මඤ්ඤොක්කා කොළ මිලියන ගණනකගේ දෛනික ආහාරය
මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුවේ පිබිදෙව්! වාර්තාකරු විසිනි
මේ සියල්ල ඇරඹුණේ 1600වන වසරේදී පමණය. ඒ කාලයේදී පෘතුගීසීහු දකුණු අමෙරිකාවේ සිට අප්‍රිකාවට කසාවා නැතහොත් මඤ්ඤොක්කා ගෙනාවෝය. “මඤ්ඤොක්කා” යන වචනය බ්‍රසීලයේ ඇමර්සන් මිටියාවතේ විසූ ටූපීය ගෝත්රිකයන්ගෙන් ආරම්භ වූ හෙයින්, මඤ්ඤොක්කා බ්‍රසීලයේ හටගත් ශාකයක් බවට විශ්වාස කෙරේ.
අප්‍රිකානු ජනයා එහි මුල් ඉතා අගේ කොට සලකති. එහෙත් එහි තද කොළ පැහැති පත්‍ර ගැන කුමක් කිව හැකිද? සමහරු තුවාල සුව කිරීමට හෝ පැපොල රෝගයට ප්‍රතිකාරයක් වශයෙන් හෝ ඒවා භාවිත කරති. කෙසේවෙතත් මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුවේ මෙන්ම වෙනත් අප්‍රිකානු රටවල් බොහොමයක වෙසෙන මිලියන සංඛ්‍යාතයකට, එම කොළවලින් ප්‍රණීත ආහාරයක් සාදාගත හැකි බැවින්, ඒවා ඔවුන්ගේ දෛනික ආහාරය වේ. ඇත්තෙන්ම කියනවා නම්, අලුත් වොච් ටවර් මිෂනාරිවරුන් මෙහිදී මුලින්ම ඉගෙනගන්නා වචනවලින් එකකි, ඥූන්සා. මෙය මඤ්ඤොක්කා කොළවලින් සාදන ලද ප්‍රණීත ස්ටූ එකක් වන අතර, එය මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුවේ ජාතික ආහාරය වේ. මෙය මධ්‍යම අප්‍රිකාවට සංචාරය කරන කෙනෙකු අනිවාර්යයෙන්ම රස බැලිය යුතු ආහාරයකි.
අප්‍රිකාවේ වෙසෙන යුරෝපීයයන්ගෙන් වැඩිදෙනෙකු මෙම කොළවලින් සාදන ලද ආහාරයක් රස බලන්නේවත් නැත්තේ, එය විදේශීන් සඳහා නොව ස්වදේශීන් සඳහා වූ ආහාරයක් වශයෙන් ඔවුන් සලකන නිසයි. එහෙත් සත්‍යය සාධක මොනවාද? මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුව, සියෙරා ලියොන් සහ සයරේ වැනි රටවල, බොහෝ පවුල්වලට මෙම කොළ ප්‍රධාන ආහාරය වේ.
මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුව හරහා ගුවනින් හෝ වෙනත් ආකාරයකින් ගමන් කරන විට, ඔබට ඉතා අලංකාර හරිත වර්ණයෙන් යුත් පිටිසර පළාත් දකින්ට ලැබේ. එහි ගස්වැල්, පඳුරු, තණ පිට්ටනි සහ ඒ අතරතුර තද-කොළ පැහැති පත්‍රවලින් යුත් කුඩා මඤ්ඤොක්කා වතු ඔබට පෙනෙනු ඇත. සෑම කුඩා ගම්මානයක්ම මඤ්ඤොක්කා බිම්වලින් වට වී තිබේ. මිනිස්සු ඒවා තම නිවෙස් අසල වගා කරති. තවද අගනුවර වන බාංගිහි පවා, නිවසක් හෝ මහාමාර්ගයක් හෝ අසල ඉතා කුඩා ඉඩම්වල හෝ භූමි තීරුවල මඤ්ඤොක්කා හිටවා තිබෙනවා ඔබට දක්නට ලැබේ. ලෝකයේ මෙම ප්‍රදේශයෙහි, මෙය අනිවාර්යයෙන්ම වැදගත් ආහාර ද්‍රව්‍යයකි.
