ලෝකය දෙස බැලීම
සෙනසුරුගේ තවත් චන්ද්‍රයන් සොයාගනු ලැබේ
හබල් අභ්‍යවකාශ දූරේක්ෂයෙන් ගනු ලැබූ ඡායාරූපවලින්, කලින් නොදැන සිටි චන්ද්‍රයන් අඩු තරමින් දෙකක්වත් සෙනසුරු ග්‍රහයා වටා පරිභ්‍රමණය වන බවට හෙළි වී තිබේ. එම ඡායාරූප ගනු ලැබුවේ ‘පෘථිවියේ සිට සෙනසුරු ග්‍රහයාගේ වළලු හරස් අතට දැකගත හැකි අවස්ථාවකදීය,’ සෙනසුරුගේ වළලු සිහින් රේඛාවක් සේ පෘථිවියේ සිට දැකගැනීමට ලැබෙන මෙම අවස්ථාව විරල එකකි. මෙම තත්වයන් යටතේදී එම වළලුවලින් පරාවර්තනය වන දීප්තිමත් ආලෝකය අඩු වන නිසා, චන්ද්‍රයන් වඩා පහසුවෙන් දැකගත හැකි වේ. එම චන්ද්‍රයන්ගේ විෂ්කම්භය කිලෝමීටර 10ත් 60ත් අතර වන බවට තාරකා ශාස්ත්‍රඥයෝ තක්සේරු කරති. අලුත සොයාගෙන තිබෙන චන්ද්‍රයන් සෙනසුරු වටා පරිභ්‍රමණය වන්නේ, එම ග්‍රහයාගේ කේන්ද්‍රයේ සිට කිලෝමීටර 1,40,000 සිට 1,50,000 දක්වා දුරකිනි. පෘථිවිය හා එහි චන්ද්‍රයා අතර කිලෝමීටර 4,00,000ක දුරට වඩා මෙය ඉතා කිට්ටුය. සෙනසුරු, පෘථිවියේ සිට කිලෝමීටර බිලියන 1.5ක් පමණ ඈතින් පිහිටා තිබේ.
වසර 50කට පසුව—වරදට සමාව අයැදීම
“පසුගිය යුද්ධයේදී පංගුකාරයන් වීම සම්බන්ධයෙන් මේජී ගාක්‍යූඉන් [විශ්වවිද්‍යාලය] දරන පාපය සඳහා, සියල්ලට වඩා දෙවියන්වහන්සේ ඉදිරියෙහි අපි පාපෝච්චාරණය කරන අතර විදේශීය රටවල ජනයාගෙන්, විශේෂයෙන් කොරියාව හා චීනයෙන්ද, වරදට සමාව ඉල්ලා සිටින්නෙමු,” යනුවෙන් එම විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂක හිරෝමාසා නාකායාමා පසුගිය ජූනි මාසයේදී විශ්වවිද්‍යාලයේ දේවස්ථානයේ පැවැත්වූ දේශනාවේදී පැවසුවේය. මේජී ගාක්‍යූඉන් විශ්වවිද්‍යාලය, “ක්‍රිස්තියානි” මීසමට අයත් පාසැලකි. අසාහි ෂිම්බුන් පුවත්පතට අනුව, යුද්ධ ප්‍රයත්නයේ පාසැල සහභාගි වූ බව එම පාසැලේ නියෝජිතයා ප්‍රසිද්ධියේ පිළිගත් මුල්ම අවස්ථාව එය විය. යුද්ධ සමයේදී, විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සභාපති, යුද්ධ ප්‍රයත්නය සඳහා පල්ලි එක්සත් කිරීමට ජපානයේ පිහිටි එක්සත් ක්‍රිස්තු සභාව සංවිධානය කළේය. යුද්ධ ගුවන් යානා නිෂ්පාදනය කිරීම සඳහා එක්සත් සභාව මගින් අරමුදල් රැස් කරනු ලැබූ අතර, කොන්දේසි රහිතව තම දේශයට යටත්වීමට ක්‍රිස්තියානීන්ට එමගින් උනන්දු කරනු ලැබූ බව නාකායාමා පැවසුවේය.
