ඔබ පිට කොන්දේ අමාරුවෙන් පෙළෙනවාද?
“වේදනාව ඉතා දරුණු ලෙස තිබුණා. කවුදෝ ගිනිකූරකින් මගේ කොන්දට ගිනි තියලා වගෙයි දැනුණේ! මගේ කුඩා බෑනාව බිම තිබුණු බිඳුණු වීදුරු කෑලිවලින් ඉවතට ගන්න යනවා පමණයි මට මතක තිබුණේ, ඒත් එක්කම එකපාරටම මගේ මුළු කොන්දම ගිනි ගන්නාක් මෙන් දාගෙන ගියා. කෙළින් වීමට නොහැකිව, මා දවස් ගණනක් එම ඉරියව්වෙම හිටියා. මා පෙර කිසිදාක එවන් වේදනාවක් විඳලා නෑ,” යයි 32 හැවිරිදි ගෘහණියක් වූ දරුවන් දෙදෙනෙකුගේ මවක් වන කැරන් විස්තර කරන්නීය.
එක්සත් ජනපදයේ පිට කොන්දේ අමාරුවෙන් පීඩිත අයගේ සංඛ්‍යාව ගත් කල, එය දෙවෙනි වන්නේ හිසේ කැක්කුමට පමණි. එය වයස 45ට අඩු අයවලුන්ට දිගු-කාලීන ආබාධයක මූලික හේතුකාරකයක් වන අතර 45ට වඩා වයසින් වැඩි අයවලුන් අතර තෙවන මූලික හේතුකාරකයකි. වේදනා විඳින්නෝ සහනය සොයමින් වසරකට ඩොලර් බිලියන 24ක් පමණ වියදම් කරති—එය 1991දී ඒඩ්ස්වලට ප්‍රතිකාර කිරීම සඳහා වියදම් කළාට වඩා හතර ගුණයකින් වැඩි විය.
පිට කොන්දේ අමාරුව සම්බන්ධයෙන් විද්‍යානුකූල පර්යේෂකයෙකු වූ, වෛද්‍ය ආල්ෆ් එල්. නාකෙම්සන් පවසන පරිදි, ඉකුත් දශකයේදී ලොවපුරා රෝගීන් බිලියන දෙකක් කොන්දේ පහළ කොටසේ වේදනාවෙන් පෙළුණහ. “ඇතැම්විට අපගේ ක්‍රියාකාරී ජීවිත තුළදී අපගෙන් සියයට 80ක් යම් දුරකට පිට කොන්දේ අමාරුව අද්දකිනවා,” යයි ඔහු පැවසීය.
වේදනා දාමයක්
පිට කොන්දේ අමාරුව වෙනසක් නැතිව සැමටම සෑදේ. කම්කරුවන් හා කාර්යාලීය සේවකයන් යන දෙපක්ෂයටම කොන්දේ පීඩා ඇති වීමට නැඹුරුවාවක් තිබේ. ස්ත්‍රී පුරුෂ, බාල මහලු සියලු දෙනාම මෙම වේදනාවට ගොදුරු විය හැක. වේදනාව වරින්වර ඇති වන විට හා නොනැවතීP පවතින විට, චිත්තවේගීය වේදනාවද ඇති කරමින්, එය රැකියාවට, ආදායමට, පවුලට හා පවුල තුළ තම කාර්යභාරයට බලපායි. කෙසේද?
ජනයා වේදනා දාමයක සිටින බව ඔවුන්ටම දැනේ යයි ද ෆයිට් අගේන්ස්ට් පේන් පොතේ සඳහන් කරයි. ශාරීරික වේදනාව, වඩා බලවත් හා නොකඩවා පවතින වේදනාවකට පවා මඟ පෑදිය හැකි කාන්සාව හා විෂාදය ඇති වීමට සලස්වයි. උදාහරණයක් වශයෙන්, තරුණ දෙමව්පියෙකුට හෝ පවුල නඩත්තු කරන්නෙකුට හෝ පිට කොන්දේ අමාරුවලින් ඇතිවිය හැකි බාධාව හේතුවෙන් රැකියාවෙන්, පවුලෙන් හා මිතුරන්ගෙන් පැමිණෙන පීඩන සමඟ කටයුතු කිරීමට සිදුවිය හැක.
