යෞවන අය අසති. . .
දෙවි මගේ මිතුරා කරගන්නේ කොහොමද?
“පක්ෂපාතකම.” “පෞද්ගලික ලෙන්ගතුකම.” තම කිට්ටුම මිතුරන්ට ඇති බැඳීම විස්තර කරන්න මිනිසුන් යොදාගන්නා වචන සමහරකි මේ. මේ විස්මයජනක විශ්වයේ උදාර මැවුම්කරුත් සමඟ ඇති බැඳීම විස්තර කරන්න මේ පදවලට පුළුවන් කියලා ඔබ දැනගෙන හිටියාද? ඔබගේම මිතුරා වෙන්නත් දෙවිට පුළුවන් කියලා ඔබ දැනගෙන හිටියාද? ඔව්, දේවභක්තිය තිබීම ගැන බයිබලය කතා කරනවා; ඒ වගේම එම කියමනෙන් කීකරුකම පමණක් නොව, එහෙත් දෙවිට ඇති පෞද්ගලික බැඳීමත් අදහස් කෙරෙනවා; එය කෘතඥපූර්වක හදවතකින් නික්මෙන සමීපකමක්.
එවැනි බැඳීමක් ඇති කරගන්න පුළුවන් දෙයක් වාගේම එය ප්‍රයෝජනදායකද වෙන බව මෙම ලිපි මාලාවේ මීට කලින් පළ වූ ලිපිවල පෙන්නුම් කර තියෙනවා.a ඒත් ඔබ මේ පෞද්ගලික මිත්‍රත්වය අත් කරගන්නේ කොහොමද? එය සහජයෙන් ලැබෙන දෙයක්වත් දෙමාපියන්ගෙන් නිකම්ම උරුම වන්නක්වත් නොවෙයි. ඒ වෙනුවට, අව්‍යාජ වෑයමෙන්ම පමණක් ලැබෙන්නක්. ‘භක්තිවන්තකම පිණිස ව්‍යායාම පවත්වන’ හැටියට යෞවන තිමෝතිට පාවුල් කිව්වා. ඔව්, මලල ක්‍රීඩකයෙක් පුහුණු කටයුතු කරන විට දැරිය යුතු වෑයමට සමාන වෑයමක් දැරීමට ඔහුට සිදු වුණා. (1 තිමෝති 4:7, 8, 10) දෙවි ඔබගේ මිතුරා කරගන්න කැමති නම් ඔබද එයාකාරයෙන්ම කළ යුතුයි. නමුත් මේ සම්බන්ධව ඔබ පුහුණුව අරඹන්නේ කොහොමද?
දෙවි පිළිබඳ පෞද්ගලික දැනුමක්
දේවභක්තිය හදවතින් නික්මෙන හෙයින්, ඔබගේ හදවත දෙවි පිළිබඳ දැනුමෙන් පුරවාගත යුතුයි. කනගාටුවට කරුණක් නම්, 500කට අධික යෞවනයන්ගෙන් “ඔයා තනියම ඉන්නකොට බයිබලය කී සැරයක් වගේ කියවනවාද?” යයි ඇසූ විට සියයට 87ක් කිව්වේ “ඉඳලා හිටලා,” “සමහර වෙලාවට කියවෙන්නෙම නැහැ,” “කොහෙත්ම නැහැ” කියලයි. බොහෝ යෞවනයන් පැහැදිලිවම හිතන්නේ බයිබලය කියවීම කම්මැළි මෙන්ම කිසිම ගතියක් නැති දෙයක් හැටියටයි. හැබැයි එය එහෙම වෙන්න අවශ්‍ය නැහැ! මෙහෙම හිතලා බලන්න: සමහර යෞවනයන් විවිධ වර්ගයේ ක්‍රීඩා ගැන තොරතුරු කටපාඩම් කරගන්න නැත්නම් ඔවුන් ප්‍රිය කරන සින්දුවල වචන ඉගෙනගන්න හදන්නේ ඇයි? මොකද, ඔවුන් එවැනි