ඉවසුම්ගතිය එක් අන්තයක සිට අනිත් අන්තයට
“කොහේ හරි පාරාදීසයක් තියෙනවා නම්, ඒක තියෙන්නේ මෙතැනයි!” දාසයවන සියවසේ සිටි දාර්ශනිකයෙකු කාශ්මීර් මිටියාවතේ සොබා අලංකාරය නිසා ඒ විදිහට පුදුමයෙන් කෑගහන්න පෙලඹුණා. පැහැදිලිවම, ඊට පසුකාලයේදී එම ප්‍රදේශයෙහි මොනවා වෙයිද කියල කිසිම අදහසක් ඔහුට තිබුණේ නැහැ. පසුගිය වසර පහ තුළදී, ඉන්දීය හමුදාව බෙදුම්වාදීන් හා ඇති වූ සටන්වලදී, අඩුම තරමින් 20,000දෙනෙකුවත් මරු වැලඳගන තියෙනවා. සූට්ඩොයිච ට්සයිටුං යන ජ’මානු පුවත්පත, දැන් එම ප්‍රදේශය හඳුන්වන්නේ, “කඳුළු මිටියාවත” කියලයි. කාශ්මීර් මිටියාවත, සරල නමුත් වටිනා පාඩමක් සපයනවා: එනම් නොඉවසුම්ගතියට, පාරාදීසයක් විය හැකිව තිබූ දේ විනාශ කිරීමට හැකිය යන්නයි.
ඉවසුම්ගතිය කියලා අදහස් කරන්නේ මොකක්ද? කොලින්ස් කෝබිල්ඩ් ඉංග්ලිෂ් ලැංවෙජ් ඩික්ෂනරියට අනුව, “ඉවසුම්ගති ඇත්තෙක් කියන්නේ, තමන් එකඟ නොවුණත්, අනුමත නොකළත්, වෙනත් කෙනෙකුගේ ආකල්ප, විශ්වාසයන් හෝ විවිධාකාර වූ හැසිරීම්වලට ඉඩහරින්නෙකුටයි.” විදහාපෑමට මොනතරම් යහපත් ගුණාංගයක්ද! තමන්ගේ අදහස්වලට වෙනස් වූවත්, අපගේ අදහස් උදහස් සහ විශ්වාසයන්ට ගරු කරන අය එක්ක කටයුතු කරන්න අපට පහසුවක් දැනෙන බවට කිසිම සැකයක් නැහැ.
ඉඩහැරීමේ සිට තම මතයේ දැඩි ලෙස එල්බ සිටීම දක්වා
ඉවසුම්ගතිය කියන එකේ විරුද්ධාර්ථය නොඉවසුම්ගතිය වන අතර, එහි තියුණුකමට ප්‍රභේද කිහිපයක් තියෙනවා. යමෙකු හැසිරෙන විදිහ හෝ යමක් කරන විදිහ සම්බන්ධව අනුමත නොකරන පටු ආකල්පයක් ඇති කරගැනීමෙන් නොඉවසුම්ගතිය එළි දකින්න පුළුවන්. පටු ආකල්ප දැරීම, ජීවිතයේ සතුටට බාධා ගෙන ආ හැකි අතරම, අලුත් අදහස්වලට මනස විවෘත කරන එක වළක්වනවා.
උදාහරණයක් හැටියට, හණ මිටි අදහස් දරන්නෙකු දරුවෙකුගේ ක්‍රියාකාරි උද්යෝගය නුරුස්සනවා විය හැකියි. තමන්ට වඩා මහලු කෙනෙක් කල්පනාකාරිව යමක් කිරීම තරුණයෙකුට නිරස නිසා, ඔහුට ඈනුම් යන්න පුළුවන්. ඉතා පරෙස්සමින් වැඩ කරන්නෙකුට, භයක් හැකක් නැතුව වැඩ කරන කෙනෙක් එක්ක වැඩ කරන්න කිව්වොත් දෙන්නාම කෝපයට පත් විය හැකියි. නුරුස්සනාගතිය, ඈනුම් යෑම සහ කෝපය ඇති වුණේ ඇයි? මේ සෑම සිද්ධියකදීම, එක් පුද්ගලයෙකුට අනිකාගේ හැසිරීම හෝ ආකල්ප රිස්සුවේ නැති නිසායි.
නොඉවසුම්ගතිය වර්ධනය වන තැන, පටු ආකල්ප දැරීම උපදවන අගතිසහගත වීම දක්වා උත්සන්න විය හැකියි; අගතිය කියන්නේ යම් කණ්ඩායමක්, ජාතියක් හෝ ආගමක් කෙරෙහි තිබෙන නොරිස්සුම්ගතියයි. සාහසික වෛරයක් විදහාපෑමට හැකියාවක් ඇති තම මතයේ දැඩි සේ එල්බගෙන සිටීම, අගතියට වඩා තියුණු මුහුණුවරක් ගන්නවා. ප්‍රතිඵලය ඉමහත් දුකක් සහ ලේ වැගිරීමයි. නොඉවසුම්ගතිය, කුරුස යුද්ධ සමයේදී කුමක් සිදු කළාද කියල කල්පනා කරල බලන්න! අදදින පවා, බොස්නියාවේ, රුවන්ඩාවේ සහ මැද පෙරදිග ගැටුම්වලට හේතුවක් වන්නේ, නොඉවසුම්ගතියයි.
