යෞවන අය අසති . . .
දුම් රහිත දුම්කොළ එය අනතුරු රහිතද?
‘දහතුන් හැවිරිදි කෝඩ්, මධ්‍යම බස්නාහිර එක්සත් ජනපදයට පදිංචිය සඳහා ගිය විට, අටවන ශ්‍රේණියේ පිරිමි ළමුන්ගේ පිළිගත් භාණ්ඩයක් තමාට නොතිබූ බව ඔහුට ඉක්මනින්ම දැනිණ: දුම්කුඩු ටින් එකක්, එනම් දුම් රහිත දුම්කොළ වර්ගයක්. ඔහුගේ නව මිත්‍රයන්ගෙන් වැඩිදෙනෙකු දුම්කුඩු භාවිත කරන අය වූ අතර, ඔවුන් සමඟ පෑහී සිටීමට කෝඩ්ට ඕනෑ විය. එමනිසා එම පිරිමි ළමුන්ගෙන් කෙනෙකු ඔහුට කුඩා දුම්කුඩු පැකට්ටුවක් ඉදිරිපත් කළ විට, ඔහු එය රැගෙන ඉන් ස්වල්පයක් ඔහුගේ යටි තොල සහ විදුරුමස අතර තැකීමකින් තොරව තැබුවේ ඊට හොඳින් හුරු පුරුදු වූ කෙනෙකු මෙනි.’—ලිසන් සඟරාව.
තරුණ කෝඩ් විශේෂ කෙනෙක් නොවේ. නහඹරයන් වැඩි වන සංඛ්‍යාවක් තමුන්ගේ මුල් ඩිංගිත්ත රස බලමින් සිටින බව, මුඛ ව්යථවේදය පිළිබඳ විශාරදයෙකු වන වෛද්‍ය ක්‍රිස්ටෆර් ඒ ස්ක්වයර් පවසයි. එක්දහස් නවසිය අසූගණන්වල අගභාගයේදී, දුම් රහිත දුම්කොළවල අලෙවිය අඩු වෙමින් පැවතුණ නමුත්, “තෙත් දුම්කුඩුවල භාවිතය දැන් නැවතත් වැඩි වෙමින් පවතී” යනුවෙන් වෛද්‍ය ස්ක්වයර් පවසයි.a නිදසුනක් වශයෙන්, එක්සත් ජනපදයේ උසස් පාඨශාලීය ශිෂ්‍යයන් පස්දෙනෙකුගෙන් එක්කෙනෙකුද ස්වීඩනයේ තරුණයන් තුන්දෙනෙකුගෙන් එක්කෙනෙකුද—එනම් තරුණයන් මිලියන ගණනක්—දැන් දුම් රහිත දුම්කොළ භාවිත කරමින් සිටින බව පර්යේෂකයෝ වාර්තා කරති. මෙය සිදු වන්නේ මන්ද?
“දුම්පානය කරනවාට වඩා එය ආරක්ෂා සහිතයි.” “එය අනතුරුදායක බවට සාක්ෂි නැහැ.” “මගේ මිත්‍රයන් එය පාවිච්චි කරනවා. ඔවුන්ට එයින් අනතුරක් වී නැහැ.” “ඉඳහිට ස්වල්පයක් ගැනීම මට හානියක් වන්නේ නැහැ.” “එය පාවිච්චි කළ නිසා කවුරුත් කවදාවත් මැරිලා නැහැ.” අමෙරිකානු පිළිකා සමාගමට අනුව, මේවා වනාහි, තමන් දුම් රහිත දුම්කොළ භාවිත කිරීමට පටන්ගැනීමට හේතු වශයෙන් යෞවනයන් ඉදිරිපත් කරන හේතූන් සමහරකි.
දුම්පානය කිරීමට වඩා ඩිංගිත්තක් ගැනීම වඩාත් ආරක්ෂා සහිත බව යෞවනයන් සිතීමට හේතුව කුමක්ද? ඇත්තෙන්ම තත්වය එසේද?