“මට දැනෙන්නේ මගේ පවුලේ සහ මිතුරන්ගේ පැත්තෙන් තේරුම්ගැනීමේ හා අනුකම්පාවේ හීනකම ලොකුම ගැටලුව වන බවයි. ඔබ ඇත්තෙන්ම කෙතරම් වේදනාවක් විඳිනවාදැයි තේරුම් නොගෙන වේදනාව අවම එකක් බව පෙන්වීමට ජනයා නැඹුරු වෙනවා,” යයි පළමු වතාවට 1986දී බොහෝ පිට කොන්දේ අමාරුවලින් පහර ලැබූ 35 හැවිරිදි ලේකම්වරියක් වූ පැට් පැවසුවාය. “වේදනාව පැන නගින්නේ කොයි මොහොතේද හෝ කොතැනද කියා ඔබ නොදන්නා බැවින්, බොහෝ සැලසුම් කිරීම් නොකිරීමට ඔබ නැඹුරු වේ. ඔබ සම්පූර්ණයෙන්ම වාගේ සමාජ ආශ්රයෙන් වැළකීමට, ආරාධනා පිළිනොගැනීමට, යමෙකුගේ අලුත උපන් දරුවෙකු වඩා නොගැනීමට, සිනා නොවීමට පවා හැක, මේ සියල්ල ඔබ වේදනා විඳින නිසාය. ඔබ ඉඩ හැරියොත් වේදනාව ඔබව පාලනය කිරීමට එයට හැකියි.”
පිට කොන්ද රිදීමට හේතුව
පිට කොන්දේ අමාරුව වැළැක්විය නොහැකිද? එය සැහැල්ලු කිරීමට හෝ එයින් වැළකීමට ඔබට කුමක් කළ හැකිද? ඔබ ඔබේ පිට කොන්දේ අමාරුව සඳහා වෛද්‍ය උපකාර පැතිය යුත්තේ කුමන අවස්ථාවේදීද? නොකඩවා පවතින පිට කොන්දේ අමාරුව බොහෝ අභ්‍යන්තර රෝග තිබෙන බව සලකුණු කළ හැකි වුවත්, මෙම සාකච්ඡාව යොමුවනු ඇත්තේ පිට කොන්දේ අමාරුවලට තුඩු දෙන හේතුකාරක දෙකක් වෙතය—ඒවා නම් කොඳු ඇට පෙළේ හෙවත් කශේරුකා අභ්‍යත්තරයේ මඬල පිපිරීම හා පේශි ගැස්මය.
යෞවනයන් සහ මැදිවියේ වැඩිහිටියන් අතර කශේරුකා අභ්‍යන්තරයේ මඬල පිපිරීම පිට කොන්දේ රෝගවලට ප්‍රධාන හේතුකාරකයකි. එවන් මඬල බොහෝ විට හඳුන්වනු ලබන්නේ “ඉවතට පැන ආ මඬල,” ලෙසය, ඒවාට නිසි ස්ථානයෙන් ඇතුළට හෝ පිටට පැන ඒමට නොහැකි බැවින්, එය වැරදි නමකි.
කෙනෙක් සිය 20 ගණන්වලට පැමිණෙන විට, මඬලවල සවිවර අභ්‍යන්තරයේ ඇදෙන ගතිය හා තෙතමනය අඩුවීමට පටන්ගනියි, මෙය මඬල ඇකිළීමට සලස්වයි. එහෙත් මෙය සාමාන්‍යයෙන්ම වේදනාවට හේතුවන්නක් නොවේ. කෙසේවුවත්, ඇතැම් අයවලුන් සඳහා, බලවත් වේදනාව හටගන්නේ සවිවර අභ්‍යන්තරයෙන් කොටසක් තන්තුමය පටකයේ පිටත වළල්ල පසාරු කරගෙන යමින් පිපිරූ විට නැතහොත් ඉදිරියට නෙරා එන විටය.
