ස්ත්රීන්ට එරෙහිව සැහැසියාව
නයිජීරියාවේ පිබිදෙව්! වාර්තාකරු විසිනි
මව් ගැබේ සිට පොළෝ ගැබ දක්වා ස්ත්‍රීන් සැහැසියාවට ගොදුරු වන බවට, එක්සත් ජාතීන්ගේ 1995 මානුෂික සංවර්ධන වාර්තාව එකඟ වෙයි. ලොව වටා අධ්‍යයනයන් පහත කාරණා හෙළි කරයි:
උපතට පෙර. ගැබෙහි සිටින දරුවා පිරිමිද ගැහැනුද කියා නිශ්චය කරගැනීමට සමහර රටවල වෛද්‍ය පරීක්ෂණ පවත්වයි. ගැහැනු දරුවෙකු නම් බොහෝවිට ගබ්සා කරනු ලබයි.
ළමා වියේදී. එක්සත් ජනපදයෙහි, කැනඩාවේ, නවසීලන්තයේ, නෙදර්ලන්තයේ, නෝ’වේහි සහ බාබඩෝස්හි කාන්තාවන් තුන්දෙනෙකුගෙන් එක් අයෙකු, ළමා වියේදී හෝ නව යොවුන් වියේදී ලිංගික අතවරයට ලක්ව ඇති බවට වාර්තා වේ. ආසියාවේ සහ වෙනත් තැන්වල සෑම අවුරුද්දකදීම, දශලක්ෂයක් පමණ ළමුන්ව—වැඩියෙන්ම ගැහැනු ළමුන්ව—ගණිකා සේවයේ යෙදීමට බල කරවයි. ලොව වටා දශලක්ෂ ගණන් ගැහැනු ළමයි ලිංගේන්ද්‍ර විච්ඡේදනය හේතුවෙන් වේදනා විඳිති.
වැඩිහිටි වියේදී. කොරියානු සමූහාණ්ඩුවේ, චිලීහි, පැපුවා නිව්ගිනියාවේ සහ මෙක්සිකෝවේ සෑම ස්ත්‍රීන් තුන්දෙනෙකුගෙන් දෙදෙනෙක් ගෘහස්ථ සැහැසියාවේ ගොදුරු බවට පත් වෙති. එක්සත් ජනපදයේ, එක්සත් රාජධානියේ, කැනඩාවේ සහ නවසීලන්තයේ ස්ත්‍රීන් හයදෙනෙකුගෙන් එක් අයෙකුව දූෂණය කර තිබේ.
ජීවිතයේ පසු කාලයේදී. කෙන්යාවේ, තායිලන්තයේ, පැපුවා නිව්ගිනියාවේ, බංග්ලාදේශයේ සහ බ්‍රසීලයේ මරා දමනු ලබන ස්ත්‍රීන්ගෙන් අඩකටත් වැඩියෙන් මරා දමා ඇත්තේ, ඔවුන්ගේ කලින් සිටි හෝ වර්තමාන සහකරුවන් විසිනි. අප්‍රිකාවේ, එක්සත් ජනපදයේ, දකුණු අමෙරිකාවේ සහ සමහර පැසිෆික් දූපත්වල කාන්තා සියදිවි හානි කරගැනීම්වලට ඉදිරි පෙළේ හේතුකාරකය වී ඇත්තේ, විවාහ ජීවිතය තුළ අද්දකින සැහැසියාවයි.
ස්ත්රීන්ට එරෙහිව සිදු කරන මෙම සැහැසියාව, බයිබලයේ හඳුන්වන පරිදි, බොහෝදෙනෙකු “අශිෂ්ඨ,” “අනුකම්පා රහිත” සහ “ප්රචණ්ඩ” වන ‘අන්තිම දවස්වල’ පොදු ලක්ෂණයකි. (2 තිමෝති 3:1-5, ඇත්ත ඇති තැන) මෙම ගැටලු සහිත “අන්තිම දවස්” ගෙවුණාට පසුව සිදුවීමට යන දේ පිළිබඳ දෙවියන්වහන්සේගේ පොරොන්දුව සම්බන්ධයෙන් යෙහෝවඃවහන්සේට ස්තුතිවන්ත වන්ට අපට හැකියි. උන්වහන්සේ සාමකාමී අලුත් ලෝකයක් පිහිටුවන අතර, පොළෝ වැසියෝ “ඇත්තෙන්ම ආරක්ෂිතව වසන්නෝය; ඔවුන්ව භය කරන්ට කිසිවෙක් නොසිටින්නේය.” (එසකියෙල් 34:28, NW; 2 පේතෘස් 3:13) දේවරාජ්‍යය යටතේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, “මොරගසන දිළිඳාද උපකාරකාරයෙක් නැති දුප්පතාද මුදාහරින්නේය. උන්වහන්සේ ඔවුන්ගේ ප්‍රාණය පීඩාවෙන්ද බලාත්කාරයෙන්ද මුදන්නේය.”—ගීතාවලිය 72:12, 14.