ආපදාවලට එරෙහිව මිනිසාගේ සටන
අවුරුදු තුනක් ගතවී තිබිණ, තවද එජා මහාලේකම් බූට්‍රොස් බූට්‍රොස්-ඝාලි ජයනද දෙමින් නොසිටියේය. ඔහු ප්‍රවීණයන් කණ්ඩායමකට 1993 මුල්භාගයේදී මෙසේ පැවසීය: “අපි ප්‍රමාණවත් වේගයකින් ක්‍රියා කර නැහැ. පසුව නොව දැන් එක්රැස්වීමට ඉල්ලා සිටීමේදී, මගේ ඉලක්කය වූයේ අපට අතපසු වූ කාලය අල්ලාගැනීමට හැකිද කියා දැකබලා ගැනීමටයි.” අතපසු වූ කාලය? ඔහු කල්පනා කරමින් සිටියේ කුමක් ගැනද? එනම් ස්ආඅජාද යන අකුරු පහය. ඒවායෙහි තේරුම කුමක්ද? තවද මෙතරම් හදිසි වීමට හේතුව මන්ද?
එම රැස්වීමට පැමිණි ප්‍රවීණයන්ගෙන් කෙනෙක් වූයේ, භූ භෞතික විද්‍යාඥයෙක් හා ස්ආඅජාද යන්නෙහි “පියා” වූ ෆ්‍රෑන්ක් ප්‍රෙස්ය. අවුරුදු එකොළොසකට පෙර, ස්වාභාවික ආපදාවලට එරෙහිව සිය සටන වැඩිවර්ධනය කිරීම සඳහා, ආචාර්ය ප්‍රෙස් ජාත්‍යන්තර විද්‍යා ප්‍රජාව රැස්කිරීමට පටන්ගත්තේය. අවුරුදු පහකට පසු, 1989 දෙසැම්බර්හිදී, 1990 සිට 2000 දක්වා දිව යන වර්ෂ, ස්වාභාවික ආපදා අඩු කිරීම සඳහා ජාත්‍යන්තර දශකය, නොහොත් ස්ආඅජාද ලෙස නියම කිරීමෙන්, ක්‍රියාවිරහිතව සිටීමට අවසානයක් සඳහා වූ ඔහුගේ ඉල්ලීමට එක්සත් ජාතීන් ප්‍රතිචාරය දැක්වීය. එහි ඉලක්කය කුමක්ද?
අදහස් වෙනස් කිරීම අවශ්‍යය
ස්වාභාවික ආපදා මගින් සිදු කරනු ලබන දුක්වේදනා, විනාශය, කඩාබිඳදැමීම් හා ජීවිත අහිමිවීම අඩු කරලීමට ස්ආඅජාද වූ කලි, සිය දැනුම හා සම්පත් එක්කොට එකට වැඩ කිරීම සඳහා, ජාත්‍යන්තර ප්‍රජාව වෙත කරන ලද ඉල්ලීමක් බව, බ්‍රසීල ජාතික භූ විද්‍යා මහාචාර්යද, ස්ආඅජාදහි විද්‍යා හා තාක්ෂණික කමිටුවේ සාමාජිකද, උම්බෙර්ටෝ ජී. කෝර්ඩානි පිබිදෙව්!හට පැවසීය. “එම පරමාර්ථය අත් කරගැනීමට, පශ්චාත්-ආපදා ප්‍රතික්‍රියා සිට පූර්ව-ආපදා ක්‍රියාකාරකම් දක්වා අවධානයේ ජාත්‍යන්තර වෙනස් වීමක් අවශ්‍ය” බව ආචාර්ය කෝර්ඩානි අවධාරණය කළේය.