මඬල සම්බන්ධයෙන් ෆොර්චුන් සඟරාව මෙසේ විස්තර කරයි: “එක්තරා අවධියකදී ඒවා පිරිහීගිය විට, ඉතා සුළු වෙහෙසීමක්—එනම් කිඹුහුමක් යෑම හෝ ස්ටීරියෝ යන්ත්‍රයක් එහා මෙහා කිරීමට නැමීම වැනි සුළු දෙයක්—ඒවා තුළ වේදනාව ඇති කරන අවසාන හේතුකාරකය විය හැක.”
මඬල මුල් කශේරුකා 24 අතර හෝ කොඳු ඇට පෙළේ ඇට අතර කම්පනය උරාගන්නන් වශයෙන් ක්‍රියා කරයි. මෙම ඇට එකිනෙක මත පිහිටා ඇති අතර එමගින් සිරස් මාර්ගයක් වන කශේරු නාලය සෑදී, එතුළින් සුෂුම්නාව දිවේ. සෑම කශේරුකා යුගළක් අතරෙහිම කුඩා විවරයක් තිබෙන අතර එයින් ස්නායු මූලය ලෙසින් හැඳින්වෙන ස්නායු පොදියක් නාලයෙන් ඉවත් වේ, නාලයේ දෙපැත්තේම එක පොදිය බැගින් පිහිටා තිබේ. මඬලක් පිපිරිය හැකි අතර විශේෂ ස්නායුවකට තද විය හැක. ශරීරයේ වෙනත් කොටස්වලින් පැමිණෙන හා ඒවාට සංවේදන ගෙන යන ස්නායු සංඥාවලට බාධා කිරීමට මෙම පීඩනයට හැකියි.
උදාහරණයක් වශයෙන්, ස්ඓච (කලවයේ පිටුපස ආශ්රිත) ස්නායුවේ මුල්වලට පීඩනය යෙදී තිබුණහොත්, ස්ඓචයාව වශයෙන් ප්‍රසිද්ධ ඉතා වේදනාකාරි තත්ත්වයක් හටගත හැක. පිට කොන්දේ පහළ කොටසින් මතුවන ස්නායු මුල් කීපයකින් ස්ඓච ස්නායුව සෑදේ. කලවා පිටුපසින් පහළට දණහිස දක්වා දිවෙන හා ඉන්පසු වෙනත් ස්නායු තුළට අතු බෙදී යන මෙම මුල් එක බැගින් දෙපැත්තේම තිබේ. සාමාන්‍යයෙන්ම පිට කොන්දේ පහළ කොටසින් ඇරඹෙන ස්ඓච වේදනාව බොහෝ විට උකුළ, තට්ටම හා කලවයේ පිටුපස පහළට, සමහරවිට බත්කෙණ්ඩ හා යටි පතුල දක්වාද දිවෙයි. ප්‍රතිඵලයක් වශයෙන්, කෙනෙක් පාද ක්‍රියාවිරහිතවීමක්—එනම් පාදයේ පේශිවලට පා ඇඟිලි ඉස්සිය නොහැකි නිසා පාදය අද්දන තත්ත්වයක්—අද්දැකිය හැක. මෙයින් වේදනා විඳින්නෙක්, ඉඳිකටුවලින් අනින්නාක් මෙන් දැනීමද, හිරිවැටීමද එමෙන්ම රෝගයට ගොදුරු වූ පාදයෙහි පේශී දුර්වලත්වයද අත්විඳිය හැක.
මුත්‍රාශය හා අන්ත්‍ර ක්‍රියා කරවන, ඉණ එක්කම පහළින් ඇති ස්නායු කාණ්ඩයක් වන තුරඟ පුච්ඡය තුළ ස්නායු මුල් මත මඬල මගින් තෙරපීමක් කෙරේ නම්, පුද්ගලයෙකුට මළ මුත්‍ර පහකිරීමේ ගැටලු තිබෙන්නට පුළුවනි. මේවා දරුණු ස්නායුගත ගැටලුවලට ලක්ෂණ විය හැකි නිසා, මෙම රෝග ලක්ෂණ ඇති පුද්ගලයන් වහාම වෛද්‍යවරයෙකු මුණගැසිය යුතුය.