මෝර්මන් පල්ලිය නාට්සිවරුන්ට විරුද්ධ වූයේ නැත
නාට්සි ජර්මනියේ යුදෙව්වන්ට කළ සාහසිකකම් පිළිබඳ වාර්තා හමුවේ පවා, “මෝර්මන් පල්ලිය බොහෝදුරට කිසිවක් කළේ නැත,” යනුවෙන් ද සෝල්ට් ලේක් ට්‍රිබියූන් පවසයි. වෙනත් පල්ලිවල සාමාජිකයන් ඇතුළු සමහර මෝර්මන්වරු, “හිට්ලර්ට සහ ජාතිමය නිර්මලත්වය පිළිබඳ ඔහුගේ පණිවුඩයට, වශී වූහ, තවද ආණ්ඩුවේ පාලකයන්ට කීකරු වීම සම්බන්ධ තම පල්ලියේ ඉගැන්වීමට තමන් කීකරු වෙමින් සිටිය බව කල්පනා කළ තවත් සමහරුද සිටියහ.” යුදෙව් වාර්ගික ඝාතනයේදී ජර්මන් ජාතික මෝර්මන්වරු “පල්ලිවලින් වැඩිහරියක් කළ දේම කළෝය; නායකයන් ඊට විරුද්ධත්වය පෑවේ නැත,” යනුවෙන් ෆිලඩෙල්ෆියාහි ටෙම්පල් විශ්වවිද්‍යාලයේ විශාරද ෆ්‍රැංක්ලින් ලිටෙල් පැවසුවේය. “නාට්සිවාදයට විරුද්ධව සංස්ථායික ස්ථාවරයක් ගැනීමට පල්ලිය අසමත් වීමට හේතුව” පරීක්ෂා කිරීමට බ්‍රිගම් යං විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ විශාරද ඩග්ලස් ටොබ්ලර්ට වුවමනා වන බව පුවත්පතේ සඳහන් විය. නාට්සිවරුන්ව අනුගමනය කිරීම මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ එකම ආගමික සංවිධානය යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් බව, කැනඩාවෙහි, බ්‍රිටිෂ් කොලොම්බියා විශ්වවිද්‍යාලයේ ඉතිහාසඥ ජොන් එස්. කොන්වේ පැවසූ බව ට්‍රිබ්‍යූන්හි වාර්තා වීම සිත්ගන්නා කරුණකි. මේ හේතුවෙන් ඔවුන්ගෙන් අඩක් පමණ ගාල් කඳවුරුවලට යවනු ලැබූ බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.
නොසලකා හරිනු ලබන දරුවන්
දෙමාපියන් රැකියාවට යන විට හෝ සමාජ කටයුතුවල නියැලෙන විට, වයස අවුරුදු හයක් තරම් බාල දරුවන්ව පවා තනියම නිවසේ තබා යන බව ඕස්ට්‍රේලියානු සමීක්ෂණයකින් හෙළි වූ බව ද කැන්බරා ටයිම්ස්හි වාර්තා වේ. බෝයිස් ටවුන්හි ජාතික ප්‍රජා ව්‍යාපෘති සඳහා නියෝජිතවරියක් වන වෙන්ඩි රීඩ්ට අනුව, “දරුවන් අඩක් පමණ පැවසුවේ, තමන්ට පාළුවක් දැනුණු බව හා තම දෙමව්පියන් සමඟ ආශ්‍රය කිරීමට බැරිවීම ගැන දුක් වූ බවය, තවද වයස අවුරුදු 12න් පහළ අයගෙන් විශාල කොටසක් අඳුරට, කුණාටුවලට, බලහත්කාරයෙන් ඇතුල්වන්නන්ට හෝ බලෙන් පැහැරගෙන යන්නන්ට බිය වූහ.” ඊට අමතරව, “[එම] දරුවන්ගෙන් සියයට 71ක්, උවදුරකදී අනුගමනය කිරීම සඳහා යම් උපක්‍රමයක් නොදැන සිටි අතර, 12න් පහළ දරුවන්ගෙන් අඩකට තම දෙමාපියන්ට පණිවිඩයක් දීමටවත් ඔවුන් සිටි ස්ථානය නොදැන සිටි” බව ටයිම්ස් වාර්තා කළේය.