කෙසේවෙතත්, දශකයක් නියම කිරීමට වඩා ලෝක ව්‍යාප්ත චින්තනය වෙනස් කිරීම බෙහෙවින් වඩාත් අමාරු දෙයකි, මන්දයත් යුනෙස්කෝ එන්වයරන්මන්ට් ඇන්ඩ් ඩිවෙලප්මන්ට් බ්‍රීෆ්ස් ප්‍රකාශ කරන පරිදි, “තීරණය ගන්නන් නිවාරණය පසක තබමින්, සහනය සැපයීම මත අවධානය යොමු කිරීමට ප්‍රවණතාවක් දක්වන” බැවිනි. උදාහරණයක් ලෙස, ලතින් අමෙරිකාවේ, ස්වාභාවික උවදුරු පාලනය කෙරෙහි වැය කරන මුළු මුදලින් සියයට 90ක්ම උවදුරු සහනාධාර මත වැය වන අතර, නිවාරණය සඳහා සියයට 10කට වඩා අඩුවෙන් වැය වේ. ස්ටොප් ඩිසාස්ටර්ස් යන ස්ආඅජාදහි පුවත් හසුන සටහන් කරන පරිදි, සියල්ල සලකා බලන කල, “ආපදාව මඟහැරීමට හෝ අඩු කිරීමට හෝ දායක වීමට තිබූ එතරම් චිත්තාකර්ෂණීය නොවන පියවර සඳහා බදු ඉල්ලා සිටීමට වඩා, ආපදාවලට ගොදුරු වූවන්ට සහනය සැපයීමෙන්” දේශපාලනඥයෝ වැඩි ආධාර ලබති.
ඉලක්ක ස්ථාපිත කිරීම
මෙම වැය කිරීමේ නැඹුරුවාව වෙනස් කිරීමේ අටියෙන්, එක්සත් ජාතීන් දශකය සඳහා ඉලක්ක තුනක් නිර්වචනය කළේය. වර්ෂ 2000 වන විට, සෑම රටක්ම (1) ස්වාභාවික ආපදා මගින් එල්ල කරනු ලබන අවදානම් පිළිබඳ තම තක්සේරුව, (2) දිගුකාලීන සූදානම හා නිවාරණ සැලසුම් සහ (3) අනතුරු ඇඟවීමේ පද්ධති සූදානමින් තැබිය යුතුය. ස්ආඅජාදහි දර්ශනය හා හොඳ චේතනා නිශ්චිත සැලසුම් දක්වා පරිවර්තනය කිරීම සඳහා ජාතික කමිටු පිහිටුවනු ලැබූ අතර, 1994 මැයි මාසයේදී, එජා අනුග්‍රහය යටතේ පැවැත්වූ ස්වාභාවික ආපදා අඩු කිරීම පිළිබඳ ලෝක සම්මන්ත්‍රණයකට ජපානය සත්කාරක රට වශයෙන් ක්‍රියා කළේය. මෙම ක්‍රියාකාරකම් සියල්ල සැලසුම් කර තිබූ නිසාත්, නැතහොත් ක්‍රියාත්මක වෙමින් තිබූ නිසාත්, බූට්‍රොස්-ඝාලි සෑහීමට පත් නොවී සිටියේ මන්ද? කලඹවනසුලු ප්‍රවණතාවක් තිබූ නිසාය.