පිටේ පේෂි සංකෝචනය කරන විටත් ඉහිල් කරන විටත් ඒවා බන්ධන සමඟ සහයෝගී කාර්යයක් ඉටු කරයි, එනම් එමගින් කොන්ද එල්ලා වැටීමෙන් වළක්වනු ලබන අතර, එයට නැවීමටත් හැම අතට හැරීමටත් අවකාශ සැලසේ. කෙසේවුවද, වෙහෙසට පත්වී තිබෙන විට, කායික වශයෙන් දුර්වල වූ පේශියක ගැස්මක් ඇති වීමෙන් කෙතරම් ආතතියක් ඇති වේද කිවහොත්, එය දැඩි ඉදිමුමක් බවට පත්වේ. අනතුරු ඇඟවීමකින් තොරව, තාවකාලිකව පුද්ගලයෙකුව ක්‍රියා විරහිත කරවමින් විටින් විට හටගන්නා පිට කොන්දේ ගැස්ම අතිශය වේදනාකාරි එකක් විය හැක. එක් වේදනා විඳින්නෙක් වේදනාව විස්තර කරන්නේ “ඔබේ පිට කොන්දේ ඇතිවන පුපුරායන භූමිකම්පා මාලාවක්” වශයෙනි.
ඉතාමත්ම දුර්වල වූ මාංශවලට තවදුරටත් හානි පැමිණීමෙන් පුද්ගලයෙකුව ආරක්ෂා කිරීමට පේශි ගැස්මවල් ඇතිවන බවට වෛද්‍යවරු එකඟ වෙති. ටයිම්-ලයිෆ් සමාගමේ ද ෆිට් බැක් නම් පොත මෙසේ නිරීක්ෂණය කරයි: “පිට කොන්දේ ක්‍රියාකාරිත්වය ඇණහිටීම මගින්, ගැස්ම ඔබට සලස්වන්නේ වඩාත්ම සුදුසු ක්‍රියා මාර්ගය ගැනීමට, එනම් හාන්සි වීමට සැලැස්වීමටය. මෙම ඉරියව්ව ඔබේ පිට කොන්ද මත අවම වෙහෙසක් යොදනවා පමණක් නොව, නමුත් එය ඉදිමුණු පටක අලුත්වැඩියා වීමටත් ඉඩහරියි.”
බොහෝ විට ගැස්මවල් හටගැන්වීමට සලස්වන පිට කොන්දේ පීඩනය වළක්වනු වස්, පිට කොන්දේ, උදරයේ සහ කලවාවල පේශි ශක්තිමත්ව හා ස්ථිරව තිබීම අවශ්‍යය. උදාහරණයක් වශයෙන්, උදරයේ පේශි ශක්තිමත් නැත්නම්, ඒනිසා පිට කොන්දේ වෙහෙස ඇති විය හැක, මන්ද ඒවාට හරිහැටි දරාගැනීමේ ශක්තිය නැති නිසාත්, කොන්ද මත ශරීරයේ බරේ පීඩනයට එරෙහි වීමට ඒවායේ හැකියාව වඩාත් අඩු නිසාත්ය. උදර පේශි හොඳ-තත්ත්වයක තිබේ නම්, ඒවා “පේශි මේඛලාවක් හෙවත් බඳපටියක්” ඇති කරන අතර එය පිටනැවුණු ඉරියව්වක් වෙතට පිට කොන්දේ පහළින් නැවීම වළක්වයි. පිටනැවුණු යනු පිට කොන්දේ පහළ පමණට වැඩිය නැවී තිබිම වන අතර එය පිටේ පහළ කොටසේ එක පෙළට පිහිටි කශේරුකාවල ඇදීමක් සිදු කරයි.
වේදනාව අඩු කිරීමට ඔබට කළ හැකි දේ
වැරදි ඉරියව්ව, ස්ථූලබව, දුර්වල පේශි හා අධික වෙහෙස පිට කොන්දේ පහළ කොටසේ වේදනාවට දායකවන හේතුකාරක හතරක් වේ. අසුන්ගැනීම, සිටගැනීම හෝ ඉස්සීම වැනි නුසුදුසු ලෙස කරනු ලබන පොදු ක්‍රියාකාරකම්, අනෙක් හේතුකාරක වේ.