දේවලට උනන්දුවක් පෙන්වන නිසා. ඊට සමානාකාරයෙන්, එහිම යෙදී සිටියොත් බයිබලය අධ්‍යයනය කිරීම සිත්ගන්නා යමක් බවට පත් වෙන්න යනවා. (1 තිමෝති 4:15) “ආත්මිකවූ අමිශ්රවූ කිරිව[ලට]. . . බොහෝ ආශාවෙන්න” යයි ප්‍රේරිත පේතෘස් උදක්ම ඉල්ලා සිටියා. (1 පේතෘස් 2:3) ඔව්, ශුද්ධ ලියවිලි කෙරෙහි එවැනි උනන්දුවක් ඇති කරගන්න, එසේත් නැත්නම් වර්ධනය කරගන්න අවශ්‍ය වෙනවා. යම් ප්රයත්නයක් දරන්න සිදු වූවත්, එනයින් ලැබෙන ඵලවිපාකයෙන් එය හිලව් වෙනවා.b
දේවවචනය හා බයිබලය මත පදනම් ප්‍රකාශන කියවීමෙන් හා අධ්‍යයනය කිරීමෙන් ලැබෙන එක් දෙයක් තමයි, “[යෙහෝවාගේ] අලංකාරය” අනාවරණය වීම. (ගීතාවලිය 27:4) ඇම්බ’ නම් ලත් එක් යෞවන ක්රිස්තියානිවරියක් මුළු බයිබලයම කියවීම ඇයගේ ඉලක්කය කරගත්තා. එයට අවුරුද්දක් පමණ ගත වුණා. ඇම්බ’ මෙසේ පැහැදිලි කරනවා: “ගොඩක් කාලයයි ශ්‍රමයයි වැය කරන්න ඕන වුණත්, ගොඩක් ඵලවිපාක අත් කරලා දෙන දේවල් වැඩිය තියෙයි කියලා මට නං හිතන්න අමාරුයි. මම ඒක කියවද්දී, මට හිතුණේ යෙහෝවා හරියට තාත්තා කෙනෙක් වගේ මාව එයාගේ ඔඩොක්කුවේ තියාගෙන මට උගන්නනවා කියලයි. මම යෙහෝවා ගැන ගොඩාක් දේවල් ඉගෙනගත්තා—ඒ දේවල් මාව එයා ගාවට තවත් ළං කළා; ඒ වගේම මගේ මුළු ජීවිත කාලෙටම එයාට භය වෙන්න ඕනෙ කියලා හිතන්නත් සැලැස්සුවා.”
ඔබ බයිබලය කියවන කොට, දෙවි ඔහුගේ මිතුරන්ට පක්ෂපාතීව සහය වූ අවස්ථාවන් බොහොමයක් ගැන ඔබ ඉගෙනගන්න යනවා. (ගීතාවලිය 18:25; 27:10) ඔහුගේ ප්රමිතීන් සැමවිටම හොඳම ඒවා බවත් ඒවා ඔබගේ සදාකාලික වූ යහපතට බවත් ඔබට හොයාගන්න පුළුවන් වෙනවා. (යෙසායා 48:17) ප්‍රේමය හා ප්‍රඥාව වැනි දෙවිගේ අසමසම ගුණාංගයන් කියවීමෙන් ඔහුව අනුකරණය කරන්න ඔබව පොලඹවනවා. (එපීස 5:1) නමුත් එවැනි කාරණා මගින් ඔබගේ හද කැලතවීමට නම්, ඔබ මෙනෙහි කරන්නත් අවශ්‍යයි. ඔබ කියවන අතරතුරේදී, ඔබගෙන්ම මෙසේ අසන්න: “මේකෙන් යෙහෝවා ගැන මට කියන්නේ මොකක්ද? මගේ කල්පනා හා ක්‍රියාවලට මේක අදාළ කරගන්නේ කොහොමද? මට ඉන්න පුළුවන් හොඳම මිතුරා දෙවි කියලා මේකෙන් පෙන්නන්නේ කොහොමද?”