කරදර සහිත ප්‍රවණතාවක්
එක් අතකට, ස්ආඅජාදහි වෑයම් සාර්ථක වෙමින් පවතී. ආපදා අඩු කිරීම පිළිබඳ විද්‍යාඥයන්ගේ අවබෝධය වැඩිවී තිබෙන අතර, වැඩිදියුණු කරන ලද අනතුරු ඇඟවීමේ පද්ධති වැනි පියවර සමහරක්, ජීවිත ගළවන අතර අලාභහානි අඩු කරන්නේය. කෙසේවෙතත්, ස්ආඅජාදහි ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ආචාර්ය කාර්ලෙ ඕලාවී එලෝ සටහන් කරන පරිදි, මෙම අත් කරගැනීම් හමුවේ පවා, “ආපදාවල සංඛ්‍යාව හා විශාලත්වය දිගටම වර්ධනය වෙමින් පවතින අතර, වැඩිවන ජන සංඛ්‍යාවක් එහි බලපෑම්වලට හසුවේ.” “එක්දහස් නවසිය හැටගණන් සිට 1980 ගණන් දක්වා තුන්ගුණයක වැඩිවීමක්ද,” “90ගණන්වල තවත් දැවැන්ත වැඩිවීමක්ද” අප දැක තිබෙනවායයි තවත් එජා විශේෂඥයෙක් සනාථ කරයි. ඇත්තෙන්ම, ප්‍රධාන ආපදා 434ක් මගින් ලෝක ව්‍යාප්තව 1,62,000ක ජනකායක් ජීවිතක්ෂයට පත්වූ අතර, 1992දී, අලාභහානි ඩොලර් (එ.ජ.) බිලියන 62කට වඩා වැඩිවිය. ලෝකය “ශෝකජනක විධිමත්භාවයකින් අර්බුද හටගැන්වීමට සලස්වමින්, ආපදා යන්ත්‍රයක්” බවට පත්වී ඇතැයි එජාසංවැහි (එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩපිළිවෙළ) පරිපාලක ජේම්ස් ජී. ස්පෙත් නිගමනය කරයි. (යූඑන්ඩීපී අප්ඩේට්, 1993 නොවැම්බර්) මෙම කලඹවනසුලු ප්‍රවණතාව පිටුපස කුමක් පවතීද?
වැඩිවීමක් මන්ද?
පිළිතුරක් සැපයීමට, පළමුව ස්වාභාවික උවදුරක් හා ස්වාභාවික ආපදාවක් අතර වෙනස සැලකිල්ලට ගන්න. පළමු එක වූ කලි, ජලගැලීමක් හෝ භූමිකම්පාවක් වැනි, ආපදාවක් වීමට හැකියාවක් තිබෙන මුත්, සැමවිටම එසේ නොවන ස්වාභාවික සිද්ධියක් වේ. උදාහරණයක් වශයෙන්, බ්‍රසීලයේ ජනාවාස නොකරන ලද ඇමසන් ද්‍රෝණියේ ජලගැලීම් වනාහි අල්ප වශයෙන් හානි සිදු කරන ස්වාභාවික සිද්ධීන් වේ. කෙසේවෙතත්, බංගලාදේශයේ බෙහෙවින් ජනාවාස වූ ගංගා නම් ගඟේ ඩෙල්ටාවේ සිදුවන ජලගැලීම් හේතුවෙන්, විශාල වශයෙන් පැතිර යන මානව, ද්‍රව්‍යමය හා පරිසර අලාභහානි සිදුවේ. බොහෝදුරට එවන් අලාභහානි කොතරම් ව්‍යසනකාරිද කිවහොත්, පහර ලැබූ ප්‍රජාවන්ට බාහිර උපකාර නොමැතිව ඊට සාර්ථකව මුහුණදිය නොහැක. ඒ අවස්ථාවේදී, එම ස්වාභාවික උවදුර ස්වාභාවික ආපදාවක් බවට හැරී ඇත. එහෙත්, මිනිසා හා ස්වභාවධර්මයා අතර මෙම ව්‍යසනකාරි ඝට්ටන වැඩිවර්ධනය වන්නේ මන්ද?
“වඩාත් ප්‍රබල වූද, නිතර නිතර සිදුවන්නාවූද උවදුරුවලට ප්‍රවණතාවක්,” “දායක වන හේතුකාරකයක්” විය හැකි බව, ආපදා විශේෂඥ ජේම්ස් පී. බෲස් සටහන් කරයි. කෙසේවෙතත් ආපදාවල වැඩිවර්ධනයට ප්‍රධාන හේතුකාරකය වූ කලි, ස්වාභාවික උවදුරුවල වැඩිවර්ධනයක් නොව, නමුත් මෙම උවදුරුවලට මිනිසා වැඩි වැඩියෙන් නිරාවරණය වීම බව ඔහු හා වෙනත් විද්‍යාඥයෝ එකඟ වෙති. වර්ල්ඩ් හෙල්ත් නම් සඟරාව පැහැදිලි කරන පරිදි, මෙම වැඩි වැඩියෙන් නිරාවරණය වීම, “ජන විකාස, පරිසරවිද්‍යාත්මක හා තාක්ෂණික තත්වයන්වල මිශ්‍රණයක්” මගින් සිදුවේ. මෙම ආපදා සිදු කිරීමට දායක වන මිශ්‍රණයේ සංඝටක සමහරක් කවරේද?