“ශක්තිය වඩවන නින්ද”
“මද නින්දකින් චිත්ත ස්වභාවය, අවදිව සිටීම හා රැකියා සමර්ථය වැඩි කළ හැකි” බව ද වෝල් ස්ට්‍රීට් ජර්නල් වාර්තා කරයි. කෙටි වේලාවකට හොඳට නිදාගැනීමෙන් ලැබෙන ප්‍රාණවත් කරවන බලපෑම නිසා නිතිපතා රැකියා දිනයට, නිදාගැනීමට කාලයක් ඇතුළත් කිරීම සඳහා ක්‍රම සෙවීමට සමහර කර්මාන්ත මගින් පෙලඹී තිබේ. සේවකයන් අවදිව සිටීම සමඟ ආරක්ෂාව පිළිබඳ කටයුතු සම්බන්ධ වන තැන්වල මෙය විශේෂයෙන් සැබෑවකි—එනම් ට්‍රක් රථ රියැදුරන්, ගුවන් නියමුවන් සහ න්‍යෂ්ටික බලාගාර ක්‍රියා කරවන්නන් බඳු අයය. “ඔබට පැය ගණනක් කල් පවතින හොඳ අවදි ස්වභාවයක් විනාඩි 15ක නින්දකින් ලැබෙන බව අප විසින් සොයාගෙන තිබේ,” යනුවෙන් නින්ද පිළිබඳ පර්යේෂණ පවත්වන ක්ලෞඩ්යියෝ ස්ටාම්පි පවසයි. ස්වාමිවරුන් වැඩි පිරිසක් විසින්, රැකියා කාලය අතරතුර නිදාගැනීම පිළිගනු ලැබීමට දීර්ඝ කලක් ගත විය හැකිය. “රැකියා කාලයේදී නිදාගැනීම වඩාත් පිළිගත හැකි දෙයක් කරවීම සඳහා, යෝජිතයන් දැන් එයට ‘ශක්තිය වඩවන නින්ද’ යනුවෙන් යොමු දක්වන” බව ජර්නල් පවසයි.
ගෙවතු රසායන ද්‍රව්‍ය—තර්ජනයක්ද?
තණ නිල්ල හා ගෙවත්තට භාවිත කරන රසායන ද්‍රව්‍ය ඔබේ දරුවන්ගේ සෞඛ්‍යයට හානිදායක විය හැකිය, යනුවෙන් ස්වභාවය පිළිබඳ ප්‍රංශ සඟරාවක් වන ටෙර් සොවාෂ් වාර්තා කරයි. එබඳු රසායන ද්‍රව්‍යයන්ට අනාවරණය නොවන්නාවූ දරුවන්ට වඩා, “ගෙවත්තට පැළෑටි නාශක හෝ පළිබෝධ නාශක යොදන නිවසක වසන වයස අවුරුදු දාහතරෙන් පහළ දරුවන්ට, සාකෝමා නැමති පිළිකා වර්ගයක් වැළඳීමට තිබෙන ඉඩ කඩ හතර ගුණයකින් වැඩි” බව එය අනතුරු අඟවයි. දරුවෙකුගේ පරිසරයේ කෘමිනාශක භාවිත කිරීම එම දරුවාට ලිව්කීමියාව වැළඳීමට තිබෙන අවදානම එකහමාරක සිට තුන් ගුණයක් දක්වා වැඩි කරන බව එම වාර්තාව තවදුරටත් සඳහන් කරයි. සියලුම ප්‍රංශ නිවැසියන්ගෙන් අඩකටත් වැඩි පිරිසක් ගෙවතු රසායන ද්‍රව්‍ය භාවිත කරන හෙයින්, බොහෝදෙනෙකු විසින් තම දරුවන්හට දූෂිත වූ නගරයකට වඩා විෂ සහිත පරිසරයක් නොසැලකිලිමත්කම නිසා ඇති කළ හැකිය.
