ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g96 6/8 23-25 පි.
  • ලොව තනි වූ කුරුල්ලා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ලොව තනි වූ කුරුල්ලා
  • 1996 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අවදානම් කාලය ඇරඹේ
  • පුදුමය හා බලාපොරොත්තුව
  • නිරෝගි වී සම්බන්ධ වීම
  • ගුරුවරයා හා පියා . . .
  • . . . ඉතිහාසයට එක්වන්නෙක්
  • නෙත් සිත් පිනවන මැකෝ ගිරවා
    2016 පිබිදෙව්!
  • කුරුල්ලන් නැරඹීම සැමටම සිත්ගන්නා විනෝදාංශයක්ද?
    1998 පිබිදෙව්!
  • කුරුල්ලනේ පරෙස්සමින්
    2009 පිබිදෙව්!
  • කොක්-ඔෆ්-ද-රොක්—ඇමසන් වනයේ සුරූපියා
    1998 පිබිදෙව්!
තව තොරතුරු
1996 පිබිදෙව්!
g96 6/8 23-25 පි.

ලොව තනි වූ කුරුල්ලා

බ්‍රසීලයේ පිබිදෙව්! වාර්තාකරු විසිනි

තිත් සහිත බකමූණා හා හිස මුඩු රාජාලියා අනතුරුදායක තත්වයක සිටින බව ඔබ සිතන්නෙහි නම්, ෂ්පික්ස් මැකාවාගේ කතාව පිළිබඳව ඔබට තවමත් අසන්ට ලැබී නැත. මෙම බ්‍රසීලියානු කුරුල්ලා, “අනතුරුදායක තත්වයක සිටින සත්ව විශේෂ” යන සංකල්පයට, මුළුමනින්ම නව අරුතක් දෙයි. කෙසේවෙතත්, ලොව තනි වූ කුරුල්ලා පිළිබඳ සම්පූර්ණ කතන්දරය ඔබට ඉදිරිපත් කිරීම සඳහා, අපි 17වන ශතවර්ෂයෙන් ආරම්භ කරමු.

ඒ කාලයේදී, බ්‍රසීලයේ ජීවත් වූ ලන්දේසි පදිංචිකරුවෙක් වූ ජෝර්ජ් මාර්ක් ග්‍රාව්, මෙම කුරුල්ලාගේ පැවැත්ම හා විස්තරය ප්‍රථම වරට වාර්තා කළේය. වැඩි කල් යන්ට මත්තෙන්, ප්‍රාදේශීය ජනතාව ඌව ආරාරින්‍යා ආසූල් නොහොත් කුඩා නිල් මැකාවා නමැති සරල, නමුත් ගැළපෙන නමකින් හැඳින්වූහ. එම කුරුල්ලා නිල් හා ස්වල්ප වශයෙන් අළු පැහැයෙන් යුක්තය. බ්‍රසීලයේ නිල් මැකාවන්ගෙන් ඉතා කුඩාම කුරුල්ලාද වන ඌට, දිගින් සෙන්ටිමීටර් 35කින් යුත් පෙඳයක් ඇති අතර, ඌ සෙන්ටිමීටර් 55ක ප්‍රමාණයකින් යුක්ත වේ.

“පසුව, 1819දී, විද්‍යාඥයන් කුරුල්ලාගේ නිල නාමය වන සයැනොප්සිටා ෂ්පික්සි ප්‍රබන්ධ කරගත් බව” බ්‍රසීලයේ ගිරව් සම්බන්ධයෙන් ප්‍රධානතම ප්‍රවීණයෙකු වන ජීව විද්‍යාඥ කාලොස් යාමාෂීටා ප්‍රකාශ කරයි. සයැනො යන වදනින් “නිල්” පැහැය අදහස් කරන අතර, ප්සිටා යන්නෙහි තේරුම “ගිරවා” වේ. තවද ෂ්පික්සි ගැන කුමක් කිව හැකිද? ඉන්, යොහාන් බාප්ටිස්ට් ෂ්පික්ස් නමැති ජර්මානු පරිසරවේදියාට ගෞරවය හිමි කර දෙන බව ඉහත සඳහන් ජීව විද්‍යාඥයා පැහැදිලි කරයි. උගේ ස්වාභාවික පරිසරය තුළ, එනම් ඊශාන දිග බ්‍රසීලයේ ගස්වලින් වට වී තිබෙන කුඩා අතු ගංගා ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක, මෙම කුරුලු විශේෂය පිළිබඳව ප්‍රථම වතාවට අධ්‍යයන කළේ ඔහුය.