එක් දෙයක් නම්, ප්‍රසාරණය වෙමින් පවතින ලෝක ජනගහනයයි. මිනිස් පවුලේ ප්‍රමාණය අඛණ්ඩව වැඩිවර්ධනය වනවාත් සමඟම, ලෝකයේ බිලියන 5.6ක ජන සංඛ්‍යාවෙන් සමහරෙකු යම් ස්වාභාවික උවදුරකට ලක්වීමට තිබෙන ඉඩ කඩද වැඩිවර්ධනය වෙමින් පවතී. එපමණක්ද නොව, ජනගහන පීඩනය නිසා, ස්වභාවධර්මයාගෙන් නිරතුරුව ප්‍රහාරවලට ලක්වීමට සුප්‍රසිද්ධ වූ ප්‍රදේශවල ආරක්ෂාවක් සලසා නොදෙන ගොඩනැඟිලිවල ජනාවාස වීමට මිලියන ගණන් දුප්පත් ජනයාහට බල කරයි. ප්‍රතිඵලය පුදුමයට හේතුවක් නොවේ: 1960 සිට, ලෝක ජනගහනය දෙගුණ වී ඇති මුත්, ආපදාවලින් සිදුවී තිබෙන අලාභහානි දහගුණයකින් පමණ වැඩිවී ඇත!
පරිසරයේ වෙනස්කම් පවතින ගැටලු තවත් වැඩි කරයි. නේපාලය සිට ඇමසන් වනය දක්වාද, උතුරු අමෙරිකානු තණබිම් සිට ශාන්තිකරයේ දූපත් දක්වාද, මිනිසා වනාන්තර එළි පෙහෙළි කරමින් සිටී, භූමියෙහි අධික ලෙස වගා කරමින් සිටී, වෙරළාසන්න බාධක විනාශ කරමින් සිටී, එමෙන්ම පරිසරයට හානි පමුණුවන වෙනත් දේවල්ද කරමින් සිටී—නමුත් මීට ඵලවිපාක නැති බව අදහස් කරනවා නොවේ. “අප අපේ පරිසරයේ දරාගැනීමේ ශක්තිය මත පීඩා පමුණුවමින්, එහි ස්වභාවය වෙනස් කරනවාත් සමඟම, ස්වාභාවික උවදුරක් ආපදාවක් බවට පත්වීමට තිබෙන ඉඩ කඩ බෙහෙවින් වැඩිවේ” යයි ස්ආඅජාදහි අධ්‍යක්ෂක වූ රොබර්ට් හැමිල්ටන් කියයි.
කෙසේවෙතත් අදදින සිරස්තලවල දක්නට ලැබෙන ආපදා පිළිබඳ වැඩිවෙමින් පවතින වාර්තා ගණනට මිනිසාගේ ක්‍රියා දායක වන්නේ නම්, ඊට ප්‍රතිවිරුද්ධ දෙයද සැබෑවක් විය යුතුය: නිවාරක පියවර ගැනීමෙන්, මිනිසාට හෙටදින සිරස්තල වෙනස් කළ හැක. මරණය හා විනාශය අවම කළ හැක. උදාහරණයක් වශයෙන් ප්‍රවීණයන් පවසන පරිදි, භූමිකම්පා හේතුකොටගෙන සිදුවන මරණවලින් සියයට 90ක් වැළැක්විය හැක. කෙසේවෙතත්, නිවාරණය සඳහා කරන තර්ක බලපෑමෙන් යුත් ඒවා වුවද, බොහෝදෙනෙකු ආපදා දිගටම සලකන්නේ අනිවාර්යයෙන්ම සිදුවන යමක් හැටියටය. මෙම දෛවවාදී දෘෂ්ටිය “ආපදා අවම කිරීමට තිබෙන එකම ප්‍රධාන වූ බාධකය” බව යුනෙස්කෝ එන්වයරන්මන්ට් ඇන්ඩ් ඩිවෙලප්මන්ට් බ්‍රීෆ්ස් වාර්තා කරයි. එම බාධකයේ ඔබ සිටින්නේ කුමන පැත්තේද?