උෂ්ණාධික කුහුඹුවන්
සහරා කාන්තාරයේ වෙසෙන සමහරක් කුහුඹුවන්ට සෙල්සියස් අංශක 60ක් දක්වා දැවෙන උෂ්ණත්වයන් දරාගත හැකිවීමට හේතුව ස්විට්සර්ලන්තයේ පර්යේෂකයන් දෙදෙනෙකු විසින් සොයාගෙන තිබේ. කුහුඹුවන් “තාපයෙන් සිදු වන හානියෙන් ශරීරයේ තිබෙන ප්‍රෝටීන ආරක්ෂා කරගැනීමට උපකාර කරන්නා වූ, තාප ප්‍රහාරණ ප්‍රෝටීන (HSP) නමැති ද්‍රව්‍යයන්” නිෂ්පාදනය කරන බව සූරිච් විශ්වවිද්‍යාලයේ සත්වවිද්‍යා ආයතනයේ රූඩිගර් වේනර් සහ බේසල් විශ්වවිද්‍යාලයේ වෝල්ටර් ගෙරිං විසින් සොයාගෙන තිබෙන බව සයන්ස් සඟරාව වාර්තා කරයි. අධික උෂ්ණත්වයන්ට අනාවරණය කරනු ලබන විට, “[තාප ප්‍රහාරණයෙන්] හානිවීම පටන්ගැනීමෙන් පසු සියලුම සත්වයන් තුළ HSP ස්වල්පයක් නිෂ්පාදනය වේ,” යනුවෙන් සඟරාව පවසයි, නමුත් “කුහුඹුවෝ ඊට කලින් ප්‍රහාරයක් එල්ල කරති.” කුමනාකාරයෙන්ද? කුහුඹුවන් තාප ප්‍රහාරණයකට සමාන ගතිලක්ෂණ මවා තම ගුලෙන් පිටතට යෑමටත් පෙර HSP නිපදවන බව එම පර්යේෂකයෝ සොයාගත්හ. “අප මේ ගැන කල්පනා කිරීමට තරම් දක්ෂ නොවුවත් කුහුඹුවන් දක්ෂ වුණා,” යනුවෙන් ගෙරිං තවදුරටත් පවසයි. එසේ නැතහොත් එය උන්ගේ මැවුම්කරුවාණන්ගේ දක්ෂකමද?
ශබ්දය නතර කරන්න
“කරුණාකර එම ශබ්දය නතර කරන්න,” යනුවෙන් ද ටොරොන්ටෝ ස්ටාර් ප්‍රවෘත්ති පත්‍රයේ ශීර්ෂ පාඨයක අයැදිනු ලැබේ. ගෑස්වලින් ධාවනය වන තණකොළ කැපීමේ යන්ත්‍ර, කොළ පිඹින යන්ත්‍ර, ජැක්කු මිටිවල, කාර්වල නළා සහ ආරක්ෂක සංඥා, මහ හඬකින් ක්‍රියාත්මක වන ගුවන්විදුලි යන්ත්‍ර, බුරන බල්ලන්, අඬන ළදරුවන් සහ රෑ වන තුරු පවත්වන ප්‍රිය සාද ආදියෙන් නික්මෙන ඉමක් කොනක් නැති නගර ශබ්දය නිසා, සාමය හා නිශ්ශබ්දතාව සඳහා ප්‍රයත්නවල යෙදීමට ශබ්ද-විරෝධී ප්‍රයත්නවල යෙදෙන්නන්ව පොලඹවා තිබේ. එබඳු ශබ්දවලට දිගු කලකට අනාවරණය වීම “විඩාව හා කාන්සාව වැඩි කළ හැකි” බව ස්ටාර් පවසයි. එහි තවදුරටත් මෙසේ සඳහන් වේ: “රුධිර පීඩනය වැඩි විය හැකි බවත්, හෘද ස්පන්දන වේගය වෙනස් විය හැකි අතර රුධිර වාහිනීවලට බලපෑ හැකි ඇඩ්‍රිනලීන් හා වෙනත් හෝමෝන ශරීරය නිපදවන බවත් වෛද්‍ය පර්යේෂණ පෙන්වයි.” සෞඛ්‍ය අධිකාරීන්ට අනුව, අධික ශබ්දයක් නිකුත් කරන තණකොළ කපන යන්ත්‍රයක් හෝ මෝටර් සයිකලයක් වැනි ඩෙසිබල 85කට වඩා වැඩි මොනයම් ආකාරයක ශබ්දයකට පැය අටකට වඩා වැඩි වේලාවකට අනාවරණය වීම, ඔබගේ ශ්‍රවණයට අන්තරාදායක වේ.