නිවැරදි ඉරියව්ව හා උදරයේ මෙන්ම පිට කොන්දේ ශක්තිමත් පේශි අතර අන්‍යොන්‍ය සබඳතාවක් පවතියි. සුදුසු ඉරියව්ව සඳහා හොඳ පේශි ශක්තිය වැදගත් වන අතරතුරේදීම, නිවැරදි ඉරියව්ව පේශිවලට සුදුසු සේ ක්‍රියා කිරීමට ඉඩ සලසයි. සුදුසු ඉරියව්ව සඳහා කොඳු ඇට පෙළේ ස්වාභාවික S වක්රාකාර හැඩයට ගැළපෙන පිහිටීමක් අවශ්‍යය. එයින් හරි කෙළින් පිහිටි, පිට කොන්දක් අදහස් නොකරයි.
නුසුදුසු ඉරියව්ව නිවැරදි කළහොත්, ඉරියව්ව හේතුවෙන් හටගත් වේදනාව පහ කළ හැකි යයි ට්‍රීට් යෝර් ඕන් බැක්, යන පොතෙහි රොබින් මකෙන්සි දක්වන අතර මෙසේද එකතු කරයි: “කෙසේවුවද, නිවැරදි නොකළහොත්, කල්යත්ම, වැරදි ඉරියව්වේ පුරුද්ද සන්ධිවල ව්‍යූහයේ වෙනස්වීම් ඇති කරයි, අතිරේක ගෙවීයෑමක් හටගනියි, එමෙන්ම කලට පෙර සන්ධිවල දිරාපත්වීම විපාකයක් වේ.”
විශේෂයෙන්ම පිට කොන්දට අනුබල දෙන පේශි මත ඇති උදරයෙහි අතිරේක බර ගුරුත්වාකර්ෂණ ඇදීමක් ඇති කරන හෙයින් එයද පිට කොන්දට වෙහෙසක් ඇති කළ හැක. නිරෝගි සෞඛ්‍යසම්පන්න පිට කොන්දක් සඳහා නියත ව්‍යායාමයේ වැඩසටහනක් ප්‍රධාන හේතුකාරකයකි. වේදනාව තවදුරට නොතිබුණත්, පහවී ගිය පිට කොන්දේ අමාරුව අනපේක්ෂිත ලෙස යළි මතුවීමට නැඹුරුවාවක් ඇති හෙයින් ව්‍යායාමය අත්‍යවශ්‍යය. ව්‍යායාම වැඩසටහනක් ඇරඹීමට පෙර සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂාවක් නිර්දේශ කෙරේ. පුද්ගලයෙකුගේ පිට කොන්දේ ගැටලුවක් සඳහා සුදුසු ව්‍යායාම මොනවාදැයි වෛද්‍යවරයෙකු යෝජනා කළ හැක, නැතහොත් ඔහු රෝගියෙකුව කායික චිකිත්සකයෙකු වෙත යොමු කළ හැක.
පුද්ගලයෙකුව පිට කොන්දේ අමාරුවලට ගොදුරු කිරීමට අධික වෙහෙසට හැකි යයි බොහෝ පර්යේෂකයෝ විශ්වාස කරති. සහනයක් නැති ආතතිය පේශි තද කරන බැවින් හටගන්න අධික වෙහෙස ඇතැම් අයවලුන් තුළ ගැස්මවල් ඇති කළ හැකි අතර මෙහි ප්‍රතිඵලයක් වශයෙන් පිට කොන්දේ අමාරුව ඇති වෙයි. අධික වෙහෙසට මුල්වන හේතු පාලනය කිරීමෙන් හෝ පහ කිරීමෙන් පිට කොන්දේ අමාරුවට අවදානම අඩු කිරීමට උපකාර කළ හැක.
