අපගේ පාඨකයන්ගෙන්
තනි දෙමව්පිය පවුල් වර්ෂ 1995 ඔක්තෝබර් 8 එවේක්! සඟරාවේ මගේ පිටපත මට මේ දැන් ලැබුණා පමණි, එහි “වන් පේරන්ට් ෆැමිලීස්—හව් සක්සස්ෆුල් කැන් දේ බී?” (“තනි දෙමව්පිය පවුල්—ඒවා කෙතරම් සාර්ථක විය හැකිද?”) යන ලිපි මාලාව මම කියෙව්වෙමි. එම ලිපි සඳහා ඔබට ප්‍රමාණවත් ලෙස ස්තුති කිරීමට මට නොහැකි තරම්ය. ඒවා ඉතා කාලෝචිත වේ. මම වසර හතහමාරක් පුරා තනි දෙමාපියෙකුව සිට ඇති අතර, එය ඉතා අසීරු අද්දැකීමක් වී තිබේ. දුෂ්කර මෙන්ම කැරලිකාර කාලපරිච්ඡේදයක් අද්දකිමින් සිටින වයස අවුරුදු 15ක දියණියක් මට සිටී. ඇරත් මගේ රැකියා තත්වයත් ඉතා අස්ථිර එකකි. කෙසේවෙතත්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් පිටුවහලක් ලැබෙන ප්‍රේමනීය සභාවක සිටීම ගැන මම ස්තුතිපූර්වක වෙමි. මගේ මෝටර් රථය සම්බන්ධයෙන් මට යම් උපකාරයක් අවශ්‍ය වී තිබෙන ඕනෑම විටකදී නැතහොත් මට සවන් දීමට යමෙකු වුවමනා වූ අවස්ථාවකදී මගේ සහෝදරයෝ මට නිතරම පිහිට වී ඇත්තාහ.
ඩී. ආර්., එක්සත් ජනපදය
වර්ෂ 1978 පටන් මම තනි දෙමව්පියෙක් වී ඇත්තෙමි. අන්ත දෙකකින් යුත් විෂාදයෙන් පීඩා විඳීමේ හේතුවෙන්, මම හැමවිටම ඉතා හොඳ මව්පියෙකු නොවුණෙමි. කෙසේවෙතත්, සඟරාවල පටිගත කිරීම්වලට මම නිතරම සවන් දෙමි. මා දැනටමත් මෙම කලාපයට දෙවරක් සවන් දී ඇති අතර, මේ දැනුත් මගේ ස්ටීරියෝ යන්ත්‍රයේ එය වාදනය වේ. එම සඟරාවල එවන් ආකර්ෂණීය ලිපි තිබෙන තාක් කල්, මගේ පවුල සාර්ථක වේවි කියා මට හැඟේ!
ටී. ඕ., එක්සත් ජනපදය
දෙවියන්වහන්සේව සතුටු කිරීම දුෂ්කරද? මම තනි දෙමව්පියෙකු වෙමි. තනි දෙමව්පියන් ගැන ලිපි අඩංගු 1995 ඔක්තෝබර් 8 එවේක්! සඟරාවේ කවරය දුටු විගස මම කඳුළු සැලුවෙමි. එහෙත් මම ප්‍රථමයෙන් කියෙව්වේ “ද බයිබල්’ස් වියූපොයින්ට්: ආර් ගෝඩ්’ස් ස්ටෑන්ඩර්ඩ්ස් ටූ ඩිෆිකල්ට් ටු රීච්?” (“බයිබලයේ දෘෂ්ටිකෝණය: දෙවියන්වහන්සේගේ ප්‍රමිති රැකගත නොහැකි තරම් දුෂ්කරද?”) යන ලිපියයි. එසේය, අසාර්ථක වෙන බවක් පෙනෙන්ට තිබූ මවක් හැටියට, මෙම ලිපිය මහත් සහනයක් විය. මා අසාර්ථක වන පුද්ගලයෙකු නොවන බව තේරුම් ගැනීමට එය මට උපකාර කළේය. මෙය සාතන් බොරුකාරයෙකු බව ඔප්පු කිරීමට මගේ වාරය පමණි. මෙම කදිම ලිපිය සඳහා යෙහෝවඃවහන්සේට ස්තුතියි!
ආර්. එන්., එක්සත් ජනපදය
එය මට ගැඹුරටම බලපෑ ලිපියක් විය. යෙහෝවඃවහන්සේ සර්වබලධාරි වුවත්, අප කරන වැරදි සඳහා අපට සමාව දීමට උන්වහන්සේ කැමැත්තෙන් සිටීම මවිතකර දෙයකි. අප ඇතැම් අවස්ථාවලදී අසමත් වුවත්, දෙවියන්වහන්සේගේ ප්‍රමිතිවලට අනුව ජීවත්වීමෙන් අපට සන්තෝෂය ලැබිය හැකි බව අගය කිරීමට මෙම ලිපිය මට උපකාරවත් විය.
