. (එපීස 4:25) කොහොම වුණත්, දෙවිට අපෙන් ඕනෑ කරන දේ නිකම් දැනගෙන ඉඳීම පමණක්ම මදි. අදදින ලෝකයේ ඉන්න හුඟදෙනෙක් වගේ, අපි හැමවිටම සත්‍යය කතා කිරීමට පෙලඹෙන්නේ නැත්නම්, එහෙම කරන්න අපි ඇත්තෙන්ම වෑයමක් දරන්න ඕනේ. ප්‍රේරිත පාවුල්ගේ ආදර්ශය අනුගමනය කර, අපි අපිටම තදින් ඉඳීම අවශ්‍ය වෙන්න පුළුවන්. “ශරීරය දමනයකර වහල්කමට පමුණුවමි” කියා පාවුල් ලිව්වා.—1 කොරින්ති 9:27.
හැමවිටම සත්‍යය කතා කිරීමට කරන සටනේදී යාච්ඤාව අමතර උපකාරයක් වෙනවා. උපකාරය සඳහා යෙහෝවාගෙන් අයැදීමෙන්, අපට “සාමාන්‍ය ඉක්මවූ බලය” ලබාගන්න පුළුවන්. (2 කොරින්ති 4:7, NW ) ඇත්තෙන්ම, “බොරු කියන දිව” අහකට දමා “සැබෑව කියන තොල” දිගටම පවත්වාගන්න නම් ඇත්තටම පරිශ්‍රමයක් දරන්න වෙනවා. (හිතෝපදේශ 12:19) ඒත් යෙහෝවාගේ උපකාරයෙන් එය ඉටු කරගන්න පුළුවන්.—පිලිප්පි 4:13.
බොරු කීම සාමාන්‍ය දෙයක් මෙන් පෙනීමට සලස්වන්නේ සාතන් වන යක්ෂයා බව හැමවිටම මතක තබාගන්න. ද්වේෂසහගත ලෙස ඒවට බොරුවක් කියමින් ඔහු එම මුල් ස්ත්‍රියව රැවැට්ටුවා. කොහොම වුණත්, සාතන්ගේ බොරු මාර්ගවල විනාශකාරි ප්‍රතිඵල ගැන අපි හොඳින්ම දන්නවා. ආත්මාර්ථකාමි බොරුවක් හා ආත්මාර්ථකාමි පුද්ගලයන් තුන්දෙනෙක් වන ආදම්, ඒව සහ සාතන් නිසා, මිනිස් පවුල කෙරෙහි කියන්න බැරි තරම් වේදනාවක් පැටවී තිබෙනවා.
ඔව්, බොරු කීම පිළිබඳ සැබෑව මරණය-පමුණුවන විසකට සමාන කළ හැකියි. නමුත්, ඒ ගැන අපිට යමක් කරන්න හැකිවීම ගැන ස්තුතිවන්ත වෙන්න පුළුවන්. බොරු කීමේ පුරුද්ද අත්ඇරලා “අධිකතර කරුණාව සහ සැබෑකමද ඇත්තාවූ දෙවි කෙනෙක්” වන යෙහෝවාගේ අනුග්‍රහය සදහටම භුක්ති විඳින්න අපිට පුළුවන්.—නික්මයාම 34:6.
[20වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
බොරු කීම, මරණය-පමුණුවන විසට සමාන කළ හැකියි
[18වන පිටුවේ පින්තූරය]
බොරු කීමෙන් ඇති වෙන ඵලවිපාක, මල් බඳුනක් බිම වැටුණොත් කුඩුපට්ටම් වෙලා යනවා වගෙයි