පෞද්ගලික හා සභා අධ්‍යයනය තුළින් දෙවි ගැන ඔබට ලැබෙන දැනුම ඔබට වෙනත් ආකාරයකින් ඔහු වෙත ළඟාවීමට උපකාර කරන්න යනවා. එක් ප්‍රංශ හිතෝපදේශයක් මෙසේ පවසයි: “එක සේ සිතත්—සැබෑ මිතුරෝ පමණක්.” නමුත් දෙවිටත් ඔබටත් “එක සේ” සිතන්න පුළුවන් වෙන්නේ කොහොමද? යෞවන ඩනීස් මෙසේ පැහැදිලි කරයි: “එක විෂයක් අධ්‍යයනය කරලා ගවේෂණය කරන තරමට, යෙහෝවා ඒ ගැන දරන දෘෂ්ටිකෝණය වැඩියෙන් හොයාගන්න පුළුවන්. යම් දෙයක් ගැන එයාට හැඟෙන්නෙ කොහොමද කියලා දැනගන්න ලැබෙන එක ලොකු උපකාරයක්.”
අවංක හැසිරීම අත්‍යවශ්‍යය
දෙවි ඔහුගේ මිතුරන් හැටියට තෝරාගන්නේ ඔහුගේ සදාචාරමය ප්රමිතීන්වලට ගෞරවය කරන අයව පමණි. “[ඔහුගේ] මිත්‍රකම අවංක අය සමග ඇත්තේය” යයි හිතෝපදේශ 3:32 කියයි. අවංක වෙන්න වෙරදරන යෞවනයෙක් “[යෙහෝවාගේ] ව්‍යවස්ථාව ප්‍රකාර හැසිරෙන්ට ප්‍රවේසම්” වෙන්න යනවා. (2 රාජාවලිය 10:31) එවැනි කීකරු හැසිරීමක් පුද්ගලයෙක්ව යෙහෝවා වෙතට කොයි තාක් දුරට ළං කරාවිද? “මාගේ [පියාද] ඔහුට ප්‍රේම[කරයි], අපි ඔහු ළඟට ඇවිත් ඔහු සමඟ වාසය කරමු” කියා යේසුස් ක්‍රිස්තුස් පැවසුවා. (යොහන් 14:21-24) කොයි තරම් හද උණුසුම් කරවන පින්තූරයක්ද! මේ විශ්වයේ සිටින ශ්‍රේෂ්ඨතම පුද්ගලයන් දෙදෙනා මනුෂ්‍යයෙකුට ඔවුන්ගේ නිරන්තර සැලකිල්ල හා අවධානය පෙන්වීම ගැන නිකං හිතලා බලන්න! ඔබත් යෙහෝවාගේ නීති තුළ ගමන් කරන්න සැලකිලිමත් වුණොත් ඔබට එසේම සිදු වෙන්න යනවා.
අවංක වීමෙන් අදහස් වෙන්නේ ඔබ පරිපූර්ණ වෙන්න අවශ්‍යයි කියන එකද? කොහෙත්ම නැහැ! දුර්වලකම නිසා වරදක් සිදු වුණා කියන්නේ, ඔබ “[දෙවිගේ] ආඥා මාර්ග[ය]” අතහැරියා කියන එක නොවෙයි. (ගීතාවලිය 119:35) බයිබලයේ දාවිත් රජු ගැන පවසන දේ කල්පනාවට ගන්න. දෙවිගේ පක්ෂපාත මිතුරෙක් හැටියට හිටියත්, දුර්වලකම් හේතුවෙන් ඔහු අතින් යම් බරපතළ වැරදි සිදු වුණා. ඒ වුණත්, ඔහු “[හෘදයේ] ඇද නැතිකමින්ද අවංකකමින්ද” හැසුරුණ බව යෙහෝවා පැවසුවා. (1 රාජාවලිය 9:4) ඔහු අතින් සිදු වූ වැරදි ගැන දාවිත් රජ හැමවිටම හදපත්ලෙන්ම පසුතැවිලි වූ අතර, යෙහෝවාව සතුටු කරවන දෑ කරන්න ඔහු වෙරදැරුවා.—ගීතාවලිය 51:1-4.
