යෞවනයන් අසති . . .
දෙයාකාර ජීවිතයක් ගත කීරීම—නුසුදුසු මන්ද?
“මගේ ක්‍රිස්තියානි මිතුරු මිතුරියන් සමඟ හා මගේ පාසල් මිතුරු මිතුරියන් සමඟ මා දෙයාකාර ජීවිතයක් ගත කරමින් සිටියා.”
ඉහත සඳහන් වූ යෞවනියගේ තත්ත්වය ඇයටම පමණක් සීමා වූවක් නොවේ. එහෙත් “දෙයාකාර ජීවිතයක් ගත කිරීමෙන්” අදහස් කරන්නේ කුමක්ද? චේන්ජිං බොඩීස්, චේන්ජිං ලයිව්ස් යන පොතේ කර්තෘවරිය රූත් බෙල් මෙම ක්‍රියා මාර්ගය නිර්වචනය කරන්නේ “ඔබේ දෙමව්පියන්ට නොකියා ඔබ කරන ඕනෑම දෙයක්” වශයෙනි.
මෙම කර්තෘවරිය යෞවනයන් බොහෝ දෙනෙකු සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වා, මෙසේ වාර්තා කළාය: “බොහෝ නහඹරයන් පැවසුවේ සිය දෙමව්පියන් සමඟ ඇත්තෙන්ම කථා කරන්නට නොහැකි වූ දේවල් ඔවුන් තම ජීවිතයේ කරමින් සිටින බවයි. රහසිගත දේවල් වශයෙන් ඉතාමත්ම පොදු දේවල් වූයේ ලිංගික ක්‍රියා, මත් ද්‍රව්‍ය සහ මත්පැන් පානය වූ නමුත්, රෑබෝ වී නිවසට පැමිණීම, නාඳුනන්නන් සමඟ හුදකලා ඇසුර, පාසලෙන් කට්ටි පැනීම, ගහගැනීම හා ඔවුන්ගේ දෙමව්පියන් අකමැති මිතුරු මිතුරියන් සමඟ ඇසුරු කිරීම” වැනි දේවල්ද මේ අය සඳහන් කළහ.
ක්‍රිස්තියානි දෙමව්පියන් විසින් ඇතිදැඩි කළ සමහර යෞවනයන් පවා සිය දෙමව්පියන්ගෙන් හා අන්‍යයන්ගෙන් තම සැබෑ තත්ත්වය සැඟවීම කනගාටුවට කරුණකි.a (ගීතාවලිය 26:4 සසඳන්න.) දෙමව්පියන් සහ සෙසු ඇදහිලිවන්තයන් අසළ සිටින විට මෙම යෞවනයෝ අවංක, දේව-බියැති අය මෙන් පෙනී සිටිති. එහෙත් ඔවුන්ගේ නිරීක්ෂණයෙන් බැහැරව සිටින විට, ඔවුන් හැසිරෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයකිනි.
දෙයාකාර ජීවිතයක් ගතකිරීමට ඇත්තෙන්ම යෞවනයෙකුව පොලඹවන්නේ කුමක් මගින්ද?
ස්වාධීනව සිටීමට ඇති ආකර්ෂණය
බයිබලය පවසන්නේ, අන්තිමේදී ‘පුරුෂ තෙමේ තමාගේ පියාද මවුද අත්හරින’ බවයි. (උත්පත්ති 2:24) එසේ නම්, වැඩීමට, ඔබ වෙනුවෙන්ම සිතීමට, ඔබ විසින්ම තීරණ ගැනීමට ඔබට වුවමනා වීම ස්වාභාවික දෙයක් පමණි. ගැටලුව වන්නේ වැඩිහිටිභාවය සඳහා ඔබ සූදානමින් නොසිටිනවා විය හැකි වීමයි. ජීවිතයේ පළපුරුද්ද අඩුකම නිසා ඔබට තවමත් දේව භක්තික දෙමව්පියන්ගෙන් සහාය අවශ්‍යයි.—හිතෝපදේශ 1:8.