පණිවුඩයට ප්‍රතිචාරය දැක්වීම
දුම් රහිත දුම්කොළ චුවිංගම් මෙන් හානි රහිත බවත්, නියම වර්ගයේ ක්‍රීඩා සපත්තු මෙන් නැතුවම බැරි දෙයක් බවත්, ප්‍රබල දුම්කොළ කර්මාන්තය දැන්වීම් මාර්ගයෙන් වසර ගණනක් පුරා යෞවනයන්ගේ සිතට කාවැද්දුවේය. “දුම්පානය කරනවා වෙනුවට දුම්කුඩු පැකට්ටුවක් ගන්න,” “දුම්වැටියක් නොදල්වා පවා මට දුම්කොළවලින් සැබෑ සතුටක් ලැබෙනවා” සහ “අවශ්‍ය කරන්නේ ඩිංගිත්තක් පමණි” වැනි උද්යෝග පාඨ, එය සාමාජීය වශයෙන් තත්වයට හොඳ දෙයක් බව පැහැදිලිවම ඇඟවීය.
එක්සත් ජනපදයේ එබඳු රූපවාහිනී සහ ගුවන්විදුලි උද්යෝග පාඨ තහනම් කරනු ලැබීමෙන් පසුව, දුම්කොළ කර්මාන්තය සඟරාවල දැන්වීම් මගින් එහි පණිවුඩය දිගටම ඉදිරිපත් කරගෙන ගියේය. හොඳින් හැදී වැඩුණු හාදයන්, පැහැදිලිව දැකගත හැකි පරිදි පිටුපස සාක්කුවේ දුම්කොළ ටින් එකක් ඇතුව දඩයම් කිරීම, කඳු නැඟීම සහ සැඩ පහරැති ගංගාවල පහුරුපැදීම යනාදිය සන්තෝෂයෙන් රස විඳීම දක්වන ඔපවත් පින්තූරු—ශබ්ද නඟා පැහැදිලි පණිවුඩයක් ඉදිරිපත් කළේය: “දුම් රහිත දුම්කොළ ලස්සනයි, ස්වාභාවිකයි එමෙන්ම පුරුෂත්වයට දොරටු විවර කරයි!”
“දුම් රහිත දුම්කොළ නිපැයුම් සුරක්ෂිත බවත්, සමාජයේ පිළිගත හැකි බවත්” දැන් බොහෝ යෞවනයන් විශ්වාස කරන බව, යෞවන අය අතර දුම්කොළ භාවිතය වැළැක්වීම යන තේමාව යටතේ එක්සත් ජනපදයේ ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයාගේ 1994 වාර්තාව පවසයි. “දුම් රහිත දුම්කොළ නිතිපතා භාවිත කිරීමෙහි කිසිම උවදුරක් නොමැති බව හෝ ඉතා අල්ප උවදුරක් පමණක් ඇති බව, එය භාවිත කරන කනිෂ්ඨ උසස් පාඨශාලීය සිසුන්ගෙන් සියයට 60ක් සහ ජ්‍යෙෂ්ඨ උසස් පාඨශාලීය සිසුන්ගෙන් සියයට 40ක් පමණ විශ්වාස කළ” බව, උසස් පාඨශාලීය සිසුන් අතර පවත්වනු ලැබූ එක් අධ්‍යයනයකින් පැහැදිලි විය. තවද දුම් රහිත දුම්කොළ හානිදායක විය හැකි බව තේරුම්ගත් උසස් පාඨශාලීය සිසුන් පවා, “අවදානම විශාල එකක් බව අවබෝධ කරගන්නේ නැත.” දැන්වීම්වල පණිවුඩවලට නිසි ප්‍රතිචාරයක් ලැබෙන බව පෙනේ. එනමුත් එම දැන්වීම් සැබෑද?
බයිබල් හිතෝපදේශයක් මෙසේ පවසයි: “නුවණ නැත්තා හැම වචනම විශ්වාස කරයි; එහෙත් බුද්ධිමත් මනුෂ්‍යයා තමාගේ පියවර හොඳට බලාගනියි.” එසේත් නැතහොත් තවත් හිතෝපදේශයක් පවසන ආකාරයට “බුද්ධිමත් කවුරු නුමුත් දැනුම ඇතුව ක්‍රියාකරයි.” (හිතෝපදේශ 13:16; 14:15) එසේනම් දුම් රහිත දුම්කොළ පිළිබඳව සාධකවලින් ඔප්පු වන්නේ කුමක්ද?