අවදානම් කාලය ඇරඹේ

ෂ්පික්ස් මැකාවන් රංචු පිටින් කිසිදාක අහසේ පියාසර කර නැති බව පිළිගත යුත්තකි. ෂ්පික්ස්ගේ කාලයේදී පවා, ඔවුන්ගේ මුළු සංඛ්‍යාව වූයේ 180ක් පමණි, නමුත් එතැන් පටන් ඔවුන්ගේ තත්වය ස්ථිර වශයෙන්ම වඩාත් දරුණු අතට හැරී තිබේ. පදිංචිකරුවන් විසින් කුරුල්ලන් සිටි වනාන්තර කෙතරම් දුරට විනාශ කළාද කිවහොත්, 1970 මැදභාගය වන විට, ඉතිරි වූයේ මැකාවන් 60කට වඩා අඩු සංඛ්‍යාවක් පමණි. එය ඉතා අසීරු තත්වයක් වුවද, අවදානම් සහිත කාලය ඇරඹී තිබුණා පමණි.

ශතවර්ෂ තුනකදී, පදිංචිකරුවන්ට ඉටු කිරීමට නොහැකි වූ දේ, උගුල් අටවන කුරුලු දඩයක්කරුවන්ට වර්ෂ කිහිපයක් තුළදී ඉටු කිරීමට හැකි විය—ඔවුහු ඇත්තෙන්ම ෂ්පික්ස් මැකාවන්ගේ මුළු කුරුලු සංහතියම වාගේ වනසා දැමුවෝය. වර්ෂ 1984දී, කුරුල්ලන් 60දෙනෙකුගෙන් වනයේ ඉතිරි වූයේ 4දෙනෙකු පමණි, නමුත් “වඳවෙන මෙවැන්නෙකු” සඳහා අතිවිශාල මුදලක්, එනම් ඩොලර් 50,000ක් දක්වා ගෙවීමට වනපක්ෂීන් රැකබලාගන්නෝ කැමැත්තෙන් සිටියෝය. පර්යේෂකයන් නිදහසේ පියාසර කරන එම කුරුල්ලන් අවසාන වරට දුටු අවස්ථාවේ සිට වසරක් ගත වී තිබූ බව 1989 මැයි මාසයේදී ඇනිමල් කිංඩම් සඟරාව නිවේදනය කිරීම අරුමයක් නොවේ. ඉන් මාස කිහිපයකට පසු, ඉතිරිව සිටි සියලුම කුරුල්ලන්ව උගුල් අටවන දඩයක්කරුවන් විසින් ඩැහැගෙන ගොස් තිබුණු බව වාර්තා කරන ලදි. ෂ්පික්ස් මැකාවාට “අන්තිම මරණීය පහර” ලැබ තිබූ බව ඇනිමල් කිංඩම් ශෝකයෙන් ප්‍රකාශ කළේය.

පුදුමය හා බලාපොරොත්තුව

කෙසේවෙතත් ෂ්පික්ස් මැකාවාගේ අභාවය ජීව විද්‍යාඥයන් පිළිගත් සැණින්, එම කුරුල්ලාගේ ස්වාභාවික පරිසරය අසල ජීවත් වන ජනයා තමුන් ආරාරින්‍යා ආසූල් එකෙකු දැක තිබූ බව පැවසූහ. කුරුල්ලාව දැකගැනීමට හැකිවීම සම්බන්ධයෙන් තවත් වාර්තා ලැබිණ. කුරුල්ලෙකු තවමත් ඉතිරි වී සිටිනවා විය හැකිද? මෙය සොයාගැනීම සඳහා, 1990දී පර්යේෂකයන් පස්දෙනෙක්, තම කූඩාරම් තනන උපකරණ, දූරදර්ශක හා සටහන් පොත් රැගෙන ෂ්පික්ස් මැකාවාගේ බල ප්‍රදේශයට ගමන් කළෝය.

