යෞවන අය අසති . . .
මිතුරෙක් වරදකට හසු වූවොත් මා කුමක් කළ යුතුද?
දාහතර හැවිරිදි ෂෙරී මෙසේ පවසන්නීය: “මගේ හොඳම යෙහෙළිය ක්‍රිස්තියානි මාර්ගයෙන් ඉවත්ව ගියා. එය මාව දුකට පත් කරනවා. ඇයව දිරිගැන්වීමට මා බොහෝ සෙයින් උත්සාහ කර තිබෙනවා!”a
ඔබට සමීපව සිටින කෙනෙක් වරදකට හසු වී හෝ සැකකටයුතු ජීවන රටාවක් අනුගමනය කිරීමට හෝ පටන්ගෙන තිබේද? “මම ක්‍රිස්ට සමීපව සිටියා,” කියා ජොනී පවසයි. “අපි හොඳ මිතුරෝව සිටියා. එක් දිනක් ඔහු නිවසෙන් පලා ගියා. මෙය මා පුදුමයට පත් කළ අතර, ඔහු පසුපස යෑමට මා බැඳී සිටියා සේ හැඟුණා. මා මුළු රාත්‍රියේම ඔහු සොයා මෝටර් රථයෙන් ගියා.”
අන්තිම දවස්වලදී, බාල මෙන්ම මහලු මනුෂ්‍යයන් මත මහත් පීඩන පැමිණෙනු ඇති බවට බයිබලයෙහි අනතුරු අඟවා තිබිණ. (2 තිමෝති 3:1-5) එබැවින් යෞවන ක්රිස්තියානිවරයෙකු වරින් වර පැකිළෙනවා නම්, එය අපව පුදුමයට පත් නොකළ යුතුය. එහෙත් ඔබ සැලකිල්ල දක්වන කෙනෙකුට එසේ වූ විට, ශෝකයේ සහ අනුකම්පාවේ සිට කෝපවීම දක්වා චිත්තවේග ගණනාවක් ඔබට ඇතිවනු ඇත. ඔබට ඔබගේ මිතුරාට උපකාර කිරීමට අවශ්‍යය. එහෙත් ඔබට එය කළ හැක්කේ කෙසේද?
‘මට ඔහුව බේරාගත හැක’
බයිබලය මෙසේ පවසයි: “පව්කාරයෙකු තමාගේ මාර්ගයේ මුළාවෙන් හරවාගන්න තැනැත්තා [පව්කාරයෙකුගේ] ප්‍රාණයක් මරණයෙන් ගළවා, පව් රාශියක් වස[න්නේය].” (යාකොබ් 5:20) එහෙත් එසේ කිරීම ඔබගේ වගකීම බව මින් අදහස් කෙරේද? අනිවාර්යයෙන්ම නැත. ඔහු කෙරෙහි මූලික වගකීම ඇත්තේ, ඔබගේ මිතුරාගේ දෙමාපියන්ටය.b (එපීස 6:4) ගලාති 6:1හි, NW බයිබලය තවදුරටත් මෙසේ පවසයි: “සහෝදරයෙනි, තම අවබෝධයට එය ලක්වීමට පෙර, මනුෂ්‍යයෙක් යම් වැරදි පියවරක් ගත් විටදී පවා, ආත්මික සුදුසුකම් ඇත්තාවූ ඔබ, . . . එවන් මනුෂ්‍යයෙකු මෘදුකමේ ස්වභාවයකින් යළි සකස් කිරීමට වෑයම් කරන්න.” මේ සම්බන්ධයෙන්, විශේෂයෙන්ම සභා අවේක්ෂකයෝ සුදුසුකම් ලැබ ඇත්තාහ. මෙලෙස, උපකාර කිරීම සඳහා ඔවුහු ඔබට වඩා හොඳ තත්වයක සිටිති.
