වීදුරු—එය සෑදු ප්‍රථමයෝ බොහෝ කලකට පෙර ජීවත් වූහ
සාගරවල මතුපිට ජලයේ පාවෙන, අන්වීක්ෂීය ඒක සෛලීය ජීවින් ඩයටම වන අතර, සාගරවල වෙසෙන ප්ලවාංගවලින් දහයෙන් හයක් පමණ උන්ගෙන් සමන්විත වේ. “ජලජ ප්ලවාංග” යන වචනයෙන් අදහස් වන්නේ “තැනින් තැන යෑමට සාදන ලද දෑ” වන අතර, “ප්‍රවාහවල බලපෑමට සම්පූර්ණයෙන්ම ගොදුරු වී ගසාගෙන යෑමට පමණක් හැකි ඉතා කුඩා දුර්වල” යමක් හැටියට ප්ලවාංග විස්තර කර තිබේ.
ඒවා කුඩා වන්ට පුළුවන, නමුත් එතරම් දුර්වල නැත. ගැඹුරු මුහුදේ තිබෙන පෝෂ්‍යදායී කොටස් කුණාටු හේතුවෙන් ඉහළ නැඟෙන විට, ඩයටම නමින් හඳුන්වන ඒක-සෛලික අල්ගේ, කලබල සහිත පෝෂණ ක්‍රමයක් ආරම්භ කර දින දෙකක් ඇතුළත ඔවුන්ගේ ගණන දෙගුණ කරන්නේය. උන් දෙගුණ වන විට, වීදුරු නිෂ්පාදනයද දෙගුණ කරයි. ලයිෆ් හව් ඩිඩ් ඉට් ගෙට් හියර්? බයි එවලූෂන් ඕර් බයි ක්‍රිඒෂන්? නම් පොතේ මේ අමතර විස්තර දී තිබේ:
“ඒක-සෛලික ජීවීන් වන ඩයටම, මුහුදු වතුරෙන් සිලිකන් සහ ඔක්සිජන් ලබාගෙන වීදුරු සාදයි, එමගින් උන්ගේ හරිත ක්ලෝරෆිල් අඩංගු කිරීමට ඉතා කුඩා ‘පෙට්ටි’ තනයි. ඒවායේ වැදගත්කම සහ අලංකාරය පිළිබඳව එක් විද්‍යාඥයෙක් මෙසේ ප්‍රශංසා කළේය: ‘ආභරණ පෙට්ටි තුළ බහා තබන මෙම හරිත පත්‍ර, මුහුදු තුළ ජීවත් වන සෑම ජීවියෙකුගේම ආහාරයෙන් දහයෙන් නවයක් සඳහා තෝතැන්නක් වේ.’ උන්ගේ ආහාරයේ පෝෂ්‍ය ගුණයෙන් විශාල ප්‍රමාණයක් තිබෙන්නේ ඩයටම සාදන තෙල්වලය, තවද උන්ගේ ක්ලෝරෆිල්වලට, මතුපිට අසල අව් රශ්මිය තැපීමට සහ පහසුවෙන් පාවී තිබීමට උපකාර කරයි.