එම ප්‍රදේශයෙහි සාර්ථක ප්‍රතිඵල රහිතව මාස දෙකක් පුරා ක්‍රමානුකූලව පරීක්ෂා කිරීමෙන් පසු, කොළ පැහැති පාපාජයිඕස් මාරාකානාස් නොහොත් ඉලින්ගර්ස් මැකාවන් රංචුවක් පර්යේෂකයන් විසින් දුටු නමුත්, අසාමාන්‍ය යමක් ඔවුන්ගේ අවධානයට ලක් විය. රංචුවේ සිටි එක් සාමාජිකයෙක් වෙනස්ය—ඌ වඩාත් විශාල හා නිල් පැහැයෙන් යුක්ත විය. ඌ වනයේ පියාසර කරන ෂ්පික්ස් මැකාවන්ගේ අවසාන කුරුල්ලා වූයේය! ස්වභාවයෙන් ආශ්‍රයට ප්‍රිය ෂ්පික්ස්ව, ඔවුන් සතියක් පුරා නිරීක්ෂණය කළ අතර, ඌ තම තනිකම සමඟ කටයුතු කිරීමට හා කලත්‍රයෙකු සොයාගැනීමට ඉලින්ගර්ස් කුරුල්ලන් සමඟ එකට සිටි බව ඔවුහු දැනගත්තෝය. උන් පසුපස නොනැවතී හඹා එන නිල් කුරුල්ලාව තම මිතුරා ලෙස පිළිගැනීමට කොළ පැහැති කුරුල්ලෝ අකමැති නොවූහ—නමුත් ඌ සමඟ සංසර්ගයේ යෙදීම සම්බන්ධයෙන් කුමක් කිව හැකිද? ඇත්තෙන්ම පවසනවා නම්, ආචාරසම්පන්න ඉලින්ගර්ස් මැකාවන්ගේ සමාජය තුළ සීමාවන් තිබේ.

එමනිසා, ප්‍රතික්ෂේප කරනු ලැබූ ෂ්පික්ස් මැකාවා, සෑම දිනකම හිරු බැසයෑමෙන් පසු තම මිතුරන්ගෙන් වෙන් වූ අතර, වසර ගණනාවකට තම කලින් ෂ්පික්ස් මැකාවා කලත්‍රයා සමඟ එකට ලැගුම් ගෙන සිටි ගසට පියාසර කළේය—උන් එකට සිටියේ උගුල් අටවන දඩයක්කරුවන් විසින් තම ජීවිතාන්තය දක්වා සිටි සහකාරියව බලහත්කාරයෙන් අල්ලාගෙන වහල්භාවයට විකුණනු ලැබූ වර්ෂය වන, 1988 දක්වාය. ඒ කාලය පටන්, ඌ එතැන තනිවම නිදා ගනියි—උස නිසරු අත්තක් මත ඉතා කුඩා, තනි වූ නිල් පිහාටු කලඹක් සේ දිස්වීමට සලසමින් ලැගුම් ගනී. දැන් ප්‍රාතිහාර්යයක් සිදු වුවහොත් මිස, වනයේ බේරී සිටීමට දන්නා අවසාන ෂ්පික්ස් මැකාවා වෙනුවෙන්, යම් කෙනෙකු කලත්‍රයෙකු සොයා නොදුන්නොත් ඌ ඩෝඩෝ නම් කුරුල්ලා මෙන් වඳ වී යෑමට අවශ්‍ය වන්නේ කාලය පමණි. එම අදහස ජනප්‍රිය වූ අතර, 1991දී ප්‍රෝසෙටෝ ආරාරින්‍යා-ආසූල් (ෂ්පික්ස් මැකාවා ව්‍යාපෘතිය) ආරම්භ කරන ලදි. එහි ඉලක්කය කුමක් වීද? ඉතිරි වී සිටින කුරුල්ලාව ආරක්ෂා කර, ඌට කලත්‍රයෙකු සොයා විවාහයක් සිදු කරදී, උන් ලවා එම ප්‍රදේශය යළි එම වර්ගයාගෙන් ගහන කරයි කියා බලාපොරොත්තුවීමය. එම සැලසුම සාර්ථක වෙමින් පවතීද?