යෞවනයෙකු වශයෙන්, ඔබට ජීවිතය සම්බන්ධයෙන් සීමිත අද්දැකීමක් තිබෙන බව වටහාගත යුතුය. (හෙබ්‍රෙව් 5:14, සසඳන්න.) එබැවින් මේ සම්බන්ධයෙන් ඔබගේ සීමා විනීතව ඒත්තුගෙන, ඔබට ඉටු කළ හැකි දේවලට වඩා වැඩියෙන් භාරගැනීමෙන් වළකින්න. (හිතෝපදේශ 11:2) රෙබෙකා නම් යෞවනිය සලකා බලන්න. මත්ද්‍රව්‍යවලට සම්බන්ධව සිටි, ඇයගේ මිතුරෙකු හා නෑදෑයෙකු වූ කෙනෙකුට උපකාර කිරීමට ඈ උත්සාහ කළාය. ඈ මෙසේ පවසන්නීය: “ඔහු තම දෙමාපියන් මත විශ්වාසය තබා ඔවුන්ට දේවල් පවසනවා වෙනුවට, මට දේවල් පැවසූ නිසා එය මා මත පීඩනයක් ඇති කළා. මා ඔහුට උපකාර කිරීමට තැත් කළත්, එය මහත් කලකිරුණු තත්වයක් ඇති කළා. මට කිසිවක් කළ නොහැකි බව අවසානයේදී වටහාගත් විට, මට සහනයක් ලැබුණා . . . ඔහුගේ ගැළවුම්කරු වීමට මට හැකියාවක් තිබුණේ නැහැ.” ඉන්පසු, සුදුසුකම් ඇති වැඩිහිටියන්ගේ උපකාර පැතීමට රෙබෙකා ඔහුගෙන් උදක්ම ඉල්ලා සිටියාය.
යෞවන මැතිව් ඒ හා සමාන තත්වයක සිටි නමුත්, ඔහු තමාගේ සීමා මුලදීම ඒත්තුගත්තේය. වරදකට හසු වූ මිතුරෙකු සම්බන්ධයෙන් ඔහු මෙසේ පවසයි: “ඔහුගේ ගැටලු සමඟින් ඔහු මා ළඟට පැමිණි නමුත්, ඔහුගේ දෙමාපියන් ළඟට යන්න කියා මා පවසනවා. ඔහුගේ ගැටලුවල බර ඉසිලීම භාරගැනීමට වඩා වැඩියෙන් මා දැනගෙන සිටියා.”
ඔබට උපකාර කළ හැකි අයුරු
උපකාර කිරීම සඳහා ඔබට කිසිවක් කළ නොහැකි බව මින් අදහස් නොකෙරේ. බොහෝ දේ රඳා පවතින්නේ තත්වයන් මතය. සමහරවිට ඔබගේ මිතුරාට ඔබ සමඟ විශ්වාසයෙන් යුතුව දේවල් පැවසීමට වුවමනා විය හැකිය. ඔහුට රුකුලක් වීමටත් සවන් දීමට ඉදිරිපත් වීමටත් ඔබට ඕනෑ වන බවට කිසිම සැකයක් නැත. (හිතෝපදේශ 18:24; 21:13) එසේ නැතහොත් සැකකටයුතු ජීවන රටාවක් අනුගමනය කිරීමට ඔහු ආරම්භ කර තිබෙනවා විය හැක. ඔබ ඔහු කෙරෙහි සැලකිල්ල දක්වන බවත්, ඔබට ඔහුගේ ක්‍රියාව අනුමත කළ නොහැකි බවත් පැවසීමට මූලික පියවර ගැනීම සුදුසු වනු ඇත.
ඉස්මතු විය හැකි තවත් තත්වයක් වන්නේ, මිත්‍රයෙකු තමන් බරපතළ වරදක් කර තිබෙන බවට පිළිගැනීමය. සමහරවිට කිසිකෙනෙකුට නොපවසන ලෙස ඔබට පොරොන්දු වන ලෙස ඔහු ඉල්ලා සිටීමට පවා හැක. එහෙත් බයිබලය මෙසේ පවසයි: “[කිසිදිනක] අනුන්ගේ පාපවලට පංගුකාරයෙක්ද නොවන්න. නුඹම පිරිසිදුව සිටපන්න.” (1 තිමෝති 5:22, 23) ඔබගේ මිතුරා දැඩි අසනීපයකින් පෙළෙමින් වෛද්‍යමය උපකාරයේ අවශ්‍යතාවක සිටියහොත්, ඔහුව වෛද්‍යවරයෙකු වෙත රැගෙන යෑමට ඔබ බල කර නොසිටින්නෙහිද? එයාකාරයෙන්ම, ඔහු බරපතළ වරදක් හා සම්බන්ධ වී සිටී නම්, ඔහුට ආත්මික උපකාර අවශ්‍යය. කාරණා රහසිගතව තබාගැනීම මගින් ඔහුව ආත්මික වශයෙන් මරණයට පත් කළ හැකි අතර, සභාවට අහිතකර ලෙස බලපෑම් කළ හැකිය. එබැවින් සභා වැඩිමහල්ලන්ට මෙය දන්වා තිබෙන බව වග බලාගැනීමට ඔබට යුතුකමක් තිබේ.—ලෙවී කථාව 5:1, සසඳන්න.