“උන්ගේ අලංකාර, වීදුරු-පෙට්ටි ආවරණ, ‘වෘත්ත, චතුරස්‍ර, පලිස්, ත්‍රිකෝණ, අණ්ඩාකාර, ඍජුකෝණාස්ර වැනි විවිධාකාර වූ පුදුම දනවන හැඩවලින් පැමිණෙන බවත්, ඒවා හැමවිටම සියුම්ව කොටා තිබෙන ජ්‍යාමිතික මෝස්තරවලින් අලංකාරවත් කර’ තිබෙන බවත් මෙම විද්‍යාඥයා අපට පවසයි. ‘මේවා තනිකර වීදුරුවලින් ගොතා ඇති අතර, ඒ සඳහා කොතරම් සූක්ෂ්ම දක්ෂකමක් යොදා තිබෙනවාද කිවහොත්, එහි දිස්වන කඩතොලු තුළට ඇතුල් කරගැනීම සඳහා මිනිස් කෙස් ගහක් දිග අතට පෙති 400කට කැපිය යුතු වේ’”—143-4 පිටු.a
සාගරයේ ප්ලවාංග තුළ සරුව වැඩෙන තවත් කුඩා කලා කෘති කණ්ඩායමක් වන්නේ, රාඩියොලාරියාවන්ය. එකිනෙකාව ස්පර්ශ නොකරමින් අල්පෙනෙත්තක තුඩක් මත 20කට ඉඳගත හැකි මෙම කුඩා ප්‍රොටොසෝවාවන් මගින්ද, සාගරයේ සිලිකන් හා ඔක්සිජන්වලින් වීදුරු සාදනු ලැබේ. මෙම මැවිලි මගින් ගොතනු ලබන සියුම් අලංකාරය හා පුදුම දනවන මෝස්තර, විස්තර කළ නොහැකි තරම්ය, මන්දයත් ඒවා ඩයටම පවා අබිබවා යන බැවිනි. රුසියානු බෝනික්කන්ට සමානව එකක් අනික තුළ තිබෙන සේ බෝල තුනකින්ද, වීදුරුවලින් තනන ලද එහි සැකිල්ලේ සිදුරුවලින් ගොදුර ඩැහැගෙන ජීරණය කිරීම සඳහා, පිටතට නෙරා යන ප්රාක්ප්ලාස්මීය කණ්ටකවලින්ද සමන්විත එක් රාඩියොලාරියාවෙක් දක්වන, මේ සමඟ තිබෙන රූප සටහන පරෙස්සමින් අධ්‍යයනය කරන්න. එක් විද්‍යාඥයෙක් මෙම අදහස ඉදිරිපත් කරයි: “මෙම විශිෂ්ට නිර්මාණ ශිල්පියා සඳහා එක් භූමිති ගෝලාර්ධයක් නොසෑහේ; එය රේන්ද ගෙතුම්වලට සමානව කැටයම්වලින් යුත්, එකක් අනික තුළ තිබෙන සේ සකස් කරන ලද වීදුරු ගෝල තුනක් විය යුතුය.”
වීදුරුවලින් තනන ලද සැකිලි නිර්මාණය කරන මූදුහතුද තිබේ—වඩාත්ම විස්මයජනක එක නම් වීනස්ගේ මල් කූඩයයි. දහනවවන සියවසේ ආරම්භයේදී එය පළමු වතාවට යුරෝපය වෙත ගෙනා විට, එහි මෝස්තරය කොතරම් කැපීපෙනෙනසුලු එකක් වූවාද කිවහොත්, මෙම මූදුහතු සත්වවිද්‍යා ප්රදර්ශනාගාරවල තබන ලද මිල අධික වස්තූන් බවට පත් විය, ඉන් අනතුරුව, මේවා දුර්ලභ යමක් නොව, නමුත් පිලිප්පීනයේ සෙබු අවට හා ජපන් වෙරළබඩ තීරය අසල මීටර් 200-300ක ගැඹුරින් මුහුදු පතුළ පුරා බුමුතුරුණක් සේ විහිදී තිබුණු අන්දම සොයාගන්නා ලදි.
එක් විද්‍යාඥයෙක් කෙතරම් පුදුමයට සහ තේරුම්ගත නොහැකි තත්වයට පත් වූවාද කිවහොත්, ඔහු මෙසේ පැවසුවේය: “[වීනස්ගේ-මල්-කූඩය] ලෙස හඳුන්වා ඇති සිලිකා ශුලිකා ආදියෙන් සෑදී තිබෙන සංකීර්ණ මූදුහතු සැකිල්ලක් දෙස ඔබ බලන විට, ඔබේ පරිකල්පන ශක්තිය කණපිට පෙරළෙනවා හා සමානය. තරමක නිදහස් අන්වීක්ෂීය සෛල වීදුරුවලින් සාදන ලද මිලියන ගණන් පතුරු ශ්‍රාවය කිරීමට සහයෝගීව ක්‍රියා කර, එවන් සංකීර්ණ හා අලංකාර දැලිසක් ගොඩනැඟීමට හැකි වූයේ කෙසේද? අපි නොදනිමු.”