ඥූන්සා ටිකක් රස බලන්න
අලුත් මිෂනාරිවරුන් පැමිණි විගස, ඥූන්සා ටිකක් රස බැලීමට මිත්‍රයෝ ඔවුන්ට ආරාධනා කරති. මෙය වනාහි, මඤ්ඤොක්කා කොළවලින් සාදන ලද සුප්‍රසිද්ධ කෑම වර්ගය ඇතුළත් ආහාර වේලකි. එය ඉතා රසවත්ව පිළියෙළ කිරීමට දේශීය ස්ත්‍රීහු දනිති. සෑම කාන්තාවක්ම පාහේ තම තමන්ට ආවේණික ක්‍රමයකට එය සකස් කරගනී. කුඩා ගැහැනු ළමුන් ඔවුන්ගේ මව්වරුන්ගෙන් ඉවුම් පිහුම් සම්බන්ධයෙන් මුලින්ම ඉගෙනගන්නා දේවලින් එකක් වන්නේ, ඥූන්සා සාදන ආකාරයයි.
එය කුමක්ද කියාත්, තමන් එය පිළියෙළ කරන්නේ කෙසේද කියාත් ඔවුහු ඉතා ආඩම්බර ලෙස පැහැදිලි කරති. මෙම දේශීය ව්‍යඤ්ජනය ගැන ඔබ උනන්දුවක් දක්වනවා නම් එම ස්ත්‍රීහු සන්තෝෂ වෙති. මුලින්ම ඔවුන් ඔබට කියනු ඇත්තේ, මඤ්ඤොක්කා කොළ මිල අඩු බවත්, සුලභව ලබාගත හැකි බවත්ය. තවද වැසි කාලයෙත් වියළි කාලයෙත් ඒවා කඩාගත හැකි බවත්, ඔවුන් ඔබට කියනු ඇත. ආර්ථික අතින් අර්බුදකාරි මෙන්ම උද්ධමනය පවතින කාලවලදී, පවුලකට ආහාර සැපයීම සඳහා මඤ්ඤොක්කා කොළ වැදගත් කොටසක් ඉටු කරයි. සාමාන්‍යයෙන් අප්‍රිකානු පවුල් විශාල ඒවා වන බව කරුණාකර මතක තබාගන්න. කැවීමට ඇති කටවල්ද, පිරවීමට ඇති බඩවල්ද බොහොමයකි. ඥූන්සා පිළියෙළ කිරීම සඳහා පැය ගණනාවක් ගත වේ. අනුභව කිරීමට පෙර, එම කොළවල තිත්ත ගතිය ඉවත් කිරීම අවශ්‍ය වේ. ඇඹරීම සහ දිගින් දිගටම තැම්බීම ඇතුළු සම්ප්‍රදායික ක්‍රමයට පිළියෙළ කිරීමෙන් ඒවායින් විෂ ගතිය ඉවත් කරනු ලැබේ.
අප්‍රිකානු ස්ත්‍රීන්, ඥූන්සා පිළියෙළ කරද්දී භාවිත කිරීමට වැඩි කැමැත්තක් දක්වන තෙල් වර්ගය වන්නේ, පාම් තෙල්ය. රටේම නිපදවනු ලබන තද-රතු පැහැති තෙල අනිවාර්ය අංගයකි. රටකජු බටර් ස්වල්පයක් මෙන්ම ලූනු සහ සුදු ලූනු ගෙඩි කිහිපයක් සමඟ සෑදූ ඥූන්සා, පවුලක් ලබාගන්නා දෛනික ආහාරයකි. එහෙත් ඔබ අමුත්තන්ව අපේක්ෂා කරනවා නම් කරන්නේ කුමක්ද? එවිට ඥූන්සා විශේෂ යමක් විය යුතුය. එය ඔවුන්ට අමතක නොවන යමක් වීමට අවශ්‍යය. එනිසා සත්කාරය කරන කාන්තාව ඇගේ ප්‍රියතම ද්‍රව්‍යය—දුම් ගැස්සූ මාළු හෝ දුම් ගැස්සූ මස් කැබලි—සහ සුදු ලූනු මෙන්ම ලූනු බොහොමයක්ද, නිවසේ සෑදූ, අලුත් රටකජු බටර් වැඩි ප්‍රමාණයක්ද ඊට එකතු කරනු ඇත. මේ සියල්ල එක විශාල මුට්ටියකට දමනු ලැබේ. ඉන්පසුව ඉවසිලිමත්ව බොහෝ වේලාවක් තැම්බීම අවශ්‍ය වේ.
