බයිබලයේ දෘෂ්ටිකෝණය
පොළොව ගින්නෙන් දාලා යාවිද?
න්‍යෂ්ටික විනාශයකින් පිලිස්සී යෑම; ප්‍රසාරණය වන ඉරක් හේතුවෙන් අළු වී යෑම; කෝපාවිෂ්ට දෙවියෙකු අතින් ගින්නෙන් දාලා යෑම—ක්‍රමය වෙනස් විය හැකි වුවත්, මනුෂ්‍යවර්ගයාගේ නිවාසය වන පෘථිවි ග්‍රහයා සියල්ල විනාශ කරන ගිනි ජාලාවකින්, සමස්ත ලෝක විනාශයකින් අවසන් වන බව බොහෝදෙනෙක් විශ්වාස කරති.
පොළොවට එරෙහිව කළ මිනිසාගේ වැරදිවලට දඬුවමක් වශයෙන් දිව්‍ය මඟ පෙන්වීම ඇති මහත් ගින්නක් සිදු වන බව ඇඟවීමට සමහරු බයිබල් පද යොදාගනිති. වෙනත් අය, ඕස්ට්‍රේලියාවේ ඇඩලේඩ් විශ්වවිද්‍යාලයේ, මහාචාර්ය පෝල් ඩේවීස් විස්තර කළ, නොවැළැක්විය හැකි ලෙස පොළොවට හදිසියෙන් පැමිණෙන ගිනිමය විනාශය සම්බන්ධව ඔහු දකින දෙය ප්‍රතිනාද කරති. ඔහුගේ ද ලාස්ට් ත්‍රී මිනිට්ස් (අන්තිම විනාඩි තුන) නම් ග්‍රන්ථයේ අනුමාන වශයෙන් කියන්නේ: “හිරු කිසිදාකටත් වඩා විශාල වී . . . එහි ගින්නෙන් පෘථිවිය වට කරගනී. අප ග්‍රහයා අඟුරු ගොඩක් බවට පත් වෙයි.” පොළොවේ ඉරණම ගැන සැබෑව කුමක්ද? ගිනිමය සමූල ඝාතනයක් සිදු වේයයි අඟවන බවට පෙනෙන බයිබල් පද අප විසින් තේරුම්ගනු ලබන්නේ කෙසේද?
දෙවියන්වහන්සේ සලකනවාද?
යෙරෙමියා 10:10-12හි අපට මෙසේ දන්වා තිබේ: “ස්වාමීන්වහන්සේ සැබෑවූ දෙවියන්වහන්සේය; . . . උන්වහන්සේ තමන්ගේ බලයෙන් පොළොව සෑදූසේක, තමන්ගේ ප්‍රඥාවෙන් ලෝකය පිහිටුවා, තමන්ගේ ඥානයෙන් අහස දිගඇරියසේක.” දෙවියන්වහන්සේ පොළොව සාදා එය ස්ථිරව පිහිටෙවූසේක. මෙලෙස, ප්‍රඥාවත්, ප්‍රේමයත් තේරුම්ගැනීමත් කරණකොටගෙන මනුෂ්‍යවර්ගයා සඳහා ලස්සන නිවහනක් ලෙස අපරිමිත කාලයක් සඳහා පරෙස්සමින් පොළොව සූදානම් කළසේක.
මනුෂ්‍යවර්ගයාගේ මැවීම සම්බන්ධයෙන්, බයිබලය වාර්තා කරන්නේ: “පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවූසේක. දෙවියන්වහන්සේ ඔවුන්ට ආශීර්වාදකළසේක; දෙවියන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා බෝවී වැඩිවෙමින් පොළොව පූර්ණකොට ඒක යටත් කර ගන්න” කියාය. (උත්පත්ති 1:27, 28) තමන්ගේ මැවීමේ ක්‍රියාවන් සම්පූර්ණ කළ විට උන්වහන්සේට කිසි සැකයකින් තොරව මෙසේ කිව හැකි විය: “ඒ ඉතා යහපත්ව තිබුණේය.” (උත්පත්ති 1:31) උන්වහන්සේට වුවමනා වුණේ එය එලෙසම තැබීමටය. එය හරියට අලුත් දරුවෙකු බලාපොරොත්තු වන දෙමව්පියන් තම දරුවාගේ ළමාගාරය සඳහා අවශ්‍ය දෑ ගෙනැවිත් එය සැලසුම් කරන්නා සේ, දෙවියන්වහන්සේ ලස්සන උයනක් පිහිටුවා එය වැඩිදියුණු කරන්ටත් එය බලාගන්ටත් ආදම්ව තැබූසේක.—උත්පත්ති 2:15.