මූදූහතුද එය නොදනියි. එයට මොළයක් නොමැත. එය එසේ කරන්නේ එහි ක්‍රියා පිළිවෙළ සැලසුම් කර තිබෙන බැවිනි. ක්‍රියා පිළිවෙළ සැලසුම් කළේ කවුද? මිනිසා නොවේ. ඔහු එහි නොසිටියේය.
වීදුරුවල ඉතිහාසයේ මිනිසාගේ කාර්යභාරය
එහෙත් මිනිසා දැන් මෙහිය, පෙනෙන ලෙසට වීදුරු සෑදීමේ හා පාවිච්චි කිරීමේ ප්‍රධාන තැන ඔහු අත් කරගනී. වීදුරු සෑමතැනම තිබේ; එය අප වටාද තිබේ. ඔබට එය ඔබගේ ජනේලවල, ඇස් කණ්ණාඩිවල, පරිගණක තිරයේ, මේස උපකරණ සහ දහස් ගණන් අනිකුත් නිෂ්පාදනවලද තිබේ.
වීදුරුවල ප්‍රසිද්ධත්වය පවත්වා ගැනීමට එහි විවිධත්වය සහ අලංකාරය උපකාර කර තිබේ. එය පහසුවෙන්ම වාගේ බිඳෙනසුලු වුවත් එයට වෙනත් ශක්තීන් තිබේ. තවමත් එයට වැඩි කැමැත්තක් දක්වනු ලැබේ. එක් උදාහරණයකට, ලෝහ මෙන් නොව, එය ආහාරවලට යම් රසයක් ගෙන නොදේ. සමහර වීදුරු භාජන ආහාර පිසීමට භාවිත කළ හැක. ඔබගේ ප්‍රියතම ආපන ශාලාවෙහි උසස් ගණයේ මුද්‍රිකපානයක්, ප්ලාස්ටික් කෝප්පවලින් සංග්‍රහ කිරීම ඔබට සිතා බැලීමට පවා අපහසුය.
යෝබ් වටිනාකමින් වීදුරු, රත්රන් හා සැසඳුවේය. (යෝබ් 28:17) දැන් කාලය මෙන් ඔහුගේ කාලයේ එය සුලබව දක්නට නොලැබූ බව සහතිකය, නමුත් පෙනෙන ලෙසට එය වසර දහස් ගණනකට වඩා වැඩි කාලයක සිට භාවිතයෙහි පැවත තිබේ.
වීදුරු සෑදීමේ ශිල්පය යථාකාලයේදී මිසරයට නොහොත් ඊජිප්තුවට පැමිණියේය. මිසරවරු මදය-සෑදීම යනුවෙන් හඳුන්වන ක්‍රමයක් භාවිත කළෝය. මැටි සහ සතුන්ගේ කසළ යොදාගෙන හැඩගන්වන ලද මදයක් සාදනු ලැබූ අතර, එය වටා උණු කළ වීදුරු වත් කර සිනිඳු පෘෂ්ඨයක් මත රෝල් කිරීම තුළින් හැඩ ගන්වන ලදි. ඉන්පසු දීප්තිමත් ලෙස වර්ණවත් කරන ලද වීදුරු නූල් විවිධ මෝස්තර සෑදීම පිණිස පෘෂ්ඨය මත අදිනු ලැබීය. වීදුරුව සිසිල් වූ පසු, මැටියෙන් තනන ලද මදය තියුණු උපකරණයක් මගින් ඉවතට ගනු ලැබීය. මෙය ඉතා ප්‍රාථමික ක්‍රමයක් වුවත්, පුදුමසහගතව ඉතා ආකර්ෂණීය වීදුරු භාණ්ඩ කිහිපයක් නිෂ්පාදනය කරන ලදි.
වීදුරු පිම්බීම යන නව ක්‍රමය මගින් වීදුරු නිෂ්පාදනය විපර්යාසයකට භාජන වූයේ බොහෝ කලකට පසුවය. ඇතැම්විට මෙම කලාව නැඟෙනහිර මධ්‍යධරණී මුහුදුබඩ ප්‍රදේශයේ සොයාගන්නා ලද අතර, අදදින එය අතින් වීදුරු සාදන මූලික ක්‍රමය ලෙස තවමත් පවතී. කුහර සහිත නළයක් ආධාරයෙන් පිම්බීම තුළින්, සිය නළයේ අග තිබෙන උණු වූ වීදුරු ගුලියෙන් සංකීර්ණ සමමිතික හැඩ ඉක්මනින් නිපදවීමට, අද්දැකීම් ඇති වීදුරු පුම්බන්නෙකුට හැකිය. විකල්පයක් ලෙස, ඔහුට උණු වූ වීදුරු නැවත අච්චුවකට පිම්බවිය හැකිය. යේසුස්වහන්සේ මේ පොළොවේ සිටි විට, වීදුරු පිම්බීම එහි ළදරු අවදියේ පැවතිණ.