ප්‍රගතියක් සිදු වී තිබේ. පෘථිවි ගෝලයේ වඩාත්ම අවදානමට ලක් වී සිටින කුරුල්ලාගේ ඉරණම මහජනයාගේ අවධානයට යොමු කිරීමට, බ්‍රසීලියානු තැපැල් කාර්යාලය ඌට උපහාරයක් ලෙස මුද්දරයක් නිකුත් කළේය. ඒ සමඟම, ඉතිරිව සිටි ෂ්පික්ස් මැකාවා කුරුල්ලාට සහයෝගය දීම සඳහා, කුරුල්ලාගේ ස්වාභාවික පරිසරය අසල පිහිටි දකුණු බාඉයා ප්‍රාන්තයේ, කෙරාසො නගරයේ වෙසෙන 8000ක ජනතාවගේ අනුබලය ලබාගැනීමට ජීව විද්‍යාඥයෝ සමත් වූහ. සෙවෙරිනෝ යන නම තැබූ “තමන්ගේ” කුරුල්ලාව නගරවැසියන් විසින් ආරක්ෂා කරන බැවින්, උගුල් අටවන දඩයක්කරුවෝ වැරැද්ද කරද්දීම අසුවීමේ අවදානමට ලක් වී සිටිති. මෙම දක්ෂ උපාය සාර්ථක වන බව ඔප්පු වෙමින් පවතී. සෙවෙරිනෝ තවමත් එහා මෙහා පියාසර කරමින් සිටී. ඊළඟට තිබෙන ගැටලුවද නිරාකරණය කර තිබේ—එනම් තවමත් බ්‍රසීලයේ මිනිස් රැකවරණයේ සිටින ඉතිරි කුරුල්ලන් හයෙන් එකෙකුව ලබාගැනීම සඳහා බෝකරන්නන්ව කැමති කරවාගැනීමය. (කොටුව බලන්න) එක් අයිතිකරුවෙකු එකඟ වූ අතර, 1994 අගෝස්තු මාසයේදී, උගුල් අටවන දඩයක්කරුවන් විසින් කුඩා අවදියේදී බලහත්කාරයෙන් අල්ලා ගනු ලැබූ නාඹර කිරිල්ලියක්ව ඇගේ ස්වාභාවික පරිසරයෙහි නැවතත් ජීවත්වීම සඳහා නිදහස් කරනු ලැබීමට කෙරාසොට ගුවනින් ගෙනෙනු ලැබීය.

නිරෝගි වී සම්බන්ධ වීම

මෙම මැකාවා කිරිල්ලිව, කුරුල්ලාගේ ස්වාභාවික පරිසරයෙහි පිහිටි විශාල කුරුලු ගෙයක තබන ලද අතර, එම කිරිල්ලිට වනයේ වෙසෙන මැකාවන් සාමාන්‍යයෙන් අනුභව කරන ආහාර දෙනු ලැබීය. ස්වභාවධර්මයේ ජීවත්වීම සඳහා ඇයව හැඩගැස්වීමට, ඇගේ රැකබලාගන්නෝ, ඇය වහල්භාවයේ සිටි විට පුරුදු ආහාරය වූ සූර්යකාන්ත මල්වල බීජ දීම නතර කොට, පයින් ගස්වල ඇට හා වනයේ වැවෙන කටු සහිත ප්‍රදේශයේ වැවෙන පලතුරු දුන්නෝය. ඇයගේ උදරය ඊට සුදුසු සේ සකස් විය.