ආදම් තම සම්පූර්ණත්වයත් පොළොව බලාගැනීමට වූ තම යුතුකමත් අත්හැරියේය. එහෙත් මැවුම්කාරයාණන් තමන්ගේ අරමුණ අත්හැරියාද? එසේ නොකළ බව යෙසායා 45:18 අඟවයි: “ස්වර්ගයන් මැවුවාවූ, පොළොව මවා සාදා එය පිහිටෙවුවාවූ, එය හිස්කමට නොමවා වාසය පිණිස එය සෑදුවාවූ දෙවියන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක.” (යෙසායා 55:10, 11ද බලන්න.) මිනිසා විසින් තම බාරකාරත්වයේ වගකීම නොසලකා හැරියත්, පොළොව හා ඒ මත සිටින ජීවීන් සම්බන්ධ තම බැඳීම දෙවියන්වහන්සේ දිගටම පවත්වාගත්සේක. පුරාණ ඉශ්‍රායෙල් ජාතියට දුන් ව්‍යවස්ථාව තුළ සෑම සත්වන අවුරුද්දම, ‘සබතක් වන දේශයට සම්පූර්ණ නිවාඩුවක්’ ගැනීමේ සැපයුම දුන්සේක. සතුන්ට යම් ප්‍රමාණයක ආරක්ෂාවක් සපයන කාරුණික නීතිද ඊට ඇතුළත් විය. (ලෙවී කථාව 25:4; නික්මයාම 23:4, 5; ද්විතීය කථාව 22:1, 2, 6, 7, 10; 25:4; ලූක් 14:5) දෙවියන්වහන්සේ මනුෂ්‍යවර්ගයා ගැනත්, මිනිසා යටතට පත් කර ඇති සියල්ල ගැනත් බොහෝ සේ සැලකිලිමත් වන බව පැහැදිලිව දැක්වීමට මේවා බයිබලයෙන් ලද උදාහරණ කිහිපයක් පමණි.
“පළමු පොළොව”
මෙලෙස, පරස්පර විරෝධීයයි පෙනෙන බයිබල් පද සමඟ අප එකඟ වන්නේ කෙසේද? එකක් නම් 2 පේතෘස් 3:7ය. එය මෙසේ කියයි: “දැන් පවතින අහසද පොළොවද එම වචනයෙන් විනිශ්චයෙත් අභක්තිකයන්ගේ විනාශයෙත් දවස දක්වා ඉතුරුකරනු ලැබ ගින්නෙන් දැවීමට තබා තිබේ.” තව එකක්, එනම් එළිදරව් 21:1 මෙසේ කියයි: “අලුත් අහසක්ද අලුත් පොළොවක්ද දුටිමි. මක්නිසාද පළමු අහසත් පළමු පොළොවත් පහවගියේය.”
පෘථිවි ග්‍රහයා ඇත්ත ගින්නකින් දැවී යනවායයි කියමින් පේතෘස්ගේ වදන් ඒ සැටියෙන්ම ගතහොත්, එවිට සැබෑ අහස—තාරකා සහ අනෙකුත් ග්‍රහ වස්තූන්—ගින්නෙන් විනාශ වී යනු ඇත. කෙසේවෙතත්, මෙම මතය මතෙව් 6:10 හා ගීතාවලිය 37:29 වැනි ශුද්ධ ලියවිලි පදයන්හි සොයාගත හැකි සහතික කිරීම් සමඟ ගැටෙනු ඇත; ඒවායෙහි මෙසේ කියා ඇත: “ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා.” ගීතාවලිය 37:29 කියන්නේ මෙසේය: “ධර්මිෂ්ඨයෝ දේශය උරුමකර ගන්නෝය, එහි සදාකල් වාසයකරන්නෝය.” තවදුරටත්, දැනටමත් අධික තාපයක් ඇති නොකඩවම න්‍යෂ්ටික පිපිරීම් ඇති කරන, ඉර සහ තරු මත ගින්න මගින් බලපෑමක් කිරීමේ ඇති ඵලය කුමක්ද?