දාවිත් යෙහෝවාට ප්‍රේම කළත්, සමහර අවස්ථාවලදී හරි දේ කරන්න කොපමණ අමාරුද කියා ඔහු දැන සිටියා. එම නිසයි ඔහු දෙවිගෙන් මෙසේ අයැදුවේ: “ඔබේ සත්‍යතාවෙහි ඇවිදින්න මට සලස්වන්න.” [NW ] ඔව්, දෙවිව අමනාප කිරීම සම්බන්ධයෙන් ඔහු හිතකර භීතියක් එසේත් නැත්නම් භයක් වර්ධනය කරගත්තා. ඒ හේතුවෙන් දාවිත්ට මෙසේ කියන්න හැකි වුණා: යෙහෝවා සමඟ කිට්ටු මිත්‍රත්වය “[ඔහු] කෙරෙහි භය ඇත්තන් හා සමඟය.” (ගීතාවලිය 25:5, 14) එය අනිසි භයක් නොවෙයි, නමුත් එය දෙවි කෙරෙහි ඇති ඇතුළාන්තයෙන්ම හැඟෙන ගරුත්වයක් වන අතර, ඔහුව අසතුටු කරන්න ඇති හිතකර භීතියක්. මෙම දේවභය, යෝග්‍ය හැසිරීම මත පදනම් වී තියෙන මුල් ගල වෙනවා. මෙය පැහැදිලි කරන්න, ජොෂුවා නම් ලත් යෞවන ක්‍රිස්තියානියෙකුගේ ආදර්ශය සලකා බලන්න.
ජොෂුවාට කැමති බවත් ඔහු සමඟ “සම්බන්ධකමක්” පවත්වාගන්න උවමනා බවත් කියා තිබෙන ලියමනක් ජොෂුවාට පාසැල් මිතුරියකගෙන් ලැබුණා. ජොෂුවාගේ සිත ඇය කෙරෙහි ඇදී ගොස් තිබුණත්, නොඇදහිලිකාර කෙනෙකු සමඟ ඇසුරු කිරීම දුරාචාරයට මඟ පෑදිය හැකි බවත් යෙහෝවා සමඟ ඇති මිත්‍රත්වයට හානි පැමිණවිය හැකි බවත් ඔහු වටහාගත්තා. එමනිසා කොන්දේසි විරහිතව ඔහු ඇයට පැවසුවා ඔහු එයට අකමැති බව! පසුව එම කාරණය බේරුම් කරගත් ආකාරය ඔහු ඔහුගේ මවට කිව් විට ඇය දුරදිග සිතන්නේ නැතුව මෙසේ කිව්වා: “අයියෝ ජොෂුවා, ඔයා එයාගේ හිත රිද්දවන්න ඇතිනෙ!” එයට ජොෂුවා මෙසේ පිළිතුරු දුන්නා: “ඒ වුණාට අම්මි මම එයාගේ හිත රිද්දුවත් කමක් නැහැ, මම යෙහෝවාගේ හිත රිද්දවන්නේ නැතුව.” ඔහුගේ දේවභය, එනම් ඔහුගේ ස්වර්ගික මිතුරා අප්‍රසන්න කරන්න තියෙන භීතිය, ඔහුගේ අවංක හැසිරීම පවත්වාගන්න ඔහුව පෙලඹුවා.
හොඳ ආශ්‍රිතයන්ව සොයන්න
කොහොම වුණත් ලින් නම් ලත් යෞවනියක් නිතර නිතර කරදරවලට වැටුණා. ගැටලුව කුමක්ද? ඇය වැරදි පිරිසත් සමඟයි ගැවසෙමින් හිටියේ. (නික්මයාම 23:2; 1 කොරින්ති 15:33) මෙයට පිළියම? අලුත් මිතුරන් සොයාගැනීම! ලින් මෙහෙම නිගමනය කළා: “යෙහෝවාට ප්‍රේම කරන අය මං ළඟ ඉන්නවා නම්, මෘදු හදවතක් තියාගන්න එවගේම කරදරවලට වැටෙන්නේ නැතුව ඉන්න උදව්වක් වෙනවා. සිද්ධ වෙන වැරදි වැඩ දැකලා ඒගොල්ලන්ට තිත්ත වෙලා කියලා කියන කොට, මටත් හිතෙනවා ඒ විදිහටම හිතන්න.”