හොඳ හේතු ඇතුව දිනපතා ව්‍යායාම පැවැත්වීම, පුහුණු කිරීමේ වැඩසටහනේ තවත් කොටසක් බවට පත් විය. කූඩුවක ඇති දැඩි කරන ලද කිරිල්ලියක, දිනකට කිලෝමීටර් 50ක පමණ දුරක් පියාසර කිරීමට සතුටු සහකරුවෙකු සමඟ දවසක් දවසක් පාසා පියාසර කිරීම බලාපොරොත්තු වීම, නිකම් රූපවාහිනිය ඉදිරිපිට බොහෝ වේලාවක් බලා සිටින පුද්ගලයෙකුගෙන් මැරතන් තරඟයක් දිවීමට ඉල්ලා සිටිනවා හා සමානය. එමනිසා වහල්භාවයේ සිටින කිරිල්ලිගේ පේශී වර්ධනය කරගැනීමට, ඇයට කුරුලු ගෙය වටා හැකි තරම් පියාසර කිරීමට, ඇයව රැකබලාගන්නාවූ ජීව විද්‍යාඥයෝ දිරිගැන්වූහ.

සෙවෙරිනෝට කුරුලු ගෙය සොයාගැනීමට එතරම් කාලයක් ගත වූයේ නැත. කිරිල්ලියව සොයාගැනීමෙන් පසු, ඌ යටිගිරියෙන් කෑ ගසා, ඇයට හඬගැසූ අතර, මීටර් 30ක් පමණ දුරින් කුරුලු ගෙය ළඟට පැමිණියේය. ඇයගේ පිරිමි අමුත්තා දුටු විට, “එම කිරිල්ලිය” ප්‍රතිචාරය දක්වා, “මහත් උනන්දුවක් පෙන්වූ” බව එම ව්‍යාපෘතියේ වැඩ කරන ජීව විද්‍යාඥයෙකු වන මාර්කොස් ඩා රේ ප්‍රකාශ කරයි. ඇයගේ උනන්දුව, “අප තුළ මහත් බලාපොරොත්තුවක් ඇති කළා” යයි ඔහු පවසයි.

ගුරුවරයා හා පියා . . .

අවසානයේදී ඒ විශේෂ දවස පැමිණියේය: කුරුලු ගෙයි දොර විවර විය. පැය භාගයකට පමණ දෙගිඩියාවෙන් පසුවීමෙන් අනතුරුව, එම කිරිල්ලිය පිටතට පියාසර කර, කුරුලු ගෙයින් මීටර් 300ක් පමණ ඈතින් තිබූ ගසක් මත වැසුවාය. එහෙත් සෙවෙරිනෝ සිටියේ කෙතැනකද? ඌ නැවතත් ඉලින්ගර්ස් මැකාවන් පසුපස පියාසර කරමින්, කිලෝමීටර් 30ක් පමණ ඈතින් සිටියේය. ඌ පිට වී ගියේ මන්ද? ඇත්තෙන්ම, ඌ මාස ගණනාවකට ඒ අවට සිටීමෙන් පසු, අවසානයේදී බෝ කිරීමේ කාලය පැමිණි විට, උගේ සහකාරිය වීමට සිටි කිරිල්ලිය තවමත් කුරුලු ගෙයි සිර වී සිටියාය. “නිදැල්ලේ පියාසර කරන මාරාකානා කිරිල්ලියක්, වහල්භාවයේ සිටින ආරාරින්‍යා කිරිල්ලියකට වඩා වටිනා” බව ඌ සිතන්ට ඇතැයි ජීව විද්‍යාඥ ඩා රේ විහිලුවට කියා සිටියේය. මේ අවස්ථාවේදී, සෙවෙරිනෝගේ බලවත් ප්‍රයත්නයට ප්‍රතිඵල ලැබීය. එක් ඉලින්ගර්ස් මැකාවා කිරිල්ලියක් ඌට කැමති වූ අතර, සහකරුවෙකු වශයෙන් ඌව පිළිගත්තාය.