අනිත් අතට, බයිබලය “පොළොව” යන වචනය බොහෝ විට සංකේතාත්මකව භාවිත කරයි. නිදසුනක් වශයෙන්, උත්පත්ති 11:1 මෙසේ කියයි: “මුළු පොළොවෙහි එකම භාෂාවක් . . . විය.” මෙහි, “පොළොව” යන්න යොමු කර ඇත්තේ, පොදුවේ මනුෂ්‍යවර්ගයාට, නැත්නම් මිනිස් සමාජයටය. (1 රාජාවලිය 2:1, 2; 1 ලේකම් 16:31 යන පදද බලන්න.) දෙවන පේතෘස් 3:5, 6හි පද සම්බන්ධය අඟවන්නේ, “පොළොව” යන්න එතැනත් සංකේතාත්මකව භාවිත කර ඇති බවයි. එය නෝවාගේ දවසට යොමු දක්වයි; එදා ජලගැල්මෙන් දුෂ්ට මිනිස් සමාජයක් විනාශ කරනු ලැබූ නමුත්, නෝවාද ඔහුගේ පවුලද, එමෙන්ම පෘථිවි ග්‍රහයාද රකිනු ලැබීය. (උත්පත්ති 9:11) ඒ හා සමානව, 2 පේතෘස් 3:7 කියන්නේ, විනාශ වීමට යන්නේ “අභක්තිකයන්” බවය. මෙම අදහස බයිබලයේ ඉතිරි අදහස් සමඟ එකඟය. විනාශය සඳහා ලකුණු කර ඇති දුෂ්ට සමාජය, එළිදරව් 21:1හි කලින් සඳහන් කළ “පළමු පොළොව” යන යොමු දැක්වීමට සමානය.
ඇත්තවශයෙන්ම, තම නිවස හානිවීමෙන් රැකගැනුමට සැලකිලිමත් භූමික පියෙකු හැකි සෑම දෙයක්ම කරන්නා සේ, යෙහෝවඃ දෙවියන්වහන්සේ තම මැවිල්ල ගැන තියුණු සැලකිල්ලක් දක්වනසේක. වරක් උන්වහන්සේ සශ්‍රික යොර්දාන් මිටියාවතෙන් දුරාචාර වූ දුෂ්ට සෙනඟක් පන්නා දමා තමන්වහන්සේ සමඟ ගිවිසුමකට බැඳී සිටි අලුත් භාරකාරයන්ට දේශය භාර දී, ඔවුන් තමන්වහන්සේගේ ආඥා රක්ෂා කළොත් ‘දේශය ඔවුන්ට පළමුවෙන් සිටිය ජාතීන් වමාරාදැමුවාක් මෙන් ඔවුන්ව වමාරා නොදමන බව’ සහතික කළසේක.—ලෙවී කථාව 18:24-28.
“අලුත් පොළොවක්”
අද, ලිංගිකව කෙලෙසුණු, තිරිසන් ලෙස සාහසික වූ සහ දේශපාලනිකව දූෂිත වූ සමාජයකින් පොළොව දූෂණය වී ඇත. එය බේරාගත හැක්කේ දෙවියන්ට පමණි. උන්වහන්සේ හරියටම ඒ දේ කරනසේක. උන්වහන්සේ ‘පොළොව විනාශකරන්නවුන් විනාශ කරන’ බව එළිදරව් 11:18හි පොරොන්දු වනසේක. යළි පිහිටුවන ලද සහ නැවත අලුත් කරන ලද පොළොව, දේවභයැති සහ තම සෙසු මිනිසුන්ට අවංකවම ප්‍රේම කරන සෙනඟගෙන් ජනාකීර්ණ කරනු ලැබේ. (හෙබ්‍රෙව් 2:5; සසඳන්න ලූක් 10:25-28.) දෙවියන්වහන්සේගේ ස්වර්ගීය රාජ්‍යය යටතේ සිදුවීමට නියමිත වෙනස්කම් කෙතරම් ගැඹුරුදයත්, බයිබලය “අලුත් පොළොවක්,” එනම් අලුත් මිනිස් සමාජයක් ගැන කතා කරයි.
අප ගීතාවලිය 37:29 වැනි බයිබල් පද කියවද්දී සහ මතෙව් 6:10හි යේසුස්වහන්සේ කී දෙය අවබෝධ කරගනිද්දී, මිනිසා සතු සියලුම විනාශකාරි බලයන්ගෙන්වත් ස්වාභාවික අන්ධ බලවේගයන්ගෙන්වත්, අප ග්‍රහයා අවසානයකට නොපැමිණෙන බව අපි ඒත්තුගෙන සිටින්නෙමු. ඔවුහු දෙවියන්වහන්සේගේ අරමුණට බාධා නොකරනු ඇත. (ගීතාවලිය 119:90; යෙසායා 40:15, 26) විශ්වාසවන්ත මනුෂ්‍යවර්ගයා සීමාවක් නැති සුන්දරත්වය සහ නිමක් කොනක් නැති ප්‍රීතිය මධ්‍යයෙහි පොළොවෙහි වසන්නෝය. මනුෂ්‍යවර්ගයාගේ ප්‍රේමනීය මැවුම්කරුවාණන්ගේ අරමුණ සැමදා මෙය වූ අතර, පොළොවේ ඉරණම සම්බන්ධ සැබෑවද මෙයයි.—උත්පත්ති 2:7-9, 15; එළිදරව් 21:1-5.