ඇයගේ දෙමාපියන්ට බොරු කියමින් සිටි හිතුවක්කාර මිතුරියක සම්බන්ධයෙන් යෞවන කැරොලින් එඩිතර ස්ථාවරයක් ගත්තාය. ඈ මෙසේ පවසන්නීය: “වැඩිමහල්ලන් හමුවීම සඳහා මා ඇයට සති දෙකක් කල් දුන්නා. ඇය නොගියොත්, මා යන බව ඇයට පැවසුවා. මෙය කිරීම මට පහසු දෙයක් වුණේ නැහැ.” මුලින් සඳහන් කළ ජොනී, ඒ හා සමාන ආත්ම ශක්තියෙන් යුත් චරිතයක් පෙන්නුම් කළේය. ඔහුගේ මිතුරා සම්බන්ධයෙන්, ජොනී මෙසේ සිහිපත් කරයි: “ඔහු ගැහැනු ළමයෙක් සමඟ එකට ජීවත් වෙමින් සිටි බව දැනගැනීමෙන් මා පුදුමයට පත් වුණා. එහි වෙනත් කොල්ලෝ බොමින් සහ දුම්පානය කරමින් සිටියා.” ජොනී තම මිතුරාට පිටතට පැමිණෙන ලෙස ඉල්ලා සිටි අතර, සභාවේ සිටින වැඩිමහල්ලන්ගේ උපකාරය පතන මෙන් දැඩි ලෙස නිර්දේශ කළේය.
සමහරවිට, ඔබගේ මිතුරා ඔබගේ ප්රයත්න අගය කිරීමට හෝ නොකිරීමට පුළුවන. ඔහුගේ සහෝදරයන් වැරදි ක්‍රියාවල නියැලුණ විට, යෞවන පුරුෂයෙකු වූ යෝසෙප් “ඇවිත් ඔවුන්ගේ නපුරු ක්‍රියා ගැන ඔවුන්ගේ පියාට දැන්[වූ],” බව බයිබලය අපට පවසයි. මෙය සැබවින්ම ඔහුගේ සහෝදරයන් අතර ඔහුගේ ප්‍රසිද්ධත්වය වැඩි කළේ නැත. ඇත්තෙන්ම, ‘ඔවුහු ඔහුට වෛර කිරීමට පටන්ගත්තෝය.’—උත්පත්ති 37:2-4.
සාමාන්‍ය අන්දමින් ක්‍රියා කිරීම සුදුසුද?
එහෙත් කිසිවක් සිදු නොවුණු ආකාරයකින් ඔබ ඔබගේ මිතුරා සමඟ ආශ්‍රය කළහොත්, උපකාර කිරීමට වූ ඔබගේ ප්රයත්න ඔබ දුර්වල කරනු ඇත. ප්‍රේරිත පාවුල් 1 කොරින්ති 15:33හි, වරදකරුවන් සමඟ ආශ්‍රය කිරීමට එරෙහිව ක්‍රිස්තියානීන්ට අනතුරු ඇඟවීය. එවැනි පුද්ගලයන් සමඟ කිට්ටු ආශ්‍රයකින්, ඔබ පහතට ඇද දමනු ලබනවා පමණි!
ඇයගේ මිතුරිය වන සැලී රහසිගතව පිරිමි ළමයෙකු සමඟ හුදෙකලා ඇසුරෙහි යෙදීමට පටන්ගත් විට, යෞවන මොලී මෙය දුෂ්කර ආකාරයකින් ඉගෙනගත්තාය. සැලී විවාහ වීමට බෙහෙවින් බාල වූවා පමණක් නොව, නමුත් ඇය හුදෙකලාවේ ඇසුරු කරමින් සිටියේ ක්‍රිස්තියානි නොවන පිරිමි ළමුන්වය. මොලී මෙම තත්වය ගණන් නොගත් අතර, ඇයගේ මිතුරිය සමඟ ආශ්‍රය කිරීම දිගටම කරගෙන ගියාය. මෙහි ප්‍රතිඵලය? මොලී මෙසේ පවසන්නීය: “අවසානයේදී, සැලී මාව ලෝකයේ පිරිමි ළමයෙකු සමඟ මිත්රවීමට සැලැස්සූ අතර, අප හුදෙකලා ඇසුරක යෙදුණා.” භාග්‍යයකට මෙන්, තත්වය බරපතළ වීමට පෙර මොලී සභා වැඩිමහල්ලන්ගේ උපකාරය ලබාගත්තාය.