කෙසේවෙතත්, සංසර්ග සමය අවසන් වූ විට, සෙවෙරිනෝ තම පෙම්කෙළිය අවසන් කොට තමාගේම ස්වාභාවික පරිසරයට පැමිණ, නිදහසේ සිටින ෂ්පික්ස් මැකාවා කිරිල්ලිව සොයාගෙන, ඇයව තම සහකාරිය වශයෙන් ගනු ඇති බවට ජීව විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති. ඉන්පසු, ගුරුවරයා හා පියා වශයෙන් දෙවදෑරුම් භූමිකාවක් භාරගැනීම උගෙන් බලාපොරොත්තු වනු ඇත. වනයේ ජීවත්වීමට දන්නා ලොව සිටින එකම ෂ්පික්ස් මැකාවා කුරුල්ලා ඌ බැවින්, බ්‍රසීලයේ වඩාත් නිසරු ප්‍රදේශයක ආහාර හා නවාතැන් සොයාගැනීමට තම සහකාරියට ඉගැන්වීම උගේ කාර්යය වේ.

. . . ඉතිහාසයට එක්වන්නෙක්

එබැවින් බෝ කිරීමේ සමය නැවතත් අරඹන විට, සෙවෙරිනෝ, ඉලින්ගර්ස් මැකාවන් පසුපස යෑම නවතා, තම සහකාරියට කැදැල්ලක් තැනීමට බෙනයක් සහිත ගසක් සෙවීම සඳහා අවධානය යොමු කරනු ඇති බවට, ෂ්පික්ස් මැකාවා ව්‍යාපෘතියේ ජීව විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති. සෑම දෙයක්ම සිතූ පරිදි සිදු වුවහොත්, ෂ්පික්ස් මැකාවා කිරිල්ලිය කුඩා බිත්තර දෙකක් දමනු ඇති අතර, ඉන් මාස කිහිපයකට පසු, සෙවෙරිනෝ තුන්දෙනෙකුගෙන් යුත් පංතියකට බේරී ජීවත්වීමේ ශිල්ප ක්‍රම උගන්වනු ලබනවා ඇත. තත්වය මෙතරම් දුරට දියුණු වේවිද?

“ඊට පිළිතුර දැනගැනීමට කාලයක් ගත වනු ඇත, නමුත් වනයේ වෙසෙන ෂ්පික්ස් මැකාවා තවත් වඳ වන කුරුල්ලෙකු වීමේ අවදානමෙන් වැළැක්වීමට හැකි එකම මාර්ගය මෙම ව්‍යාපෘතිය විය හැකි” බව ජීව විද්‍යාඥ යාමාෂිටා ප්‍රකාශ කරයි. අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන අලුත් ආරම්භයක් දීම දැන් සෙවෙරිනෝට බාරයි. මෙම එක්වීම සාර්ථක වුවහොත්, ස්වභාවධර්මයට ප්‍රියකරන්නන්ට හා ඉලින්ගර්ස් මැකාවන්ට මහත් සහනයක් දැනෙනු ඇත.

[24වන පිටුවේ කොටුව]

වහල්භාවයේ සිටින කුරුල්ලෝ

තක්සේරු කරන ලද ෂ්පික්ස් මැකාවන් 30දෙනෙකු පමණ වහල්භාවයේ සිටී. මෙම බ්‍රසීලියානු කුරුල්ලන් දුසිමකට වඩා වැඩි ගණනක්, පිලිපීනයේ වෙසෙන වනපක්ෂීන් රැකබලාගන්නෙකු විසින් බෝ කරනු ලැබූ අතර, උන් තවමත් එම ආසියාතික රටෙහි වෙසෙති. වහල්භාවයේ සිටින ඉතිරි කුරුල්ලන් බ්‍රසීලය, ස්පාඤ්ඤය හා ස්විට්සර්ලන්තයේ වෙසේ. කෙසේවෙතත් සෙවෙරිනෝට පමණක් තිබෙන ගුණාංගයක්, රැකවරණය යටතේ සිටින මෙම කුරුල්ලන් සියල්ලන්ටම නැත—එනම් වනයේ ජීවත්වීමට ඇති දැනුම් හැකියාවය.

[25වන පිටුවේ පින්තූරය]

අඩු තරමින් මුද්දරයක් මත ආරක්ෂා කර තිබීම

[හිමිකම් විස්තර]

Empresa Brasileira de Correios e Telégrafos

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න