වීදුරු පිම්බීමේ නව ක්‍රමයට අත්වැල් බැඳගත් බලගතු රෝම අධිරාජ්‍යයේ බලපෑම හේතුකොටගෙන, වීදුරු නිෂ්පාදන පොදු ජනයා කරා ළඟාවීමට ඉඩ කඩ ලැබුණු අතරම, වීදුරු භාණ්ඩ තවදුරටත් රදළ පංතිය හා ධනවතුන් පමණක් හිමි කරගත් දෙයක් නොවීය. රෝමයේ බලපෑම වැඩිවෙනවාත් සමඟම, වීදුරු සෑදීමේ කලාව බොහෝ රටවලට පැතිර ගියේය.
පහළොස්වන ශතවර්ෂය වන විට, යුරෝපයේ වැදගත් වෙළඳ මධ්‍යස්ථානයක් වූ වැනීසිය, යුරෝපයේ විශාලතම වීදුරු භාණ්ඩ නිෂ්පාදකයා බවට පත් වූයේය. මියුරානෝහි වැනීසියෙහි වීදුරු කර්මාන්තය මධ්‍යස්ථානගත විය. වැනීසීය වීදුරු සාදන්නෝ උසස් ලෙස ගරුබුහුමන් ලැබුවෝය, නමුත් ඔවුන්ගේ අගනා වෙළඳ රහස් අන් අයට බෙදා නොදෙන පිණිස, ඔවුන්ට මියුරානෝ දූපත අතහැර යෑම තහනම් කර තිබිණ.
අලංකාර වැනීසීය වීදුරු භාණ්ඩ, වීදුරුවල ජනප්‍රියත්වය වැඩි කිරීමට බොහෝ දේ ඉටු කළ මුත්, වීදුරු සෑදීම එතරම් පහසු කාර්යයක් නොවීය. එය කෙලෙසද යන්න විස්තර කරන 1713දී පළ වූ ප්රකාශනයකට, එ ෂෝර්ට් හිස්ටරි ඔෆ් ග්ලාස් යන පොත යොමු දක්වයි. “මිනිස්සු ශීත, මිදෙන කාලගුණයක දිගටම අඩ නිරුවතින් දැඩි රශ්මිය සහිත ඌෂ්මකයක් අසල සිටගෙන සිටිති . . . අධික උෂ්ණත්වයෙන් ඔවුන්ගේ ස්වභාවය පිලිස්සී විනාශ වන නිසා . . . ඔවුහු ඇකිළී යති.” පසු වර්ෂවලදී වීදුරු කපන්නෝ භ්‍රමණය වන රෝදයක් සහ උල්ලේඛ කුඩු පාවිච්චි කරමින් වීදුරු ඔප දැමුවෝය.
පසුව ඇති වූ නවීකරණ
වීදුරු හා සම්බන්ධ ඉතිහාසයේ විශේෂ සඳහන් කිරීමක් බ්‍රිතාන්‍යය උපයාගෙන තිබේ. ඉංග්‍රීසි ජාතික වීදුරු සාදන්නෙක් 1676දී ඊයම් වීදුරු සඳහා සූත්‍රයක් අංග සම්පූර්ණ කළේය. ඊයම් ඔක්සයිඩ් අමතරව එකතු කිරීමෙන් ශක්තිමත්, පැහැදිලි සහ දිලිසෙන බරින් වැඩි වීදුරු නිෂ්පාදනය කරන ලදි.