අනිවාර්යයද නැතහොත් අඩු කළ හැකිද?
විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල අසරණභාවයේ මෙම හැඟීම පුළුල්ව පැතිර පවතී—ඇරත් මෙය පුදුමයක්ද! පසුගිය අවුරුදු 50 තුළ ස්වාභාවික ආපදා මගින් ජීවිතක්ෂයට පත්වූ සියලු ජනයාගෙන්, සියයට 97ක්ම ජීවත්වූයේ සංවර්ධනය වෙමින් පවතින ලෝකයේය! ස්ටොප් ඩිසාස්ටර්ස් සටහන් කරන පරිදි, මෙම රටවල් සමහරක, “ආපදා සිදුවන වාර ගණන කොතරම් ඉහළද කිවහොත්, එක් ආපදාවක අවසානය හා තවෙකක ආරම්භය වෙන් කොට දැක්වීම අපහසුය.” ඇත්තෙන්ම කියනවා නම්, ආපදා සියල්ලකින්ම සියයට 95ක්ම සංවර්ධනය වෙමින් පවතින ලෝකයෙහි සිදුවේ. දිළිඳුකම, විරැකියාව, ඉතා පහත් ජීවන තත්ව වැනි පෞද්ගලික ආපදාවල නිමක් නැති චක්‍රය අප ඊට එකතු කරනවා නම්, හරියටම ඉහළ නඟින රැල්ලක් මෙන් අසරණභාවය දුප්පතුන්ව ගිලගැනීමට හේතුව ඔබට දැකගත හැක. නිරතුරුව සිදුවන ආපදා මගින් සිදු කරනු ලබන අලාභහානි ඔවුහු ජීවිතයේ තික්ත වුවද දෛවයෙන් නියම කරන ලද කොටසක් වශයෙන් පිළිගනිති. කෙසේවෙතත් මෙම අලාභහානි අනිවාර්යයෙන්ම සිදුවිය යුතුද?
ඔබට කළ හැකි දේ හා කළ නොහැකි දේ
ඔබට ස්වාභාවික උවදුරු සිදුවන වාර ගණනවත්, ඒවායෙහි තීව්‍රතාවවත්, පාලනය කළ නොහැකි බව සැබෑවක් වුවද, එනිසා ඔබ සම්පූර්ණයෙන්ම අසරණ තත්වයකට පත්වනවා නොවේ. මෙම සිදුවීම්වලට ඔබ නිරාවරණය වන වාර ගණන ඔබට අඩු කළ හැක. ඒ කෙසේද? මෙම සැසඳීම ගැන කල්පනා කර බලන්න.
සමේ පිළිකාව (ආපදාව) වැළැක්වීමට හිරුට (ස්වාභාවික සිදුවීම) නිරාවරණය වීම අඩු කිරීමට කෙනෙකුට වුවමනා බව අපි කියමු. ඔහුට ගතහැකි පියවර කවරේද? ඔහුට හිරු නැඟීම හා බැසීම (සිදුවීම සිදුවන වාර ගණන) පාලනය කළ නොහැකි බව අමුතුවෙන් කිව යුතු නොවේ. තම පරිසරයට පැමිණෙන හිරුඑළිය (සිදුවීමේ තීව්‍රතාව) අඩු කිරීමටවත් ඔහුට බැරිය. එහෙත් එනිසා ඔහු අසරණ තත්වයකට පත්වේද? නැත, හිරුට නිරාවරණය වීම ඔහුට අඩු කළ හැක. උදාහරණයක් වශයෙන්, දවසේ වඩාත් උෂ්ණාධික කොටසේදී ඔහුට ඇතුළෙහි සිටිය හැක, එසේ නැතහොත් එය කළ නොහැකි නම්, ඔහු එළිමහනේ සිටින විට, ඔහුට තොප්පියක් හා ආරක්ෂාව සලසා දෙන වස්ත්‍ර පැළඳිය හැක. හිරුට (සිදුවීම) එරෙහිව ඔහු ලබන ආරක්ෂාව මින් වැඩි කරනු ලබන අතර, සමේ පිළිකාවට (ආපදාව) ගොදුරු වීමට ඔහුට මුහුණදීමට සිදුවන අවදානම ඉන් අඩු කරනු ලැබේ. ඔහු ගන්නා නිවාරක ක්‍රියාමාර්ග වෙනසක් සිදු කළ හැක!