මෙම සත්‍යය පිළිගැනීමට බොහෝ යෞවනයෝ අදිමදි කරති. හෞ ටු සර්වයිව් යෝර් චයිල්ඩ්’ස් රිබෙලියස් ටීන්ස් යන පොතට අනුව, බොහෝ යෞවනයන්ට “සිය ශක්තිය පෙන්වීමට, ඔවුන්ගේ අලුත වැඩුණු ශක්තීන් පරීක්ෂා කිරීමට සහ ඔවුන්ගේ ස්වාධීනත්වය ප්‍රකාශ කිරීමට” වුවමනාය. තමන් විසින් අනුවණ—හෝ වැරදි—යයි සලකන දේවලට අවසර දීමට දෙමව්පියන් ප්‍රතික්ෂේප කරන විට, ඇතැම් යෞවනයෝ කැරලි ගසති. තවද මෙම ද්‍රෝහි වීම වෙනුවෙන් ඔවුනට කොහෙත්ම පසුතැවිල්ලක් ඇති නොවන තරම්ය. එක් නව යොවුන් ගැහැනු ළමයෙක් මෙසේ පවසන්නීය: “[මගේ දෙමව්පියන්] නොදන්නා දේවල් මා කරන විට මට සතුටක් දැනෙනවා, මන්ද එය මා ඉතා වැදගත් කෙනෙක් යයි හැඟීමට සලසන නිසා. මට තිබෙන්නේ ඔවුන්ගෙන් වෙනස් වූ ජීවිතයක්, එමෙන්ම මා සිතන විධියට ඔවුන් ඒ ගැන කොහෙත්ම දන්නේ නෑ. . . . ඔවුන් මා කරමින් සිටින දේවලින් අඩක් විශ්වාස කරන එකක් නෑ.”
‘මගේ දෙමව්පියන් වුවමනාවට වඩා තදින් ක්‍රියා කරනවා’
එහෙත්, කදිම ක්‍රිස්තියානි හැඩගැස්මක් ලබන සමහර යෞවනයන් පවා හොර රහසේ වැරදි කරන්නේ මන්ද? පිබිදෙව්! මගින් යෞවන කණ්ඩායමකට මෙම ප්රශ්නය ඉදිරිපත් කළ විට, එක් නව යොවුන් ගැහැනු ළමයෙක් මෙසේ පිළිතුරු දුන්නාය: “ඔවුන් ඔවුන්ගේ දෙමව්පියන් සමඟ කේන්තියෙනුයි ඉන්නේ. ඔවුන්ට සීමාවන් පනවා තිබෙන නිසා ඔවුන්ට වුවමනා වන්නේ ඔවුන්ගෙන් පළිගැනීමටයි.” ක්‍රිස්තියානි ධර්මය සීමාවලින් යුතු ජීවන මගක් වන බවට කිසිඳු සැකයක් නැත. යේසුස්වහන්සේ මෙසේ පැවසූ සේක: “ජීවනයට යන දොරටුව පටුය, පාර අවහිරය.” (මතෙව් 7:14) දෙවියන්වහන්සේගේ සදාජීවනයේ ත්‍යාගය ලබාගැනීමට ඔබට වුවමනා නම්, වෙනත් යෞවනයන් කරන්නේ යයි පැවසෙන එවැනි විනෝද දේවල් ඇත්තෙන්ම ඔබට කිරීමට නොහැක. උදාහරණයක් වශයෙන්, ඝෝෂාකාරී සාදයන්, තරඟයට මත්පැන් බීම, පූර්ව විවාහ ලිංගික ඇසුර, අසංවර හැසිරීම යන සියල්ල බයිබලය තුළ හෙලාදැක ඇති ඒවාය.—ගලාති 5:19-21.
එමෙන්ම ඇතැම් දෙමව්පියන් අසාමාන්‍ය ලෙස තදින් ක්‍රියා කරනවා යයි පෙනිය හැකි වීම තවත් කාරණයකි. “අපට කිසිම චිත්‍රපටියක් බලන්න ලැබෙන්නේ නැති තරම්. සංගීතයට සවන් දෙන කාලයත් මට බෙහෙවින් අඩු කරන්නට සිදුවුණා, මා තෝරා බේරා ගැනීමට උත්සාහ කළා. එහෙත් මගේ පියා සෑම සංගීතයකටම පාහේ සවන්දීම අපට තහනම් කළා! අපට අවසර තිබෙන්නේ ශාස්ත්‍රීය සහ ජෑස් තැටිවලට සවන් දීමට පමණයි.” අසාධාරණ නීති ලෙස තමන්ට පෙනෙන දේට මුහුණදී සිටින ඇතැම් යෞවනයෝ, තම තුල්‍යයන් භුක්තිවිඳින නිදහස ගැන ඊර්ෂ්‍යා වීමට පටන් ගනිති.