අස්ථිවෛවර්යයට එරෙහිව සටන් කිරීම
අස්ථිවෛවර්යය (ඔස්ටියෝපොරොසිස්) නිසා අහිමි වූ අස්ථි ස්කන්ධය නැවත ලබාගැනීම සඳහා කායික ව්‍යායාමය උපකාරවත් වන බව, ජෝර්නල් ඩෝ බ්‍රාසිල් නමැති පුවත්පත සඳහන් කරයි. රියෝ ඩි ජෙනේරෝහි පිහිටි ක්ෂතිය-හා සම්බන්ධ චිකිත්සාගාරයේ විශේෂඥවරු ව්‍යායාම් ප්‍රතිකාර ඉදිරිපත් කරන අතර, රෝගීන්ට “නිසි ආකාරයට ඇවිදීමටත් නිවැරදි ඉරියව්ව ඇති කරගැනීමටත්” උගන්වති. වයස අවුරුදු 45 සිට 77 දක්වා වූ ස්ත්‍රීන් කණ්ඩායමක් සමඟ වසර දෙකකට වැඩ කිරීමෙන් පසුව, එම කණ්ඩායමෙන් සියයට 80ක් පමණ පිරිසකට අස්ථි ස්කන්ධයේ සැලකිය යුතු වැඩිවීමක් අද්දකින්ට ලැබිණ. එම කාලපරිච්ඡේදය තුළ, එම ස්ත්‍රීන්ට රක්තවාතය නිසා ඇති වන කොන්දේ කැක්කුම අඩු වූ අතර, කිසිවෙකුට අස්ථි බිඳුම් අද්දකින්ට සිදු වූයේ නැත. එම චිකිත්සාගාරයේ අධ්‍යක්ෂක වෛද්‍ය තියෝ කෝහන්, කැල්සියම් අධික මේද අඩු ආහාර රටාවක්ද නිර්දේශ කරයි. එපමණක්ද නොව, ජීවිතයේ අරමුණක් සොයාගැනීමට ඔහු දිරි දෙයි. “වියපත් අය එක තැනකට වී ගොත ගොතා ඉන්නවා දකින්ට අපි කැමති නැහැ,” යනුවෙන් වෛද්‍ය කෝහන් නිරීක්ෂණය කරයි. “මොළයේ සෛලවලට ව්‍යායාමයක් ලබා දීම සඳහා හරස් පද ප්‍රහේලිකා විසඳීම තරමටම අවට ඇවිදින්ට යෑමද වැදගත්.”
රුධිරයෙන්-වැළඳෙන රෝග පිළිබඳව සැලකිල්ල
එක්සත් ජනපදයේ ජාතික විද්‍යා ශාස්ත්‍රාලයේ වෛද්‍ය ආයතනය මගින් නිකුත් කළ වාර්තාවකට අනුව, රුධිර සැපයුම ආරක්ෂා කරගැනීම සඳහා වඩා හොඳ උපාය මාර්ග අවශ්‍ය වේ. සාක්ෂි වශයෙන්, ඒඩ්ස් වසංගතය පැතිර ගිය මුල් වසර තුළ රුධිර ප්‍රවේශන මගින් මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය (HIV) පැතිර ගිය ආකාරය වෙතට එම වාර්තාව යොමු දක්වයි. එම වාර්තාව නැවත සැලකිල්ලට ගනිමින්, ද නිව් යෝර්ක් ටයිම්ස්හි මෙසේ සඳහන් විය: “එක්සත් ජනපදය තුළ හිමොපීලියා රෝගීන් 16,000ගෙන් අඩකට වඩා වැඩි පිරිසකටත්, රුධිර හා රුධිර නිෂ්පාදනවල ප්‍රවේශන ලැබූ රෝගීන් 12,000කට වැඩි පිරිසකටත් H.I.V. වැළඳිණ.” අනපේක්ෂිත අවස්ථාවකදී HIV බඳු නොදන්නා භයානක, ආසාදනය ඇති කරන හේතුකාරක නැවතත් ජාතික සෞඛ්‍ය පද්ධතියට ඇතුල් විය හැකි බව එම ආයතනයේ වාර්තාව බලවත් සැලකිල්ලක් ප්‍රකාශ කරයි. “රුධිරය හා රුධිර නිෂ්පාදන ලබන්නන් තුළ ඇති විය හැකි අහිතකර බලපෑම් සොයා, ඒවා නිරීක්ෂණය කර ඒ පිළිබඳව අනතුරු ඇඟවීම” සඳහා පිළිවෙළක් පිහිටුවාගැනීම සඳහා එමගින් නිර්දේශ කෙරිණ.