අශුභාරංචිය
දුම් රහිත දුම්කොළ භාවිතය මගින් ඔබේ සාමාජීය පිළිගැනීම වැඩිදියුණු කළ හැකි බවත්, එය ඔබගේ ශරීරයට හානිකර නොවන බවත් දැන්වීම්වලින් ඇඟවිය හැකි වුවත්, සාධකවලින් ඔප්පු වන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. එක් දෙයක් නම්, දුම් රහිත දුම්කොළ භාවිත කිරීම ඔබව වඩාත් කැපීපෙනෙන්ට සලස්වන්නේ නැත. ඔබට එය විශ්වාස කළ නොහැකි නම්, ඔබේ දිව ඔබේ කම්මුලේ ඇතුල් පැත්තට දමා කණ්ණාඩියෙන් බලන්න. “හැඩද?” කිසිසේත් නැත. ඇරත් එය ඔබට පිටතින් කරන දෙය පමණි! එය ඔබට ඇතුළතින් කරන දෙය ඊටත් වඩා දරුණුය.
නිදසුනක් වශයෙන්, දුම්කොළ හපා කන නැතහොත් ඩිංගිත්තක් වශයෙන් ගන්නා අයට පැළුණු තොල්, දුඹුරු පාටට හුරු දත්, මුඛයෙන් දුගඳක් හැමීම සහ විදුරුමස වණවීම යනාදිය හටගත හැකිය—සතුටු සිනා පහළවීමට හේතුවක් නොවේ. ඊට අමතරව, රස බැලීමටත්, ගඳ-සුවඳ දැනීමටත් ඔවුන්ට තිබෙන හැකියාව අඩු වන අතරතුරේදී ඔවුන්ගේ හෘද ස්පන්දන වේගය හා රුධිර පීඩනය වැඩි වේ—සැබවින්ම අශුභාරංචියකි. කෙසේවෙතත්, දරුණුතම අශුභාරංචිය කුමක්ද කිවහොත්, දුම් රහිත දුම්කොළ කම්මුල්වල, විදුරුමස්වල සහ උගුරේ, පිළිකා ඇති කරන බව, යුරෝපයේ, ඉන්දියාවේ සහ එක්සත් ජනපදයේ පවත්වන ලද අධ්‍යයනවලින් පෙන්නුම් කිරීමයි. මෙම සොයාගැනීම් ප්‍රවීණයන්ට පුදුමයක් නොවේ. එක් අධ්‍යයනයක මෙසේ සඳහන් වේ: “ශරීරගත කරනු ලබන වෙනත් කිසිම නිෂ්පාදනයකට වඩා දුම්කුඩුවල ඉහළතම මට්ටමේ පිළිකා ජනක ද්‍රව්‍ය අඩංගු වේ.” “දිගු කලකට දුම්කුඩු භාවිත කරන අයට, භාවිත නොකරන අයට වඩා මුඛ පිළිකාව හටගැනීමට සියයට 50කට වැඩි අවදානමක් තිබීම” පුදුමයට හේතුවක් නොවේ.
මුඛ පිළිකාව හටගත් විට, විපාක බැරෑරුම් වේ. භාවිත කරන තැනැත්තාගේ සෞඛ්‍යයට හානි සිදුවනවා පමණක් නොව, නමුත් බොහෝවිට ඔහුගේ ජීවිතය කෙටි කරනු ලැබේ. අමෙරිකානු පිළිකා සංගමේ ප්රකාශනයක් මෙම දුක්ඛිත කතාව පළ කරයි: ‘ෂෝන් අවුරුදු 13දී දුම් රහිත දුම්කොළ භාවිත කිරීමට පටන්ගත්තේය. දුම්පානය කිරීමට වඩා එය ආරක්ෂා සහිත බව ඔහු සිතුවේය. වසර පහකට, දිනකට ටින් එකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් බැගින් භාවිත කිරීමෙන් පසුව, ඔහුගේ දිවේ තුවාලයක් හටගත්තේය. එය මුඛ පිළිකාව විය. වෛද්‍යවරු ඔහුගේ දිවෙන් කොටසක් ඉවත් කළහ, එනමුත් පිළිකාව ඔහුගේ බෙල්ල දක්වා පැතිර ගියේය. තවදුරටත් විකෘති කරවන ශල්‍යකර්ම සිදු කරනු ලැබීය, එහෙත් ඉන් කිසි ඵලක් නොවීය—අවුරුදු 19දී ඔහු මියගියේය. ෂෝන් මියයන්ට කලින් කුඩා කොළ කැබැල්ලක මෙම පණිවුඩය ලීවේය: “දුම්කුඩු පාවිච්චි කරන්න එපා.”’