වික්ටෝරියා පාලන සමය අතරතුර බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය එහි උච්චාවස්ථාවේ සිටි අතර, මේ වන විට බ්‍රිතාන්‍යය ප්‍රධාන වීදුරු නිෂ්පාදකයෙක්ද වූයේය. වර්ෂ 1851දී, පළිඟු මාළිගයේ පැවති මහා ප්‍රදර්ශනය විශේෂයෙන් කැපීපෙනෙන යමක් විය, එය පළමුවන ලෝක සල්පිල වූ අතර, එය කාර්මික නිෂ්පාදන හා හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය කරන්නන් රටවල් 90කට ආසන්න ප්‍රමාණයකින් ඇදගත්තේය. ප්‍රදර්ශනය කිරීම්වල වීදුරු භාණ්ඩ බොහොමයක් දක්නට ලැබුණද, විශේෂයෙන්ම සියලුදෙනාගේ සිත් ග්‍රහණය කරගත්තේ, මීටර් 8.2කින් සමන්විත වීදුරු වතුර මලක් සමඟින් සැරසුණු පළිඟු මාළිගයමය. මෙම විශාල ගොඩනැඟිල්ල සෑදීමට වීදුරු තහඩු ටොන් 400ක් උපයෝගි කරගනු ලැබූ අතර, අතින් පිම්බූ වීදුරු තහඩු 3,00,000ක්ද එයට අඩංගු විය.
එහෙත්, වීදුරු සෑදීමේ ඊළඟ විශාල වෙනසක් සිදු වූයේ එක්සත් ජනපදයේය. මෙය නම් 1820ගණන්වල යාන්ත්රානුසාර පීඩක යන්ත්‍රයක් සාර්ථකව හඳුන්වා දීමයි. මේ පිළිබඳව එ ෂෝර්ට් හිස්ටරි ඔෆ් ග්ලාස් යන පොත මෙසේ අදහස් ප්‍රකාශ කරයි: “පීඩක යන්ත්‍රයක් අසල පුහුණු කරන ලද වීදුරු පුම්බන්නන් තුන්දෙනෙකුගෙන් හෝ හතරදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මගින් නිපදවන ප්‍රමාණයට වඩා හතර ගුණයක් වැඩි වීදුරු ප්‍රමාණයක්, අවම අද්දැකීම් ඇති පුද්ගලයන් දෙදෙනෙකු මගින් නිපදවිය හැකිය.”
විසිවන ශතවර්ෂයේ මුල්භාගයේදී, එක්සත් ජනපදයේ ස්වයංක්‍රිය බෝතල් පිම්බුම් යන්ත්‍රයක් සාර්ථකව නිෂ්පාදනය කරන ලදි. වර්ෂ 1926දී පෙන්සිල්වේනියාවේ එක් කර්මාන්ත ශාලාවක, විනාඩියකට තාපදීප්ත පහන් 2,000ක් නිපදවීමට ස්වයංක්‍රිය උපකරණයක් භාවිත කරන ලද්දේය.
බොහෝ කලාකරුවෝ සහ සැලසුම්කරුවෝ, වීදුරුවලින් කලාත්මක දේවල් නිපදවීමේ හැකියාව මගින් ආකර්ෂණය වී ඇත්තාහ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, වීදුරු නිෂ්පාදනවල නවීන පන්නයේ මෝස්තර දැකගත හැකි අතර, වීදුරුවලින් කලාකෘති වැඩි ප්‍රමාණයක් නිපදවීමටද මඟ පෑදී ඇත.
වීදුරු ඇත්තෙන්ම පුදුමසහගතය. ගෘහස්ත භාවිතයට අමතරව, එය යොදා තිබෙන වෙනත් ආකාර බොහොමයක් සලකා බලන්න—එනම් හබල් අභ්‍යවකාශ දුරේක්ෂය, කැමරා කාච, තන්තු-දෘෂ්ටික සන්නිවේදන පද්ධති සහ රසායන විද්‍යා පරීක්ෂණාගාර තුළද එය භාවිත කෙරේ. පහසුවෙන් බිඳෙනවා විය හැක, නමුත් ඉතා ප්රයෝජනවත්ය, එමෙන්ම ඉතා අලංකාරය.
[පාදසටහන]
a වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් ප්‍රකාශිතයි.
[25වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
ඉහළ සහ පහළ: The Corning Museum of Glass
[26වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
The Corning Museum of Glass