වැඩ කරන වේලාවට බොහෝ වෙලා අසුන්ගෙන සිටින හෝ දුර ගමනාගමනයක යෙදෙන විට බොහෝ වේලාවක් ගත කරන ජනයා පිට කොන්දේ විඩාව අද්දැකිය හැක. ස්වීඩන අධ්‍යයනයකට අනුව හිඳගෙන සිටින විට පිට කොන්දේ පහළ කොටසට වඩා වැඩි බරක් යෙදවේ. පිට තබාගැනීමට ප්‍රමාණවත් ආධාරකයක් නොමැති කාර්යාල පුටු භාවිත කිරීමෙන් මෙම අවදානම වැඩි වී තිබීම අභාග්‍යයකි. එක දිගටම ඉඳගෙන නොසිට නිතරම යම් කාලයකට වැඩ නවතා විනාඩි ස්වල්පයකට සිටගැනීම හා ඇවිදීම උපකාරවත් විය හැක.
බර හෝ සැහැල්ලු භාණ්ඩ පවා උස්සන විට, ජනයා තම පිට කොන්දේ පේශිවලට බර නොදීමට පරෙස්සම් විය යුතුය. යමක් උස්සන විට දණහිස් නැමීමට යෝජනා කෙරේ, එවිට පිට කොන්දේ පේශි මුළු පීඩනයම දරන්නේ නැත.
නුහුරු ඉරියව්වල සිට වැඩ කරන පුද්ගලයෙකුද පිට කොන්දේ වේදනා විඳීමට ඉඩ තිබිය හැක. නිෂ්පාදන එකලස් කිරීමේ ක්‍රියාදාමයක නියැලී සිටි අයවලුන්, හෙදියන්, විදුලි කාර්මිකයන් ගෘහපාලකයන් හා ගොවියන් යන සියලු දෙනාටම තම වැඩ කරගෙන යෑම සඳහා දිගු කාලපරිච්ඡේදයක් පුරා ඉදිරියට නැමී වැඩ කරන්නට සිදුවෙනවා ඇත. පිට කොන්දේ ආබාධවල අවදානම අවම කිරීමට, කායික චිකිත්සකයෝ නිතිපතා විවේක ගන්න කියා හෝ ඉරියව් වෙනස් කරන්න කියා හෝ නිර්දේශ කරති. දිගු කාලයකට සිටගෙන සිටින ජනයාට පිට කොන්දේ පහළ කොටස කෙළින් තබා ගනු වස් කුඩා පුටුවක් හෝ පය තැබිය හැකි වෙනත් යමක් භාවිත කර, සුළු ප්‍රමාණයකට පය උස්සා තබාගන්න යයි අවවාද කෙරේ.
ප්‍රතිකාර සොයායෑම
පේශියෙන් හටගන්නා පිට කොන්දේ අමාරුව අද්දකින වැඩි දෙනෙකු සඳහා වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ—ඇඳ විවේකය, තාපක භාවිතය, සම්බාහනය, ව්‍යායාමය සහ ප්‍රථමයෙන්ම, ප්‍රති-ප්‍රදාහක වේදනා-නාශක බෙහෙත් යන—සාමාන්‍ය ප්‍රතිකාර ගැනීමටය. අන්තිමට සඳහන් කළ දෙය සම්බන්ධයෙන් මියාමි වෛද්‍ය විදුහලේ වෛද්යාචාර්ය මාර්ක් බ්‍රවුන් පරෙස්සම් වීමට යමක් පවසා සිටියි. ඔහු සඳහන් කරන්නේ එක්සත් ජනපදයෙහි දිගු කලක් පුරා බෙහෙත් පාවිච්චිය පිට කොන්දේ අමාරුවලට ප්‍රධාන හේතුකාරකය බවය, එසේ වන්නේ, වෛද්‍ය ප්‍රතිකාර ගැනීමෙන් ඇතිවන අතුරු ආබාධ හේතුවෙනි. ජනයා දිගු කලක් පුරා බෙහෙතකට පුරුදුවීමෙන් වැළකී සිටීම අවශ්‍යයි, මන්ද එමගින් බෙහෙත් මාත්‍රාව වැඩි කරගැනීම ප්‍රතිඵල විය හැකි අතර එය ඇබ්බැහිවීමකට සලස්වන බැවිනි.