ඇත්තටම කියනවා නම්, දෙවි සමඟ මිත්‍රත්වයක් තබාගන්න තිබිය හැකි ලොකුම බාධකය නම් මිතුරන් පිළිබඳව කරන නරක තේරීමයි. අවුරුදු දහඅටක් වයසැති ඈන් මෙහෙම පිළිගත්තා: “අපි ආශ්‍රය කරන අය ලොකු බලපෑමක් කරනවා. කවදහරි දවසක අපි ඒගොල්ලන් වගේ වෙන්න යනවා. ඒගොල්ලන් හිතන විදිහට හිතන්න ඒගොල්ලන් අපිව නම්මගන්නවා. ගොඩාක් වෙලාවට කතා කෙරෙන්නේ ලිංගික කාරණා ගැන. සමහර වෙලාවට ඒක ගැන දැනගන්න ආසා හිතෙනවා. අපි කල්පනා කරනවා ඒක මොන වගේ එකක්ද කියලා.” ඈන් මෙය අමාරු ක්‍රමයට ඉගෙනගත්තා. “මම දන්නවා මේක ඇත්තයි කියලා. මම දුරාචාරයේ යෙදුණ නිසා අවුරුදු 15දී මට ළමයෙක් හම්බ වෙන්න හිටියා.”
“කවරෙක් නුමුත් ලෝකයට මිත්‍ර වෙන්ට කැමැත්තේ නම්, ඔහු [දෙවිට] සතුරෙක් වන්නේය” යන බයිබල් වදන්වල ඇති සත්‍යතාව අගය කරන්න පටන්ගන්න ඈන්ට පුළුවන් වුණා. (යාකොබ් 4:4) ඔව්, ලෝකයේ මිතුරෙක් වෙන්න ඈන්ට අවශ්‍ය වුණා—එහෙම කරන්න අධිෂ්ඨානය කළා. නමුත් මෙයින් කළේ ඇයව කරදර වැලකට මඟ පෑදවීම පමණයි. වාසනාවකට, ඈන් හොඳ සිහියට යළිත් පැමිණියා. ඇය ඇයගේ ක්‍රියාකලාපය ගැන දැඩි ශෝකයට පත් වූ අතර, ඇයගේ දෙමාපියන්ගේ හා සභාවේ වැඩිමහල්ලන්ගේ උපකාරය පැතුවා. ඒ අතරම ඇය අලුත් මිතුරන් පිරිසක්ද හොයාගත්තා. (ගීතාවලිය 111:1) ඇයගේ පැත්තෙන් විශාල වෑයමක් දැරීමෙන් පසු ඈන්ට නැවතත් දෙවිගේ මිතුරෙක් බවට පත් වෙන්න පුළුවන් වුණා. දැන්, අවුරුදු කිහිපයකට පසු ඇය මෙසේ කියයි: “දැන් යෙහෝවාගෙයි මගෙයි සම්බන්ධතාවය හරිම කිට්ටු එකක්.”
පෞද්ගලික බයිබල් අධ්‍යයනය, මෙනෙහි කිරීම, අවංක හැසිරීම හා හිතකර ආශ්‍රිතයන් තුළින් ඔබටත් දෙවි සමඟ සමීප මිත්‍රත්වයක් වර්ධනය කරගන්න පුළුවන්. කොහොම වුණත්, එවැනි මිත්‍රත්වයක් පවත්වාගෙන යෑම වෙනම කතන්දරයක්. අපහසුකම් හා පෞද්ගලික දුර්වලකම් මධ්‍යයේ මෙය කරන්නේ කොහොමද? මෙම ලිපි මාලාවේ ඉදිරියට පළවීමට නියමිත ලිපියක මෙය සාකච්ඡා කරාවි.
[පාදසටහන්වල]
a 1995 ඔක්තෝබර් 8 හා 1996 පෙබරවාරි 8 පිබිදෙව්! කලාප බලන්න.
b අපේ 1985 අගෝස්තු 8 ඉංග්‍රීසි කලාපයේ “යෞවන අය අසති . . . බයිබලය කියවිය යුත්තේ ඇයි?” යන ලිපිය බලන්න.
[13වන පිටුවේ පින්තූරය]
දෙවිගේ මිතුරෙක් වෙන්න මගේ ආශ්‍රිතයන් මට උපකාර කරාවිද?