ඒ හා සමානව, යම් ස්වාභාවික උවදුරක බලපෑමට එරෙහිව ඔබේ ආරක්ෂාව වැඩි කරන පියවර ගැනීමට ඔබටත් හැක. එමගින්, ආපදාවක් පහර දෙන විට ඔබ ඊට ගොදුරු වීමට තිබෙන ඉඩ කඩද අලාභහානිද අඩු කරගන්නවා ඇත. සංවර්ධිත ලෝකයේ ජීවත්වන අය සඳහා, “ඔබ සූදානම්ද?” යන කොටුවේ යෝජනා උපකාරවත් විය හැක. තවද ඔබ සංවර්ධනය වෙමින් පවතින ලෝකයෙහි ජීවත්වන්නෙහි නම්, “ක්‍රියාත්මක වන මිල-අඩු වැඩිදියුණු කිරීම්,” යන කොටුවෙහි උදාහරණ, දැන් ගත හැකි සරල පියවර සමහරක් පිළිබඳව අදහසක් ඔබට ලබා දිය හැක. ජීවිත බේරාගැනීමටත්, අලාභහානි අඩු කිරීමටත් මේවා මහෝපකාරි විය හැක. අදදින පවතින තාක්ෂණය හේතුකොටගෙන, “දෛවවාදය තවදුරටත් පිළිගත හැකි දෙයක් නොවේ” යයි භූ භෞතික විද්‍යාඥ ෆ්‍රෑන්ක් ප්‍රෙස් සිහිගන්වයි. ස්වාභාවික ආපදා ගත් කල, සුවයට වඩා නිවාරණය වඩාත් හොඳ බවට කිසිදු සැකයක් නැත.
[6වන පිටුවේ කොටුව]
ඔබ සූදානම්ද?
එක්සත් ජනපද ෆෙඩරල් හදිසිතා පරිපාලන නියෝජ්‍ය ආයතනය උවදුරු සමඟ සාර්ථකව කටයුතු කිරීම සඳහා ක්‍රම කිහිපයක්ම නිර්දේශ කරයි. සමහරක් මූලික කාරණා මතු දැක්වේ.
තොරතුරු ලබාගන්න. ඔබේ ප්‍රදේශයේ තිබෙන හදිසිතා පරිපාලන කාර්යාල සමඟ සම්බන්ධ වී, ඔබ සිටින ප්‍රජාවට පහර දිය හැකි ආපදා මොනවාදැයි විමසන්න. ඔබට මින් සමහරක් ගැන අවබෝධයක් තිබෙන මුත්, වෙනත් ඒවායින් ඔබ පුදුමයට පත්විය හැක. ඔබේ නිවස ස්වාභාවික උවදුරුවලට නිරාවරණය වී තිබෙන බව ඔබ දැනගන්නෙහි නම්:
◻ ඔබ පවුල සමඟ එක්රැස් වී, ඔබට තර්ජනයක් විය හැකි විවිධ උවදුරු සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. ඒ එක් එක් අවස්ථාවේදී කුමක් කළ යුතුදැයි පැහැදිලි කරන්න.