ගැළපෙන්නෙක් වීමට ආශාව
ටැමි නමැති යෞවනියක් මෙසේ සිහිපත් කරන්නීය: “මා පටන් ගත්තේ පාසලේදී අසභ්‍ය භාෂාව පාවිච්චි කිරීමෙනි. එය මා බොහෝ දුරට අනිත් ළමයින් වාගේ යයි හැඟෙන්නට සැලසුවා. පසුව මා දුම් පානය අත්හදා බැලුවා. මට මත්වෙන ගතියක් එන තරමටම මා මත්පැන් බොන්නට වුණා. මගේ දෙමව්පියන් තදින් ක්‍රියා කරන නිසාත්, විරුද්ධ ලිංගයේ අය සමඟ හුදකලා ඇසුරට මට ඉඩ නොදුන් නිසාත් රහසිගතව මා පෙම්වතුන් ඇති කරගැනීමට පටන් ගත්තා.”
පීට් නමැති නහඹර පිරිමි ළමයාට එවැනිම අද්දැකීමක් තිබුණි: “මා හැදී වැඩුණේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙකු හැටියටයි. නමුත් විහිලුවට ලක්වීමට මා ඉතා භය වූ බැවින් ජනප්‍රිය කට්ටිය සමඟ සිටීමට මා උත්සාහ කළා. මා ජනප්‍රිය වීමට උත්සාහ කළා. ආගමික නිවාඩු දිනවලදී මට කිසිම ත්‍යාගයක් නොලැබීමට හේතුව වශයෙන් මා නොයෙකුත් බොරු ගොතා නිදහසට කරුණු ඉදිරිපත් කරන්නට වුණා.”b පීට් සුළු වශයෙන් ඇදහිල්ල පාවාදීම් කිරීමට පටන් ගත් පසු, ඔහු වැඩිකල් නොගොස් වඩා බරපතළ වැරදි හැසිරීමෙහි යෙදීමට පටන්ගත්තේය.
“නරක ආශ්‍රයන්”—කොතැනකද?
එවැනි අද්දැකීම් ක්‍රිස්තියානි ප්‍රේරිත පාවුල්ගේ වචනවල සත්‍යතාවය හුවා දක්වයි: “නපුරු සමාගමෙන් හොඳ චරිත නරක්වන්නේය.” (1 කොරින්ති 15:33) එබැවින් බයිබලය මත පදනම් ඔබේ සාරධර්ම සහ සදාචාරවලට ගරු නොකරන යෞවනයන් සමඟ ඔබ ඇසුරු කරන්නෙහි නම්, ඔබ පහසුවෙන්ම ඔවුන්ගේ ජීවන-රටාවට ඇදී යා හැක. එහෙත්, ප්‍රේරිත පාවුල් එම අනතුරු ඇඟවීම ඉදිරිපත් කළ විට නොඇදහිලිකාරයන් සමඟ ආශ්‍රය ගැන විශේෂයෙන්ම කථා නොකිරීම උනන්දුමත් කරන කරුණකි. ක්‍රිස්තියානි සභාව තුළ සිටින, ක්‍රිස්තියානි ඉගැන්වීම් පිළිපැදීමට අසමත් වන්නන් සමඟ ආශ්රයෙන් වළකින ලෙස ඔහු අනතුරු අඟවමින් සිටියේය. (1 කොරින්ති 15:12) එලෙසම අදදින, සභාව සමඟ ඇසුරු කරන සුදුසු ක්‍රිස්තියානි ජීවිතයක් පිළිනොපදින හෝ නිර්දේශ නොකරන යෞවනයන් සිටිය හැක. දෙයාකාර ජීවිතයකට මඟ පාදන කූට පීඩනයක් ඔබ මත තැබීමට ඔවුනට හැක.