ඒ හා සමානවම, බෙත් නම් ගැහැනු ළමයෙකු සමඟ ඇයගේ මිත්‍රත්වය පවත්වාගැනීම සඳහා, ලින් අනතුරුදායක ප්‍රතිපත්ති පාවා දීම් සමහරක් කළාය. “මට ඇයව බේරාගැනීමට හැකි බව මට හැඟුණා,” කියා ලින් සිහිපත් කළාය, “නමුත් එය හරි ගියේ නැහැ. මා ඇය සමඟ සමාජශාලාවලට ගියා. එය වැරදි බව මා දැන සිටියා, නමුත් ඇයව රිදවන්න මට අවශ්‍ය වුණේ නැහැ. ඇයගේ ගැටලු මට බරක් වීමට පටන්ගත්තා. ගැටලුව අවසන් වෙයි කියා සිතමින්, මේ කාරණය සම්බන්ධයෙන් මා නිහඬව සිටියා, නමුත් එය තව තවත් උග්‍ර වුණා.” දුක්ඛදායක සිද්ධියකින්, ලින් කම්පා වී යථාර්ථය වටහාගත්තාය. ඇයගේ මිතුරිය වන බෙත්ව, හුදෙකලා ඇසුරේ යෙදෙමින් සිටි යෞවන පුරුෂයා විසින් මරුමුවට පත් කරන ලදි.
මිතුරෙකු සමඟ ඇලී සිටීම, උදාර දෙයක් ලෙස පෙනිය හැක. එහෙත් ඔබගේ මිතුරෙකු වචනානුසාරයෙන්ම ප්‍රබල දිය සුළියකට හසු වී ගිලෙමින් සිටී නම්, ඔබත් එයට පනිනු ඇද්ද? එයින් සිදු වන්නේ ඔබ දෙදෙනාම මියයෑම පමණි. කළ හැකි ඥානවන්ත දෙය වනු ඇත්තේ, ඔහුට ජීවිත ආරක්ෂකයක් සැපයීමයි. එයාකාරයෙන්ම, ඔබට දුරකින් සිට උපකාර සැපයීමට අවශ්‍යය.—යූද් 22, 23
ඔබගේ මිතුරාව සභා ඇසුරෙන් ඉවත් කර තිබේ නම්, ඈත්ව සිටීම අනිවාර්ය දෙයකි. ඒ පුද්ගලයා සමඟ “සමාගම් නොපවත්වන්[න],” යනු බයිබලයේ ආඥාවයි. (1 කොරින්ති 5:11) ඔබ එම පුද්ගලයාට තවමත් සැලකිල්ල දක්වන අතරතුර ඔහුට උපකාර කිරීමට හැක, එනම් වැරදි දේ කිරීමෙන් ඔහුව අනුගමනය කිරීම නොවේ, නමුත් යෙහෝවඃවහන්සේට පක්ෂපාතකම විදහාපෙන්වීමෙනි. (ගීතාවලිය 18:25) ඔබගේ ඇදහිල්ල පාවා නොදෙන ස්ථාවරත්වය, ඔහුගේ ක්‍රියා වෙනස් කිරීම සලකා බැලීම සඳහා පොලඹවන දෙය විය හැක. ඔබගේ පක්ෂපාතකම යෙහෝවඃවහන්සේට සතුට ගෙනෙන බැවින්, එය වඩාත් වැදගත් දෙය වේ.—හිතෝපදේශ 27:11.