◻ එවන් සිද්ධියකදී ඔබේ පවුල වෙන් වුවහොත්, ඔබ එකිනෙකා අතර සම්බන්ධකම් පවත්වන්ට යන අන්දම සැලසුම් කරන්න. ඔබ හමුවීමට යන ස්ථාන තෝරාගන්න: ගින්නක් වැනි, වහා ඇතිවන හදිසිතාවකදී, ඔබේ නිවසින් පිට ස්ථානයක්, එමෙන්ම ඔබට නිවස වෙත යළි පැමිණිය නොහැකි නම්, ඔබේ අසල්වැසි ප්‍රදේශයෙන් පිටත තවත් ස්ථානයක්.
◻ ඔබ හමුවීමට සැලසුම් කර තිබෙන ස්ථානය කරා ඔබට ළඟාවිය නොහැකි නම්, ඔබේ පවුලට සම්බන්ධ වීමට හැකිවන පරිද්දෙන් මිතුරෙකුට ඉදිරිපත් වීමට ඉල්ලා සිටින්න, පවුලේ සියලුම සාමාජිකයන්ට මේ ස්ථානය හා සම්බන්ධ වී තමුන් සිටින ස්ථානය දැන්විය හැක. ඔබේ ප්‍රදේශයෙන් බැහැරව සිටින මිතුරෙකු තෝරාගන්න, මන්දයත් ආපදාවකින් පසු, හානියට ලක්වී තිබෙන ප්‍රදේශයක් තුළ සිටින කෙනෙකුට දූරකථනයෙන් ඇමතීමට වඩා, දුර ඇමතුමක් කිරීම බොහෝදුරට වඩාත් පහසු වන බැවිනි. මෙම මිතුරාට අමතන අන්දම දරුවන්ට උගන්වන්න. ඔබට ප්‍රදේශය අත්හැර යෑමට සිදුවන විට කුමක් කළ යුතුදැයි සාකච්ඡා කරන්න. විශේෂ උපකාර ලැබීමේ අවශ්‍යතාවක් තිබිය හැකි ඔබේ අසල්වාසීන්ට ඔබ උපකාර කරනු ඇති අන්දම සලකා බලන්න. ඔබේ සුරතල් සතුන් බලාගැනීමට යන අන්දම සැලසුම් කරන්න.
◻ සෑම දූරකථනයක් ළඟ හදිසිතාවකදී භාවිත කරන දූරකථන අංක ප්‍රසිද්ධියේ දැකගැනීමට සලස්වන්න.
◻ ප්‍රධාන විදුලි විලායක පෙට්ටියද, ප්‍රධාන ජල සැපයුම් පයිප්පයද, ස්වාභාවික ගෑස් සපයන නලයද තිබෙන ස්ථාන කොතැනදැයි පෙන්වන්න. මේවා ක්‍රියා විරහිත කරන්නේ කෙසේදැයි එමෙන්ම, කුමන අවස්ථාවේදීදැයි වගකිව යුතු පවුලේ සාමාජිකයන්ට පෙන්වන්න, තවද ප්‍රධාන වහරුව ළඟ අත්‍යවශ්‍ය ආවුද තබා යන්න.
◻ ගින්නක් සඳහා සූදානමින් සිටින්න. විශේෂයෙන් නිදන කාමර අසල, දුම් පරීක්ෂක උපකරණ සවි කරන්න.