ඇබ්බැහි වී!
කලින් සඳහන් කළ යෞවන කෝඩ් අවසානයේදී ෂෝන් පිළිබඳ මෙම වාර්තාව කියෙව්වායින් පසුව, ඔහුට පණිවුඩය තේරුම් ගියේය. අත්හැරීමට ඔහු තම හිත හදාගත්තේය. කෙසේවෙතත්, අත්හැරීමට වෑයම් කිරීම දුෂ්කර දෙයක් විය. “මට එය නැතුවම බැහැ වගේ මට හැඟෙනවා,” යනුවෙන් කෝඩ් ලිසන් සඟරාවට පැවසුවේය. “දැන් පවා, එනම් මා එම පුරුද්ද සම්පූර්ණයෙන්ම අත්හැර මාස කිහිපයකට පසුව පවා, මගේ දුම්කුඩු පොදිය සොයමින් මම මගේ සාක්කු අතගානවා. මම චුවිංගම් හුඟාක් හපනවා. එය උපකාරවත් වෙනවා, ඒත් දුම්කුඩුවලට තිබූ දැඩි ආශාව ඉන් මැකී යන්නේ නැහැ.”
“දුම් රහිත දුම්කොළ භාවිතය අත්හැරීමට තැත් කළ නහඹරයන් සම්බන්ධව කළ අධ්‍යයනවලින් හෙළි වූයේ, ඉතා ස්වල්පදෙනෙකුට පමණක් එසේ කිරීමට හැකි වූ බවයි” යනුවෙන් Ca-A කැන්සර් ජර්නල් ෆෝර් ක්ලිනිෂන්ස් සඟරාව සනාථ කරයි. කෙසේවෙතත්, දුම් රහිත දුම්කොළ භාවිතය අත්හැරීම එතරම් දුෂ්කර කාර්යයක් බවට පත් කරන්නේ කුමක්ද? දුම්පානය නතර කිරීම අසීරු කරන්නාවූ එකම මත්ද්‍රව්‍යය: නිකටින්ය.
දුම්වැටි මෙන්ම දුම් රහිත දුම්කොළවල අඩංගු වන මත්ද්‍රව්‍යයක් වන නිකටින්, භාවිත කරන්නාට මත් ගතියක් ලබා දෙන ප්‍රබල විෂකි. එම මත් ගතිය දිගටම පවත්වාගෙන යෑම සඳහා, විනාඩි 30න් 30ට පමණ, භාවිත කරන්නාට තවත් ඩිංගිත්තක් ගැනීමට සිදු වේ. නිකටින් ඔබව ඇබ්බැහි කරගනී. එය භාවිත කරන ඇතමෙක් ඊට කොතරම් ඇබ්බැහි වනවාද කිවහොත්, දිවා රෑ දෙකේදීම—නිදන විට පවා, තම මුඛවල දුම්කුඩු ඩිංගිත්තක් තබාගනිති.
යෞවන අය සිතිය හැකි දෙයට පටහැනිව, ඩිංගිත්තක් ගැනීම නිකටින් ශරීරගත කරන ප්‍රමාණය අඩු කරන්නේ නැත. දවසකට දුම් රහිත දුම්කොළ ටින් එකක්, දුම්වැටි 60කින් ලැබිය හැකි නිකටින් ප්‍රමාණයක් ලබා දෙයි! ‘අඩුම තරමින් දුම්පානයකරන්නන් උරාගන්නා නිකටින් ප්‍රමාණයවත්—ඇතැම්විට ඉන් දෙගුණයක් තරම්වත්’ “දුම් රහිත දුම්කොළ භාවිත කරන්නන්” ‘උරාගන්නා’ බව, ප්රිවෙන්ටිං ටුබැකෝ යූස් අමං යං පීපල් (යෞවනයන් අතර දුම්කොළ භාවිතය වැළැක්වීම) නමැති සඟරාව පවසයි. (ඇල අකුරු අපගේය.) නිකටින්වලට අමතරව, දුම් රහිත දුම්කොළවල, දුම්වැටිවලට වඩා දසගුණයකින් අධික නිට්රෝසාමීන් (ප්‍රබල පිළිකාජනක කාරකයන්) අඩංගු වේ.