ඩී. සී., එක්සත් ජනපදය
ගංගා අන්ධකම අපගේ ගම්මානයේ ගංගා අන්ධකම වැළැක්වීම සඳහා, මෑතකදී ආණ්ඩුවේ ව්‍යාපාරයකින් පෙති වර්ගයක් බෙදාහරිනු ලැබීය. ඉන් අනතුරුව, “රිවර් බ්ලයින්ඩ්නස්—කොංකරිං ඒ ටෙරිබල් ස්කර්ජ්” (“ගංගා අන්ධකම—බිහිසුණු වසංගතයකින් ජයගැනීම”) නමැති ලිපිය අඩංගු 1995 ඔක්තෝබර් 8 එවේක්! සඟරාව මට ලැබිණ. මගේ අසල්වැසියන් සමඟ මම එහි අඩංගු තොරතුරු හොඳින් බෙදාගත්තෙමි. ආණ්ඩුවේ නියෝජිතයෙක් එම ලිපිය දුටු විට, මෙසේ ප්‍රකාශ කළේය: “ඔබලාගේ සංවිධානය නිකම්ම ආගමකට වඩා වැඩි යමක්!” තවදුරටත්, ප්‍රදේශයේ වෛද්‍යවරයා මුරටැඹ සහ පිබිදෙව්! යන සඟරා දෙකටම දායක ලබාගත්තේය. අපගේ ක්ෂේත්‍රයේ සිටින බොහෝදෙනෙක් එම සඟරා ඉල්ලා සිටිති. නයිජීරියාවේ සිදු වන දේවල් එහි සඳහන්ව තිබෙනවා දැකීමට ඔවුහු සතුටු වෙති.
ඒ. ඒ., නයිජීරියාව
ඉඩිටරොඩ් “දි ඉඩිටරොඩ්—ටෙන් සෙන්චරීස් ඉන් ද මේකිං” (ඉඩිටරොඩ්—සෑදීමට පටන්ගත් කාලයේ සිට ශතවර්ෂ දහයක් ගත වී) නම් ලිපිය (1995 ඔක්තෝබර් 8, එවේක්!) මා මේ දැන් කියවා නිම කළ අතර, සවිස්තරාත්මක මෙන්ම ප්‍රබෝධවත් කරවන එම ලිපිය සඳහා ඔබට ස්තුති කිරීමට මා තුළ දැඩි පෙලඹීමක් හටගත්තේය! පාඨකයාට වින්දනයක් ලැබීමට ඉන් විචිත්‍ර විස්තරයක් ඉදිරිපත් කරනු ලැබීය. එම කිලෝමීටර 1,800 ධාවනයේ මමත් බල්ලන් දක්කන කෙනෙකු මෙන් මට ඇත්තටම හැඟිණ! ඇරත්, මිනිසා හා සත්වයා යන යෙහෝවඃවහන්සේගේ මැවිලි තුළ ස්වකීය ගුණාංග පිළිබිඹු වන නිසා, උන්වහන්සේ උදෙසා වඩාත් ගැඹුරු අගය කිරීමක් එමගින් මට ඇති විය.
ජේ. එච්., එක්සත් ජනපදය
නීත්‍යනුකූල ජයග්‍රහණය “ඒ වික්ටරි ෆෝර් ද මයිනොරිටි—ඉන් ඒ ලෑන්ඩ් ඔෆ් යූනිෆෝර්මිටි” (ඒකාකාරිත්වයෙන් යුත් දේශයක—සුළුතරය සඳහා ජයග්‍රහණයක්) (1995 ඔක්තෝබර් 8, එවේක්!) යන ලිපිය මම කියෙව්වෙමි. මම උසස් පාඨශාලාවේ සිටිද්දී, ජූඩෝ පන්තිවලට සහභාගි නොවී සිටීමට මට සිදු විය. කෝබේවල සිටින සහෝදරයන් තම නමස්කාරයේ නිදහස මෙන්ම අධ්‍යාපනයක් ලැබීම සඳහා වූ ඔවුන්ගේ අයිතිය ආරක්ෂා කිරීම සඳහා, මෙම විෂය සම්බන්ධයෙන් උසාවියේදී සටන් කර තිබෙන බව කියවීමෙන් මාව දිරිගන්වනු ලැබිණ. පාසැල ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනය කර තිබෙන හෙයින්, සහෝදරයන්ට සතුටුදායක විනිශ්චයක් ලැබීම සඳහා මම යාච්ඤා කරමි.
වයි. කේ., ජපානය