අද අපට සත්කාර කරන්ට යන කාන්තාව බත් සමඟ ඥූන්සා බෙදන්ට සූදානම්ව සිටින්නීය. බත් පිඟානක් මත උණු උණුවෙන් බෙදපු ඥූන්සා හැන්දක් හෝ දෙකක් අප්‍රිකානුවන්ට මෙන්ම බොහෝ විදේශිකයන්ටද රසවත් ආහාරයකි. ඊට අමු මිරිස් ටිකක් මිශ්‍ර කරන්න, දැන් ඥූන්සා යනු කුමක්ද කියා ඔබ දන්නෙහිය. එම ආහාර වේල සමඟ, රතු වයින් වීදුරුවක් බීවොත් ඥූන්සාවල රසය ගැන ඔබ සතුටු වනු නියතයි.
ඥූකසා හෝ කාන්ඩා රස බලමුද?
මෙම රටේ නැඟෙනහිරේ සිට බටහිර දෙසට ගමන් කරද්දී, මිනිසුන් ඥූන්සා විවිධ ක්‍රමවලට සාදන බව ඔබට දැනගන්ට ලැබෙනු ඇත. ඥූකසා ගැන කුමක් කිව හැකිද? මිදුලේ වවන සෑම දෙයකින්ම පාහේ සාදාගත් කැඳ වර්ගයක් නැතහොත් ස්ටූ එකක් වන ඥූකසා, වැසි සහිත සීතල දවසක ඔබට සුදුසුම දෙය විය හැකිය. පාම් තෙල්, අමු කෙසෙල්, රටකජු, බතල, ඉරිඟු (බඩ ඉරිඟු) සහ නොවරදවාම මඤ්ඤොක්කා කොළ කිහිපයක් යන සියල්ල එකට උයනු ලබන නමුත් ඊට ලුණු එකතු කරනු ලබන්නේ නැත—දිය ලුණු කැටයක්වත් ඊට දමන්නේ නැත. රහස එයයි! එහි ප්‍රතිඵලය ප්‍රණීත මෙන්ම ගුණදායක ආහාරයකි. තවද ඔබ දීර්ඝ ගමනක් යනවා නම්, කාන්ඩා ටිකක් රැගෙන යන්න. මෙය සාදනු ලබන්නේ, මඤ්ඤොක්කා කොළ සහ දුම් ගැස්සූ මස් හෝ මාළු එකට කෙටීමෙනි. මෙම මිශ්‍රණය කොළවල අහුරා, දැඩි වන තෙක්, එමෙන්ම වියළෙන තෙක්, පැය කිහිපයක් ලිපක් උඩ දුම් ගැස්සීමෙන් කාන්ඩා පිළියෙළ කරනු ලැබේ. එය දින ගණනාවක් තැබිය හැකි අතර, පාන් කැබැල්ලක් සමඟ රසවිඳිය හැක. සංචාරය කරන අයට එය කදිම දෙයකි.
ඔබ කවදා හෝ අප්‍රිකාවට ගිය විටක, කසාවා නොහොත් මඤ්ඤොක්කා ටිකක් ඉල්ලා නොබලන්නේ මන්ද? එය රස බලා, එය රසවිඳින මිලියන සංඛ්‍යාතය හා එක්වන්න!