අධික බර පැටවීම
එහෙත් උපකාර කිරීමට යමෙකු දරන හොඳම උත්සාහය බොහෝවිට නිෂ්ඵල වේ. ඇයගේ මිතුරිය සම්බන්ධයෙන් රෙබෙකා මෙසේ සිහිපත් කරන්නීය: “ඇයට උපකාර කිරීමට මා උත්සාහ කළා. මා ඇයට ලිපියක් පවා ලීවා, නමුත් ඈ එයට පිළිතුරු එව්වේ නැහැ.” ගැටලු ඇති විය හැකි ආකාරයකින් හැසුරුණු මිතුරෙකුට, උපකාර කිරීමට මාස ගණනක් උත්සාහ කිරීමෙන් පසු, ඇයට “වෙහෙසක් දැනෙන්ට පටන්ගත්” බව කැරොලින් සොයාගත්තාය.
“අප එක් එක්කෙනා තම තමා ගැන දෙවියන්වහන්සේට ගණන්දෙ[නු] ඇ[ති],” බවට අවබෝධ කරගැනීම වැදගත් වේ. (රෝම 14:12) ප්‍රායෝගික උපකාර ඉදිරිපත් කිරීමෙන්, වෙන කෙනෙකුගේ පීඩාකාරි බර හෝ පෞද්ගලික ගැටලු ඉසිලීම සඳහා ඔහුට උපකාර කිරීම සුදුසු දෙයක් වුවත්, ඔබට වෙන කෙනෙකුගේ “බර” නිකම්ම ඉසිලිය නොහැකිය—එය දෙවියන්වහන්සේ ඉදිරියේ ඔහුගේ වගකීමය. “එකිනෙකා තම තමාගේ බර උසුලන්නේය,” කියා බයිබලය පවසයි. (ගලාති 6:5) ඔබගේ මිතුරාගේ තේරීම්වලට ඔබ වගකිව යුතු නැත.
කෙසේවෙතත්, මිතුරෙකු තම ජීවිතය විනාශ කරගන්නවා බලා සිටීම වේදනාකාරි දෙයකි. මිතුරෙකු අහිමිවීම සම්බන්ධයෙන් මයික් නම් යෞවන පුරුෂයෙක් මෙසේ පවසයි: “එය මාව බොහෝ සෙයින් කනගාටුවට පත් කළා. මා මාර්ක් සහ ඔහුගේ දෙමාපියන්ට හුඟාක් කිට්ටුවෙන් සිටියා. මා යම් දුරට විෂාදයෙන් පීඩා විඳිමින් සිටියා.”
එවැනි අහිමිවීමක් හේතුවෙන් ශෝකයට පත් වී සිටීම ස්වාභාවිකය. කෙසේවුවද, ඔබට විශ්වාස කළ හැකි යම් කෙනෙකු සමඟ ඔබගේ හැඟීම් සම්බන්ධයෙන් කතා කිරීම උපකාරවත් විය හැකිය. (හිතෝපදේශ 12:25) “මගේ දෙමාපියන්ගේ උපකාරයෙන්, මට එය ජයගැනීමට හැකි වුණා,” කියා රෙබෙකා පවසන්නීය. ඔබටත් යාච්ඤාවෙන් යෙහෝවඃ දෙවියන්වහන්සේට ඔබගේ හැඟීම් වැගිරවිය හැකිය. (ගීතාවලිය 62:8) කැරොලින් මෙසේ කාරණය මනා ලෙස කැටි කොට දක්වයි: “යෙහෝවඃවහන්සේට යාච්ඤා කිරීම සහ වෙනත් අයට දේශනා කිරීම මට බෙහෙවින් උපකාර කළා. මා සභාවේ වෙනත් අයට, විශේෂයෙන්ම වැඩිහිටි ස්ත්රීන්ට සමීප වුණා. තම තමාගේ ක්‍රියාවලට මනුෂ්‍යයන් ගණන් දිය යුතු අතර, මා මගේ ජීවිතය දිගටම ගෙන යා යුතු බව අන්තිමේදී වටහාගත්තා.” ඒ සියල්ල කිරීමෙන්, ඔබ සැබවින්ම ඔබටම උපකාර කරගනු ඇත. එමගින් ඇතැම්විට ඔබ ඔබගේ හිතුවක්කාර මිතුරාට උපකාර කරනවා විය හැක.
[පාදසටහන්වල]
a ඇතැම් නම් වෙනස් කර තිබේ.
b සරල කිරීම සඳහා, අපි හිතුවක්කාර මිතුරාව පුරුෂ ලිංගයෙන් යොමු දක්වන්නෙමු.
[17වන පිටුවේ පින්තූරය]
උපකාර ලබාගැනීමට ඔබගේ මිතුරාට දිරිගන්වන්න