මෙම රෝගයෙන් පෙළෙන ඇතැම් අයවලුන්ට කායික චිකිත්සාව හා නාඩි පද්ධතියේ දෝෂ නිසා ඇතිවන වේදනාවට ප්‍රතිකාර කිරීමට යෑම මගින් උපකාරය හා සහනයද ඉදිරිපත් කළ හැක. එක්සත් ජනපදයේ සිටින පිට කොන්දේ අමාරුවෙන් පෙළෙන රෝගීන් සඳහා කළ බැහැදැකීම් සියල්ලේදී තුනෙන් දෙකකට පමණ නාඩි පද්ධතියේ දෝෂ නිසා ඇතිවන වේදනාවට ප්‍රතිකාර අවශ්‍යවූ බව වාර්තා වේ යයි හෙල්ත්ෆැක්ට්ස් සඟරාවේ සඳහන් වේ.
දුෂ්කරතා නිවැරදි කිරීමට හෝ පිපිරුණු මඬල ආශ්රිත වේදනාවකින් සහනය ලැබීමට ශල්‍යකර්මයක් අවශ්‍ය විය හැක. කෙසේවුවද, බොහෝ වේලාවට, පිට කොන්දේ-අමාරුවෙන් පෙළෙන වැඩි දෙනෙකුට වෛද්‍යවරු පළමුව සාමාන්‍ය ප්‍රතිකාරයක් නිර්දේශ කරති. තමන්ට ශල්‍යකර්මයක් අවශ්‍ය යයි පවසා සිටින්නන් වෙනත් වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස්ද ලබාගැනීම සුදුසු වේ.
වේදනා විඳින මිලියන ගණනකට පිට කොන්දේ අමාරුව නිරතුරුව පවතින නමුත් එය ඉවසාගත හැකි ජීවිතයේ කොටසකි. බොහෝ දෙනෙක් වේදනාව ඉවසාගෙන සිටින නමුත් එදිනෙදා වැඩකටයුතුවලට ඉන් බාධාවක් වීමට ඉඩ නොහැරීමට වෑයම් කරති. වේදනාව ඇති කරන හේතුකාරක ගැන ඔවුන් දැනුමැතිව සිටින අතර එයින් වැළකීමට හෝ එය නැවැත්වීමට උපක්‍රම යොදති. ඔවුහු නිතිපතා ව්‍යායාමයේ යෙදෙති, සුදුසු බර පවත්වාගනිති, ඔවුන්ගේ ඉරියව්ව යහපත් අතට හරවාගෙන, ඔවුන්ගේ ජීවිතවල අධික වෙහෙස අඩු කරගනිති. මඬල පිපිරීමකින් හා පේශිවල ගැස්මෙන් ඇතිවන වේදනාව නැවත නැවත තිබුණත්, ආරම්භයේදී සඳහන් කළ කැරන්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ දේශනාවෙහි සහ ඉගැන්වීමෙහි ක්‍රියාකාරකම්වල වැඩි කාලයක් ගත කරමින් ප්‍රීතියෙන් කාර්යබහුල වැඩසටහනක් පවත්වාගනියි. කැරන් වාගේම, මින් වේදනා විඳින බොහෝ දෙනෙක් ඒකාන්ත ආකල්පයක් පවත්වාගන්න අතර, ඔවුන්ගේ පිට කොන්දේ අමාරුව පාලනය කරගැනීම සඳහා වැඩ කරති. g94 6/8
[14 පිටුවෙහි ඇති කොටුව]
පිට කොන්දේ අමාරුව වැළැක්වීමට ඇතැම් උපකාර
☞හදිසියෙන්, ගැස්සෙන ඉරියව්වකින් යමක් එසවීමෙන් වළකින්න. ඉණෙන් නැමෙන්නේ නැතිව දණහිස්වලින් නැමෙන්න.
☞බර දේවල් ඔසවන විට උපකාරය ඉල්ලන්න.
☞බඩු මිටි කීපයක් ඔසවන විට, එක් එක් පැත්තේ බර එකසමානව තබන්න. එක බර දෙයක් ඔසවනවා නම්, ඔබේ ශරීරයට ළඟින්, අත් දෙකම ඉදිරියට දමා ඔසවාගෙන යන්න. පැත්තකින් ඔසවාගෙන යනවා නම්, පැති මාරු කරන්න.
☞ගමන් කිරීමට, පහසුවෙන් නැමිය හැකි බඩු ගෙනයන උපකරණයක් සහ⁄හෝ සැහැල්ලු බඩු ගෙන යෑමට කර පටි සහිත මල්ලක් භාවිත කරන්න.