ඉවසුම්ගතිය සඳහා සමබරතාවක් අවශ්‍ය වන අතර, නිසි සමබරතාව පවත්වාගැනීම පහසු නොවේ. අපි හරියට එක පැත්තක ඉඳලා අනිත් පැත්තට පැද්දෙන ඔරලෝසුවේ බට්ටා වගෙයි. සමහර අවස්ථාවල අපේ ඉවසුම්ගතිය ඉතා අඩුයි; සමහර වෙලාවට, ඕනෑවට වඩා වැඩියි.
ඉවසුම්ගතියේ සිට දුෂ්චරිතය දක්වා
ඕනෑවට වඩා ඉවසුම්ගතියක් දැක්වීමට හැකියාවක් තියෙනවාද? එක්සත් ජනපද සෙනෙට් සභික ඩෑන් කෝට්ස් 1993දී කතාවකදී, “ඉවසුම්ගතියේ අර්ථයට සහ පුරුද්දට විරුද්ධව සටනක්” ගැන විස්තර කළා. එහිදී ඔහු අදහස් කළේ මොකක්ද? සෙනෙට් සභිකයා වේදනාවෙන් කිව්වේ, “ඉවසුම්ගතියේ නාමයෙන්, සමහරු සදාචාර සත්‍යයන් එනම්, හොඳ සහ නරක, වැරැද්ද සහ නිවැරැද්ද කෙරෙහි තියෙන විශ්වාසය හිතුමතේ අත්හරිනවා” කියලයි. එවැන්නන් සිතන්නේ, හරි සහ වැරදි හැසිරීම විනිශ්චය කිරීමට සමාජයට අයිති නැහැ කියලයි.
වර්ෂ 1990දී, බ්‍රිතාන්‍ය දේශපාලනඥ හේල්ෂම් සාමිවරයා ලිව්වේ මෙහෙමයි: “සදාචාරයේ ඉතාමත්ම මාරාන්තික සතුරා කියන්නේ, දෙවිකෙනෙක් නැතැයි විශ්වාස කිරීමවත්, අඥෙයවාදයවත්, ද්රව්යවාදයවත්, ගිජුකමවත්, එවැනි පිළිගත් කිසිම හේතුවක්වත් නෙමෙයි. සදාචාරයේ සැබෑ සතුරා නම් ශුන්‍යවාදයයි; ඒ කියන්නේ, කිසි දෙයක් නැතැයි විශ්වාස කිරීමයි.” පැහැදිලිවම, අපි කිසි දෙයක් කෙරෙහි විශ්වාස කරන්නේ නැත්නම්, හැසිරීම අතින් සෑම දෙයකටම ඉඩ දෙන අතර, නියම හැසිරීම සම්බන්ධයෙන් කිසිම ප්‍රතිපත්තියක් නැතුවයි සිටින්නේ. එහෙත් ඕනෑම ආකාරයක හැසිරීමකට ඉඩහැරීම සුදුසුයිද?
ඩෙන්මා’කයේ උසස් පාසැල් විදුහල්පතිවරයෙක් එහෙම හිතන්නේ නැහැ. එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල මුල්භාගයේදී පුවත්පතකට ලිපියක් ලියමින්, මිනිසුන් සතුන් සමඟ ලිංගික සබඳකම් දක්වන කාමුක ක්‍රියා ප්‍රදර්ශන සඳහා පුවත්පත්වල කළ දැන්වීම් සම්බන්ධයෙන් චෝදනා කළා. මෙවැනි දැන්වීම්වලට නිදහස තිබුණේ, ඩෙන්මා’කය ඒ කාරණා සම්බන්ධයෙන් “ඉවසුම්ගතිය” දැක්වූ නිසයි.
පැහැදිලිවම, ඉතා සුළු වශයෙන් ඉවසුම්ගතිය පෙන්වීමෙන් ගැටලු පැනනඟිනවා. ඒ විතරක් නෙමෙයි, ඕනෑවට වඩා එසේ කිරීමෙනුත් ගැටලු පැනනඟිනවා. අන්තයන්ට යන්නේ නැතුව නිසි සමබරතාවේ රැඳෙන එක අසීරු දෙයක් වන්නේ ඇයි? කරුණාකර ඊළඟ ලිපිය කියවන්න.
[17වන පිටුවේ පින්තූරය]
දරුවන්ගේ වැරදිවලට ඕනෑවට වඩා ප්‍රතික්‍රියා කරන්ට යෑම ඔවුන්ට හානිකර විය හැකියි
[18වන පිටුවේ පින්තූරය]
දරුවන් කරන සෑම දෙයකටම ඉඩහැරීම ජීවිතයේ වගකීම් දැරීමට ඔවුන්ව සූදානම් කරන්නේ නැහැ