[8වන පිටුවේ කොටුව]
ක්‍රියාත්මක වන මිල-අඩු වැඩිදියුණු කිරීම්
ලෝක ජනගහනයෙන් සියයට පහකට මදක් අඩු සංඛ්‍යාවක්, සතියකට ඩොලර් පහක් හෝ ඊට වඩා අඩු ප්‍රමාණයක් මත යැපෙන බව, ලෝක බැංකුව වාර්තා කරයි. ඔබ එවන් තත්වයක සිටියත්, ඔබට ක්‍රියාවෙහි යෙදවිය හැකි, සාර්ථක බවට ඔප්පු වී තිබෙන පියවර ඇති බව විශේෂඥයෝ පවසති. මේවා පිළිබඳ අවබෝධයක් ලබන්න, මන්දයත් පෙරූ ජාතික ආපදා විශේෂඥ ආල්බෙර්ටෝ ගීසෙකෙ අවධාරණය කරන පරිදි, අධ්‍යාපනය වනාහි “ප්‍රධානතම මිල-අඩු අඩු කරගැනීමේ පියවරක්” වන බැවිනි. දකුණු අමෙරිකාවෙන් උදාහරණ දෙකක් මෙන්න:
වඩාත් හොඳ මෝඩ ගඩොල්වලින් තනන ගෙවල්, නොහොත් මැටි ගෙවල් සෑදීමට කුමක් කළ හැකිදැයි මිටිගේටිං නැචුරල් ඩිසාස්ටර්ස් යන එජා අත්පොත පැහැදිලි කරයි:
◻ කඳුකර භූමි ප්‍රදේශවල, නිවසට වේදිකාවක් සකස් කරදීම සඳහා භූමි ප්‍රදේශය හාරා සමතලා කරන්න.
◻ වඩාත් ශක්තිසම්පන්න වන්නේ චතුරස්‍රාකාර ගෙවල්ය; ඔබට ඍජුකෝණාස්‍රයක හැඩයක් අවශ්‍ය නම්, එක් බිත්තියක් අනිකට වඩා දෙක හමාරකට වැඩි ගුණයක දිගකින් යුක්තව ගොඩනඟන්න.
◻ භූ කම්පන බල අවම කිරීමට පර්වත හෝ කොන්ක්‍රීට් අත්තිවාරම් උපයෝගි කරන්න.
◻ එකම බරකින්, ශක්තියකින් හා උසකින් යුත් සමාන්තර බිත්ති ගොඩනඟන්න. ඒවා තුනීව හා මිටිව ගොඩනඟන්න. සම්මත මැටි ගෙයකට වඩා මෙලෙස ගොඩනඟා තිබෙන ගෙවල්වලට භූමිකම්පාවකදී වඩාත් අඩු අලාභහානි සිදුවේ.
සම්ප්‍රදායික දැලිස් වැඩ (ඛින්චා) ඉදි කිරීම් තවත් සාර්ථක බවට ඔප්පු වී තිබෙන උපක්‍රමයකි. ගොතන ලද බට හා කුඩා අතුවලින් යුත් ඛින්චා ගෙවල්වලට ආධාරක වශයෙන් තිරස් හා සිරස් කණු භාවිත කෙරෙන අතර, මැටි භාවිත වෙන්නේ ඉතා අල්ප වශයෙනි. සෙන්ටිමීටර් 10ක් සිට 15ක් දක්වා ඝනකමක් ඇති බිත්ති සහිත මෙවන් ව්‍යූහයක් නිසා, භූමිකම්පාවක් අතරතුරේදී ගෙවල්වලට සෙලවීමට ප්‍රස්තාව සැලසේ, තවද භූමිකම්පාව නතර වන විට, එම ගොඩනැඟිලි යළිත් මුල් ව්‍යූහයට සකස් වේ. වර්ෂ 1991දී භූමිකම්පාවක් සිදුවූ විට, එලෙස නිර්මාණය වී තිබූ ගෙවල් නොසැලී පැවති අතර, මීටරයක් ඝනකම ඇති ස්ථිර බිත්ති සහිත, වෙනත් නිවාස 10,000ක් පමණ 35දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් බිඳ වැටුණේය. යුනෙස්කෝ ගෘහ නිර්මාණ ශිල්පි ජොන් බේනන් පවසන පරිදි, භූමිකම්පා මිනිසුන්ව ජීවිතක්ෂයට පත් නොකරයි; එසේ කරන්නේ බිඳ වැටෙන ගොඩනැඟිලිය.
[7වන පිටුවේ පින්තූරය]
මිනිසා, ඇතැම් පෙදෙස්වල වගවිභාගයකින් තොරව වනාන්තර එළි පෙහෙළි කරමින්, තව තවත් ස්වාභාවික ආපදාවලට මඟ පාදමින් සිටියි