ඥානවන්ත වන්න
“මේවා හානිදායක නිෂ්පාදන බවට කිසිදු සැකයක් නැත,” යනුවෙන් හිස සහ බෙල්ල සම්බන්ධ ශල්‍ය වෛද්‍ය රෝයි සෙෂන්ස් පැවසුවේය. “ඒවා මගින් ඇබ්බැහි වූ ස්වභාවයක් ඇති කරනු ලබන හෙයින්, එයින් මිදීම දුම්පානය අත්හැරීමට වඩා අසීරු බව බොහෝදෙනෙකුට හැඟෙයි.” දන්ත-පිළිකා විශේෂඥ වෛද්‍ය ඕස්කා ගෙර්රා මෙම නිගමනයට බැස්සේය: “ශරීරය ඒ ද්‍රව්‍යවලට කොහෙත්ම කැමති නැහැ.” ලොව වටා සිටින ප්‍රවීණයෝ ඊට එකඟ වෙති: ඩිංගිත්තක් ගැනීම සුළුපටු ප්‍රශ්නයක් නොවේ. එයට ඔබව මරණයට පත් කළ හැක!
දුම්කොළ නිෂ්පාදනවලින් ඈත්වීම සඳහා ක්‍රිස්තියානි යෞවනයන්ට ඊටත් වඩා බලපවත්වන හේතුවක් තිබේ—එනම් යෙහෝවඃ දෙවියන්වහන්සේව සතුටු කිරීම සඳහා වූ ඔවුන්ගේ ආශාවයි. උන්වහන්සේගේ වචනය මෙසේ අණ කරයි: “මාංසයේද ආත්මයේද සියලු කිලුටුකම්වලින් අපම පවිත්‍ර කරගනිමින්, දෙවියන් වහන්සේ කෙරෙහි භයින් යුක්තව, ශුද්ධකම සම්පූර්ණකරගනිමු.”—2 කොරින්ති 7:1.
ඒවියේෂන්, ස්පේස්, ඇන්ඩ් එන්වයරන්මෙන්ටල් මෙඩිසින් නමැති සඟරාව මෙසේ හොඳින් කාරණා කැටි කොට දක්වයි: “දුම්කොළ ඔක්කාරය ඇති කරවන ශාකයකි, එය අනුභව කරන්නේ ප්‍රාණීන් දෙවර්ගයක් පමණි—එනම් කුඩා කොළ පැහැති පණුවෙකු සහ මිනිසාය. කුඩා කොළ පැහැති පණුවාට දැනුම් තේරුම් නැත.”
එහෙත් ඔබට දැනුම් තේරුම් තිබේ. එනිසා ඥානවන්ත වන්න—එය ආරම්භ නොකරන්න.
[පාදසටහන]
a දුම් රහිත දුම්කොළ වර්ග දෙකක් පොදුවේ භාවිත කෙරේ: එනම් දුම්කුඩු සහ හපා කන වර්ගයේ දුම්කොළය. වියළි මෙන්ම තෙත් දුම්කුඩු ඇත. තරුණයන් අතර තෙත් දුම්කුඩු—එනම් ටින් එකක හෝ කුඩා පැකට්ටුවල අසුරන ලද, සිහින්ව කපා, පැණි රස සහ වෙනත් රසයන් මෙන්ම සුවඳ ද්‍රව්‍යවලින් පදම් කරන ලද දුම්කොළ—දුම් රහිත දුම්කොළවල වඩාත්ම ජනප්‍රිය වර්ගයයි. “ඩිංගිත්තක් ගැනීම” යන්නෙන් අඟවන්නේ, මහපටැඟිල්ල හා දබරැඟිල්ල අතර අල්ලාගත හැකි ප්‍රමාණයක්, තොල හෝ හක්ක සහ විදුරුමස අතර තැබීමය.
[27වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
‘තම මරණයට කලින් ෂෝන් සරල පණිවුඩයක් ලීවේය: “දුම්කුඩු පාවිච්චි කරන්න එපා”’
[26වන පිටුවේ පින්තූර]
දුම්කොළ හැපීම යෞවනයන් අතර ජනප්‍රිය වෙමින් පවතී. ඔබත් එය අත්හදා බැලිය යුතුද?