ඇගේ දෙමව්පියන් “ඉතා ප්‍රේමනීය” යයි පිළිගන්නා ටැමි ගැන නැවතත් සලකා බලන්න. ඇය ඇගේ පියා ගැන විස්තර කරන්නේ “අප සඳහා යෙහෝවඃවහන්සේ සැලකිලිමත් වන ආකාරය ගැන සැමවිටම කථා කරමින්, ජ්වලිතයෙන් පිරී සිටින්නෙකු” වශයෙනි. ඔහු සභාවේ වැඩිමහල්ලෙකු ලෙසද සේවය කරයි. එසේනම්, ඇය වැරදි මඟෙහි ගියේ කෙසේද? “සභාව තුළම නරක ඇසුරෙන්,” යයි ඇය පවසන්නීය. ඒ අය “ඔවුන් විවිධ සාදවලදී ලැබූ විනෝදය ගැනත්, මත්පැන් ගත් ආකාරය ගැනත් මට කියනවා. නැත්නම් ඔවුන්ගේ පෙම්වතුන් ගැන හා සභා රැස්වීම්වලින් පසු නැටුම්වලට යන ආකාරය ගැන ඔවුන් කථා කරනවා.”
විපත්තිය වළක්වා ගැනීම
‘එය වැඩීමේ කොටසක් පමණයි’ නැතහොත් ‘හැම ළමයින්ම තම දෙමව්පියන්ගෙන් දේවල් සඟවනවා’ යයි හේතු දක්වමින් යෞවනයන්ගේ එවැනි වැරදි හැසිරීමට පක්ෂව නිදහසට කරුණු නොදෙන්න. දෙවියන්වහන්සේ යෞවනයන්ට දේශනාකාරයා 11:9, 10හි දෙන අනතුරු ඇඟවීම සැලකිල්ලට ගන්න: “තරුණය, නුඹේ යෞවන වයසේදී ප්‍රීතිවෙයන්න; නුඹේ යෞවන දවස්වල නුඹේ සිත [හෘදය, NW ] නුඹ සන්තෝෂකෙරේවා, නුඹේ සිතේ [හෘදයේ, NW ] මාර්ගවලත් නුඹේ ඇස්වලට පෙනෙන හැටියටත් හැසිරියන්න. නුමුත් මේ සියල්ල ගැන දෙවියන්වහන්සේ නුඹ විනිශ්චයට පමුණුවන බව දැනගනින්න. එසේ නුඹේ සිතෙන් [හෘදයෙන්, NW ] ශෝකය පහකර නුඹේ මාංසයෙන් දුක දුරුකරපන්න.”
දෙයාකාර ජීවිතයක් ගත කිරීම විනෝදයක් මෙන් පෙනිය හැක. එහෙත් අවසානයේදී එය මාරාන්තික උගුලකි. (ගීතාවලිය 9:6, සසඳන්න.) අකීකරු ක්‍රියාවන් අනිවාර්යයෙන්ම වඩා බරපතළ වැරදි ක්‍රියාවලට මඟ පාදයි. උදාහරණයක් වශයෙන්, යෞවන පීට් වයස 17දී නිවස හැර ගිය විට ලිංගික වැරදි හැසිරීමේ එවිටමත් යෙදෙමින් සිටියේය. වයස 18වන විට, අවියක් භාවිතා කරමින් සිදුකළ සොරකමක් සඳහා පීට්ව අත්අඩංගුවට ගෙන තිබිණ.
නොයෙක් විට බොහෝ යෞවනයන් තම වැරදි හැසිරීමට දඬුවම් නොලබා බේරෙන බව පෙනෙන්නට තිබේ. බයිබල් ලේඛක ආසාප්ට හැඟුණු ආකාරයටම පහසුවෙන් ඔබටත් හැඟෙන්නට පටන් ගත හැකියි, ඔහු මෙසේ පිළිගත්තේය: “දුෂ්ටයන් යහතින් සිටිනවා දුටු කළ . . . මම ඊර්ෂ්‍යා වුණෙමි. ඔවුන් වේදනා විඳින්නේ නැත; ඔවුන් ශක්තිමත් මෙන්ම සෞඛ්‍ය සම්පන්නය. ඔවුන් අන් මනුෂ්‍යයන් මෙන් දුක් විඳින්නේ නැත.” එහෙත් දුෂ්ටයන්ට තිබෙනවා යයි පෙනෙන සුරක්ෂිතය කෲර මායාවක් බව ඔප්පු විය. ආසාප් මෙවැනි නිගමනයකට එළඹුණි: “[දෙවියන්වහන්සේ] ඔවුන් ලිස්සන තැන්වල සිටුවා, ඔවුන් විනාශ වීමට සලසන සේක!” (ගීතාවලිය 73:3-5, 18, ටුඩේ’ස් ඉංග්ලිෂ් වර්ෂන්) එසේනම්, බයිබලය මෙසේ අනතුරු අඟවන්නේ හොඳ හේතුවක් ඇතුවය: “නුඹේ සිත [හදවත, NW ] පව්කාරයන්ට ඊර්ෂ්‍යා නොකොට, හැම කල්හිම ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW ] කෙරෙහි භය ඇතුව තිබේවා.”—හිතෝපදේශ 23:17.