☞මෝටර් රථ ඩිකයකින් පිටතට බඩු මිටි උස්සන විට, ඒවා ඉස්සීමට පෙර බඩු මිටි ශරීරය සමීපයට ගන්න.
☞දූවිලි ඉවත් කරන විට, දිග-හැඬලයක් තිබෙන රික්ත ශෝධකයක් (දූවිලි ඉවත් කරන උපකරණයක්) භාවිත කරන්න. බඩුවල යට දූවිලි ඉවත් කරන විට ඉණෙන් නැමෙනවා වෙනුවට, දණහිස් ආවරණයක් පැළඳ, එක දණහිසකින් දණගසන්න. ඔබ ඉණෙන් නැමිය යුතු නම්, හැකි විට, ඔබට රුකුලක් සඳහා යමක් මත එක අතක් තබන්න.
☞කාර්යාල වැඩ කරන විට, මේසයක් ළඟ ඉඳගෙන හා ඉණේ-උස ප්‍රමාණයේ වැඩ පෘෂ්ඨයක් ළඟ සිටගෙන මාරුවෙන් මාරුවට වැඩ කරන්න.
☞වත්තේ වැඩ කරන විට දණ ගසාගෙන, වැඩ වඩාත් කෙටි කොටස්වලට බෙදාගෙන වැඩ කරන්න. සිටගන්න විට ඉණෙන් නොනැමෙන්න.
☞දිනකට විනාඩි 10 සිට 15 දක්වා පමණක් වුවද නිතිපතා පදනමක් මත පිට කොන්දේ ව්‍යායාම්වල යෙදෙන්න. ඔබ වයසක කෙනෙක් නම් මධ්‍යස්ථ ප්‍රමාණයේ ව්‍යායාම්වල යෙදෙන්න.
☞ඇඳවල් සකස් කරන විට, එක දණහිසකින් ඇඳ මත දණගසාගෙන සිටින්න, ඇඳ හරහා ඇඳේ අනෙක් පැත්ත සකස් කරන විට එක අතක් රුකුලක් සේ යොදාගන්න. ඇඳ ඇතිරිලිවල රැළි අරින විට හෝ ඇතුළට දමන විට, ඇඳේ දෙපැත්තේ බිම දණගසාගන්න.
☞දුර ගමන්වලදී රිය පදවන විට, නවත්වා විවේකයන් ගන්න. මෝටර් රථ ආසනයේ පිටඇන්ද පහසුදායක නොවේ නම්, ඇන්දේ හීනි කොටස ආසනයට සුදුසු ලෙස සකස් නොවී තිබෙන හිදැස පිරවීමට කොට්ටයක් භාවිතා කරන්න.
☞දැඩි පෘෂ්ඨ මත දීවීමේ නොයෙදෙන්න. සුදුසු ව්‍යායාම් පාවහන් පළඳින්න.
☞පහසු පුටුවක හෝ සෝපාවක හිඳගෙන සිටින විට කොට්ටයක් හෝ පිටට වෙනත් ආධාරකයක් තබාගන්න. ඉහළට තල්ලු වීම සඳහා ඔබේ පාද භාවිත කරමින් හෙමින් නැගිටින්න.
☞ඔබ පැය ගණන් ඉඳගෙන වැඩ කරන්නෙහි නම්, සුදුසු හැඩැති පිට ඇන්දක් ඇති පුටුවක් ලබාගන්න. ඇතැම් අවස්ථාවලදී නැගිට, එහාට මෙහාට ටිකක් ඇවිදින්න.
☞ලිපි ගොනු කැබිනෙට්ටුවේ ලාච්චු වෙත බොහෝ වේලාවක් නැමී නොසිටින්න, නමුත් ඔබට හැකි විට පුටුවක ඉඳගෙන එම කාර්යයෙහි යෙදෙන්න.
☞දවස තුළ ඔබට අඩි-උස පාවහන් පළඳින්නට සිදු වේ නම්, හැකි විට මාරුවෙන් මාරුවට දැමීමට වඩා පහසු යුගළක් රැගෙන එන්න.