දෙමව්පියන්ට අකීකරුවීම යෞවනයෙකුට වැඩීමට හා ස්වාධීන වීමට උපකාර කරයි යන අදහස ගැන කුමක් කිව හැකිද? මෙය ඔබේ දෙමව්පියන්ට සවන් දෙන්න යන බයිබල් අවවාදයට හාත්පසින්ම පටහැනිය. (හිතෝපදේශ 23:22) සැබවින්ම, අඥාන, වගකීමකින් තොර හැසිරීමෙන් සිදුවන්නේ ඔබේ චිත්ත වේගීය හා ආත්මික වර්ධනය වැළැක්වීම පමණකි. ඊට වඩා, ඔබ “ක්‍රිස්තුස්වහන්සේගේ සම්පූර්ණවූ උස මහතේ ප්‍රමාණයටත්” ඒ සමඟම “සම්පූර්ණ පුරුෂකමටත්” පැමිණෙන්නේ බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙනි.—එපීස 4:12.
ඇතැම් දෙමව්පියන් අසාධාරණ ලෙස තදින් ක්‍රියා කරනවා යයි පෙනිය හැකි බව සැබෑවකි. එහෙත් එසේ වන්නේ ඔවුන් ඔබට ගැඹුරු ප්‍රේමයක් දක්වන නිසාත්, ඔබව ආරක්ෂා කිරීමට ඇති ආශාව නිසාත් නොවේද? එබැවින් ඔබේ දෙමව්පියන් සීමාවන් ලිහිල් කළ යුතු යයි ඔබට හැඟෙනවා නම්, රහසිගතව කැරළිගසනවා වෙනුවට—ඔවුන් සමඟ ඒ ගැන කථා නොකරන්නේ මන්ද?c රහසිගතව කැරළිගැසීමෙන් සිදුවන්නේ ඔවුන්ටත්, ඔබටත්, සියල්ලටම වඩා යෙහෝවඃ දෙවියන්වහන්සේටමත් මහත් ශෝකයක් ගෙන ඒමය.—හිතෝපදේශ 10:1; 27:11.
එහෙත්, ඔබ දැනටමත් දෙයාකාර ජීවිතයක් ගත කිරීමට පටන්ගෙන තිබෙනවා නම් කුමක් කළ හැකිද? එයින් මිදීමට යම් මාර්ගයක් තිබේද? මෙම ප්‍රශ්න ගැන ඉදිරි ලිපිවල සාකච්ඡා කෙරෙනු ඇත. g93 12/22
[පාදසටහන්වල]
a වර්ෂ 1988 දෙසැම්බර් 1, මුරටැඹ කලාපයේ “යෞවනයෙනි—දෙයාකාර ජීවිත ගත කිරීමෙන් ප්‍රවේසම් වන්න යන ලිපිය බලන්න.
b ආගමික නිවාඩු දිනවලදී යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ තත්ත්වය ගැන සාකච්ඡාවක් සඳහා වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් ප්‍රකාශිත ස්කූල් ඇන්ඩ් ජෙහෝවා’ස් විට්නසස් යන විවරණිකාව බලන්න.
c වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් ප්‍රකාශිත යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැගිය හැකි පිළිතුරු, යන පොතේ 3වන පරිච්ඡේදය බලන්න.
[25 පිටුවෙහි ඇති පින්තූර]
ඔබ දෙයාකාර ජීවිතයක් ගත කරන්නෙහිද?